තුවක්කු කටකින් මෙන් ගිනි පිටකරන ඊරිසියාකාරයන් මැද සුදු නෙළුම් පොහොට්ටුවක් මෙන් පිපෙන්න. තරුවක් වගේ පායා එන්නට ඇයට ගත වූයේ කෙටි කලකි. හීනයක් දැකපු ඇයට හීනය හැබෑ කර කරගන්නටත් ලස්සන ජීවිතයක් ලැබාගන්නටත් රජරට පුරවරයෙන් කලාවට පෑයූ සඳක් වූ ඇය ගිනි පුපුරක් වැනි ගිනි අවි සහ ගිනිකෙළි 2 සිනමා පටයේ නෙත සිත දෙකම වශී කරන තාරා කළුආරච්චි. මේ ඇයගේ අලුත්ම තොරතුරු සරසවියට පැවසූ අයුරුයි.
තාරා කළුආරච්චි කියන්නේ ගිනි කෙළියක්ද?
සමහර වෙලාවට ඇත්තටම ගිනි කෙළියක්ම තමා. එහෙම නැත්නම් මම මෙහෙම හඳුන්වලා දෙන්න කැමතියි. හොඳට නටන්න පුළුවන් නර්තන ශිල්පිනියක්, ක්‍රීඩා පිටියේ වර්ණවත් කළ ක්‍රීඩිකාවක්, හොඳ ශක්ති සම්පන්න තරුණියක්, මේ ගමන තනියම ආපු ධෛර්යවත් තරුණියක් කිව්වොත් නිවැරදියි. මගේ ගමන මම තනියම හදාගෙන මට යන්න ඕනේ පාරේ පමණක් මම ගමන් කරන කෙනෙක්. මේ ආපු ගමනේ ගල් බොරලු කටු පඳුරුවලින් ගහන වනාන්තරයක් තිබුණේ. ඒ සියලු බාධක මැඩගෙන ක්‍රමවත්ව යන ගමනක් මට තියෙන්නේ. කෙලින් කතා කරන කෙළින් තීරණ ගන්නා සෘජු චරිතයක් තාරා කියන්නේ.
ක්‍රීඩිකාවක් නොවුණේ ඇයි?
මගේ ජීවිතේ මම තීරණ ගන්නේ හරිම වෙනස් විදිහටයි. පාසල් කාලයේදී කරන සමහරක් දේවල් අපිට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඒ දේවල් වලට සමු දෙන්න වෙනවා.පාසල් කාලයේ මගේ වර්ණවත්ම කාලය කිව්වොත් නිවැරැදියි. උතුරු මැද පළාතේ දැල්පන්දු, හොකී බාස්කට්බෝල් සාමාජිකාවක් විදිහටත්, පිහිනුම් තරගවලටත් මම ඒ කාල සීමාවේදී තරග කළා.දැල්පන්දු ජාතික කණ්ඩායමට තේරුණත් මගේ අනිත් වැඩ කටයුතු එක්ක ඒ සියලු දේවල් කරගන්න බැරි වාතාවරණයක් උදාවුණා. ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට ලැබෙනවා කියන්නේ ලොකු භාග්‍යයක්. ඒත් මම කවදාකවත් නොලැබුණ දේවල්වලට දුක් වෙන කෙනෙක් නෙවෙයි. ඒ දේවල් මගෑහැරුණට මම යන පැත්තෙන් මම අද යම් තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා සතුටු වෙනවා.
දක්ෂ නර්තන ශිල්පිනියක් කියන්නේ ඇත්තද?
පෙර පාසල් යන කාලයේ සිටම මම නර්තනයට විශේෂ දක්ෂතාවයක් දැක්වුවා. සුබෝධනී ගුණසිංහ ගුරුතුමිය තමයි කලාවේ තියෙන අරුත්බව හා නර්තනය ගැන ඉගැන්නුවේ, ඒ හරහා සමස්ත ලංකා මට්ටම දක්වා අපි තරග වැදුණා, ජයග්‍රහණද ලැබුණා. පාසලේ ඉන්න විශේෂ දක්ෂතා තියෙන දරුවන් අතර එක් දරුවෙක් බවට මම පත්වුණා. ඉන් පසු කලක් මම රාජ්‍ය නර්තන කණ්ඩායම්වල සාමාජිකාවක් විදිහට කටයුතු කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හරහා ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් අඳුනා ගන්නටත් අවස්ථාව උදාවුණා. නර්තනයත් මගේ ජීවිතයේ එක් බැඳීමක් බව කිවයුතුය. රිද්මය තමයි අපි ජීවිතයේ හැමදාම තියාගත යුතුම දේ. ඒ හරහා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
කලා ක්ෂේත්‍රයට එන ගමන සිදුවන්නේ කොහොමද?
මම උතුරු මැද පළාතේ අනුරාධපුරේ.ගොඩක් දෙනෙක් තමන්ගේ පදිංචි ප්‍රදේශයේ සහ හැදුණ වැඩුණ ප්‍රදේශයට ආදරෙයි. ඒ නිසා මමත් හරිම ආඩම්බරයෙන් තමයි අනුරාධපුරේ කියලා කියන්නේ. මගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරී කරපු හින්දා පාසල් පහා හයකට මාරු වෙන්න සිදුවුණා. තාත්තා මාරු වෙලා යන දුම්රිය ස්ථානවලට වගේ අපේ ඉස්කෝලත් මාරු කරන්න සිදු වුණා. මගේ පාසල් කාලය අවසාන වශයෙන් නිමා වන්නේ නිවන්තකචේතිය ජාතික පාසලෙන්. පාසල් යන කාලයේ මම දැඩි ලෙස සෞන්දර්යයට කැමැත්තක් දැක්වුවා. පාසලේ සෞන්දර්යාත්මක කටයුතුවලට වගේම කලා කටයුතුවලට හැමවිටම පාසල් ශිෂ්‍යාවක් වශයෙන් ඉදිරිපත්වීමද සිදුවුණා. ඒත් මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා මනාලියක් ලෙස හැඩගැන්විලයි. මේ වනවිට බටහිර, උඩරට හා පහතරට සමඟ දෙමළ යන විවිධ නිරූපණයන්ගෙන් හැඩගැන්වීම් ශිල්පීන් හා ශිල්පිනියන්ගේ අතින් 1500කට වැඩි වතාවක් මනාලියක් ලෙස නිරූපණයෙන් පෙනී ඉදලා තියෙනවා. පාසල් යන කාලේදිමයි නිරූපණයට එන්න ආශාවක් තිබුණේ. ඒ කාලේ ෆොටෝ ෂූට් කරලා දැම්මත් ගොඩක් දෙනෙක් මාව හැඳීන්වූයේ ලෝකල් ඓෂ්චර්යා රායි කියලයි. මගේ රුවද ඓෂ්චර්යා රායිගේ රුවට එක හා සමාන කියලා බොහෝ දෙනෙක් හඳුන්වන්න ගත්තා. ඒ හරහා ඉන්දියානු පුවත්පතකද මගේ ලිපියක් පළකර තිබුණා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මාව ඉන්දියානු හැඩගැන්ව්ම්වලට තෝරාගනු ලබනවා. මේ වනවිට බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමා ඔයාගේ ජොබ් එකත් මොඩ්ලින්ද කියලා. ඒ ලබපු ප්‍රතිචාරත් සමඟ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්ට දොරගුළු විවර වුණා.
ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ නිරූපණයට සමුදුන්නද?
මගේ ජීවිතේ මම පළමු තැන දෙන්නේ හැම විටම නිරූපණයටයි. 2012 වසරේ ආරම්භ කළ ගමන තාරා කළුආරච්ච් කියන නම සමාජගත වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහායි. මාව මේ තැනට ගේන්නේ නිරූපණ ශිල්පිනියක් හැටියට ආපු ගමන නිසයි. ඒ නිසා මගේ ගරුත්වය එතනට ඉහළින්මයි තියෙන්නේ. නිරූපණ ක්ෂේත්‍රයට එනවා කියන එකත් ලේසි තැනක් නෙවෙයි. ඒක හැමෝටම කරන්න පුළුවන් වෘත්තියකුත් නෙවෙයි. මට ලැබුණු ඒ මුල්ම අවස්ථාවට මම හැමදාම හිස නමා ආචාර කරන්නේ ඒ නිසයි. ලෝකය පුරාම සිටින දස දහසක් ගණන් ජනයාගේ ඇසින් විඳීන්නට සලස්වනවා කියන එකත් ලොකුම පිනක් කියලයි මම දකින්නේ. නිරූපණ ශිල්පිනියක් ගේ රුව බලලා දෙන ප්‍රතිචාර සහ ඔවුන් ඒ ඡායාරූප තුළින් විඳීම ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්නා අපට පමණයි කළ හැක්කේ කියලයි මම හිතන්නේ. රිද්මය හා නම්‍යශීලීත්වය මට මේ ගමනට ලැබෙන්නේ මම නර්තනය හදාරලා තියෙන නිසයි. මම අද වන විට නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් මේ ගත කරන්නේ දහවැනි අවුරුද්ද. මොන නිර්මාණ තිබුණත් මම කිසි දිනක නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත් වන්නේ නැහැ.
ගෙන්දගම් පොළොව පාගන විට මුහුණ දුන් අභියෝග එහෙම ඇති නේද?
ගොඩක් බාධකවලට නම් මම මුහුණ දුන්න චරිතයක්. ක්ෂේත්‍රයට ආපු මුල් කාලය ගොඩක් ප්‍රශ්න තිබුණා. විශේෂයෙන් ප්‍රදේශ වශයෙන් ඇතිවෙච්ච ගැටලු තමයි තිබුණේ. බොහෝ දුරට මම මගේ දේවල් තනියම තමයි කරගන්නේ අම්මලා තාත්තලාට බරක් නොදී ජීවත් වීම තුලයි මම ඒ වගේ දේවල් කරන්නේ. බාධක වලට මුහුණ දෙන්නට මම මගේ ආත්ම විශ්වාස හැම විටම ගොඩනඟා ගත්ත කෙනෙක්. අනුරාධපුරෙන් කොළඹට ආපුවාම ඒ පරිසරයට අනුගත වෙන්න ඕන, ඉන්න හිටින්න තැනක් හොයාගන්න ඕන, මේ දේවල් නම් මට ලොකුවට බලපෑවේ නැහැ. දැනට කොළඹ පදිංචි වෙලා ඉන්න මගේ ඥාති අක්කා කෙනෙක් ළඟ. ඇයගේ ස්වාමියාගෙන් හා දරුවන්ගෙන් ලොකු සහයෝගයක් මේ වනවිටත් මට ලැබෙනවා. මේ ගෙන්දගම් පොළොව පය ගහලා දැන් මාත් අවුරුදු නවයක් ඉවර වෙනවා.අම්මයි තාත්තාගෙනුත් ඒ විදිහටම තමයි ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේ සිටියත් සහයෝගය ලැබෙන්නේ.
රංගන ශිල්පිනියක් ලෙස පා තැබීම ගැන මොකද හිතෙන්නේ?
ආපු ගමනත් එක්ක නිහතමානී සතුටක් විඳීනවා. රංගනයට පිවිසිලා අවුරුදු හතරක් විතර ඇති. ඩිලාන් අයියා තමයි මම මුලින්ම ටෙලි නාට්‍යයක් හරහා ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්නේ රංගන ශිල්පිනියක් හැටියට. ඒ විශ්ව ලංකා අයියගේ එන්කවුන්ටර් ටෙලිනාට්‍යයටයි. මේ ටෙලි නාට්‍යයෙන් පස්සේ මට විවිධ ආරාධනා ලැබුණා ටෙලි නාට්‍ය සහ සිනමා සඳහා. මේ දිනවල විකාශය වන සුපුන් රත්නායක අධ්‍යක්‍ෂණය කරන “ලලයි ලිලයි ලයි” ටෙලි නාට්‍යය ජීවගේ චරිතය හරහා තමයි මම ප්‍රේක්ෂකයන් වැළඳ ගන්නේ.
පිච්චි සහ කියාදෙන්න ආදරේ තරම්, ලොක්කි 2ක, ටෙලි නාට්‍ය ඔස්සේද මට හොඳ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. රංගන ජීවිතයට පැමිණීමත් සමඟ ජීවිතයේ ගොඩක් තැන් වල වෙනස්කම් කරන්නට සිදුවුණා. මම හිතන විදිහට ජීවිතේ හැලහැප්පීම් නැතුව ගමනක් යන්නත් බැහැ කියලයි. ඒ එන හැම දෙයක්ම සහ මේ කරන දේවල් සියල්ලම මම හරි ආසාවෙන් කරන්නේ.
මේ දවස්වල පාතාලයත් සමඟ තිබෙන ගනුදෙනුව මොකක්ද?
මේ දවස්වල ගොඩක් දෙනෙක් මට කතා කරනවා කන්ට්‍රැක් දෙන්න. ඒත් මම ඒ වෘත්තිය නොවන නිසා මම ගණන් ගන්නේ නැහැ. මම ඒ චරිතය ප්‍රතිනිර්මාණයක් පමණයි. මේ වන විට දිවයින පුරා සිනමා ශාලාවල ඒ ගින්දර පත්තුවීගෙන යනවා. උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ “ගිනි අවි සහ ගිණිකෙළි 2” සිනමා පටයේ පාතාලයේ සිටින බෝගහවත්තේ ලකීව මැරීමට දෙන කොන්ත්‍රාත්තුව බාරගෙන රංගනයේ යෙදෙන්නේ මමයි. ඒ නිසා තමයි මට මේ දවස්වල නිවනක් නැත්තේ මගේ දුරකතනයට. මේ සිනමා පටයේ මට ලැබුණ රංගනය සුවිශේෂී චරිතයක් ලෙසයි මම දකින්නේ. අධ්‍යක්ෂකතුමාගේ සිට එහි නිරත වුණු සියලූම දෙනා මට හොඳ සහයෝගයක් ලබා දුන්නා මේ චරිතය කරන්නට. ඉසුරු අයියා, ධනුක, මගේ චරිතය ගොඩනඟා ගන්නට හොඳ සහයෝගයක් වුණා. ඒ චරිතය නිරූපණය කරන විට රූපගත කිරීම් කරන අවස්ථාවේ අධ්‍යක්ෂතුමා සහ කැමරා අධ්‍යක්ෂක සමඟ තුන්දෙනෙක් හරි හතර දෙනෙක් හරි පමණයි සිටියේ. කිසිදු පුද්ගලයකු එය රූපගත කිරීමේදී ෆෝන් එකක් පවා ගේන්නට අවස්ථාවක් දුන්නේ නැහැ. එහිදී ලැබුණු ආරක්ෂාව කියල නිම කරන්න බැහැ.
ගිනි අවිය පත්තු කරන්නට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
අලුත් සිනමා පටයක් සඳහා උදයකාන්ත සර්ගේ තිර පරීක්ෂණ තියෙන විට මම සහභාගි වුණා. ඒ කාලයේදී තමයි සර්ව මම හඳුනාගන්නේ. ඊට ටික කලකට පසුව සර් මට කතා කරලා කියනවා සිනමාපටයක් කරනවා. ඒකෙ චරිතයක් තියෙනවා. ඒ චරිතයට මම තෝරගත්තා කියලා. ඒ හරහා තමයි මේ සිනමාපටයට මම සම්බන්ධ වෙන්නේ. මේ මම සර්ගේ දෙවැනි සිනමාපටයෙහි රඟපාන්න අවස්ථාව ලැබුණේ.
ඒ වාගේ චරිතයක් කරද්දී ඔබට මොනවගේ හැඟීමක්ද දැනුණේ?
මගේ චරිතේ හැටියට මට රඟපාන්නට තිබුණේ ඉසුරු අයියත් එක්ක. චරිතය ගැන පැහැදිලි කරද්දි පොඩි තිගැස්වීමක් තිබුණා. ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් සමඟ ආධුනිකයෙක් හැටියට මට අත්දැකීම් අඩු නිසා. සිනමාපට විසි හතක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂවරයෙකුගේ සිනමා පටයක රඟපානවා කියන එක නිසා. රඟපානකොට වැරදුණොත් බනීද කියන හින්දා හිත ඇතුළෙන් බය හංගගෙන හිටියා. ඒත් සර් කියා දුන්න විදිහට මම රංගනයේ නියැළුණා. පාසල් යන කාලයේ සිටම මට ලොකු හීනයක් තිබුණා උදයකාන්ත වර්ණසූරිය සර්ගේ සිනමාපටයකට රංගනයෙන් දායක වෙන්න. ගිනි අවි සහ ගිනි කෙළි හින්දා ඒ සිහිනය මට සැබෑ කරගන්නට අවස්ථාව උදා කරලා දුන්නා. මේ සිනමා පටය හරහා මම ගොඩක් අත්දැකීම් ලැබුවා ක්ෂේත්‍රයේ. මම චරිතයක් නිරූපණය කරන විට හැම වෙලේම හිතුවේ සැබෑ ජීවිතයට ඒ චරිතය ගෙන යා යුතුයි කියලයි. එහෙම වුණොත් ඒ චරිතයේ ඇය ජීවත් වෙනවා කියලා ප්‍රේක්ෂකයාට දැනෙනවා. ප්‍රේක්ෂකයා ඒ නිසා අද මගේ චරිතය ගැන කතා කරනවා. මේ චරිතය කරන්නට ප්‍රථම මම ගොඩක් චරිත අධ්‍යයනය කරා ඒ වගේ ඒ නිසා මට ඒ චරිතය කරන්නට පහසු වුණා කියලා මම හිතනවා. ටෙලි නාට්‍යයක හෝ සිනමා පටයක ජීවත්වන චරිතය තිර පිටපතේ සිටින චරිත පමණයි. ඒ ගැන අවබෝධයෙනුයි මම ඒ චරිතයට රංගනයෙන් දායක වුණේ.
ජීවිතය ප්‍රශ්න මතුවුණු වෙලාවේ සියලු දේවල් දාලා යන්න හිතුණද?
මා සමඟ ජීවත්වන සියලු දෙනාම මාව දාලා ගියත් මම යම් අරමුණක ඉඳලා කටයුතු කරනවා නම් ඒ අත ගහපු වැඩේ ඉවර කරලා තමයි මම ආපසු හැරිලා බලන්නේ. වැරදෙන්න හෝ හරියන්න කියලා මගේ ජීවිතේ මම තනියම ගත්ත තීරණ ගොඩක් හරි ගිහිල්ලා තියෙන්නේ.
මට හරි කියලා හිතෙන දේ මම හැමවෙලේම කරනවා. මට ඉක්මනට තරහ යන හිතුවක්කාර නපුරු චරිතයක්. ගොඩක් දෙනෙක් කියනවනේ ගේමකට බැස්සොත් ඒ ගේම ගහලා ඉවර කරලම තමයි පස්සෙ බලන්නේ කියලා. ඒ වගේම තමයි මමත්. මම ගොඩනඟා ගත්ත ඵබචදඤ එකක් තියෙනවා. මා ළඟින් සිටිය කවුරු මාව අතහැරලා ගියත්, කුඩා කාලයේ සිටම මගේ දේවල් මම කරගත්ත කෙනෙක් නිසා ඉස්සරහට තිබ්බ පියවර පස්සට ගන්න කෙනෙක් නෙවෙයි. ජීවිතයේ සියලු දෙනාම තනියෙන් ගත්ත තීරණය නිසා තමයි ඔවුන් සැබෑ ජීවිතයේ නැඟී සිටින්නේ. මම හැමවෙලේම තීරණය කරලා තියෙන්නේ මට මා පමණයි කියන දේ විතරයි. කිසිවකුට මුළු ජීවිත කාලයම අපිව බලාගන්න බැහැ. මගේ ජීවිතේ මම කිසි කෙනෙකුගෙන් යැපීමේ බලාපොරොත්තුවක් නැහැ. මම ගොඩනඟාගන්න දේ ඉදිරියට ගෙන යෑම තමයි මගේ මුක්තිය පරමාර්ථය වෙන්නේ. ඒ නිසා තනියෙන් ජීවිතය ගෙනියන්න අපි යම් දෙයක් කර ගන්න ඕන. මගේ ජීවිතේ මම හිතුවක්කාර හින්දා වැටුණ තැන් එමටයි. ඒත් ඒ වැරදිලා ගත්ත තීරණ හින්දා හරි ගිය අවස්ථා බහුලයි. සමහර විට අපේ දෙමව්පියෝ සහ අවට ඉන්න ඥාති හිතෛෂීන් අපි දිහා බලන කෝණද වෙනස් වෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් ගන්න තීන්දු තීරණ වෙනස් වෙන්න පුළුවන්.නමුත් මම ගන්න තීන්දු තීරණ වැරදි වෙන්නත් පුළුවන්. මගේ ජීවිතේ මම සියලු දෙනා කියන දේවල් අහල හොඳට අවබෝධ කරගන්න කෙනෙක්. ඒත් මගේ ජීවිතේ අයිති මට නිසා මම ගන්න තීන්දු තීරණ තමයි මම ක්‍රියාත්මක කරන්නේ.
සමාජයේ ජීවත් වන මිනිස්සු කියන කතා තමාට අදාළ නැත්නම් කිසි විටෙක භාරගන්න ඕන නැහැ. මම මගේ පෞද්ගලික ජීවිතේ ගත්ත තීන්දු තීරණ වැරදිලා තියෙනවා. තරුණයෙකු සහ තරුණියක් අතර ඇතිවන ආදර සම්බන්ධතා වලදී බලාපොරොත්තු වුණු ප්‍රතිඵලය නෙවෙයි අවසානයේදී ලැබුණේ. මගේ ජීවිතය මම කිසිදු අවස්ථාවකදී ඒ මත යැපිලා හඬ හඬා ඉඳපු කෙනෙක් නෙවේ. මම අනිත් මිනිස්සු වගේම සංවේදී හිතක් තියෙන මනුස්සයෙක්. එනිසා ඒවා විඳ දරාගෙන ජීවිතය ගෙනයාම තමයි අපේ ඉලක්කය කරා යෑම කියන්නේ.
ගිනි අවි සහ ගිනිකෙළි 2 කට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මේ සිනමා පටය ලංකාවේ තිරගත වෙන්න කලින් ඕස්ට්‍රේලියාවෙ තිරගත වුණා. ඒ සිනමා පටය බලපු ගොඩක් දෙනෙක් මට කතා කරලා හොඳ ප්‍රතිචාර ලබා දුන්නා රංගනය වෙනුවෙන්.මම දන්නෙම නැතුව ඕස්ට්‍රේලියාවේ සහ ඉතාලියේ ජනප්‍රිය චරිතයක් බවට මම පත්වුණා. පස්සේ තමයි මම දැනගත්තේ මේ සිනමාපටය ඒ රටවල් දෙකේ තිරගත වුණා කියලා. මේ වන විටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා සිනමා පටය නරඹපු සියලූම හිතමිතුරන්ගෙන්. මීට ප්‍රථම මම කරපු රයිඩර් සිනමා පටයටත් ඒ වගේම ප්‍රතිචාර ලැබුණා.ඉදිරියේදී උදයකාන්ත සර්ගේම සාජන්ට් පුංචිසෝම සිනමා පටය තිරගත වෙනවා. ඒ එන විටත් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා මම හිතනවා.
ඔබ ප්‍රේමවන්තියක්ද?
මොන ප්‍රශ්න ආවත් මම ඇත්තටම ප්‍රේමයෙන් ජීවත් වන චරිතයක්. මේ වන විට මගේ පෙම්වතාගෙන් මට ලැබෙන සහයෝගය කියල නිම කරන්න බැහැ. ඔහු තමයි මගේ හොඳම ආරක්ෂකයා ලෙස මම දකින්නේ. ක්ෂේත්‍රයේ සහ මම කරන වැඩ ගැන හොඳ අවබෝධයෙන් මට මගේ පිටුපස්සේ සිට හැම මොහොතකම රැඳී සිටිනවා. ඔහු දකුණේ ජීවත්වෙන ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. තව ටික කාලයකදි අපි දෙන්නම දැක ගන්න පුළුවන් ඒ විවාහයේදී
මේ ආපු ගමන ගැන ආපස්සට හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?
දෙපාරක් නොසිතා එකෙන්ම කියන්නේ මාර සතුටක් මගේ ජීවිතේ මම ලැබුවේ. ජීවිතේ ගැන කියන්න වචන මට ඉතුරු වෙලා නැහැ. මේ ගමන එන්න මම ලොකු කට්ටක් කෑවා. ජීවිතය සතුටු උණාට වැඩිය අඬපු වාර කඳුළු පිස දමපු වාර ගාන කියන්න බැහැ. නිරූපණ ක්ෂේත්‍රය නම් මට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා නැහැ. රංගන ජීවිතය නම් මට එහෙම කියන්න බැහැ. මේ ක්ෂේත්‍රයේ ජීවත් වෙනවා කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කොයි වෙලාවේ කැපෙයිද කියලා හිතාගන්න අමාරුයි.නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම රංගන ජීවිතයේ කතන්දර හැදෙන හා මඩ ගහන ප්‍රමාණයද වැඩියි. විදේශීය රටක වාගේ මේ ක්ෂේත්‍රයේ හොඳ පිළිගැනීමක් නැහැ. අපි හරි පඩි පෙළේ නැංගත් අපිත් වැරදි පඩි පෙළේ නැංගගානට තමයි ගොඩක් දෙනෙක් අවබෝධ කරගන්නේ. දක්ෂතාවයන් නොමැති ගොඩක් දෙනෙක් එවැනි වටපිටාවක් ක්ෂේත්‍රය තුළ ඇති කරගෙනයි තියෙන්නේ. නවකයන්ගෙන් ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන දේවල් වැඩියි. අපේ රටේ සමහරුන් බලන කෝණ අපිට වෙනස් කරන්න බෑ ඒ නිසා. මට සිදුවුණු හැම දෙයක්ම ජීවිතයේ අත්දැකීම් කියලා හිතලා. ඊළඟ පියවර නිවැරදිව හිතන්න පටන් ගන නිවැරැදි අවබෝධයෙන් ගමනක් යන්නයි මම හැම වෙලේම උත්සාහ කරන්නේ. ගල්වලට පස් යටවෙනවා. නමුත් මම කවදාකවත් පස්වෙන්න කැමැති නැහැ. ඒ නිසා ඉදිරියේදී හොඳ නිර්මාණ ටිකකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් සිනමාපට කිහිපයකට සහ ටෙලි නාට්‍ය කිහිපයකටද කතා කරලයි තියෙන්නේ. මේ ගමනට උදව් කරපු සියලු දෙනාටම මම ස්තූති පුද කරන අතර තමන් කෙළින් හිටගත්තොත් කිසිවකුට ඇද දමා පාගන්න බැරි බව තේරුම් ගන්න ඕන කියලා අවසාන වශයෙන් කියනවා.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න