Home » මේ රටේ ‘ඔපෙ‍ෙරටා’වක් බිහිවන්නේ පළමු වතාවට

මේ රටේ ‘ඔපෙ‍ෙරටා’වක් බිහිවන්නේ පළමු වතාවට

ගායන ශිල්පිනී ඉන්දිකා උපමාලි

by Thanushika
February 6, 2025 10:42 am 0 comment

වයස අවුරුදු පහළොවේදී මාලිනී බුලත්සිංහ මහත්මියගේ මඟපෙන්වීමෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගුරු ඇසුරේ හැදි වැඩුණු ඈ ගායිකාවක, රංග ශිල්පිනියක ලෙස මේ මහා කලා කෙතේ බොහෝ ඉසව් ස්පර්ශ කරනු ලැබුවේ රංග ශිල්පිනියක ගායිකාවක වශයෙනි. ආචාර්ය කේමදාසයන් මානසවිල, දොරමඩල, වර්ණදාසි, අග්නි ඔපෙරාවන්හි දක්ෂතා කදිමට විදහාලු ඈ ටෙලි නාට්‍ය, චිත්‍රපට වේදිකා නාට්‍ය රංගනයන් ඔස්සේ රංගනයෙන් ගායනයෙන් මෙරට ප්‍රේක්ෂකයන් අතර ජනාදරය දිනාගනු ලැබුවාය. ධවල කේතු ඇගේ ටෙලි නාට්‍ය රංගනයේ තිඹිරිගෙය වූවාය.

ඉන්පසු එකකුස උපන් එවුන්, මල් පිපී දැයි බලන්න, අනෝරා, දියසිතුවම් ආදී ටෙලි නාට්‍ය රැසක් වෙනුවෙන් ඇගේ රංගනයන් එක් වුයේ පුංචි තිරය ප්‍රේක්ෂක නෙත තමන් වෙත නතුකරගනිමින්. රෝමය ගිනි ගනී, බිම්බා නම් වූ යශෝධරා ආදී වේදිකා නාට්‍ය කිහිපයකට රංගනය එක් කළ ඈ භේරුණ්ඩ පක්ෂියා, අංජලිකා චිත්‍රපට සඳහා ගායනයෙන් දායකවෙමින් චිත්‍රපට පසුබිම් ගායනයට ද එක් වූවාය. රෝයි ද සිල්වාගේ සැළමුතු පින්න චිත්‍රපටය සඳහා ගායනයෙන්, නර්තනයෙන් රංගනයෙන් එක්වෙමින් සිනමා නිර්මාණයන් සඳහා ද දායකත්වයක් එක්කරනු ලැබුවාය. ගායනයෙන් රංගනයෙන් කලා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් පෑ ඈ කලක පටන් තමන් ලැබු දැනුම ගුරුවරියක ලෙසින්ද තම ශිෂ්‍ය ප්‍රජාව වෙත දායාද කරනුයේ ද නිර්ලෝභීයවය. මේ වනවිට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන ඈ නමින් ඉන්දිකා උපමාලි.

දරුවන්ගේ කලාකුසලතා ඉදිරියට ගෙන යාමේ අරමුණින් තමන්ගේ ආර්ට් සවුන්ඩ් ඇකඩමියේ දරුවන් හා එක්ව නිර්මාණය කළ අඳලිහිණි ඔපෙරෙටා මංගල දර්ශනය ඉකුත් 25 වැනිදා සවස කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එළිදක්වනු ලැබිය.

ඉන්දිකා අලුත් නිර්මාණයක් සමඟ යළිත් කරළියට ඇවිත් වගේ?

ඔව් මම ලාංකේය ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් අරන් ආවා. ඔපෙරෙටා මේක ඔපෙරාවක් නොවෙයි. ඔපෙරෙටා, කියන්නේ සංගීත ශානරයක් මේ තුළ තියෙන්නේ ඔපෙරා ගායන ශෛලියමයි. නමුත් ඔපෙරාව සඳහා සහභාගි වන තරම් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වන්නේ නෑ. ඊට වඩා කෙටි රංගක්‍රමවේදයක් තමයි ඔපෙරෙටා තුළ තියෙන්නේ. ලංකාව තුළ පළවෙනි වතාවට තමයි ඔපෙරෙටා සංගීත ශානරය ඇතුළේ ප්‍රසංගයක් මම ඉදිරිපත් කරන්නේ ලංකාව තුළ පළවෙනි වතාවට ඉදිරිපත් කරන ඔපෙරෙටාව මම නම් කරල තියෙන්නේ අඳ ලිහිණි ඔපෙරෙටා කියල

ලංකාව තුළ ඔපෙරෙටා සංගීත ශානරයෙන් නිර්මාණයක් බිහිකරන පළමු නියමුවරිය ඔබද?

ඔව්ි මීට කලින් කේමදාස මාස්ටර් කළේ ඔපෙරා. ඇත්තෙන්ම සම්භාව්‍ය ඔපෙරාවක් කියන්නේ පැය දෙක තුනක දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වන රඟදැක්වීමක් එය තුළ යම් කිසි දීර්ඝ කතාපුවතක් තියනවා. විශාල සින්ෆනි වාදක මණ්ඩයක් ඉන්නවා. වාද්‍ය සිම්ෆනි මෙහෙයවන පුද්ගලයෙක් ඉන්නවා. නමුත් ඔපෙරෙටා කියන්නේ ඔපෙරා සංගීත ශානරයෙන් බිදී ආපු ඊට වඩා කෙටි රංගකාර්යක් හැබැයි ඔපෙරෙටා තුළ තියන ගායනය රංග කාර්ය ඔපෙරාවලට සමානයි. ඔපෙරෙටා තුළ තියෙන්නේ හුදෙක් මිනිස්සුන්ට වෛවර්ණ කතාපුවතක්. ඒක තව විධියකින් කිව්වොත් විවිධ ඔපෙරාවල විවිධ රංගනයන් එක තැනකට අරන් වේදිකාවක් රඟ දැක්වීමක් තමයි මේ තුළ සිද්ධ වෙන්නේ. විනාඩි දෙක තුනක හතරක පහකට කැටි වූ ගායනය, රංගනය, නර්තනය ඇතුළු සියලු දේ මේ තුළ අන්තර්ගතව තියනවා. ඔපෙරාවේ වගේම මිනිස් කටහඬ ඔපෙරෙටාවලත් ප්‍රධාන සාධකය වෙනවා.

මෙවැනි කටයුත්තකට ඔබ මුල පුරන්න හේතුව ?

ඔපෙරෙටාවල තියන විශේෂත්වය තමයි අපේ ලංකාවේ ගීතයක් ගත්තහම අපේ ඔළුවේ තියෙන්නේ සරල ගීතය කියන දේනේ. ලංකාවේ අලුතින් ශානර බිහිවෙන් නෑ. විශේෂයෙන් සංගීත ශානර තියෙන්නේම සරල ගී ශානරම තමයි. ඉතිං මට අවශ්‍ය වුණා, අලුත් සංගීත ශානරයක් බිහි කරන්න විශේෂයෙන් ලංකාවේ ආචාර්ය කේමදාසයන්ගෙන් පස්සේ ඔපෙරා කියන සංගීත සම්භවය පවත්වාගැනීම අසීරු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මියුසික් කන්ඩක්ටර්ස්ලා නෑ. මියුසික් කම්පෝසස් ලා නෑ. සංගීත අධ්‍යක්ෂවරු ඉන්නවා නමුත් මියුසික් කම්පෝසට ඊට වඩා ලොකු කාර්යභාර්යක් තියනවා. ඊළඟ ප්‍රබලම සාධකය තමයි ඔපෙරා ගායන ශෛලිය හදාරල එය නඩත්තු කරන ගායන ශිල්පීන්ගේ අඩුවක් තියෙනවා. එවැනි ගායන හැකියාව තියන අය හිටියත් ඔපෙරා ගායන කලාව වෙනුවෙන්ම වෙන්වෙලා ඉන්න පිරිසක් ලංකාව තුළ නෑ. මම වුණත් පෞද්ගලිකව වෙනත් ගායනාත් කරපු කෙනෙක් දැන් තමයි මම එතැනින් ගැලවිලා ඉන්නේ.

ඉන්දිකා අද වෙනකොට ගැලවිලා ඉන්නවා කියල අදහස් කළේ?

මම විශ්වවිද්‍යාල ආචාර්යවරියක් හැටියට අද දකිනවා අලුතෙන් එන කුඩා දරුවාගේ ඉඳල ඔවුන්ව හදන ප්‍රධාන සාධකය වෙලා තියෙන්නේ රියැලිටි වැඩසටහන්. ඒක ඇතුළේ ළමා පරම්පරාව හා තරුණ ප්‍රජාව ගීතයට යොමුවෙනවා හැරෙන්න එයින් එහාට ලෝකයක් දකින්නෑ. තව දෙයක් සිදුවෙනවා ඔවුන් විසින් රීමික්ස් කර කර සරල ගීතම කර කර ඉන්නවා. හැරෙන්න අද අලුතින් බිහිවුණු ගීතයක්වත් නෑනේ මතකයේ රැදුණු මම මෙතනින් ගැලවිලා ඇවිත් කියල අදහස් කළේ ඔය කාරණය වෙනුවෙන් මම පෙනී සිටිනවා කියන එක. ලංකාවේ ඔපෙරා ගායනය සහ ලංකාවේ ඔපෙරා ගායන ශිල්පීන් වෙනුවෙන් ඉඩක් හදල දිල තියනවා මගේ ආර්ට් සවුන්ඩ් ඇකඩෙමිය හරහා. ඔපෙරා ගායනය හැදෑරීමට කැමති කුඩා සහ තරුණ වැඩිහිටි අය වෙනුවෙන් පාසලක් මම ආරම්භ කරල තියනවා. ඒ තුළින් මම බලාපොරොත්තු වෙන්නේ ඔපොරා කලාව නඩත්තු කිරීමක් ඔපෙරා කලාවටත් වඩා ඔපෙරා කලාව ප්‍රගුණ කරන්න කැමති ශිල්පීන්ට මඟක් විවර කිරීම තමයි මගේ අරමුණ.

ආචාර්ය කේමදාසයන්ගේ ඔපෙරා නිර්මාණයන්හි ප්‍රධාන පෙළේ ඔපෙරා ගායිකාවක වූ ඉන්දිකා එතුමන්ගේ අභාවයත් සමඟ එයින් බැහැරව වෙනත් ගීත ගායනයේ නියැළී කාලෙකට පස්සේ නැවතත් ඔපෙරා කලාවේ පෙනී සිටිනවා කියන එක ද මේ කියන්නේ?

2008 වසරේ තමයි ආචාර්ය කේමදාසයන් මියයන්නේ මම ආර්ට් සවුන්ඩ් ඇකඩමිය පටන් ගත්තේ 2009 වසරේ. නමුත් මම හදිස්සි වුණේ නෑ. කේමදාසයන්ගේ නික්ම යාමත් සමඟ ඔපෙරාවක් හෝ ඔපෙරෙටාවක් නිර්මාණය කරන්න. මම ඒ වෙනකොට දැනුමෙන් ශිල්පීය අතින් සන්නද්ධ වෙලා හිටියේ නෑ. මම ආචාර්ය කේමදාසයන්ගේ උගත් ශිල්පිනියක් පමණයි. බටහිර ගායනය හදාරන ලද ඔපෙරා ශිල්පිනියක් විතරයි. මම ඒ වෙනකොට ගුරුවරියක් වෙන්න සුදුසුකම් ලබල තිබුණේ නෑ. එදා සිට මේ දක්වා මම මේ පිළිබඳ පර්යේෂණකොට මේ පිළිබඳ දීර්ඝ වශයෙන් අධ්‍යයනයනවල නිරත වෙමින් ලබාගත් අත්දැකීම මත තමයි මට නිර්මාණයක් කිරීමේ අදහසට ආවේ. මම මාස්ටර් උපාධියට කළේ ආචාර්ය කේමදාසයන්ගේ ඔපෙරාවේ ගායන ශෛලිය ලංකාවේ සිංහල භාෂා ඔපෙරාවේ ගායනවේදය මෙතෙක් කාලයක් මම කළේ පර්යේෂණයේ නිතරවෙමින් ළමයි සමඟ එකතු වී කුඩා කුඩා පර්යේෂණයේ නියැළෙමින් ඒ පර්යේෂණය තුළ ශිල්පිය මට්ටමින් ළමයින් එකතු කරගැනීම මම සොයාගත්ත දෙය තමයි ලංකාව තුළ ප්‍රධාන වශයෙන් මේ තියන සමාජ සන්දර්භය ඇතුළේ දේශපාලනික ආර්ථික හා සමාජීය වටපිටාව තුළ විශේෂයෙන්ම මධ්‍යම පාන්තික දරුවන්ගේ පන්ති පරතරය තුළ ඔපෙරා කලාව නඩත්තු කිරීම අපසුයි කියනදේ.

අනික් දේ තමයි ඔපෙරා කලාවට ලංකාව තුළ හොඳ මාර්කට් එකක් හැදිල නෑ. හදාරන්න එන ළමයි වුණත් කටහඬ ප්‍රගුණ කරගෙන මෙයින් එළියට යනවා. මිසක් ඔපෙරාවක් වෙනුවෙන් පෙනී සිටීමක් කරන්නේනෑ.

ආචාර්ය කේමදාසයන්ගේ අභාවයත් සමඟ ලංකාවේ ඔපෙරා කලාව අභාවයට ගියාද?

එතුමන්ගේ අභාවය සිදු වී යම් කාලයක් යනකම් ලංකාව තුළ ඔපෙරා කලාව දකින්න තිබුණේ නෑ. නමුත් ඊට පසුව සාගර විජේසිංහ ‘තරණ’ කියලා ඔපෙරාවක් කරමින් පර්යේෂණ මට්ටමක නියැළියා. ඔහු තමයි මාස්ටර්ගෙන් පසු ඔපෙරාව ගැන නැවත හඬ අවධි කිරීමක් කරන්නේ. ඊටපසු මාස්ටර්ගේම ගෝලබාලයෝ කුඩාකුඩා කණ්ඩායම් විධියට ඔපෙරා කලාව ඉදිරියට ගේන්න උත්සාහයක නියැළියා. ආචාර්ය කේමදාසයන්ගේ දියණිය ගයත්‍රි කේමදාස පුලාන් දේවි ඔපෙරාව විදෙස් රටක ප්‍රදර්ශනය කළා. ලංකාවේත් ඇය එයින් කුඩා කොටසක් රඟදැක්වුව ජැෆනා මියුසිකල් ෆෙස්ටිවල් වලදි මමත් එහි චරිතයක් රඟපෑවා. ආචාර්ය කේමදාසයන්ගේ දියණියන් හා ගෝලබාලයෝ මේ කාර්ය නතර කරල නෑ පවත්වාගෙන යනවා.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඔපෙරා කලාවට ශිෂ්‍ය ප්‍රජාව යොමුවීමක් දකින්න නැද්ද?

සෞන්දර්ය විශ්වවිද්‍යාලය වගේම අනෙකුත් අධ්‍යාපන ආයතනයන්හි බටහිර සංගීතය ගායනය හදාරන ශිෂ්‍ය ප්‍රජා වගේ විෂය නිර්දේශයට මේ වනවිට ඔපෙරා කලාව ඇතුළත් කරලා තියනවා. මේ කාර්යට මුල්වෙලා පෙරමුණගත්තෙත් ආචාර්ය කේමදාසයන්ම තමයි. අද අපිට දකින්න තියනවා ශිෂ්‍ය ප්‍රජාව තුළිනුත් මේ සඳහා ලොකු උනන්දුවක් ගොඩනැගිල තියනවා කියලා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් ඔපෙරා කලාව තුළ කටහඬ හදාගෙන නික්ම යනවා හැරෙන්න නිර්මාණයන් වෙත නොයනවා කියල ද ඔබ කියන්නේ?

ඔව්. මොවුන් පවා කරන්නේ කටහඬ හදාගෙන මෙයින් බැහැර වී සරල ගී ගායනයේ නියැළීම

එවැන්නක් නොවෙන්න තියන වැඩ පිළිවෙළ මොකක්ද?

මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරනවා පාසල් අධ්‍යාපනයටත් ඔපෙරා කලාව තිබිය යුතුයි කියලා. ලෝකයේ වෙනත් රටවල දකින්න තියන දෙයක් කුඩා දරුවන් ඔපෙරා හවුස් ඔපෙරා ප්‍රසංග පෙන්වන්න කැඳවාගෙන යාම. ඔපෙරා ශිල්පීන්ව මුණ ගැස්වීම කරනවා. මම ඔපෙරෙටා කලාව කියන දේ කළත් අපේ රටේ තවම දීර්ඝ ඔපෙරාව තියෙන්නේ මුලික මට්ටමේ. භාෂාවයි සංගීතයයි එකතුවෙන තැන එක පාරටම අපිට ලොකු පිම්මක් පනින්න පුළුවන් තැනක් නොවෙයි.

ඇයි ඔබ ඔපෙරෙටා සොයා යාමක් සිදුකර ඔපෙරාවක් සොයා නොගියේ?

අපිට හිතුමතේ ඔපෙරාවක් කරන්න පුළුවන්කමක් නෑ. දැන්ම මම ඔපෙරාව කියන දේට අත තියන්න කැමති නෑ. මම හිතනවා ශිල්පීය මට්ටමෙන් ලංකාවේ සිංහල භාෂිය ඔපෙරාවක් ගොඩනගන්න පුළුවන් තාක්ෂණවේදය මම ඉගෙන ගෙන කටහඩේ තියෙනවා. නමුත් ලෝකයේ තියන ඔපෙරා කියන මහා සංස්කෘතිය තුළ ශිල්පීන් ගණනාවක් ඉන්නවා. මියුසික් කොම්පෝසර් මියුසික් කන්ඩක්ටර්, පෙළ රචකයා රංග වින්‍යාසකරුවෝ ඇතුළු බොහෝ දෙනෙක් ලෝකයේ ඔපෙරා කලාව තුළ ඉන්න ඊළඟ අයිතිකරුවා තමයි හඬ තාක්ෂණවේදියා විවිධ රටවල විවිධ ඔපෙරාවන් කියන කොට මුලික කාරණය භාෂාව. ඉතාලි භාෂාව විශේෂයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රංශභාෂාව ප්‍රගුණ කරන්න ඕනේ ජර්මන් භාෂාව ප්‍රගුණ කරන්න ඕනේ. ඒ ඒ භාෂාවන් වල ඔපෙරාවල තියන ලාක්ෂණික ගුණ මොනවාද කියල අවබෝධයක් තිිබිය යුතුයි.

ලංකාව තුළ ඔපෙරාවක් කරනවා නම් සිංහල භාෂිය ඔපෙරාවක් ගොඩ නගන්න තනනවා නම් සිංහල භාෂාවේ තියන රිද්ම රටා පිළිබඳ අපිට අනන්‍ය වන සංඥාර්ථ ඔස්සේ තමයි අපි හදාගන්න ඕනේ. අපි සොයා ගත යුතු වෙනවා අපේ ඔපෙරා එක ඇතුළේ ඔපෙරා ගායන වේදයේ තියන තාක්ෂණවේදය ආරක්ෂා වෙන ගමන්ම අපේ භාෂා සංඥාර්ථයනුත් ආරක්ෂා කරගන්න. ඒකට සිංහල භාෂාවේ ඇති සංඥාර්ථයන් වගේම ලංකාවේ සංගීතයේ තියන සංඥාර්ථය පිළිබඳවත් අපි හැදැරිය යුතුයි. බටහිර සංගීතයේ බටහිර ඔපෙරාවේ තියන සංඥාර්ථයන් පිළිබඳවත් අපි හඳුනා ගැනීමක් කළ යුතු වෙනවා.

ඔබේ හැදෑරිම් අනුව අසා ඇති දේ අනුව ලෝකයේ දියුණුම ඔපෙරා කලාවක රැඳිල තියෙන්නෙ මොන රටවල ද?

ඔපෙරාවේ බලඅධිකාරිය පවත්වාගෙන ගියේ ඉතාලිය ඉතාලි භාෂාවේ අවියෝජනීය සබඳතාවයන් අදටත් තියනවා ඔපෙරාව සමඟ.

සිංහල භාෂාව පදනම් කරගත් ඔපෙරාවක් නිර්මාණය කිරිම තුළ වුණත් ඉතාලි භාෂාවේ නැඹුරුව අවශ්‍ය සාධකයක්?

ඔව්. පටන් ගැනීමේ සිට අවසානය දක්වා බෙල් කාන්තේ සිඟින් ස්ටයිල් එක මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා.

ඔපෙරා සංගීතය ප්‍රගුණ කරන්න තියන අභ්‍යාස ක්‍රමවේදයන් තුළ තියනවා පළමු අභ්‍යාසයේ සිට අවසාන අභ්‍යාසයන් දක්වා සමස්ත ශරීරයම කටහඬ උත්පාදනය සඳහා යොදා ගැනීමක් ඔපෙරා ගායනයේ තියන විශේෂත්වය තමයි ශ්වසනයත් එක්ක තියන බැඳීම.

ඔපෙරා ගායනය තුළ නියළිය යුතු කාලවකවානුවක් තියනවද?

ඒකට මම මෙහෙම උත්තරයක් දෙන්නම් ඔලිම්පික් ක්‍රීඩකයකුට ක්‍රීඩා කරන්න පුළුවන් යම් කිසි කාලයක් තිබේද ඔපෙරා ශිල්පියෙකුටත් ඒ වගේ කාලයක් තියනවා. අපේ රටේ වගේ සරල ගීත වයස අවුරුදු අසුව අනුව වෙනකන් ගායනා කරනවා වගේ ඔපෙරා ගායනය තුළ රසික රසිකාවන් රවට්ටන්න බෑ.

ඔපෙරා ශිල්පියෙක් ගේ වයස් සීමාව සීමා විය යුත්තේ කොපමණ කාලයකින් කියලද ඔබ අදහස් කරන්නේ?

අඩුම තරමින් අවුරුදු හැටෙන් ඔහු ඒ කලාවෙන් විශ්‍රාම ගත යුතුයි. ඊට පස්සේ ඔවුන් බොහෝ විට කරන්නේ මාස්ටර් ක්ලස් කිරීම.

ඔබේ අද ලිහිණි ඔපෙරෙටාව රටපුරා රැගෙන යන්න අදහසක් තියනවාද?

කුවේණි සහ ඇඳලිහිණි කියන ඔපෙරෙටාවන් කොටස් දෙක විනාඩි දහය දහය වශයෙන් කුඩා කොටස් දෙකක් වශයෙන් තියනවා. මෙහි කුවේණි නිර්මාණයේ පෙළ රචකයා වන්නේ ජයන්ත චන්ද්‍රසිරි මහතා අද ලිහිණි නිර්මාණයේ පෙල රචකයා වන්නේ එරික් ඉලයප්පආරච්චි මහතා. මගේ ලොකුම බලාපොරොත්තුව දැනට ආරාධනා ලැබිල තියන පරිදි ලංකාවේ තැන් කීපයකම ප්‍රදර්ශනය කිරීම ඒ වගේම විදෙස් රටවල පදිංචි අපේ රසික පිරිස් සඳහා විදෙස් රටවල ප්‍රදර්ශනය කිරීම දැනටත් මට ඔස්ටේ‍්‍රලියාවෙන් ඉතාලියෙන් ආරාධනා ලැබිල තියෙනවා ඒ රටවල ඉන්න අපේ සිංහල පවුල්වල දරුවන් සමඟත් මේ නිර්මාණ කරන්න එන්න කියලා මගේ ලොකු ආශාවක් බලාපොරොත්තුවක් තියනවා සිඩ්නි ඔපෙරා හවුස් වල මගේ මේ ඔපෙරෙටා රඟදැක්වීමට මගේ කණ්ඩායම රැගෙන යන්න.

ඔපෙරෙටා ශානරයේ වැඩක් ලංකාව තුළ කරන්න ඔබ අදහස් කළේ?

ඔපෙරෙටා අපේ ප්‍රජාව තුළට යායුතු නිසා ඔපෙරා නඩත්තු කිරිම ලංකාව තුළ අමාරු කාර්යක් නමුත් ඔපෙරෙටා කිරීම එතරම් අමාරු කාර්යක් නොවෙයි. ඔපෙරාවල ගුණය තියන කෙටි අංග ඇතුලත් ඔපෙරෙටා දහ පහළොස්දෙනෙක් ගේ ඔකෙස්ට්‍රා එකකින් අපිට පෙන්වන්න පුළුවන්. මේ ප්‍රසංගය තුළට මම නාඩගමෙන් ඔපෙරාවට කියල දේකුත් කරනවා. නාට්‍ය ගීත කීපයක් අරන් අපේ නාඩගම් ශෛයිලියේ ඉඳල ඒක ඔපෙරාවක් දක්වා වර්ධනය වන විධිය කෙටි කොටස් කීපයකින් පෙන්වීමක් කරනවා. තවත් නිර්මාණකාර්යක් තියනවා. ග්‍රැමෆෝන් ගීත මේ හැමදෙයකින්ම මම උත්සාහ කරන්නේ ඔපෙරෙටා කියන ශෛලිය ඇතුළට ගේන්න අපිට එක පාරට ඔපෙරෙටා කියන ප්‍රසංගය ප්‍රේක්ෂකයාව නතුකරගන්න බැහැ. ඒ නිසා මගේ සරල ගීත කුඩා දරුවන්ගේ සරල ගීත කිහිපයකුත් ඔපෙරෙටා කියන ශානරය ඇතුළේ ගායනා කරනවා. සමස්ත ප්‍රසංගයම පැය දෙකකට ආසන්නව දිග හැරෙනවා.

කාලයක් වියැකී තිබු ඔපෙරා කලාව නැවත ගෙන ඒමට උත්සාහ කිරීම තුළ ඔබට රසික ප්‍රජාවක් ගොඩනගාගන්න. පහසුවෙයි කියල අදහස් කරනවාද?

ආචාර්ය කේමදාසයන්ගේ ආභාවයෙන් පස්සේ 1990 පටන් කේමදාස පදනම ආරම්භ කර 2008 වෙනකන් අඛණ්ඩව පවත්වාගෙන ගියා මේ පදනම තුළට විවිධ පළාත්වල ගම් පළාත් වල සිටින පිරිස් ඇවිත් ඉගෙන ගැනීම සිද්ධ කළා. කේමදාසයන්ගේ ගෝලබාලයෝ වුණු සමන්ත පෙරේරා, නිහාරි වික්‍රමසිංහ මනීෂා විජේසිංහ, හර්ෂ බුලත්සිංහල, රෙඩ්ලි, මාෂල් ජනතා ඇතුළු මානවිල සිටි පිරිස් සියලු දෙනාට අවශ්‍ය වුණා එකතුවෙලා යම් නිර්මාණයක් කරන්න ඔවුන්ගේ දැනුම පදනම හරහා බෙදාහදාගත්තා. එවැනි යෝජනා වලියක් කේමදාස මහත්මියට හා දියණියන් දෙදෙනා වෙත යොමු කිරීමක් කළා. ඒත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. එහෙම ලැබුණා නම් 2009 වසරේ සිට මෙවැනි රිත්තක පරාසයක් නිර්මාණය නොවෙන්න ඉඩ තිබුණා. මම හිතනවා විවිධ විවිධ අය තුළ තිබු විවිධ හැකියාවන් එක තැනකට එකතු වුණා නම් ලොකු දෙයක් කරන්න තිබුණා කියලා.

කේමදාසයන් ගොඩනැඟූ ආරම්භය ඔවුන්ගේ උරුමක්කාරයන් ඉදිරියට ගෙන ගියේ නෑ කියල ද ඔබ කියන්නේ?

තාත්තාගේ උරුමයන් ඉතාම හොඳින් ආරක්ෂා කරමින් ජාත්‍යන්තර සම්මාන ලැබු සංගීතවේදිනියක වූ ගයාත්‍රි කේමදාස දියණිය අදටත් ඒ දේවල් නිර්මාණාත්මකව රැගෙන එනවා. කේමදාස මාස්ටර්ගේ ජන්ම දිනය යෙදිල තියෙන්නේ ජනවාරි මස 25 වැනිදා එදා ඔවුන් කොළඹ නාලන්දා ශ්‍රවණාගාරයේ ඉදිරිපත් කළා මාස්ටර්ගේ මදර් ඔෆ් ටයිම් කියන සිම්ෆනිය අපි එකට වැඩ කරනවාට වඩා බෙදිල වැඩ කිරීම තුළ විචිත්‍රත්වයක් තියනවා. මෙදිනම සාගර විජේසිංහ තරණ ඔපෙරාව සීගිරියේ රඟදැක්වුවා. මම කොළඹ බිෂොප් විද්‍යාලයේ අදලිහිණි ඔපෙරෙටාව කළා.

විශ්ව විද්‍යාල දරුවන් හා මෙවැනි නිර්මාණාත්මක කර්තව්‍යයකට ඔබ මුල පිරුවේ නැද්ද?

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික සංගීත අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය වරියක් වශයෙන් මම සේවය කළත් මට ඕනෙ විධියට අතපය දිග හැරල මගේ නිර්මාණ කාර්ය කරන්නට මට ඉඩ හරසර තියෙන්නේ මගේ ඇකඩමිය තුළ මම කැමැතියි විශ්වවිද්‍යාල මට්ටමින් මෙවැනි වැඩ කරන්න. විශ්වවිද්‍යාලය තුළ විෂය නිර්දේශයත් සමඟ දරුවෝත් අපිත් ඔට්ටුවෙනවා හැරෙන්න වෙන බාහිර වැඩක් කරන්න නිදහසක් නෑ විභාග වැඩ කටයුතුත් සමඟ ඒ වගේම ඉඩකඩ පහසුකම්වත් නෑ අපිට විශ්වවිද්‍යාලය තුළ මෙවැනි කටයුත්තක් කරන්න. බාහිර වැඩවලට ළමයි එනවට වඩා විෂය නිර්දේශවලට ඇතුළත් නම් විතරයි ළමයි මෙවැන්නකට එකතුකරගන්න පුළුවන්. හැබැයි මගේ ඇකඩමියේ විශ්වවිද්‍යාල ළමයි ඉන්නවා. ඔවුන් මේකට කැමැත්තෙන් එනවා. මගේ ඇකඩමියේ අවුරුදු හතරේ පහේ ළමයි ඉන්නවා. එහෙම ළමයි මම අරගන්න හේතුව මේ කලා රසඥතාවය ඔළුවට වැටෙන්න ඕනේ ඉතාම කුඩා කාලයේ සිටවිම.

අද වෙනකොට ඉන්දිකා උපමාලි ටෙලි නාට්‍ය චිත්‍රපට රංගනයෙන් ඈත්වෙලාද?

ටෙලි නාට්‍ය රංගනය ගැන මගේ බලාපොරොත්තුවක් නෑ. ඒ ගැන හිතන්නත් කාලයක් මට නෑ මේ තියන වැඩරාජකාරිත් එක්ක. නමුත් චිත්‍රපටයක මට ගැළපෙන විධියේ චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා. රඟපානවා කියන දේ මම සම්පුර්ණයෙන් අත්හැරල නෑ. ඒකට යටි හිතේ මා තුළ කැමැත්තක් තියනවා. සිනමා පැත්තෙන් පමණක්.

මාලිනි බුලත්සිංහලයන් ඔබව ප්‍රේමසිරි කේමදාසයන් ළඟට කැඳවාගෙන එන්නේ ඔපෙරාව හැදෑරිමට?

ඒ වෙන කොට මට වයස අවුරුදු දාහතරයි. නමුත් මගේ අත්දැකීම ඊටත් අඩු වයසකදී අපි ඒ සඳහා යොමුවිය යුතුයි කියල ළමයෙකුට ශිල්පය දුන්නට මදි. ඔළුවත් හදන්න ඕනෙ කියන දේ මගේ අත්දැකීම් පර්යේෂණ තුළ දැනිච්ච දෙයක්. ශිල්පය දුන්නා කටහඬ හැදුවා නමුත් මියුසික් පිලෝසොෆි කියන දේ ළමයින්ට දුන්නේ නැත්නම් කවදාවත් ඒ දරුවෝ තමන්ගේ කටහඬ පාවිච්චි කරන්නේ නෑ. අලුත් දේකට මම කියන්නෑ මෙතැනදි ඔපෙරාවම කරන්න ඕනෙ කියලා.

ඉදිරියේදීත් මෙවැනිම නිර්මාණයක් කිරිමේ බලාපොරොත්තුවක් තියනවාද?

මිළඟට මම කරන්න හදන්නේ ඔපෙරෙටාවක් නොවෙයි. ඔපෙරෙටා වෙන පැත්තක තියනවා. මම තරයේ විශ්වාස කරනවා. මනුස්සයෙක් වුණාම තමන්ට කැමැති ගීතයක් තමන්ට ඕනෙ විධියට ගායනා කරන්න හැකිවෙන්න ඕනෙ කියලා. ඒ නිදහස අනික් දේවල් වලටත් වලංගු වියයුතුයි කියලයි මගේ අදහස.

ලංකාව තුළ අද කලාව කොයිබට ද කියලද ඔබ හිතන්නේ?

අද හැදෑරීමකින් තොර නන්නත්තාර ගමනක් තමයි දකින්න තියෙන්නේ. කියන්න ඕනේ මොකක්ද නැත්තේ මොකක්ද තමන් එතන ඉන්නවද තමන්ගේ ආත්මය එතන තියනවද ඒ මොකුත් නෑ. හිස් ශිල්පීන් පිරිසක් නළියනවා. දඟලනවා. දෙකඩ කැඩිච්ච පණුවෝ වගේ දඟලනවා පේනවා. දැන් ඉන්න තරුණ පරම්පරාව හුදු විමෝදය පමණක් මුල්කොට.

කලාවේ අනාගතය නගාසිටුවීම අද ලොකු අභියෝගයක් නොවේඳ?

ලංකාවේ කලාව නඩත්තු කරනවා. කියන එක කරන්න බැරි වැඩක් කියලයි මට හැඟෙන්නේ. විනෝදාස්වාදය මිනිස්සුන්ගේ ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් කෙනෙකුට ශාස්ත්‍රීයව යමක් දෙනවාට වඩා මිනිස් හදවත්වලට ළංවෙන්න පුළුවන් සරලම ක්‍රමය විනෝදාස්වාදය ඇතුළේ තියෙනවා.

ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයේ රැදෙන්න ඔබේ ලොකු උත්සාහයක් නැති හැඩයි?

මම ඒ සඳහා උත්සහ කළා. මම සිංදු ලියවගෙන තියනවා. තනු දාගෙන තියනවා. නමුත් ඒවා කියවල බලපුවහම මට හිතෙනවා ඒවා ගායනා නොවෙයි කියලා. මම විසින් මාව පොලඹවන්නේ නෑ ඒක ඉස්සරහට අරගෙන යන්න. මට හිතෙනවා මට ඕනේ ඒ දේ නොවෙයි කියලා. අද ගායක ගායිකාව කියන දේ පවතින්නේ ගීතයේ තියන ගුණාත්මක භාවය මත නොවෙයි මාකටින් කියන එක ඇතුළේ.

හඬ පාලනය මැනවින් සිදුකළ කෙනෙක්ට ගීත ගායනයේ අතුපතර සොයායන්න වඩාත් පහසුයි නේද? විශේෂයෙන් ඔබ ඒ හඬ පාලනයේ ප්‍රවීණත්වයක් ලැබු කෙනෙක් මෙවන් පසුබිමක් තුළ ඔබට ඒ ඉලක්කය සපුරාලන්නට බැරිවෙලා තියෙන්නේ ඇයි?

මාකටින් කියන කෑල්ල මා ළඟ නැති නිසා මට ඒ අභියෝගය ජයගන්න බැරිවෙලා තියනවා. මම හැමවෙලාවේම හිතන්නේ මාකටින් කියන කොටස ශිල්පියෙක් හැටියට මට අයිති නැති දෙයක් කියලා ඇකඩමික් පැත්තට තමයි මගේ ලොකු ආශාවක් තියෙන්නේ.

ඉන්දිකා උපමාලි කේමදාස පදනමේ අඛණ්ඩව රැදුණු ශිල්පිනියක් නොවේද?

1989 සිට 2008 දක්වා ඒ පදනමේ එක දිගටම රැදිල හිටිය එකම ශිල්පිනිය මම. අනෙක් අය යම් යම් කාලවලදී වසරක් හෝ මාස ගණනක් පැමිණියේ නැති අවස්ථා තිබුණා. ආචාර්ය කේමදාසයන්ගේ මානසවිල, දොරමඬල, වර්ණදාසි, අග්නි ඔපෙරා හත රටම මම දායක වූ ශිල්පිනියක්.

ඔපෙරා හතරකට දායකත්වයක් ලබාදුන් තැනැත්තියක් වශයෙන් තවම ඔබ ඔපෙරා නිර්මාණයකට යන්න සුදුසු නෑ කියන්නේ ඇයි?

මට ඔපෙරා ගීත ගායනය ගැන හොඳ නොලෙජ් එකක් තියනවා. ඒත් මම මියුසික් කම්පෝසර් කෙනෙක් හැටියට. රචකයෙක් හැටියට තවත් යමක් ලබාගත යුතු වෙනවා. මම හිතන්නේ ලංකවේ තවදුරටත් ඔපෙරා පිළිබඳ කෙටි හැදින්වීමක් කරගෙන යන්න ඔපෙරෙටා තමයි සුදුසුම ශානරය කියල.

ඔපෙරාවක් කරන්න උත්සාහ කළේම නැද්ද?

කුවේණි මම කළේ ඔපෙරාවක් වෙනුවෙන්. නමුත් ජයන්ත චන්ද්‍රසිරි මහතාට තියන කාර්ය බහුලතාවය නිසා එහි රචනය ලියාගැනිම අපහසු වුණා. නමුත් ඒ සඳහා ඔහු රචනා කළ දෙයින් කොටස් වශයෙන් අරගෙන තමයි මම කුවේණි ඔපෙරෙටාව නිර්මාණය කළේ. දැන් මට දැනෙනවා කුවේණි අද ලිහිණි ඔපෙරෙටාවන් කිරිම තුළ මම ඔපෙරාවක් කිරිමේ තැන ඉන්නවා කියලා. ඊළඟ මගේ ප්‍රයත්නය ඔපෙරාවක් නිර්මාණය කිරීම. ඊට පෙර රසික ප්‍රජාවක් නිර්මාණය කරගැනීම සඳහා තමයි මම ඔපෙරෙටාවක් කරන්නේ.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT