-අධ්‍යක්ෂිකා විනෝෂා කිරිවන්දෙනිය
අංක තුන්සිය අනූව පොල්ගස් ඔවිට රූපවාහිනී ළමා සමාජය හරහා විධිමත්භාවයකින් යුතුව ඇය ළමා නිවේදිකාවක් වන්නට අවස්ථාව හිමිවිය. ඉන්පසු ළමා ඒකකයේ පුහුණු වන සහකාර නිෂ්පාදකවරියක් බවට පත්වන්නේය.අනතුරුව අධ්‍යාපන වැඩසටහන් අංශයේ නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කිරීමට ඇයට භාග්‍ය උදාවිය. විධිමත් නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන් රැසක් ඇය අතින් නිෂ්පාදනය විය. ඇය පළමුව ළමයින් වෙනුවෙන් කළ Music Video සඳහා 2016 වර්ෂයේ රාජ්‍ය සම්මානය ද නැවත 2018 වසරේ ද රාජ්‍ය සම්මානයෙන් ඇය පිදුම් ලැබුවාය. රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසු නිර්මාණය කරණය පිළිබඳ විදේශීය පුහුණු වැඩසටහන් සඳහා ඇයට අවස්ථාව උදාවිය. ඇගේ වෘත්තිය විශ්වවිද්‍යාලය බවට පත්වන්නේ ජාතික රූපවාහිනියයි. ප්‍රවීණයන්ගෙන් ලබා ගත් දැනුම සහ රත්මලාන වෘත්තීය පුහුණු තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් විෂය පතයට අදාළව ලබා ගත් දැනුම ඇගේ ගමනට යෝධ රුකුලක් විය. රූපවාහිනීකරණය හා සිනමාකරණයට අදාළව විධිමත්ව ලබා ගත් දැනුම ඇගේ පළමු සිනමා පටයට යොදා ගැනීමට ඇයට අවස්ථාව උදාවිය. 2022 වර්ෂයෙන් රූපවාහිනියෙන් සමුගත් ඇය Dialog head starts ආයතනයේ content and media stage manager ලෙස රාජකාරී නිරතවේ. මේ ඇගේ රාජකාරී ස්වභාවය සහ කුලුඳුල් සිනමා පටය ගැන සරසවිය සමඟ කළ කතාබහයි.
ඔබේ සිනමා පටය ගැන සඳහන් කළොත්?
මිනීමැරුම් සහ දූෂණ ජාලයකට හසු වූ චරිත තුනකගේ ජීවිත සහ දෙමාපියන්ගේ හැසිරීම ඔවුන්ගේ තේරීම් හැඬගස්වන ආකාරය ඇතුළත් සිනමා පටයකි. ඖෂධ ජාවාරම, ක්‍රිකට් ක්‍රීඩාවේ වංචාවන් පිළිබඳවද කතිකාවක් මෙහි ගොඩ නැඟී ඇත.
මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලින් වෘත්තිකයන් බවට පත්වන චරිත තුනකගේ කතාවකි. වෛද්‍යවරයෙක්, හෙදියක් සහ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මෙම කතාව ඔවුන්ගේ හැදී වැඩීම සහ එය ඔවුන්ගේ සබඳතාවලට බලපාන ආකාරය සහ දූෂණය හා පාවාදීමේ දුක් වේදනා සමඟ කටයුතු කරන ආකාරය ගවේෂණාත්මක ගෙනඑම සිදු කරන්නේ ඇතුළාන්තයෙන්.
විශ්වය විසින් අපට සපයන පණිවිඩයක් ඇත. එය තේරුම් ගැනීම මිනිසා ලෙස අප කළ යුතු ම දෙයක්. එසේ නොවන තැන්හිදී, අප සොබාදහම සමඟ ගැටේ.
ගවේෂණාත්මක ලෙස ගෙනහැර දක්වන්නේ මොනවාද?
කතාව ජීවිතයේ බිඳෙනසුලු බව සහ මිනිසුන් ලෙස අපි සදහටම ජීවත් වන බව උපකල්පනය කරන ආකාරය ගවේෂණය කරයි. බලාපොරොත්තුවේ පණිවිඩය ගවේෂණය කර ඇති අතර මේ ජීවිතයේ සෑම දිනකම අන් අයට යහපත කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරනවා. එවිට ඊළඟ නැවතුම සඳහා මිනිසාගේ ඵධභත එකට විශ්වය විසින් ශක්තීන් සපයනු ලබන බවද මරණය අපකරා පැමිණෙන්නේ කොයි මොහොතකදී යැයි අප දන්නේ නැත. එබැවින්, හැකි සෑම විටම යහපත් ලෙස ජීවත් වන්නට උත්සාහ කළ යුතු ය යනබව මම ප්‍රේක්ෂකයාට අවධාරණය කරනවා.
ඔබේ කුලුඳුල් අධ්‍යක්ෂණය නේද?
මෙම චිත්‍රපටය නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරියගේ යන අප දෙදෙනාගේම පළමු චිත්‍රපටයයි. නිෂ්පාදකගේ මූලික කතාව පදනම් කර ගනිමින් මම මෙහි තිර රචනය ද කළා. අපි මීට පෙර සිහිනය ඔබෙයි මායි නම් කථාංග 10 ක ටෙලි නාට්‍යයක නිර්මාණය කර ඇති අතර එය මිනිස් ජාවාරම සහ අපයෝජනයේ අන්තරායන් පිළිබඳව වැඩ කිරීමට විදේශගත වන කාන්තාවන් දැනුම්වත් කිරීම අරමුණු කර ගෙනයි නිර්මාණය කළේ.
මේ වන විට සිනමාපටය අන්තර්ජාතික මට්ටමෙන් සම්මාන ලබා තිබෙනවා නේද?
Hello from the other side සිනමා පටය මේ වනවිට අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ කිහිපයකට නිල වශයෙන් තේරී තිබෙනවා. Indian independent film festival (IIFF) ƒ‹ Best international feature film සම්මානයත්, කැලිෆෝනියාවේ INDIEFEST Film Award හි තරග අංශ දෙකක් යටතේ ‘හොඳම ආසියාතික සිනමාකරුවා’ සහ ‘හොඳම ආසියාතික තේමාව’ යන ජූරියේ විශේෂ සම්මාන දෙකක් ලබා තිබෙනවා. ඉන්දියාවේ Women’s Bioscope – A Global Rolling Film Festival in India සිනමා උලෙළ සඳහා නිර්දේශ වී ඇති අතර, මාර්තු මාසයේ එය ඉන්දියාවේ තිරගත කරනවා, Manchester lift- off film festival හි ද නිර්දේශයක් හිමි වීමද විශේෂත්වයක් වෙනවා.
ශ්‍රී ලාංකික ප්‍රදර්ශනයට ප්‍රථම විදේශීය ප්‍රදර්ශනය ආරම්භ කරනවා නේද?
අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බන් හි දී සිනමාපටය ප්‍රේක්ෂකයන්ට නැරැඹිය හැකි. එමෙන් ම එංගලන්තයේ දීද, ඉදිරියේ තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදකවරයාගේ හිතේ තිබුණු හීනයක් තමයි මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඔහු විදේශීයව පදිංචි වෙලා සිටින නිසා ඔහුගේ වැඩි පිරිසක් සිටින්නේ විදේශ රටවල නිසා ප්‍රථමයෙන් විදේශ රටවල ප්‍රදර්ශනය ආරම්භ කරන්නට අදහස් කළේ.
වෙනත් සිනමා පටවල නොකරන දෙයක් ඔබේ සිනමාපටයේ සිදුකළා නේද?
මෙම චිත්‍රපටයේ තවත් සුවිශේෂීතාවක් වන්නේ,onlocation direct sound භාවිත කිරීමයි. මේ සඳහා මම මයික් දාසයක් පමණ යොදාගත්තා. සෑම සියුම් ශබ්දයක්ම සිනමාපටයට යොදා ගැනීම මගේ මූලික අරමුණ වුණා. නිෂ්පාදකවරයාටත් මටත් ඕන වුණේ ඒ ඒ චරිතවල ශබ්ද එයාකාරයෙන්ම සිනමා පටයේ රඳා පැවැත්වීමටයි. චරිත වලට හඬ කවනවාට වැඩිය ඩිරෙක්ට් ශබ්දය ගෙන ඒමෙන් ඔහුගේ හෝ ඇයගේ චරිතය නියමාකාරයෙන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වෙනවා. මේ කාර්යය ටිකක් දුෂ්කර වුවත් නිර්මාණය පැත්තෙන් සාර්ථකත්වයක් දැකිය හැකිය. ප්‍රේක්ෂකයාට ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වන විට එය සැබැවින් අත්විඳින්නට පුළුවන්.
සිනමා පටයට තොරා ගත් නළු නිළි පිරිස මුහුණ දුන්න ගැටලු මොනවාද?
මේ තෝරා ගත්ත පිරිස විවිධ විශ්වවිද්‍යාලවල සිනමාව සම්බන්ධව හොඳ අධ්‍යාපනයක් ලබපු අයයි. ඒ නිසා ගැටලු පැන නැගීම අඩුයි. මනා අවබෝධයකින් හා සංයමයකින් කටයුතු කළේ. මම විශ්වාස කරන දෙයක් තමයි නිර්මාණකරණයේදී, සිනමාවේදී හෝ පෞද්ගලික ජීවිතයේදී පෙර සැලසුම කියන එක ඉතාම වැදගත් බවයි. මෙහිදී පැන නැගුණු සියලූම ගැටලු පැන නැඟුනේ පූර්ව සැලසුම්කරණයේදී, (Pre production) වලදි. මේ තෝරා ගත්ත පිරිසට භාෂාව චැලෙන්ජ් එකක් වුණේ නැහැ. ඔවුන්ට පැන නැගුණු ප්‍රශ්න තමයි වෘත්තීයවේදින් කොහොමද මූණ දෙන ගැටලු සහ ඔවුන් ජීවිතයත් සමඟ ගනුදෙනු කරන ආකාරය, ඒ නිසා ඔවුන්ට ඒ සියලු දෙනාගේම චර්යාවන් අධ්‍යයනය කරන්නට වුණා. ඔවුන්ට මතුවුණු ලොකුම චැලෙන්ජ් එක වුණේ එයයි. මට අවශ්‍ය වුණේ ඒ තෝරා ගත්ත සියලු දෙනාම රඟපානවා කියන එක පේනවාට වැඩිය ඒ චරිතය සාමාන්‍ය චරිතයක් බවට තිරයටගෙන ඒම පමණයි. මේ සියලු දෙනාටම ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චමින්ද හත්ලාවත්තගෙන් අවශ්‍ය සියලූම වැඩමුළු පැවැත්තුවා. ඒ ඒ චරිතයට තෝරාගත් නළුවාට හා නිළියට ප්‍රායෝගිකව ඔහුගේ සහ ඇයගේ චරිතයට අදාළ අභ්‍යාස ලබා දුන්නා. ඒයින් ඔවුන් චරිතය හොඳට සංවර්ධනය කරගත්තා. ඒ නිසා රූපගත කිරීම්වලදී දර්ශන තලයේදී අධ්‍යක්ෂකවරිය ලෙස මට මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලයට ගොඩක් පහසු වුණා. තිර පිටපතට අනුව මම තෝරා ගත්ත සමහරක් නළු නිළියන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රශ්න පැන නැඟීම නිසා ඔවුන්ව තෝරා ගැනීමට අපහසුතාවයකට පත්වුණා. නිසි ක්‍රමවේදයකට අනුවයි චරිතවලට සියලුම ශිල්පීන් යොදාගත්තේ.
කේතකී පමණක් නොව කිසිදු චරිතයක් වෙනස් නොවන බව ඔබ සිනමාපටයෙන් කියනවා?
මේ තෝරා ගත්ත චරිත තුනෙන් විවිධ ස්තරවල කතන්දරයක් ගොතාගෙන යන්නේ. ඒත් පීඩිත පන්තියේ ජීවත් වූ තරුණියගේ යෞවන කාලයේදී ඇගේ ඇගේ වෘත්තිය පවා නොසලකා ඇය වෙනත් මාර්ගවලට යොමු වෙනවා. මේ ඇගේ චරිතයෙන් අද සමාජයේ සැබෑ චරිතයක් ඉස්මතු කරන්නේ. එම චරිතය පිටට පෙනෙන චරිතයට වඩා ඇතුළාන්තයේ ජීවත්වන චරිතයෙන් මම කියන්න උත්සාහ කරන්නේ යටි සිත කිසි දිනක ඔහුගේ හෝ ඇයගේ සැබෑ ජීවිතයෙන් මිදෙන්නට අවස්ථාවක් නොලැබෙන බවයි. කේතකි ඇගේ චරිතය විවිධ අවස්ථාවලදී විවිධ ස්ථානවලදී විටින් විට එය ඉස්මතු කර පෙන්වීම තුළින් ප්‍රේක්ෂකයාට දනවන්නේ චරිත කිසි දිනක ඇතුළාන්තයෙන් වෙනස් නොවන බවයි. මා ඇතුළු මේ සියලු දෙනාටම බලපාන්නේ අපිට කුඩා කල දී ලැබෙන අත්දැකීම් සමුදායයි. ඒ තමයි මනුෂ්‍යයෙකුගේ ජීවිතේ පදනම වෙන්නේ කොපමණ උස්මහත් වුවත්. කේත කී ගේ අම්මා යම් අවස්ථාවකදී සඳහන් කරනවා ‘සල්ලි තියෙනවනම් හැමදේම තියෙයි කියලා.’ කේතකී යම් යම් ස්ථානවලදී අවන්තට ප්‍රකාශ කරන්නෙත් මේ ප්‍රකාශනයමයි. කේතකී හැම වෙලාවේම උත්සාහ කරන්නේ කුඩා කාලයේ ඇයට නොලැබුණු දේවල් ලබාගැනීමටයි. සමාජයේ ජීවත්වන මිනිස්සුන්ව අවිශ්වාස කිරීමෙන් කියා සිටින්නේ කිසිදු දිනක ඔවුන්ව විශ්වාස කිරීමට නොහැකි බවයි. කේතයකිගේ හැරවිම් ලක්ෂ්‍යය බවට පත්වන්නේ අවන්ත විවාහ කරගෙන ආදරය ලබා ගැනීම හා ඔහු සමඟ සතුටින් ජීවත්වීමයි. ඒත් අවන්ත ගේ අසනීප තත්ත්වයත් සමඟ ඔහු වෙනස් වීමෙන් කේත කී සිතන්නේ ආදරේ කියන දෙයක් යථාර්ථවාදී නොවන බවයි. කේතකී ලෙස ගෙනා මේ ගැහැනු දරුවාගේ චරිතය දරිද්‍රතාවයෙන්, දිළිඳුකමින් හා මවුපිය සෙනෙහස අහිමිවන අද සමස්ත සමාජයම නියෝජනය කරන කාන්තා චරිතය ලෙසයි. ඒ අද සමාජයේ යථාර්ථය බවටත් පත්වීම විශේෂත්වයකි.මට අවශ්‍ය වුණේ ඒ චරිතය තුළින් සමස්ත සමාජයටම පණිවිඩයක් ගෙන ඒමයි.
මේ සිනමා පටය මොන වගේ ප්‍රේක්ෂකාගාරයටද ඔබ ගෙන යන්නේ?
සමාජයේ විවිධ ස්තර තියෙනවා. ඒ අතර සිනමාව ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් අද සමාජයේ ජිවත් වෙනවා. ඒ වගේම විනෝදාස්වාදය හොයාගෙන එන පිරිසක් සිටිනවා, අද සමාජය නව ප්‍රවණතාවයක් තුළින් පර්යේෂණාත්මක හා විවිධ කතා තේමාවල් සොයා නැරඹිමට පුරුදු වී සිටිනවා.
විවිධ පළාත්වල චරිත ගවේෂණය කිරීමට හා පුරුදු වෙලා සිටිනවා. හොඳ තිරපිටපතක සාර්ථක නිෂ්පාදනයක් කළොත් සිනමා පටය රසවිඳීන ප්‍රේක්ෂකයාගාරය විවිධයි. ඒ නිසා යම් කොට්ඨාසයක් පමණක්ම ඉලක්ක ගත කර සිනමාපට නිර්මාණය කරන්නට මම පුරුදු වෙලා නෑ. සමස්ත සමාජයම නියෝජනය කරන්නටයි මම සිනමාපට අධ්‍යක්ෂණය කරන්නේ.
නව නිර්මාණකරුවන් සහ පැරැණි නිර්මාණකරුවන් අතර පවතින සම්බන්ධතාවය ගැන ඔබට දැනෙන්නේ කොහොමද?
නව පරම්පරාව තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටින්නේ.ඔවුන් තාක්ෂණයේ අතින් ගොඩක් දේවල් දැනගෙනයි ජීවත්වන්නේ. එත් ජෙෂ්ටන් සමඟ කතා කළ විට ඔවුන් ප්‍රකාශ කරන්නේ තරුණ පිරිස දැනගෙන හිටියාට කිසිදු දෙයක් දන්නැති බවයි. ඒ නිසා තරුණ පිරිස් සහ ජ්‍යෙෂ්ඨ පිරිස් ඒ සියලු දේවල් අමතක කරලා. ජ්‍යේෂ්ඨයන්ගේ අත්දැකීම් සහ තරුණ පිරිස්ගේ තාක්ෂණය උපයෝගී කරගෙන හොඳ නිර්මාණයක් කිරීමයි. ඒ වගේම තමයි ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන් ඔවුන්ගේ ගමන වෙනුවෙන් කරන කැපකිරීමෙන් ඔවුන්ගේ පැවැත්ම ඒ නිසා ස්ථිරයි. මේ සියලු දෙනාගේ අත්දැකීම් මගේ සිනමාපටය තුළින් මම දැක්කා. ඒ නිසා නවක රංගන ශිල්පීන් ජ්‍යේෂ්ඨයන්ගෙන් කළ පුරුද්ද සහ ඵල පුරුද්දය ලබාගත යුතුයි. වෘත්තිය ගරුත්වය තබාගෙන තමන්ගේ චරිතයට හරියටම පිවිසෙන්නේ කෙසේද කියලා අවබෝධ කරගත යුතුයි. ජ්‍යේෂ්්ඨත්වයේ තිබෙන විනය ගරුත්වය නවක පරම්පරාව රඳා පවත්වාගත යුතුයි.ඔවුන්ගේ පැවැත්ම තිබෙන්නේ ඒ තුළයි.
ලාංකේය සිනමාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙනියන්න නම් කුමක්ද කළ යුත්තේ?
ශ්‍රී ලාංකික සිනමාව හරි විදියට කර්මාන්තයක් ලෙස ලෝකයට ගෙන යන්න නම් අපි ගාව ඕන තරම් රිසෝසස් තියෙනවා. ඒත් අවශ්‍යය ඉලක්කයට හරියාකාරව නොගියොත් ඒ දේ කරගැනීමට නොහැකි වෙනවා.ඒ සඳහා කැපවුණු සියලු දෙනා ඒ ඉලක්ක කරාගෙන යා යුතුයි. එක එක්කෙනාගේ ඕනෑ එපාකම්වලට සිනමා නිර්මාණ කරලා කිසි දිනෙක කර්මාන්තයක් ලෙස ඉදිරියට යන්නට බැහැ. පළමුව දැනගෙන කිරීමත් දෙවනුව ව්‍යාපාරය කුමක්ද කියා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. සමස්ත ක්‍රියාවලිය සඳහා මේක ඇතුලට ගේන්නේ කොහොමද කියන එක ගැන සිතිය යුතුයි. මේ සඳහා නව ජෙනරේෂන් එක හරිම අප්ඩේට්. ඒ සියලු දෙනාගේම ඉලක්ක තියෙනවා ලෝකය සමඟ වැඩ කිරීමේ හැකියාව. ඒත් තාම බැටන් එක තිබෙන්නේ ජ්‍යේෂ්ඨයන් අග නිසා ඒ බැටන් එක තරුණ පරම්පරාව වෙත භාර කළ යුතුයි. ඉන්පසු ඔවුන්ගේ අත්දැකීම් සියල්ල ලබාදීලා ඔවුන් හරි මාර්ගයට ගෙන යා යුතුයි. එනිසා නිර්මාණය කරණයේ දී පමණක් නොව සෑම මොහොතකදීම අපිට චැලෙන්ජ් භාරගන්න වෙනවා.ඒ ආත්ම විශ්වාසයෙන් බාරගත්ත චැලෙන්ජ් එකට මුහුණ දීලා පියවර තැබීම තමයි හොඳම දේ ලෙස මම දකින්නේ. එනිසා මම යෝජනාවක් කරනවා කාන්තාවන්ට මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඕනැම චැලෙන්ජ් එකක් බාරගෙන ලංකාව කියන නම ලෝකයට රැගෙන යන්න කියලා.
ජපානයෙන් ඔබට ලැබුණු සම්මානය ගැන කතා කළොත්?
පසුගිය නොවැම්බරයේ, ජපානයේ පැවති japan prize international television competition හි දී, ලෝකයේ රටවල් 60 කට අධික සංඛ්‍යාවකින් අවසන් වටයට තේරුණු ලොව හොඳම අධ්‍යාපනික වැඩසටහන් යෝජනා 6 අතරට එක් විමට හැකිවුණා. ජපානයේ ටෝකියෝ නුවර පැවති එම තරගාවලිය නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික තරගකරුවා වූයේද මම පමණයි. මම නියෝජනය කළ Headstart pvt ltd – නම් ඩයලොග් හිමිකාරත්වය දරන ආයතනයයි. ශ්‍රී ලංකාවෙන් එම තරගාවලියේ වැඩසටහන් යෝජනා අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරුණු ප්‍රථම සහ එක ම කාන්තාව විමටද මට භාග්‍යය ලැබුණා.
nissankamax@gmail.com
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න