ශ්‍රි සිද්ධා චිත්‍රපටය මේ දිනවල දිවයිනේ සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය වේ. ලාංකේය ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් පදනම් කර ගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයට එක්වන තවත් සුවිශේෂීසිනමා නිර්මාණයකි. ලංකා ඉතිහාසයේ කීර්තිමත් රජෙකු වශයෙන් බුහුමනට ලක්වන මහා විජයබාහු රජතුමාගේ ඓතිහාසික පුරාවෘත්තය රියර් අද්මිරාල් සරත් විරසේකර විසින් මෙසේ සිනමාවට නඟා ඇත.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මෙරට සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ මීට වසර ගනනාවකට පෙර ‘ගාමණී’ සිනමා කෘතිය අධ්‍යක්ෂණය කරමින. ශ්‍රී සිද්ධා ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි. පසුගිය දිනක අපි හමුවුයේ එහුගේ ශ්‍රි සිද්ධා චිත්‍රපටය පිළිබඳ වන කතා බහකටය. මෙම ලිපිය ඒ ඇසුරින් සැකසුණකි.
ඔබේ නවතම සිනමා නිර්මාණය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා රැසක තිර ගත වෙනවා. මොනවද ලැබෙන ප්‍රතිචාර?
ශ්‍රි සිද්ධා නරඹන බොහෝ ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේක ඓතිහාසික වශයෙන් වැදගත් සන්සිද්ධියක්. අපේ ඉතිහාසය පිළිබඳ ලොකු අභිමානයක් මේ චිත්‍රපටය හරහා ගොඩ නැගෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ චිත්‍රපටය නිසා කෞතුකාගාරයේ තිබෙන පනාකඩුව තඹ සන්නස බලන්න බොහෝ පිරිසක් පැමිණෙනවා කියලත් මට ආරංචියි. ඉතින් මේ මොහොතේ මම අපේ මව්පියවරුන්ට ආරාධනා කරන්නේ මේ චිත්‍රපටය දරුවන්ට පෙන්වන්න කියලයි. අපේ මුතුන් මිත්තෝ මේ රට ආරක්ෂා කරන්න මොන විදියටද කැප වුණේ කියලා මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා.
මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේ අදහස හට ගත්තේ කොහොමද?
පනාකඩුව තඹ සන්නස අළලා චිත්‍රපටයක් කරන්න ඕන කියන අදහස මගේ හිතේ ඇති වෙන්න බලපාපු හේතු කාරණා කිහිපයක් තිබුණා. එකක් තමයි මේ සම්බන්ධයෙන් පුවත්පතක පළවු සවිස්තරාත්මක ලිපියක් කියවීම. අනෙක් කාරණාව තමයි කොහොමත් මම ඉතිහාස කාරණා පිළිබඳ දක්වන උනන්දුව. මම ඉතිහාසයේ කියවලා තිබෙනවා ආචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් කියලා තිබෙනවා මහා විජයබාහු කෙනෙක් ලෝකයේ පහළ වුණේ නැත්නම් අද සිංහල ජාතියක් නැහැයි කියලා. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා හා සමානවම, සමහරක් විට ඔහු ඊටත් එහා ගිය රජෙක්. එතුමා පහළ වුණේ නැත්නම් අද සිංහල ජාතියක් නෑ. විජයබාහු පහල වෙන්න කලින් අපේ රටට කිව්වේ ‘මුම්මඩි චෝල මණ්ඩලම්’ කියලා. ඒ කියන්නේ අපි දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක්. ඒ කාලේ රාජේන්ද්‍ර චෝල ගේ පාලනය ඉන්දුනීසියාව දක්වා විහිදි තිබුණා. ඔහු සේනාවක් අරගෙන ඇවිත් අපේ රට අල්ලා ගත්තා. පස්වැනි මිහිඳු රජතුමා තමයි එවකට ලංකාව පාලනය කළේ. ඔහු පරාජය කරලා තමයි රට අල්ලා ගත්තේ. ඒ කාලේ හිටපු සියලු රජ කුමාරයන් ඔහු විසින් මරා දැම්මා. ‘කිත්ති‘ කුමාරයා තමයි කැලෑව ඇතුළට වැදිලා ජිවිතේ බේරගත්තේ. මහා වංශයේ සඳහන් වෙලා තිබෙනවා කිත්ති කුමාරයාට ‘ බුදල්නා‘ කියලා ප්‍රාදේශිය දණ්ඩනායෙකයකු ආරක්ෂාව සැපයුවා කියලා. පසුව ඔහු සේනාව සංවිධානය කරලා, චෝලයන් පන්නා දමා වසර ගණනාවකට පස්සේ රට එක්සේසත් කළා කියලා. හැබැයි 1948 මාතර දිස්ත්‍රික්කයේ පනාකඩුව කියන ගමේ ගොවියකුට හමුවුණා තඹ සන්නසක්. ඔහු මුලින් හිතුවේ මේවා රත්තරන් කියලා. නමුත් ඒවා පරීක්ෂා කරලා බලනවිට ඒවා තඹපත්. ඒවා ආචාර්ය සෙනරත් පරණවිතානයන් බලලා, ඔහු නිගමනය කළා මේක මහා විජයබාහු රජතුමා තමාව පොඩි කාලයේ ආරක්ෂා කරපු ‘බුදල්නාට’ තම අතින් දුන්න තඹ සන්නස කියලා. මහා වංශයට වඩා මේ තඹ සන්නසේ තමයි මේ ඔක්කොම විස්තරය තිබෙන්නේ. ඒකේ තිබෙනවා බුදල්නා තමාව ආරක්ෂා කර ගත්තේ කොහොමද?, චෝලයන් සමඟ සටන් කරලා තමන් බේරා ගත්තේ කොහොමද?, තමන්ව පෝෂණය කළේ කොහොමද?, තමන්ව පුහුණු කළේ කොහොමද? කියලා. ඒ කරපු උදව්වට ඔහු රජ වුණාට පසු බුදල්නාට ලොකු වරප්‍රසාද දිලා තිබෙනවා. ඒක පාදක කරගෙන තමයි මම මේ චිත්‍රපටය කළේ. මේ සඳහා ඉතාම හොඳ සටන් ශිල්පියෙක් මට හමුවුණා. ඔහු මගේ ගාමණි චිත්‍රපටයේ පටන්ම හිටිය කෙනෙක්. ඒ තමයි රිටිගල සුමේධ. ඔහු තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන වාහකයා වෙන්නේ.
මේ චිත්‍රපටය ඔබ අධ්‍යක්ෂණය කරන්නේ විශාල පර්යේෂණයකින් පසුවයි. මේ තිර පිටපත සැකසෙන්නේ කොහොමද?
මම ඒ වෙනුවෙන් විශාල කාලයක අධ්‍යයන කටයුතු වල නිරත වුණා. පර්යේෂණ කළා. මහා විජයබාහු රාජ්‍ය සමය ගැන හුඟාක් අධ්‍යයන කරන්න සිදුවුණා. තිර පිටපත සකසන්නට ඒ කාලේ භාවිතා කරපු නම් ගම්, ගංගාවන් ආදිය පිළිබඳ අධ්‍යයනය කරන්න සිදුවුණා. නමුත් චිත්‍රපටය රූ ගත කරන්න නම් මට ගත වුණේ දින 40ක් වැනි කාලයක්. බුදල්නාගේ චරිතය බොහෝ දුරට අධ්‍යයනය කරන්න වුණා. ඒ වගේම මහා විජයබාහු රජතුමාගේ යුද උපක්‍රම පිළිබඳ අවධානය යොමු කරන්න සිදුවුණා.
ඔබ ඔබේ පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා සෑහෙන කාලයකට පස්සේ තමයි මේ චිත්‍රපටය කළේ. මෙපමණ කාලයක් ගතවුණේ ඇයි?
ඒකට විවිධ හේතු තිබුණා. ගාමණී කරන කාලේ මම නාවික හමුදාවේ වැඩ කරනවා. ඒ වගේම 2010 දි මම දේශපාලනයට පිවිසෙනවා. ඒවගේ දේවල් වෙනුවෙන් එය අතරතුර කාලය ගත වෙනවා. නමුත් මම මේ චිත්‍රපටය කළේ 2018 වර්ෂයේදි. ඒ කියන්නේ ගාමණී චිත්‍රපටය කරලා වසර 10ක් ගත වෙන්නත් මත්තෙන්. නමුත් ඉන්පසු ලංකාව මුහුණ දුන් කොරෝනා ප්‍රශ්නය වගේම ඉන්පසුව පැමිණි ආර්ථික අර්බුදයත් නිසා මේ චිත්‍රපටය ප්‍රමාද වුණා. ඉස්සරහට මම තව එක චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ ඒ චිත්‍රපටය කළාට පසු ඔබ සිනමාවෙන් සමුගන්නවද?
සමුගන්නවම කියලා කියන්නේ නෑ. නමුත් මගේ බලාපොරොත්තුව තිබෙන්නේ ඒ චිත්‍රපටය කිරීම සම්බන්ධයෙන් පමණයි. අපි බොහෝ වේලාවට චිත්‍රපටවලින් යුදමය වතාවරණය ඕනෑ තරම් දැක තිබෙනවා. ඒ හැම අවස්ථාවකදිම බොහෝ වෙලාවට පෙන්වන්නේ යුද හමුදාවේ කි‍්‍රයා දාමයන්. නමුත් යුද්ධයකදි නාවික හමුදාව සතුවත් විශාල වගකීමක් තිබෙනවා. අති විශාල අවදානමක් නාවික හමුදාවත් යුද්ධයකදි ගන්නවා. නමුත් අපි කිසිදු දිනයක චිත්‍රපටයකින් ඒ නාවික හමුදාවේ කැපවීම දැකලා නෑ. මුහුදු සටන් කරන එක ලේසි පහසු ක්‍රියාවක් නොවෙයි. මුහුදේ තිබෙන අවදානම හරි විශාලයි. මරාගෙන මැරෙන බෝට්ටු ආවම මුහුද මැදදීම අපි අළු දුවිලි වෙනවා. ඒ වගේම තමයි අපි යුද්ධයට මුහුදට ගියාම අපේ ගෙවල්වල ඉන්න බිරිඳ, දරුවෝ, ඥාතින් කොයි තරම් දුකකට, පීඩනයකට පත් වෙනවද? සෙබළා මිය යන්නේ එක පාරයි. නමුත් නිවසේ සිටින බිරිඳ ඇතුළු ඥාති පිරිස් දස දහස්වර සිතින් මියයනවා. මෙන්න මේ තත්ත්වය මට සිනමා නිර්මාණයක් හරහා පෙන්වන්න ඕන. ඒවා ජනතාව දැනගන්න ඕන.
අපි ඔබ හඳුනා ගන්නේ උසස් හමුදා නිලධාරියෙක් විදියට. නමුත් ඔබ අහම්බයකින් සිනමාකරුවෙක් වෙනවා. සිනමාව පිළිබඳ මේ උනන්දුව ඇති වෙන්නේ කොහොමද?
ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔබ දන්නවා අපේ රටේ යුද්ධයක් තිබුණා කියලා. මේ යුද්ධය ත්‍රස්තවාදි යුද්ධයක්. ත්‍රස්තවාදි කියලා කියන්නේ දේශපාලන අරමුණක් සඳහා අහිංසක වැසියන් ඝාතනය කිරිම. ත්‍රස්තවාදියෝ ඇතිවෙන්න හේතුව සාධාරණ වුවත්, අසාධාරණ වුවත් ත්‍රස්තවාදියෙක් සාධාරණීකරණය කරන්න බෑ. ඒකෙන් පීඩා විඳීන්නේ අහිංසක මිනිස්සු. ඒ නිසා අපි ත්‍රස්තවාදියෝ විනාශ කළ යුතුයි. අනිත් එක තමයි ත්‍රස්තවාදියෝ අතරමැදියෝ නෑ. එක්කෝ එයා ත්‍රස්තවාදියෙක් නැත්නම් ත්‍රස්තවාදියෙක් නොවන කෙනෙක්. ඔය දෙක විතරයි තියෙන්නේ. ඉන්දියාවේ යුද්ධය තිබෙන විට ඉන්දියාවේ මොන තරම් යුද සිනමාවක් බිහිවෙලා තිබුණද? ඒ හැම සිනමා කෘතියකින්ම පෙන්වන්නේ හමුදා සෙබළාගේ චිත්ත ධෛර්යය. සෝල්ජර්ගේ බිරිඳගේ ආත්ම ධෛර්යය, කැපවීම. අපේ රටේ යුද්ධයක් තිබුණා අවුරුදු 30ක. එක චිත්‍රපටයක් වත් නිර්මාණය වුණේ නෑ හමුදා සෙබළාගේ චිත්ත ධෛර්යය වැඩි වෙන්න. චිත්ත ධෛර්යය අඩුවෙන ඒවා තමයි නිර්මාණය වුණේ. ඒ කාලේ ආපු එක චිත්‍රපටයක තිබුණා තමාගේ සෙබළ ස්වාමිපුරුෂයා මිය ගියාට පසු ඔහුගේ චිතකයේ ගිනි රස්නය මැකෙන්නටත් පෙර ඔහුගේ බිරිඳ වෙන පිරිමියෙක් සමඟ යහන් ගත වෙන දර්ශන ඇතුළත්. අපේ රටේ එහෙම කාන්තාවන් ඉන්නවාද? මාස තුනක් ගියාට පස්සේ ඕනනම් විවාහ වෙයි. නමුත් එදා රෑම එහෙම කරන කාන්තාවෝ අපේ රටේ නෑ. අපේ සංස්කෘතියේ නෑ. එයා ඒක එහෙම පෙන්වන්නේ ඇයි. අන්තර්ජාතික සම්මාන ගන්න වෙන්න පුළුවන්. නමුත් ජාත්‍යන්තරයට යන්නේ වැරැදි අවබෝධයක්. කොයි තරම් පරිත්‍යාග කරපු සෙබළ බිරින්දෑවරු ලංකාවේ ඉන්නවාද? විවාහ වෙලා සුමාන දෙකෙන් ස්වාමියා මැරිලා, මුව ජීවිත කාලයම ඔහු වෙනුවෙන් පතිදම් රකින බිරින්දෑවරු ඉන්නවා. මෙන්න මේවට විරුද්ධව ඒ කාලේ මම පුවත්පත්වලට ලිව්වා. ඒ කාලේ ඒ ලිපි හරි ජනප්‍රිය වුණා. එහෙම වුණාට පිටරටින් ඒ චිත්‍රපටවලට සම්මානත් දුන්නා. මේ චිත්‍රපටවලින් මම දැක්කේ ප්‍රභාකරන් ගේ යුද්ධය සාධාරණීකරණය කිරීමක්. මේ තත්ත්වය උඩ මට මගේ ලිවීම තහනම් වුණා. මම එතකොට නේවි එකේ හිටියේ. මට කිව්වා ඔබතුමා නැව් ටික බලාගෙන ඉන්න, අපි කලාව බලාගන්නම් කියලා. මම ගාමණි හැදුවේ ඔය හින්දයි. ඒක තමයි මාව චිත්‍රපටකාරයෙක් කරන්න හේතු වුණ ප්‍රධාන කාරණාව. දැන් මම සතුටු වෙනවා ඒ උත්තේජනයෙන් හරි ගාමණී හදපු එක ගැන. නැත්නම් මම කවදාවත් සිනමාවට එන්නේ නෑ. ගාමණී මම කළෙත් ග්‍රාමාරක්ෂකභටයන්ගේ චිත්ත ධෛර්යය වඩවනු පිණිස.
ඔබේ පළමු සිනමා නිර්මාණයෙන්ම ඔබ සම්මානයට පාත්‍ර වුණා නේද?
ඔව් මම හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර පිටපත ඇතුළු දෙරණ සම්මාන 17ක් ලැබුණා මේ චිත්‍රපටයට ඒ වගේම ඕසි අයි සි සම්මාන 4ක් ලැබුණා.
ඔබ පාසල් යන වියේදීවත් සිනමාව ප්‍රිය කළේ නැත්ද?
කලාව පිළිබඳ මගේ ආසාව ඇති වන්නේ මම හිතන්නේ මගේ පවුලේ ආභාසයෙන්. මගේ අම්මා සුමනා වීරසේකර ගුවන් විදුලියේ ඉස්සරලම කවි මඩුව කළේ එයා. මගේ අම්මා තමයි ආචාර්ය ලෙස්ටර් පීරිස් ගේ ගම්පෙරළිය චිත්‍රපටයේ කතිරිනා ගේ චරිතය රඟපෑවේ. ඒ නිසා ඒ දවස්වල සිටම මට පවුලේ ආභාසය සිනමාව වෙනුවෙන් ලැබුණා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න