පාරාදීසේ දුටුවා
ගොම්මං යාමේ සැමදා
මන්දාරමේ සන්ධ්‍යාවේ
සක්මන් කරනා නුඹ මා
සිත්තම් නෙතඟේ බැඳුණා
හුම්මානේ දේදුන්න සේ
සංසාරේ පියමැන්න මාවත පුරා
එක්වීලා පැටලුණු දෑඟිලි කතා
සන්ධ්‍යාවේ උණුහුමට පාවඩ දමා
මත්වීලා දෙකොපුළම මා මත් කළා
සිත්තම් නෙතඟින් සැමදා
මත්වී හැඟුමන් මවනා
උන්මාදිනි සන්ධ්‍යාවේ
සිහිනෙන් ඔබ හා වින්දා
සැබැවින් සිත්තම් ඇඳුණා
සංසාරිනී මා රූබරී
ගායනය හා තනුව – තරිඳු විජේතුංග
පද – යශිත එන්. පුෂ්පකුමාර
සංගීතය – ඩයන රාජපක්ෂ
ගීතය යනු කවියකුගේ ආත්මයේ ප්‍රකාශනයක් බැව් රහසක් නොවේ. ඒ ගැන ඇතිවන නොයෙකුත් පන්නයේ කතා බහ බොහෝය. ඒ අතරේ යමෙක් එකී ප්‍රකාශනය තවදුරටත් අතිශය සහෘදව සිය හඬින් ගැයුවේ නම් එය මුළු මහත් සමාජයේ ම පොදු ප්‍රකාශනයක් බවට පත් වීම වැළැක්විය නොහැකිය. තරිඳු විජේතුංග නම් අපූරු යෞවනයා එබඳු අපූර්ව ගායනයක් ඔස්සේ පුද්ගල ජීවිතයේ සංවේදී හැඟුමක් අලංකාර නිර්මාණයක් බවට පත් කොට ඉදිරිපත් කරන්නේය.
‘ පාරාදීසේ’ අපූරු ගීතමය අත්දැකීමක්. ඒ ගැන කතා කරමු.
‘ පාරාදීසේ’ ආදරයක් ගැන කියැවෙන ගීයක්. ආදරය කොයිතරම් මිනිස් හදට සමීපද කියන දේයි මේ ගීතයට තේමා වෙන්නෙ. ආදරයකට ඇතුළු වුණු දෙදෙනෙක් ඒ ආදරය තුළ සිටියත් වෙන්ව ගියත් ආදරයට වෙනස් වෙන්න බෑ කියන එකයි මේ නිර්මාණය තුළට මම ගෙනත් තිබෙන්නෙ. මේ ගීතය පුරා තියෙන්නෙ ආදරියක හා බැඳුණු සුන්දර මතක.මට දැනුණු විදියට සංසාරෙ පුරා මා හා ආව කෙනෙක් එයා. අද අපි එකට නැති වුණත්.හැබැයි ඒ වෙන්වීම මම මගෙ ජීවිතයට ගත්තෙ වෙනම විදියකට. ලොකු දුකක් තිබුණ. නමුත් මේ සිදුවීමට මම වෙනස් විදියට මූණ දුන්න. ඒකෙ එක ලස්සන ප්‍රතිඵලයක් තමයි මේ ගිතය නිර්මාණය වෙන්නෙ. ඒ වගේම මේ මගේ දෙවැනි ගීතය.
මොකද මේ වියෝව මඟ හැරල මම ඉදිරියට යන්න ඕනේ කියල ඒ සිදුවීමේ කම්පනයත් එක්ක මම විශ්වාස කළා. ඒකට හයියකුත් ඕනේ. හැබැයි ඒ හයිය මට තිබුණා. මොකද මම බෞද්ධයෙක්. ඒ දර්ශනය ගැන ගැඹුරින් බලන කෙනෙක්. අනිත් හේතුව මගෙ අම්මා. මම ඇයට ගොඩක් ආදරය කරනවා. මම කවද හරි ජීවිතය ජය ගන්නව දකින්න ඇයට විශාල කැමැත්තත් තිබුණා. අප්පච්චිටත් එහෙමයි. අම්ම ගොඩක්ම ඒ ගැන බලාපොරොත්තුව හිටියා.
අනිත් කාරණය මම හිතනව මම මා ගැන පළමුව හිතන්න ඕන කියල. මොකද මම වැටිල මට මානසිකව බලපෑමක් වුණොත් මටම තමයි බලපෑමක් වෙන්නෙ. ඇත්තටම මම මටත් ආදරෙයි. ඒක කියන්න ඕනෙ. ඊළඟට මගෙ මිතුරන්. මගෙ සමීප මිතුරු ලැයිස්තුවේ මිතුරන් විශාල පිරිසක් නෑ. ඒවගේම යහපත් මිනිස්සු කොටසක් මගෙ ජීවිතයේ ඇසුරට ලැබ් තියෙනව ඒ අයගෙනුත් ජීවිතයට ලොකු සහයක් මගෙ ජීවිතයට ලැබෙනව. මගෙ ජීවිතයේ ගැටලුවලදි ඔවුන් හයියක් වුණා මිස මාව වට්ටන්න හේතු වුණේ නෑ. ඉතින් ඒකත් විශාල ශක්තියක් වුණා. මම හිතනව ඒ ඔක්කොම සාධකත් එක්ක තමයි මම මානසිකව ආරක්ෂාකාරි වටපිටාවක සුරැකුණේ මේ ගැටලුවේදී. ඒ වගෙම ප්‍රකට මානසික අභිප්‍රේරකවරයකු වන ආචාර්ය පිලිප් නේරි මුල්ලේගම වරක් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවකදී කියනව have a coffee with yourself කියල. ඒ කියන්නෙ අපි හැමෝම අපි වෙනුවෙනුත් ලස්සන අවස්ථා වෙන් කරගන්න ඕන කියන එක. මොකද කවදා හරි ජීවිතයේ අපට අපි එක්ක තනි වෙන්න වෙලාවක් එනව. අපි ගොඩක් ම ආස කළ දෙයින් ඈත් වෙන්න ඒ වේදනාව දරන්න මොහොතක් එනවා. මම ඒක පුහුණු වුණ කෙනෙක්. පුංචි කාලෙ ඉඳන් තරමක් වෙහෙසකර ජීවිතයක් ඔස්සේ ගොඩනැඟුණු කෙනෙක්.
විරහව වැනි ප්‍රස්තුතයක් ඔබ මේ ගීයේ නිමිත්තට පාදක කර ගත්තත් ඊට වඩා ගැඹුරු පණිවිඩයත් කියන්නද ‘ පාරාදීසේ ‘ උත්සාහ කරන්නේ ?
ඇත්තෙන්ම. මට කියන්න ඕන වුණ දේ මේකයි. මගෙ ආදරය තවමත් ජීවමානයි. ඒ ආදරය මගෙ හද පතුලේ තිබෙන බව මේ ගීතය ඔස්සේ මට කියන්න වුවමනා වුණා. ඇය මා සමඟ අද නැතත්. මගෙ මිතුරා යශිත ඒ ඔස්සේ තමයි මේ ගීතය රචනා කළේ.එතනදි මගෙ අදහස ඇතුළෙ යශිත ඔහුගෙ දක්ෂතාවත් එකතු කරල මේ ලස්සන පද ටික මට ගළපල දුන්නෙ. ගොඩක් සරල විදියට මේ ගියේ පද ගැළපුවා සේම මට ඇත්තෙන්ම ඕන වුණේ මින්සුන්ට ආදරයක් කියන්නෙ මෙන්න මේකයි කියල කියන්නත්. මොකද මගෙ ආදර කතාව ඇතුළෙත් ලස්සන ආදර කතාවක් තියෙනව. ඒක දෙදෙනකු වෙන් වුණත් එහි ලස්සන මියැදෙන්නෙ නෑ කියන එක. එසේ වන්න බෑ. විරසක වී ගැටුම් ඇති කර ගත් කතාවක මතක සමඟ ජීවත් වීම නොවේ ආදරයෙන් ඉවතට ගියත් විය යුත්තේ. ඉතින් ඒ හැඟීම ගීතය ලියු යශිතුත් ඒ විදියට ම මට ගළපල දුන්න කියල මම හිතනව.
මෙහි සංගීත නිර්මාණය ගැන මොකක්ද කියන්න තිබෙන්නේ ?
ඔව්. මෙහි තනු නිර්මාණය මගේ. අර ඉහත අපි කතා කරපු සරලබව ඒ විදියටම තනු නිර්මාණයෙනුත් මම පළ කරල තිබෙනවා. පද ට්ක බලාගෙන බොහොම පොඩි වෙලාවක් ඇතුළෙ දාපු තනුවක්. සංගීතය පැත්තෙනුත් ඒ වගේ. මෙහි සංගීතය නිර්මාණය කළ ඩයන මල්ලිටත් මම ඒ නිදහස දුන්නම ඔහුත් ඔහුගෙ පැත්තෙන් එය හරියාකාරව ඉටු කළා කියල මම හිතනව.
නිර්මාණයක් විදියට මේකෙන් මොනවගේ පණිවිඩයක් ද සමාජයට කියන්නේ ?
ඇත්තටම මම කැමැති යි මේ ගීතය පුළුවන් තරම් රසිකයන් අතරට යනවට. මොකද මේ වගෙ දෙයක් මේ යුගයේ ගොඩක් විරලව සිදුවන දෙයක් නිසා. වෙන්වීමකදි අද යෞවනයන් දක්වන ප්‍රතිචාරය වෙනස්. ඔවුන් ගොඩක් වෙලාවට හරිම නොසන්සුන් ප්‍රතිචාර එක්ක තමයි ඒ වෙන්වීමටත් මුහුණ දෙන්නෙ. ඇත්තටම අපි ආදරයක් කළා නම් එවැනි තත්වයකට පත් විය යුතු නෑ. විශේෂයෙන්ම මිනිසුන් විදියට අපි මනුෂ්‍යත්වය අගය කළ යුතුයි. ජීවිත ගමනේ කාරණා හමුවේ ගැටලු සාමාන්‍ය යි. ඒවාට මුහුණ දෙන විදිහයි වැදගත් මම දකින විදියට. මම ඒ කාරණාව තමයි ගොඩක්ම මේ නිර්මාණය ඔස්සේ මතු කරන්න උත්සාහ කරන්නෙ. එහෙම නැතිනම් ඇත්තටම විරහ ගීතයක් විදියට මට මේ නිර්මාණය සමාජගත කරන්න තිබුණා.නමුත් ඊට වඩා වැඩි යමක් මේ ඔස්සේ සමාජයට දෙන්න මම උත්සාහ කළේ.
සමුද්‍රිකා වර්ණකුල