Home » මේ කලණ මිතු වියෝව මා කෙසේ දරාගන්නද?

මේ කලණ මිතු වියෝව මා කෙසේ දරාගන්නද?

ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ හැට වසරක මිතුදම ගැන කතා කරයි

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

පසුගිය සති අන්තය ගෙවී ගියේ අතිශයින්ම ශෝකාකුල මොහොතකය. මෙරට සිනමා පුවත්පත් කලාවේ දැවැන්තයෙකු මෙන්ම, සිනමා විෂය පිළිබඳ ප්‍රාමාණික විශේෂඥ දැනුමකින් සපිරි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ගේ නික්ම යෑම වෙනුවෙන් අපි සියල්ල සංවේදි වි සිටියෙමු. ඔහු සිනමා කලාව වෙනුවෙන් පමණක් නොව මෙරට සාහිත්‍ය කලා ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟ මෙහෙවරක පුරා දශක ගණනාවක් තිස්සේ වෙහෙසුණු ලේඛකයෙකි. ඔහුගේ ජීවිතය ගෙවි ගියේ මෙකි විෂයයන් වෙනුවෙන් මෙරට පාඨකයන් දැනුම්වත් කිරිම උදෙසාය. ඔහුගේ ජිවිතයේ ඔහු ලද පරම සතුටද එය වූයේය. මේ ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදියා අන් කවරකුවත් නොව ඒ.ඩී. රන්ජිත් කුමාරය. දශක ගණනාවක් තිස්සේ තම ප්‍රියතම විෂය වූ ලේඛන කලාවේ නියැළෙමින් සිට පසුගිය සති අන්තයේ සිය දිවි සැරිය නිමකළ ඔහු , මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය ට අති විශාල රික්තයක් ඉතිරි කරමින් නික්ම ගියේය.

රන්ජිත් කුමාර මතක සමරන්නට මෙවන් පත් ඉරු ප්‍රමාණවත් නොවන්නේ දශක ගණනාවක් පුරා ඔහු සිදුකල සේවය ලියා හෝ කියා හෝ ඉවරයක් කළ නොහැකි බැවින්. විශේෂයෙන් සරසවිය වැනි පුවත්පතක පුරා වසර 20 ට වැඩි කාලයක් උප කර්තෘවරයකු වශයෙන් සේවය කර පසුව සරසවිය කර්තෘ පදවියට පත් වෙමින් මෙරට සිනමාවට හා සිනමා ශිල්පින් වෙනුවෙන් මහත් කාර්ය භාරයක් ඉටු කරන්නට ඔහු ගත් උත්සාහය සරසවිය ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වන්නේය. මේ අපූරු මිනිසා පිළිබඳ මියුරු මතක අවදි කරන්නට අප හා එක්වුයේ එවැනිම මෙහෙයක් මෙරට ගීත රචනා ක්ෂේත්‍රයට ඉටු කළ සහ තව දුරටත් ඉටු කරමින් පවතින ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශයන්ය.

ඒ. ඩි. රන්ජිත් කුමාර පිළිබඳ මතක සමරන්නට ඔහුට වඩා තවත් කෙනෙකු ඇතැයි නොසිතුයේ ඔවුන් දෙදෙනා පාසල් සමයේ සිටම කලණ මිතුරන් වු බැවිනි.

‘‘ රන්ජිත් කුමාර මට මුලින්ම හමුවෙන්නේ මම උසස්පෙළ පන්තියේ ශිෂ්‍යයෙකුව සිටියදි. මම ඔහුට වඩා පන්තියක් පහළින් සිටි සිසුවෙක්. නමුත් අපි දෙදෙනා අතර නොසිඳෙන මිතුරු කමක් දිනෙන් දින වර්ධනය වූවා. ඒකට හේතුව අප දෙදෙනාම කලාව කෙරෙහි දක්වපු ආදරණිය බැඳීම වෙන්න ඕනෑ. මම රන්ජිත්ව හඳුනා ගන්න මේ කාලය වෙනකොට ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉතාම ජනප්‍රිය ශිෂ්‍යයෙක්. ඔහු ඒ වනවිටත් චිත්‍ර ශිල්පියෙක් විදියට, ලේඛකයෙක් විදියට පාසල ඇතුළේ නොමද ජනප්‍රියත්වයක් දිනාගෙන සිටියා. එක්දාස් නමසිය හැටේ දශකයේ ආරම්භ කරපු ආනන්ද විද්‍යාලයේ පාසල් සඟරාවේ ‘‘ආනන්දය” කියන අකුරු ටික ඇන්දේ රන්ජිත්. මේ අද දක්වාම සඟරාවේ ලාංඡනය හැටියට පාවිච්චි වෙන්නේ එදා රන්ජිත් ඇඳපු ඒ අකුරු ටික. ඒ වගේම එහු ඒ කාලේ අපේ බෞද්ධ සමිතියේත් ලේකම්වරයා වෙලා හිටියා.

රන්ජිත් කුමාර කියන්නේ අවුරුදු 15ක් වැනි ඉතාම ළාබාල අවධියකදී තමාගේ දක්ෂතා මැනවින් පෙන්වපු තරුණයෙක්. ඔහුට මේ හැකියාවන් ජන්මයෙන්ම ලැබුණු කෙනෙක්. ලංකාවේ පළවෙනි වරට පාසල් ශිෂ්‍ය කණ්ඩායමක් චිත්‍රපටයක් නිර්මාණය කරන්නෙත් රන්ජිත් ඇතුළු පිරිසකගෙන්. ඔවුන් මුලින්ම කළේ ‘ වෙර ‘ කියලා කෙටි චිත්‍රපටයක්. ඊට පස්සේ තමයි ඔවුන් ‘ නිම් වළල්ල‘ හදන්න පෙලඹෙන්නේ. මම රන්ජිත්ව හඳුනා ගන්නකාලේ වෙනකොට ඔවුන් නිම් වළල්ල හදන්න සූදානම් වෙනවා. මගේ හිතේත් පාසල් යන අවධියේ පටන්ම කලාව කෙරෙහි උපන් ස්නේහය තිබුණ නිසා අපි දෙන්නා සමීපව ඇසුරු කරන්න පටන් ගත්තා. ඒ සමිප ඇසුර තුළ තමයි මට දැනෙන්නේ රන්ජිත් කොයි තරම් නිර්ව්‍යාජ මිනිසෙක්ද, සරල මිනිසෙක්ද, සංවේදි මිනිසෙක්ද, කොයි තරම් දක්ෂතා ඇති මිනිසෙක්ද කියලා.

මම දැකල තිබුණේ නෑ එකම මිනිසෙක් තුළ මේ තරම් දක්ෂතා ප්‍රමාණයක් තිබෙනවා. රන්ජිත් මුලින්ම පොත් කවරයක් අඳීනකොට ඔහුට අවුරුදු 15යි. මම හිතන්නේ එතැන් පටන් මියයන මොහොත දක්වාම ඔහු මේ රටේ ප්‍රවීණයින් රාශියකගේ පොත් කවර නිර්මාණ කරලා තියෙනවා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පවා. පසුගිය වසරේ මම වාසනාවන්ත වුණා මගේ ‘ සිතල දිය දෝතක් ගීත රචනා සංග්‍රහයේ පිට කවරය රන්ජිත් අතින් නිම කර ගන්නට. මම හිතන්නේ ඒක තමයි ඔහු අවසන් වරට ඇන්ද පොත් කවරය වෙන්නේ. මට මතකයි ඔහු 1975 දි පොත් කවර නිර්මාණ 100ක් එකතු කරලා ප්‍රදර්ශනයක් කළා. ඊට පස්සේ 1986 දි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් ගේ ප්‍රධානත්වයෙන් ලයනල් වෙන්ට්ඩ් එකේත් පොත් කවර ප්‍රදර්ශනයක් තිබ්බා.

ඇත්තටම රන්ජිත් ගේ ජිවිතයට මේ හැම දෙයක්ම ළඟා වෙන්නේ මම හිතන්නේ උත්පත්තියෙන්මයි. මොකද ඔහුගේ පවුලේ පසුබිම, ඔහුගේ මේ ගමන් මඟට හොඳටම බලපෑවා කියලා මම විශ්වාස කරනවා. රන්ජිත් ගේ තාත්තාත් කොළම ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන ගත්තු කෙනෙක්. ඔහුත් ප්‍රේමදාස මහත්තයාත් සමඟ කිට්ටුවෙන් වැඩ කරපු කෙනෙක්. ඔහුගේ බාප්පා චිත්‍රපටවලට නාටය වලට සම්බන්ධ වුණු කෙනෙක්. ඔහුගේ මාමා චිත්‍රපට නාමාවලි හදපු, චිත්‍රපට කලා අධ්‍යක්ෂණය කරපු කෙනෙක්. ඉතින් මේ පවුලේ පසුබිම නිසා නිතරම රන්ජිත් ගේ ගෙදර කලාකාරයන්ගෙන් පිරි පැවතුණා. ඒ වගේම තමයි ඔහුට ගෙදර ඉතාම වටිනා පුස්තකාලයක් තිබුණා. තාත්තලා, මාමාලා, බාප්පලා පාවිච්චි කරපු වටිනා පොත පත රන්ජිත්ටත් නිතර පරිහරණය කරන්න ලැබුණා. රන්ජිත්ගේ ගෙදර උඩ තට්ටුවේ තිබුණ මේ පුස්තකාලය තමයි රන්ජිත්ගේ දැනුම ලෝකය මහා පරිමාණයෙන් වර්ධනය කළේ. ඔහු හරිම ආසයි කියවන්න. ඒ වගේම තමයි ලියන්නත් ආසයි. මට මතකයි රන්ජිත් ගේ පොත් මේසේ උඩ තිබුණා ලොකු පේපර් කටින් පොතක්. ඒ පොත පිරිලා තිබුණේ විවිධ පුවත්පත්වල පළවුණු ශාස්ත්‍රිය රචනාවලින්. මේ පොත හදන්න රන්ජිත්ට පුරුදු කරලා තිබුණේ එයාගේ අම්මා. කොස්ගස් හන්දියේ තිබුණු ඔහුගේ ගෙදරට ඒ කාලේ මමත් නිතරම යනවා එනවා. මමත් ඔහුගේ මේ පොත් පත් පරිහරණය කරනවා. රන්ජිත්ට ගෙදර පරිසරයෙන් උදාවුණු මේ ඇසුර නිසාම ඔහු නිතරම ගවේෂණයට යොමු වුණා.

රන්ජිත් ඉස්කෝලෙ යන කාලේ ඉඳලම ලේඛනයට හුරුවුණු කෙනෙක්. මට මතකයි ඔහු ඒ කාලේ කෙටිකතා පොතක් ලිව්වා‘ නොනැඟුණු ගෙදර ‘ කියලා. ඊට පස්සේ රන්ජිත් විවිධ පත්තරවලට ලියන්න පටන් ගත්තා. මේ රටේ විවිධ කලාකරුවන් ගැන , සාහිත්‍යධරයන් ගැන ලියන්න ගත්තා. සමහර හැංගිලා හිටපු කලාකරුවන් සොයාගෙන ගිහින් රන්ජිත් ඔවුන් ගැන ලෝකයාට කිව්වා. එහෙම කිව්ව බොහෝ පිරිසක් අද මේ රටේ අතිශය ජනප්‍රිය, ප්‍රවීණ කලාකරුවන් වි තිබෙනවා. මුල් කාලයේදිම රන්ජිත් ඔවුන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන, ඔවුන් ගේ අනාගතය දැක්ක. ලිවීමේදි ඔහුට කිසිම පංගු පේරුවක් තිබුණේ නෑ. ආධුනිකද, ප්‍රවීණද කියලා භේදයක් තිබුණේත් නෑ. කෙනෙකුගේ දක්ෂතාවයක් දැක්ක නම් ඔහු ලිව්වා. අන්න ඒ වගේ අදහගන්න බැරි ගතිගුණ තිබුණ මනුස්සයෙක්.

මට මතකයි රන්ජිත් ‘විසිතුර’ පත්තරේට ‘කරළියේ චරිත’ කියලා විශේෂාංගයක් කළා. ඒ කාලේ නැගී ගෙන ආපු නළුවන්, නාට්‍යකරුවන් හොයාගෙන ගිහින් රංජිත් ඔවුන් ගැන ලිව්වා. සමන් බොකලවෙල, ලූෂන් බුලත්සිංහල, සැන්ටින් ගුණවර්ධන, යූ ආරියවිමල්, චන්ද්‍රා කළුආරච්චි වැන්නෝ හොයාගෙන ගිහින් ඔහු ලිපි ලිව්ව හැටි මට මතකයි. ඒ කාලේ අද වගේ ප්‍රවාහන පහසුකම් තිබුණෙත් නෑ. රන්ජිත් මේ වෙනුවෙන් කොයි තරම් නම් ඇවිදලා ඇත්ද? ඒ විතරක් නෙමෙයි ඔහු මේ කලාකරුවන් නිෂ්පාදකවරු අතර හොඳ සන්ධානයක් ගොඩ නඟලා නිර්මානකරණයට ඉඩ හසර හදලා දුන්න අවස්ථාත් ඕනතරම් තිබුණා. සමහර කලාකරුවන් අතර සුළු සුළු හෝ හිත් රිදිම් අමනාපකම් තිබුණොත් ඒවත් සමතයකට පත්කරන්න රන්ජිත් බොහෝ විට මැදිහත් වුණා.

ලේඛකයෙක් විදියට රන්ජිත් ගොඩනඟාගත් අනන්‍යතාවය මැත ඉතිහාසයේ කිසිම ලේඛකයෙකුට ගොඩනඟාගන්න බැරිවුණා. ඔහු කවමදාවත් බොරුවක් ලිව්ව ලේඛකයෙක් නොවෙයි. ඔහු යමක් ලියනවා නම් හොඳට හොයලා බලල එහි නිරවද්‍යතාවය පිළිබඳ තහවුරු කරගෙන තමයි යමක් ලිව්වේ. කවමදාවත් කිසිවෙකුගේ වැරැදි අඩුපාඩුවක් ලිව්ව කෙනෙක් නොවෙයි. කවරකු හෝ ඉහළට ඔසවා තබන්නට තමනගේ පෑන මෙහෙයවුවා මිසක් පහළට ඇද දැමිමේ කලාවක් ඔහුට තිබුණේ නෑ.

සිනමා පත්තර කර්තෘවරයෙක් විදියට රන්ජිත් මේ රටේ සිනමාවට අති විශාල මෙහෙයක් කරපු කෙනෙක්. කර්මාන්තයක් විදියට සිනමාව පවත්වගෙන යන්න උදව් කළා වගේම කලාවක් විදියට සිනමාව නංවන්නත්, මේ රටේ පාඨක රසාස්වාදය උසස් මට්ටමට ගෙන එන්නත් ඔහු පෑන මෙහයෙව්වා. අනිත් විශේෂම කාරණාව තමයි සිනමා සම්මාන උලෙළ පැවැත්වීම පිළිබද සුවිශේෂ අත්දැකීම් රැසක් රන්ජිත්ට තිබුණා. ඔහු සරසවිය සම්මාන උළෙල පවත්වලා ලබපු අත්දැකිම් ඇසුරු කරගෙන පසුකාලයක සුමති සම්මාන උලෙළ සංවිධානය කළා. රන්ජිත් මේ සියලු දේවල් කළේ තමන් රැකියාවක් කරනවා කියලා හිතාගෙන නොවෙයි. ඔහුගේ ආසාව, ආදරය නිරන්තරයෙන් හිමිවුණේ කලාවට. ඒ නිසා ඔහු මේ හැම දෙයක්ම කළේ මහත් ආදරයකින්.

මම දන්න හැටියට රන්ජිත් ගේ ජීවිතේ කිසි දවසක ඔහුට තරහකාරයන් හිටියේ නෑ. ඔහු හැමදාමත් බොහොම සාමයෙන්, සමඟියෙන් ජීවත්වුණු මිනිසෙක්. ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඔහු බෞද්ධාගමට ලොකු නැඹුරුතාවයක් තිබුණා. ඒ නිසා ඔහුට හොඳ ජීවිතාවබෝධයක් තිබුණා. ඔහු බොහෝ දේවල් එක්රැස් කරපු මිනිසෙක් නොවෙයි. ඔහු එක්රැස් කළානම් කළේ දැනුම, පොත් පත් ආදිය පමණයි. යාන වාහන, ගෙවල් දොරවල්, බඩු මුට්ටු පිළිබද ඔහුට ලොකු හැගීමක් තිබුණේ නෑ. එහෙම වුණා කියලා ඔහු අසතුටින් හිටපු මිනිහෙක් නොවෙයි. බොහොම සරල ජිවිතයක් ගෙවපු, පොළොවේ පය ගහලා හිටපු මිනිසෙක්. ඔහු ආස කරන විදියට ජිවිතේ ගෙවන්න ඔහුට ගෙදරිනුත් දිරියක් ලැබුණා. ප්‍රවීණ, ජනප්‍රිය ගායිකාවක් වුණු ඔහුගේ බිරිඳ, දමයන්ති ජයසුරිය ඔහුව ඉතාම හොදින් බලා ගත්තා. ඇයගේ කලා කටයුතු සියල්ල අමතක කරලා. ඒ වගේම ඔහුගේ පුතු ඔහුටම ගැළපෙන ආකාරයේ සිතුවිලිවලින් පරිපුර්ණ, බොරු සෝබන නැති මානුෂිය වශයෙන් නිතරම හිතන සරල ජීවිතයක් ගෙනයන කෙනෙක්. මේ නිවස රන්ජිත් ගේ ජීවිතයට සැනසිල්ල ගෙනාව කියලා මට විශ්වාසයි. ඔහු ඔහුගේ ජීවිතේ අවසාන කාලය මේ නිවසේ සතුටින් සිටියා.

ඔහු වැනි කල්‍යාණ මිතුරෙකු අහිමි විම ඇත්ත වශයෙන්ම දරාගන්න අමාරු කාර්යයක්. නමුත් අපි ලෝක ධර්මතාවයට අනුව මේ ලෝකෙට ආවා නම් කෙදිනක හෝ යන්නම වෙනවා. රන්ජිත් නැති අඩුව පුරවන්න මම හිතන්නෙ නෑ මේ කපේ කාටවත් පුළුවන් වෙයි කියලා. එවැනි දක්ෂතා ඇති මිනිසුන් ලේසියෙන් බිහිවෙන්නේ නෑ. මම වැන්නෙක් ගීත රචකයෙක් විදියට කවදාවත් මතු වෙන්නේ නෑ රන්ජිත් වැනි මිනිසෙක් හිටියේ නැතිනම්.ඔහු මම නැගිටිනතුරුම මගේ අතින් අල්ලගෙන මට සහයෝගය දුන්නා. මේ සංසාර ගමනේ එවැනි කල්‍යාණ මිතුරන් මතුමතුත් හමුවේවා.

සේයාරුව – නිශ්ශංක විජේරත්න

සේයාරූ – ප්‍රදීප් පත්මපෙරුම

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT