ශ්‍රී ලාංකේය සිනමාවේ ඩිජිටල් කැමරාකරණයේ හැරවුම් ලක්ෂ්‍යය ඔහු විය. එතෙක් කලක් පැවති සිනමා රිල් ක්‍රමවේදයට තිත තබමින් සිනමාව ඩිස්ක් එකක් මතම රැගෙන ඒමේ සම්බන්ධීකාරකයා වන්නේ ද මොහුය. විදෙස් ගතව සිට ලොව නවීනතම ඩිජිටල් සිනමා කැමරා කරණයන් පිළිබඳ විසල් දැනුමක් ලබාගන්නා ඔහු ඒ අති නවීන කැමරාවන්ට ඇස තබමින් තම ඥානය සිනමානුරූපීයව නිර්මාණයන්ට එක්හාසු කරනුයේ දෙස් විදෙස් සම්මාන රැසක් ලබමිනි. මේ වන විටත් දේශීයව මෙන්ම විදේශියව ද අන්තර්ජාතික සම්මාන රැසකින් ඇගැයුමට පාත්රව සිටින මේ කැමරා අධ්යක්ෂවරයා මීට සති කිහිපයකට උඩ දී යළිත් අන්තර්ජාතික සම්මානයෙන් ඇගැයුමට ලක්වුයේ ඔහු විසින් කැමරා අධ්‍යක්ෂණය සිදුකළ ආශු චිත්‍රපටය උදෙසාය.
61වැනි ආසියා, පැසිපික් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම සිනමා රූපී කැමරාකරණය වෙනුවෙන් මෙවර ඔහු අන්තර්ජාතික සම්මානයට පාත්‍ර විය. මීට පෙරද ඔහු අන්තර්ජාතික සම්මානයකින් ඇගැයුමට ලක්වුයේ ද සුවිශේෂී සලකුණු කීපයක් තබමින් වීමද සුවිශේෂී විය. තමන් විසින් මුල්වරට නිෂ්පාදනය කළ තමන් විසින්ම මුල්වරට කැමරා අධ්‍යක්ෂණය සිදුකළ සෙවණැලි චිත්‍රපටය මෙම සම්මාන උලෙළේ දී හොඳම සිනමානුරූපී කැමරාකරණය සඳහා සම්මාන ලැබීමද සුවිශේෂි විය. එමෙන්ම එම ගෞරවනීය බව තවත් තීව්රර වුයේ ඩිජිටල් තාක්ෂණයෙන් තැනු චිත්‍රපටයක් මුල්වරට අන්තර්ජාතික සම්මාන උලෙළක් නියෝජනය කර ජයග්‍රහණය අත්කරගත් මුල්ම නිර්මාණය මෙය වීම ද මෙවැනි සම්මාන උලෙළකදී ලංකාවේ ළාබාලතම කැමරා ශිල්පියෙකු මෙවැනි සම්මානයක් දිනාගැනිම ද ලංකාව ලැබු කීර්තිමත් ජයග්‍රහණයක් විය.
සිනමා ක්ෂේත්රයට පැමිණ ඉතා කෙටි කලක් තුළ දේශීය චිත්‍රපට 13ක් හා විදෙස් චිත්‍රපට හතරක් වෙනුවෙන් කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ අද අපේ කතා නායකයා මේ වනවිට කැමරා අධ්‍යක්ෂණයෙන් බැහැරව චිත්‍රපට අධ්යක්ෂණයටද, පිටපත් රචනයටද, සංස්කරණය සඳහා ද යොමු වී සිටී මෑතකදී තිරගත වූ සඳකඩ සිනමා නිර්මාණය ඔහුගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණය ද විය.
ලංකාවේ සිනමා ක්ෂේත්රයේ නියැළී පුද්ගලයෙක් ලැබිය හැකි ඉහළම සම්මානය වූ සරසවිය සම්මානය තමන්ගේ සිනමානුරූපී කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් 2018 වසරේදී දිනාගන්නට තරම් වාසනාවන්ත වූ මේ ළාබාලතම කැමරා අධ්යක්ෂවරයා. සරසවිය සම්මාන ඉතිහාසයේ අඩුම වයසකදී හොඳම කැමරාකරණය වෙනුවෙන් සම්මාන දිනා ගත් පළමු ශිල්පියා වීමට මෙහිදි වාසනාවන්ත විය.
සිනමා නිර්මාණයන් කිරිමේදී අභියෝගයන්ට අභියෝග කරමින් පවතින ස්වාභාවික ආලෝක තත්ත්ව යටතේ සිනමා නිර්මාණයන් කැමරාවට උකහා ගන්නට උත්සාහයක නියැළෙන කවදත් සිනමාවේ මුරණ්ඩු වැඩ ටිකක් කරන්නට මානබලන මේ තාරුණ්‍ය සපිරි සම්මානනීය කැමරා අධ්යක්ෂවරයා අන්කවරේකු නොව විශ්වා බාලසූරියයි.
ලාංකේය සිනමා කර්මාන්තයේ ඩිජිටල් කැමරාකරණයේ මුල්ම උපදේශකයා මෙන්ම සම්බන්ධීකාරකවරයා වූ විශ්වා බාලසූරිය හා සංවාදාත්මක කතාබහකට මුලපුරමු.
අන්තර්ජාතික සම්මානනීය ඇගැයුමක් ලබා මේ දවස්වල සතුටින් කාලය ගත කරන විශ්වාගේ අලුත් තොරතුරු එහෙම කොහොමද?
අලුත් වැඩ කිපයක්ටම මේ දිනවල සුදානම් වෙමින් ඉන්නේ. චිත්‍රපට පිටපත් කීපයක් ලියමිනුත් ඉන්නවා. එක පිටපතක වැඩ නම් අවසන් කරල තියෙන්නේ. අලුත් පිටපතක් ලියමිනුත් ඉන්නවා. ක්‍රිස්මස් ඉන් කලම්බු කියල විදෙස් චිත්‍රපටයක් කළා. ඒකේ වැඩකටයුතු අවසන් කරල වැඩි ද දවසක් නෑ. දින කිහිපයකට චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා ඉංගලන්තයට යාමේ සූදානමක් තියෙනවා.
මම හිතන්නේ ඔබ මේ හතරවන වතාවට තමයි අන්තර්ජාතික සම්මානයකින් ඇගැයුමට පාත්‍ර වන්නේ?
මීට කලින් මම මුලින්ම නිෂ්පාදනය කළ උදාර අබේසුන්දර අධ්‍යක්ෂණය කළ මම කැමරාකරණය කළ සෙවණැලි චිත්‍රපටය සඳහා 2014 වසරේ නිව්යෝක් අන්තර්ජාතික ලේක්චැම්ප් ලේන් සිනමා සම්මාන උලෙළේ දි මට හොඳම සිනමාරූපී කැමරාකරණය සඳහා සම්මානය ලැබුණා. ඊට පස්සේ අන්තර්ජාතික සම්මාන උලෙළ කිහිපයකදීම මාව හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා නිර්දේශිත වුණත් හොඳම කැමරා අධ්‍යක්ෂක ලෙසින් ජයග්‍රහණ කරන්න ලැබුණේ නෑ. ඊට පසු මම දෙවැනි වරට අන්තර්ජාතික සම්මානයක් හොඳම කැමරා අධ්‍යක්ෂණය සඳහා ලබන්නේ අචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සුනාමි චිත්‍රපටය වෙනුවෙන් ඩර්ක් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ දී ඉන්පසු මා තෙවෙන වරට නැවත හොඳම කැමරාකරණය සඳහා අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සිංහබාහු චිත්‍රපටය වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ බේලීස් අන්තර්ජාතික සම්මාන උලළේ දී මට ලැබුණා. මෙවර හතරවෙනි වතාවට චීනයේ මැකොව්හි පැවති හැට එක්වන ආසියා පැසිෆික් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ මම කැමරා අධ්‍යක්ෂණය සිදුකළ ආශු චිත්‍රපටය සඳහා හොඳම සිනමා රූපී කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුණා.
විශ්වා දැන් චිත්‍රපට අධ්යක්ෂවරයෙක්?
ඔව් මම හා පුරා කියා අධ්‍යක්ෂණය කළ සඳකඩ චිත්‍රපටය මේ දිනවල මහජන ප්‍රදර්ශනයේ පවතිනවා. මේ චිත්‍රපටයත් වෙනස්ම අත්දැකීමක් අපේ සිනමා පේ්රක්ෂකයන්ට. මේ චිත්‍රපටය බැලේ එකක්. බැලේ සියලු නර්තනයන් චන්න විජේවර්ධනයන්ගේ එතුමන් තමයි එහි බැලේ නිර්මාණයේ නිර්මාතෘවරයා මම. ඒ බැලේ එක සිනමානු රූපීයව ඉදිරිපත් කරමින් චිත්‍රපටයක් බවට පෙළගස්වපු අධ්යක්ෂවරයා.
සඳකඩ සිනමා නිර්මාණය ඔබව තවත් දිසානතියකින් සිනමාවට කැන්දා ගෙන එනවා නේද?
මම මේ චිත්‍රපටයේ සංස්කාරකවරයා ලෙසත් කටයුතු කළා. මගේ සහයට මම අනුර බණ්ඩාරවත් සහභාගි කරගත්තා.
දැන් ඔබ චිත්‍රපට සංස්කරණ ශිල්පියෙක්?
මමත් විවිධ විවිධ අත්හදා බැලීම් කරන සිනමාවේ මුරණ්ඩුකාරයෙක් මම ආසයි. අලුත් අලුත් දේ තුළින් අපේ සිනමාව අප්ඩේට් කරන්න.
විශ්වාට මේ වනවිට තිබෙන සිනමා දැනුමත් සමඟ වේදිකා බැලේ එකක් සිනමාවට ගේනවට වඩා වැඩි යමක් කැටි වූ දැවැන්ත සිනමා නිර්මාණයකින් අධ්යක්ෂණයට පය තියන්න තිබුණේ?
අපි පටන් ගන්න ඕනේ පුංචි තැනින්. මගේ ආරම්භයත් එහෙමයි. කවදාවත් ඒ අතීතය මම අමතක කරන්නේ නෑ. ඒ අතීතය මම ඕනෙ තැනක සිහිපත් කරනවා. බොහොම සතුටින්. මගේ මව වූ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සරෝජා චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමේ ටී බෝයිගේ සහයකයා ලෙස දවසේ පඩිය රුපියල් 125ක් ලබමින් ආපු ගමනක් තමයි මට තියෙන්නේ. ඒ අතීතය හරිම සුන්දරයි. මේ විශ්වා බාලසූරිය ඕපපාතිකව මේතාක් දුර ආවා නොවෙයි. සමහරු අතීතය කියන්න කැමැති නෑ. තැනකට ආවට පස්සේ ඒත් මම අද ඉන්න තැන ගැන පුරසාරම් කියනවාට වඩා මම ආපු ගමනේ ආරම්භය ගැන පැය ගාණක වුණත් කතා කරන්නේ බොහොම සතුටින් මට අතීතය අමතක කරල වර්තමානය ගැන කතා කරන්න බෑ.
වෙනස්ම ආකාරයේ සිනමා අත්දැකීමක් අරගෙන තමයි ඔබ සිනමා අධ්යක්ෂණයට පිවිසෙන්නේ?
මම කොහොමත් වෙනස්ම දෙයක් කරන්න උත්සාහ ගන්නා පුද්ගලයෙක්. කාගේ හෝ සිනමා නිර්මාණයකදී වුවත් මගේ කැමරා අධ්‍යක්ෂණය තුළ ඔහු හෝ ඇයගේ සිනමා කෘතියට අලුත් යමක් මගේ දැනුමෙන් එක්කරලන්න උත්සාහ ගන්න කෙනෙක් මම. සෝමරත්න දිසානායකයන්ගේ සරිගම මුළු චිත්‍රපටයම මම ෂුට් කළේ මල්ටි කැමරා දෙකකින්. එහෙම කරපු ලංකාවේ මුල්ම චිත්‍රපටය වුණේ සරිගම රෙඩ් කැමරා දෙකකින් තමයි ෂුට් කළේ. මේ චිත්‍රපටයේ කැමරාකරණය උදෙසා මට හොඳම කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානය පවා ලැබුණා.
ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සංසාරණ්‍යයේ දඩයක්කාරයා චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය මම කළේ පවත්නා අලෝක තත්ත්වය යටතේ. මේ ආකාරයේ පවතින ආලෝක තත්ත්වයන් යටතේ ෂුට් කරපු එකම චිත්‍රපටය මේක. කෘත්‍රිම ආලෝකයෙන් තොරව අඩුම තරමින් රිෆලෙක්ටර් බෝඩ් එකක්වත් නැතුව කළ අභියෝගාත්මක රූපගත කිරිමක්.
මේ වගේ අභියෝග මම ජයගත්ත කෙනෙක් හැටියට වේදිකා බැලේඑකක් සිනමාවට ගේන්න තෝරගැනිමත් අභියෝගයක් තමයි. වේදිකා බැලේ එකක් සිනමාවට ගේන. පළමු කෙනාත් මම වෙන්න ඕනේ.
තව නොබෝ දිනකින් ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ කපුටු කොහෝ සිනමා නිිර්මාණය සමඟින් වේදිකා නාට්‍යයක් සිනමා රූපීයව ගේන්නත් කැමරාකරණයෙන් ඔබ දායකවනවා නේද?
වේදිකානාට්යයක් සිනමානුරූපීයව කැමරා අධ්‍යක්ෂණය කරමින් රිදි තිරයට ගේන පළමු කැමරාඅධ්යක්ෂවරයාත් මමම විය හැකියි. සෝමරත්නයන්ගේ මෙම නවතම සිනමා නිර්මාණය මෙරට ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක්.
කැමරා අධ්‍යක්ෂණයෙන් කළඑළි බැසිමේ අරමුණින් ඔබ විසින් නිෂ්පාදනය කරමින් කැමරා අධ්‍යක්ෂණය කළ සෙවණැලි චිත්‍රපටය හරහා ඔබ අන්තර්ජාතික සම්මාන ලැබුවත් අද වෙනකන් ඒ චිත්‍රපටය අපේ ප්‍රේක්ෂකයන්ට දැකගන්න නොලැබීමට හේතුව මොකක්ද?
මම චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස මේ ක්ෂේත්රයට එක්වන්නෙත් සෙවණැලි චිත්‍රපටය හරහා මගේ පළමු සිනමා නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ උදාර අබේසුන්දර මේ චිත්‍රපටය අපි නිර්මාණය කළේ 2013 වසරේ නමුත් සම්මාන පිට සම්මාන විදෙස් රටවල ලැබුවත් අපේ රටේ පේ්රක්ෂකයන්ට මෙය පෙන්වන්න හදන කොට හෝල් හිමියන්ගෙන් මට ලැබෙන්නේ අඩු සැලැකිල්ලක් අන්තර්ජාතික සම්මානයක් සිනමා කෘතියකට ලැබුණොත් එය ප්‍රදර්ශනය සඳහා ප්රමුඛත්වයක් ලබාදීමේ ක්‍රමවේදයක් තිබුණත් මට ඒ ක්‍රමය තවම කැපවෙලා නෑ ඒ ඇයි කියන්න මම දන්නෑ ඒකයි චිත්‍රපටය රිලීස් නොවෙන්න හේතුව. ඩිජිටල් ෆෝමැට් එකෙන් කරපු පළමු වරට අන්තර්ජාතික සම්මානයක් දිනූ මුල්ම චිත්‍රපටය වන්නෙත් සෙවණැලි.
විදෙස් චිත්‍රපට උලෙළ හතරක් නියෝජනය කරමින් ඔබේ කැමරා අධ්‍යක්ෂණය මේ වනවිට ඇගැයීම් ලබල ඉවරයි.
සෙවණැලි, සුනාමි, සිංහබාහු, ආශු චිත්‍රපට හතරම හොඳම කැමරා අධ්‍යක්ෂණය සමඟ මාව උඩට ඔසවා තැබුවා. අන්තර්ජාතික ඇගැයුමක් ලබාදෙමින්.
මේ වනවිට කොපමණ චිත්‍රපට ප්‍රමාණයක් සඳහා ඔබගේ නිර්මාණ දායකත්වය එක් කරලද තියෙන්නේ?
දේශීය වශයෙන් චිත්‍රපට 13ක් සඳහා මම දායක වෙලා තියනවා. විදෙස් චිත්‍රපට හතරක් සඳහාත් මගේ නිර්මාණ දායකත්වය ලැබිල තියනවා. ඒ අතර හොලිවුඩ් චිත්‍රපට දෙකක් තියනවා. අනික් දෙක චීනයේ හා එංගලන්තයේ චිත්‍රපට දෙකක්.
ආචාර්ය සෝමරත්නයන්ගේ සිනමා කෘති වැඩිප්රමාණයකට ඔබ කැමරාඅධ්යක්ෂණයෙන් එක් වෙනවා. ඒකට විශේෂත්වයක් තියනවද?
ආචාර්ය සෝමරත්නයන් කියන්නේ සිනමාවේ මුරණ්ඩු හරි සුන්දර අධ්යක්ෂවරයෙක්. මේ අධ්යක්ෂවරයාගේ වැඩ තමන්ගේ වයසට අනුව නොවෙයි. විටෙක ඔහු ඉතිහාසය හඹා යනවා. තවත් විටෙක පුංචි ළමයෙක්ගේ හදවත සොයා එනවා. තවත් විටෙක වණ අරණක සුවය සොයා යනවා. විටින්විට වෙනස්වන තමන්ගේ සිනමාත්මක කෘති ඔස්සේ තාරුණ්‍යයට කතා කරන වෙනස් කෝණයකින් බලන සිනමාකරුවෙක්. ඔහුත් සමඟ වැඩ කිරිමත් අපිට තක්සලාවක් වගෙයි. මම එතුමන්ගේ ජංගි හොරා චිත්‍රපටයට තමයි මුලින්ම කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ. මේ වනවිට මම එතුමන්ගේ චිත්‍රපට පහක් වෙනුවෙන් කැමරා අධ්‍යක්ෂණය කරල තියනවා. ජංගි හොරා, සරිගම, සුනාමි, සිංහබාහු, කපුුටු කොහෝ.
විශ්වා මේ වනවිටත් තිරපිටපත් රචනයට පෙම් කරන හැඩයි?
මගේ පළවෙනි තිරපිටපත් රචනය වුණේ ජහුටා මගේ කතා සංකල්පයක් අනුව තමයි ජහුටා තිරපිටපතට ලියවෙන්නේ. හරින් වාසල කියන මගේ මිතුරත් සමඟ තමයි. මම මේ පිටපත් සම්පාදනය කිරිම ඇරැඹුවේ මේ තිරපිටපත අනුව අපි ජහුටා නමින් චිත්‍රපටයක් කරන්න සියලු වැඩ කටයුතු සුදානම් කළා. ලොකේෂන් පවා බලල වැඩපටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී කෝරෝනා ව්‍යසනය ආවා. වැඩ නතර වුණා. යළිත් ව්‍යසනය ඉවර වෙලා මෙහි වැඩකටයුතු යළිත් අරඹන්න හදනකොට වියදම දෙගුණයකින් තුන්ගුණයකින් වැඩිවෙලා අපේ බජට් එක ඕවර් යන තත්ත්වයක් නිසාවෙන්. අපි රූපගතකිරීම් කරන වැඩපිළිවෙළ නතර කළා.
මේ දවස්වල මම ගමන කියල තිරපිටපතක් ලියාගෙන යනවා. එහි වැඩකටයුතුත් අවසන් අදියරයේ තියෙන්නේ. මේ පිටපත මම ලිව්වේම අඩු බජට් එකක් තුළ චිත්‍රපටයක් කිරීමේ පරමාර්ථය මුල්කරගෙන. ගමන පිටපත රොමැන්ටික් කමඩියක් ජීවිත හතක කෙටි ගමනක මුළු ජීවිතයම කතා කරන කතාවක් තමයි මෙහි තියෙන්නේ.
තිරපිටපත් ලිව්වට ඒවා සිනමාත්මකව දකින්න නැත්නම්?
ඔන්න ඕක තමයි ප්රශ්නය අද මට ඕනේ හොඳ නිෂ්පාදකයෙක් මට ඕනේ එක චිත්‍රපටයක් කරන්න විතරයි. එයින් මට ෂුවර් නිෂ්පාදක ගොඩ යනවා කියලා මගේ අත්දැකීම් අනුව මට ෂුවර් එක් දෙයක් තියනවා ගමන පිටපත සිනමාත්මක කෘතියක් කළොත් අනිවාර්යෙන්ම දුවන චිත්‍රපටයක් වෙයි කියලා.
අඩු බජට් එකේ නිර්මාණ අඩු කොලිටියේ වුණොත් එකෙන්ම ඔබේ අපේක්ෂාව සාර්ථක නොවෙනවා නේද?
ලෝබජට් කිව්වට වැඩේ ඉස්තරම්. මගේ චිත්‍රපට කණ්ඩායමේ හැම මිත්‍රයෙක්ම මට කියල තියෙන්නේ එයාලගේ ගාණ නැතුව. දෙන කීයක් හරි අරගෙන එයාලගේ කාර්ය මා වෙනුවෙන් ඉටු කරනවා කියලා. එතනදී මට ඔවුන්ගේ වටිනාකම වෙනුවෙන් ඔවුන් අය කරන අතිවිශාල මුදලක් ඉතිරි වෙනවා. එච්චර හොඳ මිත්‍රයෝ පිරිසක් මට ඉන්නවා. සල්ලි දුන්නොත් ගන්න. ආයෙ නොයිල්ලන. එයාලටත් ඕනේ මගේ හැකියාවට උදවුවක් වෙන්න.
ඔබේ මව මෙරට ප්‍රධාන පෙළේ චිත්‍රපට නිෂ්පාදිකාවක් වූ රේණුකා බාලසුරිය. එතුමියට පුළුවන්නේ ඔබට ශක්තියක් වෙන්න?
ඇය අදටත් මට මහා ශක්තියක්. ඇගේ ශක්තිය තමයි මාව මේ තැනට ඔසවා තැබුවේ. ඇය මෙරට කීර්තිමත් චිත්‍රපට නිෂ්පාදිකාවක් බව ඇත්ත. ඒත් ඇය නිෂ්පාදනය කළ සුනාමි චිත්‍රපටය කොරෝනා ව්‍යසනයන නිසා අති විශාල මුල්‍යමය පාඩුවක් දැරුවා. ඇය ඒ චිත්‍රපටය කළේ තමන් සතුව තිබු ගේ දොර ඉඩකඩන් වාහන පවා උගස්කරලා ගත්ත සල්ලි වලින්. විශාල පිරිවැයක් ඇය සුනාමි වෙනුවෙන් වැයකළා නමුත් ඒ වැය කරපු මුදල් වලින් අරික්කාලක්වත් ඇයට නැවත සොයාගන්න බැරිව ගියා. ඒ නිසාවෙන් ඇය මුල්‍යමය පැත්තෙන් අසරණවුණා. අදටත් ඇය සුනාමි වෙනුවෙන් ගත් ඒ ණය කන්දරාවට ලොකු මුදලක් ගෙවමින් ඉන්නේ. එහෙම නොවෙන්න අම්මා තමයි මගේ මේ උත්සාහයට මුලින්ම ඉදිරි පත්වන අර්ථපතිනිය. චිත්‍රපටයක් සාර්ථක වන්නට මුලිකවන පළමු සාධකය තමයි පිටපත, අන්න ඒ දේ ඔළුවේ තියාගෙන වැඩකට බැස්සොත් ගොඩඑන හැටි අපි දන්නවා. ස්වාභාවික පැමිණි රෝග ව්‍යසනයක් නොවන්න රේණුකා බාලසුරිය අර්ථපතිත්වය දැරූ සුනාමි සිනමා නිර්මාණය කවදාවත් පාඩු ලබන්නේ නෑ. ඇය නිෂ්පාදනය කළ හැම චිත්‍රපටයක්ම මෙරට ප්‍රේක්ෂකයෝ හදවතින් වැලඳ ගත්තා ඇයව දිරිමත් කරමින්. ඒ දිරිමත් කිරීම නිසාම තමයි අද ඇය නිෂ්පාදන කළමනාකරණයෙන් හරි මේ කර්මාන්තයට යෝධ ශක්තියක් වෙලා තියෙන්නේ.
අද වෙනකොට පිටපත් රචකයෙක් සංස්කරණ ශිල්පියෙක්, චිත්‍රපට අධ්යක්ෂවරයෙක් කැමරා අධ්යක්ෂවරයෙක් වී සිටින විශ්වා ගේ එකම බලාපොරොත්තුව?
අර්ථපතිත්වයෙන් සන්නද්ධ කලාවට ආදරය කරන විධායක නිෂ්පාදකවරයෙක් තමයි මට ඕනේ. නිර්මාණයේ සියලු නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු වගකිම් මම භාරගන්නවා. මට ඕනේ කලාව රසවිදින මුල්‍යමය හයියක් පමණයි.
ප්‍රඩක්ෂන් හවුස් එකක හිමිකාරිත්වයක් අද වෙනකොට ඔබ සතුයි?
මීට කලින් මම. හවුලේ ප්‍රඩක්ෂන් හවුස් කීපයක් පවත්වාගෙන ගියා විවිධ නම්වලින්. දැනට නම් ඒ සියලු හවුල් ව්‍යාපාර වලින් මම අයින්වෙලා මගේම කියල ප්‍රඩක්ෂන් හවුස් එකක් පවත්වාගෙන යනවා තනිවම ස්පෙෂල් ෆෝකස් නමින්.
ස්පෙෂල් ෆෝකස් හරහා ඔබ මේ වනවිට මොනවගේ නිර්මාණයන් ද ඉදිරිපත් කරල තියෙන්නේ?
වෙළෙඳ දැන්වීම් තමයි බොහෝ විට වැඩි වශයෙන් නිර්මාණය කරල තියෙන්නේ. අධ්‍යක්ෂණය පැත්තෙන් කැමරාකරණය පැත්තෙන් අවශ්‍ය අයට නිර්මාණ කාර්ය සඳහා උපදේශනයත් ලබා දිමක් සිදුකරනවා.
අද විශ්වා ක්ෂේත්රය තුළ රැදී සිටින තැන ගැන මොකද හිතෙන්නේ?
මම මේ තැනට එන්න අවුරුදු පහළවක් කට්ට කෑවා. 2010 වසරේ ඉදල මම අරමුණක් ඇතුව ගමනක් ආවා. මේ ගමන තුළ මම අත්හදාබැලිම් ගොඩාක් සිද්ධ කළා. ඒ අත්හදා බැලිම් ඇත්තෙන්ම සාර්ථක වුණා. මට හැකිවුණා ඕඩියන්ස් එක තේරුම් ගන්න. මිනිස්සුන්ට දැනෙන වින්දනයක් ලබාදෙන්න.
ඔබගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූ සදකඩ ඔබටම අභියෝගයක් එක්කළ සිනමා කෘතියක් බව එක්තරා අවස්ථාවක ඔබ ප්‍රකාශකර සිටියා?
චන්න විජේවර්ධනයන්ගේ සඳකඩ බැලේ එක චිත්‍රපටයක් ලෙසින් සිනමාවට ගේන උත්සාහය තමයි මගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වුණේ. මෙහි කිසිම දෙබසක් නැතුව භාවයන්ගෙන් පමණක් චිත්‍රපටය නිර්මාණය කළා. කිසිම දෙබසක් නැතුව භාවයන්ගෙන් චිත්‍රපටයක් කරනවා. කියන එකම ලොකු අභියෝගයක් මේ චිත්‍රපටය නැරඹු බොහෝ දෙනෙක් කිව්ව දෙයක් තමයි කිසිම වචනයක් කතා නොකර වුවද එය නැරඹු ප්‍රේක්ෂකයන් සංවේදී කරන්නම මම සමත් වෙලා කියන දේ ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක් වූ වේදිකාව තමයි චිත්‍රපටයේ පසුතලය වුණේ. මම තෘප්තිමත් රූපයට යම් තාක් දුරට සාධාරණයක් කරන්න හැකිවීම ගැන.
විශ්වා ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට අකැමැති පුද්ගලයෙක් ද?
ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට මම කැමැතියි. හැබැයි මම තිබ්බා ගැහුවා. කැමරාකරණයට කැමති නැති පුද්ගලයෙක් සිනමාවත් සමඟ ගනුදෙනු කරන කැමරා ශිල්පියෙක් වශයෙන් මට බෑ මගේ කොලිටිය පහළට දාගන්න. මම වාර්තා චිත්‍රපට කරල තියනවා. හරි දේට හරි පුද්ගලයෝ ඉන්නවා. සියල්ල දත් ශක්‍රයෙක් නොවෙයි මම.
අධ්යක්ෂවරයාගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමේ සියුම් ඉවකින් ඔබ සන්නද්ධයි කියල ද විශ්වා හිතන්නේ?
අධ්යක්ෂවරයා සිතින් දකින රූපය ඇහෙන් චිත්‍රයට ගේන්නේ මම අද මේ වෙනකොට මම. අධ්යක්ෂවරු සිතින් දැක්ක දේ මගේ ඇහින් දැකල මම ඒ අයගේ නිර්මාණය සාර්ථක නිර්මාණ බවට පත් කරල ඔප්පු කරල පෙන්නල තියනවා. ඒ වගේම ඒ මම ගත් උත්සාහය දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙනුත් සම්මානනීය ඇගැයුමට පාත්‍ර වෙලා තියනවා.
තිර රචකයෙක් ලෙසත් මේ වනවිට තිරපිටපත් ලියා ළඟ තබාගෙන නිෂ්පාදකයකුගේ සෙවණ ලබන්න අපේක්ෂාවෙන් පසුවන ඔබ ගේ අනාගත බලාපොරොත්තුව?
අපේ සිනමා කර්මාන්තයට හොඳ කලක් උදාකිරීම තමයි මගේ එකම අරමුණ. හැට හැත්තෑව දශකයේ අපේ සිනමාව තිබු සුන්දර කාලයට අද අපේ පේ්රක්ෂකයා රැගෙන යාම තමයි මගේ අරමුණ ඒ සඳහා පාර හදමින් මම මේ ගමනක් අරඹලා තියෙන්නේ. මේ කර්මාන්තයෙන් අපිට හොඳ අනාගතයක් ඇති කරන්න පුළුවන් කියන විශ්වාසය මත මගේ මුලික අපේක්ෂාව හොඳ නිෂ්පාදකවරුන්ගේ දායකත්වයක් තුළ මගේ පිටපත සිනමා නිර්මාණයක් බවට පත් කිරීම කවදා හෝ මගේ අවසන් ඉලක්කය. හොඳ නිෂ්පාදකයෙක් වීම.
අධ්යක්ෂවරයකුවීම මත කැමරා අධ්‍යක්ෂණයෙන් ඔබ බැහැර වෙන්නද බලාපොරොත්තුව?
මම කැමරා අධ්යක්ෂවරයකු වීම අධ්යක්ෂවරයකු වෙන්න ලොකු ආශිර්වාදයක් බව ඇත්ත. නමුත් මම අධ්‍යක්ෂණය කරන නිර්මාණයක මම කැමරා අධ්යක්ෂ වෙන්න නම් කැමැති නෑ. චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වුණා කියලා නිකන් ඉන්නෑ වෙන කෙනෙකුගේ චිත්‍රපටයක් සඳහා කැමරා අධ්‍යක්ෂණයෙන් වුණත් දිගටම දායක වෙනවා. මගේ නිර්මාණ කාර්ය අවශ්‍ය අයකු වෙනුවෙන්.
ආශු සිනමා නිර්මාණය වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වීම ගැන මොකද හිතන්නේ?
සංජය පුෂ්පකුමාරගේ සිනමා නිර්මාණයක් වූ ආශු සත්‍ය සිදුවීමක් පාදක කොට. නිර්මාණය වුවක් සංජීව පුෂ්පකුමාර අපේ සිනමාව අන්තර්ජාතික තලයට ගෙන ගිය පුද්ගලයෙක්. සංජය දැක්ක සිනමාව රූපයකට පෙරළීම තමයි මම කළ කාර්ය වුණේ. ඒ මම කළ කාර්ය තමයි ඇගැයීමට ලක්වුණේ. මේ සම්මානය මම පුද්ගලිකව ලැබු දෙයක් හැටියට සලකන්නේ නෑ. අපේ චිත්‍රපට කණ්ඩායමට ලැබු සම්මානයක් හැටියටයි මම මෙය දකින්නේ. හැම කෙනෙක්ගේම සහයෝගය නොලැබෙන්න මට රූපරාමු තිරයට ගේන්න බැරිවෙන්න තිබුණා. මේ ජයග්‍රහණය මාව ඉලක්කකර පිරිනැමුණත් මෙය සාමුහික ජයග්‍රහණයක්.
චන්දන දයාසිරිවර්ධන