Home » මෙවර නාට්‍ය උලෙළ කොළඹත් හලාවතත්, හලාවතත්, ඉන්දියාවෙත් පැවැත්වෙනවා

මෙවර නාට්‍ය උලෙළ කොළඹත් හලාවතත්, හලාවතත්, ඉන්දියාවෙත් පැවැත්වෙනවා

by Thanushika
September 4, 2025 12:02 pm 0 comment

කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මේ මස 25 සිට සැප්තැම්බර් 07 දක්වා පැවැත්වෙයි. ඒ අදියර කිහිපයක් යටතේයි. පළමු අදියර මේ මස අගොස්තු 25 වැනිදා සිට 31 වැනිදා දක්වා මරදාන එල්ෆිනිස්ටන් රඟහලේදී පැවැත්වෙයි. දෙවැනි අදියර පැවැත්වෙන්නේ සැප්තැම්බර් 02 වැනිදා සිට 04 වැනිදා දක්වා හලාවත සුදසුන ශාලාවේදී ය. තෙවැනි අදියර සැප්තැම්බර් 03 සිට 07 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුහාටි නගරයේදීත් පැවැත්වෙයි. 11 වැනි වරටත් මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර රංග කලා උලෙළට වසර දාහතරකි. ඒ පිළිබඳ එහි ප්‍රධානී එම්. සෆීර් සමඟ කරන ලද සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

“මෙවර මේ ජාත්‍යන්තර රංග කලා උලෙළේ තිබෙන විශේෂත්වය වන්නේ සැප්තැම්බර් 02 වැනිදා සිට 04 වැනිදා දක්වා හලාවතදීත්, සැප්තැම්බර් 03 සිට 07 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුහාටි නගරයේදීත් රංග කලා උලෙළ පැවැත්වීමයි. මෙවර ස්ථාන තුනක නාට්‍ය උලෙළ පැවැත්වෙනවා. පළමු වතාවටයි ජාත්‍යන්තර රංග කලා උලෙළ හලාවතට රැගෙන යන්නේ. එය බොහොම සුවිශේෂයි. මෙතෙක් ප්‍රාදේශීය වශයෙන් සිටි මිනිස්සු කොළඹට නාට්‍ය නරඹන්න ආවා. එහෙත් මෙවර අපි ප්‍රාදේශීය වශයෙන් ඒ ප්‍රදේශයට ජාත්‍යන්තර රංග කලා උලෙළක් අරගෙන යනවා. ඒක අලුත් අත්දැකීමක් වේවි කියලා හිතෙනවා. සුපුරුදු විදියට ඒ අදියර ගණනාවක් යටතේ ජාත්‍යන්තර රංග කලා උලෙළ පැවැත්වෙනවා. ඒත් සමහර දේ ඊටත් වඩා වැඩි වෙලා තියෙනවා.”

කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේ මෙතෙක් කරගෙන පැමිණි අභිනන්දනය මෙවර ද පැවැත්වෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් යමක් කළ නිර්මාණකරුවකු ඇගයීමට ලක් කරන ඒ අවස්ථාවේදී ඒ සඳහා මෙවර හිමිකම් කියන්නේ ආචාර්ය රවිබන්දු විද්‍යාපතියි.

“මෙවර අපි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේදී අභිනන්දනයට පත් කරන්නේ ආචාර්ය රවිබන්දු විද්‍යාපතියි. ඔහුයි මෙවර අපේ නාට්‍ය උලෙළේ ගෞරවයට පාත්‍ර වන නිර්මාණකරුවා වන්නේ. ඒ වගේ ම ජාත්‍යන්තර වශයෙන් ආරාධිතයා බවට පත් වන්නේ කොරියානු නාට්‍ය සංගමයේ සභාපති මාහාචාර්ය සොන් ජෙන්ග් වූ මහතායි.”

එලෙස ඇගයීම් කටයුතු සිදු වෙද්දී අගෝස්තු 25 වැනිදා ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ නිර්මාණය වී තිබෙන්නේ මේ ආකාරයටයි.

“කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේදී කොළඹදී මෙවර දේශීය වේදිකා නාට්‍ය හතක් සහ විදේශීය වේදිකා නාට්‍ය නමයක් වේදිකා ගතවෙනවා. 25 වැනිදාට ආචාර්ය රවිබන්ධු විද්‍යාපතිගේ ‘දෘපදී’ නාට්‍යයෙනුයි උලෙළ ආරම්භ වන්නේ. ඒ නාට්‍ය තරගකාරී අංශයට අයත් වෙන්නේ නැහැ. ඒ අනුව අගෝස්තු 26 – ‘MEDEA VOICE’ – මෙදියා වොයිස් -කොරියාව – අධ්‍යක්ෂණය -‌ සොං ජෙං වූ, ‘නයිටිංගේල්’ – චීනය – අධ්‍යක්ෂණය – සර්ගෙයි ග්‍රිෂින්, A Journey of Despair’ – ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය – උපේක්ෂා ලංකාතිලක, අගෝස්තු 27 -”THE AMERICAN’ – GREECE – ඇමරිකානුවා – ග්‍රීසිය – අධ්‍යක්ෂණය – තනාසිස් සරන්ටොස්, ‘ඉඩඩ… ’ – ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය – විදුර අබේධීර,’Dummy’ – ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය – සරත්චන්ද්‍ර වල්පොල, අගොස්තු 28 -‘Agleyum Cliyopatrayum’ – INDIA – ඉන්දියාව /අධ්‍යක්ෂණය – ආචාර්ය චන්ද්‍රසේකරන්, ‘171 පිටකොටුව’ – ශ්‍රී ලංකාව -අධ්‍යක්ෂණය – බනුල විජේසිංහ, ‘Unseen’ (නොදුටු)- ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය – අසංක ඉෂාන් දයාපාල, අගෝස්තු 29 –’Black white and Colors’- ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය – සුජීව පතිනිසේකර,’Inside’ – ආර්මේනියාව-අධ්‍යක්ෂණය-නයිරා යෙඩිගාරියන්,’Comrade’- ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය- ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර, ‘ඒ මම නෙවෙයි, වෙන කෙනෙක්’ – ශ්‍රී ලංකාව- අධ්‍යක්ෂණය රන්දික විමලසූරිය, අගෝස්තු 30 ‘NotMe’ – මම නෙමෙයි – රුමේනියාව-අධ්‍යක්ෂණය- කැසැන්ද්‍ර තොපොලගන්‍යු, ‘ආදර ඔංචිල්ලා’ – ‘Swings of Love’ – ඉන්දියාව – ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය එම්. සෆීර්, අගෝස්තු 31 – සම්මාන රාත්‍රියත් සිදු කිරීමෙන් සියලු කටයුතු අවසන් වෙනවා.”

මේ උලෙළට සමගාමීව සිදු වන අනෙක් සමගාමී උලෙළ සඳහා ඉදිරිපත් කරන වේදිකා නාට්‍ය ද කිහිපයකි. එය හලාවත සුදසුන ශාලාවේදී ප.ව. 6.30 සිට ආරම්භ වීමට නියමිතයි.

“එය ආරම්භ වන්නේ සැප්තැම්බර් 02 දා. එහිදි ‘නිර්මාංශ ඔෆෙලියා’ – ස්පාඤ්ඤය -අධ්‍යක්ෂණය – කාලෝටා බර්සාල්, ‘සලිත සිත්’ -ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය – ගාමිණී විජේවර්ධන, ‘ප්‍රහේලිකාව’ – ශ්‍රී ලංකාව – අධ්‍යක්ෂණය – පීටර් හේමප්‍රිය බොතේජු පියතුමා, සැප්තැම්බර් 03- ‘මැම්ලොක්’ – එක්සත් අරාබි එමීර් රාජ්‍යය -අධ්‍යක්ෂණය අහමද් අබ්දුල්ලා රෂෙඩ්, ‘අරාබි කෝපි’ – ශ්‍රී ලංකාව -අධ්‍යක්ෂණය – සසිනි මධුමාලි, ‘ළමා කාලය’ – ශ්‍රී ලංකාව -අධ්‍යක්ෂණය – වින්ධ්‍යා ආනන්ද, සැප්තැම්බර් 04- ‘හැඟීම් සමීකරණය’- ඉන්දියාව -අධ්‍යක්ෂණය අමෝග් කුෂ්වාහා, ‘මේ කතාකරන්නේ කෝපයයි’ – ටියුනීසියාව – අධ්‍යක්ෂණය බාඩි කෝර්බි, ‘The Loops – ශ්‍රී ලංකාව -අධ්‍යක්ෂණය නිෂු ජයසූරිය යන අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ වේදිකා ගත වීමට නියමිතයි. ඊට අමතරව කොළඹ නාට්‍ය කතිකාව – අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය (ආරාධිතයන් සඳහා පමණි) අගෝස්තු 26 – 29 / ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, කොළඹ නාට්‍ය වැඩමුළු – විදේශීය නාට්‍යවේදින් විසින් මෙහෙයවනු ලබන වැඩමුළු මාලාව (ආරාධිතයන් සඳහා පමණි) අගෝස්තු 26 – 30 / ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වීමට නියමිතයි.”

මෙලෙස ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ ‌පැවැත්වෙන්නේ අංශ දෙකක් ඔස්සේ යි. ඒ ඔස්සේ වේදිකා ගත වන වේදිකා නාට්‍ය මෙන්ම හලාවත වේදිකා ගත වන අනෙකුත් නාට්‍ය සම්බන්ධයෙන් මෙවර ඔවුන් අනුගමනය කරන්නේ විශේෂ ක්‍රමවේදයක්.

“අපේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ තරගකාරී නාට්‍ය උලෙළක්. ඒ නිසා එය පැවැත්වෙන්නේ අංශ දෙකකින්. ඒ ජාත්‍යන්තර අංශය හා දකුණු ආසියානු අංශය වශයෙන්. මෙවර දකුණු ආසියානු අංශය සඳහා නාට්‍ය දොළහක් තෝරාගෙන තියෙනවා. ඒවා අතුරින් 07ක් පමණයි තරග වදින්නේ. ඉන් හතරක් හලාවත ප්‍රදේශයට යනවා. ඊට අමතරව කොළඹ දවස් 05ක් හා හලාවත දවස් තුනක් වැඩමුළු පැවැත්වෙනවා. කොළඹ පැවැත්වෙන නාට්‍ය වැඩමුළු පැවැත්වෙන්නේ ඉන්දියන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, ඒ වගේ ම කොළඹ දවස් හතරක් නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සමුළුව ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. මේ විදියටයි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළේ කටයුතු පෙළ ගැසී තිබෙන්නේ. මෙවර සිදු වුණු විශේෂ කාර්ය වන්නේ කොළඹ වේදිකා ගත වන වේදිකා නාට්‍ය කිසිවක් හලාවත වේදිකා ගතවන්නේත්, හලාවත වේදිකා ගතවන කිසිම වේදිකා නාට්‍යයක් කොළඹ වේදිකා ගතවන්නේවත් නැති වීමයි. ඒකට හේතුව වන්නේ මේ ජාත්‍යන්තර රංග කලා උලෙළ සඳහා දේශීය හා අන්තර්ජාතිකව පවතින දැඩි ඉල්ලුමයි.”

එකොළොස් වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ මෙවර පවතින අනෙක් විශේෂත්වය වන්නේ මෙහි වේදිකා නාට්‍ය කිහිපයක් ඉන්දියාවේදී ද වේදිකා ගත වීමයි.

“අපට අන්තර්ජාතිකව ඉල්ලුම්පත්‍ර 162ක් ඇවිත් තිබුණා. ඒ අතුරින් අපි තෝරා ගත්තේ නාට්‍ය එකොළහක් පමණයි. දේශීය ඉල්ලම් පත්‍ර ඇවිත් තිබුණේ හැත්ත දෙකක් පමණයි. ඒ අතුරින් නාට්‍ය දොළහක් පමණයි අප තෝරා ගත්තේ. එහිදි දේශීය අංශය සඳහා පිටපත් කැඳවලා, පිටපත් තෝරලා දෙවැනි වටයක් මරදාන ටවර් රඟහලේ වේදිකා ගත කිරීමෙන් පසුයි තෝරා ගනු ලැබුවේ. විදේශ වේදිකා නාට්‍ය ඔන්ලයින් ක්‍රමයට නරඹලා තෝරා ගනු ලැබුවා. අපේ රටේ ඒවා ඒ විදියට නරඹන්න බැහැ. මොකද මොනෝඩ්‍රාමා නාට්‍ය කියන එක අපේ රටේ අයටත් හුරු නැහැ. ඒ නිසා අපි ඒ අයට යම් අවස්ථාවක් දුන්නා. පිටපත බැලීමේදි අපි ඒ නිර්මාණකරුවන්ගෙන් අංග සම්පූර්ණ පිටපතක් බලාපොරොත්තු වුණේ නැහැ. එහිදි අපි සංකල්ප පිටපත්වලටත් අවස්ථාව ලබා දුන්නා. එතනදි ඔවුන්ට කන්සෙප්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ මඟින් අපි නිර්මාණ තෝරා ගත්තා. මොකද අපි එකම රාමුවෙන් නාට්‍ය බලන ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. නාට්‍යකරුවන්ට ඉඩක් දෙන්න ඕනෑ. ඒ විදියට අවසන් වටයට නාට්‍ය දොළහක් තෝරා ගත්තා. ඉන් හතක් කොළඹ. පහක් හලාවත. ඒ දොළහෙන් නාට්‍ය හතරක් ඉන්දියාවට. සරත්චන්ද්‍ර වල්පොලගේ’Dummy’ , උපේක්ෂා ලංකාතිලකගේ ‘A Journey of Despair’, රන්දික විමලසූරියගේ ‘ඒ මම නෙවෙයි, වෙන කෙනෙක්’, අසංක ඉෂාන් දයාපාලගේ ‘Unseen’ (නොදුටු) කියන වේදිකා නාට්‍ය හතර ඉන්දියාවේ උලෙළ නියෝජනය කරනවා.”

ඒ වගේ ම මෙවර ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සඳහා වෙනදාට වඩා වෙනස් රටවල් කිහිපයක් පැමිණ තිබෙන බව හැඟෙනවා.

“මෙවර අපි නාට්‍ය තෝරා ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කළේ මීට කලින් ශ්‍රී ලංකාවට නොපැමිණි රටවල් තෝරාගැනීමටයි. කොරියාවේ නාට්‍යයක් 2012 දියි අපේ රටට ඇවිත් තිබෙන්නේ. චීනයෙන් නාට්‍යයක් මෑත දශකයේ අපේ රටට ඇවිත් නැහැ. එක්සත් එමිර් රාජ්‍යයෙන් ඩුබායිවල නාට්‍යයක් අපේ රටට ඇවිත් නැහැ. කැනඩාව, සිරියාව, ග්‍රීසියේ නාට්‍යයක් අපේ රටට ඇවිත් නැහැ. ඉන්දියාවේ නාට්‍ය අපේ රටට ආවත් මෙවර අපි එහි නාට්‍ය තෝරාගෙන තිබෙන්නේ කේරළයෙන් හා දිල්ලිවලින්.මේ වගේ වෙනස්වීම් රැසක් අප මෙවර ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදි සිදු කර තිබෙනවා.”

එකොළොස් වැනි වතාවට සිදුවන මේ කර්තව්‍යයේදී මුළු උලෙළම අදියර කිහිපයක් යටතේයි පෙළ ගැසී තිබෙන්නේ.

“එක් අදියරක් වෙන්නේ කොළඹ සතියක් තිස්සේ පැවැත්වෙන තරගකාරී උලෙළයි. අනෙක් අදියර පැවැත්වෙන්නේ හලාවත. එය තරගකාරී උලෙළක් නොවෙයි. ඒ වගේ ම ඊළඟ අදියර පැවැත්වෙන්නේ ඉන්දියාවේ. එයත් තරගකාරී උලෙළට නොවෙයි අයත් වන්නේ. එය ඉන්දියාවේ තිබෙන නාට්‍ය උලෙළට සමාගාමීව යන උලෙළක් විදියටයි පැවැත්වෙන්නේ. ඊට අමතරව මේ උලෙළේදී අමතරව නාට්‍ය කිහිපයක් වේදිකා ගතවෙනවා. ඒ මගේ ‘ආදර ඔංචිල්ලා’ වේදිකා නාට්‍යය ඇසෑම්වලදි ඒ භාෂාවෙන් අධ්‍යක්ෂණය කිරීම සිදු වුණා. එය පළමු වතාවටයි ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. ඒ වේදිකා නාට්‍යය වගේ ම අපේ ප්‍රධාන ආරාධිත අමුත්තගේ නාට්‍යයත්, සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ ‘බ්ලැක්, වයිට් ඇන්ඩ් කලර්ස්’ නවතම වේදිකා නාට්‍යයත් මෙහිදි වේදිකා ගත වෙනවා. එමෙන්ම මේ වේදිකා නාට්‍ය කිහිපය තරගකාරී අංශයට අයත් නොවන බව ද පැවසිය යුතුයි.”

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සඳහා නාට්‍ය තෝරා ගැනීම සිදු වන්නේ විනිශ්චය මණ්ඩලයක් මඟිනි. මෙතෙක් ඒ සඳහා සහභාගි වූයේ දේශීය වශයෙන් ඒ සඳහා ප්‍රවීණත්වයක් ලැබූ විනිශ්චය මණ්ඩලයකි. එහෙත් මෙවර ඒ ක්‍රමවේදය වෙනසකට ලක් කිරීම ද විශේෂත්වයකි.

“මේ වසරේ දි අපි විනිශ්චය මණ්ඩලයේ වෙනසක් සිදු කළා. ඒ සඳහා රටවල් හතරකින් නාට්‍යකරුවන් 04 දෙනෙකු පැමිණෙනවා. ඒ වගේ ම අපේ රටෙන් විනිශ්චය මණ්ඩලයට පස්දෙනෙකු සහභාගි වෙනවා. එහිදි හේමන්ත ප්‍රසාද්, ජයනාත් බණ්ඩාර, සුබුද්ධි ලක්මාලි, නිහාරි සෝමසිරි, යශෝධා විමලධර්ම කියන ශිල්පීන් සහභාගි වෙනවා. විදේශයෙන් ඊජිප්තුවෙන් නසීම්, කටාර්වලින් අහමඩ්, රුමේනියාවෙන් එරීකා, ඉන්දියාවෙන් ආචාර්ය අජේ ජෝසි වැනි ශිල්පීන් සහභාගි වෙනවා. ඒ ආකාරයට අප අඩියෙන් අඩිය ඉදිරියට ගමන් කිරීමයි සිදු වන්නේ.”

මෙවර කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළේදි වේදිකා නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය සඳහා විවිධ කටයුතුවලට ආරම්භයක් ලබා දීම ද සිදු වෙයි

“මෙවර අපි අන්තර්ජාතික වශයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් කරනවා. ඒ අපේ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනයේදී. කොරියානු ජාතික නාට්‍ය ආයතනයත් එක්ක සහ අන්තර්ජාතික නාට්‍ය උලෙළවල් කිහිපයක් සමඟයි ඒ කටයුත්ත සිදු වන්නේ. එහිදි ඉදිරියට ඒ අයගේ හා අපේ නිර්මාණ, අත්දැකීම්, දැනුම හුවමාරු වන විදියේ වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ විදියට ඒ අප බුක්ති විඳීන්නේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළක් කිරීම නිසා අත්විඳීන ප්‍රතිලාභයි. එහිදි මා විතරක් නොවෙයි ඒ වැඩසටහන්වලට සහභාගි වන්නේ. උදාහරණයක් විදියට තරුණ නාට්‍යකරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක්. ඒ සඳහා යෑමට පාර හැදීම සඳහායි අප මේ අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු ලබන්නේ.”

මෙවර නාට්‍ය උලෙළේදී හලාවත වේදිකා ගතවන වේදිකා නාට්‍ය කොළඹදීත්, කොළඹ වේදිකා ගත වන වේදිකා නාට්‍ය හලාවතදීත්, ඉන්දියාවේදී වේදිකා ගත වන වේදිකා නාට්‍ය මේ කිසිම ස්ථානයකදීවත් ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට ලැබෙන්නේ නැහැ. ඒ කාරණය නිසා ප්‍රේක්ෂකයන්ට සියලු නාට්‍ය නැරැඹීමේ අවස්ථාව ගිලිහී යෑම සිදු වන බවයි හැඟෙන්නේ.

“අපට තිබෙන අධික ඉල්ලුම හමුවේ නාට්‍ය හතක් කොළඹට ගෙනැල්ලා, කොළඹත් පෙන්නලා, ඉන්දියාවෙත් පෙන්වනවට වඩා මේ තත්ත්වය වෙනස්ම තත්ත්වයක්. හලාවත නාට්‍ය උලෙළ සංවිධානය කරන්නේ පීටර් හේමප්‍රිය බොතේජු පියතුමා ඇතුළු පිරිස. එතුමා ඉල්ලිමක් කරන්නේ මෙතෙක් කාලයක් හලාවත ඇතුළු ප්‍රාදේශීය ප්‍රේක්ෂකයන් කොළඹට පැමිණි නිසා, කොළඹ ප්‍රේක්ෂකයන්ට හලාවතට පැමිණෙන්න යන්නයි. ඒ අත්දැකීම් විඳගන්න යන්නයි. ඒ නිසා වන එකම දේ නම් එකම වේදිකා නාට්‍ය ටික හලාවත පෙන්නවාට වඩා වෙනස් අත්දැකීමක් සියල්ලන්ටම විඳ ගැනීමට ලැබීමයි. ඒ වගේ ම මේ නාට්‍ය උලෙළේදි එක්තැනක පෙන්වන නාට්‍ය අනෙක් තැනක පෙන්වන්න හැකියි. ඒ සඳහා මුදල් හා පහසුකම් ලබාදිය හැකිනම් ඒ දේ කරන්න බොහොම පහසුයි. ඒත් ඒ දේවල් දෙන්නේ කවුද කියන ගැටලුවයි අප වටා පෙළ ගැසී තිබෙන්නේ.”

කෙටි නාට්‍ය සඳහා ඒකපාත්‍ර හෙවත් මොනෝඩ්‍රාමා සඳහායි මෙවර ජාත්‍යන්තර නාට්‍ය උලෙළේ දි වඩාත් අවස්ථා ලබා දී ඇත්තේ.

” ඉදිරියේදී ලෝකයේ සෑම තැනම වගේ ව්‍යාප්තියක් එන්නේ මොනෝඩ්‍රාමා සඳහායි. ඒ මඟින් ජාත්‍යන්තරව ගමන් කිරීමේ පහසුව, ශිල්පීන් ප්‍රමාණය අඩු වීම මඟින් නාට්‍යවල කළමනාකරණය කරගැනීමේ පහසුව සැලසෙනවා. මේ දේවල් නිසා ඉස්සරහට මොනෝඩ්‍රාමා විශාලා ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ වගේ ම දැන් දැන් ජාත්‍යන්තර නාට්‍ය උලෙළවල් මොනෝඩ්‍රාමා අංශයට බර වෙනවා. මොකද සංවිධානය කිරීමේ පහසුව සඳහා. ඒත් සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් මේ එක් නළුවකු වේදිකා නාට්‍යයක රඟපාන එක හරි අවුල් වගේ කියලා. එහෙත් එක නළුවකුට කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය හා ඒ නළුවා කොයිතරම් කාර්යභාරයක් කරන්න ඕන ද කියන කාරණය තේරුම් ගන්න නම් ඔවුන් මේ නාට්‍ය නැරැඹිය යුතුමයි. මේ උලෙළට කෙටි නාට්‍ය 75ක් එනවා කියන්නේ ම මේ වනවිට ලෝකයේ ම ඒ සම්බන්ධයෙන් ප්‍රවණතාවක් තියෙන බවයි පෙනෙන්නේ. ඒ වගේ ම මේ නිර්මාණ එකිනෙකට වෙනස්.”

ලබන වසර වනවිට විවිධ ආකාරයෙන් වෙනස්කම් රැසකට මුල පිරීම සඳහා මේ වනවිටත් ඔබ ඇතුළු පිරිසට යම් යම් ආරාධනා ලැබී තිබෙනවා.

“ලබන වසර වනවිට අපට දැනටමත් යම් ඉල්ලුමක් තියෙන්නේ අනුරාධපුර, කුරුණෑගල සහ ඉන්දුනීසියාව වගේ ස්ථානවල වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්නයි. ඒ නිසා ලබන වසරේදි මේ නාට්‍ය උලෙළ කොළඹ, හලාවත, අනුරාධපුර, කුරුණෑගල සහ ඉන්දියාව, ඉන්දුනීසියාව වගේ ස්ථාන හය, හතක වේදිකා ගත වෙන්න පුළුවන්. නාට්‍ය කලාව ඇතුළේ මා දකින සිහිනය වන්නේ මෙයයි. මේ උලෙළ අපේ රටේ ම පැතිරී යා යුතුයි. ඒ නිසා අනුරාධපුරයට හා කුරුණෑගලට නාට්‍ය උලෙළක් යෑම මඟින් ප්‍රේක්ෂාගාරය අලුත් වෙනවා. ඒ වගේ ම ප්‍රේක්ෂාගාරයට අලුත් අත්දැකීමක් ලැබේවි. ඒ ආකාරයෙන් දශකයකට පස්සේ අප මේ උලෙළ යම් යම් වර්ධනීය හා දියුණු තත්ත්වයන් කරා අරගෙන යනවා.”

මේ කටයුතු සිදු කිරීම ලෙහෙසි පහසු නොවෙයි. ඒ සියල්ලක් සඳහා ම මුදල් කියන සාධකය ප්‍රමුඛ වන නිසා. ඒ පිළිබඳ ද අපි එම්. සෆීර්ගෙන් විමසීමට අමතක නොකළෙමු.

“අපට අනුග්‍රාහකත්වය දක්වන්න යම් පිරිසක් ඉන්නවා. ඒ පිරිස ප්‍රමාණවත් ද නැද්ද යන වග දන්නේ මා විසින්. එහෙම වුණත් මෙවැනි පිරිසක් මේ තාක් සිටීම පිළිබඳ අප සතුටු විය යුතුයි. ඒ නිසා යම් උලෙළකට මුදල් වැඩි වෙන්න, වැඩිවෙන්න උලෙළේ ගුණාත්මක භාවය වැඩිවෙනවා මිසක්, මුදල් වැඩි වුණාම ලාභය වැඩිවෙනවා කියන කාරණය නොවෙයි අදහස් වන්නේ. මොකද මේ කාර්ය අපි කරන්නේ ලාභ ලැබීම සඳහා නොවෙයි. පසුගිය වසර දහය දෙස ආපසු හැරී බැලුවොත් මූල්‍යමය විදියට අපි පාඩු ලබලා තියෙනවා. ඒ සඳහා හේතු රැසක් තියෙනවා. සමහර ආයතන පොරොන්දු වෙලා පස්සේ ඒ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැති වීම, සමහර රාජ්‍ය ආයතනවල උදවු බලාපොරොත්තුවෙන් හිටියත් ඒ උදවු නොලැබීම නිසා අපට අවසානයේ අපහසුතාවට පත් වීමට සිදු වුණා. ඒ අනුව උලෙළ සඳහා ලැබෙන දේවල් අනුව අනෙක් කටයුතු සීමා කරන්න අපට සිදු වුණා. විදේශීය නාට්‍යකරුවන් මෙරටට එන්නේ ටිකට්වල ඒ වියදම ඔවුන් විසින්ම දරමින්. ඔවුන් මෙරටට ඇවිත් යම් මුදලක් වියදම් කරනවා. මේ උලෙළ මඟින් යම් විදේශ විනිමයක් අපේ රටට එකතු වෙනවා. ඒ පිළිබඳ ගිය වසරේ සොයා බැලුවොත්, අඩුම ගණනේ මේ පැමිණි නාට්‍යකරුවන් පනහක්, හැටක් පමණ දළ වශයෙන් ඩොලර් ලක්ෂයක්වත්, ඔවුන්ගේ පෞද්ගලික සංචාර සඳහා වියදම් කරලා තියෙනවා. ඒ සියලු මුදල් පිළිබඳ යම් ගණනයක යෙදුණොත් අපේ මුදල්වලින් ගත්තොත් කෝටි තුනක්. ඒ මුදල් ඇවිත් තියෙන්නේ මට නොවෙයි. අපේ රටටයි. ඒවා අපේ රටේ ආර්ථිකයටයි හයියක් වන්නේ. ඒ නිසා මේ උලෙළ මීට වඩා වර්ධනය කරන එක කළ හැක්කේ රාජ්‍යයටයි.”

මෙවැනි ප්‍රතිලාභ රැසක් අපේ රටට අරගෙන එන ජාත්‍යන්තර නාට්‍ය උලෙළ අපේ රටට සැබෑවටම වාසනාවක්. එහි වාසනා ගුණය උරගා බැලීමට හවුල් විය යුතු අය ඒ පිළිබඳ දැන ගත යුතුයි. එමෙන්ම ඒ පිළිබඳ අප කොපමණ පැවසුව ද ඒ අය ඒ සඳහා උනන්දුවක් දක්වන්නේ නැතිනම් ඒ කාගේ නම් අවාසනාවක් ද යන්න තීරණය කළ යුත්තේත් ඔවුන් ම ය. වසර ගණනක් තිස්සේ මේ ආකාරයෙන් පැවසුවද තවමත් ඒ කාර්යය සිදුවන්නේ එසේ නම් අප කියන්නේ කාට ද? යන්න මා සිතේ මේ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ සම්බන්ධයෙන් තවමත් නැගෙන එකම පැනයයි.

 

[email protected]

සටහන සහ සේයාරූ - තිලානි ශානිකා විතානච්චි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT