නිවස විශේෂාංග මෙරට සිනමාවේ විශිෂ්ට නිළියක ලෙස ඉතිහාසගතයි

මෙරට සිනමාවේ විශිෂ්ට නිළියක ලෙස ඉතිහාසගතයි

- ප්‍රවීණ රූපණවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

ශ්‍රියාණි අමරසේන යනු විවාදයකින් තොරව බිහිවූ සිනමා රංගනය තුළ ප්‍රමුඛස්ථානයක් ගනු ලබන රංගනවේදිනියක්. දශක 06ක් වැනි දිගුකාලීන පැවැත්ම රංගන ශිල්පියකුම ඉතා අසීරු කාර්යයක්. එසේ 60 වසරක් තිස්සේම සිනමා ලොවේ අඛණ්ඩව සක්‍රිය රංගන දායකත්වයෙන් සිටීම තුළින්ම පෙනෙනවා ඇය කොතරම් දක්ෂ, මහජන ප්‍රසාදයක් දිනාගත් කෙනෙක් ද කියලා. ශ්‍රියාණි අමරසේනත් සමඟ මම චිත්‍රපට කිහිපයකම වැඩකළා. ඒ අතරින් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ “දෑස නිසා” චිත්‍රපටයේ ඇගේ රංගනය සුවිශේෂියි. එහි මමත් ශ්‍රියාණිත් ජෝ අබේවික්‍රම මහා රංගධරයාත් එකට රංගනයේ යෙදෙනවා .එවකට ඇය සාමාන්‍ය අත්දැකීම් තිබුණු ශිල්පිනියක් වුණත් සැබෑවටම ඇය අන්ධයි යන හැඟීම ඇතිවන ආකාරයට එහි රඟපෑවා. එහි ඇගේ රංගනය ජනතා සහ විචාරක සම්මානයන්ට ද ලක්වුණා. එමෙන්ම ශ්‍රියාණි රංගන ශිල්පිනියගේ භූමිකාවෙන් එහාට ගොස් නිෂ්පාදකවරියක, අධ්‍යක්ෂවරියක ලෙස ද කලාවේ සක්‍රියව කටයුතු කළා. ඇයගේ නිෂ්පාදනයන් සඳහා මම දෙවරක් රංගනයෙන් දායක වුණා. කලා නිර්මාණයක නිෂ්පාදන ක්‍රියාවලිය ද ඉතා සූක්ෂ්ම මෙන්ම කාර්යක්ෂ ආකාරයෙන් හසුරුවා ගත් කාන්තාවක් තමයි ශ්‍රියාණි අමරසේන කියන්නේ. ශ්‍රියාණි දෙස කවරාකාරයෙන් බැලුවත් ඇය විශිෂ්ටතම නිළියක් වශයෙන් සිනමාවේ ඉතිහාසගත වේවි. ජනප්‍රසාදය ද නොඅඩුව ලැබූ විශිෂ්ටතම නිළියක ලෙස ද ඇයව හඳුන්වා දෙන්න පුළුවන්. ඒවගේම ශ්‍රියාණි සතුව තිබූ නිහතමානීත්වය පිළිබඳවත් යමක් කිවයුතුමයි. .. නිහතමානීත්වය ඉතා ඉහළින්ම තිබූ නිළියක ඇයව ලෙස හඳුන්වා දිය හැකියි. එසේම ඇයගේ මෙම නිහතමානී ගුණය සෑම අවස්ථාවක් තුළම ඉස්මතුවූවා. ශ්‍රියාණි අමරසේන මහත්මිය වෙනුවෙන් පවත්වනු ලබන මෙම උපහාර උළෙලට මගේ කෘතවේදීත්වය පිරිනමනවා. ඇයට නිදුක් නීරෝගි චිරජීවනය මෙන්ම දීර්ඝායුෂ ද පතන්නෙමි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT