– අද බොහෝ ශිල්පීන් ක්ෂේත්‍රයට එන්නේ කිසිදු න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයකින් නෙවෙයි
– ප්‍රායෝගික අවබෝධය නොතිබුණොත් ගමන හරියට යන්නට බැහැ
– අපි ප්‍රවීණයන් සමඟ ගනුදෙනු කළේ විනයට මුල් තැන දීලයි
– අද ලියවෙන සිනමා තිර පිටපත් වැඩි හරියක් ටෙලි නාට්‍ය තිර පිටපත්
– අපි ප්‍රවීණයන් සමඟ ගනුදෙනු කළේ විනයට මුල් තැන දීලයි
– නළුවෙක්, නිළියක් වෙනවා නම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ
ඔහු මොරටුව වේල්ස් කුමර විදුහලේ දීප්තිමත් ශිෂ්‍යයෙකි. පාසලේ සෞන්දර්ය කටයුතුවලදී කැපිපෙනුණු දක්ෂ ශිෂ්‍යයෙකී, දයානන්ද ගුණවර්ධනයන්ගේ ගුරුහරුකම් යටතේ නාට්‍ය කලාවට යොමුවන ඔහු අලිබබා සහ හොරු හතලිහ සිනමාපටයේ පසුතල නිර්මාණකරුවකු ලෙස ක්ෂේත්‍රයට පිවිසියේය. ඉන් අනතුරුව සේන සමරසිංහ Film production සමඟ එකතුවන අතර එහි සහාය කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබිණි. දිගු කලක් ක්ෂේත්‍රයේ විවිධ අංශවල නිරත වු ඔහු පසුව සෝනියා දිසා Film production එකත් සමග සම්බන්ධ වූ අතර කලා අධ්‍යක්ෂකවරයෙකු සිනමා පට 50කට එහා සහය අධ්‍යක්ෂවරයෙකු ද වේ. අධ්‍යක්ෂකවරයකු බවට පත්වන ඔහු මේ වන විට සිනමාපට විස්සක අධ්‍යක්ෂවරයා විය. මේ ගෙවුණු වසර හතළිහක කාල සීමාව තුළ ඔහුගේ සිනමා ක්ෂේත්‍රය පිළිබඳ සරසවිය සමග කළ කතාබහයි.
සිනමා ගමන ආරම්භ කරන්නේ කොතනින්ද?
1989 තිස්ස ගුණවර්ධන සර්ගේ මඟ පෙන්වීම යටතේ අලිබබා සහ හොරු හතලිහ සිනමා පටයට පසුතල නිර්මාණකරුවකු ලෙස එක්වෙනවා. ඒ ආපු ගමනේදී මට මුලින්ම හමුවෙන මිත්‍රයා තමයි මහේෂ් ජයසිංහ ගොඩක් උදව් කරන පුද්ගලයෙක් බවට පත්වෙනවා. මේ කාලවකවානුවේදීම දර්ශන තලයකදී කැමරා අධ්‍යක්ෂ ජී.නන්දසේන හමුවන්නේ ඔහුගේ උදව්වෙන් සේන සමරසිංහ අධ්‍යක්ෂකවරයා ළඟට ගොස් ඔහුගේ සිනමා සමාගමත් සමඟ ජී. නන්දසේන කැමරා අධ්‍යක්ෂවරයාගේ සහාය කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කටයුතු පටන් ගන්නවා. ඉන් අනතුරුව සෝනියා දිසා සිනමා පට සමාගමත් එක්ක එකතුවෙන්නට ආරාධනා ලැබේනවා. ඒ ආරාධනාවත් සමඟ සෝනියා දිසා සිනමා සමාගමත් සමග “ජය අපටයි, මමයි රජා සිට සුනිල් ටී. ප්‍රනාන්දුගේ “කවුද බෝලේ ඇලිස් දක්වා ඒගමන ඒවිදිහට පැමිණියා. සහාය කලා අධ්‍යක්ෂවරයා ලෙස වැඩකටයුතු අරඹන්නේ. ඒ ආරම්භ කළ ගමන මම සහය අධ්‍යක්ෂකවරයකු දක්වා බොහෝ දුෂ්කර මාවත් ගෙවාගෙන පැමිණියා.
අධ්‍යක්ෂවරයකුගේ භූමිකාව පටන් ගන්නේ කොතනින්ද?
මගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ වසර දෙදහයේදී.”සන්සුන් නොසන්සුන් “සිනමා පටය තමයි එහි පළමු පියවර වන්නේ. ඉන් අනතුරුව ජුනයිඩින් සමඟ සම අධ්‍යක්ෂකවරයකු බවට බවට ද පත්වෙනවා. සොමි බෝයිස්, සඳුනි, නාග කන්‍යා, ඔහු සමඟ කළ සිනමා පට වෙනවා. සම අධ්‍යක්ෂ භූමිකාවෙන් මිදිලා නැවත මම අධ්‍යක්ෂවරයකු ලෙස “උකුසු ඇස්” මිහිඳුම් වසන්තය” සමඟ මේ වනවිට සිනමා පට විස්සක් පමණ අධ්‍යක්ෂණය කරලා තියෙනවා.
නවතම සිනමා පට දෙකක් ඉදිරියේදී තිරගතවීමට නියමිතයි.ප්‍රීති රාජ් වීරරත්නත් සමඟ සමඟ අධ්‍යක්ෂණය කළ “එදත් දිනුම් අදත් දිනුම්” සමඟ “සුපර් හිරෝ”යන සිනමා පට දෙක ඉදිරියේදී තිරගත වන්නට තිබෙන්නේ.
අධ්‍යක්ෂවරයකු ලෙස පිවිසෙන්නට ප්‍රථම සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස සිනමා පට පනහකට වැඩිය සම්බන්ධ වනවා නේද?
සිනමා ක්ෂේත්‍රයේ ගුරුවරයකු සිටිනවා නම් මට ඒ වෙන කවුරුත් නෙවෙයි සුනිල් සෝම පීරිස්. ඔහුගේ සිනමා පට පනහක පමණ මම සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළා.ඔහුගෙන් ලබපු පන්නරය තමයි අද මේ ගමන මට එන්න වාසනාව මඟ පාදලා දුන්නේ. මගේ ආසාව තිබුණේ රංගනයට. නමුත් පාසලේ රංගනයට පිවිසුණාට ක්ෂේත්‍රය තුළ ඊට වඩා දුර ගමනක් යන්නට මට මේ ගමනයි හේතුපාද වුණේ. රංගනයට පිවිසෙන බොහෝදෙනකුගේ අවසාන සිහින බලාපොරොත්තුව වන්නේ ඔවුන් ගොඩනඟන්නේ අධ්‍යක්ෂවරයකුගේ භූමිකාවේ සිහිනයෙන් කටයුතු කරන්නයි. ඒත් අවබෝධය හා ප්‍රායෝගික අවබෝධය නොතිබුණොත් ඒ ගමන හරියට යන්නට බැහැ. එනිසා අපි පියවරෙන් පියවර ආපු ගමන ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධය ලබාගෙන ක්ෂේත්‍රයේ අදටත් රැඳීි සිටිනවා. මේ ක්ෂේත්‍රයට නොදැන එන පිරිස් ආව ගියා වකවානුවක් අදටත් රඳා පවතිනවා. ඒ නිසා මගේ ගමන මම හරිම හිමින් යන කෙනෙක් වුණා. මේ වන විට ක්ෂේත්‍රයට පිවිසිලා අවුරුදු හතළිහකටත් වැඩි වෙනවා. මේ අවුරුදු 40 තුළම සරසවිය පුවත්පතේ යන පළමු පුවත්පත් ලිපිය මෙයයි. මගේ ගමන මම හෙමින් එනවා කියන්නේ ඒ නිසයි. අද ගොඩක් දෙනෙක් චූටි දෙයක් කරපුවාම පත්තරවල පිටු ගණන් ලියාගන්නට පොරකනවා. මට ඕන වුණේ පත්තරවල පිටු අතරට රිංගන්න නෙවේ ක්ෂේත්‍රයේ හැම අංශයක්මයි ඉගෙන ගැනීමේ මූලික අරමුණයි. වැඩි කාලයක් නිර්මාණවලට දායකත්වය දීලා මගේ කාලේ උදා වෙනකම් මම හිටියේ. ඕනෑම ක්ෂේත්‍රයක ඉවසීමෙන් ගමනක් ගියොත් තමාගේ අරමුණ කරා යන්නට පුළුවන්. මගේ විස්තර පුවත්පත්වල පළ නොවුණාට ක්ෂේත්‍රයට මගෙන් වෙන්න ඕන යුතුකම් කොටසක් මම ඉටු කරලා හමාරයි. ඒ ගැන මගේ හිත තුළ තියෙන්නේ නිහතමානී සතුටක්.
මේ ආපු ගමනේදී ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ආචාර්ය ගාමිණී ෆොන්සේකා, ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, විමල් කුමාර ද කොස්තා, ෆ්‍රෙඩි සිල්වා, රවීන්ද්‍ර රන්දෙණිය, අමරසිරි කලංසූරිය, ජීවන් කුමාරතුංග, මාලිනි ෆොන්සේකා, සෝනියා දිසා, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, ශ්‍රියාණි අමරසිංහ, සබිතා පෙරේරා සමඟත් දෙවැනි පරපුර වන දමිත් ෆොන්සේකා, ජනිත් ද සිල්වා ඇතුළු ඔවුන්ගේ පරම්පරාවත් සමඟත් වැඩ කිරීමටත් මම වාසනාවන්ත වුණා. මම හිතන විදිහට පළමු පරම්පරාවත් සමඟ වැඩ කරලා මේ පරම්පරාවත් සමඟ වැඩ කිරීමට ලැබුණ පළමු කෙනා මම වෙන්න ඇති.එදා ඒ ප්‍රවීණයන් ආධුනිකයකු ක්ෂේත්‍රයට පැමිණි විට ගන්න තියෙන දේවල් හරිම ළෙන්ගතු ලෙස කියා දුන්නා. එදා සහ අද සංසන්දනය කරන විට අහසට පොළොව වගේ මට පේන්නේ. ක්ෂේත්‍රයට පිවිසෙන ගොඩක් දෙනෙක් ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලබා ගන්නට කැමති නැති තැනක් අද උදාවෙලයි තියෙන්නේ. එදා එහෙම නෙවෙයි දම්වැලක පුරුකක් හා සමානව ගනුදෙනු කළේ අපි සියලු දෙනාම. ඒ නිසා ඒ පුරුගේ ශක්තිමත් භාවය වැඩි වුණා. ඔවුන් සියලු දෙනාටම හොඳ ගුරුවරුන් වුණා.
අද ක්ෂේත්‍රයට පිවිසෙන ශිල්පීන් ගැන මොකද හිතෙන්නේ?
මම ක්ෂේත්‍රයට පැමිණිම ආරම්භ කරන්නේ මුලින් කිව්වා වගේ පසුතල නිර්මාණකරුවකු ලෙසයි. සහාය කලා අධ්‍යක්ෂවරයෙක් සහාය කැමරා අධ්‍යක්ෂකවරයෙක්,සංස්කරණ ශිල්පියෙකු, සහාය අධ්‍යක්ෂවරයකු, සම සහයා අධ්‍යක්ෂකවරයකු සමඟ අධ්‍යක්ෂවරයෙකුගේ භූමිකාව දක්වා අද පැමිණ සිටිනවා. ඒ නිසා ක්ෂේත්‍රයට පිවිසෙන කිසිම ආධුනිකයෙකුට මා සමග වැඩ කරද්දී බොරු කරන්නට බැහැ. බොරු කරන ඕනෑම ශිල්පියකු අඳුනා ගන්නට ඒ නිසා පුළුවන්. ඒ දේ ලැබෙන්නෙත් ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුට පමණයි. අද එන ගොඩක් ශිල්පීන් කිසිදු න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයකින් නෙවෙයි එන්නේ. එහෙම එන බොහෝ දෙනෙක් ක්ෂේත්‍රය අතහැරලා යනවා. හරිහැටි අවබෝධයක් නැතිකම නිසා. ක්ෂේත්‍රයට පිවිසීමට ආසාව තිබුණාට තමන්ට අවශ්‍ය පසුබිම සකසා ගැනීම අතිශය වැදගත් වෙනවා. සිනමා ක්ෂේත්‍රයට පමණක් පොදු කරුණක් නොවෙනවා මේ කියමන. ඕනෑම ක්ෂේත්‍රයකටම එක හා සමානයි. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියන කියමන තමයි මටත් කියන්න තියෙන්නේ. අද ක්ෂේත්‍රයට පිවිසෙන සියලුම දෙනාට. ක්ෂේත්‍රයට අද පිවිසෙන බහුතරයක් නවීන තාක්ෂණයත් සමඟ ඉදිරියට පැමිණියත් ක්ෂේත්‍රය තුළ විනය අතින් පිරිහෙලයි තියෙන්නේ. නිර්මාණශීලී හැකියාවන් කොපමණ තිබුණත් වැඩක් නැහැ. විනය ගරුක පුද්ගලයකු ලෙස ජීවත් වන්නට බැරි නම්. අපි ප්‍රවීණයන් සමඟ ගනුදෙනු කළේ විනයට මුල් තැන දීලයි. එකල ඔවුන් විශේෂයෙන් බලාපොරොත්තු උණු දෙයක් වුණා ක්ෂේත්‍රය තුළය. එදා සහ අද සංසන්දනය කරන විට අද ශිල්පියා සිටින්නේ බොහෝම පහත් පඩිපෙළේය.
ශිල්පියකු නිර්මාණයක් භාර ගැනීමේදී අද සහ එදා ඔබ දකින විශේෂ ලක්ෂණ මොනවාද?
එදා නිර්මාණයක් බාර ගැනීමේදී ශිල්පීන් නිර්මාණ කිහිපයකටම එකවර අත ගසන්නේ නෑ. පළමුවෙන්ම භාරගත්ත නිර්මාණයේ අවසන් වනතුරු නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා සමඟ ගනුදෙනුව සිදුකරනවා. ඒත් අද ශිල්පීන් එතනට පත්වෙලා නැහැ. නිර්මාණයක ගුණාත්මක කම වටිනාකම දන්නේ නැහැ. එදා ශිල්පීන්ගේ තිබුණේ ගුණාත්මක බව හා නිර්මාණය වටිනාකමට තම පූර්ණ දායකත්වයක් ලබාදී වටිනාකමක් ලබාදීමයි. ඒ නිසා ඒ නිර්මාණ එදා සාර්ථක නිර්මාණ බවට පත්වුණා. සිනමා ශාලාවලට ප්‍රේක්ෂකයන් වැල නොකැඩී එන තැනට පත්වුණේ ඒ නිසයි. අද නිර්මාණවලට දායක වන පිරිස් හරි අවබෝධයකින් තොරවයි පැමිණෙන්නේ. ඒක ක්ෂේත්‍රයට සිදු වෙලා තිබෙන විශාල හානියක් ලෙස අධ්‍යක්ෂවරයකු ලෙස මට කියන්න පුළුවන්. මුදල මත සියලු ගනුදෙනු සිදුවෙන යුගයක් බවට නිර්මාණය පත්වෙලයි තියෙන්නේ. ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන්නා ගැනීමටවත්, නිර්මාණයේ ගුණාත්මක බවට වටිනාකමක් එක් කිරීමටවත් එයට දායක වන ශිල්පීන්ගෙන් සහයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නිර්මාණයට හැමවෙලේම හිතන්නේ ඔවුන් අවශ්‍ය නිසා එකතු කරගත්තා යන අදහස පමණයි. ඒ තිර පිටපත් රචකයා අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයා සහ එයට දායක වන නිෂ්පාදක කණ්ඩායම ඔහු හෝ ඇය තෝරා ගත්තේ කුමන පසුබිමකින්ද කියලා හිතන්නේ නැති යුගයක් වෙලා තියෙන්නේ. පැය ගණන්වලට අපිට ගෙවන්න බැරි ද කියලා අහන ශිල්පීන් ද අද ඉන්නවා. සමහරක් අය චරිතය ගැනවත් අවබෝධයක් නැතුව මට තියෙන්නේ ප්‍රධාන චරිතයක්ද කියලත් අහනවා.රූපය ලස්සන තිබුණාට ඇතුළාන්තයේ සිටින මිනිසාට හැකියාවක් නැත්නම් ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වන්නට බැරි බව මම අනන්ත අලුතෙන් එන ශිල්පීන්ට පහදා දීලා තිබෙනවා. ඒත් ඔවුන් ජීවත් වෙන්නේ ඔවුන්ගේ මොබයිල් ලෝකවල පමණයි.
තිර පිටපත් රචකයන් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
මේ වන විට ක්ෂේත්‍රය තුළ ගොඩක් අර්බුදයකට ලක්වෙලා තියෙන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ තිර පිටපත් රචනය කියන්නේ. දක්ෂ තිර පිටපත් රචකයෙන්ගේ රික්තයක් මේ වන විටත් නිර්මාණය වී හමාරයි. නිර්මාණශීලී පිටපත් රචනාවට වැඩිය කොපි පිටපත් රචනාවටයි අද මුල් තැන ලැබී තිබෙන්නේ. මේ වන විට ලියවෙන සිනමා තිර පිටපත් වැඩි හරියක් ටෙලි නාට්‍ය තිර පිටපත් ලෙසයි නිර්මාණය වී තිබෙන්නේ. ටෙලි නාට්‍ය ආරයට ලියවුණු සිනමාපට කුමන හෝ නිෂ්පාදකවරයෙකු අල්ලාගෙන තිරයට ගෙන විට ප්‍රදර්ශන මණ්ඩලවලින් එළියට විසි වන්නේ සිනමාත්මක නිර්මාණයක් නොවන නිසයි. එනිසා නිර්මාණයක් කිරීමේදී සෑම මොහොතකම සිනමාත්මක නිර්මාණයක් බවට පත් කළ යුතුයි. ප්‍රේක්ෂකයා සිනමා ශාලාව කරා එන්නේ හුදු විනෝදාස්වාදය විඳීම සඳහායි. එය අවබෝධ කරගෙන ලාංකික සිනමා තිබෙන තැනට තිර පිටපත් රචනා විය යුතුයි. මේ නිර්මාණ අතර දක්ෂ තිර පිටපත් රචකයෙන් කිහිප දෙනෙකුත් සිටිනවා.ඒත් ඔවුන්ගේ තිරපිටපත් නිෂ්පාදනයට නිෂ්පාදකවරු නැති අඩුපාඩුවකුත් පවතිනවා.එවැනි තත්ත්වයකට පත්වුණාම ක්ෂේත්‍රය අර්බුදකාරී වාතාවරණයක් ගොඩනැගීමත් සාධාරණයි. කලාත්මක, වාණිජමය, සම්භාව්‍ය යන නිර්මාණශීලී සිනමා පට අතර අදටත් හොඳ ඉල්ලුමක් ප්‍රේක්ෂකයාගේ රඳා පවතිනවා. එය තේරුම් ගෙන නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂවරයා කටයුතු කළොත්, මුදල මත පදනම් නොවී නිර්මාණය මත පදනම් වී දක්ෂ ශිල්පීන් යොදාගෙන සමාජයේ ප්‍රේක්ෂක මනාපය ඉහළින් ලැබෙයි. එයට වටිනාකමත් වැඩිවෙනවා. තමන් උපයන්නට බලාපොරොත්තු වුණ මුදලටත් වැඩිය මුදලක් ඉපයීමේ හැකියාව රඳා පවතිනවා.
දළ සේයාපටවලින් මිදිලා ඩිජිටල්කරණයට පැමිණීම ඔබ දකින්නේ කොහොමද?
හොඳ සහ නරක කියන දෙපැත්තම මේ තුළ තියෙනවා. ඒත් අද ඩිජිටල්කරණය නිසා සිනමාවට විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම වෙලා තියෙන හානිය වැඩියි. එදා දළ සේයා පටයක රූපගත කිරීම් අවසන් කොට ඩිල්මන් ජයරත්න මහතා ළඟට ගොස් දළ සේයා පටය සෝදා රූප රාමු බලන තෙක් රූප රාමු කෙසේ සිදුවූවාද කියලා අපිවත් නොදැනගෙනයි සිටින්නේ. ඒ දකින පළමුවතාව සිනමා පටයට එකතු වුණා. සියලූම පිරිස්වලට සතුට සොම්නස ගෙනදුන් දවසක් වෙනවා. ඒත් අද නිර්මාණකරුවා ශිල්පියා අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයාවත් හඳුනන්නේ නැති යුගයක් වෙලා. නවීන තාක්ෂණය ඕනෑම ක්ෂේත්‍රයකට පැමිණීම හොඳයි. තාක්ෂණයේ අවබෝධයකින් තොරව පරිශීලනය කිරීමේදී ගොඩක් ගැටලු මතුවෙලා තිබෙනවා. නිර්මාණයට සාධාරණීකරණයක් නොවන යුගයකුත් උදාවෙලා තියෙනවා. සිනමා පටයක සියලු වැඩ කටයුතු අවසන් කොට මංගල දර්ශනය දා දකින රූප රාමු ගෙනදෙන්නේ කුතුහලයක් හා වටිනාකමක්. ඒ තැන අද ක්ෂේත්‍රය තුළ නොතිබීම නිර්මාණකරුවාට හානියක් වි හමාරයි. ඩිජිටල්කරණය පැමිණීමත් සමඟ ගොඩක් දෙනෙක් හිතන්නේ ක්ෂේත්‍රය හරිම සරලයි කියලයි. න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයක් නැත්නම් කිසිදු සරල බවක් දකින්නට බැහැ. සමහරක් අවස්ථාවල අධ්‍යයනයක් තිබුණත් සරල බවත් දකින්න බැහැ.
සිනමා පටයක් පසු නිෂ්පාදන කටයුතු සහ පූර්ව ප්‍රචාරක කටයුතු දක්වා සිනමා පටයට සම්බන්ධ වුණු ශිල්පීන්ගෙන් සහයෝගයක් අද ලැබෙනවාද?
සිනමා පටය රූපගත කිරීම් අවසන් කොට හඬකැවීම් දක්වා එන විට සිනමා පටයට සම්බන්ධ වෙච්ච සමහර ශිල්පීන් අල්ලා ගැනීමට මුහුදට දැල් දාලා මාළුවන් අල්ලනවා හා සමාන වෙලායි අද තියෙන්නේ.නිර්මාණයකට ගිවිසුම් ගත වුණාම තාම එහි වගකීම ඔවුන් තාම දන්නේ නැහැ. ඒත් ප්‍රවීණයන් එයට හොඳ සහයෝගයක් ලබා දෙනවා. ආධුනිකයන් එයට අවබෝධයක් නැතිකම හා වෙනත් වෙනත් නිර්මාණ බාරගෙන ඒවා තුළ ජීවත්වීම නිසා සිනමා පටියට හරි කාලවකවානුවකදී තිරයට මුදා හරින්නට බැරි වෙනවා. එවැනි ගැටලුකාරී තත්වයන්වලට මුහුණ දුන්නාම රැඟුම් පාලක මණ්ඩලවලට සහ බෙදාහැරීම් මණ්ඩල තුළදි අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකවරයා නිෂ්පාදක කාර්ය මණ්ඩලය ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. හරි දවසට සිනමාපටය ප්‍රදර්ශනය කරගන්නට නොහැකි වූ විට පෝලිමට එකතුවන සිනමා පටයක් බවට පත්වෙනවා. ඉන් අනතුරුව සිදුවන්නේ ප්‍රදර්ශනයෙන් ඉවතට යාමයි. එවැනි සිනමා පටා අද ගොඩක් පවතිනවා ප්‍රදර්ශනයට නොහැකි වෙච්ච ඒවා. ඊළඟට මතුවන ගැටලුව තමයි සිනමා පටය ප්‍රදර්ශනය වුණත් පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා සිනමා පටයට දායක වුණු ශිල්පීන් නිෂ්පාදක කණ්ඩායම සඳහා සහයෝගයක් ලබා නොදෙනවා. මේ වන විට මේ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ශිල්පීන් ඔවුන්ගේ මුදල් ගත් පසු අධ්‍යක්ෂකවරයාටවත් නිෂ්පාදකවරයාටවත් සිනමා පටය වෙනුවෙන් සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. තමන් ඉන්පසු එම නිර්මාණයට දායක වුණාවත් කියලා හිතන්නැති කොට්ඨාසයක් බවට පත්වෙනවා.
ප්‍රේක්ෂකයා සිනමා ශාලාවලට ඇදී නොවෙන්නේ මොන හේතුවක් නිසාද?
සිනමා ශාලා වෙත ප්‍රේක්ෂකයා ඇඳී එන්නේ විනෝදාස්වාදය සඳහායි. සතියක් මාසයක් ඔවුන් යම් රාජකාරියක් හෝ යම් තැනක වෙහෙස මහන්සි වෙලා වැඩ කරලා. එහි විඩාව නිවා ගැනීමට පවුල් පිටින් හෝ යාළු හිත මිත්‍රාදීන් සමඟ එන්නේ ලස්සන කතා පුවතක් බලා විනෝද වෙලා යන්නයි. සිනමා ශාලාව වෙත එන විට එවැනි දෙයක් නොතිබුණොත් සිනමාව පහළට වැටෙනවා කියන්නට කරුණු අවශ්‍ය නැහැ. සමහර සිනමාපට ප්‍රේක්ෂකයාට නරඹන්නටවත් බැරි නිර්මාණ තිබෙනවා. අධ්‍යක්ෂවරයකු වීමේ අරමුණින් සිනමා පටයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවකුත් නිර්මාණකරුවන්ගේ තිබෙනවා. එවැනි නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත ගෙන එනකොට දේවතාවක් නිෂ්පාදකවරයාත් අධ්‍යක්ෂකවරයා සිටිය යුතුයි. අධ්‍යක්ෂවරයෙකු හැටියට මම දකින්නේ ප්‍රේක්ෂකයා ඉල්ලන දේ අපි දිය යුතුයි. අපේ සිනමා කර්මාන්තයේ පුළුල් සිනමා කර්මාන්තයක් නොවුණත් අතිතය සහ වර්තමානයේ සංසන්දනය කරන විට අතීතයේ හොඳ නිර්මාණ බිහිවුණා කියලයි මට අධ්‍යක්ෂකවරයෙකු හැටියට කියන්න තියෙන්නේ. අද ඩිජිටල් කරනයත් එක්ක ෆයිට් කරන විට වැඩි මුදල් ප්‍රමාණයක් යොදවන්නට නිෂ්පාදකවරුන්ට හැකියාවක් නැහැ. එන නිෂ්පාදකවරයත් රඳා පවත්වා ගැනීම තමයි අද බලාපොරොත්තු වන්නේ. අදට හරියන නිර්මාණකරණයේ යෙදෙනවා නම් නිර්මාණයට අවශ්‍ය මුදල් ප්‍රමාණයේ යෙදවිය යුතු වෙනවා. තිරය මත ගෙන එන්නටත් ප්‍රේක්ෂකයා සිනමා ශාලා වෙත ගෙන එන්නටත් පුළුවන් වෙනවා. අද හොලිවුඩ් බොලිවුඩ් සිනමා කර්මාන්තය රඳා පවතින්නේ ඒ නිසයි.
අද ටෙලි නාට්‍යය කලාවේ ඉන්න ශිල්පීන් නේද සිනමාවටත් එකතුවෙලා ඉන්නේ?
ඒ කතාව සීයට දෙසීයක් ඇත්ත. අපේ සිනමාවේ දක්ෂ රූ සපුවකින් හා පිරිපුන් ශරීරයකින් හෙබි සිනමා ශිල්පීන් නැහැ. ඒ නිසා ඉන්න කිහිපදෙනාගෙන් නිර්මාණවලට දායකත්වය සපයා ගන්නට වෙනවා. එදා සිනමා කර්මාන්තයට ම පමණක් රංගනයෙන් දායක වන ශිල්පීන් පමණයි හිටියේ. ඉන්දියාව සහ වෙනත් රටවල ටෙලි නාට්‍යය කලාවට යොමු වෙන ශිල්පීන් සිනමා ශිල්පීන් හැටියට යොදවා ගන්නේ නැහැ. අපේ නිර්මාණ කිහිපයකටම ඉන්දීය නළු නිළියන් යොදාගත්තේ ශිල්පීන්ගේ තිබෙන අඩුපාඩු නිසයි. චරිතයට හරියන දේහ ලක්ෂණ ඕනෑම චරිතයකට අවශ්‍යයි. එසේ නොතිබුණොත් අපිට ආදේශක ලෙස පාවිච්චි කරන්නට සිදුවෙනවා. අපේ රටේ තිබෙන ආර්ථික ව්‍යුහයත් සමඟ ටෙලි නාට්‍යවල සහ වේදිකාවේ සිටින දක්ෂ ශිල්පීන් නිර්මාණවලට දායක කරගන්නට වෙන්නේ ඒ නිසයි.
සමහරක් එන ශිල්පීන්ට පුස් බයිසිකලයක්වත් පැදගන්නට බැහැ. ඒත් නළුවෙක් නිළියක් කියලයි කියන්නේ. නළුවෙක්, නිළියක් වෙනවා නම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ හැම දෙයක් ගැනම ප්‍රායෝගික හා න්‍යායාත්මකව.
නළුවන් නිළියන් තෝරා ගැනීමේදී බාහිර රූපයට නේද අද තැන දෙන්නේ?
ගොඩක් තැන්වල එවැනි සිදුවීම් සිදුවෙනවා.ඒත් මම අධ්‍යක්ෂවරයෙක් හැටියට ඊට ඔබ්බට ගිය දේවල් බලන්නේ. කලාව ගැන හොඳ අවබෝධයක් හා ප්‍රායෝගික හා න්‍යායාත්මක අවබෝධයක් තිබිය යුතුයි. ඒ දේවල් නැත්නම් ක්ෂේත්‍රයට තෝරා ගැනීමට චරිත වලට මම කරන්නේ නැහැ. ආවට ගියාට චරිතවලට නවක ශිල්පීන් අලුතෙන් අරගෙන නිර්මාණයට සාධාරණයක් කරන්න බැරි නම් තෝරාගෙන අලුතෙන් සිනමාවට හඳුන්වා දෙන්නට මම කිසිම මොහොතක පැකිළෙන්නේ නැහැ. දක්ෂයෙකුට ඕනෑම අවස්ථාවක මගේ නිර්මාණය තුළ අවස්ථාව තිබෙනවා.
චිත්‍රපට සංස්ථාව හා බෙදාහැරීම් මණ්ඩල සහ අධ්‍යක්ෂකවරු අතර ප්‍රශ්න ගැටළු තිබෙනවාද?
අසූව දශකය වන තෙක්ම නිෂ්පාදකවරයකු සහ අධ්‍යක්ෂකවරයකු චිත්‍රපටි සංස්ථාව සමඟයි කටයුතු කළේ. ඒත් බෙදාහැරීම් මණ්ඩල පෞද්ගලීකරණය වුණාට පස්සේ සංස්ථාව හා පෞද්ගලික අංශ අතර තිබෙන ගැටුම්කාරී වාතාවරණයන් තුළ විවිධ ගැටලු පැන නගින්නට බලපෑවා. සිනමා ක්ෂේත්‍රයට කනකොකාත් හැඩලූ බව කිව යුතුයි. තිබුණු සිනමාහල් භාගෙට භාගයක් වැසී ගියා. සිනමා පටයක් අධ්‍යක්ෂණය කරලා තිරය මතට ගෙනෙන විට වැඩි සිනමා ශාලාවක ප්‍රදර්ශනයයි අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකවරයා බලාපොරොත්තු වෙන්නේ. බෙදා හැරිම් පෞද්ගලීකරණය වීම තුළ ඔවුන්ට අවශ්‍ය විදිහට සිනමා පට ප්‍රදර්ශනය සහ කාල වේලාවල් යොදා ප්‍රදර්ශනය කිරීම තුළ ප්‍රේක්ෂකයාද අපහසුතාවයට පත් වී තිබෙනවා. අද වන විට ඒ ගැටලු නිසා සිනමාපටයක් ප්‍රදර්ශනය වන්නේ දිනවකවානුවක්වත් හිතා ගන්න බැරි විදිහටය.ප්‍රදර්ශනය ආරම්භ වී දින දෙකෙන් තුනෙන්ද සිනමා පටය ගලවා අවසන් කරනවා. එවැනි යුගයක් අසූව දශකයෙන් එහා තිබුණේ නැහැ. අද වන විට සංස්ථාවට නළු නිළියෙක්වත් එන්නැති තැනට පත්වී තිබෙන්නේ. ඒත් නව යුගයක් ඇරඹී තිබෙන නිසා සිනමාකරුවන්ට හොඳ දවසක් උදාවෙයි කියලා හිතනවා.
ඉදිරි වැඩ කටයුතු කොහොමද?
තව ටික දිනකදි සුපර් හිරෝ සහ එදත් දිනුම් අදත් දිනුම් මාර්තු අප්‍රේල් තිරගත කිරිමට බලාපොරොත්තු වෙනවා. වට්ටෝරු සිනමා පටයක් තිරපිටපත ලියමින් යනවා. ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ ආපු ගමනේ වසර 40 ගතවෙලා හැරිලා බලන විට හරිම සතුටුයි. මට අද මෙතනට එන්න උදව් කළ සියලු දෙනාටම ස්තුතිය පුදකරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.