Home » මෙය ඉන්ද්‍රකීලයක් සේ නොසැලී ආ ගමනක්

මෙය ඉන්ද්‍රකීලයක් සේ නොසැලී ආ ගමනක්

ගුවන් විදුලි ශිල්පිනී දිනුෂා වෙත්තසිංහ

by Thanushika
June 12, 2025 12:05 pm 0 comment

කුඩා කාලයේ සිටම නිවේදිකාවගේ සිහිනය දුටු ඇය පාසලෙන් ලද පන්නරයත් නිවෙදිකාවක ලෙස හා ක්‍රීඩාව සහ ඇගේ සහජ දක්ෂතා වලින් පාසල වර්ණවත් කිරීමට ඇය එකල කිසි දිනක පසුබට නොවුවාය. එහි සාර්ථකත්වයක් ඇය රුහුණු සේවයේ ළමා පිටියේ නිවේදිකාවක ලෙස කටයුතු කරන්නට වරම් ලැබුවාය. ඒ ගුවන් විදුලියේ මාධ්‍යකරණයට ඇතුළු වූ මුල්ම කාලයයි. දැනුම සහ ප්‍රායෝගික දැනුම එකට කැටි කර ගනිමින් ඉදිරි ගමනේ සාර්ථකත්වය ඇය විසින්ම ළඟා කරගෙන ඇත. මේ කාල වකවානුකුණුවේ කාගෙත් කතාබහට ලක්වන යොවුන් නිවේදිකාවක ලෙස ජාතික ගුවන් විදුලි සංස්ථාවෙන් නිවේදක පාඨමාලාව හදාරා ගුවන් විදුලි ක්ෂේත්‍රයට අවතීර්ණ විය. ඉන්පසු විවිධ ක්ෂේත්‍ර ස්පර්ශ කළ ඇය ගැන මේ දිනවල වඩාත් කතාබහට ලක්වන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක හා වෙළෙඳ සේවයේ නිෂ්පාදිකාවක හා නිවේදිකාවක ලෙසටයි. ශ්‍රාවක ආකර්ෂණයක් දිනා ගන්නා ඇය වඩාත් කතාබහට ලක්වන්නේ ඇය විසින් නිර්මාණය කරනු ලබන වැඩසටහන් නිසායි. මේ ඇගේ අලුත්ම තොරතුරු සරසවිය සමග බෙදා ගත් මොහොතයි. ඇය නමින් දිනූෂා වෙත්ත සිංහයි.

ඔබව හඳුන්වා දෙන්න කැමති කොහොමද?

ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ව හඳුන්වා දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය. මම දිනුෂා වෙත්තසිංහ ගහකොළ සතා සිවුපාවත් එක්ක ගෙවුණු සුන්දර ගම මාතර සුල්තානාගොඩ. මගේ හදවත බඳු දෙවැනි අම්මා ලෙස මම සලකන්නේ මගේ පාසලයි. මගේ මූලික අධ්‍යාපනය ලබන්නේ මම සුල්තානාගොඩ කනිෂ්ඨ විද්‍යාලයයි, ශිෂ්‍ය නායිකාව බවට පත්වීමත්, ක්‍රීඩා කටයුතුවලත් විෂය බාහිර ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන ශිෂ්‍යාවක් බවට මම එදා පත්වුණා. ද්විතීක අධ්‍යාපනය සදහා මම තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. උසස් පෙළ සඳහා කලා විෂය ධාරාව හැදෑරුවා. අධ්‍යාපනයත් නිවේදන කලාවත් සමබරව කරගනිමින් මම මගේ ඉදිරි වැඩ කටයුතු කර ගනිමින් දැන් කාලය ගත කරන්නේ.

නිවේදක ක්ෂේත්‍රයට අත්පොත්තබන්නේ කොහොමද?

මේ ගමන මම ආරම්භ කරන්නේ පාසල් යන අවධියේ සිටයි. අද වගේ එදා පාසල් පද්ධතිය තුළ අපට මාධ්‍ය ඒකක නිවේදක තරඟ තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ ක්ෂණික කතා මාතෘකානුකූල කතා හා විවාද තරගයි. මම මේ කාලවකවානුව තුළදී සමස්ත ලංකා දක්වා සහභාගිවෙලා ජයග්‍රහණද හිමිකරගෙන තිබෙනවා මේ අංශවලින්. ඒ ජයග්‍රහණ ඔස්සේ මට රුහුණු සේවයේ ළමා පිටියට අවතීර්ණ වීමට අවස්ථාව හිමිවෙනවා. මයික්‍රෆෝනියක් ඉදිරියේ ගුවන් විදුලි මාධ්‍යකරණය ගමන ආරම්භ කරන්නේ එතනින්ය. ඒ මගේ ජීවිතේ හීනයක් සැබෑ වුණු මොහොතක්. ඒ වකවානුවේ කවුරුහරි මගෙන් ඇහුවොත් ඔයා කවුරු වෙන්නද කැමති කියලා මම නොබියවම මුහුණ දීලා දෙන උත්තරේ තමයි මම නිවේදිකාවක් වීම තමයි මගේ ඒකායන අරමුණ කියලයි. ගමටම කළු සුදු රූපවාහිනී දෙකක් තුනක් තිබුණු කාල වකවානුවකයි. මගේ ජීවිතයේ නිවේදිකාවක් මම ඇහැටවත් දැකලා තිබුණේ නැහැ ඒත් මම නිවේදිකාවක් වෙන්නයි ආශාකරන්නේ කියලා අහන හැමෝටම කියන්නේ. එහෙම ආපු ගමනක් තමයි මට තිබෙන්නේ. මේ හැම ගමනකම පිටුපස්සේ ඉන්නේ මගේ පවුලේ සියලු දෙනයි. ඉන් පසු 1997 වසරේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකට ජැක්සන් ඇන්තනී මහත්මයා හරහා සම්බන්ධ වෙනවා. මම මේ පෞද්ගලික නාලිකාවේ නපධථධබඪධද රාජකාරී හා නිවේදන කටයුතුවල නිරත වුණත් මගේ හිත හැමදාම කිව්වේ පුංචි කාලෙ ඉඳන් හැදුණ වැඩුණ ශ්‍රී ලංකා ගුවන් විදුලි ස්ංථාවට එන්න ඕනේ කියන එකයි.

මේ කාලවකවානුවේ වැඩියෙන්ම ගුවන් විදුලිය ආසා කළ වැඩසටහන් මොනවාද?

මගේ ගම හරිම දුෂ්කර සුන්දර ගමක්. මෙහි ජීවත් වුණ සියලු දෙනාගේම රසවින්දනය වුණේ ගුවන් විදුලිය. තාත්තා ගෙදරට ගේන බැට්රි කෑලි දෙක පාසල් ගිහිල්ලා ඇවිල්ලා අව්වේ තියලා දින ගණනාවක් අපි ගුවන් විදුලිය අහනවාර ගාන වැඩි කරගත්තා. ළමා පිටිය, හඳ මාමා, මුවන් පැලැස්ස, අධ්‍යාපන සාර සංග්‍රහය වගේම රේඩියෝ තියෙන හැම ගෙදරකම උදේ හයට ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අහන එකට කවුරුත් පුරුදු වෙලා හිටියා. ඒ ගුවන් විදුලිය අහන ප්‍රවෘත්තිය ඇහෙන හැම වාරයකම මගේ හිත කිව්වේ කවදා හරි මම ප්‍රවෘත්ති නිවේදනය කියනවා කියන එකයි.

ගුවන් විදිහට සංස්ථාවට සම්බන්ධ වන්නේ කොහොමද?

මේ පෞද්ගලික නාලිකාවේ රාජකාරී කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ වකවානුවේ ඉතාම අඩු වයසින් මට විවාහ යෝජනාවක් ආ නිසා විවාහ වෙනවා. ඉන්පසු කෙටි කාලයක් නිහඬ වෙනවා. ඒත් හැමදාම මගේ හිත කිව්වේ මයික්‍රොෆෝනියත් සමඟ ජීවිතයයි. ඉන්පසු විවාහයෙන් දරුවන් දෙදෙනෙකු ලැබුණාට පසු මම 2004 වර්ෂයේ ගුවන්විදුලි සංස්ථාවට නැවත එන්නට අවස්ථාව ලැබෙනවා. ගුවන් විදුලි සංස්ථාවට ප්‍රවෘත්ති නිවේදක තනතුරට ඉල්ලුම් පත්‍ර කැඳවලයි තිබුණේ. ඒ හරහා මමත් ඉල්ලුම් පත්‍රයක් යොමු කරනවා ගුවන් විදුලි සංස්ථාවට. ඒ ආපු ගමනේදී හාරදාහක් වැනි පිරිසක් අතරින් තිස් පස් දෙනෙකු අවසන් වටයට තෝරාගන්නවා. ඒ තේරුණු තිස්පස් දෙනා අතර ප්‍රවෘත්ති නිවේදනයට සුදුසුකම් ලබන්නේ මම පමණයි. මේ තෝරා ගත්ත ප්‍රවෘත්ති නිවේදික තනතුරට සියලූම නාලිකාවල වැඩ කිරීමේ අවස්ථාව හිමි වුණා. ඒ භාග්‍ය ලබපු එකම පුද්ගලයා උණෙත් මමයි. ඒ අනුව ස්වදේශීය සේවය ජඪබර ටථ, වෙළෙඳ සේවය, සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අවස්ථාව මට හිමි වුණා. ගුවන් විදුලියට පැමිණීමත් සමග මගේ පළමුම දේ වුණේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමයි. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ප්‍රථම මාස තුනක් වැනි කාලසීමාවක් තුළ අපිට ප්‍රායෝගික පුහුණුවක් ලැබුණා. ගුවන් විදුලි සංස්ථාවේ තිබුණු සියලූම තැන් ඒ පුහුණුවීමට ඇතුළත් වුණා. ඒ ලබපු ප්‍රායෝගික පුහුණුවෙන් පස්සේ තමයි ප්‍රවෘත්ති නිවේදනය ඉදිරිපත් කරේ. මේ කාලසීමාව තුළ මැදිරිවල අපි බිම ඉඳගෙන පොඩි ළමයි වගේ ඉගෙන ගත්තා.ඒ කාලය මතක් වෙන වකවානුව හරිම සුන්දරයි.

ඔබේ ජීවිතයට මේ ප්‍රායෝගික පුහුණුවට ලබාදුන් ප්‍රවීණයන් වැදගත් වන්න ඇති නේද?

එදා ඉල්ලුම් පත්‍ර යොමු කරලා සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වෙනකොට ඉඳල තිබුනේ අද ගුවන් විදුලියේ ප්‍රතාපවත්ම චරිතයක් වන කුසුම් පීරිස් මහත්මියයි. සුමනා නෙල්ලම්පිටිය, ධම්මික පී රත්නායක, විපුල් ධර්මප්‍රිය ජයසේකර, ගාමිනී මලවැන්නේගම, මාලනි වෙත්තසිංහ, සුනිල් අබේසිරි අපේ ජීවිතවලට ගොඩක් ගුරුහරු කන්දුන්න ගුරුවරියක් වගේ අපේ ළඟින්ම හිටිය මයුරි අබේසිංහ වැනි ප්‍රවීණයන් සමඟ මට ප්‍රවෘත්ති නිවේදනයේ ගුරුතුමිය වූ රම්‍යා වනිගසේකර මහත්මියයි. එතුමිය විශ්‍රාම ගිය දවස තමයි මගේ ප්‍රවෘත්ති නිවේදනය ඉදිරිපත් කළ පළවැනි දවස වන්නේ. එතුමියගේ මේසයට මාව එක් කරන ගිහින් ප්‍රවෘත්ති පිටපත සමඟ ගුරුහරුකම් දීලා අද රාත්‍රී නවයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න කියා දුන්නේ. එදා මම ඒ ප්‍රවෘත්ති නිවේදනය ඉදිරිපත් කරන අයුරු ශ්‍රවණය කරලා ගතවුණු නිමේෂයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයට දුරකථනයට ඇමතුමක් දීලා මාව සම්බන්ධ කරගෙන එතුමියගේ සතුට මට ලබා දුන්නේ හරිම ලෙන්ගතු ලෙසින්. ගුරුවරියක් දරුවකුට දෙන උතුම්ම තෑග්ග ඇය මට එදා දුන්නා. ප්‍රවෘත්ති නිවේදන ඉදිරිපත් කරනවා කියන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් හරියට භාවනාවක් කරනවා හා සමානයි. ඒ ඇයගෙන් ලද ආභාසය අපි රැගෙන යනවා. ප්‍රවෘත්ති නිවේදන ඉදිරිපත් කරන විට කිසි දිනක මගේ අතේ වළල්ලක් ඔරලෝසුවක්වත් කිසිවක් නැහැ. ඒ අවස්ථාවේ මුළු ලෝකයම පෙරළුවුණත් මම ඉන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තුළ පමණයි. මේ කාලවකවානුවේ සහන නිවේදිකාවක් ලෙස මම කටයුතු කරනවා, ඒ සමඟම ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සුදුසුකම් ලැබුවා. ගුවන් විදුලියට ඇවිල්ලා අවුරුදු දහයක් පමණ සහන නිවේදිකාවක් ලෙසයි කටයුතු කරන්නේ.

ඔබ රාජකාරි පටන් ගන්නේ ස්වදේශීය සේවයෙන්ද?

ගුවන් විදුලියේ මම ඇත්තටම ස්වදේශිය සේවයත් සමඟ තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ. 2005 මැතිවරණ රාජකාරී අවස්ථාවේ ස්වදේශිය සේවයේ ප්‍රධාන මැදිරියේ රාජකාරී කරනවා. ඒ අවස්ථාවේ ස්වර්ණ ගුණවර්ධන, සුජීව හරිස්චන්ද්‍ර, ටී.ඩී.කේ, ජයන්ත මහත්වරු මට කියනවා අපේ චැනල්වල වැඩ කරන්න පැමිණෙන්න කියලා. ඊට පසු ගුවන් විදුලි සංස්ථාවේ තිබ්බ සියලූම චැනල්වල වැඩ කරන්නට අවස්ථාව ලැබෙනවා. මේ වන විට මම වෙළඳ සේවය තමයි රාජකාරිය කටයුතුවල නිරත වෙලා සිටින්නේ.

මේ ආපු ගමනේ අවුරුදු විසි එකක කාල සීමාව තුළ ඔබට හමුවුණු චරිත ගැන මොනවද කියන්න තියෙන්නේ?

මේ අවුරුදු විසි එකක කාලසීමාව තුළදී මට ගුවන් විදුලියේ ප්‍රබල චරිත හමු වෙනවා.ඔවුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් අද මගේ ජීවිතයේ ඔපවත්කරනවා.මේ කාල වකවානුවේ මාලිනී වෙත්ත සිංහ සහ සුනිල් අබේසිරි මහත්තයා ගුවන් විදුලියේදි එල්ල වුණු අපවාද අවලාද අභුත චෝදනා වලින් මාව රැක්කා. ගුවන් විදුලි සංස්ථාවේ ජීවත් වෙනවා කියන්නේ හරිම අමාරු කාර්යයක්. ඒ කාලේ ගුවන් විදුලි බිත්තිවලට කතා කරන්න පුළුවන් නම් අපේ කඳුළු කතා කියයි. ඒ ආපු හැම ප්‍රශ්නයක්ම දරා ගත්තේ තනියම, ගෙදර ගිහිල්ලා ඒවා කියන්න බැරි වාතාවරණයක් තිබුණේ. එහෙම කිව්වොත් මොකටද ඔච්චර ඔය පීඩා විඳීන්න ඔය තැනට යන්නේ කියන එක ඉස්මතු කරනවා. ඒත් මගේ ජීවිතේ තිබුණේ ඒ ප්‍රශ්න තුළින්ම මුහුණ දීලා ඉදිරියට එන එකයි. එදා ඒ අපවාද අවලාද අභූත චෝදනා එල්ල කරපු සියලු දෙනාටම අද දිනූෂා වෙත්තසිංහ කියන්නේ කවුද කියලා කියන්න පුළුවන් පරිසරයක් ගුවන් විදුලිය තුළ ගොඩනඟල හමාරයි.එදා අපිට කිසිවකු සමඟ කතා කරන්නවත් වාතාවරණයක් තිබුණේ නැහැ. ඒත් අද එන අළුත් පරම්පරාවට අපි කවදාක්වත් ඒ අපිට උදාවුනු වාතාවරණය ඇති වෙන්න දෙන්නේ නැහැ. මම මගේ රාජකාරී ජීවිතේ මම නිවාඩු දාලා අලුත් පරම්පරාවට බීම් වල වැඩ කරන්න දෙනවා. ලොකු පොඩි බහුතරයක්ම නවකයන්ට එදා එල්ල වුණේ හරිම පීඩනයක්. ඒ අතර හොඳ මිනිස්සු කොට්ඨාසයකුත් ජීවත් වුණා. ඔවුන්ගේ ගුරුහරුකම් නිසා තමයි අපි යම්තාක් රැකුණේ. ඒ සියලු දෙනා මම සිහිපත් කරන්නේ හදපිරි භක්තියෙන්. මම මගේ මාධ්‍යය කලාව තුළ අනුන් කොපි කරන මාධ්‍ය කලාවක් තිබුණේ නැහැ. මම මගේ ස්ටයිල් එකක් තුළින් ගොඩනැඟුනේ.

හඳ මාමා 60වැනි සංවත්සරය දී හඳ නැන්දා වෙනවා නේද ?

හඳ මාමා කියන්නේ ලෝකයේ තියෙන පැරණිම ළමා වැඩසටහනයි. සුමනා ජයතිලක මහත්මිය හැටවැනි සංවත්සරය සපුරන හඳමාමා වැඩසටහනේදී ඇය වැඩසටහන පවරන්න කෙනෙකු සොයනවා. ඒ සොයපු කෙනා බවට ඇය මාව පත් කරගන්නවා. එදා ඉඳලා එය පවරන්න කෙනෙකු සෙව්වා ඒ සොයපු කෙනා තමයි අද දිනූෂා වෙත්තසිංහ කියන්නේ කියලා මුළු සභාවක් ඉදිරියේදී මට හඳ මාමා වැඩසටහන බාර දෙනවා. ගුවන් විදුලියේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ශ්‍රාවකයන් නිවැරදි භාෂාව උච්චාරණය හා පරිශීලනයයි. ඇය සොයලා තියෙන්නෙත් ඒ දේ වගකීමක් භාර දෙන්න පුළුවන් කෙනෙකු ඉන්නේ කලාතුරකින් බවයි ඇයගේ වදන්වල තිබුණේ. එදා මාව ජීවත් කරා කියන එක මට සැබැවින්ම දැනුණා. ලැම්බට් පෙම්මාවඩු මාමා සමඟ හඳ මාමා වැඩසටහන හඳ නැන්දා ලෙස දැන් ඉදිරියට කරගෙන යන්නේ මමයි.එතුමියත් සමඟ මම හඳ නැන්දා වැඩසටහනේ වැඩසටහන් කිහිපයක් කළා. පොඩි හඳ නැන්දා ලෙස. මේ වන විට අපි කරනු ලබන සියලු වැඩසටහන් නිෂ්පාදකවරියක් ගේ භූමිකාවද අපිම කරගන්නවා.

අන්තර්ජාතික මට්ටමෙන් හා රාජ්‍ය හා රාජ්‍ය නොවන විශේෂ වැඩසටහන් වල ඔබ කැපී පෙනෙන නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා නේද?

ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථාවේ නිවේදිකාවක් වීම නිසාම මට ලෝකයේ ලස්සනම රටවල් බොහෝමයකට යන්න අවස්ථාව ලැබුණා.ඒ අතර විවිධ රටවල මාධ්‍යවේදීන් හමුවුණා.ඒ නිසා ඔවුන් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතාවල් ඇතිවීමත් තුළ මාධ්‍යකරණය පිළිබඳ විවිධ පැතිකඩ අපි අතර දැනුම බෙදා ගැනිම සිදුවුණා. මාධ්‍යවේදියෙකුට මේ අවස්ථාවන් ලැබෙන්නම ඕන අවස්ථාවක්, ඒත් ඒ අතරින් කීප දෙනෙකුට පමණයි ඒ අවස්ථාව හිමිවන්නේ. ඒ භාග්‍යයද මට හිමි වුණා. මගේ මාධ්‍ය ජීවිතයේ මම ලංකාවේ නොගිය තැනක් නැහැ.යුද්ධයෙන් පස්සේ උතුරේ ඉඳන් දකුණට හැම අස්සක් මුල්ලක් නෑරම වාර්තාකරණයේ යෙදුනා.රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ උත්සවල නිවේදන කටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා.මගේ ජීවිතේ මම යුද්ධයට සමගාමීව පලාලි සේවයේ පවා මම රාජකාරී නිරත වුණා. මම විශ්වාස කරනවා. යුද්ධෙන් පස්සේ උතුරට ගිය පළමු මාධ්‍යවේදනීය මමද කියලා. යුද වාතාවරණය තුළ පිළුණු වෙන්නට කලින් ඒ සියලු දේවල් අත්විඳීන්නට මට අවස්ථාව හිමි වුණා.ඒ දේත් ලැබෙන්නේ මාධ්‍යවේදනියක ලෙස කීපදෙනාට පමණයි.කිලිනොච්චි සහ අලිමංකඩ යුද ස්මාරක දෙකේම ජනගත කරන විට එහි නිවේදන කටයුතු මෙහෙය ව්මේ භාග්‍ය මට උදාවුණා. රණවිරුවන් සමඟ කරන හැම කටයුත්තකදීම අභිමන්සල වැනි ව්‍යාපෘතිවලදී මගේ හඬ මුසු කරන්නට මට ලැබුණා. මේ වෘත්තියත් සමඟ ලැබිච්ච දේවල් අපමණයි. මේ වගකීම් සහිත වැඩභාර දෙන හැම වෙලාවකම දීම වෘත්තීය ගරුත්වය සහ වෘත්තිය ආරක්ෂා කිරීමට මම හැමවෙලේම සැදී පැහැදී සිටින්නේ.

පෞද්ගලික නාලිකා සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව භාෂාව භාවිතා කරන ආකාරය සහ නවක නිවේකයක නිවේදිකාවන් භාෂාව භාවිතය ගැන අද මොන වගේ මතයකද සිටින්නේ?

මම පෞද්ගලික නාළිකාවක සේවය කරන කාලසීමාව තුළදී අතෘප්ති කරේ ඒ භාෂාවේ තිබුණු එක් ප්‍රශ්නයක් තුළයි. ගුවන් විදුලිය කියන්නේ ලේසියෙන් කෙනෙකුට රැඳෙන්න පුළුවන් තැනක් නෙවෙයි. විශ්වවිද්‍යාල හතක ගියා වගේ නෙවෙයි විශ්වවිද්‍යාල දාහතරක ගියාවගේ අධ්‍යාපනයක්. ගුවන් විදුලියට ඕනෑම කෙනෙකුට එන්න ලේසියි හැබැයි රැඳෙන්න අමාරුයි. අපිට දැනුම ඕන. හැම වෙලේම පියවි සිහියෙන් වැඩ කටයුතු වෙනවා. වෙනත් නාළිකාවලට වගේ ආවට ගියාට භාෂාව භාවිතා කරන්න බැහැ. පුංචි ඉස්පිල්ලක ඇලපිල්ලක වරදක් වුණොත් ඒ ගැන කතා කරන ප්‍රමාණය වැඩියි. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් නිසා අපි බැඳීලා ඉන්නේ ජනතාවගෙන්. ඒ ජනතාවගෙන් ජීවත් වන අපි ජනතාව වෙනුවෙන් හැම විටම රටට හානියක් නොකර සමාජ මෙහෙවර ඉටු කළ යුතුයි. ඒත් බහුතර පෞද්ගලික නාලිකාවලට ඒ බැඳීම් නැහැ. ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය තියෙන්නේ රේටින් වැඩ කරගැනීම පමණයි. අපි ගතවන තත්පරයක් තත්පරයක් පාසා රටේ අනන්‍යතාවය රැකිය යුතු ජනතා මෙහෙවරයි ඉටුකරන්නේ. මිනිසුන්ගේ සංවේදීතාවය අපි හඳුනාගත යුතුයි. පෞද්ගලික නාලිකාවල කරන කතාබහ ආවට ගියාට හෝ අපිට ඒ දේ කළ නොහැකියි. හැම වෙලාවෙම අවශ්‍ය වචන ටික අපි ඒ අවශ්‍ය කාලය තුළ කතා කළ යුතුයි. ඒ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කතා කළ යුතුයි. වචන ගොඩක් කතා කරලා වැඩක් නැහැ. ප්‍රබුද්ධ ශ්‍රාවක පිරිසක් අපි ඉදිරියේ සිටිනවා කියන එක ගැන අවබෝධය තිබිය යුතුයි. නිවේදකයාට හෝ නිෂ්පාදකවරයාට. හතු පිපෙනවා වගේ නිවේදක පරම්පරාව පෞද්ගලික නාලිකා වලින් බිහිවුණාට වැඩක් නැහැ. ව්‍යාක්ත භාෂාවක් හරියට අවබෝධයක් නැතුව. අපි වැඩසටහනක් මෙහෙයවද්දී කියන්න ඕන දේ වචන දෙකෙන් තුනෙන් කියන්න පුළුවන්. ඒ සඳහා පත පොත පරිශීලනය කළ යුතුයි. දැනුම සොයාගත යුතුයි. දවස් ගණනාවක් ඒ තුළට අවශ්‍ය වචන මාලාවල් අපි සකසාගත යුතුයි. ඉන්පසු ඒවා ක්ෂණිකව ගලා යන භාෂා මාලාවක් ලෙස සකසාගත යුතුයි. නව පරම්පරාව අද එතන නැති බව මනාව වැටහී යනවා. ඔවුන් කිසිවකු කියන දේවල් පිළිගනීමටත් බැඳී නැහැ. එය ගුවන් විදුලි මාධ්‍යකරණයේදී සිදුවෙන ලොකු වැරැද්දක් ලෙසයි මම දකින්නේ. පෞද්ගලික නාලිකාවන් විවේචනය කිරීමේ පුරුද්දක් මට ඇත්තටම නැහැ.ඒත් මාධ්‍යවේදියෙක් කියන්නේ දැනුමෙන් සහ පත පොතෙන් පිරුණු පුද්ගලයෙක් විය යුතුයි.මේ සියලු දේවල්වලට උත්තරේ තියෙන්නේ හරවත් ගුණවත් පිරිසක් හදන්න පුළුවන් වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් බිහිවන නිවේදක, නිෂ්පාදක පරපුරකට පමණයි.

නවක පරම්පරාව ගැන ඔබ දක්වන්නේ මොන වගේ අදහසක්ද?

අපි ගුවන් විදුලි මාධ්‍යකරණයට එනවා වගේ නෙවෙයි.න වක පරම්පරාවට ලැබෙන අවස්ථාවන් වැඩියි. ඒ නව පරම්පරාවට ලැබෙන වගකීම ලොකු වගකීමක්. මෙය අපි ආරක්ෂා කරගත යුතුයි කියලා ඔවුන්ට දැනෙනවා නම් හොඳයි කියලයි මම හිතන්නේ. අපි පොඩි කාලේ රේඩියෝ එකත් හැදුණ නිසා අපිට ඒ ඉව තිබුණා. දැන් නව පරම්පරාව තමන් වැඩ කරන නාලිකාවේ සංඛ්‍යාතේ මොකක්ද කියලා දන්නෑ.ගුවන් විදුලියේ ප්‍රවෘත්ති කියන අය ප්‍රධාන ප්‍රවෘත්තිවාර හතර අද දන්නෑ විශේෂයෙන් අපි මොන දේ කළත් කොතැනට වැටුණත් අපි පූර්ණ අධ්‍යයනයක යෙදිය යුතුයි. මූලික අඩිතාලමේ නොකළානම් අනුයුක්ත උනාට පසුව හරි කළ යුතුයි.ජ්‍යෙෂ්ඨයන්ගේද අඩුපාඩු නැතුවා නොවේ.ඒ සියලු දෙනාම වැරදි හදාගෙන ගමනක් යන්නේ.ඒත් නව පරම්පරාව අද එතන නැති එක දුකයි. අපි හදපු තැන් අපි නිර්මාණය කරපු තැන්වලට අපිටත් වැඩිය දක්ෂයෝ එන්න ඕනේ. ඔවුන්ට හැම වෙලේම අපේ පුටු පරිත්‍යාග කරන්න අපි බැඳී සිටිනවා. එවිටයි ඒ තැන් බැබළෙන්නේ රැඳෙන්නේ. මගේ ජීවිතේ මම හැමදාම කැමතියි මට වඩා දක්ෂයෙක් මේ ගමනට එනවනම්. කොතනද බැබළෙන්නේ කොතනද දියුණු වෙන්නේ අපේ ආයතනය කියන තැනයි අපි හැමදාම හිතමින් ජීවත්වන්නේ. එනිසා මගේ පසු පරම්පරාවට මම කියන්නේ රැල්ලට දුවනවා වෙනුවට කරන ඕනම දෙයක් හොඳට අධ්‍යයනය කරලා සමාජගත කරන්න කියන එකයි. පරිස්සමින් ගමනක් යන්න. කට තිබුණට වචන තිබුණට අවස්ථාව ලැබුණාට ඒවා පරිස්සමට පාවිච්චි කරන්න කියන එකයි.මාධ්‍යයේ නිරත වෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. වැටෙන්න හා වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. වැරදුනාම අපිට කිසිවකු අත දෙන්නට ඒ අවස්ථාවේ නැහැ. වැටුනට පස්සේ නැගිට්ටවන්නද කිසිවකු නැහැ.

අනිත් නිවේදක නිවේදිකාවන් වගේ ඔබ හැල්මේ දුවන කෙනෙක්ද?

මට කිසිසේත්ම හැල්මෙ දුවන්න අවශ්‍යතාවයක් නැහැ.මම හරි පරිස්සමෙන් ගමනක් යන කෙනෙක් මේ ආපු ගමන් වාරයේදී.ඒ පරිස්සම නිසාම තමයි මට අවුරුදු විසි එකක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට පුළුවන් වුණේ. මගේ ජීවිතේ මට ජනප්‍රිය වෙන්න ලොකු උවමනාවක් නැහැ. මට අවශ්‍ය කරන වැඩේ හරියට කරන්නයි.මම එක්තරා දවසක හොඳටම අසනීප වෙලා හිටියේ එදා ගුවන් විදුලි සංස්ථාවේ සියලුම දෙනාට ඔඩිෂන් පැවැත්වුණා. ඔඩිෂන් එකට ඉදිරිපත් වන නිසා කිසිවකු ප්‍රධාන ප්‍රවෘත්ති නිකුත් කිරීමට මැළිකමක් දැක්වුවා. ඒත් මම අසනීප පිටම මම මගේ වගකීම ජනතාව වෙනුවෙන් අරගෙන ඒ දේ මම ඉෂ්ට කළා. මුළු ලෝකයක් බලා සිටින ප්‍රවෘත්ති නිවේදනය හරියට නොකළා නම් ආයතනය තමයි එදා අපහසුතාවයට පත්වන්නේ. ඒත් සියලු දෙනාම මට කිව්වේ ඔඩිෂන් එකට ගිහින් ප්‍රවෘත්ති නිවේදනය කරන්න කියලයි. ඒත් ගන්න ඕන තැන හරිම තීරණය හැමදාම මම ගන්න තැනයි ඉන්නේ.

මට කාත් එක්කවත් තරගයක් නැහැ මේ රාජකාරී ජීවිතේ. මගේ වැඩේ මගේ පිළිවෙළට අවශ්‍ය විදිහට මම ඒ ආකාරයෙන් කරනවා. කිසි දිනක මම රාජකාරී ස්ථානයේ ගෙදරට ගෙනියන්නෙවත් ගෙදර රාජකාරී ස්ථානයටවත් ගේන්නේ නැහැ.

මේ වනවිට මේ ක්ෂේත්‍රයේ ඇගයීමකට ලක්වෙලා තිබෙනවාද?

මට ලැබිච්ච ලොකුම ඇගැයිම තමයි මගේ ශ්‍රාවක කැලයි. මගේ පපුව කඩාගෙන වැටෙන්න තරම් හදවතට කතාකරන ශ්‍රාවක පිරිසක් මට ඉන්නවා.ඒක තමයි මගේ ජීවිතේ මම රැස් කරගත්ත ලොකුම වත්කම කියලයි. සම්මාන ගන්න අවස්ථාවලට මම යොමු වෙලා තියෙන්නේ එකම අවස්ථාවයි. ඒ අවස්ථාවේ ප්‍රමාණවත් ඇගැයීමක් මට ලැබුණා. සම්මාන දෙන ධාරාව ඇතුළුවේ සම්මාන දෙන විදිහ කවුරුත් දන්නවා. ඒ ඇතුලේ මට ලැබිච්ච සම්මානය හොඳටම ඇති කියලයි මම හිතන්නේ. මගේ ජීවිතයේ මම මෙච්චර කාලෙකට සම්මාන බලාපොරොත්තුවෙන් කිසිදු වැඩක් කරලා නැහැ.මම ආයතනයේ තනතුරු පුටු බලාගෙන වැඩ කරන කෙනෙකුත් නෙවෙයි. මට ලැබෙන වගකීම තුළ මයික්‍රොපෝනියට එහා ඉන්න ශ්‍රාවකයා සතුටු කිරීම තමයි මගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ. ඒ මොහොතේ ඒ මනුස්සයා ජීවත් කිරීම තමයි මගේ එකායන පරමාර්ථය වන්නේ. අන් කිසිවක් මගේ හිත තුළ නැහැ.

මේ වන විට ඔබ කරන වැඩසටහන් ගැන කියන්න කැමතිද?

ගුවන් විදුලිය උදේ 06.00 ප්‍රධාන ප්‍රවෘත්ති ඉඳන්ම රු 09.00 වෙනකන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කරනවා. වෙළඳ සේවයේ ආරම්භක මැදිරි නිවේදිකාවක සිට විකාශන සමාප්තිය දක්වාම කටයුතු කරනවා. සාරප්‍රභා ගී සාකච්ඡා, කාලීන වැඩසටහනක් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන අතර ප්‍රභාස්වරී ලෙස කාන්තා වැඩසටහනක්ද ගෙන එනවා. ගී නිම්නාද ගී මියැසිය ලෙස එකම තනුවට සිංහල දෙමළ, හින්දි, මලයාලම්, තෙළිඟු, කන්නාඩ, බෙන්ගාල එකම තනුවට වෙනත් භාෂාවෙන් නිර්මිත ගීත නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරනවා. අලුත් පරම්පරාවේ ගායක ගායිකාවන් ම ගායනා කරපු ආකාරයට විශේෂයෙන් ගෙන එන්නේ. ටී.ජී රංජන් ද සිල්වා මහත්මා තැටි ටික මට සම්පාදනය කරනවා. ඔහුගෙන් ලැබෙන සහයෝගය අපරිමිතයි මේ වැඩසටහනට. ජඪබර ටථ ගුවන් විදුලියේ සිහින නගරය කියලා කරනවා. කතා සරිත් සාගරය, අසන්නන්ගේ ඉල්ලීම් තීරය, ගුවන් විදුලි ප්‍රසංගවල නිවේදන කටයුතු මෙහෙයවීම, එළිමහන් නිවේදන කටයුතු ,අලුත් නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නා සම්මුඛ පරීක්ෂණවල පරීක්ෂක මණ්ඩලය වලට සහභාගී වෙනවා.

පවුලෙන් ලැබෙන සහායෝගය ගැන කතා කරමු?

මගේ මහත්තයත් හරිම කාර්යබහුල පුද්ගලයෙක්.ඔහු ශ්‍රී ලංකාව දුම්රිය දෙපාර්තමේන්තුවේ රාජකාරී නිරත වෙන්නේ.මගේ දුව දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ච්ජචදඥ උදඪමඥපඵඪබර ඩිකෙන් අධ්‍යාපනය ලබන අතර පුතා ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක මේ වන විට අධ්‍යාපනය හදාරමින් සිටින්නේ. ඔවුන් දෙදෙනා සමඟ ස්වාමියා මට දෙන සහයෝගය තමයි මගේ රාජකාරී ජීවිතයේ සතුට සැමදාම රඳා පවතින්නේ. රාජකාරී ජීවිතයත් පවුල් ජීවිතයත් සමබරව තියාගෙන වැඩ කටයුතු කරනවා කියන්නේ හරිම අමාරුයි. ඒත් මා වෙනුවෙන් විශ්වය පෙනී සිටිනවා. කියන එක මට හැමවෙලේම දැනෙනවා. මේ ගමන එන්න මට උදව් උපකාර කර සියලූම දෙනාට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න මම අමතක කරන් නැ,ඒ හරහා මම ජීවත් වෙනකම් මගේ මයික්‍රෆෝනේ ඉදිරියේ ශ්‍රාවකයා සතුටු කිරීම තමයි මගේ එකම පැතුම.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT