නිවස විශේෂාංග මුතුහර සියලු දූ දරුවන් සවිබල ගැන්වෙන වැඩපිළිවෙළක් ළඟදීම

මුතුහර සියලු දූ දරුවන් සවිබල ගැන්වෙන වැඩපිළිවෙළක් ළඟදීම

‘මුතුහර’ වැඩසටහන් අධ්‍යක්ෂ උදාන්ත ගුණතිලක

by Mahesh
May 23, 2024 12:30 am 0 comment

විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්
ඒ ලොව සැදුමට ඇපකැප වී නිති මුළු ශක්තිය යොදවම්…//

දෑ කුල ආගම් සුදු කළු ආදී භේද කිසිත් එහි නෑ
හිංසා ක්‍රෝධා දී අවගුණයන් කිසිවිටෙකත් එහි නෑ
මෛත්‍රී කරුණා හැම වෙත පතුරා සාමය රජයාවී
සහෝදරත්වය මානුෂිකත්වය ඉහළින් වැජ‍ඹේවී…

එක්වෙමු රොක්වෙමු
එක පවුලක් වෙමු මැළිකම් දුරලවමු
මානව සංහතියම සනසන්නට
අතහිත දිරිය දෙමු
හෙටින් උදාවන ලෝකය අපගේ අපි එය බබළවමු
ඒ වෙනුවෙන් අද දින අප වෙහෙසී මුල් පියවර ගනිමු…

දෙමාපියනි වැඩිහිටියනි අපහට රැකවරණය දෙන්න
අපේ දුබලකම් පෙන්වා ආදරයෙන් ඔවදන් දෙන්න
ලොවේ අනාගත උරුමය අපහට නිසිලෙස පවරන්න
අප හැදුණොත් අද හැකිවනු ඇත හෙට ඒ ලොව දැක ගන්න…

විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්…//

– අපේ‍්‍රල් 28 වැනිදාට මුතුහරට අවුරුදු 42 පිරුණා
– ජාතික රූපවාහිනිය හැටියට අපි යන්නේ උඩුගංබලා පිහිනීමක්
– නවීන ලෝකයට අනුව වැඩසටහනේ හැඩය වෙනස් කළා. නමුත් මුතුහර අක්මුල් සිදිලා නෑ
– ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න අද අමාරුයි. ඇස් රැවටිලා කන් රැවටිලා ජන මනස රැවටිලා
– එදා තිබුණ දරුවන්ගේ ගහනයත් අද තියන දරුවන්ගේ ගහනයත් අතර ලොකු වෙනසක් තියෙනවා
– මුතුහර කියන්නේ එක දරුවෙක් දෙන්නෙක් හදන වැඩපිළිවෙළක් නොවෙයි

ගීත ගායනයත් සමඟ මීට දශක හතරකට පෙරාතුව ඇරැඹී මුතුහර රූපවාහිනී ළමා වැඩසටහන අදත් මතකයන් අලුත් කරමින් විකාශය වෙයි.

1982 අපේ‍්‍රල් 28 වැනිදා මෙරට ළමා පරපුර වෙනුවෙන් ජාතික රූපවාහිනිය ආරම්භ කළ මුතුහර ළමා වැඩසටහනට ඉකුත් දා වසර 42ක් සපිරිණි. මෙරට රූපවාහිනී මාධ්‍ය කලාවේ අඛණ්ඩව විකාශය වූ පැරැණිතම රූපවාහිනී ළමා වැඩසටහන වනුයේ ද මුතුහරයි. මේ වනවිට වැඩිම දේශීයව මෙන්ම විදේශීයවද ළමා ප්‍රජාවක් එක්ව සිටින ළමා වැඩසටහන වනුයේද මුතුහරයි. මුතුහර ළමා වැඩසටහන මුලික කරගනිමින් 1982 ඔක්තෝබර් 01 වැනිදා ආරම්භ කළ මුතුහර ළමා සමාජය මේ වනවිට රටපුරා පළාත් මට්ටමින් දිස්ත්‍රික්ක මට්ටමින් ගම්මට්ටමින් ව්‍යාප්තව සුවිශාලය ප්‍රජා මුලික දායකත්වයක් ලබා දෙන්නේය. එදා මෙදා තුර රටපුරා මුතුහර ළමා සමාජ පන්සියකට ආසන්න ප්‍රමාණයක් දැනට ක්‍රියාකාරීව කටුයතු කෙරෙන අතර විදේශීයව ද මුතුහර ළමා සමාජ එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉතාලියි, ජපානය, ජර්මනිය, ආදී බොහෝ රට වල ද මේ වනවිට ක්‍රියාකාරිව කටයුතු කෙරේ.

1982 ඔක්තෝබර් 01 වැනිදා ජිනදාස එච්. ගමගේ මහතාගේ සංවිධානයෙන් පොල්ගහවෙල අංක එක මුතුහර ළමා සමාජය ආරම්භ කෙරිණි. රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාව සිටි එම්.ජේ. පෙරේරා මහතා ගේ නායකත්වය මත ඇරඹි මුතුහර ළමා වැඩසටහනේ මුල්ම නිෂ්පාදිකාව මෙන්ම මුතුහර තේමා ගීත නිර්මාතෘවරිය වුයේ ද ආචාර්ය ලලිතා සිරිබද්ධන මහත්මියයි. වසර විස්සක පමණ කාලයක් ඇය මුතුහර ළමා වැඩසටහනේ අධ්‍යක්ෂවරිය විය. එතුමිය ගේ සේවා කාලය අවසානයේ මාස හයක පමණ කාලයක් මුතුහර නිෂ්පාදකවරිය ලෙසින් කටයුතු කරනු ලැබුවේ නාලිනී ධර්මරත්න මහත්මියයි. 2001 වසරේ අගභාගයේ මුතුහර ළමා වැඩසටහනේ නිෂ්පාදකවරයා බවට පත් වුයේ උදාන්ත ගුණතිලක මහතාය. එදා මෙදා තුර වසර විසිතුනක පමණ කාලයක් මේ දක්වා මුතුහර ළමා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා උදාන්තය. වසර 42ක් පුරා අඛණ්ඩව මෙරට රූපවාහිනී මාධ්‍යයක් තුළ විකාශය වූ ළමා වැඩසටහනක් වේ නම් ඒ මුතුහරය. ජාතික රූපවාහිනියේ ළමා වැඩසටහන් ඒකකයේ නිෂ්පාදනයක් ලෙස සෑම අඟහරුවදාකම සවස 5.00ට පුරා පැයක් විකාශය වන මුතුහර පිළිබඳ අපි කතාකරමු මේ වන විට මුතුහර නියමුවා වී සිටින උදාන්ත ගුණතිලක හා.

ලංකාව තුළ දීර්ඝ කාලයක් අඛණ්ඩව විකාශය වූ ළමා වැඩසටහනක නියමුවා ඔබ?

පසුගිය අපේ‍්‍රල් 28 වැනිදාට මුතුහරට අවුරුදු 42 පිරුණා. පටන්ගත් දා සිට අඛණි්ඩව අදටත් විකාශය වන රූපවාහිනී ළමා වැඩසටහන මුතුහර. මම හිතන්නේ මේ තරම් කාලයක් එක දිගටම විකාශය වන වැඩසටහනත් මේක කියලා. 1982 දී තමයි මුතුහර මුලින්ම විකාශය වීම ඇරැඹියේ.

පුරා වසර 42 සපිරෙන මේ මොහොතේ මුතුහර තුළින් අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවද?

ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතාගේ මඟ පෙන්වීම මත විශාල වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවනවා. ඒ සඳහා මේ රටේ ජනතාව මුතුහර ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් නිලධාරින් සවිබල ගැන්වීමේ දැවැන්ත වැඩසටහනක් මේ දවස්වල සංවිධානය කරමින් පවතිනවා.

දැනට කොපමණ මුතුහර රූපවාහිනී ළමා සමාජ ප්‍රමාණයක් තියෙනවාද?

ක්‍රියාකාරීව රටපුරා මුතුහර රූපවාහිනී ළමා සමාජ පන්සියකට ආසන්න ප්‍රමාණයක් තියනවා. මේ සියලුම සාමාජික සමාජිකාවන් අභිප්‍රේරණය කරමින් සවිබල ගැන්වීමේ දැවැන්ත වැඩපිළිවෙළක් තමයි මේ දවස්වල කරමින් ඉන්නේ.

මේ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙල කොයි ආකාරයෙන් ද ක්‍රියාවට නංවන්න අදහස් කරල තියෙන්නේ?

පළාත් මට්ටමින් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. අදාළ පළාතේ දිස්ත්‍රික්කයේ සියලුම සාමාජිකයින් මෙම සමුළුවට සහභාගි වෙනවා. පළාත් මට්ටමින් කෙරෙන මේ වැඩපිළිවෙළ දැනට මධ්‍යම පළාත නියෝජනය කරමින් මැයි මස 25 වැනිදා අපි මේ සමුළුව පවත්වනවා. මහාමායා බාලිකා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී. මීට කලින් සබරගමුව පළාත් සමුළුව වයඹ පළාත් සමුළුව කළා. මේ සඳහා අපි හිතුවාටත් වඩා ජන ආකර්ෂණයක් මේ වන විට ගොඩනැඟී තියනවා. මේ රටේ ජනතාව කෙරේ වැඩි විශ්වාසයක් තියනවා මේ මුතුහර වැඩ පිළිවෙළ පිළිබඳ.

මෙතරම් ජන විශ්වාසයක් ඔබගේ වැඩසටහනට ගොඩනඟා ගත්තේ මොනවගේ ක්‍රමවේදයක් ඔස්සේ ද කියා ඔබ හිතන්නේ?

කිසියම් ක්‍රමවේදයකට තමයි මේ වැඩසටහන ගෙන යන්නේ ව්‍යවස්ථාවක්, නීති රිති පද්ධතියක් වැඩසටහනට ළමයින් තෝරාගැනීමේ ක්‍රමවේදයක් ඇතුව නිශ්චිත හැඩයක් නිශ්චිත ක්‍රමවේදයක් ඇතුව කළ යුතු කාර්යභාරය රූපවාහිනී සංස්ථාවේ නීතිමය රාමුවක් තුළ පෙන්නා දී තියෙනවා. 1982 ඉඳලා අද වෙනකන් මේ දේ කරගෙන යනවා. එකම වෙනස හැටියට කරල තියෙන්නේ නවීන ක්‍රමවේදයට නවීන ලෝකයට අනුව ළමයා වෙනස්වෙන කොට අපි ටෙලිවිෂන් ප්‍රෝගෑම් එක තුළ කාලානුරූපීයව වැඩසටහනේ හැඩය වෙනස් කරල තියනවා. නමුත් මුතුහර අක්මුල් සිදිලා නෑ. වැඩසටහනේ පරමාර්ථ ක්‍රමවේදය අදටත් එකයි. වැඩසටහනේ පැවැත්ම උදෙසා හැඩය විතරක් වෙනස් වෙලා තියනවා.

මේ වැඩසටහන තුළ ඔබගේ නායකත්වය තුළ අපේක්ෂා කරන්නේ මොන වගේ දෙයක් කරන්නද?

අද ඉන්නේ අපේ වැඩසටහන ආරම්භ කරන යුගයේ සිටි දරුවන් නොවෙයි. අද තාක්ෂණය වෙනස් වෙලා මොබයිල් ෆෝන් එක සමඟ ජීවත් වන දරුවෝ සිටින්නේ. තව වසර දෙක තුනකින් ඔවුන් ඒ අයි තාක්ෂණය වැලද ගන්නවා. ඒ වැලඳ ගන්න දරුවා සමාජයේ යහපත් පුරවැසියෙක් බවට අපි පත්කරන්නේ කොහොමද කියල. අද අපි ඉස්සරහ තියන අභියෝගයක්. මේ අභියෝගය මුතුහර අද වෙනකොට හඳුනාගෙන තියනවා. අපිට කලාකරුවන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් නීතිඥයන් බිහි කරගන්න පුළුවන්. හැබැයි මේ සේරම තියෙද්දිත් අපිට පුළුවන් ද යහපත් මනුෂ්‍යයා ගොඩනගන්න. මම හැමදාම මේ වැඩසටහන තුළ උත්සාහගන්නේ අලුත් පරම්පරාව උදෙසා යහපත් මානව වටිනාකම් තියන ගුණධර්ම තියන මානව ගුණධර්ම අගයන උසස් ගුණධර්ම රකින සමාජයට මිනිසුන්ට ආදරය කරන මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසා නිර්මාණය කිරීම තමයි අපේ ඒකායන අරමුණ. නමුත් ඒක හරිම අමාරුයි. ලොකු වෙහෙසක් දරන්න වෙනවා. අනික් රූපවාහිනි නාළිකා වෙනස්ම ගමනක් යනකොට ජාතික රූපවාහිනිය හැටියට අපි මේ කරන්නේ උඩුගංබලා පිහිනීමක්.

එදා – සහ අද කියන්නේ විශාල වෙනස්වීම් රාශියක් සිදු වූ කාල වකවානුවක්. ඔබ හිතනවද අනෙකුත් නාළිකා අබිබවමින් උඩුගංබලා පීනන්න පුළුවන් කියලා?

ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න අද අමාරුයි. ඇස් රැවටිලා කන් රැවටිලා ජන මනස රැවටිලා තියෙන්නේ. ඒ තුළින් රටේ ජනතාව දරුවන්ව සවිඥානතත්වයට පෙරළන්න යහපත් දිශානතියකට ගෙන යන්න බරපතළ අභියෝගයක් අපි ඉස්සරහ තියනවා. කෙසේ හෝ ජාතික රූපවාහිනිය ඒ අභියෝගය ජයගන්නවා කියන විශ්වාසය පදනම් කරගෙන තමයි අද දවසේ මුතුහර වැඩසටහන ක්‍රියාවට නංවන්නේ.

මුතුහර ඔස්සේ වසර 42 පුරාවට බිහි වූ සුවිශේෂී චරිත තියනවද?

විශාල ප්‍රමාණයක් ඉන්නවා. වෛද්‍ය ක්ෂේත්‍රයේ නීතික්ෂේත්‍රයේ, විධායක ශ්‍රේණියේ ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතරින් ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ මුතුහර ඔස්සේ බිහි වූ ජනපි‍්‍රය චරිත ගොඩක් ඉන්නවා. හසන්න ශි‍්‍ර ලාල්, කිංස්ලි රත්නායක, ශෂිකා නිසංසලා, අරවින්ද ලොකුගේ, සංඛ අමරජිත්, ළහිරු මුදලිගේ, කසුන් තිවන්ක සමරසේකර, තිළිණි රණසිංහ, පබසරී කෝලිය බණ්ඩාර, වසන්ති නානායක්කාර වගේ විශාල පිරිසක් ඉන්නවා. මේ සියලුදෙනා ගොඩනැගුණේ මුතුහර සංකලපය තුළ ඒ අයට ලැබුණු නායකත්වය, පෞරුෂය, මානව සම්බන්ධතා කණ්ඩායම් හැඟීම ආදී මානව වටිනාකම් ඒ අයගේ ජීවිතවලට ලොකු පිටුවහලක් මුතුහර උදා කළා කියන දේ ඔවුන් සැවොම පිළිගන්න දෙයක්.

උදාන්ත මේ මහඟු කාර්යට එක් වන්නේ කොයි ආකාරයෙන් ද?

මමත් මුතුහර සාමාජිකයෙක් කැලණිය පොල්හේන 213 වැනි මුතුහර රූපවාහිනී ළමා සමාජය ඔස්සේ තමයි මම මුතුහර හා අත්වැල් බැදගත්තේ මට මතක හැටියට 1987 දී ඒ වෙනකොට මම හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්. එදා පටන් අද දක්වාම මම මුතුහරත් එක්ක ඉන්නවා.

මුතුහර සාමාජිකයෙක්වූ ඔබ අදවෙන කොට මුතුහර භාර කාරත්වයේ නියමුවා වී හමාරයි.

මේ මුතුහර ළමා සමාජයට අනුගත ක්‍රමවේදයක් තියනවා. ඒ ඔස්සේ අපේ දක්ෂතා පෙන්වමින් ආගමනක් මේ ක්‍රමවේදය තුළ තියෙනවා. අපේ අධ්‍යාපන කටයුතුවල කඩඉම් පසු කරමින්. විභාග සමත් වෙමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමෙන් පස්සේ මට අවස්ථාව උදා වුණා. ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්න. පුහුණු වන නිෂ්පාදන සහකාරවරයෙක් වශයෙන්. එවක ජාතික රූපවාහිනියේ ප්‍රථම සභාපති එම්.ජේ. පෙරේරා මහතාගේ අදහසකට අනුව මුතුහර ළමා වැඩසටහන ආරම්භ කරන්නේ ආචාර්ය ලලිතා සිරිබද්ධන මහත්මියයි. ඇය තමයි මේ මුතුහර ළමා වැඩසටහනේ නිර්මාතෘවරිය. එතුමිය ඒ වකවානුවේ රූපවාහිනි ආරම්භක කණ්ඩායමේ වැඩසටහන් නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කළා. එතුමිය මුතුහර වැඩසටහන වසර විස්සක් අඛණ්ඩව කරගෙන ගියා. ඊට පස්සේ එවක නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වූ නාලිනී ධර්මරත්න මහත්මිය. මේ වැඩසටහන මාස කීපයක් කරගෙන ගියා. ඉන්පසු මෙහි නිෂ්පාදන කටයුතු සියල්ල මට භාර වුණා. එතැන් පටන් අද දක්වා මුතුහර නිෂ්පාදන කාර්ය මට පැවරිලා තියනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර මම රූපවාහිනියට එන්නේ පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙක් ලෙස. ඊටපස්සේ පුහුණු කාලය වසර තුනක් සම්පුර්ණ කර ස්ථිර සේවයට එක්වෙනවා. ඊට පස්සේ අදවෙනකන් වැඩසටහන් නිෂ්පාදකයෙක්, අධ්‍යක්ෂවරයෙක් ලෙස මේ වැඩසටහන හා සම්බන්ධ වෙලා ඉන්නවා.

වසර 42ක් පුරාවට පැමිණි මේ වැඩසටහනේ නිර්මාතෘ අතින් සිදු වූ කාර්යට වඩා සේවාවක් ඔබට ඔබේ වසර 23ක සේවා කාලය තුළ කරන්න හැකි වුණාද?

එදා තිබුණ දරුවන්ගේ ගහනයත් අද තියන දරුවන්ගේ ගහනයත් අතර ලොකු වෙනසක් තියෙනවා. භාවිත කරන තාක්ෂණය අතර ලොකු වෙනසක් තියනවා. නමුත් අපි වැඩගොඩක් කරල තියනවා. එදාට වඩා අද අභියෝග රාශියකට අපිට මුහුණදෙන්න වෙලා තියනවා. එදා ළමා වැඩසටහනක් විධියට තිබුණේ මුතුහර පමණයි. අද එහෙම නෑ. විවිධ චැනල්වල විවිධ ළමා වැඩසටහන් තියනවා. එවැනි වැඩසටහන් සමඟ අපි උරෙන් උර කර ගැටී වැඩසටහන කරගෙන යන එක මහා අභියෝගයක්. ඒ අභියෝගය අපි ජයගෙන තියනවා. මුතුහර ළමා සමාජ පන්සීයක් රටවටා ගොඩනගා තිබීම තුළින්.

අපි ළමයි වෙනුවෙන් විශාල වැඩකොටසක් කරල තියනවා. විසිපස්වන මුතුහර ළමා සමාජ සංවත්සරයට සමගාමීව. දිවයිනේ හැදුවා අයි ටී පුස්තකාල තුනක්. එක පුස්තකාලයක වටිනාකම රුපියල් ලක්ෂ හතළිහක්. පළමු පුස්තකාලය හැදුවේ කැබිතිගොල්ලෑවේ. අදටත් එහි සක්‍රියව කටයුතු සිද්ධ වෙනවා. දෙවන පුස්තකාලය හම්බන්තොට මුල්කිරිගල හැදුවා. තුන්වන එක පුත්තලමේ ආඩිගම කළා. මේ හරහා විශාල පාඨක පිරිසක් ගොඩනඟන්න අපිට හැකි වුණා. අදටත් මුතුහර හරහා මේවා සම්බන්ධ වී වැඩ කරනවා. මේවා ඔස්සේ ගම හා නගරය අතර තිබුණු විසංවදය බිද වැටිල තියනවා. මුතුහර ළමා සමාජ හරහා රූපවාහිනිය සමඟ සජීවිව සම්බන්ධ වීමේ ප්‍රවණතාව නැවත දරුවන්ට ගොඩනඟාගන්න හැකියාව ලැබිලා තියනවා.

අනෙකුත් නාලිකාවල තරඟකාරී වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළ අදවෙනකොට මුතුහරට කිරුළ දරන්න හැකිවෙලා තියනවාද?

ඔව් දරුවන්ගේ කතාබහ ඔවුන්ගේ දෙමාපියන් අපිට ලබා දෙන අදහස් ගම්මට්ටමට අපි ගියහම අපිට ප්‍රජාවගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් අපිට දකින්න තියනවා අපේ තේමාව අරමුණ සියයට අනුවකට වඩා ජයගන්න පුළුවන් වෙලා තියෙනවා කියලා. විශේෂයෙන් ළමයි කණ්ඩායමක් ගොඩනැගීමේදී මුතුහර තුළ තිබෙන ක්‍රමවේදය හරිම ප්‍රබලයි. ඒක විශාල ශක්තියක් වෙලා තියනවා ගමක වැඩ කිරීමේදී ඒ හැම අවස්ථාවකම නායකත්වය ගන්නේ මුතුහර ළමා සමාජය. මුතුහර දරුවෝ නිවේදන කටයුතු සංවිධාන කටයුතු කරනවා. මේකෙන්ම තේරෙනවා මුතුහර දරුවා තුළ නායකත්වය විශ්වාසනීයත්වය ආත්ම විශ්වාසය වගේම ඔහුට මේ සමාජය තුළ පිළිගැනීම විශාල වශයෙන් මේ වැඩසටහන උපස්තම්භයක් වෙලා තියනවා කියලා දරුවන්ට ලැබෙන සාධාරණ අවස්ථාව සහ දරුවන්ට ලැබෙන ගෞරවය. විශේෂයෙන් වැදගත්. දරුවන්ට පිපෙන්න වේදිකාවක් නැත්තම් ඒ දරුවන්ට අවස්ථාවක් නැතිවෙලා යනවා. මුතුහර කියන්නේ එක දරුවෙක් දෙන්නෙක් හදන වැඩපිළිවෙලක් නොවෙයි. දෙන්නෙක් තුන් දෙනෙක් පුම්බන වැඩසටහනක් නොවෙයි. ජාතික නාළිකාව විධියට අපිට වගකීමක් තියනවා මේ රටේ සියලුම දරුවන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන්න. මේ දරුවන්ට සමානත්මතාවයෙන් සැලකීම ඒ දරුවෝ අතර සහජීවනය මිත්‍රතත්වය කණ්ඩායම් හැඟීම ගොඩනැඟීම මෙවැනි ගුණ ධර්ම අපේ මුතුහර ළමා සමාජයේ දරුවෝ තුළ ඇතිවුණ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා. අපේ ළමා සමාජ ප්‍රවාහය ඉදිරියට ගෙනයන්න.

ජාතික නාළිකාව හැරුණු කොට අනෙකුත් නාළිකාවන්ට ළමා සමාජ රටපුරා ව්‍යප්ත කරන්න බැරි වුණාද?

අපි තමයි ඔර්ජිනල් අපි අවුරුදු නමයත් දහයත් අතර දරුවන් සමඟ වැඩ කරන්නේ. ළමා මනෝ විද්‍යාත්මක පසුබිම මත දරුවෙකුට තියන හොඳම කාලය හිතන්න වැඩ කටයුතු කරන්න හොඳම කාලය මේ වකවානුව බව හඳුනාගෙන තිබෙන නිසා මේ පරාසයේ දරුවෝ හා අපි ගනුදෙනු කිරීම දිගටම කරගෙන යනවා.

දරුවන්ට මුතුහර ඔස්සේ එළියට එන්න මං මාවත් විවෘත කරන්නේ ඔබලා කොයි ආකාරයට ද?

ක්‍රමවේදයන් ගණනාවක් තියනවා. නටන්න විතරක්ම නොවෙයි. ගීත ගායනා, නිවේදන කටයුතු ලියන්න කියන්න විතරක්ම නොවෙයි. අත්කම්, චිත්‍ර වගේ අංශ දාසයක තරඟවලියක් තියනවා. මෙම මුතුහර ළමා සමාජයට දරුවන් තෝරාගන්නා එකම ක්‍රමවේදය මේ තරඟාවලිය පමණයි. ඉතාම වගකීමෙන් කියනවා ඉතිහාසයේ කිසිම දවසක කෙනෙකුගේ වුවමනාවට ලියුම් වලට බලපෑම් වලට, රූපවාහිනී මුතුහර වැඩසටහනට කිසිවෙක් දමල නෑ. ඒක ඉතාම වගකීමෙන් කියන්නේ කිසියම් ක්‍රමවේදයක තරඟාවලියක් හදලා තියනවා. ඒක මුලික වශයෙන් ප්‍රාදේශිය වශයෙන් ඊටපස්සේ දිස්ත්‍රික්ක මට්ටමින් ඊට පස්සේ පළාත් මට්ටමින් ගෙනත් අවසාන මහා තරගය ඉතාම උත්කර්ෂවත් අන්දමින් කොළඹ දී අපි පවත්වනවා. මුලික වටවල දී අපෙන් හැලෙන දරුවෝ සඳහා ඔවුන්ට ගමට ගිහින් වැඩමුළු පවත්වා ඒ අයත් මෝටිවේට් කරල ඊළඟ අවුරුද්දේ මේ වැඩසටහනට සම්බන්ධවන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරලා දෙනවා. මුතුහර ළමා සමාජ ඔස්සේ ගමේ කරන වැඩසටහන් අපි පටිගත කරලා ඒවත් අපි රූපවාහිනී මුතුහර වැඩසටහනේ පෙන්වනවා. මුතුහර කියන්නේ හුදු රූපවාහිනී වැඩසටහනක් නොවෙයි. ප්‍රජාවත් සමඟ තියන වැඩසටහනක් මේ අයුරින් යනකොට ලංකාව පුරා අපි සජීවිව යාවජීව සමාජිකත්වයක් දරනවා. ළමයි ගමේ පාර හදනවා ශ්‍රමදාන කරනවා. මධ්‍යම රජයෙන් කළ යුතු දෙයක් තමයි දරුවෝ කරන්නේ අන්න එතන නායකත්වය පෞරුෂය වගේම යුතුකම් ගොඩනැඟෙනවා. ළමයි හැටියට තම පරම්පරාව කොහොමද සමාජයත් එක්ක වැඩ කටයුතු කරන්නේ ඕනේ කියන දේ පිළිබඳ ඔවුන් දැනුම්වත් වෙනවා.

ගිරාපෝතකයන් වී සිටින පොතපතත් සමඟ නිරන්තර ගනුදෙනුවක නිරතව සිටින දරුවෝ තුළින් ප්‍රජාදායකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්ද?

අන්න ඒක තමයි මුතුහර තුළ තියන විශේෂත්වය අනෙකුත් නාළිකා මෙවැනි වැඩසටහනක් සඳහා රුපියල් ලක්ෂ පණහක් වියදම් කරනකොට අපි වියදම් කරන්නේ රුපියල් විසිපන්දහසයි. දෙගොල්ල අතර මුදල් පරතරය කොහොමද අද ඇයි ගමේ මුතුහර ළමා සමාජ පිහිටුවන්න මිනිස්සු හිතන්නේ. අපේ දරුවාට සාධාරණ තැනක් එයින් ලැබෙයි කියන විශ්වාසයට තමයි. තවමත් මේ රටේ අතළොස්සක් හරි මිනිස්සු මේ ශිලාචාර භාවයට ආදරය කරනවා. ඒ මිනිස්සුන්ට තමයි මේ වැඩසටහන තියෙන්නේ. මුතුහර ගැන දැනගත්ත කෙනෙක් කවදාවත් අපිව දාලා යන්නේ නෑ.

තමන්ගේ ගමක මුතුහර ළමා සමාජයක් හදාගන්න කෙනෙකුට අවස්ථාව තියනවද?

අපේ ෆේස්බුක් පිටුවේ. අපේ ප්‍රෝගෑම් එක හරහා අපි කියනවා. මුතුහර ළමා සමාජ ඇති කරන පණිවිඩය සාමාන්‍යයෙන් වසරකට දෙපාරක් විතර මේ සමාජ පිහිටුවීම කරනවා. අපි බලෙන් මුතුහර ළමා සමාජ ඇති කළාට වැඩක් නෑ ඒක ප්‍රජාව තුළින්ම බිහිවෙන්න ඕනේ. දැනට ලෝකයේ රටවල් දහයක මුතුහර ළමා සමාජ ඇති කරල තියනවා. ප්‍රංශය, එංගලන්තය, ඕස්ට්‍රේලියාවේ නගර හතරක දෝහ කටාර්වල, ඉතාලියේ ඒ වගේම ඩෙන්මාර්කයේ, ජපානයේ ජර්මනියේ අපි මුතුහර ළමා සමාජ ඇතිකරන්න දැනටමත් සාකච්ඡා කරමින් ඉන්නවා. මගේ කාලය තුළ තමයි ජාත්‍යන්තර මට්ටමින් ලංකාවේ මුතුහර ළමා සමාජ විදෙස් රටවල ආරම්භ කළේ. ඒ සඳහා පුරෝගාමීයා වන්නේ මම.

විදෙස් රටවල දැනට පිහිටුවා ඇති මුතුහර ළමා සමාජ කොයි ආකාරයෙන් ද ක්‍රියාත්මක වන්නේ?

සමහර රටවල අපේම මුතුහර ආදි සමාජිකයන් විසින්ම සංවිධානය කරපුවා තියනවා. අපේම ඒ රටවල පදිංචි ශ්‍රී ලාංකීක දරුවෝ තමයි ඒ සමාජවල සාමාජිකයෝ. ස්කයිප් තාක්ෂණය ඔස්සේ සුම් තාක්ෂණය ඔස්සේ අපි හා ඔවුන් ගනුදෙනු කරනවා. ඔවුන් ගේ වැඩසටහන් අපිට පටිගත කරල එවනවා. ලංකාවට ආපු දවසක අපිව හමුවෙන්න ඔවුන් රූපවාහිනියටත් එනවා. මේ රටවල තියන මුල්‍ය පරිත්‍යාග විශාල ප්‍රමාණයක් අපේ දරුවන්ට මේ මුතුහර ළමා සමාජ හරහා ලැබිල තියනවා. ඉකුත් මාසයේ පමණක් ලක්ෂ හය හමාරක පාසල් උපකරණ මැදවච්චිය අති දුෂ්කර පාසලක දරුවන්ට දෙන්න අපිට ඉතාලි මුතුහර ළමා සමාජයෙන් දුන්නා.

චන්දන දයාසිරිවර්ධන, සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT