නිවස සංවාද මීළඟ නිර්මාණය මගෙන් දැකල පුරුදු එකක් නොවේවි!

මීළඟ නිර්මාණය මගෙන් දැකල පුරුදු එකක් නොවේවි!

මන්දාරා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ

by Thanushika
August 29, 2024 9:51 am 0 comment

ප්‍රියන්ත කොළඹගේ මෙරට සිනමා මාධ්‍ය කලාවේ දීර්ඝකාලීනව නියැලෙන අධ්‍යක්ෂවරයෙකි. විවිධ තේමාවන් ඔස්සේ සිනමා නිර්මාණ රැගෙන එමින් මෙරට ප්‍රේක්ෂක මනසේ ඔහුගේ ශෛලිය ස්ථාපිත කරලු ඔහු මෙවරද අති ආකර්ෂණීය කතා වස්තුවක් ‘මන්දාරා’ චිත්‍රපටයෙන් රැගෙන ආවේය. මේ දිනවල බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ‘මන්දාරා’ තිර ගත වන්නේය.

ප්‍රියන්ත කොළඹගේ මෙරට සිනමා කලාව වෙත ප්‍රවිෂ්ට වනුයේ 90 දශකයේදීය. ‘දැහැන සහ විමුක්ති’ යන චිත්‍රපට ද්විත්වයම ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ ඒ කාලයේදිය. ඉන් පසු ඔහු දිගු නිහැඩියාවකින් යුක්තව සිට යළිත් සිනමාවට එක් වන්නේ ‘අරුමෝසම් වැහි’ චිත්‍රපටය නිර්මාණය කරමින්ය.

ඉන්පසු ඔහු විසින් නිර්මාණය කරන ලද ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටය නොසිතු අන්දමින් ප්‍රේක්ෂක ජන ආකර්ෂණය දිනා ගත්තාසේම මෙරට පැවති සිනමා උළෙල කිහිපයකදීම සම්මානයටද පාත්‍ර වූයේය. මෙවර ඔහු නිර්මාණය කළ ‘මන්දාරා’ ද මෙවැනිම ගණයේ ආකර්ෂණයක් දිනා ගත් සිනමා පටයකි. මෙවර අපේ කතා බහ යොමු වූයේ ‘මන්දාරා’ පිළිබඳ ඔහු සමඟ කළ පිළිසඳරකටය.

‘මන්දාරා’ මේ දිනවල තිරගත වෙමින් පවතිනවා. මොනවද ප්‍රතිචාර?

දැනට නම් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම මින් පෙර නිර්මාණය කරපු ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙක් මන්දාරට ප්‍රතිචාර දක්වනවා ඉන් වෙනස්ම නිර්මාණයක් කියලා මේ චිත්‍රපටය ඇත්තටම පවුලේ හැමෝටම එකට සිට නරඹන්න පුළුවන් පවුලේ කතාවක්. විශේෂයෙන්ම මේ චිත්‍රපටය හරහා දෙමව්පියන්ට, දූදරුවන්ට කිසියම් ආදර්ශයක් ගෙන දෙන කතාවක්. අපේ ජීවිතයේ අපි දරුවන්ට ලබා දෙන අවධානය ඉතාම වැදගත් කියන සන්සිද්ධිය තමයි මෙයින් කියන්න උත්සාහ කරන්නේ. පුද්ගලයෙකුගේ ජීවිතයේ ළමා කාලයේ සිදුවන සිදුවීම් දැඩි ලෙසම අනාගතය කෙරෙහි බලපාන ආකාරය මේ චිත්‍රපටය ඔස්සේ සාකච්ඡාවට බඳුන් කරනවා. විශේෂයෙන් අද වගේ කාර්ය බහුල සමාජයක බොහෝ විට දෙමව්පියන්ගේ කාර්ය බහුලත්වය තුළ දරුවන්ව මඟ හැරෙනවා. දරුවන්ට ආදරය තිබුණ නමුත් ඒ ආදරය ප්‍රකාශ කරන්න ඔවුන්ට වෙලාවක් නැති වෙන්න පුළුවන්. මේ කාරණා සමඟ කුඩා මනසට දැනෙන අසහනය ඔවුන් වැඩිහිටියන් වු පසුත් විවිධාකාරයෙන් ඔවුනට බලපාන ආකාරය මෙයින් විග්‍රහ කරන්න උත්සාහ කරනවා.

ඔබ ‘මන්දාරා’ ඔස්සේ සිංහල සිනමාවට නව කතා නායකයෙක් හඳුන්වා දෙනවා? මින් ඉහතත් ඔබ මෙවැනිම නවකයින් හඳුන්වාදීම කර තිබෙනවා. සිංහල සිනමාවට නව කතානායකයින්ගේ අඩුවක් ඔබ දකිනවද?

මම මගේ බොහෝ චිත්‍රපට හරහා මෙවැනි නවක නළුවන් සහ නිළියන් හඳුන්වාදි තිබෙනවා. එහෙම හඳුන්වා දුන්න බොහෝ දෙනෙක් අද සිනමාවේ තරු විදියට බැබලෙමින් සිටිනවා. චුලක්ෂි ගත්තත්, ටීනා ගත්තත් මගේ චිත්‍රපටවලින් නවක නිළියන් විදියට ආපු අය. අද ඔවුන් සිනමාවේ හොඳ තැනක ඉන්නවා. ඇත්තටම නවක නළු නිළියන් හඳුන්වා නොදුන්නොත් ඉදිරියට මේ කර්මාන්තය කරගෙන යන්නේ කවුරු සමඟින්ද? සිංහල සිනමාවට නව කතා නායකයින් අවශ්‍යයි. හැමදාමත් එකම නළු නිළියන් සමඟ කටයුතු කරන්න බැහැ. ඒ නිසා තමයි මෙවර මේඝ සුරියාරච්චිව හඳුන්වා දෙන්නේ. ඔහු සිනමා තිරයේ ආකර්ෂණීය භාවයක් රඳවා ගන්න පුළුවන් නළුවෙක්. ඒ වගේම ඔහුට රංගනය පිළිබඳ කිසියම් හැකියාවක් මෙන්ම හැදෑරීමකුත් තියෙනවා. ඉතින් මට හිතෙනවා ඔහු ඉදිරියට සිනමාවේ හොඳ ගමනක් යාවි කියලා.

ඔබ මෙරට සිනමා නිර්මාණකරණයේ යෙදෙන්නේ 90 දශකයේ සිටයි. මේ අතීතය තුළ ඔබ ගොඩනගා ගත් දේ පිළිබඳ සිතා බැලුවහොත් මොනවද මතක් වෙන්නේ?

මම නිර්මාණකරණයට පිවිසෙන්නේ 90 දශකයේදි තමයි. නමුත් ඉන් ඉහතත් දිර්ඝකාලයක් මෙරට සිනමාව දිහා මම බලාගෙන හිටියා. අපේ සිනමාවේ හිටපු විශිෂ්ටයන්ගේ නිර්මාණ, රංගන ශිල්පීන්, ශිල්පිණියන් ගේ රංගන කාර්යය, සෙසු කාර්මික ශිල්පින් ගේ හැකියාවන්, දක්ෂතාවයන් මම විමසුම් ඇසින් බලාගෙන හිටියා. ඒ විතරක් නොවෙයි ඒවා අධ්‍යයන කාර්යයන් බවට පත් කරගෙන සිනමාව පිළිබඳ අති විශාල දැනුම් සම්භාරයක් මම එක්රැස් කර ගත්තා. ඒ වගේම ඒ යුගයේ හිටපු එච්. ඩී. ප්‍රේමරත්න වැනි සිනමාකරුවෝ බොහෝ නිර්ලෝභීව ඒ අත්දැකිම් විඳ ගන්න අවස්ථාව සලසලා දුන්නා. මේ ක්ෂේත්‍රයට පිවිසෙන කොට මට වයස අවුරුදු 19යි. මට කිසිම අත්දැකීමක් තිබුණේ නෑ. නමුත් මම මේ විෂයට පුදුම තරම් ආදරෙයි. මේකට එකතු වෙන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒ යුගයේ හිටපු විශිෂ්ටයන් වූ ධර්මසිරි බණ්ඩාරනායක, වසන්ත ඔබේසේකර වැන්නෝ ඔවුන්ගේ නිර්මාණ හරහා අපව පෝෂණය කළා. ඒ නිර්මාණ වලින් අපි ලබපු දේ නිසා තමයි අද අපි අතින් මේ වගේ නිර්මාණ බිහිවෙන්න මූලික වස්තු බීජ නිර්මාණය වුණේ.

බිමල් ජයකොඩි වැනි නළුවෙක් ‘මන්දාරා’ හරහා මේ තරම් දුෂ්ටයෙක් කරන්න හිතුවේ ඇයි?

බිමල් කියන නළුවා මින් පෙර ඉතාම හෘදයාංගම චරිත නිරූපණයන්ට එකතුවුණු නළුවෙක් තමයි. නමුත් මම බිමල් ව හඳුනා ගන්නේ වෙනම විදියකට. බිමල් කියන්නේ ඕනෑම චරිතයක්, ඕනැම අන්දමකින් ග්‍රහණය කර ගන්න පුළුවන් නළුවෙක්. ඔහුට ඕනෑම අන්දමක චරිතයකට ජිවය දෙන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. මේ චිත්‍රපටයේ බිමල් ගේ චරිතය ඉතාම දුෂ්ටයි තමයි. එහෙම ප්‍රේක්ෂකයාට තේරෙන්න තරම් හොඳින් ඔහු ඒ චරිතය නිරූපණය කරලා තිබෙනවා. මම විශ්වාස කරන අන්දමට බිමල් මේ රටේ හිටපු අති දැවැන්ත, දක්ෂ චරිතාංග නළුවන් වන ජෝ අබේවික්‍රම, ජැක්සන් ඇන්තනි වැනි නළුවන් ගෙන් පස්සේ යම්කිසි මට්ටමක තියන්න පුළුවන් අපට සිටින අති දක්ෂ නළුවෙක්. මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය සඳහා ඔහුගෙන් මම උපරිම ප්‍රයෝජනය ගත්තා කියලා. මින් ඉහත මම කරපු ආදරණිය කතාවක් චිත්‍රපටයේත් බිමල්, හේමාල් රණසිංහ ගේ යහළු වාගේ චරිතය නිරූපණය කළා. ඒ චිත්‍රපටයේ දෙවැනි පෙල චරිතයක් වුණත් ඒ චරිතයේ ගැඹුර බිමල් නියම ආකාරයට නිරූපණය කළා.

සාමාන්‍යයෙන් ඔබ චිත්‍රපටයකට නව නිළියන් තෝරා ගන්නේ කොහොමද?

මම චිත්‍රපටයකට පිටපතක් නිර්මාණය කරන විටම බොහෝ වෙලාවට ඒ ඒ චරිත මගේ හිතේ මැවෙනවා. මන්දාරා සඳහාත් මට එහෙම චරිත මැවුණා. තිර රචනය ලියන්නටත් පෙර දවසක් මම බිමල් සමඟ කතා කර කර ඉන්නකොට මේ චරිතයේ ස්වරූපය ඔහුට කිව්වා. ඔහු ඒක අහපු ගමන්ම කිව්වේ මරු නේ අපි මේක කරමුකෝ කියලයි. ඒ කිව්වා වගේම ඔහු ඒ චරිතය අපූරුවට සිනමාවට ගෙනාවා. ඔහු ඒ වෙනුවෙන් තමාගේ ස්වරූපය පවා වෙනස් කර ගත්තා.

ඔබේ බොහෝ චිත්‍රපට වල අපි දකින විශේෂත්වයක් තමයි නළු නිළි ආකර්ෂණය. නළු නිළි ආකර්ණය චිත්‍රපටයක සාර්ථකත්වයට බලපාන්නේ කොහොමද?

මම හිතන්නේ ඒක මගේ මුල් චිත්‍රපටවල සිටම පැවතුණා. මම මින් ඉහතදිත් කිව්වා වගේ මම තිර රචනයක් ලියන විට මට ඒ ඒ චරිත මැවි පෙනෙනවා. ඒ අනුව තමයි මගේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. රංගන ශිල්පින් ගේ හැකියාවන්, දක්ෂතාවයන්, ජනප්‍රියත්වය කියන බොහෝ දේ ඇත්තටම චිත්‍රපටයක සාර්ථකත්වයට බලපානවා. ඇත්තටම සිනමාවේ කාස්ටින් කියන දේ වෙනම විෂයක් විදියට වර්ධනය වෙලා තිබෙන දෙයක්. ඒ ගැන අත්‍යවශ්‍යයෙන්ම අපේ අවධානය යොමු වෙන්න ඕන කාරණාවක්. චිත්‍රපටයකට නළු නිළියන් තෝරා ගැනිම ඉතා පරිස්සමෙන් කළ යුතු දෙයක්.

වර්තමානයේ පවතින චිත්‍රපට මුදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔබේ අදහස් කවරේද?

ඒක හරිම අවුල් ජාලයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. චිත්‍රපටයෙන් චිත්‍රපටයට, ශාලාවෙන් ශාලාවට ෂෝ ටයිම් වෙනස් වෙනවා. මේ නිසා චිත්‍රපටය නරඹන්නට පැමිණෙන ප්‍රේක්ෂකයා දැඩි ලෙසම අපහසුතාවයට පත් වෙනවා. සමහර වෙලාවට තමන් නරඹන්න පැමිණි චිත්‍රපටය නොවෙයි නරඹලා යන්න සිද්ධ වෙන්නේ. ආවකමට තියෙන මොකක් හෝ නරඹලා යන තත්වයක් උදාවෙලයි තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ තත්වය නම් කිසියම් ප්‍රමිතියකට අනුව සකස්කල යුතුයි කියලයි. නැත්නම් චිත්‍රපට නරඹන්න මේ එන ප්‍රේක්ෂකයෝ ප්‍රමාණයවත් ඉදිරියට නොපැමිණෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනත් ක්‍රමවේදය නිර්මාණය කරන්න ඕන ප්‍රේක්ෂකයන්ගේ පැත්තේ ඉදලයි.අද තියෙන වෙලාව නොවෙයි හෙට තියෙන්නේ. හෙට තියෙන වෙලාව නොවෙයි ඊළඟ දවසේ තියෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයෝ අතරමං වෙනවා. මේ අතරමං විම තුළ ඉතාම ඉත්මනින් ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්වෙනවා.

ඔබේ මීළඟ නිර්මාණය‘ සුරිය සුළඟත් දැන් ප්‍රදර්ශණයට සූදානම් නේද?

ඔව්.. සුරිය සුළඟ පසු නිෂ්පාදන කටයුතු නිම කරලා තියෙන්නේ. සුදුසු කාලයක් බලලා මුදා හැරීමේ කටයුතු සිද්ධ කරන්නයි තිබෙන්නේ.

නවතම නිර්මාණ කටයුතු මොනවද?

මේ දිනවල අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කරලා තියෙන්නේ. මේ චිත්‍රපටය මගේ චිත්‍රපට රටාවෙන් වෙනස් වුණු නිර්මාණයක්. මම හිතන්නේ මගෙන් දැකලා පුරුදු ප්‍රකාශනයක් නොවෙයි කියලයි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT