Home » මිදුණු විශ්වය අබිබවා නොගිය දේවි කුසුමාසන

මිදුණු විශ්වය අබිබවා නොගිය දේවි කුසුමාසන

by Thanushika
July 10, 2025 12:30 am 0 comment

සිනමාකරුවකු මතු නොව අන් නිර්මාණකරුවකු වුව අතීත සමයකට අදාළ සිදුවීම් සේම චරිතද, ඒ ඒ සිදුවීම් හා චරිත අතර නොයෙක් සබඳතාද විෂය කර ගැනීමේදී හා විවරණය කරද්දී පිහිටා සිටිය යුතු පිළිවෙත් අරභයා පවතින කතිකා තවදුරටත් දත හැක්කේ නිසි තීන්දු ආදියෙන් තොරවය. විෂය කර ගන්නා අතීතය සිය අභිමතය පරිදි ප්‍රතිනිර්මාණයට නිර්මාණකරුවකු පියවර ගන්නා අයුරු අරභයා ඇති කතිකාවද දත හැකි වන්නේ එම පසුබිම විෂයෙහිමයි. එක අතකින් සපුරා පිළිගත හැකි දත්ත හා කියැවීම් නොමැති විටෙක නා නා උපකල්පන භාවිත කරලීමට නිර්මාණකරුවන් නොපැකිලෙන වග සිහිපත් කරලීමද වටී. කෙසේ නමුදු උත්ප්‍රාසාත්මක තතු උත්සන්න වනුයේ කලාත්මක ලකුණු හා විවාදාත්මක ලකුණු පෙරදැරි කොට ගෙන සිදු කරන නිර්මාණ කාර්යයයන් වෙතිනි. සිනමාකරුවකු ලෙස රසිකාගාරය පොහොසත් කරලනු පිණිස වරෙක සුලබ ලකුණුද, තවත් වරෙක දුලබ ලකුණුද සියුම්ව හා සංකීර්ණ මැදිහත්වීම් සහිතව භාවිත කළ ජයන්ත චන්ද්‍රසිරි මෙදවස තිරගත කෙරෙන ‘දේවි කුසුමාසන’ සිනමාපටයෙන් අපේක්ෂා කරනුයේ කවරක්ද යන්න නිර්ණය කරලීම සඳහා උක්ත පූර්විකාව මහෝපකාරී කොට ගත නොහැකි නොවේ.

අතීතය සිනමාව කරා රැගෙන ඒමට ජයන්ත පියවර ගත් පෙර අවස්ථා ද්විත්වයක අනපේක්ෂිත විචාර කලබැගෑනියක් සිදුවූ අන්දම අමතක නොකළ යුතුය. වෙසෙසින්ම ‘මහරජ ගැමුණු’ සිනමාපටය හමුවේ ජයන්තගේ දැක්ම හා භාවිතය ප්‍රශ්න කළ අවස්ථා ගණනාවකි. මෙවරද කිසි අඩුවක් නැතිව මෙම පරිසරයම සැකසී ඇති බව පැහැදිලිය. ‘මහරජ ගැමුණු’ සමය කරා මෙන් නොව ‘දේවි කුසුමාසන’ සමය කරා ජයන්ත පැමිණෙන්නේ වඩා පරිණත සිනමාකරුවකු මෙනි. මේ අදින් වසර හයසියයක් පමණ වූ අතීත සමයකටය. සිරිලක මුහුදු බඩ පෙදෙස් හි බලය පවත්වා ගෙන යමින් සිටියේ පෘතුගීසි බල මුළුය. රට මැදටද ගොස් සිය බලය පිහිටුවාලීමට පුරුතුගීසීහු යුදමය වශයෙන් සේම කුමන්ත්‍රණ ඔස්සේද තැත් කරමින් සිටියහ. සිරිලක පාරම්පරික පාලන තන්ත්‍ර ව්‍යාකූල පිවිසුම් නිරන්තරයෙන්ම පෙන්නුම් කරමින් තිබිණි.

මෙසමය පිළිබඳ වඩා නිවැරදි දත්ත හා කියැවීම් සපයා ගැනීම එපමණ අපහසු නොවේ. එනමුදු මේවා අතරද නොයෙකුත් පරස්පරතා විද්‍යමාන වන වග නොරහසකි. නිර්මාණකරුවාගේ කාර්යභාරය, ඉතිහාසය පිරිපහදු කරන විශේෂඥයාගේ කාර්යභාරයට වඩා වෙනස්ය යන්න ජයන්ත ඉඟි කරන්නේ අදාළ අභියෝගය තමා අබියසටම කැඳවා ගනිමිනි. එනම් යට කී දත්ත හා කියැවීම් අතර පරස්පරතා බැහැර නොකරන හා ඒ පිළිබඳ නිර්වචන ඉදිරිපත් නොකරන පසුබිමක රැඳෙමින් වඩා නව්‍ය නිර්මාණයක් උදෙසා උත්සුක වීමය. මෙම අභියෝගයෙන් පිළිබිඹු වන්නේ අතීතය හුදෙක්ම අදාළ විශේෂඥ මත සමඟම පැවතිය යුතුය යන ජන ආකල්පයයි. මේ අනුව ගත් කළ ‘අග්නි දාහය’ හා ‘මහරජ ගැමුණු’ යන සිනමාපට ද්විත්වයම ඉක්මවන අභියෝගයකට මෙතැනදී ජයන්ත මුහුණ දෙන ආකාරය දැක ගත හැකිය.

සිනමාකරුවකු සේ ජයන්ත සමත්කම් පළ කරන්නට පෙරට ආ ‘සමනල සංධ්වනිය’, ‘ඝරසරප’ හා ‘මිදුණු විශ්වය’ යන සිනමාපට පසුපස වූ මුල් පෙළේ සාධකය වූයේ විධිමත් සිනමානුරූපී තිරනාටකයයි. සිනමා තිරනාටක රචකයකු සේ ජයන්ත සතු වැටහීම පිළිබඳ සහේතුක විනිශ්චයකට මේවා නිරනුමානවම උපයෝගී කොට ගත හැකිය. වෙසෙසින්ම ‘මිදුණු විශ්වය’ තිරනාටකය එක්තරා අන්දමකින් සිරිලක වෘත්තාන්ත සිනමාවේදී හමුවන කැපී පෙනෙන අවස්ථාවක් වන්නටද ඉඩ තිබේ.

‘දේවි කුසුමාසන’ තිරනාටකය රචනා කිරීමේදී ජයන්ත සපුරාම ‘සමනල සංධ්වනිය’, ‘ඝරසරප’ හා ‘මිදුණු විශ්වය’ යන සිනමා තිරනාටක වෙතින් දුරස් වන බව පෙනී යයි. මෙනිසා ඔහුට මෙහිදී සිදුවූයේ සිනමානුරූපී ලකුණු අවැසි පමණට එක්කර ගන්නටය. එක්‌ පසෙකින් ඔහු වැර දරන්නේ අදාළ අතීත පුවත ප්‍රතිනිර්මාණයටයි . අනෙක් පසින් වැර දරන්නේ ඉන් අනුප්‍රාණය ලබමින් නව කියැවීමක් සනිටුහන් කරන්නටයි . ‘දේවි කුසුමාසන’ තිරනාටකය මෙම ද්වි විධ ලකුණ නිරවුල්ව පවසන්නේ ඉන් පැන නැඟෙන තතු යටපත් නොකරමිනි. මෙහෙයින් ජයන්තගේ අත්අඩංගුවට පත් නොවී සිනමාපටය දැක ගැනීමේ අවකාශය පාදා ගන්නට රසිකයනට අවස්ථාව සැලසේ. ‘සමනල සංධ්වනිය’ , ‘ඝරසරප’ හා ‘මිදුණු විශ්වය’ යන පෙර සිනමාපට ත්‍රයේදී නම් ජයන්ත පිහිටා සිටියේ නොපමාව රසික ප්‍රජාව සිය අත්අඩංගුවට පත් කර ගන්නා පිළිවෙතකය.

මෑතකාලීන සිරිලක අතීතය දේශපාලනිකව දකින්නට ඇති හැකියාව සම්බන්ධයෙන් ජයන්ත සැලකිලිමත් වූ අයුරුද පෙනේ. ‘දේවි කුසුමාසන’ සමය ඊට උචිත ලකුණු ආදියෙන් සමන්විතව තිබේ.මෙබඳු විටෙක බල හීන හා නිර්ප්‍රභු ජනයා බැහැර කෙරෙන්නේ කිසිදු හේතුවක් නොදන්වාය. ජයන්තද මෙසමයේ බල හීන හා නිර්ප්‍රභූ ජනයාගේ ඇසින් කිසිවක් දකින්නට කටයුතු නොකරයි. රජවරුන්, ඇමැතිවරුන්, උපදේශකයන්, යුද සෙනෙවියන් හා ඔවුනගේ පවුලේ උදවියද, පෘතුගීසි නයුවන්ද සිනමා පටය පුරාම සැරිසරන්නේ රසිකයා හා සමීප සන්නිවේදනයක් පවත්වා ගැනීමේ අරමුණු සඟවා තබමිනි. එමෙන්ම මේ සියලු දෙනා අතරට වැදීමේ කැමැත්තක්ද රසිකයනට ඇති නොවේ. එපමණක්ම නොව මොවුන් ඒ ඒ ඉසව් හා සිදුවීම් විෂයෙහි හඳුනා ගැනීම සඳහා වෙහෙසකර වෑයමක නිරත වන්නටයි රසිකයනට සිදුවන්නේ.

‘දේවි කුසුමාසන’ වෙතින් දිස්වන මේ විලාසය හේතුවෙන් සමකාලීන දේශපාලනය තුළ සාධක බවට පත්වූ චරිත අභ්‍යන්තරිකව හසු කර ගැනීමේ ඉඩක් නොපෑදෙන සැටියකි. ඉන් අදහස් කෙරෙන්නේ චරිත සමූහය පැතලි ලකුණු බොහොමයකින් සමන්විතව ඇති බව නොවේ. ඒවා විනිවිද යාමේ දොරටු විවෘත නොකොට තිබීමය යන්නය. එසේම දොරටු දක්නට නොලැබීමය යන්නය . රසිකයන් කෙමෙන් මනාප වනුයේ හෝරා දෙකහමාරක් පමණ වන ධාවන කාලය ගෙවී යන තුරු තිරය දෙස නෙත් යොමා සිටින්නටය. ඉන් උපදින වෙහෙස සඟවා තැබීමේ තැතක් දරන්නටද ඇතැම් රසිකයන් උනන්දු වනු ඇතැයි සිතේ.

‘දේවි කුසුමාසන’ , සිරිලක පුරුතුගීසි සමයේ එක කාල පරිච්ඡේදයක තතු ඒ ඒ චරිත හා සිදුවීම් සමඟ වාර්තා කිරීමේ සිනමා ප්‍රයත්නයක් පමණක්ම වන වග පැවසීම යුක්තියුක්ත නොවේ. මන්ද සිනමාකරු ජයන්ත තිරනාටකයේ ස්වභාවය පවතිද්දීම පෙම් පුවතක් උත්කර්ෂයට නැංවීමට අවැසි තතු රැගෙන එන නිසාවෙනි. මෙපුවතේ පෙම්වතා හා පෙම්වතිය වීරත්වයෙන් හා ගාම්භීරත්වයෙන් දැකීමේ ඉඩක් සපයා දීම වෙනුවෙන්ද සිනමාකරු ජයන්ත වෙහෙස වන අයුරු පෙනේ . සිනමාපටය රසිකාගාරය තුළ දිග හැරීමේදී මෙබඳු නිරූපණයක ඇති වැදගත්කම ජයන්තට රහසක් නොවන බව සැබෑවකි.

සිනමාකරු ජයන්තගේ මෙම පෙම් පුවත රසික සිත් සසල කරන සංවේදී ලකුණු දනවන්නේ ඉරි තැලීම්, ඛණ්ඩනය වීම්, විශ්වාසනීයත්වයට අදාළ මූලිකාංග යටපත් කරලීම් ආදියට යටත් කොටය. මෙනිසා පෙම්බරයා වන කොනප්පු බණ්ඩාර හා පෙම්බරිය වන කුසුමාසන එදවසටද, මෙදවසටද නොපැමිණෙන යුවළක් සේ පෙනේ. එමෙන්ම ඔවුන’තර දළු ලා වැඩුණු පෙම ආවර්ජනයට ඇති අවකාශයද සීමා සහිතය. විටෙක දැක ගත හැක්කේ වෙසෙසින්ම කොනප්පු බණ්ඩාරට මේ පෙම ඔය කියන තරමටම අවැසි නොවූ බවයි. කුසුමාසන වෙතින් දුරස් නොවී යස රඟට පෙම් කරමින් දවසැරිය හැකි අවසරය ලැබෙන එක් සුවිශීෂ අවස්ථාවක් ඔහු මඟ හරින්නේ පිළිගත හැකි හේතුවකින් තොරවය. සිරිලක පාලන බලය තහවුරු කර ගැනීමේ සිතුවිල්ලක් මේ මොහොතේදී ඔහු තුළ නොවූ බව සැබෑවකි.

මෙවැනි තවත් අවස්ථා කිහිපයක්ම කොනප්පු බණ්ඩාර – කුසුමාසන පෙම ඇසුරේ දත හැකිය. රසිකයා නොඉවසුම් වන්නේ මේ හැම විටෙකදීම තිරනාටක රචකයාද වන සිනමාකරු ජයන්ත ආපසු හැරී ස්ථාපිත අතීත කරුණු මත ලැගුම් ගන්නා නිසාවෙනි. ජයන්ත එකම විටෙක දෙයාකාර සම්මුඛ පරීක්ෂණයකට ලක්වෙයි. පළමුවැන්න පෙර කී ස්ථාපිත අතීත කරුණු නොඉක්මවීම වෙනුවෙනි. දෙවැන්න කොනප්පු බණ්ඩාර – කුසුමාසන පෙම සුරැකීම සඳහාය. මෙවැනි සම්මුඛ පරීක්ෂණයකට එකවර මුහුණ දීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද පළමු වටයේදීම නිපදවා ගැනීමට ජයන්ත අදහස් නොකිරීමද මෙයට එක් හේතුවකි.

මෙබඳු ක්‍රමවේද නිපැයුමකට ජයන්ත තුළ වුවමනාවක් නොතිබුණේ යැයිද සිතේ. විමසිල්ලෙන් සිනමාපටය නරඹන කල දැකිය හැක්කේ අදාළ අතීත පසුබිම විෂයෙහි කොනප්පු බණ්ඩාර- කුසුමාසන පෙම තාර්කිකකව හා තුලනාත්මකව දැක්වීමට ජයන්ත මනාපය පළ කොට ඇති බවයි. මෙයට බාධා පමුණුවන පළමුවැන්නා වන්නේ තිරනාටක රචක ජයන්තමයි. තිරනාටකයක් සිනමාපටයක ඉරණම කෙරෙහි කෙතරම් තීරණාත්මකව බලපාන්නේදැයි යන පැනයට ‘දේවි කුසුමාසන’ හි ඉරණම අගනා පිළිතුරකි.

සිය ප්‍රමුඛ අනුශාංගික අංග වෙතින් ඉහළ දායකත්වයක් සපයා ගැනීමට ජයන්ත සමත් වූයේදැයි යන්න නොවලහා පිළිතුරු සැපයිය යුතු පැනයක් සේ ඉස්මතු කෙරේ. මෙහිලා පෙර සිනමා කාර්යයන්හිදී පැවති තතු ස්මරණය වීම වැළක්විය හැකි නොවේ. ඉන් කියැවෙන්නේ ‘දේවි කුසුමාසන’ හිදී ජයන්ත ආපසු ගමනක නිරත වූයේය යන්නම නොවන බව සඳහන් කළ යුතුය.

රුවන් කොස්තාගේ කැමරාකරණය ජයන්තට යම් අස්වැසිල්ලක් ගෙන දුන් වග පෙනේ.මෙහි කැමරාකරණය තරමක අසීරු වූවකි.කලා අධ්‍යක්ෂණයේ එන නොවැඩුණු ලකුණු සැඟවීමේ අභියෝගයටද රුවන් මුහුණ දෙයි. වරෙක ඔහු මෙම අභියෝගයෙන් පරාජයට පත්වන බවද දැක ගත හැකිය. ඊට හේතුව වන්නේ අදාළ සමය පිළිබිඹු කරලන ඇතැම් නිර්මාණ සතු දිළිඳු බවයි. විශේෂ දෘශ්‍ය ප්‍රයෝග වෙතින්ද මෙම දිළිඳු බවේ ආනිශංස ඉදිරිපත් කෙරේ.

සිනමාපටයේ නාමයට අනුකූලව කුසුමාසනගේ චරිතය උද්දීපනය කිරීමක් හෝ මෙහෙයවීමක් දැක ගත නොහැකි තරම්ය. මේ සඳහා එම චරිතය වැඩි රූපරාමු සංඛ්‍යාවක සනිටුහන් විය යුතුම නොවේ. අදිසි පැමිණීමකින්ද කුසුමාසනගේ ප්‍රධාන චරිත සහභාගීත්වය සහතික කළ හැකිය. කුසුමාසන චරිතයට පන පොවන උදාරි වර්ණකුලසූරියට සිදුව ඇත්තේ තිරනාටකයේ සිරව සිටින්නටය. මෙය උදාරිගේ සිනමා රූපණ හැකියාව මනාව තක්සේරු නොකිරීමේ ඵලයක්ද වේ. කොනප්පු බණ්ඩාරගේ චරිතයට පණ පොවන හේමාල් රණසිංහ වරින් වර හේමාල් රණසිංහගේ ලකුණු සමඟ සමීප ගනුදෙනුවකට උනන්දු වන සැටියකි. කුසුමාසනගේ චරිතයට සේම කොනප්පු බණ්ඩාරගේ චරිතයටද ප්‍රමාණවත් ගැඹුරක් එක් නොකිරීම මේ පසුපස ඇති ප්‍රමුඛ හේතුවකි.

සහාය චරිතයකින් පැමිණෙන මේඝ සූරියආරච්චි සිනමාපටයේ සිත් ඇදගන්නා සුලු අවස්ථා සමුච්චයේදී පෙරමුණ ගන්නා වග පෙනේ. සිය චරිතයට නිසි පදනමක් හෝ ගැඹුරක් නොතිබුණද සිත් ඇදගන්නා සුලු රූපණයකට ඔහු සමත් වන්නේ තරු ගුණයක්ද මතු කරමිනි.

‘දේවි කුසුමාසන’ හා ජයන්තගේ මෑත කාලීන සිනමාපට නොසැසඳීම අතිශයින්ම වැදගත්ය. වෙසෙසින්ම ‘මිදුණු විශ්වය’ හා ‘දේවි කුසුමාසන’ එක පෙළට තැබිය හැකි සිනමාපට නොවේ. කෙසේ නමුදු නිර්මාණාත්මක පෙදෙසින් ‘මිදුණු විශ්වය’ අබිබවා යන්නට ‘දේවි කුසුමාසන’ සමත් නොවන බව නොඅනුමානය. ජයන්ත ‘දේවි කුසුමාසන’ මාදිලියේ සිනමාපට නිර්මාණයට සමත් වන්නේද යන පැනය මේ හාම ඉස්මතු කෙරේ. මේ අනුව ගත් කළ ‘දේවි කුසුමාසන’ යනු නිර්මාපක මනාපය හා විද්වත් රසික – විචාරක අරමුණු අතර අනවරත අරගලයකට අර අඳීන සිනමාපටයක්ම වේ.

 

[email protected]

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT