Home » මා නැරැඹූ චිත්‍රපට මගේ පරිකල්පන ශක්තිය වැඩි දියුණු කළා

මා නැරැඹූ චිත්‍රපට මගේ පරිකල්පන ශක්තිය වැඩි දියුණු කළා

සිතුලි සපරමාදු

by Thanushika
January 30, 2025 7:52 am 0 comment

වර්තමානයේ අපේ දරු පරම්පරාවන් වෙත තම අනාගත වෘත්තීය ජිවිතය තෝරා ගැනීමේදී මුහුණ පාන්නට සිදුව ඇත්තේ විවිධ අභියෝගයන්ටය. බොහෝ විට අපේ දරුවන් උත්සාහ කරනුයේ වෛද්‍යවරයකු වන්නටය. එසේත් නැත්නම් ඉංජිනේරුවකු වන්නටය. එසේත් නොමැති නම් බැංකුකරුවෙකු වන්නටය. මෙම වෘත්තීන් කෙරෙහි සමාජයේ නිර්මාණය වී ඇත්තේ මහත් වූ තරඟකාරි ස්වභාවයකි. පොදු සමාජයේ අපට දක්නට ලැබෙනුයේ මෙම වෘත්තීන් තෝරා ගැනීම සඳහා පොර බදනා දරු පරපුරක්ය. එසේත් නොමැති නම් කලා විෂයයන් හැදැරුවහොත් ඔවුන් බලාපොරොත්තු වනුයේ එක්කෝ පරිපාලන ක්ෂේත්‍රයේ රැකියාවකි. නැතහොත් ගුරු වෘත්තීයය. මෙවන් හුරු පුරුදු වෘත්තීයයන් තෝරා ගැනීම අතරේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් , චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වීමේ සිහින දකින අයෙකු හමුවුවහොත් එය අතිශයින්ම දුර්ලබ කාරණාවකි.

වර්තමාන සමාජයේ මේ දුර්ලබ සිහිනය පසුපස දිව යන තරුණියක පසුගියදා අපට හමු විය. සැබවින්ම ඇගේ මෙම ජීවන අපේක්ෂාවන් සිනමාවට ආදරය කරන්නන් වශයෙන් අප සිත්තුළද ඇති කරලූයේ ඉමහත් සොම්නසකි. වර්තමාන පාසල් ශිෂ්‍යාවකගෙන් ඇසිය නොහැකි ආකාරයේ බලාපොරොත්තු මේ යුවතිය සතු වෙයි. මේවා සාක්ෂාත් කර ගැනීම පිණිස ඇය මේ දක්වා තම පාසල් ජිවිතයේ කළ කැප කිරීම් ප්‍රමාණයද අති මහත්ය. සිනමා කලාව යන්න බොහෝ විට තම ජීවන වෘත්තිය කර ගැනීමට හෝ තම අනාගත අපේක්ෂාව කර ගන්නා තරුණ තරුණියන් අද අපිට හමුවනුයේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. එබැවින් ඇය පිළිබඳ සටහනක් ලියා තැබීම මෙරට සිනමා පුවත්පත් අතර අදටත් ප්‍රමුඛතම පුවත්පත වශයෙන් ඉදිරියෙන් සිටින අපේ යුතුකමය.

ඇය නමින් සිතුලි සපරමාදුය. සිතුලිගේ හැකියාවන් , දක්ෂතාවයන් විහිදී යන ඉසව් විවිධාකාරය. ඇය විශේෂයෙන්ම ක්‍රීඩාව ප්‍රමුඛ කර ගත් ගමනකින් සිය ජිවිතය අරඹන්නීය. සිතුලි තම ජීවන ගමන රේඛීය මාර්ගයක ගෙනියන්නියක නොවේ. ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තම විෂය ක්‍රියාකාරකම් හමුවේ ප්‍රමුඛතාවයක් දරනවා සේම ක්‍රීඩාව , කලාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන්ද කැපවීමකින් කටයුතු කරන්නියකි.

ඇය අපට හමුවනුයේ කොළඹ ගේට් වේ විදුහලෙනි. විද්‍යාලයේ විවිධ අංශයන්ගෙන් කැපී පෙනෙන ශිෂ්‍යාවක වන ඇය ක්‍රීඩාව කලාව වැනි විවිධ අංශයන්ගෙන් ජයග්‍රහණ හිමි කර දෙමින් විද්‍යාලයට කීර්තියක් හිමිකර දුන්නියකි.

ඇය මුලින් විද්‍යා විෂයධාරාවෙන් සා පෙළ හැදෑරීමට යොමු වුවත්, පසුව සිය තීරණය වෙනස් කරමින් වාණිජ විෂය ධාරාව ඔස්සේ උසස්පෙළ හැදෑරීමට යොමු විය. ඒ අධි සාමාර්ථ ත්‍රිත්වයක් සමඟ ඒ සාමාර්ථයක් ලබමින් ඇය උසස්පෙළ සමත් වූයේ ඉතා ඉහළින් සිය නම පාසල් වාර්තා පොතට ඇතුළත් කරමිනි.

සිතුලි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජයග්‍රහණ මෙසේ අත්පත් කර ගන්නා සේම, ක්‍රීඩාව තුළින්ද සිය ජයග්‍රහණ සනිටුහන් කිරීමට ඇයට අවශ්‍ය විය. කුඩා කල පටන්ම ක්‍රීඩාව කෙරෙහි උනන්දුවකින් කටයුතු කළ ඇය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වනුයේ මුල් කාලීනව පාසල් වාර්තාවන්ටද හිමිකම් කියමිනි.

‘ ඇත්තටම මගේ ජීවිතේ අධ්‍යාපන කටයුතු වලට වගේම ක්‍රීඩා කටයුතු වලටත් ප්‍රධාන තැනක් මම ලබා දෙනවා. පාසලේ උගන්වන දේ නිරන්තරයෙන් අවධානයෙන් අහගෙන ඉඳලා නිසි විදියට කාලය කළමණාකරණය කර ගනිමින් පාඩම් කටයුතු වල මම නිරත වෙනවා. කොයි තරම් විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා මම සම්බන්ධ වුණත්, මගේ අධ්‍යාපන කටයුතු අතපසු කර ගන්නේ නෑ. එදිනෙදා වැඩ කටයුතු මම එදිනෙදාම අවසන් කරනවා. විශේෂයෙන්ම මේ සඳහා මට වැදගත් වෙන්නේ කාල කළමණාකරණය. දවසේ වැඩ කටයුතු ටික නිසි කාල සටහනකට කරනවා නම් කිසිම වැඩක් අතපසු නොවී කර ගන්න පුළුවන්.

මගේ පවුලේ උදවියගෙන් මේ සඳහා මට විශාල සහයෝගයක් ලැබෙනවා. මගේ ජීවිතේ හැම තැනකම අම්මා මගේ පිටුපස්සෙන් ඉන්නවා ඒ වගේම මගේ පියා මේ මේ හැම දෙයක්ම වෙනුවෙන්ම මාව උනන්දු කරනවා. ඔහු ඇත්තටම මාව උනන්දු කෙරෙව්වේ නීති ප්‍රවේශය පැත්තට මොකද ඔහුත් නීති වෘත්තියේ යෙදෙන නසා” ඒ වගේම මගේ ආච්චි සහ සීයලා දෙදෙනාගෙන් ලැබෙන සහාය මේ මොහොතේ මතක් කළ යුතුය.

කෙසේ වෙතත් සිතුලි තම අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට නිරන්තර තම කාලය උපරිමයෙන් කැප කළ අයෙකි. ඒ කැපවීමේ ප්‍රතිඵල අද ඇය භුක්ති විඳීන්නේය.සා. පෙල කඩ ඉම ඇය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කර ඇති අතර, උසස් පෙළ කඩ ඉමද ඇය ජයග්‍රහණය කරනුයේ පාසලේ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම්වලටද යොමු වෙමිනි.

ඇගේ කතාව තුළ වර්තමානයට ගත යුතු සුවිශේෂීම කාරණාව වන්නේ, ඇගේ සාර්ථකත්වය සඳහා පදනම් වන නොසැලෙන උත්සාහය සහ අභිමතාර්ථය වෙනුවෙන් වන ඇගේ කැපවීමයි.

සිතුලි සතුව කාර්යක්ෂම කාල කළමණාකරණයක් ඇත. මේ නිසාම අධ්‍යාපන කටයුතු මෙන්ම මලල ක්‍රීඩා කටයුතුද ඉතා සමබරව කරගෙන යෑමේ හැකියාව ඇයට ලැබිණ. පාසල් මට්ටමින් පමණක් නොව ජාතික මට්ටමින්ද ඇයට මේ නිසාම මලල ක්‍රීඩා තරග බිමේ සිය දක්ෂතා දැක්වීමට හැකියාව උදා විණ.

සිතුලිගේ ජිවන ගමන් මඟේ ආශ්වාදනීයම පරිච්ඡේදය වනුයේ ඇය සිනමාව කෙරෙහි දක්වන උනන්දුවය. කුඩා කාලයේ සිටම විවිධ වර්ගයේ චිත්‍රපට නැරඹීම ඇගේ පුරුද්දක් වි ඇත.

“ඇත්තටම මම සිනමාවට උනන්දු වුණේ මේ ක්ෂේත්‍රයේ තිබෙන නිර්මාණශීලිත්වයට කැමති වුණ නිසා. විවිධ සිනමා පට නැරඹීමෙන් මම විශාල ආශ්වාදයක් ලබනවා. මේ චිත්‍රපට නරඹපුවාම හුදෙක් එය චිත්‍රපටයක් විදියට පමණක් නොවෙයි මම දකින්නේ. එයින් ගම්‍ය වන විවිධ හැඟීම් මා තුළ ඉතිරි වෙනවා. සමහර අවස්ථාවල මේ හැඟීම් මගේ පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරනවා. ‘ඇවෙන්ජර්ස්’ වැනි චිත්‍රපටයක් නරඹලා තම දුෂ්කරතා මැඩ පවත්වා ගනිමින් කොහොමද වීරයෙක් වෙන්නේ කියලා මම ඉගෙන ගත්තා. ඒ වගේම ඊඩඥ ට්පඥචබඥඵබ ඉඩධඹථචද වැනි චිත්‍රපටයක් නරඹලා අපේ වෙනස්කම් අපිව සුවිශේෂී කරන බව මම දැන ගත්තා.”

සිතුලි පවසන ආකාරයට සිනමාව නිරන්තරයෙන් ඇයට මහන්සි වී වැඩ කිරීමට, අරමුණ කරා හඹා යෑමට පෙලඹවීමක් ඇතිකර ඇත. මේ නිසාම ඇයට අවශ්‍යයවී ඇත්තේ අනෙක් අයටත් මේ පෙලඹවීම ඇති කරලීමට චිත්‍රපට නිර්මානකරණයේ යෙදීමටයි. හොලිවුඩ් සිනමාවේ ඇගේ ප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා වන්නේ kate Herron ය. ඔහු ‘Loki’ යන සුප්‍රසිද්ධ රුපවාහිනී කතා මාලාව අධ්‍යක්ෂණය කළ තැනැත්තාය. වීරයෙකුගේ හැඩය ගත් දුෂ්ටයෙකුගේ කතා සංකල්පයක් මේ මඟින් ඔහු ඉදිරිපත් කර ඇත. මේ කතා මාලාවද සිතුලිගේ සිත් ගත් කතා අතර විය. Russo brothers, Greta Gerwig, Little Woman and Lady Bird වගේම Avatar වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කල ජේම්ස් කැමරන් Fast and Furious අධ්‍යක්ෂණය කළ ustin Lin ආදීන් ඇගේ සිත් ගත්තවුන්ය.

චිත්‍රපට නිර්මාණ අතරින් ඇගේ වඩාත් සිත් ගත් චිත්‍රපට අතර Avengers, Endgame, The Greatest show man, Fast and Furious, Spider man, No way home ආදිය වේ.

“ඇත්තටම මගේ බලාපොරොත්තුව කවදා හරි දවසක චිත්‍රපටයක් නිර්මාණය කිරීම. මට මගේ ජිවිතේ බොහෝ සිහින පසුපස හඹා යන්න මා නැරඹූ චිත්‍රපට හේතුවක් වුණා. ඒ වගේම තව කෙනෙකු පොලඹවාලන නිර්මාණයක් කිරිමට මම ආසයි. ලස්සනට ගොතන ලද කතාවකින් තම සිහින පස්සේ හඹා යෑමක් ඇති කළ හැකියි. චිත්‍රපටයක් නිර්මාණය කිරීමෙන් මගේ ප්‍රේක්ෂකයන්ව සිහින දේශයකට ගෙන යා හැකියි. ඔවුන්ව සිනා ගැන්වීම, හැඬීම සතුටු කිරීම, උද්දාමයට පත් කිරිම ට මම ආසයි. ඩිස්නි ප්‍රඩක්ෂන් වගේ ආයතනයක් ආරම්භ කිරීම එක්තරා අන්දමක මගේ හිතේ තිබෙන සිහිනයක්. ඒ වගේම ක්‍රීඩාව පැත්තෙන් මට ඔලිම්පික් දක්වා ගමනක් යෑමේ බලාපොරොත්තුවක් තිබෙනවා”

සැබවින්ම සිතුලි යනු අපේ රටට සම්පතකි. වෙනස් ආකාරයකට වෙනස් විදියකට සිතන ඇයට ඇගේ අභිප්‍රායයන් මුදුන් පමුණුවා ගැනීමට ආශිර්වාද එක්කරන ගමන්ම ඇය තව නොබෝ දිනකින්ම මේ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සඳහා විදේශ ගත වන්නටද බලාපොරොත්තුවෙන් සිටියි. ඇගේ නිර්මාණ රසවිඳීන්නට ප්‍රේක්ෂකයන් වශයෙන් බොහෝ දෙනෙක් බලා සිටිනා බවද ලියා තබමි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT