– මම කවදත් අභියෝග බාරගන්න කැමැති කෙනෙක්
– මෙතුවක් පැමිණි මඟ දෙස ආපසු හැරී බලන විට වෘත්තීය පැත්තෙන් වගේම පෞද්ගලිකවත් මම ඉහළින්ම තෘප්තිමත් වෙනවා
– ටයි මහත්තයාගෙ ජනප්‍රිය වැඩසටහන් රැසකටම මම සහය දුන්නා
– මම රූපවාහිනීයට ආවාට ගුවන් විදුලිය අතහැරියේ නැහැ
– මම සමාජයට ප්‍රයෝජනවත් වන වැඩසටහන් සාර්ථකව රටට හඳුන්වා දුන්නා..ඒවා අපේ ප්‍රේක්ෂකයන්ට තවමත් මතකයි
– මම බොහොම හෙමින් ගමනක් ආවේ
” මෙතුවක් පැමිණි මඟ දෙස ආපසු හැරී බලන විට වෘත්තීය පැත්තෙන් වගේම පෞද්ගලිකවත් මම ඉහළින්ම තෘප්තිමත් වෙනවා..”
” කවදත් මම අභියෝග බාරගන්න කැමති කෙනෙක්නෙ.. මට කළ හැකියි කියන පරමාර්ථයෙන් මට පැවරූ කටයුතු කාටවත් වචනයක් කියන්නට ඉඩක් නොතබා හරිහැටියට ඉටුකරන්නට ලැබීම ගැන අද මම නිහතමානී සතුටක් ලබනවා…”
ආදරණිය ඔබට මෙවර හමුවන අපේ ආදරණිය කතා නායිකාව ගැන අමුතුවෙන් කිවයුතු නැතැයි සිතෙන තරමට ඔබේ ආලින්දයට පැමිණ ගිය ඇයට ඔබ තවමත් ලෙන්ගතු ඇතැයි වරෙක සිතේ…පලමුවෙන් ගුවන් විදුලියේ නාට්‍ය හා විවිධ වැඩ සටහන් තුළින් සිය රමණීය හඬ සිරිත ගුවන් විදුලි අසන්නන් තුළ ඉහළින්ම සටහන් කළ ඇය පසුව රූපවාහිනියට පැමිණෙමින් ප්‍රවෘත්ති නිවේදිකාවක හා විවිධ ජනප්‍රිය වැඩසටහන් තුළින් ඔබට ආමන්ත්‍රණය කළ අයුරුද දැන් දැන් මතකයට නැඟෙනු ඇති.
අපේ ආදරණිය ඕ තොමෝ නමින් සුනන්දා හෙට්ටිආරච්චි මහත්මියය.
සරසවිය පාඨක ඔබ වෙනුවෙන් මා ප්‍රිය සංලාපයක යෙදෙන ඕ වඩාත් ප්‍රියමනාපය. රුවැතිය..සරල පැවතුමින්ද යුතු ඈ හා කතාබහේදී රසාලිප්ත බව වඩාත් දැනුණේ සවනතට හුරු ඇයගේ ආශක්ත කටහඬ නිසාවෙනි..
” මාව බලන්නට ආවාට මම සරසවියට ස්තුතිවන්ත වන බව සිනාසුණු මුවින් යුතුව පවසමින් සිය කටහඬ අවදි කළ ඕ තොමෝ එදා රූපවාහිනී ප්‍රේක්ෂකයාට හුරුකළ ඈ පිළිබඳ ආශක්ත මුද්‍රාව මැනවින් මට සිහිනැගිණි.
කොළඹ යුගයේ කවියකු..ගීත රචකයකු..ලෙසින් ද උග්‍ර වාමවාදී දේශපාලනයෙහිද ප්‍රකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ පිටිපන සරත්සේකර සහ මාණ්ඩලික හෙදියක වූ සෝමා සූරියආරච්චි මවුපිය දෙපළට හුන් දරු තිදෙනාගෙන් මද්දුම දෝණී වූයේ මා සමීපයේ පසුවන මේ අපේ සොඳුරු කතා නායිකාවය..
සුනන්දා දමයන්ති සරත්සේකර ඇයගේ උප්පැන්නයේ නමය. උපන්ගම පිටිපන..හෝමාගමය..ඇයගේ අක්කා සන්ධ්‍යා සතරසිංහය. සමන් සරත්සේකර ඇයට බාල එකම සොහොයුරාය..
ප්‍රථමයෙන් ගුවන් ව්දුලියේ හඬ ශිල්පිනියක ලෙසින් ද එතැනින් ජාතික රූපවාහිනීයේ නිෂ්පාදන සහකාර.. හා නිෂ්පාදිකාවක..අධ්‍යක්ෂවරියක..හඬ කැවීම් ශිල්පිනියක…ප්‍රවෘත්ති නිවේදිකාවක …චැනල් අයි. රූපවාහිනීයේ අධ්‍යක්ෂ ප්‍රධානී වෙමින් ඉසව් ගණනාවක් අතික්‍රමණය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී අපේ සොඳුරු කතා නායිකාව සුනන්දා ඒ තුළින් ජනවිඥානයට ආමන්ත්‍රණය කළ අගනා වැඩසටහන් ගණනාවක් නිසාම ඇය අන්තර්ජාතික මට්ටමින් සම්මානිත වූවාය..
හෝමාගම වලව්ව පාරේ ඈ සොඳුරු නිවහනේ සුවපහසු අසුනකට බරදී සිනාබර ප්‍රිය තෙපුලින් අප පිළිසඳර ට මුල පිරුවාය..
” අමල් ..මම ඉගෙන ගත්තෙ මුලින්ම පිටිපන.. කනිටු විදුහලින්..එතැනින් හෝමාගම කනිටු විදුහලට ගියා..ඉන්පස්සේ තමයි හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට ගියේ..”
ඕ සිනාසෙන්නීය..
පාසලේ මලල ක්‍රීඩාවියක වෙමින් නෙට්බෝල් ශූරියකද වූ ඈ පාසලේ සාහිත්‍ය සංගමයේද විවාද කණ්ඩායමේද පසුවෙමින් ප්‍රධාන ශිෂ්‍ය නායිකාවක්ද වෙමින් කීර්තිමත් ශිෂ්‍යාවක ඇය ඉගෙනුමට පෑ දක්ෂතාවයද ඉහළින් කැපී පෙනුණි.
“මම සමස්ත ලංකා 13න් පහළ තරඟවලටද ගියා..” යැයි ඇය කියන්නීය.
ළමා වියෙහිදී ඕ තොමෝ තම අක්කා හා මල්ලී ද තමන් ළඟට ගෙන ගයන ගීත හා කවි පන්ති පිළිබඳව පිනා යන සතුටින් අසා සිටි තාත්තාට අලුත් අදහසක් පහළ වූවා වැන්න.
“ඔව් අමල් ..අපෙ තාත්තා මාව ගුවන් විදුලියට එක්කගෙන ගියානෙ. කරුණාරත්න අබේසේකර මහත්තයාව තාත්තා පුද්ගලිකව හොඳට හඳුනනවා. ඉතිං ..එතකොට කරුණාරත්න මහත්තයා ගුවන් විදුලියේ වැඩ නැතිවුණාට පිටින් ඉඳන් ගුවන් විදුලියේ වැඩසටහන් මෙහෙයවන්නේ .. මගෙ අක්කාවත් මල්ලිවත් අපෙ තාත්තා ළමා වැඩසටහන්වලට ඒ වෙද්දී ඉදිරිපත් කරලයි තිබුණෙ…එතකොට මට වයස 9ක් 10ක් විතර ඇති..වයස තරමට මට පෙනුමකුත් නැහැ මගෙ හිතේ.”
ඕ තවමත් සිනාපිරි මුවිනි.
තාත්තා සමඟ ගිය ඇය දැන් අපේ කරුණාරත්න අබේසේකර මහතා ළඟය. පිපෙන කුමුදු “වැඩ සටහනට ඔහුම ලියූ කවි පන්තියක් අපේ සුනන්දා දැරිය අත තැබූ හේ එම කවි ගයන්නැයි කළ ඉල්ලීමකට අනුව ඈ එය මිහිරට ගැයුවාය…නැවත මයික්‍රෆෝනය හමුවට කැඳවා යද්දී හමුවූ නිරංජලා සරෝජිනී මහත්මියට ඔහු කීයේ ” නිරංජලා.. මේ පැංචිට අද ආරම්භක කවිය කියන්න මම බාරදෙනවා කියාය…මෙය ගයන්නට සිටියේ නිරංජලා බවද ඇයට සිතිණි. අපේ කතා නායිකාව මයික්‍රෝපෝනය ඉදිරියේදීද පෙරටත් වඩා හොඳීන් කළ සුගායනයෙන් කරුණාරත්න මහතා වඩාත් අපේ සුනන්දාට සවන් දෙයි.
“දන්නවද අමල්…මම ඉන් සමත් වුණා. එතකොට “පිපෙන කුමුදු ” වැඩසටහන ප්‍රචාරය වුණේ මසකට දින දෙකයි. ”
එතැනින් ගුවන් විදුලියේ තවත් දුරකට පිය මං කළ ඇය එහි කටහඬ පරීක්ෂණයකින් ද සමත් වීමෙන් පසුව මහින්ද අල්ගම නිෂ්පාදනය කළ ළමා රංග පීඨය” ..හා දැනුම වැඩුම..කනිටු සරසවිය …ගුරු කුලය ..සති සංකල්පනා ආදී වැඩ සටහන් රැසකට එක්වීමේ භාග්‍යයද නිරායාසයෙන් හිමිවිණි.
ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන්ද අතරේ අපේ සුනන්දා සිංහල වැඩසටහන් වලට මෙන්ම නාට්‍ය හා විචිත්‍රාංග ආදිය වෙනුවෙන් කටහඬ පරීක්ෂණයකටද පෙනී සිට එයින්ද සමත් වූවාය..
“අනේ නැහැ අමල් ..මම ගීත ගායනයට නම් එතරම් උනන්දුවක් කළේ නැහැ” යැයි මා කළ විමසුමකදී පිළිතුරු දුන් ඕ මෙසේ කියන්නීය.
“ඒ දවස්වල අපෙ තාත්තා වැඩ කළ ඔෆීස් එක තිබුණෙ නාරාහේන්පිට. අනේ අක්කාව වගේම මාවත් ගුවන් විදුලියේ මේ වැඩසටහන්වලට එක්ක ආවෙ ගියේ අනේ අපෙ තාත්තා. අනේ අපෙ තාත්තා අපිව ආරක්ෂා කළ හැටි..අපව පරිස්සම් කරපු හැටි…තාමත් මතකයි..”
ඕ දිගු සුසුමක් හෙළන්නීය.
විද්‍යා විෂයයන් යටතේ උසස් පෙල විභාගයටද පෙනී සිට ඉන් සමත් වූ ඕ තොමෝ ගුවන් විදුලියෙන් රූපවාහිනීයට පැමිණියාය.. පළමුව සහකාර නිෂ්පාදක තනතුරට පත්වීම ලද්දාය.
“ගුවන් විදුලියේ සිටි අයගෙන්මයි රූපවාහිනීයේ තනතුරු පිරවීම් සිදුවුණේ. ඉතින් ගුවන් විදුලියේ වැඩ සටහන් ගණනාවකට මගෙ දායකත්වය තිබුණු නිසාත් අධ්‍යාපන සුදුසුකම් තිබුණු නිසාත් මට රූපවාහිනීයේ අවස්ථාව ලැබුණේ…”
නිෂ්පාදන සහකාර බඳවා ගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණ තුනක්ම තිබිණි. අනතුරුව එහි එවක සභාපති එම්.ජේ පෙරේරා මහතා තෝරාගත් පිරිස නැවත පරීක්ෂණයකට බඳුන් කළේය.
මේ පිරිස හැබෑම දක්ෂයෝදැයි පිරික්සා බලන්නට මෙනි.
” හා.. කවියක් කියල පෙන්වන්න බලන්ඩ…”
අපේ කතා නායිකාව මිහිරට ගැයුවාය…..තෝරාගත් 24 දෙනාම එහි ඒකක වෙත යොමු කෙරෙමින්” හා කවුද කියන්න ක්‍රීඩා කරල තියෙන්නෙ..” යැයි සභාපති ඇසූ පැනයටද මම යැයි කියමින් අපේ ආදරණිය සුනන්දා ඉදිරිපත් වූවාය..සභාපතිවරයා හිස වැනීය.. ඇය එහිදී වඩාත් කැපී පෙනුණාය.
බිම බිමබලාගත්වනම මඳක් පසුවූ අපේ කතා නායිකාව සුනන්දා මේ ටික කීවේ නම් ඇල්මැරුණු ස්වරයකිනි.
” මං රස්සාවෙන් පළමු පඩිය ගත්තා විතරයි. අපෙ තාත්තා උග්‍ර වාමාංශිකයෙක් නිසා මාව රූපවාහිනීයට ගත්තෙ ඇයි කියලා මට විරුද්ධව පෙත්සම් ඇවිත්…මම සුදුසුකම් සපුරා තියෙද්දිත් මෙහෙම සිදුවීම ගැන කම්පා වෙලාදෝ සභාපති මට විරුද්ධ ව එවල තිබ්බ පෙත්සම් මට පෙන්නුවා. අජිත් ජිනදාස එදා දේශපාලන කරළියේ සිටි නිසා එයාව හැලුණා. ඉතින් අපෙ තාත්තායි අබේවර්ධන බාලසූරිය මහත්තයයි හරිම මිතුරුයි.
තාත්තා දේශපාලනය කළාට ඒකට දරුවන් පලිද කියලා සභාපති හා අබේවර්ධන මහත්තුරු කතා වුණා.”
ඇය තමන් හිඳ සිටිනා අසුනේ හරිබරි ගැසෙන්නීය..
කෙසේ හෝ අපේ කතා නායිකාව නැවතත් තුන්මසක පුහුණුවකට යොමු කෙරිණි.
” එම පුහුණුවීම්වලදී මම පළමුවැනියා වුණා..”
ඕ මුවපුරා සිනාසෙන්නීය.
හදිසියේ සභාපතිවරයාගේ කැඳවීමකින් හිසගිනිගත් සේ සුනන්දා කලබල වූවාය. තමන්ට තවත් අවුලක්දෝයි සැක බියෙන් ඔහුගේ කාමරයට ඇතුළුවෙත්ම අසුනින් වහා නැඟී සිටි සභාපතිවරයා ඔහු අත ඈ වෙතට දිගු කළේය..අතට අතදී සුභ පතමින් මෙලෙසට කීවේය.
” සුනන්දා .. ඔබ එම පරීක්ෂණයෙන් අංක එකට සමත් වෙලා තියෙනවා….බලන්න .. ඔබට විරුද්ධව ආපු අර පෙත්සම් බලල මම ඔබව අයින් කළානම් මම මොනතරම් වැරදිද..”
” ඒ අපේ සභාපති පරිණත තීරණ ගන්න පරිණත පරිපාලකයකු විදිහටයි අදත් මම ගරු කරන්නෙ. එතුමාගෙ පරිණත අවබෝධයට මට වචන නැහැ අමල්..”
දැන් අපේ ආදරණිය සුනන්දා එහි නිවේදිකාවකි. ඇයගේ ස්වාමියා තේ ව්‍යාපාරිකයෙකි…එකල තේ ප්‍රවාහනය කිරීම අලි දෙන්නකුට මැදිකළ විශාල ඇසුරුමකය. තේ පැකට්ටුවේ ලාංඡනය අලියකුගේ ලාංඡනයකි.
අලි ලාංඡනය හේතුවෙන් එවක රජයෙන් ඇයට ඇයගේ නිවේදිකා තනතුර අහිමි කළද… ඈ නොවේ බිඳකුදු සැලුණේ..
” අමල්..මම වැඩකදි දක්ෂනම් අවංක නම් මං කාටවත් හිස පහත් කළයුතු නැහැනේ. මං හඬාගෙන ඉල්ලා යන කෙනෙකුත් නෙවි. මං ඒක ආපහු ඉල්ලුවෙ නැහැ..”
ඈ තිර හඬකින් කියන්නීය.
අපේ සොඳුරු කතානායිකා සුනන්දාගේ ජීවන අත්වැල වූයේ ඇය හා එක්ව එකම පාසලේ ඉගෙනුම ලද විරන්ත හෙට්ටිආරච්චි මහතාය…
” අපි දෙන්නා විවාහ වුණේ 1989දි..අපට දරුවන් දෙන්නයි…අපේ දරුවන් අධ්‍යාපනයෙන් ඉහළින්ම සමත්ව අපේ හිතට සතුට උතුරන විදිහට කටයුතු කරන දරු දෙන්නෙක්.. ඇත්තමයි..මම හරි වාසනාවන්තයි ”
ඈ සිනාසුණු ගමන්මය.
ඇයගේ පුතු යාන්ත්‍රික ඉංජිනේරු උවින් හෙට්ටිආරච්චිය…දියණිය අමන්දා හෙට්ටිආරච්චි ඕස්ට්‍රේලියාවේ ය. ඕ වෛද්‍යවරියකි. ඒ දරුවන් අවිවාහකය. පුතු උවින් චැනල් අයි. රූපවාහිනීයේ ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසින්ද කටයුතු කළ බව ඈ කියන්නීය.
“ඇත්තමයි අමල්..මම තෘප්තිමත් ..මම බොහොම හෙමින් ගමනක් ආවේ. අති ධාවනයෙන් ආපු ගමනක් නම් නෙවි. මං අමල්ට කියන්නම් ..චැනල් අයි. නාලිකාව මට බාරදුන්නෙ අභියෝගයක් විදිහට ..මම අභියෝගය බාරගෙන මගේ හැකියාවන් පෙන්නුවා…මම සමාජයට ප්‍රයෝජනවත් වන වැඩ සටහන් සාර්ථක ව රටට හඳුන්වා දුන්නා..ඒවා අපේ ප්‍රේක්ෂකයන්ට තවමත් මතකයි.”
අපේ ආදරණිය කතා නායිකාව දැන් වෘත්තීමය පැත්තෙන් සිය හැකියාවන් මතින් බොහෝ දුරක් පැමිණ තිබෙන්නීය..
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක.. ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකාවක ….සහකාර අධ්‍යක්ෂක හා පසුව අධ්‍යක්ෂධූරයටද පාත්‍රව සිටින්නීය..
ජාතික රූපවාහිනී අයි. නාලිකාවේ ප්‍රධානී අපේ කතා නායිකාවය. පසුබිම් කථනයටද සාමාර්ථ්‍යය ලද ඕ තොමෝ ටයිටස් තොටවත්තයන්ගේ කාටූන් නිර්මාණවලට දායකත්වය ලබාදෙමින් එතුමා එදා ප්‍රේක්ෂකයාට ගෙනහැර පෑ අතිශය ජනප්‍රිය කාටූන්වල විවිධ චරිත නිරූපණයට සිය කටහඬ සිරිත මුසුකරමින් ඉහළම ජනප්‍රියත්වයකට පාත්‍ර වූවාය.
“අපේ බැච් එකේ අතුල රන්සිරිලාල් මහත්තයාගෙ නිර්මාණවලටත් මම මගෙ කටහඬ දායකත්වය ලබා දුන්නා…
“මගෙ කාටූන් කතාවට පුංචි දැරියකගේ හඬක් හොයා දෙනවකො” දිනක් ටයි මහතා කී සැණින් ලෙස්ලි රාමනායකයන් ඉදිරිපත් කළේ අපේ කතා නායිකාවය..
“ටයි මහත්තයා මට දෙබසක් කියන්න දුන්නා. ඉතින් මං කීවා. මාව සමත් වුණා…පස්සෙ ටයි මහත්තයාගෙ ජනප්‍රිය වැඩ සටහන් රැසකටම මම සහය දුන්නා”
අපේ ආදරණිය සුනන්දා කියන්නීය.
ඔෂින් කතාවේ මුල සිට අග දක්වාම ඈ හඬ සිරිත එහි එකලු කළාය.
“ඔෂින් කතාවෙනුත් මාව ගොඩක් ජනප්‍රිය වුණා.. ”
ඈ කියන්නීය.
” අපොයි ඔව් අමල්..මම දැනටත් ඩබින් ආර්ටිස් කෙනෙක් හැටියට ගුවන් විදුලියේ ඒ කටයුතුවලට යනවා”
ඇය ඒ ටික කීවේ මා ඇසූ පැනයකදීය.
යළිත් අතීත ගමන් මඟට පිවිසෙමින් ඈ කිවේ…
“මම ප්‍රවෘත්ති කියනවා. එරීන් විජේකෝන් මහත්මියත් ඉන්නවා. ඉතින් ආයුබෝවන් වැඩ සටහනේ මම නිවේදිකාව වුණා. අපේ ජයග්‍රාහී ක්‍රීඩිකාවන් අලළා මම නිෂ්පාදනය කළ වැඩ සටහන් වගේම රුවනාරි..ආදී තවත් වැඩ සටහන් මම කළා… අභියෝගවලට අභියෝග කරමින් දිවි ගැටගසා ගන්නා වනිතාවන් අලළා මම රුවනාරි කළේ….. එතකොට චිත්‍ර පිටුවත් මම කළා..2006දි ඔන්න ඉතින් ව්‍යාපාරික තොරතුරු වැඩ සටහන මට පැවරුණා. මම එහි නිවෙිදිකාව..ලූෂන් බුලත්සිංහල මහතා කීවා සුනන්දා ඔයාම ඔය වැඩසටහනත් කරන්න කියලා… පස්සෙ එම වැඩසටහන ඉංග්‍රීසි බසින්ද කරන්නට නිවේදක කටයුත්තත් පැවරුණේ මටයි. මමමයි ආයතනික නිෂ්පාදිකාවත්. අනුග්‍රාහක බැංකුවත් යෝජනා කළා සිංහල බසින් ද කරන්න කියලා. ඒකත් මමම කළා. අභියෝගවලට මම කැමතියි ”
නිවසේ පසුවන ගෘහනියනට අඟහරුවාදා උදය වරුවේ “නුග සෙවන” සමඟින් පැමිණියේ ඇයමය..
ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙසින් ඈ නිවසේ ආලින්දයට පැමිණි අයුරු දැන් දැන් මා මතක තිරයේ මැවෙයි..මේ ඇයමය.
“මම රූපවාහිනීයට ආවාට ගුවන් විදුලිය අතහැරියේ නැහැ. එහි වැඩ සටහන් වලටත් මම දැනටත් සහභාගි වෙනවා..”
” ඒ වගේම රූපවාහිනීයේ කෙටි කාර්ය මණ්ඩලයක් එක්ක සාර්ථකව වැඩසටහන් ඉදිරිපත් කළ නිසාම මට පැවරුණු කාර්යයන්ද බොහොමයි. මං ආපු ගමන ගැන අදත් තෘප්තිමත් .”
අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය..
කාන්තාවක් ලෙසින් මාධ්‍යකරණයේ රූපවාහිනී මාධ්‍ය තුළ පුරෝගාමී දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමේ විසල් මෙහෙවරට ඕ තොමෝ ඉන්දියාවෙි මුම්බායි ජාතික ප්‍රාසාංගික මධ්‍යස්ථානයේ ටාටා තියටර් ශාලාවේදී ඉකුත් 2023 වසරේ 47 වැනි වරට පැවැති දකුණු ආසියානු ලාඩ්ලි ජනමාධ්‍ය සම්මාන උළෙලේදී ජාතික නාලිකාව නියෝජනය කරමින් පුරා 38 වසරක සේවා කාලය තුළ ක්ෂේත්‍ර ගණනාවකට සිදුකළ මෙහෙවර වෙනුවෙන් ඕ අගැයීමට පාත්‍ර ව සම්මානිත වූවාය…
” රූපවාහිනීය නිසා මට රට රටවල් රැසකට යන්නට අවස්ථාව හිමිවුණා..මම කාලයක් ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂධූරයද හෙබවූවා. එංගලන්තයේ දී ඉංග්‍රීසි වාර්තාකරණය කළා..එහි ඔලිම්පික් ක්‍රීඩා ඔන් කැමරා රිපෝටින් කළා.”
අපේ ආදරණිය කතා නායිකාවගේ තෘප්තිමත් බව ඈ මුහුණින්ද මනාව කියැවෙයි.
ඇයගේ විසල් මෙහෙවර අගයමින් ඇය වසර ගණනාවක් රැඟුම් පාලක මණ්ඩලයේ ඉහළ තනතුරු හෙබවූවාය..දකුණු ආසියානු මාධ්‍යවේදිනියන්ගේ සංගමයේ සම කැඳවුම්කරු තනතුරින්ද ඕ පිදුම් ලැබුවාය..
2018 වසරේදී මාර්තු 10 කාන්තා දිනයට සමගාමීව විද්‍යුත් මාධ්‍ය ක්ෂෙත්‍රය උදෙසා ද ඇය සම්මානිත වූවාය..
” ම්..ම්…ඔව් අමල් .. 1986දි මම මුලින්ම ඩන්කන් වයිට් පිළිබඳව son of sri lanka නමින් කළ වැඩසටහන වෙනුවෙන් ලොස් ඇන්ජලිස්වලින් මම සම්මානිත වුණා..”
“අමල්..මේ ටික කියන්නම ඕනා..මා ලද මේ සම්මාන එකකටවත් මම විසින් අයදුම්පත් යවලා මගෙ සුදුසුකම් දක්වලා මමම ගන්න උත්සහ කළ සම්මාන නම් නෙමෙයි. හඹාගෙන ගිහින් කිසිවක් ගන්න මට අවශ්‍ය නැහැ. ඒක මගෙ ප්‍රතිපත්තියක්..වෘත්තීය ජිවිතයේදි හොඳ නමක් රැකගෙන කාටවත් වචනයක් කියන්න ඉඩක් නොදී මම මගේ හැකියාවන් තුළින් මේ ගමන මෙතුවක් ආවේ…”
” මගෙ දරුවන්ට මම කියල තියෙන්නෙ සුනන්දා හෙට්ටිආරච්චි කියන්නෙ අපෙ අම්මා කියල සැක බිය නැතිව ඕන තැනකදි කියන්න බයවෙන්න එපා කියලා…අමල්..මේ ක්ෂෙත්‍රය අමුතු තැනක්. කණ්ඩායම් හැඟීමෙන් හොඳට වැඩ කරන්න ලැබුණා ..කාන්තා ගෞරවය රැකගෙන ජාතික රූපවාහිනීයේ මා සමග වැඩ කළ ඉතා හොඳ පිරිසක් හිටියා..
” නියම කලට උසස්වීම් නැතත් කෙනහිලි ආවත් හරියට වැඩ කරනවානම් එයයි හිතේ සතුට.. මම කවදත් සෘජුව කතා කරන කෙනෙක් ..මගෙ වෘත්තීය ජිවිතය ගැන කාටවත් දොසක් නොකියන්න වගබලාගෙනයි මම කටයුතු කළේ..සුනන්දා හැර මේ වැඩේට වෙන සුදුස්සෙක් නැහැ කියන පදනම මතයි මට තනතුරු වුණත් ලැබුනේ. ”
ඕ ඒ සියල්ල කීවේ අවධාරණයෙනි.
මේ වනවිට අපේ ආදරණිය කතා නායිකා සුනන්දා මහත්මිය සිංහ 306/සී 2 සිංහ ක්‍රියාකාරිනියක ලෙසින් ද 2014/2015 වසරේ හොඳම සිංහ කාන්තාව ලෙසින් පිදුමට බඳුන් වූ අතර ජනප්‍රියම සිංහ කාන්තාව ලෙසින් ද 2015/2016 වසර සඳහා පිදුම් ලැබුවාය.
වෘත්තීයවේදිනියක ලෙසින් ක්ෂේත්‍රය පිළිබඳ දේශනා සඳහාද ඇයට තවමත් ඇරයුම් ලැබෙන්නීය..
” තමන්ට ලැබෙන හැම දෙයක්ම අධ්‍යයනය කරන්න. එදාට වඩා මාධ්‍යයට මාර්ග ගොඩක් තියෙනවා. තමන් සතු දැනුම නිතර වර්ධනය කරගත යුතුයි. මාධ්‍ය ක්ෂේත්‍රයට කෙනෙකු එනවානම් දැනුම වැඩි කරගන්න..තත්පරයෙන් තත්පරය වෙනස් වෙන මාධ්‍යයක්..දක්ෂ ළමුන්ද අද ඉන්නවා ..”
ආදරණිය සංලාපයෙන් හා ඈ වෙතින් ද සමුගන්නට මම අසුනින් නැගී සිටියෙමි…
ඈ ගැයූ ගීතයක්ද නිතැතින් මා සිහියට නැඟිණි.
“අඳුරන් නැති කඳුළක් දුටුවද මගෙ
කොපුලේ…
හඳුනන් නැති රිදුමක් දැනුණිද
හද ගැඹරේ…//
අමල් යශෝමන් ජයසිංහ
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල