නිවස සංවාද මා ගත් ඡායාරූප වෙනත් අයගේ නම්වලින් පළවෙනවා

මා ගත් ඡායාරූප වෙනත් අයගේ නම්වලින් පළවෙනවා

- ජ්‍යෙෂ්ඨ ජායාරූප ශිල්පී කුමාර එදිරිසූරිය

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

සේයා රූ සිප්හල තුළින් ඔහු ඡායාරූප කලාවේ දැනුම දසත බෙදාදෙයි. විටෙක සේයා රූ නමින් සඟරාවක් සංස්කරණය කරමින් ඡායාරූප කලාවේ දැනුම මෙන්ම තොරතුරු ද ජනගත කරනු ලබයි. තවත් විටෙක ඔහු වේදිකා නාට්‍ය නිෂ්පාදනයෙන් දායක වෙමින් නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසින් ප්‍රේක්ෂක ජන මනසට ආමන්ත්‍රණය කරයි. කුඩා අවධියේ පටන් ඡායාරූප කලාවට පෙම්බැදි ඔහු නමින් කුමාර එදිරිසුරියයි. මේ වනවිට රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ඡායාරූප කලාවේ සෞන්දර්යවාදියා සමඟ කතාබස් කරමු.

මේ දවස්වල ඡායාරූප කලාවේ උන්නතිය වෙනුවෙන් වගකීම් සහගත කටයුත්තක නියැළී සිටින බව ආරංචියි?

රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය මේ දවස්වල මට භාර වෙලයි තියෙන්නේ. පසුගිය අවුරුදු දෙකක පමණ කාලයක් මෙය තහනම් කරල තිබුණා රජය විසින් ඉතිං මේක නැවත නගා සිටුවීම් වගකීම මට අද පැවරීලා තියනවා. ඒක නිසාම මේ දවස්වල වැඩි වශයෙන් බැණුම් අහන එක තමයි කරන්නේ මොකද පසුගිය කාල වකවානුවල මේකෙ නිලතල හොබවපු අය කළ නරක හොඳ වැඩ නිසා අද මම බැනුම් අහනවා.

රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය තහනම් කරන්න හේතු වුණේ?

මේ තුළ දෙපිරිසක් පිල් දෙකකට බෙදිල එක කට්ටියක් කළ විනිශ්චයන් පිළිබඳ වැරදි වැඩ නිසා ඇතිවුණු ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය අධිකරණයටත් යන්න සුදානම් වුණා. මම මෙහි වගකීම භාර ගත්තට පස්සේ අමාත්‍යතුªමාගෙන් ඇහුවා කලින් අය නතර කරපු තැනින් පටන් අරන් යන්න ද කියල ඇමතිතුමා කිව්වා අපෝ එපා ඒ ඒ අයගේ හිතවතුන්ට විනිශ්චයන් බෙදාගන්න ගිහින් ඇණකොටා ගන්නත් ගියා. ඒකයි අපි මේක තහනම් කරල තිබුණෙත් කියලා. අපි අයිතිවෙන්නේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලංකා කලා මණ්ඩලයට කලා මණ්ඩලයට තමයි නාට්‍ය සංගීතය, චිත්‍ර සහ මුර්ති ආදිය ඇතුළත් වෙන්නෙත් මේ ඡායාරූපත් එයට ඇතුළත් අපේ කාර්ය භාරය වෙන්නේ. ඡායාරූප කලාවේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම.

ආරංචියක් තියනවා කුමාර එදිරිසුරිය කලාත්මක ඡායාරූප කියන වචනයට එතරම් කැමැත්තක් නෑ කියලා?

අපි කලාත්මක ඡායාරූප කියල තමයි භාවිත කරන්නේ මගේ පොතේ නෑ කලාත්මක ඡායාරූප කියල මගේ පොතේ තියෙන්නේ හොඳ පින්තූර කියලා. කලාත්මක කියන එක සාපේක්ෂ නෑනේ හොඳ කියන එකට. මට හොඳ දේ තව කෙනෙකුට හොඳ නෑ. අපි නාට්‍ය නිර්මාණයක වුණත් තෝරන්නේ කලාත්මක නාට්‍ය නොවෙයි. හොඳ නාට්‍යය හොඳම නළුවා හොඳම පිටපත කියල මම හිතන්නේ පින්තූර ගන්න බැරි අය යොදාගන්න නමක් තමයි කලාත්මක ඡායාරූප කියල

මම දකින අයුරින් ඡායාරූපය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදනවා. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ ඡායාරූප ලෙසින්. උත්තම පුරුෂ ගණයේ ඡායාරූපය මම, මට සහ හෝ අපට මා විසින් ගනු ලබන ඒවා. එම ඡායාරූප වෙනත් අයෙකුට වැඩක් ඇත්තේම නැහැ. මගේ ආසාවට ගන්න ඒවා. එය මගේ අම්මාටවත්, පෙම්වතාට හෝ පෙම්වතියටවත් පවා අනවශ්‍යයි. මෙම ඡායාරූප බොහෝ විට ගන්නේ වෘත්තීය නිපුණත්වයක් නොමැති අය.

මධ්‍යම පුරුෂ ඡායාරූප කියා මා අදහස් කරන්නේ ඔබට ඒ කියන්නේ මගේ ඉදිරියේ සිටින කෙනෙකුට ගන්න පින්තූර. එය බොහෝ විට මගේ ඉදිරියේ සිටින අයගේ ඉල්ලීම අනුව ගනු ලබන ඡායාරූපයක්. චිත්‍රාගාරයකදී ගනු ලබන ඡායාරූප, මංගල උත්සව ඡායාරූප ආදිය මම මේ ගණයේ ලා සළකනවා. හරිම වගකිව යුතු කාර්යයක්. ඒ ඡායාරූපය අපට ගන්න වෙන්නේ අප ඉදිරියේ සිටින අයගේ කැමැත්තට. ඒ අය අකමැති නම් අප පරාදයි. මේ සඳහා මනා ශිල්පීය නිපුණත්වයක් තිබිය යුතු වෙනවා. තමා සතුව කෙතරම් නූතන උපකරණ තිබුණත් ඡායාරූප ශිල්පීය හැකියාව නොමැතිනම් මෙම ඡායාරූපය මා ඉදිරියේ සිටින ඔබ වෙනුවෙන් ලබා දිය නොහැකියි.

මෙතැනදී මෙම ශිල්පියා වෘත්තීය තලයක සිටින ශිල්පීය නිපුණයකු විය යුතු වෙනවා.

ප්‍රථම පුරුෂ ඡායාරූපය ලෙසින් සලකන්නේ, මම ගත්තක් වුවද එය මට මෙන්ම මා ළඟ නොමැති අයකුට වුවත් අගය කල හැකි විය යුතුයි. එම අගය කරන ප්‍රමාණය වැඩි නම් මම සාර්ථකයි. ඡායාරූප තරඟ සඳහා ඉදිරිපත් කොට ජය ලබන ඡායාරූප, පුවත් ඡායාරූප ආදිය මෙම ගණයේ ලා සළකනවා. ඇත්තටම වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු නොවුණත් ශිල්පය පිළිබඳ නිපුණයන්ට හැර මෙම ගණයේ ඡායාරූප ගත නොහැකි බවයි මගේ අදහස. කෙසේ වෙතත් මෙම ගණයේ ඡායාරූප අති විරලයි.

දැන් හිතන්න ඔබ මින් කුමන ගණයේ ඡායාරූප ශිල්පියෙක් වෙනවාද කියා.

හොඳ ඡායාරූපයක් කියල ඔබ දකින්නේ?

තමන් ගන්න ඡායාරූප හොඳ වෙන්නත් ඕනේ ඒක වැඩි පිරිසක් අගයන්නත් ඕනේ. ඒකට මම උදාහරණයක් කියන්නම් සේන විදාන ගත්ත රජිව් ගාන්ධිට ගහන පින්තූරය ගන්න ඒක ගන්නත් අමාරුයි. ඒ වගේම වැඩි පිරිසක් නරඹපු පින්තූරයක් එවැනි ඡායැරූප ගන්න අයත් දුර්ලබයි. ඒකට කැපවෙච්ච අය ඉන්නම ඕනේ එහෙම කෙනෙක් හදන්න පුළුවන්නම් මම කියන්නේ එහෙම අය හදන්න බෑ. හැදෙන්න ඕනෙ කියලයි. අපිට මුලධර්ම කියල දෙන්න පුළුවන්. තමන්ගේ උනන්දුව එක්ක තමයි ඒ වගේ සුවිශේෂි අය ඉහළට එන්නේ.

ඡායාරූප කලාව බෙදා වෙන්කර ගෙනත් තියනවා නොවේද?

ඔව් තරඟවලදී එහෙම දෙයක් කරනවා. ස්ටීල් ෆොටෙ‍්‍රී ග්‍රැෆි වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්‍රැෆි බැක් ටු ෆොටෝ ග්‍රැෆි මගේ මතය නම් මෙහෙම බෙදාගන්න ඕනෙ නෑ. මම දකින විධියට පින්තූරයක් කියන්නේ. අපි දකින දේ තුළ තියන විශේෂත්වය. අපි ෆ්‍රේම් කරල ක්ලික් කිරීම තුළ ගන්න දේ. ඕකම තමයි නවකතාකරුවා කෙටි කතාකරුවා චිත්‍රපටකරුවා ඇතුළු සියලු කලාකරුවන් කරන්නේ. මෙන්න මේ දේට අපි ඇහැහුරු කළ යුතුයි. වෙනස් විදියකට පේන්න අපි පුරුදු කරන්න ඕනේ. ඒකට ඔළුව හදන්න ඕනේ. ඔළුව හදල තාක්ෂණය දුන්නට පස්සේ අලුත් පරම්පරාවක් හැදෙන එක වළක්වන්න බෑ. මේ ආකාරයට ඡායාරූප කලාව බෙදාවෙන් කිරීම මම දකින්නේ මුදලාලිකරණයක් විධියට. ලොකු ලෙන්ස් එකක් හදල ඒක හඳුන්වනවා වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්‍රැෆිවලට කියල එහෙම වෙන්න ඕනෙ නෑ. ෆොටෝ එක ගන්න අවශ්‍ය වන්නේ ඇහැ ඇහෙන් දකින දේ තමයි මොන ලෙන්ස් දැම්මත් පින්තුරයක් හැටියට එළියට එන්නේ.

ඡායාරූප කලාවට පෙම්බඳින්න ඔබ කොයි ආකාරයෙන්ද ඒ සඳහා අත්පොත් තබන්නේ?

මේ පැත්තට යොමු වෙන්න කියල කවුරුවත් පෙලඹෙව්වේ නෑ. පොඩි කාලේ ඉඳල මේක ඇඟේ තිබුණා. මගේ අම්මා තාත්තා දෙන්නම ගුරුවරු. තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගුරුවරියක්. මම පොඩි කාළේ මඟුල් ගෙවල්වල ගියහම ෆොටෝ ග්‍රැෆර්ගේ පස්සෙන් යනවා. කැමරාවේ බල්ට් එක පත්තු වෙන හැටි බලන්න. ඔය අතරේ මගේ පියාගේ මිත්‍රයෙක් මට දුන්නා කැමරාවක්. ක්‍රොඩැක් රෙටීනා කියල ෆිල්ම් රෝල් දාන එකක්. ඒ වෙනකොට මම කොළඹ ආනන්ද විද්‍යාලයේ එකොළහ වසරේ ශිෂ්‍යයෙක්. මේ කැමරා එක මට දීලා තාත්තාගේ මිත්‍රයා කිව්වා ඕනෙම ආලෝක තත්ත්වයක් යටතේ මේකෙන් පින්තූර ගන්න පුළුවන් කියලා. මෙවැනි කැමරාවක් මට දෙන්නේ මම මේ ගැන දක්වපු උනන්දුවට ඊට කලින් මම කැමරාවක් අතපත ගාල තිබුණෙත් නෑ. සිගරැට් බට් එකේ එළියෙන් උණත් පින්තූර ගන්න පුළුවන් කිව්වා. මට ඕක කොළඹ ගෙනාවා මගේ බෝඩිමට කාටත් මේක මැජික් එකක් අපේ බෝඩිමට අල්ලපු බෝඩිමේි හිටියා මරදානේ ඩොනල්ඩ් ස්ටුඩියෝවේ ෆොටෝ ග්‍රැෆර් බෝඩිවෙලා. එයා ගිහින් හම්බ වුණාම මට කළු සුදු ෆිල්ම් රෝලක් දුන්නා. තාත්තාගේ මිත්‍රයා මට කියල දිලා තිබුණා ෆිල්ම් රෝල දාන හැටිත්. ඕනෙම ආලෝක තත්ත්වයක ගන්න පුළුවන් කිව්ව නිසා මම රෑ දවල් කියල නෑ බෝඩිමේ යාළුවෝ එක්ක පින්තුර ගත්තා. ඩොනල්ඩ් එකේ මගේ මිත්‍රයා මට ෆිල්ම් රෝල් සුද්ද කරල ගෙනත් දුන්නා. පි‍්‍රන්ට් එක ගෙනත් බලපුවහම වැදිල තිබුණේ එක පින්තූරයි. ඒක හවස් වරුවක ජනේලයක් ළඟ ගත්ත පින්තූරයක්.එකෙන් පැත්තක කෙනෙක් ගේ පින්තූරයක් තිබුණා අනික් පැත්ත කළුයි අන්න ඒ වෙනස මම හොයන්න පටන් ගත්තා. ඒ හොයපු ගමන තමයි මම මේ දිගට ආවේ.

ඡායාරූප කලාවේ ගුරුහරුකම් සොයා යාම කොයි විධියට ද සිද්ධ කළේ.

ආනන්ද විද්‍යාලයේ ඡායාරූප සංගමයට මමත් අපේ බෝඩිමේ හිටිය පාසලේ සියලු ශිෂයොත් බැදුණා. මගේ බෝඩිමේ පින්තූර ගැනිල්ලෙන් පස්සේ දවසක් මේ සංගමයේ දේශනයකට විල්සන් හෑගොඩ මහතා පැමිණියා. එතුමන්ගෙන් අපි දැනුමක් එකතු කරගත්තා. පින්තුරයක් කියන්නේ මොකක්ද කියල පස්සේ කාලෙ වෙන කොට අපි බෝඩිමේදී ගත්තේ දවල් කාලේ පින්තූර විතරයි. මේ කැමරාවේ කට්ටක් තිබුණා. අන්න ඒ කට්ට ලයිට් එකට ආපු විගස පින්තූරය ගන්න කියලා අපිට කියල තිබුණා.

පාසල් අධ්‍යාපණයෙන් පස්සේ ඔබත් ඡායාරූප කලාව ගැන වැඩිදුර අධ්‍යයනයක් කරනවාද?

ඔව්. මරදානේ ටෙක්නිකල් එකට ඇතුළත්ව මම ඡායාරූප කලාව ඉගෙන ගන්නවා. ඔය අතරේ පත්තරේ දැන්වීමක් තිබුණා. හේවුඩ් ආයතනයේ ඡායාරූප පාඨමාලාවක් ගැන මම එයට ඉල්ලුම් කළා. ඒකට මට යන්න පුළුවන් වුණා. ඒ වෙනකොට හේවුඩ් එකේ විදුහල්පති ලෙස කටයුතු කළේ මහගම සේකර මහතා. මෙහි ඡායාරූප පාඨමාලාව වසරක එකක් මෙහිදි මගේ ගුරුවරු වුණා. බී.පී. වීරවර්ධන, විල්සන් හෑගොඩ මහත්වරු වසරක පාඨමාලාව අවසානයේ මට වැටහුණා. මේ විෂය වසරකින් ඉගෙන ගෙන අවසන් කරන්න බෑ කියලා. ඒ නිසා මම ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට බැදුණා. විල්සන් හෑගොඩ මහතාගේ එහි වසර තුනක පාඨමාලාවක් හැදැරුවා. ඒ කාලය තුළ මම එක වසරකදී එහි හොඳම සාමාජිකයා වෙන්න ලැබුණා. ඡායාරූප තරඟ සඳහා සංගමය නියෝජනය මත ඉදිරිපත්ව මට ජයග්‍රහණ පවා ලබාගන්න පුළුවන් වුණා. මේ වෙන කොට මට හොඳට පින්තුර ගැනීමේ හැකියාවක් තිබුණා.

වෘත්තීමය ඡායාරූප ශිල්පියෙක් බවට ඔබ පත්වුණේ කොයි ආකාරයෙන්ද?

රජයේ රැකියාවක් නොලැබීම නිසාම මම පෞද්ගලිකව මෙය රැකියාව ලෙස කරන්න පටන් ගත්තා. සුනන්ද මහේන්ද්‍ර මහතා මට හඳුන්වල දුන්නා එවක සංචාරක මණ්ඩලයේ හිටපු ක්‍රියේටිව් ඩිරෙක්ටර් ජයරත්න හේවාබටගේ මහතාව. මෙතුමා ටුවරිස් බෝඩ් එකට අවශ්‍ය දේ ඩිසයින් කරන හැටි ඒි සඳහා පින්තූර පාවිච්චි කරන හැටි අපි ගිහින් එතුමන්ගේ මේසය ඉදිරිපිට බලන් හිටියා. ඔය අතරේ එතුමන්ගේ උදවුවෙන් අපිට ටුවරිස් බෝඩ් එකේ රෙජිස්ටර් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ලැබුණා. ගාමිණි ජයසිංහ ගාමිණි සපරමාදු වගේ අයත් ඒ වෙනකොට එහි රෙජිස්ටර් ෆොටෝ ග්‍රැෆර්ස්ලා ඔවුන්ගෙනුත් යමක් කතා බහෙන් මම ඉගෙන ගත්තා. මෙහිදී මට ලොකු ඉවෙන්ට් එකක් ලැබුණා. අන්තර්ජාතික දඹල ප්‍රදර්ශනය සංචාරක මණ්ඩලයෙන් විශේෂ වැඩ ලැබුණා. කොළඹ සිටි පාර්ලිමේන්තුව කෞතුගාරය වගේ තැන්වල පින්තුර ගත්තා. ඒ එක පින්තුරයකට රුපියල් දෙසිය පණහක් ලැබුණා. රුපියල් අසුවක ෆිල්ම් රෝලක් දාගත්තහම ඒ ලැබෙන මුදල අපිට ප්‍රමාණවත් වුණා. දඹල ප්‍රදර්ශනය තුළ 20 ය 30 ප්‍රමාණයේ පින්තූර තමයි මුද්‍රණය කරන්න තිබුණේ. මේි ප්‍රදර්ශනයේ පින්තූර වලට මට ඩොලර්වලින් මුදලක් ලැබුණා. ජල සම්පත් මණ්ඩලය තමයි මේ ප්‍රදර්ශනය සංවිධානය කළේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෝල්ටර් පෙරේරා තමයි එය භාරව හිටියේ.

ඔබටම කියල ඡායාරූප ශාලාවක් එහෙමත් ආරම්භ කළේ නැද්ද?

කළා. මුලින්ම මම ඇතුල්කෝට්ටේ ඡයාරූප ශාලාවක් පටන් ගත්තා. ඊට පස්සේ මහරගම දෙහිවල පාරේ කොළඹ පූර්වාරාම පාරේ, ගංගොඩවිල විශ්වවිද්‍යාලය ආසන්නයේ මම ඡායාරූප ශාලාව කලින් කලට තැනින් තැන කරගෙන ගියා. අමිල ෆොටෝ අධිපති මුනිදාස ගුණසිංහ මහතා මට ගොඩක් උදව් කළා. අවශ්‍ය කරන උපකරණ ගෙවීම් ක්‍රමයට ලබාදෙමින් ජාතික තරුණ සේවා සභාවේ ප්‍රචාරක නිලධාරි ලෙස වැඩ කළ පියරත්න හේවාබටගේ මහතා මාර්ගයෙන් මට තරුණසේවා සභාවට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ කාලයේ තමයි චන්ද්‍රලේඛා පෙරේරාගේ ෂර්ලි වෛයිජයන්තගේ මුල්ම ෆොටෝ සෙට් එක ගත්තේ මම.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත් ප්‍රවීණ රූපණවේදී ජෝ අබේවික්‍රම විරසකව සිටින අවධියක ඔවුන් සමඟි කළ දින දෙදෙනාගේ ඡායාරූප ගත් පුද්ගලයා ඔබ බව කියන්නේ ඇත්තද?

ඒ කතාව සත්‍යයක් ධර්මසිරි ගමගේ මහතාව මම හොඳින් හඳුනාගෙන සිටි මගේ හිතේෂී පුද්ගලයෙක් මම ඡායාරූප එවනවා. යොවුන් ජනතා පත්තරයට එතුමා ඒවා පළ කරනවා. අපි අතර අමුතුම සුහදත්වයක් ඇති වෙලා තිබුණා. දවසක් මම කොළඹ පුර්වාරාම පාරේ මගේ ස්ටුඩියෝ එකේ ඉන්න කොට මට මුනිදාස ගුණසිංහ මහතා ගෙනත් දුන්නා. ර්චථඪරච අඕ67 කැමරාවක් මේ කැමරාව ඒ කාලේ ලංකාවේ දුලබ කැමරාවක් මේ කැමරාව මට ලැබුණ කියල ගමගේ මහතා දැනගෙන ඔහු ඒ දවස්වල පූජා චිත්‍රපටය කරන කාලේ මට ඇවිත් ‘පූජා’ චිත්‍රපටයේ ෂූටින් පින්තූර ටිකක් අරන් දෙන්න කිව්වා. ඒ ගිය වෙලාවක එතුමා මට යෝජනාවක් කළා. ගාමිණි ජෝ තරහවෙලා ඉන්නේ අපි මේ දෙන්නා යාළු කරන්න ඕනේ. අපි අදයන් ගාමිණිලාගේ ගෙදර කියලා එතකොට ගාමිණි ෆොන්සේකා හිටියේ තිඹිරිගස්යායේ සිරිපා පාරේ ඇන්ජලා එක්ක තමයි හිටියේ. ටික වෙලාවක් අපි ගාමිණි ගේ ගෙදරට ගිහින් හිටියා ජෝ අබේවික්‍රම එනකන් ධර්මසිරි ගමගේ මහතා ජෝට එන්න කියලා තිබුණා. මේ ගමනට මම අර ර්චථඪරච අඕ67 කැමරාව ගෙනිච්චා. ගාමිණි සරම ඇදගෙන සැහැල්ලුවෙන් පුටුවක වාඩිවෙලා හිටියා. ධර්මසිරි මහතා මට ඕනෙ පින්තූරයක් ගන්න කිව්වා. මම පින්තුර කීපයක් ගත්තා. ඔය වෙලාවේ ගාමිණි මගේ කැමරාව අතට ගත්තා. ගාමිණි ධර්මසිරි මහතාට කිව්වේ ධම්මේ කියල ධම්මේ අපි මෙන්න මේවායෙන් තමයි ස්ටීල් කරන්න ඕනෙ. ඇයි මේ පොඩි කැමරා වලින් කරන්නේ මේ කැමරා හරි ගණන් අල්ලන්නත් බයයි. එහෙම කියමින් ඉන්න අතරේ ජෝ ආවා කොහොම හරි විරසක දෙන්නව ධර්මසිරි මහතා යාළු කළා. මම පින්තූර ගත්තා. ඔය පින්තූර ගන්න දවස්වල කලර් ෆිල්ම් රෝල් යුස් කරනවා. මම ගත්ත පින්තූරවල පි‍්‍රන්ට් එකක් අමිල ෆොටෝ මට ඉක්මනින් අරන් දුන්නා. එහි අත්සන ගහල මට දෙන්න කිව්වත් මම ඕනෙ නෑ කියල ලොකු පින්තූරයක් මේ දෙපළට ලබාදුන්නා. ගාමිණී මහත්තයා සරමක් ඇදල පුටුවක වාඩිවෙලා ඉන්න පින්තූරයකුත් මම එතුමාට තෑගි කළා. එදා මම ගත්ත පින්තූරය අද වෙන කොට වෙනත් අයිතිකරුවන්ගේ නම් වලින් පත්තරවල පළවෙනවා.

ඔබ ගත් පින්තූරයට වෙන අය අයිතිවාසිකම් කියන්නේ කොහොමද?

ඒක තමයි ශ්‍රී ලංකාව කියන්නේ අනුන්ගේ පින්තූරවලට නම දාන එක මම ගාමිණි මියගිය වෙලාවේ මගේ පින්තූරයක් පත්තරයක පළ වී තිබෙනවා. වෙනත් අයකුගේ නමින් දැකලා මම ඒ පින්තූරයට හරි ආශයි. කොපියක් ගන්න පුළුවන් ද කියල ඒ ආයතනයෙන් ඇහුවා. ඒ අය කිව්වා ලයිබ්‍රියේ තියනවා. සල්ලි ගෙවල ගන්න පුළුවන් කියල මම ගත්ත පින්තූරවලට අයිතිකාරයෝ වෙන අය ඉන්න තව පින්තුර තියනවා. නන්දා මාලිනිගේ ‘යාත්‍රා’ කැසට් පටයට මම ගත්තා. නන්දා අක්කා හබලක් අතින් අරන් ඉන්න පින්තුරය මේ පින්තුරය මම ගත්ත එකක් කියන්න සාක්කි තමයි නන්දා අක්කා කැසට් එකේ කවරය හදපු ප්‍රේම් දිසානායක මේ පින්තුරය ගන්න මමත් එක්ක ගිය රැලෙක්ස් හා සුනිල් ආරියරත්න මහතා මේ රීල් එකේම තියනවා නන්දා අක්කා සිතාරයක් අරන් ඉන්න පින්තුරයකුත්. රෝසි සේනානායක මිසිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ පැලඳ ලංකාවට ආපු මුල්ම දවසේ ඉස් ඉස්සෙල්ලාම ඇයගේ නිවසට ගිහින් පින්තුරය ගත්තෙත් මම.

ඡායාරූප කලාව වෙනුවෙන් ඔබ සඟරාවක් පවා ආරම්භ කරනවා නොවේද?

සේයා රූ නමින් මම සඟරාවක් පටන් ගත්තා. මගේ කර්තෘවයෙන් ඇරඹීමේ සඟරාව ඡායාරූප හා ඡායාරූප කලාව පිළිබඳ ලියවු ලිපිවලින් සමන්විත වී තිබුණා. මුල් කාලයේදී මසකට වරක් නිකුත් කළා පසු කාලෙ වෙනකොට ඡායාරූප කලාව ගැන ලියන්න ඉන්න අය අඩුවීම නිසා මැගසින් එක කරගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මම දන්නා විධියට ඡායාරූප කලාව ගැන හොඳට ලිපි ලියන්න පුළුවන් කෙනා තමයි. අනුරුද්ධ ලොකු හපුආරච්චි අද ඡායාරූපයක් කියවන්න කෙනෙක් නෑ. සේයා රූ මැගසින් එක මුලින්ම දොරට වැඩියේ කෝට්ටේ නාග විහාරයේදී අද මේකට ලියන්න කවුරුත් නෑ. ඒ වගේම තමයි ඡායාරූපයක් කියවන්න කවුරුත් නෑ. නමුත් පදුරකට ගැහුවහම විසි වෙන්න ලක්ෂ ගණන් ෆොටෝ ග්‍රැෆර්ලා ඉන්නවා. ඒ වගේ අයට මම කියන්නේ ෆොටෝ ගැෆ්‍රර්ලා කියල නෙමේ. කැමරා හෝල්ඩර්ස්ලා කියලා කැමරාවක් අතේ තියාගත්තට එකේ බටන් එක එබුවට ෆොටෝ ග්‍රැෆර් කෙනෙක් වෙන්න බෑ. මේකට වග කියන්න ඕනේ අපේ රටේ මුදලාලිලා තරුණ පරපුරට ඡායාරූප කලාව කියල ක්ලාස් කරල සතිය දෙකෙන් ඒව කරල තමන්ගේ කැමරාවක් විකුණගන්නවා. අන්තිමට කැමරාව අරන් යන අය දැනුම නැතුව අතරමං වෙනවා. එකෙන් මුළු ක්ෂේත්‍රයම කඩා වැටෙනවා. බොහොම දක්ෂ තරුණ ව්‍යවසායකයෙක් අද මේ ක්ෂේත්‍රය විනාශ කරලා දානවා. තමන්ගේ කැමරා උපකරණ ටික විකුණ ගන්න. ඒක මහ ඛේද වාචකයක්.

සේයා රූ සිප්හල ඔස්සේ ඔබ වැඩසටහන් කීපයක් දියත් කළා නොවේද?

බුද්ධශාසන අමාත්‍යංශය අනුග්‍රහය ඇතිව මම කළා. අපේ බොදු බව සංහිදියාව ගැන කතා කරන කාලයේ එය තේමා කරගෙන ජාතික සමගිය සඳහා ආගමික සන්හිදියාවේ ඡායාරූපයක ප්‍රවේශය නමින් මම ශ්‍රද්ධා සේයා නමින් තරඟයක් සංවිධානය කළා. විවෘත පාසල් ශිෂ්‍ය, උසස් අධ්‍යාපන නමින්. චීන මහ කොමසරිස් කාර්යාලයෙන් මම ඉල්ලීමක් කළා. පාසල් හා උසස් අධ්‍යාපන අංශයෙන් එක දෙක තුන ගත්ත ළමයි හයදෙනෙකුට විදේශ සංචාරයක් දෙන්න කියලා. ඒ සංචාරය දුන්නා චිනේටත් ගිහින් ආවා. නමුත් රටේි සිදුවුණු නොයෙක් සිදුවීම් නිසා තවම මට එහි තෑගි ටික දීගන්න බැරිවුණා. ඒක මට දෙන්න ඕනෙ ඒකට අනුග්‍රහය දක්වපු අය සොයාගෙන මගේ හිතට මේක හරි නෑ. මේ වෙනකන් මට තෑගි නැතුව කවුරුවත් නොගහපු එක ගැන මම සතුටු වෙනවා.

රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය හැටියට ඔබලා කරන්න උත්සාහ ගත්තේ. මොන වගේ ඉදිරි වැඩපිළිවෙළක් ද?

මෙතෙක් කලක් කරල තිබුණේ රාජ්‍ය සම්මාන දීිමක් විතරයි. වැඩමුළු දෙක තුනක් කියලත් තිබුණා. අවුරුදු දෙකක් තහනම් කරල තිබුණ නිසා මට කිව්වා 2025 වසරට සුදානම් වන්න කියලා. නමුත් මට සල්ලි හොයාගෙන 2024 වසරට සම්මාන උලෙළ තියනවා. කලින් කරල තිබුණෙ එක ප්‍රදර්ශනයක් තියල එකදෙක තුන තෝරලා කුසලතාවලට සම්මාන දීමක්. අපි වෙනවෙනම එක් එක් අංශයට ප්‍රදර්ශන තියල වෙන වෙනම ත්‍යාග දීමක් කරනවා. අවසාන සම්මාන උලෙළට සියල්ලේ නියෝජනය සිද්ධ කරනවා. ලෝක දෘශ්‍ය දිනයට ලෝක ළමා දිනයට, වෙනම ප්‍රදර්ශන තියන්න, පාසල්වලට. විශ්වවිද්‍යාලවලට විවෘත තරඟ තියන්න, වෙඩින් ස්ටුඩියෝ, ෆැෂන්, අංශවලින් වෙන වෙනම තරග තියන්න කාණ්ඩ එකොලහක් යටතේ අපි මේක සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා. හැම මාසයකම ඡායාරූප ප්‍රදර්ශනයක් තියන්න සැලසුම් කරනවා. හොඳ පින්තූර ගන්න අයගේ ෆේස්බුක් හරහා එන අයගේ එකතුවක ඡායාරූප ප්‍රදර්ශනයක් තියන්න මම සැලසුම් කරලා තියනවා. මාසයකට සැරයක්. පාසල්වල ඡායාරූප සංගම්, තියන පාසල්වල ඡායාරූප සංගම් දරුවන්ට වැඩමුළු තියන්න අපි අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවසර අරන් තියනවා. පොදුවේ රසවින්දනය පින්තූර කියවීම, පොටෝ ග්‍රැෆිවල කාර්මික පැත්ත. මේ හැම දේශනයක්ම වීඩියෝ කරල යුටියුබ්වලට දැමීම මේ වගේ වැඩසටහන් 72ක් අපි කරනවා. මේ සඳහා වියදම් දරන්නේ අපි. මේතුළින් අපි අපේක්ෂා කරනවා. දැනට ඉන්න පරපුරේ ලොකු වෙනසක් ඇති වෙයි කියලා. අපි ඡායාරූප ශිල්පීන් ලියාපදිංචි කරනවා. දැනට ලංකාවේ ඡායාරූප ශිල්පීයා භාරගන්න අමාත්‍යාශයක් නෑ. ෆොටෝ ග්‍රැෆර් ගේ ප්‍රශ්න කියන්න කවුරුවත් නෑ. මේ අයට අපි පිළිගැනීමක් ඇති කරනවා. මේ වෘත්තිය කරගෙන යන්න. මට දීල තියෙන්නේ අවුරුදු තුනයි. මේ අවුරුදු තුන තුළ මම දෙයක් කරනවා ඊළඟ පරම්පරාවක් සුඛිත මුදිත කරන්න.

අද ෆොටෝ ජර්නලිස්ලා නැද්ද?

ඉන්නේ එක්කෙනයි දෙන්නයි. වැඩි හරියක් ඉන්නේ වදින ෆොටෝ ගැෆර්ලා විතරයි. අවුරුදු පහක් ෆොටෝ ග්‍රැෆි ඉගෙන ගන්න බැරි නම් මම කියන්නේ අඩුම තරමින් ත්‍රිවිලරයක් එලවන්න. හැබැයි අද කාඩ් ගහගෙන ඉන්නවා ෆොටෝ ග්‍රැෆර්ලා ප්‍රොෆෙෂනල් කියලා. අවුරුදු තුනක පලපුරුද්දක් තියෙන්න ඕනේ. ප්‍රොෆෙෂනල් කියන්නවත්. එහෙම කාඩ් ගහ ගන්න ඕන නෑ තමන් ප්‍රොෆෙෂනල් කියන්න කරන වැඩේ දැක්කහම කියන්න පුළුවන්. තමන් ප්‍රොෆෙෂනල් ද නැද්ද කියලා අද විසිටින් කාඩ් එකෙන් ප්‍රොෆෙෂනල් වෙන්න හදන අය ඉන්නේ. සමාජ මාධ්‍ය ජාලාවල යන පින්තුර දැක්කහම. අපි අතර ඉන්නවා සැබෑ දක්ෂයෝ.

මෙතරම් කාලයක් ක්ෂේත්‍රය තුළ රැදුණ ඔබ ඇයි කවදාවත් ඔබේම ඡායාරූප එකතුවක ප්‍රදර්ශනයක් නොතිබ්බේ?

මම ගත්ත පින්තුර වල ප්‍රදර්ශනයකට තියන්න තරම් සුදුසු පින්තුර තිබුණේ නෑ කියලා. මට තාමත් හිතනවා කොතරම් මම පින්තුර ගත්තත් මට වැඩිය හොඳට පින්තුර ගන්න අය ඉන්නවා.

වසර හතළිහක පමණ කාලයක් ක්ෂේත්‍රය තුළ රැඳි සිටින ඔබම කියනවා ඡායාරූප ප්‍රදර්ශනයක් තියන්න ඔබ ළඟ පින්තූර නෑ කියලා. කවද ද ඒ සිහිනය සැබෑ වෙන්නේ?

මේ කාලය තුළ මම පින්තූර විසි දහසකට එහා අරන් ඇති. ඒත් ඒ ගත්ත එක පින්තුරයක්වත් ප්‍රදර්ශනය කට තියන්න. සුදුසු වුණේ නෑ කියල මම හිතනවා. මම ඡායාරූප ප්‍රදර්ශන අනන්තවත් බලල තියනවා. නමුත් මට තියන ප්‍රශ්නය ඒ ප්‍රදර්ශනවල පින්තුර කියල කීයක් තිබුණ ද කියන එකයි. මම දන්න රාමුව තුළ අද ඉන්නේ ෆොටෝග්‍රැෆර්ලා නොවෙයි ෆොටෝ සුපර්ස්ලා. මොකද ෆොටෝ එක ගහන්න බැරි වුණාම එඩිට් කරනවා. වැඩ්ඩා කවදාවත් එඩිට් යන්නෑ.

ඔබට කනගාටුවක් නැද්ද අදවෙනකන් ඔබගේ ඡායාරූප ප්‍රදර්ශනයක් තියාගන්න බැරිවීම ගැන?

නෑ. මගේ හිතේ කුහකකම නෑ. මට බැරි වුණාට මගේ ගෝලයෝ අද එතනට ගිහින් ඉන්නවා. ඒ ගැන මගේ හිතේ තියෙන්නේ අවංක ආශිර්ිවාදයක්.

දැන් ඔබ නාට්‍ය නිෂ්පාදනයෙන් ඇත් වෙලා ද?

මම කළේ නාට්‍ය තුනයි. ඉදිකලය, මඟ මරුවෝ, අපේ යාළුවෝ ඇලඩින් මෙයින් ඉදිකලය 1975 ළමා නාට්‍ය උලෙළේ සම්මාන හතරක් දිනුවා. මඟ මරුවෝ නාට්‍ය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයක පරිවර්තනයක්. අපේ යාළුවෝ ඇලඩින් නාට්‍ය වේදිකා ගත වුණේ නෑ. මම වීඩියෝ කරණය පැත්තට යොමුවීම නිසාවෙන් නාට්‍ය නිෂ්පාදනය මගෙන් ඈත් වුණා.

 

සේයාරූ – මාලන් කරුණාරත්න

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT