නිවස විශේෂාංග මා කළ වටිනා නිර්මාණ මතු පරපුරට ඉතිරි වේවි

මා කළ වටිනා නිර්මාණ මතු පරපුරට ඉතිරි වේවි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී විනීතා කරුණාරත්න

by Thanushika
September 19, 2024 8:32 am 0 comment

ස්වකීය නිර්මාණ කාර්යය ඔස්සේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ මාහැඟි වූද සුන්දර තැන් ස්පර්ශ කරමින් රූපවාහිනී ප්‍රේක්ෂක මනස විචිත්‍ර මං පෙත් ඔස්සේ බුද්ධිමය ඉසවු කරා රැගෙන ගිය සුවිශේෂ නිර්මාණවේදිනියක ලෙස ටෙලි නිර්මාණ පිළිබඳ ජ්‍යේෂ්ඨ වැඩසටහන් අධ්‍යක්ෂවරියක වු විනිතා කරුණාරත්න හඳුනාගත හැකි ය.

ලාංකේය සාහිත්‍ය හා කලා ක්ෂේත්‍රය උදෙසා ජාතික රූපවාහිනිය ඔස්සේ ජ්‍යේෂ්ඨ වැඩසටහන් අධ්‍යක්ෂවරියක ලෙස ඇය ඉටු කළ කාර්‍යභාරය ප්‍රසංසනීයය.

විශේෂයෙන් ආලකමන්දාව, රිදී නිම්නය, සෙනෙහසේ නවාතැන ආදි ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණු වැඩසටහන් පිළිබඳ අධ්‍යක්ෂවරිය ලෙස දශක ගණනාවක් කටයුතු කළාය.

මේ මොහොත වන විට ජීවිතය ට එක් වරක් පමණක් හිමිවන සම්මානයක් වූ Iconic 2024 සම්මානයෙන් පිදුම් ලබා සිටින ඇය මෙබඳු අගැයීමකට ලක් වීම උදෙසා බලපෑ සිය නිර්මාණ දිවියේ සුවිශේෂ අවස්ථා පිළිබඳ මතක අවදි කළ අයුරු මේය.

ධ්ජධදඪජ 2024 ජීවිතයට එක්වරක් පමණක් හිමිවන සුවිශේෂ ඇගයීම පිළිබඳ මුලින්ම කතා කරමු.

මේ සම්මානය මගේ ජීවිතයට ලැබුණු සුවිශේෂම ඇගයීමක් ලෙස මම පිළිගන්නෙ. මම රූපවාහිනයට කළ මෙහෙවර මීට හේතු පාදක වන්න ඇති කියන අදහස තමයි මේ සම්මානය හිමිවීම පිළිබඳ මාගේ අදහසයි.

විශේෂයෙන් සිහිපත් කළොත් නුගසෙවණ ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරිය විදියටත් ඒ වගේම විද්‍යුත් නාලිකාවක ආරම්භ කළ ප්‍රථම ගීත දර්ශක වැඩසටහන (ගීත හත) වගේම විශේෂයෙන් ආලකමන්දාව කියන වැඩසටහන් මාලාව, එනම් ලාංකේය කලාකරුවන් පිළිබඳ කළ සුවිශේෂම චරිතපදාන වැඩසටහන් මාලාවත් ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සිට ගාමිණි ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, අමරදේවයන් ආදීන්ගෙන් සිට සුවිශේෂ ලාංකේය කලාකරුවන් රැසකගේ සහභාගීත්වය සහිතව වැඩසටහන් ඉදිරිපත් කිරීම එහිදී විශේෂයි.

මේ වෙනුවෙන් මා ලද ප්‍රථම සම්මානය මා ලැබුවේ 2007 වර්ෂයේ (සුමති සම්මාන) ප්‍රවීණ සංගීතඥ එච්.එම්. ජයවර්ධනයන් සමඟ කළ ආලකමන්දාව වැඩසටහන වෙනුවෙන්.

නැවතත් 2014 ජූරියේ විශේෂ ඇගයීම් සම්මානයක් වගේම

2017 ජනාධිපති සම්මාන මේ වැඩසටහන වෙනුවෙන් මට ලැබී තියෙනවා. මේ සම්මාන තුනම මට විශේෂයි. රූපවාහිනි මාධ්‍යයේ එකම වැඩසටහනක් වෙනුවෙන් වැඩිම සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියූ නිර්මාණකරුවකු විදියට මට එය ලොකු සතුටක්.

සිනමාව සංගීතය, සාහිත්‍යය, කලාව ඇසුරු කරන නිර්මාණකාරිනියක විදිහට මුල් යුගයේදී නම් මගෙ ප්‍රධාන විෂය වුණේ සංගීතයයි. පාසල් අවධියේ සිට සංගීත විෂයට වැඩි නැඹුරුවක් ඇතිව කටයුතු කළේ. ඒ ගමන් මඟ ඔස්සේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ ප්‍රථම පෙළ සාමාර්ථයක් සහිතව විශාරද උපාධිය ලබාගන්නා අතර විශාරද මාලිනි බුලත්සිංහල මහත්මියගේත් ඒ වගේම සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයාගේත් ශිෂ්‍යාවක් වන්නෙත් මේ දැඩි සංගීත නැඹුරුව නිසයි. මගේ පළමු රැකියාව සංගීත ගුරු වෘත්තියයි. කොළඹ ශ්‍රීමත් බාරොන් ජයතිලක විදුහලේ වසර දෙකක් මම ගුරු වෘත්තියේ නියැළුණා. හැබැයි ඔය අවධියේම තමයි මම නිවේදන කලාවට නැඹුරු වෙන්නෙත් ජාතික රූපවාහිනියේ, ඒ අතරේ දීම ගුවන් විදුලියේ සරල ගී, නුර්ති ගී ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

එපමණක් නොවෙයි ලේඛිකාවක් විදිහටත් මම කටයුතු කරන්න පෙලඹෙනවා. තරුණී, මිහිර, දිනමිණ ආදී පුවත්පත් ඇසුරේ විශේෂයෙන් තරුණී පුවත්පත සමඟ.

ඒ අතරතුර තමයි මම භාරත සිනමාවට හා සංගීතයට සමීප වෙන්නෙත්, ඒ ආදරය ඇසුර ඔස්සේ යන ගමන් මඟ තමයි මම සුහානි රාත් (සුන්දර රාත්‍රිය) කියන වැඩසටහන් මාලාව කරන්න පෙලඹෙන්නෙ. එහිදී මට විශේෂ අවස්ථාවක් ලැබෙනවා. දිලීප් කුමාර් සහ ලතා මගේෂ්කාර් පිළිබඳ වැඩසටහන් දෙකක් කරන්නත්. ඒ වගේම මට අවස්ථාවක් ලැබෙනවා, ඒ වැඩසටහන් දෙක ඔවුන්ට දකින්නට සලස්වන්නත්. එයත් ගොඩක් විශේෂයි.

ඒ වගේම රවි ශංකර් ෂර්මා කියන ඉන්දියානු සංගීත අධ්‍යක්ෂවරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු සම්බන්ධ කරගනිමින් ඒ වගේම ලස්සන වැඩසටහනක් කරන්නත් පුළුවන් වුණා. ඒ වැඩසටහනේදී මට පුළුවන් වෙනවා ආචාර්ය අමරදේවයන්, ජෝ අබේවික්‍රම, සිසිර ඉන්ද්‍රානි සේනාරත්න යුවළ ආදී කලාකරුවන් සම්බන්ධ කරගනිමින් සිංහල සහ හින්දි යන භාෂා දෙකෙන්ම ඒ වැඩසටහන කරන්න. ඒ වැඩසටහන වෙනුවෙනුත් මට රාජ්‍ය සම්මාන හිමිවනවා. ඒ වගේම ලංකාවට පැමිණෙන සුවිශේෂ සිනමාවේදියකු වන බුද්ධාදේව් දාස් ගුප්තා කියන බෙංගාලි සිනමාවේ විචිත්‍ර කවියා ලෙස හඳුන්වන සිනමාවේදියකු සමඟ කරන වැඩසටහන වෙනුවෙන් මා හට රාජ්‍ය සම්මානයක් හිමිවෙනවා. මේ විදිහට සෙනෙහසේ නවාතැන කියන වැඩසටහන් මාලාව, රිදී නිම්නය කියන සිනමාව පිළිබඳ වැඩසටහන් මාලාව මෙන්ම නුගසෙවණ ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන්න රූපවාහිනිය තුළ වටිනා අවස්ථා ගණනාවක් මට ලැබෙනවා.

ඔබ රූපවාහිනියට සම්බන්ධ වන්න මොන වගේ පසුබිමක් සමඟද?

ආචාර්ය හෙන්රි ජයසේනයන් මාර්ගයෙන් තමයි මට රූපවාහිනියට සම්බන්ධ වන්න පුළුවන් වෙන්නෙ. නිවේදිකාවක් විදියට. ඒ වගේම මම මගේ පළමු වැඩසටහන ඉදිරිපත් කරන්නෙත් එතුමා සමඟමයි. ඒ ‘පේ‍්‍රක්ෂක ප්‍රතිචාර’ කියන වැඩසටහන. නිවේදිකාවක් විදිහට.

ඒ අතරතුර තමයි රූපවාහිනියේ නිෂ්පාදකයන් බඳවා ගැනීමේ පරීක්ෂණයකට යොමු වී පුහුණු වන නිෂ්පාදන සහකාරවරියක විදිහට කටයුතු කරන්න පටන් ගන්නෙ, 1987 වර්ෂයේදී. ඒ අත්දැකීම් ඔස්සේ තමයි මම පසුව ස්වාධීනව නිර්මාණ කරන්න යොමුවන්නෙ. මගෙ පළවෙනිම වැඩසටහන් තමයි කවි මඩුව සහ කවි නඩුව කියන වැඩසටහන්.

ඉන් පසු පුෂ්පාංජලි, නිම්නාද ආදී වැඩසටහන්වලින් අනතුරුව ගී හත කියන තරමක් සුවිශේෂී වැඩසටහන ආරම්භ කරනවා. ලංකාවේ විද්‍යුත් නාලිකාවක විකාශය වන ප්‍රථම ගීත දර්ශක වැඩසටහන. එය ජනපි‍්‍රයතම වැඩසටහන් මාලාවක් බවට පත්වන අතර එහි වැඩසටහන් තුන්සියයක් කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒ වැඩසටහන් තුන්සියයම සේවාදායක වැඩසටහන්. ඒ වැඩසටහන ඔස්සේමයි අද ප්‍රකට ලේඛයකු විදිහට කටයුතු කරන මොහාන් රාජ් මඩවල එදා නිවේදකයකු විදිහට පේ‍්‍රක්ෂකයන්ට හඳුන්වා දෙන්නත් මට හැකියාවක් ලැබෙන්නෙ.

2005 වසරේදී තමයි මම ආලකමන්දාව වැඩසටහන් මාලාව ආරම්භ කරන්නෙ. ඒ වැඩසටහන විශාල කැපවීමක් ඔස්සේ කළ එකක්. අදාළ තොරතුරු ගවේෂණය සඳහා විශාල කාලයක් කැප කරමින් කළ වැඩසටහනක්. ඒ වගේම විවිධ පළාත්වලට යමින් විවිධ පසුතලවල මෙම වැඩසටහන් මාලාව කළේ. විශේෂයෙන් ආලකමන්දාව වැනි වැඩසටහනක් කරන්න හොඳ පිටපතක් අවශ්‍ය වෙනවා. ඉතින් මට මෙහිදී අමතක කළ නොහැකි විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් අපි අතරින් සමුගත් සුනිල් මිහිඳුකුල මහතා මේ අවස්ථාවේ මම සිහිපත් කළ යුතුයි. ඊළඟට මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, බන්දුල නානායක්කාරවසම්, පුෂ්කර වන්නිආරච්චි, අශෝක වීරසිංහ, ගාමිණි වේරගම, ජයලත් මනෝරත්න ආදීන්ගෙන් මේ වැඩසටහනට ලැබුණු ආලෝකය අමතක කළ නොහැකියි. මොකද හොඳ තිර පිටපතක් නිසා තමයි මේ වැඩසටහන් නිරන්තරයෙන් වඩ වඩාත් සාර්ථක වුණේ.

ඒ වගේම මගේ නිර්මාණ දිවියේදී හොඳ කැමරා ශිල්පීන් ආලෝකකරණ ශිල්පීන් මුණ ගැසී තිබෙනවා. දක්ෂ පටිගත කිරීමේ ශිල්පීන් වේශ නිරූපණ ශිල්පීන් සංස්කරණ ශිල්පීන් ඇතුළුව රියැදුරු මහතුන් පවා.

ක්‍රිෂාන්ත දයානන්ද ගේ හොඳ හඬ පෞරුෂය මේ වැඩසටහනට විශාල ආලෝකයක් වුණා. මොකද වැඩසටහනක ශක්තිය තියෙන්නෙ හොඳ හඬ පෞරුෂයක් එක්ක. ඒ වගේම ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ තේමා නිර්මාණයත් මේ සියල්ලේම එකතුවෙන් හොඳ වැඩසටහන් මාලාවක් රටට තිළිණ කරන්න මට පුළුවන් වුණා. ඒ සියල්ල මතු පරපුර වෙනුවෙන් මා ඉතිරි කළ දේවල්.

විද්යුත් මාධ්‍යය සමඟ දීර්ඝ කාලයක් කටයුතු කළ ඔබ විද්්‍යුත් මාධ්‍යය කොයි වගේ මාධ්‍යයක් විදිහට ද හඳුන්වා දෙන්නෙ.

ඒක මුද්‍රිත මාධ්‍යයට වඩා වෙනස්. ඒ වගේම එහි නමක් හදාගන්නත් කාලයක් අවශයි. බොහෝ දේ අධ්‍යයනය සඳහා කාලය අවශ්‍යයි. බොහෝ පිරිසක් ඇසුරු කළ යුතුයි. ජෝජ් කීට් මහතාගේ පුතු වන ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු වූ සචින් දත් කීට් තමයි මගෙ පළමු වැඩසටහන් අධ්‍යක්ෂවරයා වුණේ. ඔහු යටතේ තමයි මම සහය නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ. ඒ අවධියේ ලබාගත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් එක්ක තමයි මම දැනුමෙන් සන්නද්ධ වීමේ වටිනාකම් අවබෝධ කරගනු ලැබුවේ.

ඒ නිසා මම අනාගත පරම්පරාවටත් කියන්නෙ නිතරම කියවන්න රසවිඳින්න. ඒ තුළින් හොඳ නිර්මාණ අපට බිහි කරන්න පුළුවන්කම ලැබෙනවා.

මෙවැනි කාර්යයක නිරත වීමේදී නිෂ්පාදවරියක විදිහට මුහුණ දෙන ගැටලු කෙබඳුද?

නුතනයේදී සේවා දායකයන්ගේ අඩුව විශාල ගැටලුවක්. ඒ වගේම විවිධ වැඩසටහන් කරද්දි විශේෂයෙන් සිනමා වැඩසටහන් කරද්දි චිත්‍රපට කොටස් ලබාගැනීමේ ගැටලුව විශාල බලපෑමක් වෙනවා. රිදී නිම්නය ආලකමන්දාව සෙනෙහසේ නවාතැන වැනි වැඩසටහන් කරද්දි පැමිණි ලොකුම බාධකයක් තමයි ඒක. විශේෂයෙන්ම එකම චිත්‍රපටයට කීප දෙනෙකු සතුව හිමිකම් ඇති අවස්ථාවලදී අපිට මේ අර්බුදයට මුහුණ දෙන්න වුණා.

ඒ කොහොම වුණත් එබඳු හරවත් වැඩසටහන් නිර්මාණය කිරීම හා ඒවා සංස්කරණය කර තැබීම මඟින් තමයි ඕනෑම මොහොතක වර්තමාන පරපුරට සේම අනාගත පරපුරටත් ඒවායින් විශාල ප්‍රයෝජනයක් ලබා ගත හැකි වන්නේ.

නිර්මාණකරණයේදී එදා සහ අද දුටු වෙනස්කම් මොනවාද?

නිර්මාණකරවකු වේවා නිර්මාණයකට දායක වූ කෙනෙකු වේවා විශාල ඕනෑකමකින් හැඟීමකින් ඊට දායක වු බව තමයි අතීතය දෙස බලන සෑම මොහොතකම මගේ මතකයේ තිබෙන්නෙ. සෙනෙහසේ නවාතැන, ආලකමන්දාව වැඩසටහන් කරද්දි මම මේ අත්දැකීම හොඳින්ම ලැබුවා. එදා ඒ හැම දෙනෙක් පාහේ ස්ව කැමැත්තෙන් කිසිම දෙයක් අපේක්ෂා නොකර විශාල හැඟීමකින් මේ වැඩසටහන්වලට සහභාගි වුණේ. මොකද එදා මේ වාගේ නිර්මාණයකට සම්බන්ධ වන සෑම කෙනෙකුටම ලොකු වටිනාකමක් දැනුණා. තමන්ව සහභාගි කරගන්න වැඩසටහන පිළිබඳ ඒ වගේම තමන් සම්බන්ධ වන නිර්මාණ කාර්යය කෙබඳුද කියන එක ගැනත්. අදටත් මට මුණ ගැහෙන ඒ බොහෝ ශිල්පීන් මේ ගැන කතා කරනවා. මොකද ඉතා ලස්සන හැඩ ගැස්මක් තුළ අපි හැමකෙනෙක්ම මේ නිර්මාණ කාර්යයට දායක වූ නිසා. මේ වාගෙ වැඩසටහන් සඳහා සහභාගි වූ ශිල්පීන් හොඳින්ම තේරුම් අරන් තිබුණා, ඉතා කැපවීමෙන් කරන මෙබඳු වැඩසටහන් තමා පිළිබඳ කෙරෙන අනගි සංරක්ෂණ වැඩසටහන් බව. මට තවමත් හැකියාව තියෙනවා මෙබඳු වටිනා දේ කරන්න. ඒ වගේම ඒවා මතු පරපුරට ඉතිරි කරන්න.

ඒවා ඔවුන්ට වගේම මතු පරපුරටත් අතිශයින් වැදගත් නිර්මාණ විදිහට සංරක්ෂණය වේවි. ඉතින් ඒ සතුට ඒ මහන්සියට මිලක් නියම කරන්න අමාරුයි. එදා පරපුර නිතරම බැලුවේ තමන්ගෙන් දෙයක් රටට දෙන්න ඒක තමයි ලොකුම වෙනස.

ඔබ හොඳ නිවේදකයන් පිරිසක් බිහිකළ බවත් පැවසුවා?

ඔව් මගේ වැඩසටහන් ඔස්සේ එබඳු පිරිසක් බිහිවුණා. අද ඔවුනුත් පේ‍්‍රක්ෂකයන් ඉදිරියේ ඉන්නවා. මොහාන් රාජ් මඩවල, තනූජ් හේමන්ත, ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, ආචාර්ය නුවන් නයනජිත් කුමාර මගේ වැඩසටහන් කීපයක්ම මෙහෙයවා තිබෙනවා. රිදී නිම්නය සුහානී රාත් (සුන්දර රාත්‍රිය) ආදී වගේම සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා පිළිබඳ ජාතික රූපවාහිනියේ නිර්මාණය කෙරුණු සෙනෙහසේ නවාතැන වැඩසටහනේ පිටපත සහ මෙහෙයවීමයත් සිදුකළේ නුවන් නයනජිත් විසින්. ඒ වගේම චමිලා මංගලගම, වත්සලා සමරකෝන් (ඇය හින්දි කථිකාචර්යවරියක් විදිහට කටයුතු කරන කෙනෙක්.) වරක් ඇය සුමති සම්මානයට පවා පාත්‍ර වුණා. ඉතින් මට සතුටු වන්න පුළුවන්, ඒ වගේ දක්ෂයන් පිරිසකුත් මගේ මේ නිර්මාණ දිවිය තුළම රටට දායාද කරන්න ලැබීම ගැන.

මේ තාක් වූ මේ සෞන්දර්ය චාරිකාවේ ඔබේ නිර්මාණ අතර ඇගයීමට පාත්‍ර වූ විශේෂම අවස්ථා නැවත ආවර්ජනය කරන්න කැමතිද?

ඔව්. මේ වෙනකොට සම්මාන විසිහතරක් මා ලබා තිබෙනවා. ජාත්‍යන්තර සම්මානයක් ද සමඟින්. මේ විසිපස්වැනි සම්මානය Iconic 2024  සම්මානය.

මගේ පළමු සම්මානය 2007 මම ලැබුවේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් සමඟ කළ ආලකමන්දාව වෙනුවෙන්. (සුමති සම්මාන) 2014 නැවතත් මේ ආලකමන්දාව වෙනුවෙන්ම මම සම්මාන ලබනවා. එය ජුරියේ විශේෂ ඇගයීම් සම්මානයක්. ඊළඟට 2017 ජනාධිපති සම්මාන හිමිවුණා. වම් ඉවුරේ අහස්ගව්ව කියන, ආචාර්ය ධර්මසේන පතිරාජයන් වෙනුවෙන් කළ ආලකමන්දාව වැඩසටහන වෙනුවෙන්. ඊළඟට 2022 දී ලංකාවෙන්ම කලාව හා සාහිත්‍යය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ලද වනිතාභිමාන සම්මානයත් විශේෂයි. එම සම්මානය ඒ වසරේදී හිමිවුණේ මට.

මේ වසරේ සාරංගනාවී රන් සම්මානය සහ ජීවිතයට එක් වරක් පමණක් හිමිවන Iconic 2024 Life time  සම්මානය ලැබුවේ. මේ සියල්ල මට විශේෂයි.

 

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT