දේවනී සුරූපී තරුණියකි. ධනවත් ඉහළ පාංතික පවුලකට හිමිකම් කී ඇයගේ සිතුම් පැතුම්වල වෙනසක් දකින්නට තිබුණි. තම මව්පියන් අතර තිබූ මතභේද, ගැටුම් හමුවේ හැදී වැඩුණු ඇය විවාහයක් ගැන සිතන්නටවත් අකැමැති වූවාය. ආදරය කිරීමට, විවාහ වීමට, පවුල් ජීවිතයක් ගත කිරීම පිළිබඳ සිතන්නටවත් ඇය ප්‍රියතාවයක් දැක්වූයේ නැත. එහෙත් ඇගේ එම සිතුවිලි උඩුයටිකුරු වූයේ එක්තරා දිනෙක සිදුවූ සිදුවීමක් හේතුවෙනි. දිනක් ඇය ගම්බද පෙදෙසක සැරිසරනා විට ඇයට අපූරු තරුණයකු නෙත ගැටිණි. ඔහු වගීශ. එම හමුවීමත් සමඟ දේවනීගේ හදවත සොරාගැනීමට ඔහු සමත් වුයේය. ආදරය කිරීමට, විවාහ වීමට අකැමැත්තෙන් සිටි දේවනීව තමා වෙත නතු කර ගනිමින් ඇගේ සිතුවිලි ටිකෙන් ටික වෙනස් පැත්තකට යොමු කරගැනීමට වගීශ සමත් විය. එතැන් පටන් වගීශගේ ජීවිතය කෙබඳු වීද? දේවනී නමින් සිටි තරුණිය පසු කලෙක කල්කී නමින් පෙනී සිටියේ මන්ද? වගීශගේත් දේවනී ගේ ආදර කතාවට සිදුවූයේ කුමක්ද? මේ සියල්ලට පිළිතුරු සොයාගත හැක්කේ ‘ මාව මතකද’ නවතම ටෙලි සිත්තම ඔස්සේය. සතියේ දින පහේම රාත්‍රී 7.30 ට සිරස නාලිකාව ඔස්සේ විකාශය වන ‘මාව මතකද’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා මෙවර සරසවිය පිළිසඳරට පැමිණියේ ඔහුගේ කලා දිවියේ අත්දැකීම් සහ ‘මාව මතකද’ ටෙලි නාට්‍යයේ තොරතුරු සරසවිය පාඨකයන් සමඟ බෙදා හදා ගැනීමටය. කලක් තිස්සේ සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ඔහු අධ්‍යක්ෂකවරයෙක් ලෙස කලඑළි බසින්නේ ‘මාව මතකද’ ටෙලි නාට්‍යයෙනි. ඔහු දිනේෂ් හග්ගල්ල ය.
‘මාව මතකද’ මගේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. අවුරුදු විසිතුනක් මම සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරල තියෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අධ්‍යක්ෂකවරු සමඟ මම වැඩ කළා. රවීන්ද්‍ර විජේරත්න ඇතුළු ප්‍රවීණයන් සමඟ වැඩ කිරීමෙන් ලත් අත්දැකීම් බොහෝමයි. මේ දිනවල ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්ගේ ‘ අමුතු දීගේ’ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරනවා.
‘මාව මතකද’ ටෙලි නාට්‍යය නිර්මාණය කිරීම සඳහා වස්තු බීජය ලබා ගත්තේ ‘හායි නානා’ කියන තෙළිඟු චිත්‍රපටයෙන්. ගයනි අසිංසලා එහි තිරරචනය කළා. මගේ නිෂ්පාදකවරයා ලෙස නිම්නුවන් අත්තනායක කටයුතු කරනවා. ගයනී සහ නිම්නුවන් එකතු වෙලා මට මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්න භාර දුන්නා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ උදාරි වර්ණකුලසූරිය සමඟ දසුන් පතිරණ. මගේ ටෙලි නිර්මාණයට ශිල්පීන් තෝරාගැනීමේදී විශේෂත්වයක් තිබුණා. ටෙලි නාට්‍යයකට හෝ සිනමාපටයකට නළු නිළියන් තෝරා ගැනීම අසීරු කටයුත්තක්. වර්තමානයේ නළු නිළියන් ඉතා කාර්‍යබහුලයි. එහෙත් මට අවශ්‍ය ශිල්පීන් සම්බන්ධ කර ගැනීමේදී මට කිසිදු බාධාවක්, ගැටලුවක් මතුවුණේ නැහැ. විනාඩි විස්සක් වැනි කාලයක් ඇතුළත මට අවශ්‍ය සියලු ශිල්පීන් සම්බන්ධ කරගත හැකිවුණා. පුංචි දියණියගේ චරිතයට පණපොවන දියණිය හැර. මේ ටෙලිනාට්‍යය පුංචි දියණියක සිටින පියෙක් වටා ගෙතුණු කතාවක්.
‘ මාව මතකද’ සඳහා ජ්‍යේෂඨ සහ ප්‍රවීණ නළු නිළියන් මට සම්බන්ධ කරගැනීමට හැකිවීම භාග්‍යයක්. මන්ද මෙය මගේ පළමු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වූ නිසා. වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව කියන ක්ෂේත්‍රයන් ත්‍රිත්වයෙහිම දක්ෂතා පෙන්නුම් කරන ශිල්පීන් පිරිසක් මට තෝරාගැනීමට හැකිවුණා. උදාරි වර්ණකුලසූරිය , දසුන් පතිරණ , ශ්‍රියන්ත මෙන්ඩිස් , කුසුම් රේණු, ජගත් චමිල, සමිත සුගීෂ්වර , නිරෝෂන් විජේසිංහ, හර්ෂණ බෙත්මගේ ඇතුළු ප්‍රවීණයන් මගේ ටෙලි නිර්මාණය සඳහා දායක වී තිබෙනවා. මෙහි විශේෂ කාරණය සඳහන් කරනවා නම් උදාරී සහ දසුන් එක්ව පළමුවරට රඟපාන ටෙලිනාට්‍යය වන්නේ ‘ මාව මතකද’ ටෙලි නාට්‍යය. මෙම ටෙලි නිර්මාණයේ මුහුරත් උලෙළත් මට විශේෂයි. සාමාන්‍යයෙන් මුහුරත් උලෙළකට සම්බන්ධ වන්නේ ටෙලිනාට්‍යයට සම්බන්ධ ශිල්පීන්, නිෂ්පාදක, තිර රචක වැනි චරිත පමණයි. එහෙත් මුහුරත් උලෙළට මා මීට පෙර සම්බන්ධ වී වැඩකළ නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු ඒ අවස්ථාවට සම්බන්ධ වුණා. එය මට විශාල ශක්තියක් මෙන්ම ආඩම්බරයක්. චාමර සමරවික්‍රම, ජනක සම්පත් , ජානක සිරිවර්ධන, තරංග දිසානායක, රවීන්ද්‍ර විජේරත්න වැනි මට ශක්තියක් වූ චරිත එදින සහභාගී වුණා. මා ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ සිටම රවීන්ද්‍ර විජේරත්න මහතා මට විශාල සහයෝගයක් ලබාදුන් කෙනෙක්. ඒ වගේම තරංග දිසානායක මහතාත් මට හයියක් වූ චරිතයක්. ඔවුන්ගේ උපදෙස් , අනු දැනුම මට මේ තාක් දුර ගමනක් එන්න රුකුලක් වුණා. ඒ සැමගේ ආශීර්වාදය ‘ මාව මතකද’ ටෙලි නිර්මාණයට ලැබුණා.
මෙම ටෙලි නාට්‍යයේ මුල් අදියරේ කටයුතු පසුගිය දෙසැම්බර් මාසයේ ආරම්භ කළා. සිරස නාලිකාව එය විකාශය කිරීමේ අයිතිය භාර ගත්තා. මේ නිර්මාණයට ප්‍රචාරය ලබාදිය යුතුයි, උදව්කළ යුතුයි යන කාරණය මත සිරස නාලිකාව මේ සඳහා ඉදිරිපත් වීම විශේෂයි. සිරස නාලිකාවේ ධර්ම ශ්‍රී ඒකනායක , මංජුල සහ පුළිදු වැනි හිතවතුන් මට මෙම කාර්‍යේදී සහයෝගය දැක්වූවා.
ඒ වගේම මම සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරද්දී වගේ නෙවෙයි අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීමේදී මා වටා සිටින ශිල්පීන්ගෙන් මට ලැබුණ සහය උපරිමයි.එකම පවුලක සාමජිකයන් විදිහට කවුරුත් හොඳීන් වැඩ කළා. විශේෂයෙන් කැමරා අධ්‍යක්ෂ මංජුල අයියත් , නිෂ්පාදන කළමනාකරණය රනුකත් මට විශාල ශක්තියක් ඔවුන්.
නිෂ්පාදකවරයා ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔහු නිම්නුවන් අත්තනායක. ඔහුගෙන් ලැබෙන සහය උපරිමයි. මට මගේ නිර්මාණය නිදහසේ කරගෙන යාමට ඔහු ඉඩලබා දීම අගය කළයුතු කාරණයක්. ඔහු මට කිසිදු බලපෑමක් සිදුකරන්නේ නැහැ. ඔහු යෙදවූ මුදල් ප්‍රමාණය ඇතුළත මම මගේ නිර්මාණකාර්ය සිදුකරනවා. ඕනෑම නිර්මාණයක් සිදු කිරීමේදි නිෂ්පාදකවරයා යොදවන මුදල් ප්‍රමණය කළමනාකරණය කරගනිමින් එම මුදල ඇතුළත කටයුතු කිරීමේ හැකියාව මට තියෙනවා.
‘ මාව මතකද’ නාට්‍යයේ කොටස් ප්‍රමාණය තීරණය කර අවසන්. දිගින් දිගටම කොටස් ප්‍රමාණයේ වැඩි වීමක් සිදු වන්නේ නැහැ. මෙහි නියමිත කතා වස්තුවක් ගැබ්වී තියෙනවා. එසේ දිග්ගැස්සුණහොත් කතාවේ රසවත්භාවය ගිලිහී යනවා. අධ්‍යක්ෂණයේදී මා කරන නිර්මාණයේ ගුණාත්මකභාවයට හානියක් නොවෙන්න මම වගබලා ගන්න සැමවිටම උත්සාහ කරන කෙනෙක්. දිගටම ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් උසස් නිර්මාණ ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීම මගේ එකම බලාපොරොත්තුවයි. සිනමාවේත් මම සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීමෙන් ලත් දැනුමත් මගේ නිර්මාණය කිරීමේදී උපයෝගී කර ගත්තා. ලලිත් රත්නායක, බෙනට් රත්නායක සහ ප්‍රභාත් රෝෂන් වැනි ප්‍රවීණ අධ්‍යක්ෂකවරයන් සමඟ මට කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. ඒ ලද අත්දැකීම් මට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. මගේ පළමු අධ්‍යක්ෂණය වෙනුවෙන් මම බොහෝ වෙහෙස වී වැඩ කළා. අපි රූගත කිරීම් කළේ හපුතලේ සහ කොළඹ. පළමු වතාවට කැලිප්සෝ දුම්රියේ ටෙලිනාට්‍යයක් රූගත කිරීමක් සිදුකළේ මගේ ‘ මාව මතකද ‘ ටෙලි නාට්‍යයට. මින් පෙර ලංකාවේ ටෙලිනාට්‍යයක එවැනි රූගත කිරීම් සිදු කරල නැහැ. අපි මහන්සි වුණොත් පමණයි හොඳ නිර්මාණයක් බිහිකර ගත හැක්කේ.
මෙය ඉතා වාසනාවන්ත රැකියාවක්. කලාව හැමෝටම පිහිටන්නේ නැහැ. එහෙත් ක්ෂේත්‍රයට එන නවකයන් හරියාකාරව එය තේරුම් අරගෙන නැහැ. රංගනයත් හැමෝටම බැහැ. ප්‍රවීණයන් දුක්විඳලා මෙතෙක් කල් රැගෙන ආ කලාව පිළිබද නවකයන්ට අගයක් නැහැ. ඔවුන්ගේ ප්‍රශ්නය වන්නේ හරියාකාරව ඔවුන්ට ගුරුහරුකම් නොලැබීම. ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි. ක්ෂේත්‍රයේ හැසිරිය යුතු ආකාරය පැහැදිලි කර දිය යුතුයි. එය අප සතු වගකීමක්. අධ්‍යක්ෂකවරයෙක් ලෙස කලඑළි වූ මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. එකම වට්ටෝරුවකට කොටු නොවී විවිධාකාර තේමාවන් යටතේ ටෙලි නිර්මාණ බිහි කිරීමත් මගේ එක් අරමුණක්. ‘ මාව මතකද’ ටෙලි නාට්‍යයත් වෙනස් මඟක් ගත් නිර්මාණයක්. අපි හැමදාම දකින්නේ කාන්තාව මුල් වූ ටෙලි සිතුවම්. එහෙත් ‘ මාව මතකද’ ටෙලි නාට්‍යයෙන් කියවෙන්නේ තරුණ පියෙක් වටා ගෙතුණු කතාවක්. ඒනිසා එය ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වෙයි. සරසවිය පුවත්පත සමඟ එක්වී සිටි
න සෑම දෙනාගෙන්ම මා ඉල්ලා සිටින්නේ සතියේ දින පහේම රාත්‍රී 7.30 ට සිරස නාලිකාව ඔස්සේ විකාශය වන ‘ මාව මතකද’ ටෙලිනාට්‍යය අමතක නොකර නරඹන්න.
නයනාංජලි දෙහිපිටිය