නිවස සංවාද මාව නැවතත් කලාවට යොමුකළේ මගේ දෝණි

මාව නැවතත් කලාවට යොමුකළේ මගේ දෝණි

‘වියළි’ නිපදවූ දිලුපා නිරෝෂණී ද අල්විස්

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

දකුණු ලකේ අගනගරේ ගාලු පුරේ. කෙසේ කියන්දෝ, කෙසේ කියන්දෝ කියමින් ඇය තම ජිවිතය හොඳින් කියවයි. දකුණු ලකේ සුන්දර ගම්පියසක ඉපදුණු ඇය ප්‍රාථමික අධ්‍යාපනය තෙලිකඩ මහා විද්‍යාලයෙන් හදාරා පසුව කන්ද උඩරට පුරවරයේ දළදා සමිඳුන්ගේ පහස ලබමින් මහනුවර පුෂ්පදාන බාලිකාවෙන් විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවාය. පාසලේ අධ්‍යාපනයෙන් ලද ආභාසයත්, රූපවාහිනි මුතුහර ළමා සමාජයෙන් කලාවට පියවර තබන ඇය ජීවිතයට එන ඕනෑම ප්‍රශ්නයක් දිහා උපේක්ෂා සහගතව බලයි. පැන නගින ගැටලුවකට කල්තියා සුදානම් විමද ඇගේ ජිවිතේ කුඩා කල සිට රුගෙන ආ පුරුද්දෙකි. ඒ ඇය ලද අධ්‍යාපනය හා පවුල් පසුබිමේ අභාසයයි. වේදිකාව ටෙලි නාට්‍යය සිනමාව යන ත්‍රිත්වයම හොඳ ගමනක් යැම ඇගේ බලාපොරොත්තුවයි. වර්තමාන පිටපත් රචිකාවක් මෙන්ම නිෂ්පාදක පරපුරේ සිටින දක්ෂ නිර්මාණවේදනියකි. ඕනෑම නිර්මාණයකට හේ කැපකිරීම ඉතාම ඉහළයි. ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමෙන් සන්නද්ධ ඇය වර්තමාන නිර්මාණ කරළියට හොඳ ආදර්ශයකි. මේ සියලු දේවල් කැටිකර ගනිමින් මේ දිනවල ඇයගේ වේදිකා නාට්‍යයක් වන මාරක ළිඳේ සවාරියක් වේදිකාගතවීමද වියළි ටෙලි නාට්‍යය ජාතික නාළිකාවේන් ප්‍රේක්ෂකයන් වැලඳ ගැනීමද සුවිශේෂි කරුණක් වේ. මේ දිලූපා නිරෝෂණී ද අල්විස්ගේ අලුත්ම නිර්මාණයන් පිළිබඳ සරසවිය සමඟ කළ කතාබහයි.

මුලින්ම ක්ෂේත්‍රයට අවතීර්ණ වීම ගැන කතා කළොත්?

මගේ මුල්ම ආගමනය සිදුවෙන්නේ පාසල සහ 1004 රූපවාහිනී මුතුහර ළමා සමාජයට එක්විමත් සමඟයි. මේ ගමනේ පිටුපස සංස්කරණ ශිල්පී ගාමිණී විජේතුංග මගේ ළඟින් සිටියා. ඔහු මගේ ඥාතිවරයෙක් රූපවාහිනි සංස්ථාවේ සේවය කළ. එදා ඇතිවුණු සම්බන්ධ තාවය කලාවත් එක්ක මගේ මේ ගමනේ දිගු ඉතිහාසයකට කතන්දරයක් වගේ මාලයක් ඇමිනුණා.ජීවිතයේ අපි ගොඩක් දේවල් ලබා ගන්නේ හා විඳීන්නේ කුඩා කාලයේ. ඒ සුන්දර පුංචි අතීතයත් සමඟ මගේ ගෙවුණු අතීතය හරිම කෙළිලොල්. කුඩා කාලයේ දකුණු පළාතටත්, තරුණියක ලෙස ජීවිතයේ පටන් ගන්න විට කන්ද උඩරට පළාතටත් මගේ ජීවිතය සමබරව ගත කරන්නට සිදුවුණා. කන්දේ ගෙදර සහ පළිගු මැණිකේ වැනි ටෙලි නාට්‍ය ගොඩක්ම ඉවහල් උණා මේ ගමන මට එන්නට, උසස් අධ්‍යාපනයෙන් පසු වසර හතක් පමණ කාලයක් රජයේ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ රැකියාවක නිරතවීමෙන් පසු, විවාහයෙන් අනතුරුව රැකියාවට සමුදුන්නද. ඒ ගමන නැවත මාව කලාවට යොමු කරන්නේ මගේ ආදරණීය දෝණියි. ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයගේ බල කිරීම මතමයි කලාවට නැවත පියවර තබන්නට පෙලඹුණේ. මේ ගමනේදී තමයි චාලක රණසූරිය සමඟ එක්වී ‘අ’ යට කණ්ඩායමක් හැටියට අපි ගොඩනැගුණේ. ඒ ආපු වේදිකා නාට්‍ය කලාවත් සමඟ අද වියළි ටෙලි නාට්‍යය නිෂ්පාදිකාව ලෙස දිගු ගමනක් දක්වා මම පියවර තැබුවා.

නිෂ්පාදිකාවක් ලෙස ඔබ ගමන පටන් ගන්නේ වේදිකාවෙන්ද?

මම මුලින්ම 2016 වසරේ චාලක රණසූරියගේ “මාරක ළිඳේ සවාරියක් “වේදිකා නාට්‍යයේ නිෂ්පාදිකාව ලෙස නිෂ්පාදන කටයුතු අරඹන්නේ. මේ වන විට වසර අටකටත් වැඩිය කාලයක් ගෙවී ගොස් තිබෙනවා. 2016 දී ආරම්භ කරපු ගමන අද මම ටෙලි නාට්‍ය දක්වා ආපු ගමනත් ආපස්සට හැරිලා බලන විට හරිම සතුටුයි. මේ ගමනේ පිටුපස මට යෝධ ශක්තියක් වුණ කණ්ඩායමක් ඉන්නවා මගේ ගෙදර පවුලත් එක්ක. ඒක මම ලබපු භාග්‍යයක් කියලයි මට දැනෙන්නේ.

දිගු නාට්‍යයෙන් පසු ඔබ කෙටි නාට්‍ය නිෂ්පාදනයටත් එකතු වෙනවා නේද?

කෙටි නාට්‍ය නිෂ්පාදනයටත් එකතු වෙන්නේ මම ඇත්තටම චාලක රණසූරිය ලියපු “ජොයින්ට්” කෙටි නාට්‍යයත් සමඟයි. වේදිකා නාට්‍යය හෝ ටෙලිනාට්‍ය හා සිනමාව යන ත්‍රිත්වයේම නිෂ්පාදිකාවක් හෝ අධ්‍යක්ෂකවරයකුට ලැබෙන සම්මානයක් තරම් වටිනා දෙයක් තවත් නෑ. නිර්මාණයක් වෙනුවෙන් නිර්මාණවේදීන් ඇගයීමට තියෙන එකම සලකුණ එයයි. මුදල් හදල් වලින් නිර්මාණයේ වටිනාකම මනින්න බැහැ. පනස් වැනි රාජ්‍ය නාට්‍යය උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ ජොයින්ට් නාට්‍යයටත් සම්මාන ත්‍රිත්වයක් හිමිවුණා. ජොයින්ට් කියන්නේ රාජ්‍ය නාට්‍ය උළෙලක සන්ධිස්ථානයක් කියලයි මම දකින්නේ. ඒ වගේම තමයි පනස් වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු හා කෙටි නාට්‍ය ද්විත්වයෙන්ම සම්මානයට පාත්‍රවීමට හැකිවීමද මට ජීවිතේ ලැබුණු සුන්දරම අත්දැකීමක් සහ නිර්මාණවේදියෙකුට සභාවක් ඉදිරියේ ජීවිතයේදී ඔහු හෝ ඇය ඇගැයීම තමයි වටිනාම දේ. එය ලබන්නත් මම අදහන ආගම දහම අනුව පින් කරලා තියෙන්න ඕන කියලයි මම හිතන්නේ.

පනස් වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඔබ නිෂ්පාදනය කළ නාට්‍යය හොඳම නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පිදුම් ලබනවා නේද?

නිෂ්පාදිකාවක් හැටියට නිහතමානී ආඩම්බරයක් ඇත්තටම තියෙනවා. රාජ්‍ය නාට්‍යය උළෙලකදී හොදම නිෂ්පාදිකාව ලෙස සම්මානයකට පාත්‍ර වෙනවා කියන්නේ. එයට දායකත්වය දක්වපු සියලු දෙනාම ජයග්‍රහණයකින් ලෙසයි. ජීවිතේ එන ඕනෑම ප්‍රශ්නයකට තනියම මුහුණ දෙනවාට වැඩිය සමූහයක් හැටියට එකතුවී මුහුණදීම ජයග්‍රහණයේ දොරටු විවර කරන බවයි මම අහල තියෙන්නේ. සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යය ජයග්‍රහණය හරිම සුවිශේෂී අවස්ථාවක් වුණා. මම මේ ගමනට පිවිසෙන්නේ චාලක රණසූරිය නිසාමයි. ඔහු තමයි මගේ ගුරුවරයා ලෙස මම දකින්නේ. ඔහුගේ පිටපත් රචනයත් සමග අධ්‍යක්ෂණය කළ සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යය වසරේ හොඳම දිගු නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය ඇතුළු සම්මාන හයක් හිමි කර ගැනීමට අපේ කණ්ඩායමට හැකි වුණා. මගේ ජීවිතේ ලබපු ලොකුම සතුට එදා වෙන්න ඇති. මේ නාට්‍යයට උරදුන්න සියලූම රංගන ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීන්ට ‘අ’ යට කණ්ඩායමක් හැටියට මගේ හෘද අංගම ස්තූතිය පුද කරනවා.

ඔබේ ගමන් මඟේ මූලික අවධානය යොමු කරන්නේ ඔබ ටෙලිනාට්‍යය හෝ සිනමාවටවත් නොව වේදිකාවට නේද?

මගේ මුල්ම ආගමනය සිදුවන්නේ වේදිකාව නිසායි. ඒ නිසා මම වේදිකාවට ආදරය කරනවා. මේ වන විට දර්ශන වාර හැත්තාවකටත් වඩා වැඩි ප්‍රමාණයක් වේදිකාගත කරලා තියෙන සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. සවිඥානක ඤාණය ස්පර්ශ කරන්න පුළුවන් හොඳම මාධ්‍යයක් හැටියට වේදිකාවයි තියෙන්නේ. දැනුම හොයන සහ දැනුම ලබාගන්නට උත්සාහ කරන සියලු දෙනාගේම තෝරාගැනීමත් වේදිකාවයි. ඒ නිසා මගේ වැඩි රුචිකත්වයක් වේදිකාව වෙත තියෙනවා. මේ දිගු නාට්‍ය වසර එකහමාරක් වැනි දිගු කාලයක් ගෙවා දමා තිබෙනවා දැනටමත්, වේදිකා නාට්‍යය අතින් බලපුවාම එය දිගු කාල පරාසයක් වෙනවා. දක්ෂ රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක් බිහිවෙන්නෙත් වේදිකාව මතයි. ඒ ගමන අරඹපු සියලු දෙනා තමයි අද ටෙලි නාට්‍යයත් වේදිකාවත් ස්පර්ශ කරන්නේ. විශේෂයෙන් මගේ වියළි ටෙලි නාට්‍යයේත් ඉන්න බහුතරයක් වේදිකාව තුළ දස්කම් පැව ප්‍රවීණයන්.

අ, යට කණ්ඩායමත් සමඟ එකතු වී ඔබගේ පිටපත් රචනය මොන ආකාරයෙන්ද සිදුවෙලා තියෙන්නේ.?

අ, යට කණ්ඩායම සමඟ මම ගොඩක් පිටපත් රචනා මේවන විට කරලා තියෙනවා. කොළඹ ඉතාලිය, සිහින ගෙනෙන කුමාරිය වැනි ටෙලි නාට්‍යයත්, හඳට හැතැම්මක්, සිටුවර පුවත දෙක විකාශනය වෙන්න තියෙනවා. ඊට අමතරව වේදිකා නාට්‍යයේ කීපයකටත් අපි මුල පුරලා තියෙනවා.

වේදිකාවට වැඩිය ටෙලිනාට්‍ය අවදානමක් තියෙනවා කියලා දැන දැනත් ඇයි ඔබ නිෂ්පාදිකාවක් ලෙස ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට අත ගැහුවේ?

මගේ ජීවිතයේ නිර්මාණයකට අත ගහපුවාම මට අවදානමක් තියෙනවා කියලා කොයිම මොහොතකවත් දැනිලා නැහැ. අපි ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණ කරනවා නම් ඕනෑම ක්ෂේත්‍රයක අවදානමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නිෂ්පාදිකාවක් හැටියට හොඳ නිෂ්පාදනයක් කිරීම තමයි මගේ කාර්යභාරය වෙන්නේ. මම නිෂ්පාදනය කරපු බොහෝ නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තා ඒ හා සමානවම සම්මානද ලැබුවා. ඒ නිසා එහි අවදානමක් මට දැනුණේ නෑ කොයිම මොහොතකවත්. අධ්‍යක්ෂකවරයකුට හෝ නිෂ්පාදිකාවකට තියෙන එකම අභියෝගය තමයි මම දකින විදිහට ටෙලි නාට්‍යයක් කළාට ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් හමුවට ගෙනියන්නේ මොන නාලිකාවෙන්ද කියන එක. ටෙලි නාට්‍ය පෙන්වන එක තමයි ලොකුම අමාරු කාර්යය කියලයි මම දකින්නේ. නිර්මාණකරුවන්ට තියෙන ප්‍රධානම අභියෝගයත් එයයි. අද හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න නාලිකා අතර තියෙන්නේ තරඟයක්. දැනට පවතින ක්‍රමවේදයට අනුව නාලිකාවක් ටෙලි නාට්‍යයක කොටස් පහළොවක් මූලික අදියරේ රූපගත කිරීම් අවසන් කොට තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ තෝරන පිරිසගේ රුචිකත්වය මතයි මේ සියලු දේවල් සිදුවෙන්නේ කියන එක මම අවබෝධ කරගත්තෙත් මගේ වියළි නිෂ්පාදනයේදීමයි. අවදානමක් ගෙන නිෂ්පාදනයක් කිරීම ඒ නිෂ්පාදනය සාර්ථකත්වය බවයි මම හැමවෙලේම දකින්නේ.

රූපවාහිනී 8.30 විකාශන කාලය ගැනීම තරමක් අභියෝගයක්, වුණා නේද දිලූපාගේ වියළි එයට මුහුණදී ජයග්‍රහණය කිරිම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ඒ ගැන මගේ හිතේ තියෙන්නේ නිහතමානීව සතුටක්. මට විතරක් නෙවෙයි මගේ කණ්ඩායමටම තියෙන්නේ ඒ සතුටයි. වියළි කියන්නේ මගේ ජීවිතේ ටෙලි නාට්‍ය කලාවේ පළමු පියවර ලෙසයි. ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් ලෙස පළමු පියවර තැබීමත් ජාතික නාලිකාවේ ප.ව. 8.30 බෙල්ට් එක ගන්නවා කියන එකත් මම ලබපු ලොකු සතුටක්. විවිධ නාලිකා එන්න ඉස්සෙල්ලා අපිට තිබ්බ නාලිකා දෙක අතරින් ජාතික නාලිකාව ප.ව.08.30 කාල හෝරාව තුළදී ටෙලිනාට්‍ය කලාවට ඉටුකළ මෙහෙවර පැසසුමට ලක් කළ යුතුයි. කන්දේ ගෙදර, පළිඟු මැණිකේ, යශෝරාවය, දූ දරුවෝ වැනි ගුණාත්මක බවින් වැඩි ටෙලි නාට්‍ය කලාවක් රසවින්දා නම් ඒ සැබවින්ම ජාතික නාලිකාවෙන් පමණයි. ඒ ගණයට වැටෙන ටෙලි නාට්‍යයක නිෂ්පාදිකාවක් වීමටත් ලැබීමත් මම ලද භාග්‍යයක්. මේවන විට වියළි නිර්මාණය ගැන සමාජයේ කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇහෙන කියන දේවලුත් එක්ක මට හරිම සතුටක් තියෙන්නේ. ප්‍රේක්ෂකයා නිර්මාණයක් තුළින් ඉල්ලන දේ දෙන්න පුළුවන් නම් නිර්මාණකරුවන් ලෙස අපි ලොකු ජයග්‍රහණයක් ලබලා තියෙනවා. සත්‍ය සිදුවීම් අලළා නිර්මාණය කරන පිටපත් හරිම රසවත්. නිර්මාණයක් බිහි කිරීමේ බලාපොරොත්තුවක් නිෂ්පාදකවරයකුට හෝ නිෂ්පාදිකාවකට තියෙන්නේ එහි ගුණාත්මක බව රැකෙන අයුරින් සමාජගත කිරීම තුළින් පමණයි. මේ නිර්මාණයේ නිෂ්පාදිකාව වීමට මට ලැබීමේදී ලොකුම සතුට තිබ්බේ මා ප්‍රිය කළේ ප්‍රවීණ ලේඛිකාවක් වන ශාන්ති දිසානායකගේ දඩමංකඩ නවකතාව පාදක කර ගැනීම හා එහි අනුභූතියට හානි නොකර සමන්ත කුමාර කාලයට උචිත අයුරින් පිටපත් රචනය කිරීමයි. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මෙහි රංගනයේ යෙදීම

වියළි ටෙලි නාට්‍යයට ඔබ අත ගසන්නේ දෙවන අදියරේදී එයත් ඔබට අභියෝගයක් වුණා නේද?

වියළි කියන්නෙම මට අභියෝගයක් ගෙන දුන් දෙයක්. වියළි ටෙලි නාට්‍ය මගේ අතට ලැබෙනකොට මූලික කොටස් දහසයක් සම්පූර්ණ කරලා තිබ්බේ. නාළිකා කිහිපයකටම නිර්මාණය විකාශය කරන්න බාරගන්නවා බාරගන්නවා කියලා තිබුණත් ඔවුන් හැරෙන තැපෑලෙන් එයට දොරගුළු දමා තිබුණා.ඉන්පසුව තමයි ජාතික නාලිකාව මෙය භාරගත්තේ. රූපගත කිරීම් කරන දර්ශන තල පවා මම භාර ගන්නා විට විනාශ වී ගොස් තිබුණා. ඒවා නැවත සකස් කරලා දෙවන අදියර ආරම්භ කරන්න නව නිර්මාණයක් ආරම්භ කරන්න දරණ මූල්‍යමය පිරිවැයම දැරීමට මට සිදු වුණා. ඒ නිසා තමයි අදටත් මම කියන්නේ වියළි මට තබපු අභියෝගයක් කියලයි. කොළඹින් පිට තිස්සමහරාම වැනි ප්‍රදේශයක හදල තියෙන සියලූම දර්ශන තලවලට වල් අලින් පහර දීලා විනාශ කළා. එහෙම දේවලුත් සිද්ධ වෙලා නිර්මාණයට තියෙන ආසාවට මම නිෂ්පාදනය මඟහැරියේ නැහැ. අභියෝග එන්න එන්න තමයි ශක්තිමත් වෙන්නේ කියන එක මම මුලිනුත් කිව්වා. ඒ නිසා අභියෝග ආපු තරමට නිර්මාණය සාර්ථක වෙනවා. වල් අලි පහර දීලා නැවත හදපු දර්ශන තලවලටත් හානි සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අද ජාතික නාලිකාව ප්‍රේක්ෂකයන් වැලඳ ගන්න තැනට මම වියළි ගෙනත් තිබෙනවා.

වියළි ටෙලි නාට්‍යයට ඔබට ආරාධනාව ලැබෙන්නේ කොහොමද?

දෙවන අදියරේ නිෂ්පාදිකාව ලෙස මට ආරාධනාව ලැබෙන්නේ එහි අධ්‍යක්ෂවරයා වන චන්දන සූරිය බණ්ඩාරගෙන්. ටෙලිනාට්‍යයට මුල පුරන්නට ප්‍රථම මම අවධානය යොමු කළේ නළු කාර්ය සම්බන්ධවයි. සම්මානනීය රංගන ශිල්පීන් සමූහයක් මෙබයට දායකත්වය දක්වන නිසාත්, වේදිකාව හොඳට පරිශීලනය කළ ශිල්පීන් නිසාත් කැමරා අධ්‍යක්ෂකවරයා අන්තර්ජාතික මට්ටමේ සම්මානලාභියෙක් නිසාත් අධ්‍යක්ෂකවරයා අලුත් අධ්‍යක්ෂකවරයෙක් කියන සංකල්පය මා තුළ ඇතිවූයේ නැහැ. ඒ නිසා එයට දායක වනඅනෙකුත් ශිල්පීන් ගැන තිබූ විශ්වාසය නිසා මම මෙහි අභියෝගය බාර ගත්තා, එයට ඇරුණාම මෙහි සිටින ප්‍රවීණ කාර්මික ශිල්පීන් ගැන මට තිබුණු විශ්වාසය දැඩියි.සමන්ත කුමාරගේ තිර පිටපතේ තියෙන රසවත් භාවය මාව ඉදිරියටම ඒ නිසා රැගෙන ගියා. ඒවගේම තමයි මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වන දර්ශන රුවන් දිසානායක සහාය අධ්‍යක්ෂකවරයා චමින්ද උඩුවෙල, කලා අධ්‍යක්ෂක මංජුල අයගම ඇතුළු කණ්ඩායම මේ ටෙලි නාට්‍ය වෙනුවෙන් නොපිරි හෙළා වැඩ කටයුත්තක් කරනවා. ඒ නිසා අද වන විට ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින් ඉහළ තැනක තියෙන්නේ වියළී. ගොඩක් දෙනෙක් කියන්නේ ජාතික නාලිකාවට හඳක් පෑයුවා වගේ කියලයි මේ කාලේ වියළි.ඒ නිසා මම නිෂ්පාදන කර්තව්‍යයේ හොඳ සමාජගත කිරීමක් කලා කියලා සතුටුයි.

ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වු ඔබ කැමැති කාලසීමාවක් තුළ විකාශය වන ටෙලි නාට්‍යයට ද දිගු ටෙලි නාට්‍යයට ද?

කවුරුත් නොදන්න දෙයක් තමයි මගේ පළමු ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරන්න හිටියේ ජගත් චමිලයි. ඒත් එයට ඉස්සෙල්ලා මට මේ ටෙලි නාට්‍ය ලැබුණා. නිර්මාණයක ගුණාත්මක භාවයක් තිබෙන්නේ කාලසීමාවක් තුළ විකාශය වන ටෙලි නාට්‍යයට පමණයි. දිගු ටෙලි නාට්‍ය කලාවේ, නිර්මාණකරණය ගුණාත්මක බවින් අඩුයි කියලයි ප්‍රේක්ෂක මතය තිබෙන්නේ. මමත් එයට එකඟයි. මම ගුණාත්මක බවින් නිර්මාණකරණයේ යෙදෙන නිසා කාලසීමාවක් තුළ විකාශය වන නිර්මාණ තමයි මාතින් නිෂ්පාදනයට සහ තිර පිටපතක් රචනා වෙනවා නම් රචනා වෙන්නේ. ප්‍රේක්ෂකයාගේ දැඩි උනන්දුව තිබෙන්නේ වියළි වගේ ටෙලි නාට්‍යයකටයි. ඒ නිසා ගුණාත්මක බවින් නිර්මාණකරණයේ යෙදීම ඕනෑම කෙනෙකුට වටින්නේ.

ඔබේ මීළඟ පියවර සිනමාව නේද?

ඕනෑම පිටපත් රචකයකුගේ, අධ්‍යක්ෂකවරයෙකුගේ සිහිනය මොකක්ද කියලා ඇහුවොත් දෙන එකම උත්තරයයි. තියෙන්නේ, ඒ සිනමා පිටපතක් රචනා කිරීමත් සිනමා පිටපත අධ්‍යක්ෂණය කිරීමත් ඇරුණාම නිෂ්පාදකවරයෙකුගේ බලාපොරොත්තුවත් සිනමාවම තමයි. මගේ ඊළඟ බලාපොරොත්තුවත් සිනමාවට පියවර තැබීම තමයි. නිර්මාණවේදිනියක ලෙස මා ආ ගමනේ පියවරෙන් පියවර මගේ ගමන තිබෙන්නේ. ඒ නිසා පෙරළගෙන පොරකාගෙන යන ගමනක් මා තුළ නැහැ. මගේ ගමන හරිම හිමිට සිදුවෙන්නේ. නිර්මාණවේදියා හැමවිටම ඉවසිලිවන්තව කටයුතු කරන්නේ. ඉවසීම කලාවේ භාවනාවයි. මේ සෑම නිර්මාණයකම එයයි මා විඳීන්නේ. අද මම නිෂ්පාදකවරියක් ලෙස ඉන්නවා නම් ඉන්නේ චාලක රණසූරිය සහ චන්දන ලියනගුණවර්ධන මට දුන්න සහයෝගය මතයි. ඔවුන් දෙපළ මම ආදරයෙන් සිහිපත් කරනවා . “අ යට “සියලු දෙනා ඇතුළුව මට සහයෝගය දක්වන සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා මාව මෙතනට ගෙනාවට. වියළි ටෙලි නාට්‍ය විකාශය වීමෙන් පසු නව නිර්මාණ කිහිපයකටම දායක වෙන්නට බලාපොරොත්තු වෙනවා.

 

[email protected]

 

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT