මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ සහ සුරන් දසනායක සම්මාන ලබති
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ, නුදුරේම තිරගත වීමට නියමිත ‘මාරියා’ වියට්නාමයේ හැනෝයි නුවරදී පසුගියදා පැවැති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශය නියෝජනය කරමින් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීම හැකිවිය. චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන්වන මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරි කුමාර, දසුන් පතිරණ සහ සුරන් දසනායක මෙලෙස සම්මානයට පාත්‍ර විය. එම සම්මානය පසුගිය දින ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් අතින් කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් හට පිරිනැමීය. අප අතරින් අකාලයේ සමුගත් චරිතාංග රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ්ට හිමි සම්මානය ඔහුගේ පවුලේ ඥාතීන් වෙත ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි සහ චිත්‍රපට අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන සහ රංගනයෙන් එක්වූ රංගන ශිල්පීන් විසින් පිරිනැමිය.
මාරියා’ රුසියාවේ පැවති යල්ටා අන්තර්ජාතික සිනමා උලෙළ යුරේෂියන් බ්‍රිජ් (Yelta Eurasian Brige) සම්මාන උලෙළේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවති 15 වන ජායිපූර් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේදී ග්‍රීන්රෝස් සම්මානය ද හිමි කරගත් අතර, චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික සම්මේලනය (International Federation Of Film Producers Association), , රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ සහ ලොව ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික සිනමා උලෙළක් ලෙස සැලකෙන, ආසියාවේ පැරණිතම සිනමා උලෙළ වූ 54 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ තරඟකාරී අංශයේ සඳහාද ‘මාරියා’ නිර්දේශව ඇත.
මාසයකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම මහ සයුරේ රූපගත කළ ‘මාරියා’ කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස්, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, සහය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි සහ චිත්‍රපටයේ රංගන ශිල්පීන් , ගීත රචනයෙන් අරුණ ජයවර්ධන සමගින් අංජලී බුදවත්ත ජයවර්ධන එක්ව ඇති ‘මාරියා’ ඉන්ද්‍රජිත් පෙරේරාගේ නිෂ්පාදනයකි.
