සිංහලයේ තවත් ඉතිහාස කතා පුවතක් රැගත් සිනමා සිත්තමක් පසුගිය ඔක්තෝම්බර් දහ අටදා සිනමා තිරය මත දිගහැරුණි එය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරයන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වූ ශ්‍රී සිද්ධා සිනමා සිත්තමයි.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයට පාදක වී ඇත්තේ තඹ සන්නසක් පිළිබඳ කතා වස්තුවකි. එය ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළේ කෝරලේ පනා කඩුව ගම්මානයේ තිබී සොයා ගත් තඹ සන්නසකි. පනාකඩුව තඹ සන්නස නමින් එය අදටත් හඳුන්වනු ලබයි.
පනාකඩුව තඹ සන්නස ලියවා තිබෙන්නේ පළමු වන විජයබාහු රජතුමා විසිනි.
ශ්‍රී ලංකාද්වීපය චෝල ආක්‍රමණිකයන්ගෙන් බේරාගත් ශ්‍රේෂ්ඨතම නරපතියෙක් වූ පළමු වන විජයබාහු රජු නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවූ නාමයකි.
එවන් වූ ශ්‍රේෂ්ඨ චරිතයක්ට පණ පොවන්න නිර්මාණයක් තුළින් හෝ අවස්ථාවක් ලැබීම රංගන ශිල්පියෙකුට තම රංගන ජීවිතයේ ලැබෙන දැවැන්ත ජයග්‍රහණයකි.
ඒ ජයග්‍රහණය ලද වාසනාවන්ත රංගන ශිල්පියා අද සරසවිය සමඟින් එකතු වූයේ ශ්‍රී සිද්ධා චිත්‍රපටය පුරාම ඔහු ලද අත්දැකීම් සහ ශ්‍රී සිද්ධා සිනමා සිතුවම පිළිබඳ තොරතුරු ඔබ හමුවේ තබන්නටයි.
ඔහු යොවුන් රංගන ශිල්පී දිනෙත් ද සිල්වායි.
දිනෙත් සතුව ඇත්තේ රජෙකුට සරිලන පෙනුමක්. රජෙකුට ගැළපෙන සිරුරකි. ඔහුගේ හඬ තේජාන්විතය. කතාව සෘජුය.
කෙසේ ඔහුව වර්ණනා කළත් දිනෙත් ද සිල්වා යනු නිහතමානී තරුණයෙකි.
ශ්‍රී සිද්ධා මංගල දර්ශනය දින ලද ඉහළ ප්‍රතිචාරත් මේ වනවිටත් ලැබෙන ප්‍රතිචාර හමුවේ ඔහු සිටින්නේ දැඩි සතුටකිනි.
“එදා ලැබුණු ප්‍රතිචාර ඉතාමත් හොඳයි. පැමිණ සිටි අමුත්තන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. සිනමා ක්ෂේත්රයට සම්බන්ධ අය, මාධ්‍ය හිතවතුන්, සම්භාවනීය අමුත්තන් ඇතුළු පැමිණි අනෙකුත් අයගෙන් ලැබුණ ප්‍රතිචාර අගය කොට සලකනවා.
මේ චිත්‍රපට තිරගතවනතුරු අපි කාලයක් බලා ගෙන හිටියා දකින්න හරි ආසාවෙන් හිටපු චිත්‍රපටියක්.”
“ ඒ වගේම තමයි චිත්‍රපටයක තිබිය යුතු සෑම ලක්ෂණයක්ම මෙහි ගැබ් වෙලා තිබුණා.”
“බොහෝ කැපවීමක් කළ චිත්‍රපටයක් නිසා තවමත් ලැබෙන ඉහළ ප්‍රතිචාර ගැන ඉතා සතුටින් ඉන්නේ.”
චිත්‍රපටයකට අදාළ චරිත සඳහා ගැළපෙන චරිතට තෝරා ගැනීමද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. චිත්‍රපටයේ එන භූමිකාවන් සඳහා නිසි රංගන ශිල්පි ශිල්පිනියන් තෝරා ගැනීමේදී එහි වගකීමට උර දරන්නේ අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන්ය. සිනමා නිර්මාණයකට සාර්ථක වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන සාධකය එයට දායකත්වය සපයන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ය.
“ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ විජයබාහු රජතුමාගේ චරිතය මට ආරාධනා ලැබෙන්නේ තුසිත විජේසේන මහතාගෙන්. එතුමා කැන්ඩි සිටි සෙන්ටර් හි නිර්මාතෘ.”
“ මීට වසර කිහිපයකට පෙර සාර්ථක ලෙස තිරගත වූ ආලෝකෝ උදපාදී චිත්‍රපටය නිෂ්පාදනය කළේ එතුමා.”
“එහි මම රංගනයෙන් දායක වුණා.”
“එදා මගේ රඟපෑම මගේ හැඩරුව නිර්මාණය වෙනුවෙන් මම කරන කැපවීම දැකල තමයි එතුමා මුලින්ම මම ගැන පැහැදිලා තියෙන්නේ.”
“එතුමා තමයි තීරණය කරලා තියෙන්නේ මාව විජයබාහු රජ චරිතයට ගැලපෙනව කියල.”
“මේ සඳහා සුදුසුයි කියලා සරත් වීරසේකර මහතාට යෝජනා කරලා තියෙන්නේ ඉන් පසුව.”
“ඒ අනුව තමයි මට විජයබාහු රජුගේ භූමිකාව ලැබෙන්නේ.”
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ තිර රචනය සරත් වීරසේකර මහතා අතින් ලියැවි ඇත. මෙහි කතාවට මුල්වී ඇත්තේ පනාකඩුව තඹසන්නස බව මෙහි මුලින් සඳහන් කර තිබේ.
පිටපත තමන් අතට ලැබුණ විට එය තමන්ට දැනුණු ආකාරය පිළිබඳව දිනෙත් කරුණු පැහැදිලි කළේය.
“පිටපත මගේ අතට ලැබුණාම මම හරි ආසාවෙන් කියෙව්වේ.”
“පනාකඩුව තඹ සන්නසෙහි සඳහන් වූ සත්‍ය කතාවක් ගැන තමයි මෙයින් කියවෙන්නේ. විශේෂයෙන් මෙහි අධ්යක්ෂවරයා සරත් වීරසේකර මහතා නිසාත් මෙම චිත්‍රපටයට සම්බන්ධ වෙන්න දැඩි කැමැත්තක් ඇති වුණා. ගාමනී චිත්‍රපටයත් එතුමාගේ. එතුමාගේ සිතේ තියෙනවා තම මව්බිම ගැන ආදරයක් රට ගැන හැඟීමක් එතුමා ලංකාව ගැන අභිමානයෙන් කතා කරන කෙනෙක්.”
“ඒ වගේම තමයි ශ්‍රී සිද්ධා පිටපත ගලාගෙන යන විදිහට මම කැමති වුණා.”
“දේශානුරාගය, දේශාභිමානය, එඩිතරකම, රණ ශූරත්වය, ප්‍රේමය, විරහව, හාස්‍ය ආදී සියලු දෑ මේ පිටපතේ අඩංගුයි.”
“විශේෂයෙන් මම පාසල් ගිය කාලේ ඉතාමත් ගරු කරපු චරිතයක් තමයි මහා විජය බහු රජුගේ චරිතය ඒකත් ප්රබලතම කාරණයක් වුනා ශ්‍රී සිද්ධා චිත්‍රපටයට කැමති වෙන්න.”
“මෙම නිර්මාණයට දායක වූ අනෙකුත් ශිල්පීන් ගැන දැනගන්න ලැබුණහමත් මම දෙපාරක් නොසිතා බාරගත්තා.”
“මීට කලිනුත් මම රජ චරිත වලට පණ පොවලා තියෙනවා.”
“ඇත්තටම මගේ සිනමා ගමනේදී මම කැමති චරිතයක් ලැබීම ගැන මම සතුටු වෙනවා.”
ශ්‍රී සිද්ධා චිත්‍රපටය ධාවන කාලයෙන් වැඩි ප්‍රමාණයක් සටන් ජවනිකාවලින් සමන්විතය. චෝල ආක්‍රමණය අතරතුර සැඟවී සිටියදී අනාගත රජ කුමරුට සහ රජ පවුලේ ආරක්ෂාව භාරව තිබුණේ බුදල්නාටය. ඔහු රණශූර සටන්කාමියෙකි. වනාන්තර මැදින් රජ කුමරු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට බුදල්නා සිය භාරදූර දුෂ්කර වගකීම භාර ගන්නේ තම ජීවිතය ද පරදුවට තබාය.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ බූදල්නාගේ චරිතයට පණ පොවන්නේ රිටිගල සුමේධ ගුරුන්නාන්සේය.
ඔහු අංගම්පොර සටන් කලාව පිළිබඳ ප්රවීණයෙකි. ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ සටන් අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේ රිටිගල සුමේධ ගුරුන්නාන්සේයි.
චිත්‍රපටයේ සටන් ජවනිකා ගැනත් ඒ හා සම්බන්ධ විශේෂ සිද්ධීන් ලැබූ අත්දැකීම් ගැනද දිනෙත් තොරතුරු හෙළි කළේ මහත් උනන්දුවෙනි.
“චිත්‍රපටයේ ධාවන කාලයෙන් වැඩි කොටසක් සටන් ජවනිකා සඳහා වෙන්වෙලා තිබුණා. ඉතින් ඒ අනුව මට හැඩ ගැසෙන්න සිදුවුණා.”
“සාමාන්‍යයෙන් මම භාරගන්නා ඕනෑම චරිතයකට පෙර සූදානමක් වෙනවා.”
“මෙහිදී ද ඒ වෙනුවෙන් විශේෂයෙන් මගේ ප්‍රතිරූපය පවා වෙනස් කරගත්තා. මේ චරිතය ලෙහෙසි පහසු චරිතයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්ගේ චරිතයක්.”
“ඒ වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කළ යුතුයි. එම නිසා ඒ චරිතයට ගැළපෙන විදියට ඒ හැඩරුව ක්‍රියාකාරකම් මානසිකත්වය හැඩගස්වා ගත්තා.”
“මාස තුනකට පෙර සිට සටන් කලාව පුහුණු වුණා.”
“ඒ සඳහා රිටිගල සුමේධ ගුරුන්නාන්සේ හොඳ මග පෙන්වීමක් කළා.”
“සටන් පුහුණුව වෙනුවෙන් කළ යුතු සියල්ල එතුමා මට කියා දුන්නා.”
“ඒ වෙනුවෙන් නිවසේදී කළ යුතු දේවල් පිළිබඳ පවා උපදෙස් දුන්නා.”
“මේ අවස්ථාවේ මම ගුරුන්නාන්සේව ආදරයෙන් භක්තියෙන් මතක් කරනවා. සුමේධ ගුරුන්නාන්සේ ලොකු කැප කිරීමක් කළා සටන් පුහුණුව වෙනුවෙන්.”
“චිත්‍රපටය සටන් ජවනිකා පුහුණුවීම් අතරතුරත්, රූගත කිරීම් අතරතුරත්, අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදුවුණා.”
“වේගවත් සටන් ජවනිකා තිබුණා.”
“ඒ අනුව අපේ සටන් කළ යුතුව තිබුණා.”
“සුමේධ ගුරුන්නාන්සේ එතුමා සතු සටන් අපට සුදුසු විදිහට සකස් කර දුන්නා.”
“අපි කෙතරම් පුරුදු පුහුණු වුවත්, පුහුණුවීම් අතරතුර සහ රූගත කිරීම් අතරතුර අපට අනතුරු සිදුවුණා.”
“මාත් එක්ක සටන් කරපු මල්ලි කෙනෙක් රෝහල්ගත කරන්නත් සිදුවුණා.”
“සටන් ජවනිකා වලට අපේ ගුරුන්නාන්සේ සටන් කණ්ඩායමේ සාමාජිකයින් වැඩි වශයෙන් යොදාගෙන තමයි සටන් ජවනිකා කළේ.”
“සටන් කලාව ගැන ඔවුන්ට හොඳ දැනුමක් සහ මනා පුහුණුවක් තිබුණ නිසා අපටත් පහසු වුණා වැඩ කරන්න.”
රජ චරිතයක් රඟපෑමේදී ඒ භූමිකාවට පණ දෙන රංගන ශිල්පියා තුළ හොඳ පෞරුෂයක් තිබිය යුතුයි. සිරුරෙන් පවා ඒ චරිතයට ගැළපෙන කෙනෙක් විය යුතුයි.
ඒ කරුණු සලකා බලන විට දිනෙත් එම භූමිකාවට වඩාත් සුදුසු යැයි චිත්‍රපටය නැරඹේමේදී ප්‍රේක්ෂකයාට දැනේවි.
දිනෙත් තම ස්වරූපය මහා විජයබාහු චරිතයට සුදුසු ආකාරයට හැඩගසා ගත් ආකාරය පිළිබඳ මනා පැහැදිලි කිරීමක් කළේය.
“රජ කෙනෙක්ගේ භූමිකාවකට පණ පොවන විට රංගන ශිල්පියෙක් සිරුරින් පවා වෙනස් විය යුතුය.”
“චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගැනීමට පෙර සිටම මම මනසින් වගේම සිරුරෙන් පවා වෙනස් වුණා. එවැනි නිරූපණයක් කරන විට මගේ සිරුරෙන් පවා වෙනස පෙන්විය යුතු බව මම කලින්ම වටහා ගත්තා.”
“නියමිත අයුරින් සිරුරේ තත්ත්වය පවත්වාගෙන ගියා.”
“රජ කෙනෙක්ගෙ පෙනුමට සමාන වන අයුරින් අපේ වේශ නිරූපණ ශිල්පියා මාව වෙස් ගැන්වූවා. ප්‍රියන්ත දිසානායක අයියා තමයි ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පියා විදිහට වැඩ කළේ.”
“මහා විජයබාහු රජතුමාගේ තරුණ කාලයත් මහලු අවධියත් දෙකම චිත්‍රපටයේ නිරූපණය වෙනවා.
මගේ රැවුල බාහිර පෙනුම හොඳීන් සකසා ප්‍රියන්ත දිසානායක අයියා හොඳ සහයක් දුන්නා.”
“මම හිතනවා රජ කෙනෙක්ගෙ පමණක් නෙවෙයි භාරගන්න ඕනෑම චරිතයකට ගැළපෙන්න අපි ශරීර හැඩරුව පවා වෙනස් කර ගත යුතුයි.
එය රංගන ශිල්පියෙක් සතු යුතුකමක්. මම ප්‍රියන්ත දිසානායක වේශ නිරූපණ ශිල්පියාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට ලබා දුන් සහයෝගයට.
ආචාර්ය සරත් වීරසේකරයන්ගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකර ඇත්තේ කොළඹින් බැහැර ප්රදේශවලයි. එවැනි ප්‍රදේශවල රූපගත කිරීම දුෂ්කරය. විශේෂයෙන් වනගත ප්‍රදේශවලදී. රංගන ශිල්පීන්ට සහ කාර්මික ශිල්පීන් ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට ඇතැම් අවස්ථාවලදී විවිධ බාධක වලට මුහුණ දෙන්නට සිදුවීම වැළැක්විය නොහැක එහෙත් ඒ බාධක අවදානම් මගහැරගෙන රූපගත කිරීම් වලට මුහුණ දුන් අයුරු දිනෙත් මෙසේ විස්තර කළේය.
“මේ චිත්‍රපටයේ රූගත කිරීම් වලට අපිට කොළඹින් පිට යන්න සිදුවුණා.”
“අනුරාධපුර දඹුල්ල වගේ ප්‍රදේශවල තමයි රූගත කිරීම් සිදු කළේ.”
“රූගත කිරීම් වලදී අපිට විවිධ දුෂ්කරතා මතුවුණා.”
වැස්සෙන්, පින්නෙන්, අව්වෙන්, සුළඟෙන්, ඒක ස්වභාවය.
ඇතැම් අවස්ථා තිබුණා අවදානම් ගෙන කළ යුතු දර්ශන. චිත්‍රපටය අවසන් වන අවස්ථාවේ තිබුණේ වතුරේ සටන් කරන ජවනිකා.
අපි ඒ දර්ශන කරන්න කලින් නිෂ්පාදන කණ්ඩායමේ ශිල්පීන් වතුරට බැහැල බැලුවා.
එතන පිරිසිදුද, අවදානම් තැන් තියෙනවද කියලා.
ඔවුන් මුලින්ම අවදානම අරගෙන තමයි පසුව අපව රූගත කිරීම් වලට යොමු කළේ.”
අපට පරිසරය පවා හොඳීන් පරීක්ෂා කළා හැම වෙලාවෙම. අපිට අනතුරක් නොවෙන්න හැමවිටම ඔවුන් වග බලා ගත්තා.
අපිත් ඔවුන් ගැන විශ්වාසය තබා ගත්තා. හැම වෙලාවෙම අපි ගැන අවධානයෙන් සිටියා.
සිනමා නිර්මාණයක් සාර්ථක වෙන්න ඒ දේවලුත් අනිවාර්යයෙන් බලපානවා.
එවැනි අවදානම් තැන්වලදී අපේ අවධානය ගිලිහී ගියොත් රංගනය සාර්ථකව කරගන්න බැරිවෙනවා.
ඒකෙන් හානිය වෙන්නේ නිර්මාණයට. එනිසා අපේ නිෂ්පාදන කණ්ඩායම හොඳ සහයෝගයක් සහ ආරක්ෂාවක් අපට ලබා දුන්නා.
මහා විජයබාහු රජුගේ ළමා කාලයට පණ පොවන්නේ ජනිදු චමත් කුමාර. ඔහු දැන් තරුණ වියට පා තැබූ යෞවනයෙක්. ඔහුගේ රංග ප්‍රතිභාව ගැන ද දිනෙත් ඉතා නිහතමානීව වචන පෙළගැස්වීමට අමතක කළේ නැත.
“මගේ ළමා කාලය රඟපෑ ඔහු මටත් වඩා දක්ෂයෙක්. රූපවාහිනී නාලිකාවක පැවති නර්තන වැඩසටහනකින් තමයි ඒ මල්ලි කලා ලෝකයට පිවිසෙන්නේ.”
“ඔහු තුළ රංගනය පිළිබඳ හොඳ හැකියාවක් තියෙනවා.”
“මගේ බාල කාලයට ඔහුව තෝරා ගත්ත එක ගැන මම සතුටු වෙනවා.”
“ඔහුව හමුවූ විට මම ඔහුට මුලින්ම කිව්වේ මල්ලි ඔයාට ලොකු වගකීමක් තියෙනවා. කරන්න විශාල කාර්යභාරයක් තියෙනවා. රජතුමාගේ බාල කාලය නිසා ඔහුගේ රංගනය ප්‍රබල වෙන්න ඕන.”
“වීරත්වය කියන දේ රංගනයේදී මතු වෙන්න ඕන කියන කරුණු ගැන මම ඔහුට පැවසුවා.
“ඔහු මම කියපු දේ හොඳීන් සිහියේ තබා ගත්තා ඒ නිසා ඔහු මගේ චරිතයටත් ලොකු රුකුලක් වුණා.”
“ඔහු ඔහුගේ වගකීම හොඳීන් ඉටු කළා. ඒ වගේම ඉදිරියේදී තවත් සිනමා නිර්මාණයකින් ඔහුව දකින්න ලැබෙයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
දිනෙත් ද සිල්වා වර්තමානයේ සිනමාවේ සිටින දක්ෂ තරුණ යොවුන් රංගන ශිල්පියෙක්. එමෙන් සිනමාව ගැන හොඳීන් අධ්‍යයනය කරමින් රංගනයේ යෙදෙන තැනැත්තෙක්. නිතරම සමාජය ලෝකය දෙස බලමින් තමන්ගේ රංගන හැකියාව වර්ධනය කර ගන්නා රංගන ශිල්පියෙක්.
“මට විවේකයක් ලැබුණාම අනිවාර්යයෙන් පොතපත කියවනවා.”
“අපි නිතරම අලුත් වෙන්න ඕන දැනුමෙන්.”
“අවට පරිසරය ලෝකය දෙස බලන්න පුළුවන් වන්නේ කියවීමෙන්.”
“නළුවාගේ පළවෙනි කාර්ය කියවීම කියලා තමයි මම හිතන්නේ.”
“අපට රංගනයේදී විවිධ භූමිකාවන්ට අවතීර්ණ වෙන්න වෙනවා. අන්න ඒ අවස්ථාවට
අපි පොතපත ඇසුරෙන් ලබාගන්නා දැනුම පවා අවශ්‍ය වෙනවා.”
“ඒ වගේම තමයි සමාජ රස්තියාදුව කියන එක.”
“ඒකෙන් මම අදහස් කරන්නේ නිකරුණේ කාලයක කාදමමින් එහේ මෙහේ ඇවිදිමින් කරන රස්තියාදුව නෙවෙයි.”
“සමාජයේ ගැවසිලා අපට මුණගැසෙන විවිධ වූ චරිත අධ්‍යයනය කරමින් ඔවුන් සමඟ කතාබස් කරමින් අත්දැකීම් ලබා ගැනීම තමයි වැදගත්.”
“රටේ ලෝකයේ තොරතුරු ගැන අපි නිතර යාවත්කාලීන වෙලා ඉන්න එක බොහොම වටිනවා.”
“අලුතෙන් සිනමා ක්ෂේත්රයට හෝ වේවා ටෙලිනාට්‍ය ක්ෂේත්රයට හෝ වේවා! ඒ එන මල්ලිලාටත් මම නිතරම කියන්නේ පොත පත කියවන්න කියලා කියලා. සමාජ රස්තියාදුවේ යෙදෙන්න කියලා. ඒ මගින් තමයි අපිට චරිතයකට හොඳීන් අවතීර්ණ වෙන්න ලෙහෙසි. සමාජයේ ඇසුරු කිරීමෙන් තමයි රංගන ශිල්පියෙක් පෝෂණය වෙන්නේ.
ශී‍්‍ර සිද්ධා චිත්‍රපටයෙන් පසු දිනෙත් රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපටයක් නුදුරේදීම තිරගත වීමට නියමිතයි. තමාගේ ඉදිරි කලා කටයුතු කරන තොරතුරු ගැනද ඔහු සරසවිය හමුවේ දිග හැරියේය.
“ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ දේවි කුසුමාසන චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට සූදානම්. මම එහි භූමිකාවකට දායක වුණා.”
“තවත් චිත්‍රපට දෙකක රූගත කිරීම් දෙසැම්බර් සහ ලබන ජනවාරි මාසවලදී ඇරඹෙනවා.”
“තවත් ටෙලි නාට්‍යයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා.”
“ලැබෙන සෑම නිර්මාණයක්ම මම භාරගන්නේ නැහැ.”
“මුලින්ම පිටපත කියවල, ලැබෙන චරිතය මට සුදුසු නම් එය හරහා මට රංගනය පැත්තෙන් දැනෙන දෙයක් කරන්න පුළුවන් නම් තමයි මම නිර්මාණය බාරගන්නේ.”
දිනෙත් අද වන විට සිනමා ක්ෂේත්රයේ ස්ථාවරයක් ගොඩනඟාගත් ශිල්පියෙක්. එහෙත් ඔහු මුලින්ම ක්ෂේත්රයට පය තබන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙසින්.
“ඔව්, මම මුලින්ම වෘත්තීයමය නිරූපණ ශිල්පියෙක් විදිහට තමයි කටයුතු කළේ. පසුව තමයි මම සිනමාවට පා තබන්නේ.එක්තරා යුගයක් තිබුණා හේමාල් රණසිංහ අමිල කරුණානායක අනූජ් රණසිංහ හිරාන් යටෝවිල ඇතුළුව අපි හැමෝම නිරූපණ ශිල්පීන් විදිහට එකට වැඩ කරපු කාලයක්. මම දැනටත් එයින් ඉවත් වෙලා නැහැ.
තවමත් මම නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩ කරනවා; මට විවේකය වෙලාව ලැබෙන විදිහට.
“සරසවිය සමඟින් කතාබහ කරන මේ වෙලාවේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න අවශ්‍යයි.”
“පවුලේ සියලු දෙනා සමඟ එන්න ශ්‍රී සිද්ධා නරඹන්න.”
“ඇවිත් ඔබේ ප්‍රතිචාර අපට ලබා දෙන්න කියලා මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”
“මම මේ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහාත් දායක වෙනවා. එය මගේ යුතුකම අපේ රංගන කටයුතුවලට පමණක් නෙවෙයි චිත්‍රපටය ඉදිරියට රැගෙන යාමට ප්‍රේක්ෂකයා චිත්‍රපටය බලන්න උනන්දු කිරීමට අපි දායකත්වය ලබාදිය යුතුයි.”
ශ්‍රී සිද්ධා චිත්‍රපටයට සම්බන්ධ කතාව ලියැවි ඇත්තේ පනාකඩුව තඹ සන්නස පිළිබඳවයි. එදා ගැමියකු අතට ලැබුණු තඹ සන්නස අදටත් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන්.
පනාකඩුව තඹ සන්නස වැදගත්කොට සැලකෙන්නේ එය ශ්‍රී ලාංකික රජෙකු විසින් පළමුවරට කරන ලද තඹ සන්නස් ප්රදානය වන බැවිනි. එය විජබාහු රජතුමා විසින් තමාට තමාට කුඩා කල සිට රැකවරණය ලබා දුන් නිසාත් චෝල ආක්රමණිකයින් සමඟ සටන්කර ජයග්‍රහණය කිරීමට තමාට ඉමහත් සහයක් ලබා දුන් නිසාත් එයට කළගුණ සැලකීමක් ලෙස දුන් ප්‍රදානයකි. මෙම ප්රදානය සිදුකර ඇත්තේ තමාගේ සෙවණැල්ල මෙන් සිටි බුදල්නාටය. මෙය එක්තරා ආකාරයක ස්තූති කිරීමකි.
පනාකඩුවේ තඹ සන්නස දැනට හමුවී ඇති ලොව පැරණිතම ස්තුති කාඩ් පත (Thank you card) ලෙස සැලකේ.
ශ්‍රී සිද්ධා සිනමා සිත්තමෙහි ප්‍රධාන භූමිකාවකට පණ දෙන්නට ආරාධනා කළ සියලු දෙනාට සහ තමා සමඟ එක්ව නිර්මාණයට දායකත්වය දැක්වූ තම සගයන්ට ස්තූති කිරීමට දිනෙත් තම හඬ නැවතත් අවදි කළේය.
“අපි දෙයක් කරලා සාර්ථකව නිම කළාම අපට සහය දුන් අය අමතක නොකළ යුතුයි.”
“මමත් මේ අවස්ථාවේ සන්නසක් මඟින් ලියා ස්තුතියි නොකළත් මම හදවතින්ම ඒ සියලු දෙනාට මේ මොහොතේ ප්‍රණාමය පුද කළ යුතුයි.”
පළමුවෙන් මම ස්තූතිවන්ත වෙනවා ශ්‍රී සිද්ධා අධ්‍යක්ෂකතුමා වන සරත් වීරසේකර මහතා මා ගැන විශ්වාසය තබලා විජයබාහු රජු චරිතයට තෝරා ගත්තට. මම ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් මතක් කරනවා එතුමාව.”
“තුසිත විජේසේන මහතාට සහ වෛද්‍ය මාලිකා ජයසූරිය මහත්මියටත් මගේ ආදරය ස්තුතිය පුද කළ යුතුයි.”
“ඒ වගේම ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ රඟපෑ සියලු ප්‍රධාන රංගන ශිල්පී ශිල්පිනියන්ටත් සෙසු ශිල්පීන්ටත් මම මගේ ආදරය ලබා දෙනවා දෙනවා. ඔවුන් සියලුම දෙනා උපරිමයෙන් කැපවී වැඩ කළා චිත්‍රපටය සාර්ථක කරගන්න.”
“අපි හැමෝම එකා මෙන් සහයෝගයෙන් වැඩ කිරීමේ ප්‍රතිඵල දැන් දකින්න පුළුවන්.”
“විශේෂයෙන් මේ චරිත කිහිපය මතක් කිරීම මගේ යුතුකමයි. අපිට සටන් කලාව උගන්වපු රිටිගල සුමේද ගුරුන්නාන්සේ. එතුමා අපිට කියා දුන්නේ සටන් කිරීම පමණක්ම නෙවෙයි; අපේ ජීවිතය, මනස යහපත්ව පවත්වා ගැනීම ගැන එතුමා අපට කියා දුන්නා.”
“ශරීරයේ උස මහත තිබූ පමණින් රජ කෙනෙක්ගෙ චරිතයට අවතීර්ණ වෙන්න අමාරුයි. ඒ සඳහා රූප ස්වභාවය වෙනස් කළ යුතුයි. ඒ රාජකාරී අකුරටම ඉටු කළ වේශ නිරූපණ ශිල්පී ප්‍රියන්ත දිසානායක අයියට මම මගේ ස්තුතිය පිරිනමන්න ඕන.”
“චිත්‍රපටය සාර්ථක කරගන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි.
චිත්‍රපටයක් තිරගත කිරීමට මුදාහළ පමණින් එහි සාර්ථකත්වය මැනිය නොහැකිය. එහි ගුණ දොස් පළමුවෙන් එය ප්‍රේක්ෂකයා අතරට ගෙන යා යුතුයි. ඉහත සඳහන් කළ සියලු දෙනාගේ වෑයම සාර්ථක වන්නේ නිර්මාණය ප්‍රේක්ෂකයා වැලඳ ගතහොත් පමණි.
දිනෙත් කතාබහ අවසානයේ ප්‍රේක්ෂකයාගෙන් යළිත් ආදරණීය ඉල්ලීමක් කළේය.
“චිත්‍රපටය තිරගත කළ පසු එය භාර ආදරණීය ප්‍රේක්ෂකයින්ට. ඉතින් මම ආදරෙන් ඉල්ලීමක් කරනවා.”
“ඇවිත් බලන්න”
“අපි වෙනුවෙන්”
“සිනමාව වෙනුවෙන්”
“ශ්‍රී සිද්ධා නරඹන්න”
“ඒ මගේ ආදරණීය ඉල්ලීම”
ඉතා රසවත් සහ හරවත් කතාබහක යෙදුණු යොවුන් රංගන ශිල්පී දිනෙත් ද සිල්වා මීට පෙර ප්‍රේක්ෂකයා හමුවට පැමිණියේ පැණි මකුළුවෝ, ආලෝකෝ උදපාදී, හිතුමතේ ජීවිතේ, යශෝධරා, කන්දක් සේ මා, 1970 love story, පැණි මකුළුවෝ, සාම කුමරු, Face to face චිත්‍රපට වලින්.
දැන් නැවතත් ඔහුව ප්‍රේක්ෂකයාට දැක ගත හැකියි.
එසේ නම් ඔබත් ශ්‍රී සිද්ධා නැරඹුවහොත් දිනෙත් නැවතත් සිනමා තිරය මත දස්කම් මවන අයුරු නැරඹීමට පුළුවන්.
සිනමාවේ තවත් දිගු ගමනක් යාමට යොවුන් රංගන ශිල්පී දිනෙත් ද සිල්වාට හැකියාව ලැබේවායි සරසවිය ප්‍රාර්ථනා කර සිටියි.
(මෙහි සඳහන් වන තඹසන්නස පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)
නයනාංජලි දෙහිපිටිය