මේ 1940 දශකයයි. දෙවැනි ලෝක සංග්‍රාමය නමැති දිගු අඬු ඇති කාල වර්ණ බුවල්ලා යුරෝපය පමණක් නොව මුළු ලොවම වෙළා ගෙන ඇති අවධියකි. ලන්ඩන් නුවර අහස් කුස පුරාමහ ගිනිජාලාවන් මවමින්, නගරය පුරා තැන තැන ඇත්තේ කහ පැහැති ගිනි පුළිඟු පමණී. නගරයේ එකම කාල ගෝට්ටියකි. ගිනි නිවන භටයන් මහත් වෙහෙසක් දරමින් මේ අවිළි ඇති මහා ගිනිජලා නිවන්නට උත්සාහ දරති. මිලේච්ජසහගත හිටිලර්ගේ ජර්මානු හමුදාව ලන්ඩන් නගරයට බෝම්බ හෙළා ඇත. මිනිසුන් හිස් ලූ ලූ අත දුවති. ‘රීටා හැන්වේ’ තම එකම පුතු වූ ‘ජෝර්ජ්’ වහා දිවයන්නේ ජර්මාණුවන් හිසට හෙළන බෝම්බවලින් බේරිය හැකි ස්ථානයක් සොයමින්. ඔවුන්ට බෝම්බවලින් සැඟවීමට ඉතිරිව ඇති එකම සෙවණ වන්නේ පොළව යට පිහිටි උමං දුම්රිය මාර්ග පමණී. මේ 2024 වසරට අදාළව තිරගත වූ ‘Blitz’ චිත්‍රපටයේ ආරම්භයයි. ‘බ්ලිට්ස්’ යනු වර්ෂ 1940 සැප්තැම්බර් 7 සිට 1941 මැයි 11 දක්වා දෙවන ලෝක සංග්‍රාමයේදී මාස 8ක් පුරා මහා බ්‍රිතාන්‍යයට ඉහළින් ජර්මානුවන් ගුවන් බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට කියන නමයි.
ජර්මානුවන් බ්‍රිතාන්‍ය නගරවලට ඉහළින් බෝම්බ හෙළීම නිසා මිලියන සංඛ්‍යාත බ්‍රිතාන්‍ය ජනතාව නගරවලින් ඈතට පළා ගියහ. ළමුන්ගේ ජීවිතවලට සිදුවන හානි පිළිබඳ දැඩි තීන්දුවක් ගත් එවකට බ්‍රිතාන්‍ය රජය ළමයින්ගේ ආරක්ෂාව පතා දුම්රියවලින් ඈත පළාත් වෙත පිටමං කළේය. රීටා ද තම පුතු වූ ජෝර්ජ්ව එසේ නගරයෙන් ඈතට පිටමං කරයි. ජෝර්ජ් මවගෙන් ඈත්ව විසීමට කිසිදු කැමැත්තක් දක්වන්නේ නැත. දුම්රියට නඟින මෙහොතේ පටන් තම මව සමඟ දැඩි තරහවකින් පසුවෙයි. නගරයෙන් බොහෝ දුර ගිය තැන ජෝර්ජ් කරන්නේ හොර රහසේම දුමිරියෙන් පිටතට පැන තම මව සොයා පළා යෑමයි. ‘ජෝර්ජ්ට’ තම මව සොයා යෑමට හැකි වේවිද? එක් පසෙකින් ජර්මානුවන් එක පිට හෙළන ගුවන් බෝම්බවලින් ද, කාගෙන් හෝ කිසිදු හවිහරණක් නොමැති ජෝර්ජ්ට තම මවගේ සෙනෙහස සොයා යන්නේ කෙසේද? මේ ජෝර්ජ් සහ රීටාගේ කතාවයි. ‘Blitz’ ‘ චිත්‍රපටය සමිමාන පිට සමිමාන ලැබූ ප්‍රශස්ත චිත්‍රපටයකි. ‘මොන්ටික්ලෙයාර් සම්මාන උළෙල’ , ‘ලොස් ඇන්ජලීස් විචාරක සංගමයේ සම්මාන උළෙල, ‘වොෂින්ටන් ඩී.සී විචාරක සම්මාන උළෙල’, ‘සැටලයිට් සම්මාන උළෙල’ ආදී සමිමාන උළෙලවල් රැසකට හොඳම පසුතල නිර්මාණය, හොඳම පසුබිම් සංගීතය, හොඳම අධ්‍යක්ෂණය ආදී අංශ යටතේ නිර්දේශ වෙමින් ඇගයීමට ලක්ව ඇත. කෙසේවෙතත් ‘Blitz’ චිත්‍රපටය එන වසරේ පැවැත්වෙන්නට නියමිත ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උළෙලේදී කිසිම අංශයක් වෙනුවෙන් නිර්දේශ වී නැහැ.
‘Blitz’ චිත්‍රපටයේ ස්ථාන දෙකකදි සුදු පැහැති ඩේසි මල් සමුහය මඟින් අහිංසකත්වය සහ ළමා බව සංකේතවත් කරයි. එය චිත්‍රපටය තුළ නිරීක්ෂණය වූ වැදගත් සංකේතයකි. 1940 දශකය චිත්‍රපටය තුළ සජීවිව විස්තර කිරීමට පසුතල නිර්මාණය, ආලෝකකරණය, වස්ත්‍රාභරණ, රංග භාණ්ඩ, වර්ණ සංයෝජනය, කැමරාකරණය ඇතුළු සිනමා තාක්ෂණය මනා සහයක් ලබා දී තිබේ. දෙවන ලෝක යුද සමය තුළ මහා බ්‍රිතාන්‍යයේ ස්වභාවය සහ එම යථාර්ථය වෙත ප්‍රේක්ෂකයා වඩාත් සමීප කරවීම අධ්‍යක්ෂවරයා සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයේ එක දර්ශනයක් තිබේ. ඒ ජෝර්ජ්ගේ සීයා විසින් තම මුනුපුරා වූ ජෝර්ජ් වෙත බේකන් කැබැල්ලක්, බිත්තරයක් සහ කිරි වීදුරුවක් උදේ ආහාරය සඳහා පිරිනමන අවස්ථාවයි. මෙම ආහාර වේල දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යය වැසියන්ට සලාකයක් ලෙස ලබා දී තිබේ. සමහර අවස්ථාවලදී එම ආහාර වේල සති දෙකක සලාකය වූ බව ඉතිහාසයේ සඳහන් වේ. ලෝක යුද්ධය හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ දැඩි ලෙස ආහාර හිඟයක් නිර්මාණය විය. චිත්‍රපටය තුළ පෙන්වන්නේ එම ආහාර හිඟය කළමනාකරණය කරන සලාක ක්‍රමයයි.
‘Blitz’ චිත්‍රපටය අධ්‍යක්ෂවරයා වන්නේ ’12 years a slave’ (2013) නමැති වහල් ජීවිතය නිරූපණය කළ හොඳම චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මාන දිනාගත් ස්ටිවී මැක්වීන් ය. ‘Blitz’ චිත්‍රපටයේ කතාව ලියා ඇත්තේ ද ස්ටීවි විසිනි. ස්ටීවී කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන අතර ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලැබු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහු උපත ලද ලන්ඩන් නගරය තුළ සැබෑවටම සිදු වූ ඛේදවාචකය මෙලෙස චිත්‍රපටයට නගන්නට බෙහෙවින් බලපා පෑ බව ඔහු මාධ්‍ය වෙත සඳහන් කරනවා. චිත්‍රපටයේ සියලු රූගත කිරීම් ලන්ඩන් නුවර ආශ්‍රිතව සිදු කර තිබීම විශේෂිතයි. චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කර තිබෙන්නේ ඔස්කාර් සම්මානලාභී ශ්‍රේෂ්ඨ සංගීත නිර්මාපකයකු වන ‘හාන්ස් සිමර්’ විසිනි. ඔහු මීට පෙර ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ඩන්කර්ක්’ චිත්‍රපටය සහ ‘මයිකල් බේ’ අධ්‍යක්ෂණය කළ ‘පර්ල් හාබර්’ වැනි දෙවැනි ලෝක සංග්‍රාමීය පසුබිම් වන චිත්‍රපටවල පසුබිම් සංගීතය නිර්මාණය කළ සංගීතඥයා විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රීටා ලෙස සම්මානනීය ඇමරිකානු නිළියක වන’Saoirse Ronan’ විසින් නිරූපණය කරයි. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදු කර ඇත්තේ ඇපල් TV+ සමාගම විසිනි.
චිත්‍රපටයේ කතාවට පසුබිමින් අතුරු කතා ගණනාවක් ප්‍රේක්ෂකයාට දැකගන්නට ලැබේ. ඒ එදවස බ්‍රිතාන්‍ය පුරා පැවති කළු – සුදු වර්ණභේදවාදය, ව්‍යසනයකදි වුවද සොරකම් කිරීම වැනි තුච්ජ ගණයේ ක්‍රියා පිළිබඳව ද අධ්‍යක්ෂවරයා චිත්‍රපටය තුළ නිරූපණය කරයි. නිදර්ශනයක් ලෙස ජර්මානුවන් විසින් හෙළන ලද බෝම්බවලින් සුන්බුන් බවට පත් වූ කඩවල්වල ස්වර්ණාභරණ ද සොරුන් කොල්ල කයි. එපමණක් නොවේ. මියගිය අයගේ අත රැඳී මුදු, ගෙල පැළඳී මාල පවා සොරුන් සාක්කු තුළ රුවා ගන්නට තරමි මිලේච්ජසහගත මිනිසුන් එදවස සිටි බව චිත්‍රපටය විසින් අනාවරණය කරනවා. එක් පසෙකින් චිත්‍රපටයේ පසුබිමින් කළු ජාතිකයන්ට සිදු වූ අසාධාරණත්වය ද පෙන්වයි. එදවස බ්‍රිතාන්‍ය යනු යටත්විජිතකරණයට ශූරයන් ය. මුළු අප්‍රිකාවම අණසකට නතු කරගත් බ්‍රිතාන්‍යයන් එහි සිටි කළු ජාතිකයන් වහල්කම් කිරීම වෙනුවෙන් සිය රටට ගෙන ආහ. යුද්ධයේ පීඩාකාරීබව, මිලේච්ජසහගත බව, භීෂණකාරී ස්වරූපය සිනමා කැමරාව ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීම හරහා තවමත් ලෝක යුද්ධයේ මිනී පුළුටු ගඳ නිමවී නොමැති බවත් හඟවයි. ‘Blitz’ යනු 2024 වසරට අදාළව නිර්මාණය වූ ප්‍රශස්ත ගණයේ ඓතිහාසික – යුදමය ශානරීය චිත්‍රපටයකි. යුද්ධයේ බිහිසුණුබව සමඟ ඊට පරයා නැඟී සිටින මව් සෙනෙහස පිළිබඳ කදිම සිනමා ප්‍රකාශනයකි.
ඉමල්ක විතානගේ