ලාංකේය සිනමා ඉතිහාසයේ රංගවේදිනියක වශයෙන් ඇය ප්‍රකට කළ ප්‍රතිභාත්මක රංග කෞශල්‍යය පිළිබඳ නිසි විචාරවත් ඇගයීමක් මේවනතුරුත් ශාස්ත්‍රීයව සිදුව නැතැයි, ඇගේ රංගන වින්‍යාසය දෙස වර්තමානයේ බැලුවද සිත් වන තරමට ඒ රංගනය සුවිශේෂීය. උත්පත්තියෙන් හිමිකර ගත්තාවූ රමණිය රූපකාය සේම, නිසග හැකියාවෙන් වඩවා ගත් රංග කාර්යයක බලමහිමයෙන් ඇය මේ රටේ තාත්වික රංගනය යනු කුමක්ද යන්නට අපුර්ව නිදර්ශන සපයන්නට සමත් වූවාය. සමස්තයක් ලෙස සිනමා නිළියක යන්නට අවශ්‍ය වන සියලු අංගෝපාංගයන්, රූපකායන්. හැකියාවන් ඇය සතු වුවද , ජනප්‍රිය සිනමාවේ ලක්ෂණ උපරිමයෙන් ප්‍රකට කරමින් ඇය මෙරට සිනමාව වැලඳ ගත්තද, කල් ගත වෙත්ම ‘නිළිය’ යන සාම්ප්‍රදායික මතයෙන් මිදී, රංග කාර්ය යන්න දේව කාර්යයටත් වඩා බැරූරුම් කාර්යයක් බව අවබෝධ කර ගනිමින්, එය හුදෙක් රුව ලස්සන සමඟ මල් ගස් වටේ දුවන දර්ශනයන්ගෙන්, නැටුම් දර්ශනයන් ගෙන් පමණක් සමන්විත වන්නක් නොව, ඉන් එහා ගිය මහා විෂයයක් බව තහවුරු කර ගනිමින් තාත්වික රංගනය යන්නට මෙරට උදාහරණ ගෙනහැර පාන්නට සමත් වූ, ‘නිළිය’ ගෙන් බැහැර වු රංගන ශිල්පිනියක් බව ඈ අපට පසක් කළාය.
ඇය ප්‍රවීණ, ජේ්‍යෂ්ඨ රංගනවේදිනී සුවිනීතා වීරසිංහය.
ඈ ගැන ලියනවා නම් මේ පිටු පිරෙන්නට නොව පොතක් වුවද ලියන්නට කරුණු කාරණා බොහෝය. එහෙත් මෙවර අපි ඈ හමුවූයේ ඈ සිනමා අධ්‍යක්ෂණයට පිවිසුණු සුබ කාරණාව පිළිබඳ අකුරු කරන්නටය.
ඔබ චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුණු ඒ සුබ කාරණාවෙන්ම අපි අපේ පිළිසඳර ආරම්භ කරමු?
මම රංගන ශිල්පිනියක්. මගේ භූමිකාව රංගනය. මට කිසිසේත්ම අදහසක් වත් බලාපොරොත්තුවක් වත් තිබුණේ නෑ අධ්‍යක්ෂවරියක් වෙන්න. අධ්‍යක්ෂණ කාර්යය කියන්නේ ඒක මහා විශාල විෂයයක්. රංගන ශිල්පය වගේම මහා ගැඹුරු විෂයක්. රංගනය කරත්දිත් විවිධ චරිත නිරූපණයේදි අපි විශාල වශයෙන් අධ්‍යයන කරන්න ඕන. අධ්‍යක්ෂණය කරන්න කාර්මික පැත්තෙන් හොඳ දැනුමක් තියෙන්න ඕන. අධ්‍යක්ෂණය කරනවා කියලා අපි කරන්නේ තව කෙනෙක් මෙහෙයවීමක්. ඒක පහසු කාර්යයක් නොවෙයි.ඒකට හොඳ දැනුමක් තියෙන්න ඕන. අත්දැකීම් තියෙන්න ඕන. සහජ දක්ෂතාවයක් තියෙන්නත් ඕන. තමන් රංගනයේ නියැළෙනවා නම් එහිදී රංගනයට පරිබාහිරව තමන් විසින් උගත් දේ බොහෝ වෙලාවට මෙහිදි උපකාර වෙන්නත් පුළුවන්. කැමරාව, සංස්කරණය, සංගීතය, කලා අධ්‍යක්ෂණය වැනි සිනමාවේ අනෙකුත් ආනුෂාංගික අංග පිළිබඳ අවබෝධයක් තිබෙන්නත් ඕන. විෂයක් විදියට මම ඒ පැත්ත හදාරලා නෑ. හැබැයි මට කැමරාව පිළිබඳ යම් අවබෝධයක් තිබෙනවා. කැමරාව කියන්නේ රංගන ශිල්පිනියක් සමඟ නිරන්තර සබඳතාවයක් පවත්වාගෙන යන්නක්. ඒ වගේම මට හොඳ අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්න ලැබුණා. එවැනි අත්දැකීම් සමුදායක් මට තිබිලත් මේ වනතුරු මම හඹාගෙන ගියේ නෑ මට අධ්‍යක්ෂවරියක විය යුතුයි කියා. මේ නාමය මට ලබා ගත යුතුය කියන සිතුවිල්ලක් මගේ යටි සිතේ හෝ උඩු සිතේ හෝ කිසිසේත්ම තිබුණේ නෑ.
නමුත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න මම බාර ගත්තා. “සාදි” කියන චිත්‍රපටයේ. ඒක බොහෝම බැරැරුම් චරිතයක්. සංවේදි සංයමයකින් කළ යුතු ගැඹුරු රංගන පරාසයක් හිමි චරිතයක්. මේ චරිතය රඟපාන ගමන්ම අධ්‍යක්ෂණයත් කරනවා කියන්නේ ඒක විශාල අභියෝගාත්මක කාරණාවක්. ඇත්තටම කිව්වොත් ලෝක සිනමාවේ හෝ රංගනයක් සමඟ අධ්‍යක්ෂණ කාර්යය යන දිවිත්ව අංගයම සාර්ථක ලෙස සිදුකර තිබෙනවා නම් තිබෙන්නේ ඉතාම අතළොස්සක් දෙනයි. ඒක බලාපොරොත්තුවෙන්නත් බෑ. මේ විෂය දෙකම, ඒ කියන්නේ රංගනය සහ අධ්‍යක්ෂණය ඉතාම ගැඹුරු විෂය දෙකක්. නමුත් මට මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කියලා බලපෑම් ආවා. මම ඒකට කිසිසේත්ම එකඟ වුණේ නෑ. ඒ නිසා වෙන අධ්‍යක්ෂවරයකු දම්මලා මේ චිත්‍රපටය කරන්න හැදුවා. මේ චිත්‍රපටය සඳහා මුල්‍ය දායකත්වය ලබා දුන් හිතවතුන් දෙදෙනෙක් හිටියා. ඔවුන් දෙදෙනාම මගෙන් ඉල්ලා හිටියේ මට කරන්න කියලයි. ඒ අය දන්නවා මගේ හැකියාව පිළිබඳ. ඇත්තටම මේක තරුණ කාලේ කළා නම් මීට වඩා පහසුවෙන් මේක කරන්න තිබුණා. මේක හරි වෙහෙසකර කටයුත්තක්. මොළෙත් වෙහෙසන්න ඕන. ශරීරය වෙහෙසන්න ඕන. හැම අවයවයක්ම වෙහෙසන්න ඕන. විශේෂයෙන්ම ඇහැ වෙහෙසන්න ඕන. ඉතින් අවසානයේ මේ අභියෝගය මට බාර ගන්න සිද්ධ වුණා. මම හිතුවා මම දකින සිනමාවේ ඇසින් මට මේක කරන්න පුළුවන් කියලා. එහෙම හිතලා බලවත් ඉල්ලීම නිසා මම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට බාර ගත්තා. නැතුව මට අධ්‍යක්ෂවරයෙකු වීමේ උවමනාව හෝ මුදල් ඉපයිමේ උවමනාවකින් නොවේ. මේ චිත්‍රපටය තුළින් මම මෙතුවක් ලබා ගත්තාවු අත්දැකීම් සහ මගේ චින්තනය තුළින් මේ රටේ ප්‍රේක්ෂක ජනතාවට, මට ආදරය කරන අයට කුමක් හෝ පණිවිඩයක් දෙන්න තමයි මගේ වෑයම වුණේ. මේක නිකම්ම නිකම් සීනිබෝල චිත්‍රපටයක් නොවෙයි. වාණිජ රැල්ලේ චිත්‍රපටයක් නොවෙයි. කලාත්මක චිත්‍රපටයක්.
මේ චිත්‍රපටයේ තිර රචනය නන්දලාල් මාලේගොඩ. මගේ ආදරණිය ස්වාමි පුරුෂයාගේ. මේ චිත්‍රපටයේ මාත් සමඟ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ ගයාන් ගුණවර්ධන. නුවන් ගුණවර්ධනගේ ආදරණීය පුත්‍රයා. මේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටය. ඔහු ඉතාම හොඳ සහයෝගයක් මට ලබා දුන්නා. ඔහුගේ චරිතය වෙනුවෙන් ඉතාම හොඳ සාධාරණයක් ඔහු ඉෂ්ට කළා.
ඉතින් මම විශ්වාස කරනවා හොඳ නිර්මාණයක් කළා කියලා. නමුත් අපේ රටේ කොයි තරම් හොඳ දෙයක් කලත් විවේචන එල්ල වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මම මේක කළේ කිසිම හොඳක් අහගන්න හෝ සම්මාන ගන්න හෝ වර්ණනාවක් කර ගන්න හෝ මුදල් උපයන්න හෝ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවෙයි මම මේක කළේ. අධ්‍යක්ෂවරියක් කියන ප්‍රසිද්ධියකුත් මට අවශ්‍ය නෑ.
ඔබ රංගන ශිල්පිනියක වශයෙන් ප්‍රතිභාත්මක රංග කෞශල්‍යයක් ප්‍රකට කළ රංගන ශිල්පිනියක්. අපේ සිනමා ඉතිහාසයේ වැලිකතර ගත්තත්, දෙලොවක් අතර ගත්තත්, සිකුරුලියා ගත්තත්, හුලවාලි ගත්තත් ඔබේ රංගනය ගැන කතා කරන්න වචන දෙකක් නෑ. ඒ වගේම ඔබට මේ රටේ අති දක්ෂ අධ්‍යක්ෂවරුන් යටතේ රංගනයට අවස්ථාව හිමිවුණා. මේ අත්දැකීම් ඔබට, ඔබේ අධ්‍යක්ෂණ කාර්යයට පිටුවහලක් වුණාද?
ඔව්. මම රංගන ශිල්පිනියක්. මම කරන්නේ රඟපාන එක. රඟපානවා කියන්නේ සහ අධ්‍යක්ෂණය කරනවා කියන්නේ කාරණා දෙකක්. අඩුපාඩු තියෙන්න පුළුවන් චිත්‍රපටයේ. ඒක හින්දම. මොකද රඟපාන ගමන් අධ්‍යක්ෂණය කරනවා කියන්නේ ලේසි පහසු කාරණාවක් නොවෙයි. නිර්මාණශීලිත්වය සමඟ මගේ තිබෙන බුද්ධිය හරියට වෙහෙසන්න මට සිද්ධ වුණා. මෙතනදි මට විශාල සහායක් අවශ්‍ය වුණේ කැමරා ශිල්පියා සහ සහාය අධ්‍යෂවරයාගෙන්. මේ දෙදෙනා තමයි චිත්‍රපටයක සුවිශාල බරක් උහුලන්නේ. චිත්‍රපටයක් සත්‍යජිත් රායි කළත්, ලෙස්ටර් පීරිස් කළත් ඒකේ මොකක් හෝ අඩුවක් මිනිස්සු දකිනවා. කියනවා. මේ සමාජයේ දකින්නට තිබෙන සාමාන්‍ය ස්වරූපය ඒක. මට මේ චිත්‍රපටය කරන්න මම ලබපු ඒ අත්දැකීම් සැබවින්ම පිටුබලයක් වුණා. මාව අධ්‍යක්ෂණය කළ විවිධ අධ්‍යක්ෂවරු ඉන්නවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ඩී.බී. නිහාල්සිංහ, එච්. ඩි. ප්‍රේමරත්න, ෂෙල්ටන් පයාගල වැනි විවිධ පරාසයන්ගෙන් යුත් විවිධ කැටගරිවලට වැටෙන අධ්‍යක්ෂවරුන් යටතේ මම විවිධ චරිත නිරූපණයන් කළා. ඒ වගේම මම. රගපෑවෙත් විවිධ චරිත. මේ චරිත රඟපාත්දි විනය සහ බුද්ධිය අත්‍යාවශ්‍යය කාරණාවක්. නිර්ණශිලිත්වය සහ තමන්ගේ සහජ දක්ෂතාවයත් මේකට බලපානවා. මම විශ්වාස කරන හැටියට බුද්ධිය නොමැතිව නම් රංගනයේ යෙදෙන්න අපහසුයි. ඒ වගේම තමයි තමන් නිරන්තර අධ්‍යයනයක නිරත වෙන්න ඕන.
අනෙත් පැත්තෙන් තිර රචනය අධ්‍යයනය කරන්න ඕන. ඒක තමයි අපිට අද නැතිම දේ. පිටපතක් දුන්නම ඒක අධ්‍යයනය කරන්නේ නෑ. කැමරාව ඉස්සරහට එනවා කරනවා.
මේ අධ්‍යයන කාර්යය ඔබට එදා ඉදලම තිබුණද?
ඔව්. එදා ඉදලම තිබුණා. මම නියම වශයෙන් රංගන ශිල්පිනියක් විදියට මගේ රංගන කාර්යය හරහා මිනිස්සුන්ගේ බුද්ධියට කතා කරන්නේ කොහොමද? මිනිස්සුන්ගේ හදවතට කතා කරන්නේ කොහොමද? කියන එක ක්‍රම ක්‍රමයෙන් වඩා ගත්ත කෙනෙක්. මම මගේ රංගන ජිවිතේ මුල් බාගයේ කල රංගනයන්ගෙන් මම ඒ විදියේ දෙයක් දැක්කේ නෑ. මගේම රංගනය මම විවේචනය කළා. ජනප්‍රිය සිනමාවේ මම කරපු ඒ චරිතවල ඔය කියන කාරණා මම දැක්කෙත් නෑ. මම ලස්සනයි. පෙනුම තියෙනවා. මිනිස්සු ප්‍රිය කරනවා තමයි. නමුත් රංගනයේ මම ගැඹුරක් දැක්කේ නෑ. මම ඒ චරිත ඔස්සේ කිසියම් වින්දනයක් ලැබුවා තමයි.
මේ ගැඹුර අවබෝධකොට ගෙන ඔබේ රංගනය ඡේදනය වෙන්නේ ලෙස්ටර් හමුවුණායින් පස්සේද?
ඇත්තටම ඔව්. ලෙස්ටර් පීරිස් හමුවුණාට පස්සේ තමයි. මගේ රංගන ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වෙන්නේ එතැනින්. රංගනය කියන්නේ මොකක්ද? ගැඹුරින් මිනිස්සුන්ගේ හදවතට කතා කළ යුත්තේ කෙසේද?, හඬ පාලනය, අංග චලනය වැනි කාරණා පිළිබඳ වෙනසක් ඇති වෙන්නේ මෙතැනදි තමයි. නියම තාත්වික රංගනය කියන එක මම ඉගෙන ගත්තේ ලෙස්ටර් පීරිස් ගෙන්. තාත්වික රංගනය හැමෝටම එක විදියට කරන්න බෑ. එයින් පස්සේ මට බොහෝ සේ තේරුණා මේ රංගනයන් දෙකේ වෙනස කොයි තරම්ද කියලා. එතකොට මම හිතුවා මෙතනින් එහාට මම ඒ පාරේ යන්නේ නෑ කියලා. ඉන් පසුව මම ජනප්‍රිය සිනමාව තුළ නොදකින්න හේතුව ඒක තමයි. මට ඒක දැනුණේ හරි බොළඳ දෙයක් විදිහට. මට ඕන වුණේ සමාජයට කිසියම් ගැඹුරු දෙයක් දෙන්න. ඉන්දියාවේ වුණත් වාණිජ රැල්ලේ සිනමාව තුළ යම්කිසි ගතයුතු දෙයක් තියෙනවා. නමුත් අපේ සිනමාවේ වාණිජ රැල්ලේ සිනමාව තුළ සිහින ලෝක, ඒ කියන්නේ ෆැන්ටසි තුළම සිටින තත්වයක් තමයි තිබුණේ. ඒකට මම කැමැති වුණේ නෑ. නමුත් ඒකට කැමැති අය බොහෝ සේ සිටියා. සහ ඉන්නවා. දැනටත් ඉන්නවා. එතැන මට ගැඹුරක් නෑ. චින්තනයක් නෑ. දැක්මක් නෑ. කියලා තමයි දැනුණේ. මම ඒක තේරුම් ගත්තා. ඒ නිසා වාණිජ රැල්ල මෙතනින් නවතිනවා කියලා හිතගෙන තමයි ලෙස්ටර් පීරිස් ගෙන් මම ඉගන ගත් දේ ඉදිරියට අරගෙන ගියේ. ඒ වගේම තමයි මම එක දිගට චිත්‍රපටවල රඟපෑව කෙනෙක් නොවෙයි. මම හරිම සුවිශේෂ අවධානයක් යොමු කෙරුවා පිට පත කෙරෙහි.
ඒ කියන්නේ ඔබ තෝරා ගත්තා. ඔබට ලැබුණු හැම චරිතයම කළේ නෑ?
ලැබෙන හැම එකක්ම කළේ නෑ. එහෙම කළා නම් මම මීට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්න තිබුණා. ආර්ථික වශයෙනුත් මීට වඩා ඉදිරියෙන් ඉන්න තිබුණා. මම හිතනවා ආර්ථික වශයෙන් පල්ලෙහාම මට්ටමේ ඉන්න එක්කෙනා මම.
නමුත් අද ඔබ සතුටු වෙනවද එහෙම නොකරපු එක ගැන?
ඇත්තටම ඔව්. මහා පරිමාණයෙන් සතුටු වෙනවා. සුවිශේෂ ආකාරයට සතුටු වෙනවා. චිත්‍රපට සීයක් රඟපාල ලැබෙන ප්‍රසිද්ධිය සහ මුදල, ආත්ම තෘප්තිය ට වඩා සදාතනිකව මම සුවයක් ලබනවා. ඒක හරියට නිවන් දැක්කා වගේ වැඩක්. ලොකු සතුටක්, මානසික සුවයක්. ඒක තව දුරටත් මට සාක්ෂාත් වෙනවා. මාව දැක්කම මගේ රංගනය දැකලා මට ආදරය කරන පිරිස් දක්වන ප්‍රතිචාර හේතුවෙන්. ඒ සතුට මට සම්මානවලින්, මුදල් වලින් ලබන්න බෑ. ගොඩාක් දෙනෙක් සම්මාන ලැබෙනකොට සතුටු වෙනවානේ. මට එහෙම දෙයක් නෑ.
ඔබේ චිත්‍රපට ලැයිස්තුව ගත්තමත් ඉතාම කෙටියි. නමුත් ඔබ මේ දක්වා මේ ක්ෂේත්‍රය පුරා ඉහළට ඔසවා තබා තිබෙන්නේ ඒ ඔබ තෝරා ගත් සියුම් රංගන ප්‍රතිභාවන්. ඒ ගැන ඔබට මොකද සිතෙන්නේ?
බොහෝම සුළු චිත්‍රපට ප්‍රමණයක මම රඟපාල තියෙන්නේ. සුළු චරිත ප්‍රමාණයක්. හැබැයි ඒ හැම චරිතයටම මම උපරිම සාධාරණත්වය ඉෂ්ට කරලා තියෙනවා. මිනිස්සුන් ගේ හදවත් තුළට ඒ චරිත යනවා කියන්නේ ඒක මම හරියට කරලා තියෙනවා කියන එකයි. ඒක මගේ හැකියාව. මට මතකයි, මම ඔය චරිත වෙනුවෙන් කොච්චර මහන්සි වෙලා තියෙනවද? චරිතයක් බාර ගත්තම අනෙක් බාහිර කිසි දෙයක් ගැන මම හිතුවේ නෑ. මගේ පවුල, දරුවෝ, ඥාතින් ඒ කිසි දෙයක් ගැන මම හිතුවේ නෑ. බොහෝ නිර්භීත විදියට මම චරිත තෝරා බේරා ගත්තා. යම්කිසි චරිතයක් තෝරාගෙන මේක මට අභියෝගයක් වෙනවා කියලා මම හිතුවේ නෑ. එහෙම හිතලා පස්ස ගැහුවේ නෑ. අභියෝගයක් වෙනවා නම් තමයි හොඳ. කියලා තමයි මම හිතුවේ. අපි ඒ කාලේ ස්වයංව තමයි චරිතය අධ්‍යයනය කළේ. අපට අධ්‍යයනය කරන්න තැන්, ඉගෙන ගන්න ඇකඩමි. හරියට කෙනෙක්, ස්ථානයක් තිබුණේ නෑ. මම විසින්ම පොත පත කියවලා, බටහිර සිනමාව නරඹලා, ජාත්‍යන්තර මට්ටමේ සිනමා කෘති නරඹලා, නළු නිළියන්ගේ ජීවන චරිත අධ්‍යයනය කරලා, රංගන කාර්යයන් අධ්‍යයන කරලා පරිශිලනයෙන් තමයි ඉගෙන ගත්තේ. අනෙක් සියලුම දේ මම අතහැරියා. චරිතයට පමණක් අවධානය දුන්නා. එහෙම තමයි ඒ චරිත ගොඩ නැඟුවේ.
හුලවාලි චිත්‍රපටය ගත්තොත්, එහි සුභාගේ චරිතය අපිට නිතර දෙවේලේ හමු නොවන චරිතයක්. වැලි කතර බැලුවොත් අපිට හිතන්න පුළුවන් මේ වගේ චරිත තිබෙනවා කියලා. අපිට නිතර අහුනොවන චරිතයක් තමයි හුලවාලි ‘සුභා’ ගේ චරිතය. එතකොට ඒක ගොඩනඟන එක ලොකු අභියෝගයක්. අනෙක් එක ඒ චරිතය මට ගොඩ නඟන්න තියෙන්නේ දක්ෂ නළුවෙක් එක්කලා. මම කල්පනා කළා මේක කොහොමද කරන්නේ කියලා. පිටපත මම හත් අට වතාවක් කියෙව්වා. ඒ චරිතය අධ්‍යයනය කරන්න ඕනකමට. මම විශ්වාස කරනවා මගේ උපරිම ශක්තිය, චින්තනය, හැකියාව, බුද්ධිය මම එතෙන්ට යොමු කළා කියලා. සුභාගේ චරිතය මිනිස්සුන්ගේ හදවත් වලට හරියට ඇතුළු වුණා. කොච්චර ඔවුන්ට දැනුණාද කිව්වොත් මට ඒ යුගයේ පාරේ බැහැලා යන්න බැරි වුණා. මාව දැක්ක ගමන් ‘සුභා’ කියලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ වගේම ‘සිකුරුලියා’ චිත්‍රපටයටත් මට ඒ ප්‍රතිචාරයම ලැබුණා. මේ චරිත දෙක මිනිස්සුන්ගේ හිත්වලට අසාමාන්‍යය ලෙස කා වැදුණා. ‘වැලි කතර’ මට ඊට වඩා වෙනස් අත්දැකීමක් ලබා දුන්නා. ඉතාම හොඳ දෙබස් තිබෙන නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය පළවෙනි සිනමාස්කෝප් චිත්‍රපටය. මේ චිත්‍රපටය මම කරන්නේ දෙලොවක් අතර කරලා කාලයකට පස්සේ.
ඔබේ රංගන ජිවිතයේ සමහර තැන් හිස් තැන් ලෙස සටහන් වෙලා තිබෙනවා. සමහර අවදි ඔබ කිසිම චිත්‍රපටයකට දායක නොවී ගත කළ අවස්ථා තිබෙනවා. මේ ඡේදන ඔබ හිතා මතා ඇතිකරගත් ඒවාද?
මම හිතුවා ලැබෙන ලැබෙන සියලු දේවල් බදා ගත යුතු නැත කියලා. මගේ ජිවිතේ පුරාම, සිනමාවට පමණක් නොවෙයි අනෙක් හැමදේටම අසීමාන්තික බදා ගැනීම් නෑ. ලැබෙන ලැබෙන සියලු දේවල් පසු පස මම යන්නේ නෑ. ආස චරිතයක් තිබෙනවා. මම කරන්න ආසයි. මෙය කෙරුවොත් අපේ රට, සංස්කෘතිය, සමාජය, සමාජයේ විනය ආදි දේ පිළිබඳ, පැවැත්මක් තියෙනවා. ඒකට සරිලන විදියට විනය ගරුකව මානුෂිකව හරි ක්‍රමයට, හරිකාලයට සිද්ධ විය යුතුයි. එවිට මම ඒක කරාවි.
මේ චින්තනය ඔබට ඇති වුණේ කොහොමද?
මේ චින්තනය මගේ ජීවිතේ පොඩි කාලේ සිට හැංගිලා තිබුණු දෙයක්. මට සහජයෙන් ලැබුණු දෙයක්. මේවා සමහර වෙලාවට සංසාර පුරුදු වෙන්න ඕන. මොකද මම කිසිසේත්ම රංගන ශිල්පිනියක් වෙන්න හිටිය කෙනෙක් නොවෙයි. මම ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්න හිටිය කෙනෙක්. මම ඉස්කෝලෙදි රංගනය කළේ නෑ. නමුත් මම නැටුම් විෂය හැදෑරුවා. නමුත් කවදාවත් වෘත්තිය මට්ටමකට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒකට කවදාවත් අපේ මව්පියන් ඉඩ දෙන්නෙක් නෑ. ඒ කාලයේ රංගනය වැනි කාරණා සමාජයේ එතරම් පිළිගන්නා කාරණා බවට පත්වෙලා තිබුණේ නෑ. කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. පහත් මට්ටමේ වෘත්තියක් හැටියට තමයි එවකට ඒකට සැලකුවේ. ඒ කාලේ හැටියට කැමරාවක් ඉස්සරහට ආවොත් සැලකුවේ නිළියක් හැටියට තමයි. නමුත් නිළියක් සහ රංගන ශිල්පිනියෙක් අතර වෙනසක් තිබෙනවා කියලා මම අවබෝධ කර ගත්තා. මම නිළියක් නොවෙයි. ඒක සාමාන්‍ය පොදු වචනයක්. මම රංගන ශිල්පිනියක්. ඒක ශිල්පයක්. ශිල්පය හරියට කළොත් තමයි රංගන ශිල්පිනියක් වෙන්නේ.
මම හිතනවා ඒක මට සහජයෙන් ආපු දෙයක් කියලා. මගේ ජිවිතේ සමහර කාල පරිච්ඡේද වසර පහක් වැනි දිර්ඝ නිහඬතාවන් තිබුණා. නමුත් මේ කාලයේ මම නිකම් හිටියේ නෑ. හැටේ දශකයේ තමයි දෙලොවක් අතර, හැත්තෑවේ දශකයේ තමයි වැලි කතර. මේ අතර වෙනස අවුරුදු පහයි. මේ අවුරුදු පහ තුළ මම සිනමාව අධ්‍යයනය කළා. සිනමාවට එන්න කලින් කිසිසේත්ම මේ ගැන හැඟීමක් තිබුණේ නෑ. පාසල් යන කාලයේ සාහිත්‍ය කටයුතු වල යෙදුණා. සින්දු කිව්වා.
ඒ කාලෙ ඔබට පූර්වාදර්ශ වුණේ මොනවද?
පුර්වාදර්ශ තිබුණේ වාණිජ පැත්තට. මම ඉස්කෝලෙ යන කාලේ හෝල් වලට ගිහින් චිත්‍රපට බැලීමේ අවස්ථාවක් ලැබුණේ නෑ. දෙමව්පියෝ අරන් යන්නෙත් නෑ. මම පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යන්න තීරණය කළා. අපේ අම්මත් ඒකට කැමැති වුණා. පුංචි කාලේ ඉදලම මගේ ජීවිතය තුළ කෙනෙකුට උදව් උපකාර කිරීම, සාත්තු සප්පායම් කිරිම පිළිබද පුරුද්දක් තිබුණා. ඒවගේ මොකක්දෝ හැංගිච්ච දෙයක් තිබුණා. වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගන්න අතර තුර තමයි මට සිනමාවට ප්‍රවිෂ්ට වෙන්න අවස්ථාව ලැබුණේ. එක ඉතින් කිව්වට බෑ. දෛවය මට තීරණය කරලා තිබෙන්න ඇත්තේ සිනමාව වෙන්න ඕන. කර්මය සහ දෛවය වෙනස් කරන්න බෑ. දෛවය මට තීන්දු කරලා තිබුණේ රංගනය.
එහෙම නොවුණා නම් ඔබ අද ආයුර්වේද වෛද්‍යවරියක්?
ඔව්. එහෙම නඕ මට බොහෝ මිනිස්සුන්ගේ ලෙඩ සුවපත් කරන්න තිබුණා. එහෙම නම් මම මේ වෙනවිට විශ්‍රාම ගිහින් ඉන්නතිබුණා. එදා බොරැල්ලේ ආයුර්වේදයේ මමත් සමඟ එකට හිටපු ශිෂ්‍යයෝ සමහර වෙලාවට අදටත් මට මුණ ගැහෙනවා. සමහරු මට කියනවා අනේ අපරාදෙ, ඔයා මේක දාල ගියේ කියලා. නමුත් මට එහෙම කම්පාවක් නෑ. මම කියන්නේ, නෑ ..මට සතුටුයි එහෙම වුණාට කියලා. මම අද සියලු මිනිසුන්ගෙ සියලු රෝග වලට වෙදකම් කරනවා. නමුත් මට ඔයාලට වගේ ස්ටෙත්ස් එකක් නෑ. නමුත් මම මනසින් මිනිස්සු සුවපත් කරනවා. මනස සුවපත් කරනවා කියන්නේ හැම ඉන්ද්‍රියයක්ම සතුටු වෙනවා. ඒ නිසා වෛද්‍යවරියක් නොවුණ එක ගැන මම ඉතාම සතුටු වෙනවා. මට වෛද්‍යවරියක් වුණා නම් සිටින ජනතාවට වඩා අද උතුරේ සිට දකුණටත් සතර දිශාවටත් අති විශාල මිනිස් සම්පතක් මා වටා අද සිටිනවා. මට තාමත් ඔවුන් හරිම ආදරෙයි. ඒ තමයි මම ලබපු ලොකුම තෘප්තිය. සම්මාන වලට වඩා.
ඒ කාලේ වෛද්‍යවරියක් වෙන්න ඔබට ඕනෑතරම් ඇකඩමික් ගන්න අවස්ථාව තිබුණා. නමුත් ඔබට රංගනය පිළිබද හදාරන්න එහෙම තැන් තිබුණේ නෑ. නමුත් එදා ඔබ රගපෑ චරිත අද රංගන ශිල්පිනියන්ට අධ්‍යයනයට තරම් ඉහළ මට්ටමක පවතිනවා ඒකට හේතුව කුමක්ද?
ඒකට හේතුව මම කියන්නම්. මුලින්ම තමන්ගේ අරමුණ ගැන හිතන්න. මම මේකෙන් මුදල් හොයනවා. නැතිනම් මම මේක ඉගෙන ගන්නවා. අන්න එවැනි චින්තනයක් තියෙන්න ඕනෑ. ඕනැම දෙයක් සාර්ථක කර ගන්න චින්තනයක් තියෙන්න ඕන. මට ඒ චින්තනය තිබුණා. මගේ මෑණියෝ මාව බිහිකළා ඉතාම රූපවන්ත ළදරුවෙක් විදියට. ඒ රූපේ වටිනාකම මමත් දැනගෙන හිටියේ නෑ. මගේ අභ්‍යන්තරය මගේ චින්තනය මම වඩවා ගත්තා. ඒකට හොඳ විනයක් තියෙන්න ඕන. එතකොට තමන් යන්නේ කොහෙද කියලා ඉලක්කයක් තියෙන්න ඕන. එතකොට තමයි ඒක හඹාගෙන යන්න පුළුවන් වෙන්නේ. මම ඒක කළා. මම හඹාගෙන ගියා. මම මාව පෝෂණය කළේ නෑ. මට ඕන මගේ ප්‍රේක්ෂක ජනතාව පෝෂණය කිරීම තිබුණේ. මම ඒ වෙනුවෙන් කැපවුණා. අධ්‍යයනය කලා. බටහිර සිනමාව, ශාස්ත්‍රීය සිනමාව මට ඒකට උදව් වුණා. ඒ කාලේ අද වගේ තාක්ෂණික දියුණුවක් තිබුණේ නෑ. මට අද වගේ අන්තර්ජාලය තිබුණේ නෑ. මට තිබුණේ පොත් පත් විතරයි. මම නිතර ගැවසුණු තැන් තමයි පොත් සාප්පු. මම ෂොපින් ගිය කෙනෙක් නොවෙයි. මම යන්නේ පොත් හොයාගෙන. මම ගියේ බස්වල. මට දොලොවක් අතර රඟපාන කාලේ වාහන නෑ. මට මගේ කියලා වාහනයක් ගත්තේ හුඟාක් කාලෙකට පස්සේ. නමුත් මම අනිත් අයගේ වාහනවල ගියෙත් නෑ. මම ගියේ බස්වල. පයින්. මට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි ඒ කාලේ මගේ සමකාලීනයෝ වාහනවල ගියා. ඒවා දැක්කා කියලා මට දුක හිතුණෙත් නෑ. මොකද මගේ චින්තනය වෙනස්නේ. මම හැම දෙයක්ම ගොඩනඟා ගත්තේ මටම ආවේණික විලාශයකින්. මගේ පුද්ගලික ජිවිතයක් ඒ වගේමයි. මට රංගනයට මොඩෙල් එකක් තිබුණා නම් බටහිර නිළියක වන ඕඩ්‍රි හෙප්බර්න් තමයි. එයා හරිම සංයමයකින් රඟපාන නිළියක්. බටහිර සිනමාවේ තව අති දක්ෂ නිළියෝ ඉන්නවා. නමුත් මේ අය අතරින් මගේ හිත බොහෝ සේ ළංවුණේ මේ ඕඩ්‍රි හෙප්බර්න්ගේ ශෛලියට මම කැමතියි. එයාගේ රංගන ශෛලිය, අග පසග, දෙබස් උච්චාරණය හැම දෙයක්ම මම අපේ සිංහල සිනමාවට අනුගත කළා. ඒකට මට ලොකු හැකියාවක් තිබුණා.
ඔබේ පුතාත් සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙසට වර්තමානයේ සිනමා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක්. පුතාගේ අධ්‍යක්ෂණයට මව යටත් වූ ඒ විරල අවස්ථාව මම හිතන්නේ ලෙහෙසියෙන් කෙනෙකුට නොලැබෙන අවස්ථාවක් එය ඔබට ලැබි තිබෙනවද?
මේකට මම හොඳට හිතලා මතලා උත්තරයක් දෙන්න ඕන. මා පිළිබඳ මේ රටේ ප්‍රේක්ෂකයන් අතර සහ නිර්මාණකරුවන් අතර ඉතා ඉහළ තක්සේරුවක් තිබෙන බව කවුරුත් දන්නා කාරණයක්. නමුත් මට ඔහුගේ නිර්මාණයේ ඉඩක් ලැබි නෑ. එයා සිනමාවට ආවේ මම නිසයි. මම බවදුක චිත්‍රපටයේ රඟපානවිට එයා අවුරුදු 10 විතර පොඩි පිරිමි ළමයෙක්. ධර්මසිරි බණ්ඩාරනායක මගෙන් ඉල්ලීමක් කළා එයා මේ චිත්‍රපටයේ රඟපාන්න දෙන්න කියලා. ඒ අනුව තමයි එයා බවදුකේ රගපෑවේ. මට හිතාගන්න බෑ දැන් බලනකොට මට හිතෙනවා එයා කිසිම තැනකට ගිහින් අධ්‍යයනය කරලා නෑ. නමුත් මම එකක් කියන්නම්. එයාට රංගනය පිළිබඳ එන සහජ දක්ෂතාවය ආවේ මගේ හරහා. විශේෂයෙන් මගේ ජාන. එයා මගේ කුසේ ඉන්නකොට මම රඟපෑවා ‘තුත්තිරි මල්’ කියන චිත්‍රපටයේ. මම කරපු හැම හැගීමක් දැනීමක්ම එයාට දැනෙන්න ඇති.
පසුකාලීනව මම රූගත කිරිම් වලට යනකොට මම ස්ටුඩියෝ වලටත් එයා ගෙනිච්චා. ස්ටුඩියෝ එක ඇතුළේ එයා නිදි කරවපු අවස්ථාත් තිබුණා. මගේ දෙබස් කැවිම් නිම වනතුරු එයා සද්දයක් බද්දයක් නැතුව හිටියා. ඉතින් මට හිතෙනවා එයා ඒක මගේ කුසින් බිහිවෙනවිටම රැගෙන ආව දෙයක්. මේ ළඟකදි එයා දැන්විමක රඟපාලා තිබුණා හරිම ලස්සනට. ඒ ගැන මම සතුටු වෙනවා. එයා මගේ පුතා.
එයා මගේ පුතා වීම මගේ භාග්‍යයක්. මම එයාගේ අම්මා වීම එයාගේ භාග්‍යයක්. මම හරියට සතුටු වෙනවා එයාගේ කලා නිර්මාණ දිහා බලලා. මගේ නිර්මාණයත් එයා බැලුවා. මට වෙලාවකට හිතෙනවා. එයා මාව අධ්‍යක්ෂණය කලා නම් අනිත් අය කොයි කොයි විදියට ඒක ගනියිද දන්නේ නෑ. ඒක හොඳක් වෙන්නත් පුළුවන් නරකක් වෙන්නත් පුළුවන්. මට හොඳක් වෙන්නත් පුළුවන්. නරකක් වෙන්නත් පුළුවන්. එක එක විදියේ මති මතාන්තර එන්න පුළුවන්. අපේ ලංකාවේ මම හිතන්නේ අම්මාව පුතාට අධ්‍යක්ෂණය කරන්න ලැබිලා නෑ. බටහිර සිනමාවේ ඇති. එයාගේ බලාපොරොත්තුවක්. තියෙනවා මාව යොදවන්න. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මම දන්නෙනෑ එක කවදා කොහොම වෙයිද කියලා. ඒක වුණොත් එයාගෙ ලොකුම භාග්‍යයක් කියලා මම හිතනවා. මගෙ දැනුම සහ හැකියාව තුළින් එයාට ආලෝකයක් එනවා නම් මම ඒකට සතුටු වෙනවා. ඒ ආලෝකය ලැබේවිද කියන එක දෛවය විසින් තීරණය කරාවි.
ඉදිරි කලා කටයුතු මොනවාද?
මගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමුවෙලා තිබෙන්නේ ‘සාදි’ පසු නිෂ්පාදන කටයුතු වලට.
සේයාරූ – නිශ්ශංක විජේරත්න