KM film Academy හි නිර්මාතෘ මෙන්ම සිනමා විෂයය පිළිබඳ විදෙස්ගතව අධ්‍යාපනය ලබා අද වනවිට සිනමාකරණය උගන්වන දේශකවරයකු ලෙස ද කටයුතු කරන තරුණ චිත්‍රපට අධ්‍යක්ෂ කමිල මේදිස් සිය නිර්මාණ දිවිය පිළිබඳ සාකච්ඡා කිරීමට සරසවිය හා මෙසේ එක්විය.
ඔබ අද චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. සිනමාකරණය හැදෑරිය යුතු යැයි සිතුවිල්ල පහළවූයේ කෙසේද….?
සිනමාකරණය ගැඹුරු විෂයයක්..මම සිනමාව දකින්නේ ජීවිතය ලෙසයි. පාසල් කාලයේ සිටම මම සිනමාවට ගොඩක් ප්‍රිය කළා. මම වෙළෙඳ දැන්වීම් හරහා සුළු චරිත රඟපාමින් අවස්ථා සොයමින් ගියා. එක්තරා මොහොතක මට සුළු චරිතයක් ලැබුණා. සුළු චරිතයක් සහ ප්‍රධාන චරිතයක් කරන දෙදෙනකුට නිෂ්පාදන කණ්ඩායම් සලකන අයුරු මම අත්දැක්කා. ඒ වෙනස මට දරාගන්න බැරිවුණා . එහිදී මම සිතුවා ඉගෙනගෙනම කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා කියලා. ඒ සිතුවිල්ල මාව උපාධිධාරී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් බවට පත්කළා. අද මම අන්තර්ජාතිකව පිළිගත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්.
සිනමාව නමැති විෂයය ක්ෂේත්‍රය අධ්‍යයනයට පෙළැඹුණු අයුරු පැහැදිලි කළොත් ….?
මට කුඩා කල සිටම කලාව ඉගෙනීමේ උණක් තිබ්බා. එකී උණ සුවපත් කරගන්න මට උපකාර වුණේ සරසවිය සිනමා පුවත්පතයි. සරසවියේ තීරු ලිපි කපා එකතු කරමින් මම සිනමා ඉතිහාසය හදාරන්න පටන්ගත්තා .කොළඹ ජාතික පුස්තකාලයෙන් සිනමාව ගැන ලියවුණු පොත් දවස් ගණක් කියෙව්වා. චිත්‍රපට කලාව හදාරන්න තැනක් සොයමින් ඇවිදින අතරේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සේවය කරන දීප්ත බණ්ඩාර මහතාගේ සහායෙන් සිනමා කැමරා ශිල්පි ධනුෂ්ක ගුණතිලක අයියාගේ මගපෙන්වීමෙන් සිනමාකරණය වැඩිදුර ඉගෙනීමට මම ඉන්දියාවට ගියා.
විදෙස්ගතව සිනමා අධ්‍යාපනය ලද අවධිය සිහිපත් කළොත් ….?
ඉන්දියාව මගේ දෙවැනි උපන්බිම. මම අධ්‍යක්ෂවරයෙක් වුණේ ඒ රටේදී. කුඩා කල මම ලොකුඅම්මා එක්ක ඉන්දියා ගියත් අධ්‍යාපනයට ගියේ තනියෙන්. අම්මා මේ වෙනුවෙන් වියදම් කළා. මම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේහි Film And Television Institude හි අධ්‍යාපනය හැදෑරුවා. එතැනින් එහාට සිනමාවේ තාක්ෂණික ක්‍රමවේද තවදුරටත් පුළුල්ව හැදෑරීමට බොලිවුඩ් සිනමාවේ අගනගරය වන මුම්බායි වෙත යනවා. එහි Fx Film School පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් Digital Media සම්බන්ධ උපාධිය ලබාගත්තා. මම වැඩිපුර කාලයක් ගතකළේ මුම්බායිවල. සිනමාව පිළිබඳ අල්පමාත්‍රයක් නොදැන, කාත් කවුරුවත් නොදන්නා රටක කුඩා කල සිටම රූපවාහිනියෙන් දුටු ඉන්දීය සිනමා තරු නිතර දකින්න, ඇසුරු කරන්න ලැබීමත් කුලුඳුල් අත්දැකීමක් වුණා.
සිනමාකරණ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයන් මොනවාද ….?
පළමු හැරවුම් ලක්ෂ්‍යය වුණේ කිසිම දැනුමක් නොමැතිව රූගත කළ වීඩියෝ කිහිපයක් එකතු කර නිර්මාණය කළ පළවැනි කෙටි චිත්‍රපටය මමවත් නොදැන මගේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය විසින් සිනමා සම්මාන උළෙල කිහිපයක තරගකාරී අංශ වෙත යොමුකර මා විශ්වවිද්‍යාලයට එන දවසේ හොඳම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයා හොඳම කෙටි චිත්‍රපටය ආදී ශීර්ෂ යටතේ සම්මාන කිහිපයක් ලබා ඇති බව දැනගැනීමට ලැබීමේ සිදුවීමයි.ඒ වගේම මුම්බායි විශ්වවිද්‍යාලයේදී මම කණ්ඩායමේ ඉහළම ලකුණු ලබාගැනීම වෙනුවෙන් වෘත්තීය පුහුණු කාලය සඳහා “යෂ්රාජ්” චිත්‍රපට නිෂ්පාදන සමාගම විසින් මාව තෝරාගත් සඳහන් ලිපිය මා අතට ලබාදීම ද මගේ සිනමා දිවියේ ලද විශේෂම හැරවුම් ලක්ෂ්‍යයන් ලෙස සලකන්න පුළුවන්.
අධ්‍යක්ෂණ කාර්යයට අමතරව සිනමාවේ අනෙකුත් ආනුශාංගික අංශ සඳහා ඔබේ නැඹුරුව මොනවගේද …….?
මගේ සිනමා දිවියේ අධ්‍යක්ෂණය පිළිබඳ ඉගෙනගන්නා විට මගේ විශේෂීකරණය වූ විෂයපථය වූයේ අධ්‍යක්ෂණය හා තිරපිටපත් රචනයයි. මා උගත් විශ්වවිද්‍යාල දෙකෙහි අධ්‍යක්ෂවරයකු සතුව සියලු මූලික දැනුම තිබිය යුතු බව ඔවුන් තරයේ පිළිගත් නිසා කැමරාකරණය, සංස්කරණය, ඡායාරූපකරණය, ආලෝකකරණය, කලා අධ්‍යක්ෂණය වේශ නිරූපණය, සංගීත අධ්‍යක්ෂණය, නිෂ්පාදන කළමනාකරණය මෙන්ම රංගනය පිළිබඳවත් හදාරන්න වුණා. මේ සියල්ල අපතේ ගියේ නැහැ. මගේ නිර්මාණ දිවියට අදටත් මේවා මම උපයෝගී කරගන්නවා.
ඔබ මුල් කාලයේ මෝස්තර නිරූපණයත් සම්බන්ධ වුණා නේද….?
සිනමාව හදාරන්න පෙර මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් ලෙස කලා ක්ෂේත්‍රයට එකතුවුණා. එහෙත් මම තේරුම්ගත්තා මට නිරූපණ ශිල්පයට වඩා ගැළපෙන්නේ වෙනත් කලා මාධ්‍යයක් කියලා
විදෙස්ගතව සිනමාව ඉගෙනගන්න සමයේ ඔබේ ගුරුවරුන් ලෙස සිටි පිරිස සිහිපත් කළොත්….?
ඒ පිළිබඳ දීර්ඝ ලැයිස්තුවක් තිබුණත් මම බොහොම කෙටියෙන් කියන්නම්. Abhineet Gogne කියන්නේ මාව අධ්‍යක්ෂවරයෙක් කළ ගුරුවරයා. Karen Williams, C.B. Arun Kumar, Elizabeth Zupari, Baidujya Saikia, Dhiraj Meshram ඇතුළු තවත් බොලිවුඩ් සිනමාකරුවන් රාශියක් මගේ ගුරුවරුන් ලෙස මට ශිල්පය ඉගැන්නුවා.
මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ මතකාවර්ජනය කළොත් …..?
මගේ පළමුවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය සිදුවන්නේ ඉන්දියාවේදීමයි. ඒ “සිතිජ්” නමැති හින්දි චිත්‍රපටයයි. මෙයට අඩිතාලම වැටෙන්නේ මගේම කෙටි චිත්‍රපටයක් වන “Horaizon” හරහා. සිංහල අනුවාදයට වඩා හින්දි අනුවාදයක් මගේ ගුරු මඩුල්ල ඉල්ලා සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස “සිතිජ්” නිර්මාණය වුණා. මෙය සුන්දර මෙන්ම කටුක මතක රාශියක් එකතු කළ නිර්මාණයක්.
අද වෙද්දි ඔබ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට නාමාවලිය සිහිකළොත්…? ඒ අතරින් වඩාත් කැමැත්තක් දක්වන නිර්මාණයක් හෝ නිර්මාණ වේද……?
මගේ පළමු කෙටි චිත්‍රපටය “A Hope”. එය මගේ පළමු නිර්මාණය නිසාදෝ මන්දා මම එයට වැඩි කැමැත්තක් දක්වනවා. දෙවැනි චිත්‍රපටය ලෙස “Wheel Chair ” ත් පසුව පිළිවෙළින් “Horizon, Sithij (කෙටි වෘත්තාන්ත), The Eye I , Corona Positive “නමැති කෙටි චිත්‍රපටත් නම් කළ හැකියි. මෑතකදී මා අධ්‍යක්ෂණය කළ “The Authour Judgement” ( (කෙටි වෘත්තාන්ත) චිත්‍රපටය දැනට පසු නිෂ්පාදන අවධියේ පවතින්නේ
අධ්‍යක්ෂයේදි ඔබ තෝරාගන්නා වස්තුබීජයන් ඔබේ ජීවිතය හා තදින්ම බද්ධවූ සිදුවීම් ද……? එකී නිර්මාණ ඔබේ ජීවිත පරිඥානයට කෙසේ බලපෑම් කළාද…..?
මම තෝරාගන්නා වස්තුබීජය බොහෝවේලාවට මගේ ජීවිතයේ හෝ මා දන්නා අයකුගේ සමීප සිදුවීමක් හෝ අත්දැකීමක් ආශ්‍රිත දෙයක් පාදක කරගෙන නිර්මාණය කරනු ලබනවා. ඒකට හේතුව ලෙස මම දැඩිව විශ්වාස කරනවා අපේ පළපුරුද්ද සහ අත්දැකීම නිර්මාණයක් තුළින් දැකීමේදී ඒ නිර්මාණය තුළ හැඟීම ජීවත් කිරීමේ හැකියාව සහ ප්‍රවණතාව පවතින්නේ තමන්ට ඒ නිර්මාණය කිට්ටු නම් පමණයි යන මතය.
හැබැයි සීමාවන් ඇතුළත ස්වයං විනයක් සහිතව ඒ විෂයය තුළ කටයුතු කරන නිසා එය මට බලපෑමක් නොවේ
මෙතෙක් ඔබ විසින් ලියවුණු සිනමා තිර පිටපත් ගැන කීවොත්……..?
මා රචනා කළ දීර්ඝ වෘත්තාන්ත චිත්‍රපට පිටපත් 02ක් දැනට අවසන්. තවත් පිටපතක් රචනා කරමින් ඉන්නවා. ඒවගේම සිනමාකරණයේ යෙදෙන මගේ මිතුරන්ගේ තිර පිටපත් සැකසීම සඳහා මෙන්ම තිර පිටපත් සංවර්ධනය කිරීම සඳහා ද උදව් වන අවස්ථා නැතිවාම නෙවෙයි
වෙනත් තිර රචකයකුගේ පිටපතකින් ඔබ චිත්‍රපටයක් අධ්‍යක්ෂණයේදී එකී පිටපතට ඔබේ පරිකල්පනමය ශක්තිය මුසුකරගන්නා ආකාරය පැහැදිලි කළොත් …..?
මම දැනට වෙනත් තිර රචකයකුගේ පිටපතක් ඇසුරින් කරන ලද නිර්මාණවලට අධ්‍යක්ෂණයෙන් අත තැබුවේ නැහැ. සමහර වේලාවට අපි මේ සාකච්ඡා කරන වෙනත් පිටපත කියන කාරණය ඇතුළේ මම දකින්නේ ඒ පිටපත ලියන රචකයා තුළත් යම්කිසි පරිකල්පනයක් ඇති. ඒ පරිකල්පනයට හානියක් නොවන අයුරින් අධ්‍යක්ෂවරයෙක් විනයානුකූලව කටයුතු කළ යුතු බව මගේ අදහසයි.
ඔබ සම්මානිත වූ අවස්ථාව මොනවාද ….?
අන්තර්ජාතික වශයෙන් සම්මානිත වූ අවස්ථා රැසක් තිබෙනවා . මගේ පළමු සම්මානයම මට බොහෝ වටිනවා . ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අව්රංගාබාත් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය හා හොඳම අධ්‍යක්ෂවරයා ලෙස “A Hope” කෙටි චිත්‍රපටයට සම්මාන ලැබීම. එසේම ජර්මනිය, කැනඩාව, බ්‍රිතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලින් මගේ කෙටි චිත්‍රපට සම්මානනීය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේදී අවස්ථා රැසකදී සිනමා උළෙල කිහිපයක් නියෝජනයට මට අවස්ථාව ලැබුණා
ඔබ අද සිනමාකරණය නමැති විෂයය උගන්වන ආචාර්යවරයෙක්. එකී භූමිකාව පිළිබඳ කතා කළොත් ….?
ඔව්, සිනමාකරණය නමැති විෂයය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස මම ආයතන කිහිපයකට සම්බන්ධව කටයුතු කළා. ඒ අතරතුර මම අමෙරිකානු චිත්‍රපට පාසලක් වන NewYork film Academy හරහා සිනමාව ඉගැන්වීම පිළිබඳ පාඨමාලාවක් ද හැදෑරුවා.
K.M ෆිල්ම් ඇකඩමියේ නිර්මාතෘ ඔබයි…..?
K.M. Film Academy ආරම්භ වෙන්නේ 2021දී මගේ මූලිකත්වයෙන්. කොරෝනා ව්‍යසනය වැනි සම්බාධක නිසා විවිධ හැලහැප්පීම්වලට ලක්වුණා .ගෙවුණු තෙවසර තුළ සිසුන් 40කට පමණ සිනමාකරණ විෂයය උගන්වන්න මට හැකිවුණා. සිනමාව ඉගෙනීමට ලංකාව තුළ නිසි අධ්‍යාපන ආයතනයක් නොමැතිවීම නිසයි මෙය ආරම්භ කරන්න සිතුවේ. හැමෝටම ඉන්දියා ගිහින් ඉගෙනගන්න බැහැනේ. K.M. ෆිල්ම් ඇකඩමිය තුළ චිත්‍රපට අධ්‍යක්ෂණය, සිනමා රූපකරණය, සංස්කරණය, රංගනය, නිෂ්පාදන කළමනාකරණය ඇතුළු බොහෝ දෑ අන්තර්ගත කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලාවක් හඳුන්වා දී තිබෙනවා. මේ ආයතනය රජයේ ලියාපදිංචි අධ්‍යාපනික ආයතනයක්.
ලාංකේය සිනමාව වෙනුවෙන් වෘත්තාන්ත චිත්‍රපටයක් අධ්‍යක්ෂණයට අදහසකුත් ඇති….?
ඔව්, ශ්‍රී ලාංකේය සිනමාවට අත තබන්න මම සූදානම්. බොහෝ අයට ප්‍රශ්නයක් තිබ්බා ඇයි මම ප්‍රමාද කියලා. මම මගේ ගමන යන්නේ කල්පනාකාරීව වගේම සෙමින්. මගේ සිනමා ගමනත් එසේයි. ඉන්දියානු අධ්‍යක්ෂණ සම්භවයක් සහිත මට ලාංකේය සිනමාවට හැඩගැසෙන්න යම් කාලයක් යාවි.
වර්තමානයේ මෙරට සිනමාවේ ක්‍රියාකාරීත්වය ඔබට දැනෙන්නේ කෙසේද ….?
ලාංකේය සිනමාව 70-80 දශකයෙන් පසුව කඩවැටීමකට ලක්වුණා. එයට හේතුව සිනමා නිර්මාණවල ගුණාත්මකභාවයේ අඩුව සහ ටෙලිවිෂනයේ ආගමනයයි. වත්මන් අධ්‍යක්ෂවරුන් සිනමාව ගොඩගන්න උත්සහ කරනවා. සිනමාවේ ක්‍රියාකාරීත්වයට ප්‍රේක්ෂක ක්‍රියාකාරීත්වයත් අවශ්‍යයි. වත්මන් සිනමා ප්‍රේක්ෂකයා අනුවණ නැහැ. ඔවුන් සම්භාව්‍ය වගේම වාණිජ චිත්‍රපටත් නරඹනවා. පසුගිය සමයේ මෙරට ආර්ථිකය හා බැඳුණු උද්ධමන තත්ත්වය සිනමාවටත් බලපෑවා. කාලයත් සමඟ මේ දේවල් විසඳේවි යන බලාපොරොත්තුව තිබෙනවා.
අන්තර්ජාතික සිනමාව සමඟ සංසන්දනයේදී අපේ සිනමාව ස්ථානගත කළ හැක්කේ කවර තැනකද….?
අන්තර්ජාතික සිනමාව සමඟ අපේ සිනමාව සංසන්දනය කළ නොහැකියි යන්න මගේ මතයයි. ඒ ඒ රටට අදාළ වූ සිනමා කර්මාන්තයක් බිහිවී තිබෙනවා. අපේ රටේ වෘත්තීයමය සිනමා කලාවක් හෝ කර්මාන්තයක් බිහිවී නැහැ. අන්තර්ජාතික සම්මාන ලැබෙනවා. හොඳ නිර්මාණ බිහිවෙනවා. එහෙත් ඒ පිළිබඳ නිසියාකාර සැලැස්මක් නිර්මාණය වී නැහැ. ඉදිරියේදී සිනමාවට නිසි වටිනාකමක් සමඟ වෘත්තියමය නිපුණතාවක් එක්වුණු දවසට අපේ සිනමාව ලෝක සිනමාවේ ස්ථානගත කිරීමට හැකිවේවි…
සිනමාකරණයේදී ඔබ වඩාත් ආභාසය ලැබූ දෙස් -විදෙස් නිර්මාණවේදීන් පිළිබඳ අර්ථකථනය කරන්නේ නම්….?
මට මුල්ම සිනමා අත්දැකීම විදිහට තියෙන්නේ ඉන්දියානු චිත්‍රපට. ඉන්දීය සිනමාව තුළ සත්‍යජිත් රායි, වර්තමානයේ නම් රාජ් කුමාර් හිරාණි, මනිරත්නම් වැනි අධ්‍යක්ෂවරුන් ද හොලිවුඩ් සිනමාව තුළ් ජෝර්ජ් මයිල්ස්, ස්ටැන්ලි කුබ්රික්, ජේමිස් කැමරන්, ස්ටීවන් ස්පිල්බර්ග්, ක්‍රිස්ටෝෆර් නෝලන් වැනි අධ්‍යක්ෂවරුන් මෙන්ම ජපන් සිනමාවේ අකිර කුරොසාවා, ජර්මන් සිනමාවේ විම් වෙන්ඩර්ස් මෙහිදී නම් කළ හැකියි. කොරියානු සිනමාවට මම ප්‍රිය කරනවා. සිංහල සිනමා නිර්මාණයක් ලෙස මා ප්‍රිය කරන්නේ මුලින්ම සිනමා ශාලාවක මා නැරඹූ සෝමරත්න දිසානායකයන්ගේ “සූරිය අරණ” චිත්‍රපටයට. එයින් ලද පන්නරයත් සමඟ සිනමාව අත්හදා බලන අවධියේ මා අනුගමනය කරනුයේ දේශීය සිනමාවේ අග්‍රගණ්‍ය සිනමාවේදියකු වූ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාවයි. එතුමාගේ සිනමා ශෛලියට මම දැඩි සේ ප්‍රිය කරනවා
නව තාක්ෂණය සමඟ අද චිත්‍රපට නැරඹීමේ විවිධ ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් නිර්මාණය වෙලා. ඒවා සිනමාවේ ප්‍රගමනයට කොතෙක් ප්‍රායෝගික වේද….?
තාක්ෂණය සමඟ අප සියලු දෙනාටම එයට අනුගත වෙන්න වෙනවා. පැරණි සිනමාශාලා අද වැසීගිහින්. බොහෝදෙනා අද ඔන්ලයින් ප්ලැට්ෆෝම් භාවිත කරනවා. මේ ඔන්ලයින් ෆ්ලැට්ෆෝම් තුළ සිනමවට ඇති අවකාශය හා ඒ අවකාශය පිළිගන්නා ප්‍රේක්ෂකාගාරයක් තවමත් නිර්මාණය වෙලාද යන්න මට ප්‍රශ්නාර්ථයක්.
සිනමාව හැදෑරීමට මෙරට ඇති ආයතන සහ පාඨමාලා පිළිබඳ ඔබේ දෘෂ්ටිය කවරාකාරද…..?
අද වනවිට සිනමාව පිළිබඳ පාඨමාලා රැසක් තිබෙනවා. ඒ ආයතන තුළ නිසි ප්‍රමිතියකින් දක්ෂයන් බිහිකරනවා නම් හෙට දිනය සිනමාවේ ස්වර්ණමය අවධියක් වේවි.
සිනමාව හැදෑරීමට යොමුවන තරුණ පිරිසට කියන්න දෙයකුත් ඇති….?
සිනමාව යනු පුළුල් මාතෘකාවක්. පුළුල් විෂයයක්. හිතන තරම් ලේසිත් නැහැ. හිතන තරම් අමාරුත් නැහැ. නිසි ලෙස එය හැදෑරුවොත් පැවැත්මක් තියේවි. කලාව යනු දිනෙන්දින වෙනස් වන තැනක්. එහි දිනෙන්දින ඉගෙනගන්න දේවල් එකතු වෙනවා. ඒ දේවල් වටහාගෙන් ඉගෙනගන්න. එවිට පැවැත්මක් තියේවි
කමිල මේදිස් නමැති චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අපට ඉදිරියේදී දැකගන්න ලැබේවි ද…..?
නිෂ්පාදකවරයෙක් නම් මගෙන් බිහිවේවි කියා හිතෙන්නේ නැහැ. නිෂ්පාදනය යනු භාරධූර වගකීමක් මෙන්ම අවදානමක්. එවැන්නකට මම තවමත් සූදානම් නැහැ
රංගනය නමැති විෂයය ගැන ඔබේ දැක්ම පැහැදිලි කළොත්….?
රංගනය යනු ලොව පැරණිම වෘත්තීන්ගෙන් එකක්. කලාව තුළ රංගනයේ භාවිතය ගත්තාම රංගනය යනු එක්තරා විදිහක මායාවක්. ඒ මැවීම රංගනවේදියාගේ ශරීරය අභ්‍යන්තරයෙන්ම එනවානම් අපි ඒ රංගනය විඳීනවා. එහෙත් තම අනන්‍යතාව මතුපිටින් රංගනය වෙස්මුහුණක් සේ පැලඳගත්තොත් ඒ තුළ ව්‍යාජ බව පෙනීයනවා.රංගනය යනු සියුම් කලාවක්. බොරු කීම් හා බොරු කිරීම මිනිසා උපතින්ම ගෙනෙන දෙයක්. ඒ බොරුව සියුම් ලෙස හදාරා තමන්ගේ අනන්‍යතාව තුළ රංගන කර්තව්‍යය කළොත් දක්ෂ රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් බිහිවෙන්න පුළුවන්
ඉදිරි නිර්මාණ කාර්යයන් පිළිබඳ යම් ඉඟියක් දුන්නොත් ….?
මගේ කෙටි වෘත්තාන්ත චිත්‍රපටයක් ළඟදීම එළිදැක්වීමට නියමිතයි. මානසික ව්‍යාධියකින් පෙළෙන කතුවරයෙක්ගේ කතාවක් වන එහි නම “Authors Judgment”. මීට අමතරව මගේ පළමු වැනි වෘත්තාන්ත චිත්‍රපටයේ වැඩ ඇරඹීමට නියමිතයි .
මෙතෙක් ආ ගමන්මඟ දෙස හැරී බැලුවොත් තෘප්තිමත් ද….?
ඇත්තෙන්ම තෘප්තිමත් . කෙටි කලක් තුළ කලා දිවියේ මම ලැබූ ජයග්‍රහණ ගැන සතුටුයි. කටුක, දුෂ්කර අවස්ථා නැතිවාම නෙවෙයි. එහෙත් කලාව තුළ මම බොහෝ දෑ ඉගෙනගත්තා . බොහෝ පිරිසක් මට උදව් කළා. විශේෂයෙන් මගේ ආදරණීය අම්මා. ඒවගේම මා වටා ලොකු පිරිසක් ඉන්නවා සිනමාව තුළ මෙන්ම පිටත. ඔවුන් සියල්ලන්වමත් මේ මොහොතේ මතක් කරන්න කැමැතියි.
මනෝජ් රුක්මල් කුමාරසිංහ