Home » මම සිනමාවෙන් දුරස් වෙලා නෑ

මම සිනමාවෙන් දුරස් වෙලා නෑ

ප්‍රවීණ රූපණවේදිනී සබීතා පෙරේරා

by Thanushika
October 2, 2025 10:25 am 0 comment

සබීතා පෙරේරා මෙරට සිනමා වංශයේ සුවිශේෂි පරිච්ඡේදයක් නිර්මාණය කළ රංගන ශිල්පිනියකි. ඉතාම ළාබාල වියේදි මෙරට සිනමාවට ප්‍රවිෂ්ට විමට අවස්ථාව ලද ඈ අද මේ මොහාත වනවිට සිනමාවෙන් මදක් දුරස්වීදැයි දැනෙන තරමට කලකින් සිනමා පටයකින් දුටුවේ නැත.

එහෙත් වෙනත් විවිධ කලා කටයුතු වලදී ඈ බොහෝවිට තම දායකත්වය දක්වා ඊට සහභාගි වි සිටිනු දක්නට ලැබේ.

සබීතා සිනමාවට එක් වනුයේ සිය මවුපිය උරුමයෙනි. එවකට ප්‍රකට නළු නිළි යුවළක් වූ ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධන ඇගේ මවුපියන් වූවාය. එහෙයින් සිනමාව යන්න ඇයට ආගන්තුක මාධ්‍යයක් වුයේ නැත. ඈ කුඩා කාලයේ නිතර දෙවේලේම සිය නිවසට ආවේ ගියේ සිනමා රංගන ශිල්පින්ය. එසේත් නැත්නම් සිනමා අධ්‍යක්ෂවරුන්ය. මේ නිසාම කුඩා වියේ සිටම සිනමාව පිළිබඳ විවිධ අත්දැකීම් ලබන්නට සබිතාට හැකිවිය.

සබිතා සිනමාවට ප්‍රවිෂ්ට වනුයේ ඇගේ නමින්ම යුත් ‘ සබීතා ‘ චිත්‍රපටයෙනි. එතැන් සිට ඈ මේ මාවත දිගේ බොහෝ කාලයක් ඇවිද ආවේය. ඇගේ සිනමා රංගන චාරිකාව තුළ විවිධ වර්ගයේ චිත්‍රපට රාශියකි. සම්භාව්‍ය ගණයේ සිනමා නිර්මාණ, මැද මාවතේ සිනමා නිර්මාණ මෙන්ම අතිශයින්ම වාණිජ ධාරාවට අයත් වූ නිර්මාණ මේ අතර වේ. එසේම ඇය රඟපැ පකිස්ථාන් චිත්‍රපට රාශියක්ද වේ. මේ සියල්ල ඇතුළත ඒ යුගයේ ඇය අතිශයින්ම කාර්ය බහුල නිළියක් වුවා සේම සහමුලින්ම වෘත්තිය නිළි ජිවිතයක් ගෙන ගියාය.

එහෙත් වර්තමානය වනවිට ඇය ගත කරනුයේ වඩාත් නිහඩ දිවියකි. ඇගේ චිත්‍රපට මෑත භාගයේ තිරගත වනු ද අපේ ඇස ගැසුණේ නැත. සිනමා මාධ්‍යයේ මේ රූපය නිතර ඇස නොගැසුණද රූපවාහිනි මාධ්‍යය තුළ ඇය පසුගිය කාලයේ නිතර දකින්නට ලැබුණාය. ඒ හිරු ටි වි ආයතනයේ රියැලිටි වැඩසටහන් සදහා විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙසින් කටයුතු කළාය. ඇගේ සිනමා දිවියේ නිහඩභාවය පිළිබඳ සහ ජීවිතයේ තවත් බොහෝ තතු පිළිබඳ කතා බහකට පසුගියදා අපි සබීතා පෙරේරාව හමුවුණෙමු.

සිනමා නිර්මාණයකින් ඔබ කලකින් හමුවුණේ නෑ. ඔබ සිනමාවෙන් සමුගෙනද?

ඇත්තටම පසුගිය කාලෙම මම සිනමා නිර්මාණයකට නම් සම්බන්ධ වුණේ නෑ. නමුත් මට මාස 7-8 ක් වගේ කාලයක් හිරු මෙගා ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙලා හිටිය නිසා අතිශයින් කාර්ය බහුල ජිවිතයක් ගත කළා. ඒ වගේම පසුගිය දා අවසන් වුණු දෙරණ සිනමා සම්මාන උලෙළ වෙනුවෙනුත් මට යම් වැඩ කොටසක් පැවරි තිබුණා ඒ වෙනුවෙනුත් මම මගේ කාලය වැය කළා. ඉතින් නිර්මාණයකින් මාව දකින්න නැති වුණාට මම කලාවේ ඇතුළේ නිරන්තරයෙන්ම රැදී සිටිනවා.

කලකින් ඔබ සිනමාවෙන් දැක්ක නැති නිසා අපි හිතුවා ඔබ සිනමාවෙන් සමු අරන්ද කියලා?

අනේ නෑ කවදාවත් එහෙම වෙන්නේ නෑ. මගේ ජිවිතේ නිර්මාණය වුණේ සිනමාව ඇතුළේ . ඒ නිසා මට කවදාවත් සිනමාවෙන් සමු ගන්න නම් පුළුවන් වෙන එකක් නෑ. පහුගිය කාලයේ ඇත්තටම මට සිනමා නිර්මාණ සඳහා ආරාධනා ලැබුණේ නෑ. එහෙම නැතිව මම සිනමාවෙන් අයින් වෙලා නෙමෙයි. මම අන්තිමට සිනමා නිර්මාණයකට දායක වුණේ සංජිව පුෂ්පකුමාරගේ විහඟ ප්‍රේමය චිත්‍රපටයට . ඉන් පස්සේ නිර්මාණයකට දායක වුණේ නෑ.

විහඟ ප්‍රේමය ළඟදි තිර ගත වෙනවද?

කවදා තිර ගත වෙයිද කියන එක ගැන තමයි මට හරි උත්තරයක් දෙන්න බැරි. මම විශ්වාස කරනවා ළඟදීම තිර ගත වෙයි කියලා. චිත්‍රපටය නිර්මාණය කරලා මම හිතන්නේ දැන් වසර දෙකක් වැනි කාලයක් ගතවෙලා තිබෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රස්තුතය වෙන්නේ දරුවන් රටවලට විකිණීමේ ජාවරම පිළිබඳ. මේ ව්‍යාපාරයේ ජාවාරම කරගෙන යන ප්‍රධාන කාන්තාව විදියට තමයි මම රඟපාන්නේ. ඇත්තටම මේක මට අලුත් අත්දැකිමක් වුණා. සංජිව පුෂ්පකුමාර කියන අධ්‍යක්ෂවරයා සමඟ මම මිට ප්‍රථම වැඩ කරලා තිබුණෙත් නෑ. ඒවගේම මේ චිත්‍රපටයේදි මට නවක ශිල්පින් රැසක් සමඟත් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒක මට අලුත් අත්දැකීමක් වුණා.

මේ චරිතය බැලු බැල්මට කළු චරිතයක් බව පේනවා. ඒක ගැන ඔබට ප්‍රශ්නයක් වුණේ නැත්ද?

කොහෙත්ම නෑ. මම චිත්‍රපටයක චරිතයක් බාර ගනිත්දි ඒක කළුද සුදුද කියනවට වඩා බලන්නේ මට එහි රංගනයේ යෙදෙන්න තිබෙන අවකාශය කොයි තරම්ද කියන එකයි. මේ චිත්‍රපටයේ මට එවැනි රංගන අවස්ථා හිමි කර දුන්න චරිතයක්. අනිත් පැත්තෙන් බලත්දි මේ කියන චරිතය එවැනි ස්ථානයකට පත් වෙන්න හේතු වූ පසුබිම කුමක්ද කියන එක ගැනත් අපි බැලිය යුතුයි. හේතුවක් නැතිව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ. මේ කියන කාන්තාව ඒ වගේ තත්වයට පත් වෙන්න බලපාපු සමාජ ආර්ථික කාරණා රැසක් තියෙනවා. අන්න එතැන ඉඳලා තමයි මම චරිතය දිහා බලන්නේ.

ඔබ එක්තරා යුගයක සිනමාවේ කාර්ය බහුලම නිළිය බවට පත්වෙලා හිටියා. දැන් ඒ තත්වයෙන් ඔබ මිදිලා නේද?

ඇත්තටම දැන්නම් මම ඒ විදියට කාර්ය බහුල වෙන්න කොහෙත්ම කැමති නෑ. ඒ කාලේ සිනමාවේ වගේම අපේත් ස්වර්ණමය යුගය. අපි එකක් ඉවර වෙන්න කලින් තව චිත්‍රපටයක් කරන්න පෙලඹුණා. විවේකයක් තිබුණෙම නෑ. කොටින්ම කිවුවොත් පෞද්ගලික ජීවිතේ පවා අමතක වෙලා තිබුණේ. දැන් ඉතින් ඒ තරම්ම කාර්ය බහුල වෙන්න අමාරුයි. අපි ජිවිතේ විවිධ කඩ ඉම් පාස් කරලා නේ ඉන්නේ විවාහ ජිවිතයක් ගෙවනකොට විශේෂයෙන්ම අපි පවුල කියන ඒකකය ගැනත් බලන්න ඕන . ඒ හා බැඳුණු වගකීම් සමුදායක් මට තිබෙනවා. ගෘහණියක් . බිරිදක් මවක් විදියට මගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටසක් තිබෙනවා. ඒවා නිසි පරිදි ඉටු කරන්න මම වගකීමෙන් බැඳී සිටිනවා. ඒ නිසා ප්‍රමුඛතාවය දැන් සිනමාවට නොවෙයි. ඉස්සර ප්‍රමුඛතාවය සිනමාවට දුන්නනේ.

අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැතිද?

අනිවාර්යයෙන්ම මට ආරාධනාවක් ලැබෙනවා නම් මම නොකර ඉන්නේ නැ. දැනට මගේ පුවලේ තිබෙන වගකීම් මම කළමනාකරණය කරගෙන ඒ වෙනුවෙන් කැපවෙනවා. පහුගිය කාලය පුරාම මම නිර්මාණවලට දායක වුණේ එහෙමයි. හැබැයි එකක් ඉවර වෙනකොට එකක් කියලා අර ඉස්සර වගේ කරන්න කැමැති නැහැ.

පහුගියකාලේ අපේ රටේ සිනමාව කිසියම් තලයක වැජඹුණා. ඔබට මේවා නරඹන්න ලැබුණද?

ඇත්තටම මම සිනමාවේ රගපෑවේ නෑ කියලා නෑ පහුගිය කාලේ ආපු හැම සිනමා පටයක්ම මම නැරඹුවා. ඉස්සර ඉඳලම මගේ පුරුද්දක් තිබුණා චිත්‍රපට නැරඹීමට. ඒ නිසා දැනුත් මම චිත්‍රපට නරඹනවා. ඇත්තටම මට හුගාක් සතුටු හිතුණා වර්තමානයේ අපේ රටේ හැදෙන මේ සිනමා පට පිළිබඳව. පසුගිය කාලේ ආපු ක්ලැරන්ස් ගත්තත්, නෙළුම් කුලුන ගත්තත් රාණි ගත්තත් ඉතාම හොඳ ප්‍රේක්ෂ ප්‍රතිචාර සමඟ හොඳ ආදායම් වාර්තාත් දකින්න පුළුවන් වුණා. අනිත් කාරණාව තමයි විවධ ගණයේ සිනමා නිර්මාණ පහුගිය කාලය ඇතුළත බිහිවුණා. ඒ ගැන හරි සතුටුයි. ඒ වගේම තමයි අලුත්, තරුණ කණ්ඩායමක් අපේ සිනමාවට පැමිණිලා ඉන්නවා. ඔවුන් ඔවුන්ගේ නැවුම් සිතුවිලි වලින් අපේ සිනමාව පුරවාවි. ඒ නිසා කර්මාන්තයක් විදියටත් මේක බබලාවි කියලා මට හිතෙනවා.

ඔබ විවාහයෙන් පස්සේ බොහෝ සේ පවුල කෙරෙහිම නැඹුරු වුණා. දැන් ඔබේ පුතා අධ්‍යාපනය හමාර කරලා ඇති නේද?

පුතා පිටරට විශ්වවිද්‍යාලයක ඉංජිනේරු උපාධියක් හැදෑරුවේ. මගේ සතුට තිබුණෙම එයා හොඳට ඉගෙන ගන්නවා දකින එක. ඉතින් ඒක එයා කළා. දැන් එයා ලංකාවට පැමිණිලා සිටිනවා. අධ්‍යාපන කටයුතු හමාර කරලා. අපේ කම්පැණි එකේ වැඩ කටයුතු වලට එයාත් එයාගේ තාත්තාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

බොහෝ අවස්ථාවල අපි දකිනවා ඔබ බොහෝ ආගමික කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ තරම් ආගමික නැඹුරුවක් ඇති වුණේ කොහොමද?

ඒක අද ඊයෙක ඇති වුණ දෙයක් නොවෙයි. ඉස්සර ඉදලම මම පන්සල් යන්න ආගමික කටයුතු වල යෙදෙන්න කැමැති කෙනෙක් නමුත් මගේ තරුණ ජිවිතය තුළ මට ඒකට ඉඩක් තිබුණේ නෑ සිනමාව නිසා. නමුත් දැන් මට ඒ නිදහස ලැබිලා තියෙනවා. ඒ නිසා මම බොහෝ අවස්ථාවල ආගමික කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙනවා. මගේ ගේ ළඟ නාරද බෞද්ධ මධ්‍යස්ථානයට මම නිතර දෙවේලේ යනවා. පින්කම් වලට සම්බන්ධ වෙන්න. අනිත් පැත්තෙන් ගංගාරාම පන්සලේ කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. දැන් මම වැඩිපුරම ඉන්න කැමැති ස්ථානය වෙලා තියෙන්නේ අනුරාධපුරයේ රුවන්මැලි සෑය. වසර ගණනාවක සිට මගේ උපන්දිනය දවසට මම ඉන්නේ එතැන. මල් පූජා පහන් පූජා පවත්වනවා. ඒක නිසා දැන් උපාලිත් දරුවත් එතැන පූජා විධි තියන්න කැමති වෙලා තිබෙනවා. නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පිංකම් තුනක් මේ වනවිට මම සිදු කරලා තියෙනවා. මේ සඳහා සම්බන්ධ වීමට වෙනම කල්‍යාණ මිත්‍රයන් පිරිසකුත් මුණ ගැහිලා තිබෙනවා. ඒ නිසා බොහොම නිසංසලව මම ආගමික පැත්තට යොමු වෙලා ඉන්නවා. ඒකෙන් මගේ හිතට පුදුම තරමේ සැහැල්ලුවක් සතුටක් දැනෙනවා.

ජිවිතේ දිහා ආපස්සට හැරිලා බලත්දි එබට මොනවද හිතෙන්නේ?

ඇත්තටම මට සතුටුයි. මම සිනමා නිළියක් ලෙසින් මගේ ප්‍රේක්ෂකයන් මම උපරිමයෙන් සතුටට පත් කරලා තිබෙනවා. ඔවුන්ගේ ආදරය එදා වගේම අදත් මට ලැබෙනවා. කොහේදි දැක්කක් අනේ එයා එදා වගේම තවම ලස්සනයි කියනවා. ඉතින් ඒ ආදරය මට හරියට වටිනවා. ඒක හැම දෙනාටම ලැබෙන දෙයක් නොවෙයි. මිනිස්සුන්ගේ ආදරය ගෞරවය ලබන්නත් පින් කරලා තියෙන්න ඕන. ඉතින් මම හිතනවා මට ඒක පෙර පින් මහිමයෙන් ලැබුණ දෙයක් කියලා.

මගේ සිනමා ජිවිතය වගේම මගේ පෞද්ගලික ජිවිතය තුළත් ගැහැනියක් ලැබිය යුතු වරප්‍රසාද මම ලැබුවා. බිරිදක් වුණා . මවක් වුණා. ඉතින් ආපස්සට හැරිලා බලත්දි මට සතුටුයි.

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT