Home » මම වගේ අංකුර නළුවෙක් බිහි වුණේ එතුමිය නිසා

මම වගේ අංකුර නළුවෙක් බිහි වුණේ එතුමිය නිසා

ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක

by Thanushika
May 29, 2025 10:52 am 0 comment

මාලිනී ෆොන්සේකා නමැති ශිල්පිනිය ගේ රඟපෑම් කුසලතා පිළිබඳ ව, විවිධ ලිපි, විවිධ අගය කිරීම් ලියැවී ඇති නිසාත්, මා ඇය සමඟ රඟ පා තිබුණත් මා ඇය ගේ සමකාලීනයකු නො වන නිසාත්, ඒ හැමට ම වැඩියෙන් ඇය ගේ රඟපෑම් පිළිබඳ ව, විචාරාත්මකවීමට තරම්, මට නොවේ යැයි මා සිතු බැවින් සටහන මෙසේ ආරම්භ කරමි.

1978 ට ප්‍රථම තිබූ සිනමාව පිළිබඳ ව අසා ඇති නමුත්, ඒ පිළිබඳ ව මා තුළ ඍජුව ම අත්දැකීම් නො මැති බැවින්, ඒ සම්බන්ධව කතා කිරීම සුදුසු නො වේ යැයි සිතමි. 1978 වසරේ මා සිනමාවට පිවිසි අවස්ථාවේ දී, මා රඟපෑ “සිටුකුමරියෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මාලිනී ෆොන්සේකා යි. මා කෙතරම් භාග්‍යවන්ත දැයි, මට එදා සිතුණි. අදත්, මට එය එ ලෙස ම සිතේ.

එම වකවානුව වනවිට ඇය, මොස්කව් හා ඉන්දියානු චිත්‍රපට උලෙළවල දී ගෞරව සම්මානයට පාත්‍ර ව ලංකාවේ පමණක් නො ව ජාත්‍යන්තරව ද නමක් දිනා ගෙන සිටියා ය. දක්ෂතාවයෙන් පමණක් නො ව, ජනප්‍රියතාවයෙන් ද ඉහළම තැනක වැජඹිණි. එහෙත්, මාගේ ප්‍රථම චිත්‍රපටයේ රඟපෑමේ දී ඇය දැක්වූ නිරහංකාරකම සහ සහයෝගයම මා වැනි ආධුනිකයකුට ලබා ගත හැකි පුදුමාකාර, භාග්‍යයක් හා ආශිර්වාදයක් විය. “සිටුකුමරියෝ” චිත්‍රපටයෙන් පසු මා වෙනත් චිත්‍රපටවල රඟපෑමේ දී, ඇය තරම් ප්‍රසිද්ධියක් නො මැති විවිධ ශිල්පීන් ආධුනික මා වෙත දැක්වූ සහයෝගය සමඟ සසඳා බලන කළ ඇය දැක්වූ සහයෝගය අහසට පොළොව මෙන් විය. ඇයගේ එම නිහතමානීත්වය ඉහළින් ම අගය කරන අතර, අද දවස තුළ මා යම් තැනක සිටිනවා නම් එසේ සිටින්නේ මාලිනීගෙන් ලැබුණු ආශිර්වාදය නිසා බව අවංකව ම සඳහන් කරමි.

1978 වකවානුව ආර්ථිකය විවෘත වූ අවධිය යි. එම වකවානුව තුළ චිත්‍රපට නිපදවීම අතිශයින් බහුලව සිදු වූ යුගයක් බව මෙය කියවන ඔබට මතක ඇති. මේ නිසා ම විශාල ආධුනික නළු, නිළි පිරිසක් ද 1977 – 80 කාලය තුළ – දේශීය සිනමාවට සම්බන්ධ විය. මේ චිත්‍රපටවලින්, බොහොමයක එවකට ආධුනික ව සිටි මා ඇතුළු නළු නිළියන් රඟපෑ අතර, යම් අන්දමක, මූල්‍යමය වශෙයන්, ශක්තිමත් නිෂ්පාදන හැම එකකට ම වාගේ මාලිනී ව සහභාගි කර ගැනීමට නිෂ්පාදන අධ්‍යක්ෂවරු උත්සාහ දැරූහ. ඇය ගේ කාලය පුර්ණ ව මේ සඳහා ඇය මිඩංගු කළා ය.

80 දශකය මුල් භාගය තුළ මාලිනී ෆොන්සේකාට ගෙදර රැඳී සිටීමට අවස්ථාවක් තිබුණා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නො වේ. 1980 වසර තුළ ඇය චිත්‍රපට අධ්‍යක්ෂණයටනො පිවිසියා ය. ඇය විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලද මුල් ම චිත්‍රපටය වූයේ “සසර චේතනා” චිත්‍රපටය යි. එය වාණිජත්වයට බර, සැබෑ කතාවක් (කටාරංගල බුදු පිළිම සොරකම) පසුබිම් කරගෙන නිපදවූ “ක්‍රියාදාම” චිත‍‍්‍රපටයක් විය.

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමේ භාග්‍යය මෙන් ම චිත්‍රපටයේ නිෂ්පාදන අංශයේ සමහර වැඩ කටයුතු ද මා වෙත භාර විය. එය මුදල් ඉපැයීම අතින් අති සාර්ථක විය. එ මෙන් ම ගෞරව සම්මාන රාශියක් ද දිනා ගත්තේ ය.

මෙයින් පසු මාලිනී අධ්‍යක්ෂණය කළේ “ස්ත්‍රී” චිත්‍රපටය යි. එහි, තිරනාටක රචකයා වූයේ අද දිනයේ සම්මානනීය අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ ය. එයින් පසු “අහිංසා “, “පාරාදීසේ” වැනි චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ ඇය, ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘අන්තිම රැය’ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි ප්‍රධාන චරිතය ද රඟ පෑවා ය. මෙයින් පසු දැනට ඇය වැඩ කළ අවසාන චිත්‍රපටය වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගේ “වෑකන්ද වලව්ව” චිත්‍රපටයැ යි මම විශ්වාස කරමි.

ඇය පිළිබඳ බොහෝ දෙනා දන්නා කරුණු කිහිපයක් ඉදිරිපත් කළ අතර, මා හිතන අන්දමට මේ ලිපියේ වැදගත් ම, කොටසට මා දැන් පිවිස ඇත්තෙමි.

අද මාලිනී ෆොන්සේකා ටෙලිනාට්‍යවල රඟපාන්නීය. එ මෙන් ම අධ්‍යක්ෂණයේ ද යෙදෙන්නී ය. ඇය වැනි දක්ෂතාවයෙන් පරිපූර්ණ වූ විවිධ චරිත රාශියක් දක්ෂ ලෙස රැඟපෑ හැකි ලාංකික දියණියක් දේශීය සිනමාව තුළ මේ මොහොතේ නැත්තේ ඇයි?

ඇය වැනි ශිල්පිනියන් ගේ රංගනය සඳහා සුදුසු චිත්‍රපට අද නො නිපැදෙවන බැවින් ද?

එ සේ නිපද නො වන්නේ ඇයි?

එ මෙන් ම චිත්‍රපට රාශියක රඟපෑ ඇය අද ආර්ථික වශයෙන් ශක්තිමත් කාන්තාවක් ද? නො එ සේ නම් ඒ ඇයි?

“සසර චේතනා” වැනි ඇය නිෂ්පාදනය කළ චිත්‍රපට මුදල් (ආදායම්) වාර්තා තබා තිබිය දී, ඇය අවසාන වතාවට නිපද වූ “අන්තිම රැය” චිත්‍රපටයෙන් ඇය බැංකුවට ණය කාරියක් වී ඇත්තේ ඇයි? (මෙය ඇය ළඟ දී ප්‍රසිද්ධියේ රූපවාහිනී සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බැවින් මෙලෙස ලිවීම නුසුදුසු නො වේ යැයි මා සිතමි) එම චිත්‍රපටය අසාර්ථක වූයේ ඇයි? එය ප්‍රේක්ෂකයා වැරැද්ද ද? මෙම ගැටලුවලට ස්ථීරසාර පිළිතුරු සැපැයීමට යමකුට පුළුවන් නම් දේශීය සිනමාවේ හෙට දවස කළුවර නො වනු ඇත.

මෙම උත්සවයේ පරමාර්ථය ඉතා ම ශ්‍රේෂ්ඨ, උසස් එකක් බව, අවබෝධ කර ගැනීමට දෙවතාවක් සිතිය යුතු නැත. එහෙත් මෙ තැනින් එහාට? අප මාලිනී ව කෞතුක වස්තුවක් ලෙස ඉවත් කර තබනවා ද? නැත. එය කෙසේවත් සිදු නො විය යුතු ය. (එ සේ නම් මෙම උත්සව තියනවාට වඩා නො තිබෙනවා නම් හොඳ ය.)

මා මේ ලියූ ලිපිය පිළිබඳ ව අද දවසේ මා දෝෂාරෝපණයට ලක්වීම, වැළැක්විය හැකි නොවේ. එහෙත්, හෙට දවස තුළ දී ඔබ මා යම් ප්‍රමාණයකට හෝ නිවැරැදිය යයි නිගමනය කරනු ඇත.

සමහර විට මෙය කියවන ඔබත්, යම් රජයක් බලයට ගෙන ඒමට උර දී, අද ඒ ගැන තැවෙන අවංක කලාකරුවෙක් විය හැකි ය. එහෙත් රජයන්වලට දෙස් දෙවොල් කීමෙන් ඵලක් නැත.

රජය තනිකර සිනමා කර්මාන්තය සමඟ කටයුතු කරනවා ද? නැතිනම් පෞද්ගලික අංශයේ සහය ලබා ගන්නවා ද? වැනි කරුණු රජයෙන් රජයට පාලකයාගෙන් පාලකයාට වෙනස් විය යුතු නැත.

කුමන රජයක් තිබුණත්, කුමන පාලකයා ආවත් ස්ථිරසාර ප්‍රතිපත්තියක් මත, සිනමා කර්මාන්තය දෙස බලන දැක්මක් අපට අවශ්‍ය ය.

රටේ අනන්‍යතාවය නියෝජනය කළ හැකි ප්‍රබල මාධ්‍යයක් වන සිනමාව සඳහා අද එ වැනි ස්ථිරසාර ප්‍රතිපත්තියක් සකස් කරගත හැකිනම්, මාලිනී වැනි ශ්‍රේෂ්ඨ කලාකාරියකට පමණක් නො ව පොදුවේ මුළුමහත් සිනමාවට ද- සිනමාවේ ශිල්පීන් ගේ ද ප්‍රශ්නවලට පිළිතුරු ඇත.

අප විසින් ඒ දවස පුබුදු කරවීමට උත්සාහ දැරිම මේ පැයේ සිනමාව වෙනුවෙන් කරන විශාලතම සේවය යි. එය මාලිනී ගේ නාමයෙන් කළ හැකි නම් ඇය, තම දිවි දෙවැනි කොට සැලැකූ සිනමාව වෙනුවෙන් අප කරන විශාලතම පිංකමයි.

එය කිරිමට ඔබ සැමට ධෛර්යය, ශක්තිය ලැබේවා!

මා හිතාදර මාලිනී,

ඔබ ගේ රංගනය පිළිබඳ ව, මා හට කතා කිරීමට වචන නැත.

එහෙත්, ඔබ “සසර චේතනා” චිත්‍රපටය පටන් ගැනීමේ දී, මා විශ්වාස කෙළේ අනාගත

සිනමාව තුළ සුමිත්‍රා පීරිස් මැතිනියට පසු ව, නිර්මාණකරණයේ යෙදෙන සුවිශේෂතම කලාකාරිය ඔබ වනු ඇතැ යි කියා ය. මා විශ්වාස කරන අන්දමට ඒ ගමන යෑම සඳහා “ස්ත්‍රී” තුළින් තැබූ පාදය නැවත ආපස්සට ගත්තේ ඇයි? (එයට පිළිතුරු මා විසින් ම ඉහත සඳහන් කර ඇතැ යි සමහර විට ඔබ කියනු ඇත.)

ඔබ යා යුතු මඟ තවමත් විවෘත ව ඇතැයි මා විශ්වාස කරමි. මෙ ලෙස සඳහන් කෙළේ ඒ සඳහා ඔබ පුබුදුකර උනන්දු කරවීමට බව අහිංසක ව සඳහන් කරමි.

රංගනයෙන් අප දුටු ඒ සුවිශේෂ, ප්‍රතිභාව නිර්මාණකරණය තුළිනුත් දේශීය, විදේශීය

ප්‍රේක්ෂකයින්ට ලබා දීමට හෙට දවස ඔබට උදාවේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

මාලිනීගේ දශක හතරක රංග අභිනන්දනය වෙනුවෙන් පළකළ ‘මාලිනියේ’ ග්‍රන්ථයට ලියන ලද්දකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT