Home »  මම ලේඛන කලාව අතහරින්නේ නෑ

 මම ලේඛන කලාව අතහරින්නේ නෑ

ප්‍රකට ලේඛිකා පියසීලි විජේනායක

by Thanushika
March 20, 2025 12:15 pm 0 comment

පුංචි සන්දියේ සිට අකුරු ගළපමින් පද පේලියක් ලිවීමට ඇය හපන්කම් දැක්වූවාය.පරිසරයේ තමන්ට ඇස ගැටෙනා දෑ පිළිබඳ, තමන්ට අසන්නට ලැබෙන දෑ පිලිබඳ කඩදාසි කැබැල්ලක ලියා තැබූ සිඟිති දියණිය පසු කාලයක ගත් කතුවරියක ලෙස ප්‍රකට වීම කොතරම් නම් අපූරුද? නවකතා, කෙටිකතා, කවි, ශාස්ත්‍රීය ලිපි, පරිවර්තන කෘති ආදිය රචනා කරමින් ලේඛන කලාවට පෙම්බැඳී ඇය ප්‍රවීන ගත් කතුවරියක, ලේඛිකාවක සහ විශ්‍රාමලත් ගුරුවරියක වන පියසීලි විජේනායකයි. ඇගේ නිර්මාණයන්ට ඇය උපයෝගී කරගෙන ඇත්තේ අවට පරිසරයයි.සතා සිවුපාවන්, ගම්බද පරිසරය, ගැමි චරිත ඇය සිය නවකතා, කෙටිකතා පද්‍ය රචනා ආදියට පාදක කර ගත්තාය. ඒ අනුව ඇය අතින් අපූරු කෙටිකතා, නවකතා, කවි වැල් ආදිය නිර්මාණය විය.

එළඹෙන මාර්තු 22දා ඇය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වේ. කොළඹ මහජන පුස්තකාලීය ලේඛක පාඨක සංගමය මගින් පවත්වනු ලබන ‘ලේඛකයකු සමඟ විශේෂ හෝරාවක්’ වැඩසටහනින් ප්‍රවීණ ලේඛිකා පියසීලි විජේනායක මහත්මිය ගැනත් ඇගේ අතින් රචනා වූ ග්‍රන්ථ ගැනත් හරවත් කතාබහක් සිදු කිරීමට නියමිතය. ඇය අතින් රචිත ග්‍රන්ථ පිළිබඳ ඇයගේ ලේඛන කලාව ගැන කතාබව කිරීමට පියසීලී මහත්මිය සරසවිය සමඟින් එක්වී මෙසේ අදහස් දැක්වූවාය.

ලේඛන කලාවට මම යොමුවුණේ පුංචි කාලෙ. අපේ ගෙදර සුරතලේට ඇති කරපු බලු පැටියා මියගියා. මම ඒ වෙනුවෙන් කවියක් ලිව්වා. ඒ කවි පේළි ටික මම ලියලා වත්තේ තියෙන පොල්ගස්වලට තියලා ලණුවලින් බැන්දා. ඒක මගේ අම්මයි තාත්තයි දැක්කා. මගේ මවුපියන්, ගුරුවරු ඔවුන් මගේ හැකියාවන්ට ඉඩ දුන්නා. මගේ හොඳම සහෘදයා උණේ මගේ අම්මා. ඒ ඔස්සේ ලැබුණ පන්නරයෙන් මම විශ්ව සාහිත්‍ය කලාව දක්වා පැමිණියා.

මම පුංචි කාලේ සිටම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ළමා, අධ්‍යාපන, යෞවන වැඩසටහන් රැසකට මම සම්බන්ධ වුණා. මම ගුරුවරියක් ලෙස කටයුතු කලා. මුලින්ම ඉගැන්වූයේ විද්‍යා විෂයයන්. ඒ අතරතුර මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පෙළ පොත් ලිවීම සඳහා ගුරුවරියක් වශයෙන් මම සම්බන්ධ වුණා. මම පුවත්පත්වලට ලිපි ලිවීම සිදු කලා. මුලින්ම ලිව්වේ ලංකාදීපයට. තරුණි, මිහිර, සරසවිය වැනි පුවත්පත්වලට මම ලිපි සැපයූවා. රේල් පාරේ පීලි දෙකක් වගේ මම ගුරු වෘත්තියත් ලේඛන කලාවෙත් නිරත වුණා. අද වන විට ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගියත් ලේඛන කලාවෙන් ඉවත් වුණේ නැහැ.

මම කොළඹ මහජන පුස්තකාලයේ සාමාජිකාවක්. එහිදී පොත පත පරිශීලනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මම ජීවත්වන පිළියන්දල ප්‍රදේශයේ සහ ඊට ආසන්න කැස්බෑව ප්‍රදේශයේ පුස්තකාලයන්ගෙන් මම පොත් ලබාගන්නවා. මගේ ලේඛන කලාවට ප්‍රථමයෙන්ම මට රුකුලක් වුණේ අතහිත දුන්නේ දිවංගත මගේ ආදරණීය ස්වාමිපුරුෂයා පියදාස රත්නසිංහ මහත්මයායි. විවාහයට පෙරත් පසුත් මගේ ලේඛන කලාවට ඔහු උදවු කළා.

මගේ නිර්මාණ වලට මට බෙහෙවින් උපකාර වුනේ මා ඉගැන්වූ පාසල්වල දරුවන් සහ ඔවුන්ගේ මවුපියන්. මා ඔවුන්ගේ පෞද්ගලික ජීවිත වලට එබිකම් කළේ නැහැ. ඔවුන් සමඟ ගැවසෙන විට අත්දැකපු සිද්ධීන් සහ අසන්නට ලැබුණු දෑ මම මගේ නිර්මාණවලට ගොනු කර ගත්තා. මම මුලින්ම ඉගැන්වීම් කටයුතු කළේ ගම්බද පාසල් වල. කුරුකුලිය මහා විද්‍යාලය, මැදගම අභය විද්‍යාලය, පල්ලම නන්දිමිත්‍ර යන පාසල්වල මම ඉගැන්නුවා. පොල්ගොල්ල ගුරු විද්‍යාලයේ මම හිටියා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය සහ ලේඛකත්ව ඩිප්ලෝමා උපාධිය ලබා ගත්තා. ගම්බද පාසල්වල සේවා කාලයෙන් පසුව මම පිළියන්දල අංක 1 කනිෂ්ඨ විද්‍යාලයේ අවුරුදු 30ක් පමණ සේවය කර විශ්‍රාම ලැබුවා.විශ්‍රාම ගත් පසුවත් මට පාසලෙන් ආරාධනා කළා සවස් වරුවේ ඉගැන්වීම්වලට. ඒ වගේම හැඩිගම සුදර්ශන විද්‍යාලයේත් හර්මන් මයිනර් විද්‍යාලයකත් ඉගැන්වීම් කටයුතු සිදු කලා.අවුරුදු හතරක් පමණ ගයිඩන්ස් ජාත්‍යන්තර පාසලේත් ඉගැන්වීම් කටයුතුවල නිරත වුණා.

ඉහත මම සඳහන් කලේ මගේ ගුරු වෘත්තිය පිලිබඳව. මම ශ්‍රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වී සිටි කෙනෙක්. ඒ පිලිබඳව ත් පැවසිය යුතුයි.මා මුලින්ම සඳහන් කලා මම ළම කාලයේදීම ගුවන් විදුලියට සම්බන්ධ වූ බව. ඈත දුර මහ වැව සිට තමයි අම්මායි තාත්තයි දෙන්නා ගුවන් විදුලියට එක්ක ආවේ. ඒ කාලේ ගුවන් විදුලියට එන්න වාහනේට වියදම් වුනේ රුපියල් හැටයි. ගුවන් විදුලියේ මම ළමා පිටිය ඇතුළු තවත් වැඩසටහන් වලට සම්බන්ධ වුණා. එහිදී පිටපත් රචනය, හඬ මුසු කිරීම ආදී කටයුතුවලට මම සම්බන්ධ වුණා. ගුවන් විදුලි සංස්ථාව මට ගෙදර වගේ සමීපයි.

ගුවන් විදුලි ශිල්පිනියක ලෙස කටයුතු කරන අතරම ලංකාවෙ බොහෝ පුවත්පත්වලට මම ලිව්වා. කෙටිකතා, කවි, ශාස්ත්‍රීය ලිපි, විශේෂාංග ආදී ලිපි මම පුවත්පත්වල පළ කළා. මගේම පොත් දහ අටක් පමණ මුද්‍රනය කරලා තියෙනවා. ගුවන් විදුලියට මා රචනා කරන් ලද නාට්‍ය පිටපත් එකමුතුවක් පොතක් වශයෙන් මුද්‍රණය කළා. ඩැෆ්නේ ඩිමෝරියර්ගේ රෙබෙකා නැමති පොත මා විසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවා. රෙබෙකා පොත ඇසුරින් දෙබස් සකසා රේඩියෝ නාට්‍යයක් ලෙස රචනා කළේ මා විසින්.

හතර සහ පහ වසර සඳහා සිංහල දැනුම පොත් රචනා කළා. මගේ ලේඛන කලාව වෙනුවෙන් මට සම්මාන හිමි වෙලා තියෙනවා. මගේ නිර්මාණ වෙනුවෙන් ගොඩගේ කෙටිකතා සම්මානය ලැබිලා තියෙනවා. සංස්කෘතික අධ්‍යාපන ආයතනය මඟින් හොඳම නවකතා අත්පිටපත සඳහා සම්මානය ත්, විජේවර්ධන සම්මානය ත් ලැබිලා තියෙනවා. ගුරු විද්‍යාලයේ දී ගුරු පරපුර වෙනුවෙන් මා ලියූ රචනාව ජයග්‍රාහී රචනාව ලෙස තේරි පත් වුණා. කොලඹ පොත් සංගමයෙන් තමයි මටමුලින්ම පොතකට පිවිසෙන්න වරම් ලැබුණේ. මා ලියූ බිංදුවේ චූටි නමැති නිර්මාණය මුද්‍රනය වුණා. මෑතකදී මුද්‍රණය මා විසින් රචිත චෙරි උයන නව කතාව. මිනිස් ජීවිතයේ දුර්වල සහ ශක්තිමත් අවස්ථා පිළිබඳ ලියැවුණු පොතක්. අපේ ජීවිතය වෙනස්වන ආකාරය පිළිබඳව එහි මැනවින් පෙන්වා දී තිබෙනවා.

මා ලියූ තවත් පොතක් තමයි ‘රෑට බතට නුඹ එනතුරු’. එයින් කියවෙන්නේ සහෝදර බැඳීම පිලිබඳව. අවසානයේදී ඔවුන් සියලු දෙනාම එකමුතු වෙනවා. අප විසින්ම අරමුදල් සම්පාදනය කරගෙන කල මුද්‍රණයක් එය. මගේ මහත්මයත් උදවු කලා.

රෑට බතට නුඹ එනතුරු නවකතාව සඳහා මම පාදක කර ගත්තේ මා ජීවත් වූ ගැමි පරිසරය සහ එහි ජීවත් වූ චරිත ආශ්‍රයෙන් ගොඩනගාගත් කතාවක්. මට කවදාක්වත් ගම අමතක කරන්න බැහැ.

මා වගේම මගේ ආදරණීය ස්වාමිපුරුෂයා පියදාස රත්නසිංහ මහතාත් ග්‍රන්ථ කිහිපයක් රචනා කර තිබෙනවා. ස්මාරකය සහ තවත් කතා, සුසුරන්, ඇසිදිසි මායාව 1, ඇසිදිසි මායාව 2 වශයෙන් පොත් හතරක් ඔහු විසින් රචනා වුණා. ඔහු මුලින්ම සම්බන්ධ වුණේ ගුවන් විදුලියට. ඉන් අනතුරුව ජපානයේ පුහුණුව නිමකිරීමෙන් පසු ව ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කලා. පසුව රංගිරි නාලිකාවෙත් ස්වාධීන රූපවාහිනී සේවයේත් කටයුතු කළා. ඔහුත් මා වගේම ගමට ආදරෙයි. ඔහු අපෙන් සමු ගැනීමට පෙර ගම ගැන ලිව්වා. ඔහුගේ මිතුරන් එක්වී එය ග්‍රන්ථයක් ලෙස එළිදක්වන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඔහු ලියූ පොත්වලින් නිර්මාණය කල රූපවාහිණී වැඩසටහන්වලින් දරුවන්ටත් බොහෝ කරුණු, දැනුම ලබා ගන්න පුළුවන්.

වර්තමානයේ දරුවන් පොත්පත් කියවීමෙන් තරමක් දුරස් වෙලා. ඒ වෙනුවෙන් අපි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

මම අපේ ප්‍රදේශයේ දූවවත්ත ශ්‍රී දේවමිත්ත දහම් පාසලේ ගුරුවරියක් විදිහට සේවය කරනවා. එහි විදුහල්පති ධම්මික විජේවර්ධන මහතා ඇතුළු සමස්ථ ආචාර්ය මණ්ඩලය එකතු වෙලා දරුවන් යහමඟට ගෙනියන විදිහේ ක්‍රියාවලියක් දියත් කරනවා. දරුවන්ට පොතේ පතේ දැනුම මෙන්ම ඔවුන් ක්‍රියාශීලී දරුවන් බවට පත්කරන්න අපි වෙහෙසෙනවා. දරුවන්ට ලෝකයේ දියුණුවත් සමඟ තාක්ෂණය අවශ්‍යයි. එයින් බුද්ධිය වර්ධනය වුවත් ප්‍රඥාව අඩුයි. අපි දරුවන්ව දැනුවත් කරනවා පුංචි පුස්තකාලයක් පවත්වාගෙන යන ආකාරය පිළිබඳව. ඇතැම් දරුවන් තම නිවසේ ඉඩකඩ නොමැති නිසා වෙනත් ස්ථානයක පුස්තකාලයක් නිර්මාණය කර තිබුණා. ඒ දරුවා සතුව ස්වර්ණ පුස්තක වශයෙන් ජයග්‍රහණය කළ ග්‍රන්ථ පවා තිබුණා. අපි ඒ සඳහා දරුවන්ට තෑගි ලබා දෙනවා. දහම් පාසල මඟිනුත් පුස්තකාලයක් පවත්වාගෙන යන්න කටයුතු යොදා තිබෙනවා. මේ සියලු දේ වලින් බලාපොරොත්තු වන්නෙ දරුවන් යහපත් දරුවන් වශයෙන් සමාජයට දායාද කිරීමයි. එය අපට කළ හැකියි.

මා විශ්‍රාම සුවයෙන් සිටියත් ලේඛන කලාවෙන් නම් ඈත් වුණේ නැහැ. මේ දිනවල මම ඉංග්‍රීසි නවකතා දෙකක් පරිවර්තනය කරමින් ඉන්නේ. ඉන්දියානු ලේඛිකා ඇනිවා දේශායි ගෙ  The Village By The Sea සහ Portrait Of The Marriage  කියන ග්‍රන්ථ පරිවර්තනය කරනවා. එමෙන්ම මගේ ජීවිත කතාව ලිවීම ගැනද අදහසක් මගේ හිතට ඇවිත් තියෙනවා.

මෙම මස 22 වන සෙනසුරාදා කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී විශේෂ කටයුත්තක් සිදු වෙනවා. සෑම සෙනසුරාදා දිනකම ලේඛකයෙක් පිළිබඳව හෝ ලේඛිකාවක පිළිබඳව කතාබහක් සිදු කෙරෙනවා. 22 දා මා පිළිබඳවත් මා අතින් රචනය වූ ග්‍රන්ථ සහ නිර්මාණ පිළිබඳව කතාබහක් සිදු කිරීමට නියමිතය. ඒ අවස්තාවට මහජන පුස්තකාලයාධිපතිණි ඉන්ද්‍රානි පුෂ්පානි ජයවර්ධන මහත්මියත්, රූපවාහිනී සංස්ථාවේ හඬ කැවීම් අංශයේ හිටපු ප්‍රධානි අතුල රන්සිරිලාල් මහතාත්, රූපවාහිනී සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂකවරියක වන සුනන්දා හෙට්ටිආරච්චි මහත්මියත් සහභාගී වීමට නියමිතය .එය පැවැත්වෙන්නෙ ප.ව. 1:30 සිට ප.ව.4:00 දක්වාය. පොත පත පරිශීලනය කිරීමට කැමති පාඨකයන්ට සහ ඒ සඳහා උනන්දුවක් ඇති ඕනෑම කෙනෙක්ට සහභාගී වීමට පුළුවන්. ඒ සඳහා සහභාගි වන ලෙස පාඨක ඔබ සැමට ආරාධනා කරනවා.

ගම්බද සිරිය විඳීමින් ලේඛන කලාවේ නිරත වූ පියසීලී විජේනායක ලේඛිකාව අතීතයේ ඇයගේ නෙතගැටුණු ඉතාමත් සංවේදි සිද්ධියක් අලළා ඇය විසින් කවි පෙළක් නිර්මාණය කරන ලදී.

සතුරෙකුගේ උකුසු ඇසට හසුවී මෙලොව හැරගිය පුංචි කුරුලු පැටවෙකු වෙනුවෙන් ඇය ගෙත්තම් කල කවි පද පෙළෙහි අවසන් කවිය මෙසේ සඳහන් කොට ඇය සරසවිය කතාබහට සමු දුන්නාය.

ලොකු වැඩ කලේ නැති මුත් නුඹ මුළු ලොවට.
නුඹ එක්වුණා සෙසු ලෝකයෙ ලස්සනට.
කළ පින් මදිව අඩු ආවිස විය නුඹට.
යලි ඉපදිලා එනු මැන මේ වන පෙතට.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT