Home » මම රේස් දුවන පුද්ගලයෙක් නොවෙයි

මම රේස් දුවන පුද්ගලයෙක් නොවෙයි

රූපණවේදී වසන්ත මොරගොඩ

by Thanushika
May 15, 2025 10:28 am 0 comment

ජීවිත වියමනේ කටු පඳුරු මතින් ගමන හරිම දුෂ්කරය. ඒ පැමිණි දුෂ්කර මාවතේ ගමන් කරන්නේ නින්දා අපහාස විඳගනිමින්ය.

ජිවිතේ විඳින මිනිසුන් සිටින්නේ අල්පයකි. රස නහර පිනා යන්න නිර්මාණයට සාධාරණයක් කරන පිරිස් සිටින්නේද අල්පයකි. ඒ අල්පය අතරින් නිර්මාණ ගොන්නක් පොදි බැඳගත්ත මිනිසුන් අතරින් ජනප්‍රියත්වය පසුපස හඹා යන්නැති පුද්ගලයන්ද සිටි. පටු අදහස් අරමුණුවල් නොමැතිව තම කාර්යය පමණක් ඉටුකරන්නේ දැඩ් කැපකිරිමකිනි. මෙතෙක් කළ චරිත අතර දිග පළල සොයා කෙදිනක වත් චරිත භාරගත්තේ ද නැත.ආධුනිකයාටත් ප්‍රවීණයාටත් එක ලෙස සලකමින් නිර්මාණ කාර්යයේ යෙදුණේය.ඔහු සැම විටම බැලුවේ නිර්මාණය ගුණාත්මක බව පමණයි. එවැනි ගුණාත්මක නිර්මාණයන්ට මේ දිනවල ඔහුට ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයි. ඒ වාලම්පුරිය සිනමා පටයේ පොලිස් ස්ථානාධිපති සමන් ගේ චරිතය නිරුපණය කරන වසන්ත මොරගොඩටයි. මේ ඔහුගේ අලුත්ම තොරතුරු සරසවිය සමඟ බෙදා ගත් මොහොතයි.

ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වීම මොන ආකාරයෙන්ද සිදුවුණේ ?

මගේ ගමන ආරම්භ වන්නේ ගමෙන්මයි. ජීවිතයේ සුන්දරම කාලවකවානුවක මම හැදී වැඩෙන්නේ. මම හැදුණු වැඩුණු ගම් පියස සොබා සෞන්දර්යයෙන් අනූන තැනක්. මිරිගම ඉඳන් කිලෝමීටර පහක් විතර ගිය තැන හමුවෙන දෙල්වල කියන ග්‍රාබ මය තමයි මම කලා ක්ෂේත්‍රයට ගෙන එන මුල්ම ආරම්භය සිදු වුණේ. කුඩා කාලයේ ඉඳන්ම මම නර්තනයට විශේෂ දක්ෂතාවයක් දක්වූ දරුවෙක් වුණා. මේ නර්තන හැකියාවට මගේ පවුල් පසුබිමත් විශේෂයෙන් බලපෑවා. මගේ සහෝදරයා, සහෝදරිය දෙදෙනා නර්තනයට යොමු වීම නිසා මටත් ඒ පසුපස ගොස් නර්තනය මගේ බවට මම පත්කර ගත්තා. දෙල්වල මධ්‍යම හා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරපූ මම ටික කලකින් වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයට ඇතුළත් වීමට අවස්ථාව හිමිවෙනවා. එහිදී මගේ සුවිශේෂී දක්ෂතාවය හඳුනාගත් එකල නැටුම් ආචාර්යවරිය වූ විනීතා ගුරුතුමිය සෞන්දර්ය විෂයට මට වැඩි ඉඩකඩක් ලබා දුන්නා. පාලිත ලොකුපොතාගම, උදයසිරි වික්‍රමරත්න යන කලාකරුවන් වික්‍රමශීලාහි මේ අතර ඉන්නවා. ඔවුන්ගේ ආබාසයෙන් තමයි මම අද මේ ක්ෂේත්‍රයට මුලින්ම පියවර තබන්නට හේතු කාරණාව වෙන්නේ. ගෙන්දගම් පොළොවට පය තබන්නට හේතු කාරණා පැමිණීම සිදු වෙන්නේ.ඉන් පසුව උදයසිරි වික්‍රමරත්නගේ වමනේ කියන වෙිදිකා නාට්‍යයෙන් ඇගැයීමකට පාත්‍ර වෙමින් යෞවන සම්මාන හොඳම නළුවාට හිමි සම්මානය මම හිමි කරගන්නවා.එදා ඇතිවුණු උත්තේජනයත් සමඟ අද මේ තාක් ඒ ගමන ඇවිත් තිබෙනවා.

වේදිකා නාට්‍ය කලාවේ සන්ධි ස්ථානයක් හිමි කරගත් නළුවෙකු බවට ඔබ ඉන් අනතුරුව පත්වෙනවා නේද?

මේ කාලවකවානුවේදී තමයි මම ටවර් හෝල් පදනමේ අධ්‍යයන කාලසීමාවට පැමිණෙන්නේ. මෙහිදී මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍ර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද ,හෙන්රි ජයසේන, බන්දුලි විතානගේ, අරියවංශ රණවීර වැනි ආදී ජ්‍යේෂ්ඨතම ගුරුවරුන් යටතේ අධ්‍යයනය කරමින් ඇසුරු කරන්නට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර හමුවීමත් සමඟ සුවිශේෂී අවස්ථා කිහිපයක්ම මට හිමි වෙනවා. රුසියානු මහා නාට්‍යවේදී ඇන්ටන් චේකෝෆ්ගේ චේකෝෆ් සන්ධ්‍යාවේ දුම්කොල කියන නාට්‍යයේ පැයක් පමණම මම තනි නළුවෙකුගේ රංග කාර්ය රංගනයේ යෙදෙනවා. ඒ චරිතය මම කරපු එක මට සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වෙනවා නාට්‍ය කලාව තුළ.ඒ හරහා මට විවිධ අධ්‍යක්ෂකවරු අවස්ථා හිමිකර දෙනවා. මේ ආපු මාවත මට බුමුතුරුණු අතුරලා ඒ තුළින් ආපු ගමනක් නොවේ.කටුකොහොලින් පිරුණු මාවතක් වෙනවා,ඒ ආපු මාවත නිසා තමයි අද මට පොළොවේ පය ගහලා හිටගන්න පුළුවන් වුණා.

දුම් කොළ නිසාමද ඔබ ධර්මසේන පතිරාජයන්ගේ මතු යම් දවස සිනමා පටයට සම්බන්ධ කරගන්නේ?

ඒ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් වෙන්න පුළුවන් ඔහු මාව ඔහුගේ සිනමා පටයට සම්බන්ධ කරගන්න. ඒ වන විට නාට්‍ය ගණනාවකම මම රංගනයේ යෙදිලා තිබුණා.ඒ සියලු දේවල් සමඟ මම ඇසුරු කරපු ගුරුවරුන්ගේ සම්බන්ධතාවය පිටුවහලක් වෙන්න ඇති. ධර්මසේන පතිරාජයන් හැමවිටම දක්ෂයාට ඉඩකඩ සලසා දුන්නා.එය මම දකින්නේ සිනමාවේදියෙකුගේ හොඳ ලක්ෂණයක් ලෙසයි. ඒ වගේම තමයි අපිට ඉහළ පරම්පරාවේ අවසාන පුරුක් බවට ඇසු පිරූ පුද්ගලයන්ගෙන් ගුරුහරුකම් ලබපු අය බවට අපි පත් වෙනවා. අවසාන භාගයේ සුගතපාල ද සිල්වා වැනි ප්‍රවීණයන්ගේ ඇසුරද ලැබීමට මම පින් කළා. ලෝකයේ විවිධ නිලබල තරාතිරම් දරන පුද්ගලයන් සිටියත් ජනතාව සතුටු කරගන්න පුළුවන් කලාකාරයකු බවට පත්වන්නේ කිහිපදෙනයි.ඒ අතර මටත් ඒ අවස්ථාව හිමිවීම මම ලද භාග්‍යයක්ය.

මතු යම් දවසක් සිනමා පටයත් සමඟ සිනමාවට අවතීර්ණ වීම ගැන ඔබ මොනාද හිතන්නේ?

ඉන්පසු මම ටික කාලයක් නිහඬ පරිච්ඡේදයක් පසු කරනවා. ඉන් අනතුරුව නැවත අබා වැනි සිනමා පට තුළින් ප්‍රේක්ෂකයා කතා කරන චරිතයක් බවට පත්වෙනවා. සුවිශේෂී සිනමා පට කිහිපයකම මගේ රංගනය ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට මට අවස්ථාව හිමි වෙනවා.ඒ චරිත එකින් එකට වෙනස් වූ චරිත නිසා මේ චරිතය කරන්න පුද්ගලයා කවුද කියලා හොයන්න ගොඩක් කට්ටිය පෙලඹුනා. වේදිකාව ටෙලි නාට්‍ය සිනමාව යන කුමන මාධ්‍යයක හෝ ඒ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය කවුද කියලා ඒ චරිත තුළින් හොයන එක හොඳ ලක්ෂණයක් ඉදිරියට එන ශිල්පීන්ට. විශේෂයෙන් තමන් තුළ තමන්ට අභිමානයක් ඇතිවෙනවා කොහොමහරි මේ චරිතය කළ යුතුයි කියන තැනට එන්න. හඬ මාධ්‍ය රූප මාධ්‍යයත් සමඟ එකතු වුණාම එහි කාර්යභාරය මැනවින් වටහා ගත්තොත් ඕනෑම කෙනෙකුට තමන්ගේ ගමන් මාර්ගය කුමක්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙනවා. ඒ හරහා කතා කරන, කතාබහට ලක්වන ලෝක සලකුණක් බවටත් තමන් තමන්ව පත්කර ගන්නත් පුළුවන් අවස්ථාවක් වෙනවා සිනමාව.

වේදිකාව ටෙලි නාට්‍ය සිනමා යන ත්‍රිත්වය තුළ අද වන විට හිඩසක් පුරවන රංගන ශිල්පියෙක් බවට පත්වෙනවා නේද?

අද ගොඩක් දෙනෙක් තමන්ගේ වෘත්තීය ස්වභාවය සහ තමන් කවුද කියන එක වටහා නොගැනීම මොනයම් කාර්‍යයක වුවත් ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලයි තියෙන්නේ. ඒත් මම මම කවුද කියන එක වටහාගෙන කළ යුතු දේ කුමක්ද කියන එක වටහා ගැනීම තුළ තමයි මේ හැමදෙයක්ම සිදුවෙලා තියෙන්නේ. විශේෂයෙන් මම රේස් දුවන පුද්ගලයෙක් නෙවෙයි. ජය කණුව කොතනද කියන එක අවබෝධ කරගෙන තියෙන නිසා මගේ ගමන මම තීරණය කරනවා. මගෙන් අනිකා බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එක. ඒ නිසා මම ඒ දේ ඔවුන්ට දෙනවා.මේ ත්‍රිත්වය තුළම මම අඩු වැඩි වශයෙන් තෝරා බේරාගෙන එංජිමකට දරා ගන්න පුළුවන් බර ප්‍රමාණය තීරණය කරපු නිසා වෙන්න ඇති ඒ තැන හිමි වුණේ කියලා මම හිතනවා.අපේ පවුල් සංස්ථාව ළමයි.ඒ සියලු දේවල් සමබරතාවයකින් යුතුව නිශ්චිත රාමුවක් තුළ ක්‍රියාත්මක කරගනිමින් තමයි මගේ රංගන ශිල්පියා කියන කාර්යභාරය ඒ රාමුව තුළ මම කරන්නේ.මේ ආපු මග ඔස්සේ මම වේදිකා නාට්‍යය විස්සක් පමණද ටෙලි නාට්‍ය පහළොවක්, සිනමාපට දහයක් දොළහක් වැනි සංඛ්‍යාත්මක වශයෙන් අඩු ප්‍රමාණයක් තමයි කරලා තියෙන්නේ.ඒත් ඒ නිර්මාණය තුළ මගේ කාර්යභාරය මම හරියට කරලා තියෙනවා කියලා මම හිතනවා.නිර්මාණ සියක් දෙසියක යෙදෙනවාට වැඩිය තමන් කරන එක නිර්මාණය හරියට කළොත් එය තමයි ඔහුගේ නිර්මාණාත්මක හැකියාව කියන එකයි මම දකින්නේ.ක්ෂේත්‍රයේ වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන්න තියෙනවා නම් එහි කාර්යය භාරය තමයි මගේ මූලිකම කාරණය වන්නේ. එය ඉටුකරනවා.

මවිස් හරහා අධ්‍යක්ෂකවරයකුගේ භූමිකාවට අවතීර්ණ වීම කොහොමද?

සිනමා පටයක් කරන්න ඕන වකවානුවක නොවේ මම ඇත්තටම සිනමා අධ්‍යක්ෂණයට අතගසන්නේ.එදා මම ගත්ත වැරදි තීන්දුවක් කියලයි මම අදත් හිතන්නේ.විශේෂ අධ්‍යයනයකින් තොරව තමයි මම මේ සිනමා පටයට අවතීරණය වුණේ.මවුස් අධ්‍යක්ෂණය කරන්න ගත්ත කාලය තුළ හොඳ හා නරක ගොඩක් රඳා පවතිනවා.ඒ ජීවිතයට අත්දැකීමක් කරගෙන මම ඉදිරි කලා කටයුතු කරගෙන යන්නට අත්වැලක් සපයා ගත්තා. ජීවිතේ හොඳ හා නරක හැම දෙයක් තුළම සිදුවෙනවා. එය නැවත ආපස්සට හරවා ගත යුතුය නිවැරදි කරගෙන ගමන් මඟ සකසා ගන්නට.අද බොහෝ දෙනෙකුට එය නිවැරදි නොකර ගැනීම නිසා තමන්ගේ ගමන් මග අඩාල වීමයි සිදු වෙන්නේ. මම හිතන්නේ මවුස් මාව වෙනස් පුද්ගලයෙක් බවට පරිවර්තනය කළා.

මවුස් වෙනස් කළ ගමනද දරුවන්ට ගුරුවරයකු ලෙස දැනුම බෙදන්න හිතුවේ?

ගුරුවරයකුගේ කාර්යභාරය තුළ ලොකු කාරණාවක් ගැබ් වෙනවා. මේ හරහා මගෙන් ගොඩක් දෙනෙක් අහනවා ඔයාට තියෙන සුදුසුකම් මොනාද කියලා. ගොඩක් දෙනෙක් අවබෝධ කරගෙන නොමැති කලාව තුළ තියෙන එක්සයිසස් එක ඇතුලේ තියෙන සයිකොලොජි ඉම්පැක්ට් එක ගැන අවබෝධය අඩුයි. ඒ නිසා නොයෙක් අය එය ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරගෙන තිබෙන්නේ.මා ළඟින් හිටිය මනසින් නොවැඩුණු දැනුමෙන් අඩු දරුවෙකු නිසා විවිධ හේතු කාරණා සොයන්න ගත්තා. විවිධ රටවල මේ ළමයි වෙනුවෙන් තියෙන අධ්‍යාපනය ලබා දෙන ක්‍රම වේදවල් අධ්‍යයනය හා පර්යේණාත්මක සොයන්නට මම කාලය යොමු කළා. ඉන් අනතුරුව මම එය හැදෑරුවා. ඒ කළ අධ්‍යයනයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇක්ට් ඉම්පැක්ට් කියන ආයතනය බිහිකරන්නේ. ඒ ගොඩනගපු ආයතනයේ දරුවන් වෙනුවෙන් දිවයින පුරා ස්ථාන දාසයක මේ වනවිට සිකුරාදා සෙනසුරාදා ඉරිදා යන දිනවල වැඩමුළු පවත්වනවා. දැනට මේ හරහා ළමයින් අටදාහක් වැනි සංඛ්‍යාවක්ද මව්වරුන් දාසය දහක් මේ වන විට සෘජු සම්බන්ධතාවන් පවත්වනවා.මේ කාර්යය ජාතික වශයෙන් කරන්න තියෙන කාර්යභාරයක් නමුත් පෞද්ගලික කාරණාවක් ලෙස මම මේ දරුවන් වෙනුවෙන් මෙය කරගෙන යනවා.මෙතනින් එහා ලෝකයක් ඒ දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීම තමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ.

2025 වර්ෂයේ ඔබ සිනමාවට වැඩි ඉඩකඩක් වෙන් කරලා තියෙනවා නේද?

ඇත්තටම මම තවමත් ආස වේදිකාවට සහ වීදි නාට්‍ය කලාවටයි. මම වෘත්තීමය නළුවෙක් නොවෙයි. ඒත් මම කරන කාර්යභාරය හරි ආකාරයම කරන රංගන ශිල්පියෙක්. යම් චරිතයක් මට භාර දුන්නාම මම එය පූර්ණ කාලිනව අධ්‍යයනය කිරීමෙන් පසුව තමයි මම එයට අවතීරණය වෙන්නේ.කරන චරිතය මම හදවතින්මයි කරන්නේ සියට පන්දහකින් ම එයට අනුගත වෙලා දායකත්වය ලබා දෙනවා. මම කිසි දිනක වේදිකාව ටෙලිනාට්‍යය සිනමාව කියන මාධ්‍ය කුමක්ද කියන එක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ නිසා තමයි මට 2025 කියන කාලය කලා මාධ්‍යයේ විවිධ පැතිකඩවල් ස්පර්ශ කරන්න අවස්ථාව හිමිවෙලා තියෙන්නේ. අද නිර්මාණ ශිල්පීන් යම් ටෙලිනාට්‍යයක වේදිකාවක සිනමාපටයක දැක්ක චරිතය උපුටා ගනිමින් වසන්ත මොරගොඬට හරියන්නේ ඒ වගේ චරිතයක් පමණක් යයි කියලා හිතන්නැතුව ඔහු ඊට වඩා මේ චරිතයට සුදුසුයි කියලා නිර්මාණයට දායක කරගන්නවා නම් මම කැමතියි.

වාලම්පුරියේ OIC සමන්ගේ චරිතයට ලක්මාල් ඔබව තෝරා ගන්නේ මොන පදනමකින්ද?

ලක්මාලුත් මගේත් අතර තියෙන සම්බන්ධතාවය කුඹියෝ ටෙලිනාට්‍යටත් එහා ගිය සම්බන්ධතාවයක්ය.

එ නිසා තමයි අද රිදී තිරයේ දිගහැරෙන වාලම්පුරියේ ර්‍ණධ්ඛ් මහත්තයා ගැන කතා කරන්නට හේතු කාරණා වෙලා තියෙන්නේ.

මගේ එදා ඉඳන්ම තිබ්බ කැමැත්තක් තමයි විෂය පථය ගැන පූර්ණව දැනගෙන එහි අස්සක් මුල්ලක් නෑර අවුස්සා වඩාත්ම එයට ගිජුකමින් දන්න කවුරුහරි ඉන්නවා නම් පොඩි එකෙකු වුණත් ඔහු සමග වැඩ කටයුතු කරන්න තියෙන අවශ්‍යතාවය වැඩී මට.ඒහි ප්‍රතිඵලයක ලක්ෂණයක් තමයි ලක්මාල් මට ඇවිත් කතා කිරීමම. මෑත කාලයේ බිහි වූ අධ්‍යක්ෂකවරුන් අතර ලක්මාල් කියන්නේ Next level එකේ ඉන්න අධ්‍යක්ෂකවරයෙක්. ඔහු යම් චරිතයකට පුද්ගලයෙක් තෝරා ගන්නවා නම් ඒ තෝරා ගත්ත චරිතයට ඔහු මවා ගත්ත රූපයයි ඔහුගේ කරන කාර්යාභාරයයි දෙකම ගළපගෙන ඉවර වෙලා තමයි නළුවාට හෝ නිළියට චරිතය මෙන්න මේකයි කියලා කියන්නේ. ඒ ගලපා ගත්ත චරිත අතර වාලම්පුරිය සමන් OIC ගේ චරිතයට හරියනම පුද්ගලයා මම කියලා හිතලා තමයි මට ඒ චරිතය භාර දෙන්නේ. මම අර පෙර සඳහන් කළා වගේම කියන්න ඕනෑ සිනමා පටයේ කන්සෙප්ට් එක හා එහි විග්‍රහය පිළිබඳව ලක්මාල් ඇති කරපු විශ්වසනීයත්වය තුළ චරිතය යම් යම් දේවල් කරන්න බැරි උණත් මම කොහොමහරි කරනවා කියන ස්ථිර නිගමනය මම හිටියා. මම වෘත්තීයමය නළුවෙක් නොවේ නමුත් මට දෙන කාර්යභාරය මම සීයට පන්සීයක් හොඳීන් කරනවා. ලක්මාල් OIC දුන්න ජීව ගුණයත් ඔහු ළඟ මා ප්ලේ වෙච්ච චරිතයක් බවට ගෙන ඒමත් තිර පිටපතේ ඔහු දුටු සමන් ප්‍රතිනිර්මාණය මාතින් සිදු වුණානම් ඒ පූර්ණ ගෞරවය හිමිය යුත්තේ ලකාගේ අධ්‍යක්ෂක වරයා යන භූමිකාව තුළටයි.ඒ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා මා ගැන තියෙන විශ්වාසය පදනම් කරගෙන තමයි මේ හැමදෙයක්ම සිදුවෙන්නේ.

ලක්මාල් කාලයට ගළපලා ගෙනාපු මාතෘකාවක්ද මේ තිරගත වෙන්නේ?

මිනිස්සු ඉපදුණු දවසේ ඉඳන් බහ තෝරන දවස පටන් ගන්න තැන ඉඳන් මේ කැරකෙන රෝදය තුළ හීන පස්සේ තමයි හඹා යන්නේ. මේ කතා කරන මොහොතත් අපි හීන පස්සේ හඹා යන්නේ. එය කිසිවකුට නවතාලන්න බැහැ මොකද අපි පෘථග්ජන කොට්ඨාසයක් නිසා. නොපෙනෙන හීන, පෙනෙන හීන, ඉෂ්ට කරගන්න දඟලන හීන, හීන නොවන්නට දඟලන උත්සාහය අතර තමයි අපි ජීවත් වන්නේ. මේ සංකල්පය රටකට පොදු වෙලා නෙවෙයි තියෙන්නේ. ලෝකවාසී සියලු දෙනාටම පොදු මාතෘකාවක් බවටයි පරිවර්තනය වෙන්නේ. ලෝකෙ පුරාම ජීවත් වන මිනිසුන්ගේ සිතිවිල්ල තමයි මේ ලකා ගේන්නේ වාලම්පුරියක් පසුපස්සේ හඹා යෑමයි. මේ සියලු දෙනාගේම සිතුවිල්ල වන්නේ අද හරියයි, හෙට හරියයි, ඊළඟ සතියේ හරියයි නැත්නම් තව මාසෙකින්, එහෙමත් නැත්නම් අවුරුද්දකින් හරියයි. කියන දැඩි විශ්වාසය මතයි මේ කැරකෙන රෝදය තුළ ගමන් කරන්නේ. ඔවුන්ගේ අපේක්ෂාවන් තුළයි. වාලම්පුරිය බලන සියලු දෙනාටම ඒ ඒ චරිතවල ඇතුළට රිංගලා කතා කරනකොට දැනෙන විට හිතෙයි මේ මම ගැන නේද කියන්නේ මේ මම ගැන නේද කතා කරන්නේ කියලා.මේ තුළ ජීවත්වන සිඩ්නි වගේම අනිත් චරිත සහ ර්‍ණධ්ඛ් සමන්නුත් වාලම්පුරියක් හඹා යනවා. මිනිසුන්ව වසඟයට ගනිමින්, මිනිසුන් නොමග යවමින්, ජැන්ඩි පහට ඇඳ ගනිමින්, විලාසිතාවන් කරමින්, අභ්‍යන්තරයට වැඩිය බාහිර රූපයේ පෙන්වමින් දිල්හානිගේ චරිතයත් මේ සමාජයේ ජීවත් වන්නේ වාලම්පුරිය පස්සේ හඹා යෑම පමණයි.මේ ජීවත්වන සියලූම චරිත ආගම් පාට භේද දේශපාලනයෙන් තොරව සියලු දෙනාගේම යටි හිතෙන් දුවගෙන යන්නේ වාලම්පුරිය තුළටයි. මෙහි තියෙන එකම දේ තමයි අපේක්ෂාව කියන එක හරිද වැරදි ද.

නීතිය රකින්න ඉන්න නිලධාරිනුත් නීතියේ දෙවඟනත් දෙනෙත් වසාගෙන සිටින්නේ වාලම්පුරිය නිසාද?

අද සමස්තයක් හැටියට අරගෙන බැලුවොත් හරි වැරදි කියන දෙකම සාපේක්ෂයි. ආචාර්ය මහාචාර්යවරු දැන හෝ නොදැන කියන ලොකු කතා මට මේ තුළ කියන්න පුළුවන්. සමස්තයක් ගත්තාම මෙහි වස්තු විෂයට මූලික වෙන බොහෝදෙනා එකතුවෙලා ගහන ගේම සහ හොරකම් කිරීම වැරදි. මේ සියලු දෙනාගේම එක අරමුණක් වෙනුවෙන් තම දරුවා වෙනුවෙන් හෝ තම පවුල වෙනුවෙන් හෝ තම මවුපියන් වෙනුවෙන් පමණයි.සාපේක්ෂව ගත්තම එක එක්කෙනා බලන කෝණ වලින් වැරදි වෙන්න පුළුවන්.එහෙත් ඔහුට තියෙන එක අරමුණක් වෙනුවෙන් ඔහු වෙනුවෙන් කවුරුවත් පිහිට වෙන්නේ නැත්නම් ඔහු කරන ක්‍රියාවලිය වැරදි වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මේ වාලම්පුරය තුළ තිබෙනවා. වැරදි කරන මිනිස්සුන්ගේ කෝණය කුමක්ද කියලා වටහාගෙන ඔවුන් එතෙන්ට පත්වුණේ කුමක්ද කියන එක සොයා බැලීම තුළින් යම් විසඳුමක් දෙන්නට පුළුවන් වෙයි මේ තුළින්. ඒ නිසා මේ හැම තැනකම අපිට සිදුවෙන්නේ දැක්ක නොදැක්කා සේ ඉන්න වෙන එකය.මගේ සැබෑ ජීවිතයේත් යම් ප්‍රශ්නයක් මතුවෙලා නිලධාරියෙකු සමඟ ගැටුණ වාර අනන්තයි. ඒත් මම මේ චරිතය කරාට පස්සේ එදා මම කරපු දේයි මේ දෙකයි සංසන්දනය කරපුවාම මට දුකක් ඇතිවුණේ.ඒ ඔවුන්ගේ බාහිර ස්වරූපය පමණක් දකින නිසාත් අපි ඔවුන්ගේ අභ්‍යන්තරයට කිඳා බහින්නේ නැති නිසා. මේ සියලු දෙනාගේම චරිත පෙනෙන චරිත වලට වැඩිය එහා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තිරපටින් දෙනෙත් බැඳලම බලන එක හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. ලක්මාල් මේ පෙනෙන දෙයට වැඩිය එහා ගිය දෙයක් මේ චරිත තුළින් ගෙනල්ල තියනවා. ඉස්මතු කරලා තියෙනවා. කියන එක බලන ඕනම කෙනෙකුට පේනවා.ඒ නොපෙනෙන දේ සෙවීම තමයි මේ තුළ කළ යුත්තේ කියලයි මගේ හැඟීම නම්.

සිනමාවට නවක අධ්‍යක්ෂකවරයකු මෙහි රංගනයේ යෙදෙන ප්‍රවීණයන් හැසිරවීම සිදු කළේ කොහොමද?

ඔහු ක්ෂේත්‍රයට නවකයෙකු නොවුණත් සිනමාවට නවකයෙකු වන බව ඇත්ත.ඒත් හැම විටම ඔහු ප්‍රවීණයන්ගේ ගරුත්වය සහ වෘත්තීමය ස්වභාවයෙන් තමයි සිනමාපටය දර්ශන තලය තුළ හැම විටම ක්‍රියා කළේ.ඒ වගේම කාර්මික ශිල්පියාගේ සිට තේ හදන ටීබෝයි දක්වා හරිම ගෞරවාන්විතව සාමූහික හැඟීමකින් නායකයෙකු කටයුතු කරන ආකාරයට සිනමා පටය අවසානය දක්වා ඔහු ක්‍රියා කළා.ඒ මම දකින විදිහට ක්ෂේත්‍රයේ නොදකින එක් පැතිකඩක් ඔහුගෙන් විවර වුණා.

වාලම්පුරියේ පොලිස් ස්ථානාධිපතිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. සමහර සමාජ මාධ්‍යා ජාලාවල වාලම්පුරියේ  OICගේ චරිතය සංසන්දනය කරලා අද සමාජයේ ජීවත්වන චරිතත් සමඟ සැසඳීම පොඩි අසාධාරණයක් බවට පත්වෙලා තියෙනවා. මගේ චරිතය. කාලෙකින් මම ලබපු හොඳ තෘප්තිමත් චරිතයක් බවට මේ කරපු චරිතය පත්වුණා කියලා මට කියන්න පුළුවන්.ඒ චරිතය නැවත නැවත බලපුවාම මට හිතෙනවා අනේ මට මේක තව ටිකක් හොඳින් කරන්න තිබ්බ නේද කියලා.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT