Home » මම මහපොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්

මම මහපොළොවේ පය ගහලා ඉන්න කෙනෙක්

රංගන ශිල්පිනී රූපා පතිරණ

by Thanushika
April 10, 2025 9:26 am 0 comment

පොල්ගහවෙල වැනි දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙමින් කුඩා කල පටන් රංගනයට පෙරුම් පුරපු ඇය ජිනදාස එච් ගමගේ ගේ ” කෝන්තරය ” නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වුණ අතර මේ වන විට ස්වාභාවික රංගනයේ කැපී පෙනෙන ඇය, රූපා පතිරණ. ඇගේ රංගන ජීවිතයේ සුන්දර මතක ඔබත් එක්ක බෙදා හදා ගන්නට අද අපේ සරසවියේ කලා පිටුවත් සමඟ එකතු වෙලා ඉන්නේ ”

ආයුබෝවන් ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?

මේ දවස්වල “ඉරගිනි මද්දහන” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්නම් ඉවර වුණා. ඒත් පාට කුරුල්ලෝ සහ අ.ඒ.ඊ 423 ටෙලි නාට්‍යවල රූගත කිරීම කරගෙනෙන යනවා. ඊට අමතරව මේ දවස්වල මමයි මහත්තයයි එකතුවෙලා පෝය නාට්‍ය කීපයක වැඩ කටයුතු කරගෙන යනවා.

රූපා පතිරණ කියලා කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා මම ඇහුවොත් ?

හඳුන්වල දෙන්න ඕනේ ඉතාම අවංක, පොළොවෙ පය ගහලා ඉන්න, සත්‍යයට විතරක් කැමති සරල පුද්ගලයෙක් කියලා.

ඔබේ රංගන ජීවිතයේ ආරම්භය ජිනදාස එච්. ගමගේ ගේ” කෝන්තරය” නෙ. එතකොට රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද කියලා ඇහුවොත් ?

මගේ හැරවුම් ලක්ෂ්‍යය බොහෝවිට ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්තයගෙ “ගල් පිළිම සහ බොල් පිළිම ” ටෙලි නාට්‍ය කියලයි මම හිතන්නේ මොකද ඒකට මට හොඳම සහය නිළිය සම්මානය ලැබුණා.

රංගන ශිල්පිනියක් නොවුණනම් ඔබ මේ වෙද්දි කුමන වෘත්තියක නියැළේවිද ?

එහෙනම් අනිවාර්යයෙන් නැටුම් ගුරුවරියක් වේවි. මොකද මට නැටුම් ගුරුවරියක් විදිහට පත්වීමක් ලැබිලත් දේශපාලන බලපෑමක් නිසා ඒක නැති වුණා. මම උසස් පෙළ කළේ වාණිජ අංශයෙන් වුණත් ප්‍රාරම්භ මධ්‍යම කරලා තිබුණ හින්දා 80 ගනන්වල ගුරු පත්වීම් ඉල්ලන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ නිසා රංගන ශිල්පිනියක් නොවුණා නම් මම නැටුම් ගුරුවරියක් වෙන්න ඉඩ තිබුනා.

මෙතෙක් ඔබ රංගනයෙන් දායක වූ ඔබ නිරූපණය කළ චරිත අතුරින් වඩාත් ප්‍රිය කරන්නේ කුමන චරිතයටද සහ ඊට හේතුව ?

” නාඩගම්කාරයෝ ” ටෙලිනාට්‍යයේ සරාගේ අම්මා කියන චරිතය වගේම ” ඉරගිනි මද්දහන ” ටෙලිනාට්‍යයේ බේබි නෝනා කියන චරිත දෙකටම කැමතියි . හේතුව ඒ චරිත දෙකම ගම්වල චරිත දෙකක් සහ දරුවන්ගේ ප්‍රශ්න නිසා දුක් විදින අම්මලා දෙන්නෙක්. ඒ නිසා ඒ චරිත දෙකට කැමතියි.

ඔබ ගුවන්විදුලි ඕ ශ්‍රේණියේ ගායිකාවක්. රංගනයට මුල් තැන දීපු නිසා ගායන හැකියාව ඉඩක් නැති වෙලාද ?

නෑ මම ගායනයට තාම කැමතියි. දැනටමත් මට අප්‍රේල් මාසෙ සංගීත ප්‍රසංග වලට ආරාධනා ලැබිලා තියෙන්නේ . කියන්නෙ ඔක්කොම පැරණි ගීත ලතා වල්පොල මහත්මියගෙ , ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ වගේ ගීත. මගේ මුල්ම රූපවාහිනී වැඩසටහන ” සප්ත ස්වර ” වැඩසටහනෙත් මං ගායනා කරන්නේ ගීතයක්. ඒක රචනා කළේ ජිනදාස එච්. ගමගේ මහත්මයා වගේම තනු නිර්මාණය කළේ මම. මම ගොඩක් සංගීතය ඉගෙනගෙන නැති වුණාට මට හොදින් තනු නිර්මාණය කරන්නත් පුළුවන් .

බොහෝ දෙනෙක් පවසන ආකාරයට ඔබ බොහෝම ස්වාභාවික රංගනයක නියැළෙන්නියක්. කොහොමද මේ තරම් තාත්විකව චරිත නිරූපණය කරන්න ඔබට හැකියාවක් ලැබිලා තියෙන්නේ ?

ඇත්තටම මට ඒකට උත්තරයක් දෙන්න තේරෙන්නේ නැහැ. මට පිටපත අවබෝධ කරලා දුන්නට පස්සේ මම රඟපානවා , එච්චරයි . හැබැයි මට හොඳ අත්දැකීම් ගොඩක් තියෙනවා. ගෙයක් අස්සට වෙලා , තාප්පෙකට වට වෙලා හුදෙකලාව ඉන්න කෙනෙක්ට මම හිතන්නේ නැහැ සාර්ථකව චරිතයක් කරන්න පුළුවන් කියලා. අත්දැකීම් තිබුණොත් තමයි සාර්ථකව චරිතයක් කරන්නට පුළුවන්. ඇත්තටම මටනම් මේක දෙවියෝ දුන්න දෙයක්.

එතකොට මොකක්ද මේ රන්දුනු ප්‍රඩක්ෂන් කියලා කියන්නේ ?

රන්දුනු ප්‍රඩක්ෂන් කියලා කියන්නේ මගේ යූටියුබ් නාලිකාව. ඒකෙ සේරම පිටපත් ලියන්නේ මම සහ අධ්‍යක්ෂණය කරන්නේ මම සහ මගේ ස්වාමිපුරුෂයා. මම නාට්‍ය රංග කලාව ගුරුවරියක් විදියට වැඩක් කරන නිසා ඒවට සම්බන්ධ වන දරුවනුත් මේ රන්දුනු ප්‍රඩක්ෂන් එකේ නිර්මාණ වලට දායක කරගන්නවා. එයාලට ඉදිරි ගමනක් හදලා දෙනවා. ඉතින් ඒක තමයි රන්දනු ප්‍රඩක්ෂන් යූටියුබ් නාලිකාවෙන් සිද්ධ වෙන්නේ.

නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතුරින් ඔබ වඩාත් කැමති සහ දක්ෂතාවයෙන් ඉදිරියෙන් ඉන්න රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නම් කරන්න කිව්වොත් ?

තරින්දි ප්‍රනාන්දු

ඇයව නම් කරන්න විශේෂ හේතුවක් තියෙනවද ?

ඔව්. ඇයට ඕනෑම චරිතයක් සාර්ථකව කරන්න පුළුවන්. ගැමි චරිත වගේම නාගරික චරිත වුණත්. ඒ වගේම හරිම සියුම් තැන් ඉතාමත් ලස්සනට නිරූපණය කරනවා. විශේෂයෙන් අඬන අවස්ථා. මේ වෙද්දී ගොඩක් රංගන ශිල්පීන් අඬන්නේ ලස්සනට. හැබැයි කවදාවත් ලස්සනට අඬන්න බැහැ. ඒ වගේ හරිම සියුම් දේවල් තරින්දි ඉතාමත් අපූරුවට නිරූපණය කරනවා.

මොනාද ජීවිතේ ඉස්සරහට තියෙන බලාපොරොත්තු , මොන වගේ නිර්මාණවලින්ද ප්‍රේක්ෂකයන් ඉදිරියේදී ඔබව දැකගන්න පුළුවන් ?

ටෙලි නාට්‍යය කීපයකින් දැක ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඉදිරියේදි එන්න තියෙන ” මැයි මාර ප්‍රසංගය ” චිත්‍රපටයෙනුත් දැකගන්න පුළුවන්. එතකොට මට තව ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කෙටි කතා පොතක් ලියන්න. මට හොඳට ලියන්න පුළුවන්. මේ වෙද්දිත් මම කතා දහයක් විතර එකතු කරගෙන ඉන්නවා. ඒ ටික පොතක් විදිහට මුද්‍රණය කර ගන්නත් ආසාවෙන් ඉන්නේ. ඒ වගේම අපේ ” සත් කෝරල සහෘද කලා සංසදය ” සභාපති මම. ඒකෙන් අපි කරන්නේ කලාවට දක්ෂ අයව ඉදිරියට අරන් යන්න උදව් කරන එක. ඒක ඉස්සරහට කරගෙන ගිහින් දක්ෂයන්ට අත දෙන්නත් මම කැමතියි.

ස්තූති කරන්න පිරිසකුත් ඇති ?

මුලින්ම මට රංගන ජීවිතයට එන්න පාර කපපු ජිනදාස එච් ගමගේ මහත්මයාට. ඒ වගේම සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාට, එතුමා කියලා තිබ්බා ” මම දැකපු කලා ජීවිතය වගේම විවාහ ජීවිතය සාර්ථකව ගෙන යන එකම ගැහැනිය රූපා පතිරණ ” කියලා . ඉතින් ඒක මට මහමෙරක්. ඒ වගේම මේ වෙනකන් මාව පොඩි හරි චරිතෙකට වුණත් ගත්ත අධ්‍යක්ෂකවරුන්ට වගේම ඒ සඳහා මාව යෝජනා කරපු හැමෝටමත් බොහොම ස්තූතියි. ඒ වගේම සරසවිය පුවත්පතටත්. මොකද මම ගැන කතා කරන්න ඒ කාලේ ඕන තරම් අවස්ථා තිබ්බත් මං ගැන කවුරුත් කතා කරේ නෑ. ඔයාලා වගේ පත්තර වලින් කතා කරේ නෑ. මම සහාය නිළිය සම්මාන ගත්ත වෙලාවෙවත් මට පුවත්පත් ලිපියකට ආරාධනා ලැබුණේ නැහැ. ඒ නිසා බොහොම ස්තූතියි.

 

[email protected]

බ්.ඒ සුනෙත් සංදීප

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT