නිවස සංවාද මම පියවරෙන් පියවර රංගනය දියුණු කරගන්න කෙනෙක්

මම පියවරෙන් පියවර රංගනය දියුණු කරගන්න කෙනෙක්

රංගන ශිල්පී අමිල කරුණානායක

by Thanushika
September 5, 2024 12:30 am 0 comment

රූපය සිත්ගන්නා අයුරින් තිබූ පමණින් රංගනයට සුදුසු චරිතයක් විය නොහැකිය. උස් මහත් වූ පමණින් රංගන ශිල්පියෙක් විය නොහැක. රංගන ශිල්පියෙක් වීමට නම් රංගනය පිළිබඳව මනා දැනුමක්, හැකියාවක්, දක්ෂතාවයක් තිබිය යුතුමයි. මේ සියලුම දෑ එක්තැන් වූ තැන හරියාකාරව රංගන ශිල්පියෙක් බිහිවිය හැකිය .

එවන් රූපයක්, කඩවසම් බවක් හොඳ පෞරුෂයක්, රංගනය පිළිබඳ දක්ෂතාවයක් හිමි රංගන ශිල්පීන් අතර කැපී පෙනෙන චරිතයකි අමිල කරුණානායක.

පසුගිය දා සිංහල සිනමාවට අලුතින්ම එක්වු “කම්බිළි” සිනමාපටයේ භානුක ගේ චරිතයට පණ පොවන්නේ අමිලයි. එය ඔහුගේ රංගනය ඇතුළත් දසවැනි චිත්‍රපටයයි. 2021 දී “රූපාන්තරණ” චිත්‍රපටයේ කුලුඳුල් රංගනයක යෙදෙමින් අමිල, සිංහල සිනමාවේ රංගන ශිල්පියෙක් ලෙස නමක් සනිටුහන් කළේය.

මේ දිනවල අමිල කරුණානායක ගැන බොහෝ දෙනෙක් කතාබහ කරති. ඔහු ගැන තොරතුරු සොයා බැලීමට උත්සුක වෙති. එයට හේතුව “කම්බිලි” චිත්‍රපටයේ ඔහු කළ චරිතය නිසාය. ඒ පිළිබඳව කතා කිරීමට සරසවිය සමඟින් එක්වූයේ ඉමහත් ප්‍රීතිකිනි.

“කම්බිලි” මගේ දස වැනි චිත්‍රපටිය. මේ දවස්වල මම සතුටින් ඉන්නෙ ඒ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඇත්තටම “කම්බිලි” හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන් . සමාජයට පණිවිඩයක් දෙන මාතෘකාව ක් සහිත නිර්මාණයක් .භානුක ගෙ චරිතය මම ආසාවෙන් කරපු චරිතයක්. ඒ තුළ යමක් කරන්න පුළුවන් කියන හැඟීම් මට ආවේ පිටපත කියවනකොට තමයි”.

“කම්බිලි” චිත්‍රපටයේ රඟපෑම සඳහා ඔබට ආරාධනා ලැබුණේ කෙසේද ?

මට ඒ සඳහා ආරාධනා ලැබුණේ සිනමා අධ්‍යක්ෂක ප්‍රසාද් කළුපහනගෙන්. කම්බිලි” ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. මීට කලින් මම ඔහුත් එක්ක වැඩ කරල තියෙනවා මියුසික් වීඩියෝවල. මගේ හැකියාව ඔහු අඳුරගෙන තියෙන්නේ එහි කළ රඟපෑම්වලදී. ඒ වෙලාවෙ ඔහුට හිතෙන්න ඇති මගේ දක්ෂතාවයක් ඇති කියල රංගනයට. ඉස්සර මියුසික් වීඩියෝ කරන විට තමයි ඔහු තීරණය කරල තියෙන්නේ කවදා හරි ඔහුගේ චිත්‍රපටයකට මාව සම්බන්ධ කරගන්නව කියල. කම්බිලි” චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විදිහට වැඩ කළේ නිශාන්ත ගල්හේන මහතා. ඔහුගේ සහායත් විශාල ප්‍රයෝජනයක් වුණා මට මගේ භානුක ගේ චරිතය හොඳීන් කරන්න.

“කම්බිලි” සිනමා නිර්මාණය සමාජයට වැදගත් පණිවිඩයක් ගෙනයන චිත්‍රපටයකි.රටම වෙලාගත් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගම්බද ජීවත්වන අහිංසක තරුණියන්ගේ ජීවිතය අකාලයේ විනාශය වීම පිළිබඳ කතා කරන චිත්‍රපටයක් ලෙස “කම්බිලි” හැඳීන්විය හැකිය.

මේ පිටපත කියවද්දි මට දැනුණා මේකෙන් සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් නේද කියල. විශේෂම කාරණාව තමයි භානුකගේ චරිතයට මම ආස කළා. ප්‍රේමවන්තයාගේම චරිතයට කොටු වූවක් නොවෙයි ඒ චරිතය. ඒ නිසා රංගනය පැත්තෙන් මට වැඩක් කරන්න පුළුවන් කියල දැනුණා. සෑම පැත්තක්ම ස්පර්ශ කරන්න පුළුවන් චරිතයක්. ඒ නිසා හරි කැමැත්තකින් කරපු චරිතයක් තමයි භානුකගේ චරිතය.

නීටා ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස් වැනි ජේ්‍යෂ්ඨ ශිල්පීන් සමඟ රඟපාන්න ලැබීම වාසනාවක් බවයි ඔහු පැවසුවේ.

නීටා ප්‍රනාන්දු කියන්නෙ අපේ රටේ ඉන්න ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිනියක්. “කම්බිලි” චිත්‍රපටයේ වැඩ කරද්දී අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා එතුමියගෙන්. චරිතයකට ප්‍රවිෂ්ට වීමේදී එතුමිය චරිතය වෙනුවෙන් ම කැප වෙලා ඉන්නෙ. එනිසා තමයි අතීත සිනමා නිර්මාණ සාර්ථක වෙලා තියෙන්නේ.

ඒ වගේම තමයි බිමල් ජයකොඩි අයියා මේ චිත්‍රපටයේ රූපගත කිරීම් පටන් ගන්න පෙරම, බිමල් අයියගේ ගෙදරට ම මාව ගෙන්න ගෙන මට අවශ්‍ය උපදෙස් දුන්නා. මම හරි අගය කරනව ඒක. මගේ කොටස මම හරියට කළේ නැත්නම් අපහසුතාවයට පත්වෙන්නේ ඒ ශිල්පීන්. ඉතින් එහෙම උපදෙස් අපිට ලොකු රුකුලක්.

“කම්බිලි” චිත්‍රපටයේ භානුක සමඟින් රංගනයේ යෙදෙන්නේ යොවුන් රංගන ශිල්පීනී නෙත්මී රොෂෙල්. ඇය අද වනවිට බොහෝ ජනප්‍රිය නිළියක්. මට නිතර බයික් එකේ යන දර්ශන කරන්න තිබුණා. ඈත ගමක. ඉතින් සමාධිට (නෙත්මිට) තියෙන්නේ මගේ බයික් එකට නැගල යන්න. ගම්බද ගැහැනු ළමයි පුරුදු වෙලා ඉන්නෙ බයික් එකේ පැත්තට වාඩිවෙලා යන්න. චිත්‍රපටයේ කතාවට අනුව සමාධි මුල්ම වරට බයික් එකට නගින දර්ශනයක් තිබුණා. ගමේ ගැහැනු ළමයි ලැජ්ජාව, බයට හැදුන අය නිසා, සමාධිට යන්න තියෙන්නේ භානුක ව අල්ලන්නෙ නැතුව. භානුකත් මුල් වරට ගැහැනු ළමයෙක් බයික් එකේ නග්ගගෙන යන සතුට නිසා රේස් කරල යනව. ඉතින් මම හයියෙන් ගියා. ටික දුරක් ගිහින් බලන කොට සමාධි නැහැ බයික් එකේ. මටත් පුදුම හිතුණා. බලන කොට සමාධි බයික් එකෙන් වැටිලා. ඒකෙන් ලොකු අනතුරක් නම් වුණේ නැහැ නෙත්මිට. හැබැයි එයා වැටුණු නිසා අමාරු ගතියක් තිබුණා ඇඟට. එයා දින කීපයකින් විදේශ ගත වෙන්නත් තිබුණා. මම නිතරම කතා කරල එයාගෙන් අසනීප ගතිය ගැන ඇහුව. ඊට පස්සේ දර්ශන වලදී නම් නෙත්මී හරි පරිස්සමෙන් තමයි බයික් එකේ ගියේ. ඒ සිද්ධිය අමතක නොවන සිදුවීමක් වුණා අපි දෙන්නටම.

“කම්බිලි” මංගල දර්ශනය දවසේ සංවිධායකවරු තීරණය කරල තිබුණා ඒ උත්සවයේ විශේෂයක් කරන්න. මංගල දර්ශනය වෙලාවට නෙත්මිවත් දාගෙන බයික් එකේ එතෙනට එන්න. ඒත් නෙත්මි බය නිසා ඒක කළේ නැහැ.

අමතක නොවන තවත් දෙයක් තියෙනවා. එක දර්ශනයක් තිබුණා සමාධි (නෙත්මි) මට කම්මුලට ගහන. ඒ දර්ශනය කීපවතාවක්ම ගන්න වුණා. ඒ නිසා කීපසැරයක්ම නෙත්මී මට කම්මුලට ගැහුව. ඒත් ඒව හරි සුන්දර මතකයන් වේවි මගේ සිනමා ජීවිතයේ.

සමාධිගේ චරිතය කළ නෙත්මිගෙනුත් මට හොඳ සහයක් ලැබුණ. භානුක ගේ චරිතය හොඳීන් කරන්න. අපිත් එක්ක වැඩ කරන අනෙකුත් ශිල්පීන් සුහදව තේරුම් අරගෙන ඇතුව වැඩ කළොත් තමයි අපේ දක්ෂතාවය හොඳීන් එළි දක්වන්න පුළුවන් වෙන්නෙ. අපි දෙන්න නිතරම කතා කලා අපේ චරිත විහිදීයන්න ඕන විදිහ. අපේ රඟපෑම් ගැන, දර්ශන රූගත කරන්න කලින් අපි දෙන්න ඒ ගැන නිතර සාකච්ඡා කරල තමයි රඟපෑවේ. ඒනිසා අපි දෙන්නම සාර්ථකයි කියල මට දැනුණා.

අමිල තමාගේ රංගනය පියවරෙන් පියවර දියුණු කරගත්ත කෙනෙක්. රඟපෑමෙන් ලද අත්දැකීම් නිසා ඔහු ඔහුගේ රංගන හැකියාව වැඩි දියුණු කරගත් බවයි සරසවිය සමඟ පැවසුවේ.

මම වෙනම රංගනය පිළිබඳ පුහුණු වීම් කරපු, ආයතනයකට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නෙ මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට. මගේ උපාධිය තියෙන්නේ මෝස්තර නිර්මාණය සම්බන්ධව. ඒ පැත්තෙන් මම ඉදිරියට ඇවිත් තියෙනවා.

මම මුලින්ම මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වුණා. එමඟින් මම මගේ රංගන හැකියාව වර්ධනය කර ගත්ත. විශේෂයෙන් කියන්න ඕන මට රූගත කිරීම් නැති වෙලාවටත් දර්ශන තලයට ගිය අවස්ථා තියෙනවා. අපේ රංගන ශිල්පීන් රඟපාන කොට ඒ දිහා බලාගෙන ඉදල දෙයක් ඉගෙන ගන්න පුළුවන් නිසා. ඒ අය සතු දක්ෂතාවය දිහා බලල මම මගේ අඩුපාඩු හදාගන්න උත්සාහ ගන්නව. මුලින්ම කිව්වා වගේ පියවරෙන් පියවර මගේ රඟපෑම්වල අඩුපාඩු තියෙනවා නම් ඒවත් නිවැරැදි කරගෙන ඉදිරියට ආපු නළුවෙක්.

අමිල ගේ කඩවසම් පෙනුම නිසාම 2007 වසරේ ර්චද ධට ඉපඪ ඹ්චදඬච ලෙස ජයග්‍රහණය අත් කරගැනීමට අමිලට හැකියාව ලැබුණි. එසේම ර්ප. ධ්දබඥපදචබඪධදචත සඳහා වූ ර්ප. ඉපඪ ඹ්චදඬච, 2011 ර්චද ඩ්භදබ ධ්දබඥපදචබඪධදචත තරඟ වලින් අමිල ජයග්‍රහණය ලබා ඇත.

මම ර්ප. ඉපඪ ඹ්චදඬච විදිහට ජයග්‍රහණය කළාට පසුව මට සිනමා ක්ෂේත්‍රයට එන්න මඟ එළිපෙහෙළි වුණා. ඒ ගෞරවය, ස්තුතිය මගේ අයියට හිමි වෙන්න ඕන. එයා තමයි මාව මෝස්තර නිරූපණ ශිල්පියෙක් වෙන්න කියල උනන්දු කළේ. මගේ අයියා දැනට පදිංචි වෙලා ඉන්නෙ පිටරටක. එයා තාරක කරුණානායක. අයියා දක්ෂ ගායකයෙක්. එයාට අවබෝධයක් තියෙන්න ඇති මට යන්න පුළුවන් මාවත මොකක් ද කියල. මම හිතුවෙත් නැහැ නළුවෙක් වෙන්න පුළුවන් වෙයි කියල .

ඉස්කෝලෙ යන කාලේ චිත්‍රපටි බලන්න යන්න පිස්සුවක් තිබුණා. නළු නිළියන්ගේ පින්තූර එකතු කළා.

මම පාසැල් යන කාලේ වැඩිපුරම කළේ ක්‍රීඩා. මම මුලින්ම ඉගෙන ගත්තෙ කළුතර මහා විද්‍යාලයේ. මම දක්ෂ කී‍්‍රඩකයෙක් ඒ කාලේ.දුර පැනීමේ ඉසව්වෙන් මම සමස්ථ ලංකා ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉන්පසුව තමයි මම කොළඹ නාලන්ද විද්‍යාලයට එන්නෙ.

මම ක්‍රීඩකයෙක් නිසා එයත් ඉවහල් වුණා සිනමා රංගනයේදී.

මම රඟපාපු “කබඩි” චිත්‍රපටය සඳහා මගේ ඒ කී‍්‍රඩාශීලීතවයත් බලපෑව කියන්න පුළුවන්. ආදරය වගේම සටන්, ක්‍රියාදාම වලින් පිරුණු නිර්මාණයක් කබඩි. ඉතින් අපි පොඩි කාලේ ඉදන් ම කරන දේ ප්‍රයෝජනයක් වෙනව සිනමාවේදී.

අමිලගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන “රූපාන්තරණ” චිත්‍රපටයෙන් පසු පෝරිසාදයා, සිකුරු යෝගය, ජ්චජඥ බධ ජ්චජඥ, මොනාලිසා, ගුත්තිල, කබඩි, අමිල රගපෑ අනෙක් සිනමා නිර්මාණයි.

ඇත්තටම කියන්න සතුටුයි මට එකම රාමුවකට කොටු වුණ චරිත ලැබුණේ නැහැ. ප්‍රේ‍මවන්තයාගේ චරිතය වගේම දුෂ්ටයෙක් විදිහටත් සිකුරු යෝගයේ හාස්‍යජනක චරිතයක් විදිහටත් විවිධ චරිත කරන්න ලැබුණා. ඒ විවිධත්වයට මම කැමැතියි. ඒක තමයි අපි ට අවශ්‍ය වන දේ ඉදිරි ගමනක් යන්න.

වත්මන් සිංහල සිනමාව ගැනද කතා කිරීමට අමිල අමතක කළේ නැත. චිත්‍රපටි කීපයක් අලුතින් තිරගත වුණා පහුගිය සති කිහිපයේ. ඒවට හොඳ ප්‍රතිචාර තිබුණා. ඒත් හොඳ ප්‍රචාරයක් අවශ්‍යයි අපේ නිර්මාණ ඉදිරියට ගෙනියන්න චිත්‍රපටියක් කරල ඒක තිරගත වෙන්න වසර කිහිපයක් යනව.ඒකත් ලොකු ප්‍රශ්නයක් ශිල්පීන්ට. ඒක අපිට ලොකු පාඩුවක්. එහෙම කියන්න හේතුව තමයි ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන් ට ඉක්මනින් දැකගැනීමට පුළුවන් වුණොත් අපේ රංගනය ගැන ඔවුන්ට තීරණයකට එන්න පුළුවන්. ඔවුන්ගේ ප්‍රතිචාර තමයි අපිට වැදගත්. එතකොට අපිට ඒ අනුව අපේ රංගන වැඩිදියුණු කරගන්න.

අමිල කරුණානායක සිනමාව ගැන, තම රංගනය පිළිබඳ හොඳීන් අධ්‍යනය කරන ශිල්පියෙක් බව ඔහුගේ කතා බහේදී වැටහුණි.

ඔහු තමාට ලැබෙන චරිතය ගැන හොඳ අවබෝධයක් ඇතිව කල් තියා ඒ පිළිබඳව සූදානම් වන ශිල්පියෙකි.

“සිනමාවේ දියුණුවට මෙන්න මේ දේත් අනිවාර්යයෙන් තියෙන්න ඕන. නිර්මාණකරුවා යහපත් පුද්ගලයෙක් වෙන්න ඕන එසේ වුණොත් තමයි නිර්මාණය සාර්ථක වෙන්නෙ. කුහකකම, ඉරිසියාව, ක්‍රෝධය හිතේ තියාගෙන වැඩ කලොත් නිර්මාණය අසාර්ථකයි. ඒ නිසා ඒ අයහපත් ගතිගුණ බැහැර කරල නිර්මාණ කටයුතු කරනවා නම් කලාව මීට වඩා දියුණුයි.

එතකොට අපිටත් පුළුවන් අපේ හැකියාව උපරිමයෙන් දෙන්න.

අමිල තමන්ගේ සීමාවේ ශිල්පීන් මෙන්ම ජේ්‍යෂ්ඨ පරපුරට ද ගරු කරන රංගන ශිල්පියෙක්. ඔවුන්ගේ ගුරුහරුකම් ලැබීමට ඉතාමත් කැමැත්තක් දක්වන කෙනෙක්.

ඒ බව අපට හොදින් ම පෙනී ගියේ මීට වසර දෙකකට පමණ පෙර අපේ රටේ සිටි ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂවරයෙක් වූ ඩොනල්ඩ් කරුනාරත්න මහතා ගේ ගුණ සැමරුමකදී. සුදු මල් පොකුරක් අතින් දරාගෙන ඩොනල්ඩ් කරුණාරත්න මහතා ට ගෞරවය දැක්වීමට මේ තරුණයා පැමිණ සිටීම එතැන සිටි කාගෙත් ඇසට හසුවුණා.

“මම ගොඩාක් ප්‍රිය කරපු කෙනෙක් තමයි ඩොනල්ඩ් කරුණාරත්න මහතා. අතීතයේ අඩුපහසුකම් මැද එතුමන්ලා කරපු නිර්මාණ කොතරම් නම් සාර්ථක ද?”

එදා එතුමා වෙනුවෙන් නිදහස් චතුරශ්‍රයේ පැවති ගුණසැමරුමට මම ගියේ එතුමාට කරන ගෞරවය ක් විදිහට. මම දන්න විදිහට එතුමා තම කැමරාවෙන් රංගන ශිල්පීන් ට උපරිම සාධාරණයක් ඉෂ්ට කරපු කෙනෙක්. එතුමා ගේ හැකියාව, කාලය, ශ්‍රමය සිංහල සිනමාවට උපරිමයෙන් ලබා දුන් විශිෂ්ට පුද්ගලයෙක්.

අමිල යොවුන් රංගන ශිල්පියෙක් වගේම ආදරණිය සැමියෙක්. සුරතල් පුතෙකුට සහ සුරතල් දියණියකට ආදරණිය පියෙක්. රඟපෑමත්, මෝස්තර නිරූපණ කටයුතුත් තම පවුල් ජීවිතයත් ඉතා සාර්ථකව පවත්වා ගෙන යන යහපත් පුද්ගලයෙක්.

” මම සෑම දේම සමබරව කරගෙන යන කෙනෙක්. රඟපෑම් වෙනුවෙන් කාලය කැප කරන්න වුණත් පවුලේ කටයුතු පැහැර හරින්නේ නැහැ.

පවුලේ අයගෙන් මට ලැබෙන්නෙ ලොකු සහයක්. මගේ බිරිඳ මිහිරුනී ජයවර්ධන. ඇය මට විශාල ශක්තියක්. මම නැති වෙලාවට දරුවන්ගේ, නිවසේ වැඩ ඉටුකරන්නේ ඇය අතින්. මගේ පුතා ආයුක කරුණානායක. දුව ආයුකී කරුණානායක. ඒ දෙන්නට හොඳීන් උගන්වන්න, යහපත් පුද්ගලයන් කරන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.

ඔහුට පවුලේ අයගෙන් හොඳ සහයෝගයක් වගේම රංගනය ඔහුගේ පිළිබඳ ද ප්‍රතිචාර ලැබෙන බවයි අමිල පැවසුවේ.

එයාල තමයි මගේ විචාරකයින්. මගේ රඟපෑම් අගය කරන්නෙ ත්, ඒ පිළිබඳව අදහස් දක්වන්නේ ත් ඔවුන්. මගේ අම්මා චිත්‍රපටි බලන්න ගියා. මගෙ රඟපෑම්වල වෙනදාට වඩා දියුණුවක් තිබුණා කියල අම්මා කිව්වා. ඇත්තටම මට ගොඩාක් වටිනව අම්මගේ වචන ටික.

අමිල කරුණානායක ගැන ලියන්නට ඇති තොරතුරු බොහෝමයි. ඔහුගේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ ද ඔහු සරසවිය හමුවේ හෙළිදරව් කිරීමට අමතක නොකළේය.

මම කරල තියෙන චිත්‍රපටි ගණන දැනට දහයක් පමණ වෙනව. එයින් හතක් තිරගත වෙලා තියෙන්නේ. කෞෂි සහ රජ දහන චිත්‍රපට දෙක තිරගත වෙන්න තියෙනවා. අලුතින් නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ අවස්ථාවේ සරසවිය අපිට දෙන සහයෝගය විශෙෂයක් අගයන්න ඕන. අපේ නිර්මාණ, දස්කම් ගැන කරන්න ඉඩක් දෙන්නෙ සරසවිය පුවත්පත. අපිට කලාව ගැන කියවන්න, දැනගන්න තියෙන වටිනා පුවත්පත සරසවිය.

මම ස්තුතිවන්ත වෙනව කම්බිලි තිරගත වන මේ මොහොතේ මට කතා කරල මේ වගේ කතාබහක යෙදුණු එකට. ඒක මගේ භාග්‍යයක්. අපි කරන කලා කටයුතු ඉදිරියට ගෙනියන්න උත්තේජනයක් දෙන්නෙ සරසවිය.

සරසවිය සමඟ කතාබහේදී ඔහු මෙසේ පැවසුවේ ය.

මට අවශ්‍ය ක්ෂේත්‍රයේ යහපත් ගමනක් යන්න. හොඳ නිර්මාණ වලට දායක වෙන්න. ඒ නිසා ලැබෙන පිටපත් තෝරාබේරා ගෙන මගේ රංගනය සාර්ථක කරගන්න මම බලාපොරොත්තු වෙනව.

ඒ වගේම මගේ ඉලක්කයක් තියෙනවා මෙන්න මේව් තැනට මා යායුතුයි කියල. මගේ රංගන ජීවිතයේ ඒ ඉලක්කය ජය ගන්න මම මගේ උපරිම දක්ෂතාවය නිර්මාණ වෙනුවෙන් ලබා දෙනව.

අමිල කරුණානායක දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියා සමඟ කළ කතා බහ ඉතා රසවත්ය.සාර්ථකය. අත්දැකීම් සමඟින්, තමා සතු දස්කම් රැගෙන සිංහල සිනමාව ජය ගන්නට අතිසාර්ථක ගමනක් යන මේ කඩවසම් රංගන ශිල්පියාගේ සියලු ඉලක්කයන් ජය ගන්නට හැකියාව ලැබේවා කියා සරසවිය සමඟින් එක්ව ප්‍රාර්ථනා කරමු.

 

[email protected]

සේයාරූ – තිලක් පෙරේරා

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT