රූපවාහිනී හා සිනමා ක්ෂේත්‍රයේ වැඩි අත්දැකීම් සහිත මාධ්‍යවේදියකු වන නිහාල් බණ්ඩාර සිය ප්‍රථම මුද්‍රිත නිර්මාණය, ‘ජීවිතයම කවියක් ‘ ලෙස එළිදක්වා තිබේ.
ඔහුගේ ප්‍රථම නවකතා ව වන මෙය ප්‍රකට පර්සියානු කවියකු වූ ඕමාර් ඛයියාම් ගේ රුබයියාට් කාව්‍ය ඇසුරෙන් ගොඩ නඟන ලද්දකි. මේ ඒ පිළිබඳ ඔහු පළ කළ අදහස් ය.
ඔබේ පළමුවැනි කෘතිය ‘ජීවිතයම කවියක්’ මෙපමණ කලක් ඒ සඳහා ගත වුණේ ඇයි ?
මුල් අවධියේ සිට ම මට ඒ සඳහා අවශ්‍යතාවක් තිබුණා. නමුත් මුල් අවධියේ මම යම් ප්‍රවේශයන් ගත්තත් මගෙ නිර්මාණ ප්‍රවේශය සිදුවුණේ වෙනම විදියකට. සිනමාවේදි වසන්ත ඔබේසේකර මහත්මයා ගෙ මුණගැසීම හා ඔහුගේ ශිෂ්‍යයකු වීමේ අවස්ථාව ලැබීම ඔස්සේ මම ඒ යුගයේ සාහිත්‍යකරුවකු වීමේ ප්‍රවේශය වෙනුවට තිර රචකයකු වීමේ ප්‍රවේශය ලබා ගන්නවා. ඒ ඔස්සේ සිනමා හා ටෙලිවිෂන් තාක්ෂණය ට වූ උනන්දුවත් සමඟ මම රූපවාහිනී මාධ්‍යයට පිවිසෙනවා. ඒ අත්දැකීම් සමඟ කාලයක් ගත කරන මම තිර රචකයකු විදියටත්, ටෙලිවිෂනයට, සිනමාවට සම්බන්ධ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. ඔය අතරතුර මම නැවතත් ලිවීම ගැන කල්පනා කරනවා. කොවිඩ් සමයේ තමයි ඊට යළිත් මම ප්‍රවේශයක් ගන්නේ. විශාල වශයෙන් ඒ යුගයේ කියවන්න නැඹුරු වීම එහි මුල් පියවර බවට පත් වෙනවා. ඒ වෙලාවෙ තමයි මම ගොඩක් ඇලුම් කරන රුබය්යාට් කාව්‍ය (පර්සියානු කවි ඔමාර් ඛයියාම්) මම නැවතත් උනන්දුවෙන් කියවන්න පටන් ගන්නේ. අන්තිමේදී මට දැනෙනවා මම මේක තවත් විදියකට කිව්වොත් ඒක අලුත් අත්දැකීමක් වේවි කියන අදහස. ඒ අදහස තමයි මම ජීවිතය ම කවියක් කියන නවකතාව බවට පත් කළේ.
ඛයියාම් එදා බෙදාගන්න උත්සාහ කළ දේවල් අදට කොහොමද ඔබ ගළපාගත්තේ ?
මොකද මේ අදහස් අකාලිකයි. ජීවිතය ම කවියක් කියන නවකතා ව ඔස්සේ කතා කරන දේවල්වලට නිශ්චිත කාල රාමුවක් දීල නැහැ. ඒ වගේම මෙන්න මේ දේශය කියලවත් නිශ්චිත පරිසරයක් මම යොදා ගෙන නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. එදා මේ ඔස්සේ ඛයියාම් කතා කළ දේවල් සමහර විට මතභේදාත්මක වුණා. උදාහරණයකට ඔහු ආගම ගැන දැරූ අදහස්. ඉතින් මම ටිකක් සමහර අවස්ථාවාලදී මේ ගැන හිතන්න නැවතුණා.
මේකෙ චරිත නගර අපි ට ලෝකයේ කොහේද තියෙන්නේ කියල හොයාගන්න බැහැ. එතකොට ඒ සමාජය ඇතුළෙ සිදුවන සිද්ධි දාමයක් විදියට මට මේ කතාව කියන්න ලේසි යි. ඛයියාම් කතා කරපු දේවල් මම මෙහි ස්මරණය කරනවා. කාලයක්, දේශයක් නැති මගෙ කතාව ඇතුළෙ. ‘රුබය්යාට්’ වැනි නිර්මාණයක් සදාකාලික යි කියලයි මම විශ්වාස කරන්නෙ. ඔහු හරිම යථාර්ථවාදි ලක්ෂණ පෙන්නුම් කරන බව ඔහුගේ නිර්මාණ හා අදහස් පුරා ම අපට හඳුනා ගන්න අවස්ථාව තිබෙනවා.
ඔහුට ආගමක් තිබුණත් විටෙක ඔහු නිරාගමික ලක්ෂණවලින් යුක්ත වෙනවා. ඈත ඉන්දියානු යථාර්ථවාදීනුත් මේ ලක්ෂණ ප්‍රකට කළා. ඔවුන් ආගමික වෙන ගමන් මත්බවින් සන්තර්පනය වුණු, මස්මාංස ආහාරයට ගත් කාන්තාවන් සේවනයේ යෙදුණු බව අපි ට හඳුනා ගන්න පුළුවන් වෙනවා. නමුත් ඔවුන් වෙනස් ම විදියකටයි මේ සියල්ල සේවනය කරනු ලබන්නේ.මොකද ඒ සියල්ලම යම් පූජනීය බවකට ආරෝපණය කරමිනුයි ඔවුන් එවා සේවනය කළ බව අපි ට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ චර්‍යාවන් පර්සියානු කලාපයට බලපෑම ඔස්සේ එහිත් මේ පිළිවෙත් හඳුනා ගන්න ලැබුණා. උදාහරණයකට එහි විසූ සූපිවරු. ඔවුනුත් මේ ක්‍රමය අනුගමනය කළ නමුත් ආගමික පිළිවෙතට වැඩි නැඹුරුවක් තිබූ පිරිසක්. විටෙක ඛයියාම් ඔවුන්වත් දැඩි ලෙස විවේචනය කරනවා. නමුත් මම මගේ කතා ව තුළ එවැන්නක් කරන්නෙ නැහැ. මම එය ගොඩ නගන්නේ වෙනස් විදියකට.
කවියා යනු සෞන්දර්යවාදියෙක්. ඛයියාම්ගේ කවිවල ප්‍රකාශනය තුළ ඔබ එය උකහා ගන්නේ කොහොමද ?
කවියා සෞන්දර්යවාදියෙක් තමයි. ඔහු හැමවිටම මලකට ගඟකට සුළඟ ට පවා ප්‍රිය කරන කෙනෙක්.
ඛයියාම් ගෙ කවිවලත් මේ සුවඳම තමයි විඳීන්න පුළුවන්. ඔහු ඒ සියල්ලටම ආදරය කරන කෙනෙක්. හැබැයි ඒ දේවල් ඇතුළෙ තිබෙන ගැඹුර තමයි ඔහු ආධ්‍යාත්මික ව විනිවිද දකින්නේ. ඒ නිසා කෙදිනකවත් ඔහු මේ විඳීම ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. නමුත් මිනිස්සු මේ ඔස්සේ ම ‘දුක’ නිර්මාණය කර ගැනීම හෝ තමන් විසින් ම ‘දුක’ සොයා යෑම පිළිබඳ තර්ක කරනවා. මම ඛයියාම් ට සමීප වෙන්නෙ මේ පසුබිම නිසා.
ඔබේ කතාව තුළ කොහොමද මෙය ප්‍රතිනිර්මාණය වෙන්නෙ ?
මගේ කතාවෙ ඉන්නේ තරුණ ගැහැනු ළමයෙක්. ‘මුද්‍රිකා’ කියන. පසුකාලිනව ඇගේ ජීවිතයේ සිදුවන පෙරළීන් හා වෙනස්කම් මෙහි නිරූපිත යි. ඒ සිද්ධි දාමය ඇතුළෙ ඈට ‘ඛයියාම්’ කෙනෙකුත් මුණ ගැසෙනවා
අපේ සංස්කෘතික වටපිටාවේ ඛයියාම් හඳුනාගෙන තියෙන්නේ කොහොමද ?
අපේ සමාජයේ ඛයියාම් හඳුනාගන්නෙ ඛයියාම් පිළිබඳ මුල්වරට ලෝකයට කියන බ්‍රිතාන්‍ය ජාතික ෆිට්ස්ජෙරල්ඩ් විදියට හෝ ඊට පසුව ඔහු ගැන බටහිර හඳුනා ගත් විදියට ම නෙවෙයි .ඊට වෙනස් විදියට. අපේ මහගම සේකරයන් ඛයියාම් දකින්නේ හුදෙක් සුරා ධූර්තයකු ඉක්මවා ගිය දාර්ශනිකයකු ලෙසයි. මම ත් ඛයියාම් ට සමීප වෙන්නෙ සේකරයන් ඔස්සේ යි. ගී පොත යි මී විතයි ලෙස ඔහු ඊට එක්කරන්නෙ වෙනමම හැඩයක් නැතිනම් අදහසක්. සේකරයන් රුබය්යාට් කවි කියවාගන්නෙ වෙනම කෝණයකින්. ඔහු කියන්නෙ තිගෙ රත්වන් ලවන මා පතන මී විතයි …තිගෙ නිල්වන් නුවන මා පතන ගී පොතයි.. කියලනෙ. එතනදි ඔහු මත් වීම දකින්නේ එහෙම. පසුකාලීනව අමරදේවයන් පවා ගයන්නෙ එහෙම යි. ඉතින් ඔය හඳුනාගැනීම් දෙකම අතරමැද මම දකිනව, මට හමුවෙනව ලස්සන තැනක්. මම ඉලක්ක කරන්නෙ එතැනයි. මොකද ඛයියාම් ගුරුවරයකු, දාර්ශනිකයකු, කවියකු විදියට මේ ප්‍රවාහය ඇතුළෙමයි හිටියේ. විටෙක ඔහු ආගමික යි වාගෙ පෙනෙනවා. විටෙක ඔහු නිරාගමිකයි වාගෙ පෙනෙනව. නමුත් ඔහු ඒ සියල්ල ඇතුළෙ ම තමයි ගමන් කරමින් හිටියේ. ඒ පසුබිමේ සිට ඔහු වෙනමම විදියකට ඔහුගේ නිර්මාණවලට සමවැදී සිටියේ. ඔහු ඔහුගෙ කවිවලින් පැහැදිලි කළෙත් ඒක.
මොකද හැමෝගෙම ජීවිත කවියක් තමයි. ඒක සෙත් කවියක් හෝ වස් කවියක් ලෙසිනුත් සමහර විට. දුක හෝ සතුට හිමි.
හැබැයි ජීවිතයම කවියක් වුණොත් ඒක සුන්දර ප්‍රවාහයක් ම විය යුතුයි. ඛයියාම් ගෙ දර්ශනය ගොනු වෙන්නෙ එහෙම දිශාවකට. මම මගෙ කතා ව ඇතුළෙ මතු කරන්න හදන්නෙත් නැතිනම් පිළිඹිබු වෙන්නෙත් ඒකයි.
සමුද්‍රිකා වර්ණකුල