Home » මම කවදහරි හොඳ නළුවෙක් වේවි කියලා රවීන්ද්‍ර මාමා කිව්වා

මම කවදහරි හොඳ නළුවෙක් වේවි කියලා රවීන්ද්‍ර මාමා කිව්වා

ළමා නළු පසිඳු හාල්පන්දෙණිය

by Thanushika
July 17, 2025 12:03 pm 0 comment

මේ පුංචි රංගන ශිල්පියාව සරසවියට මුණ ගැසුණේ පසුගියදා තිරගත වූ සෝණා චිත්‍රපටය නිසාය. එහි සෝණා ගේ චරිතයට පණ පොවන්නේ සිනමාවේ සිටින දක්ෂ සටන් අධ්‍යක්ෂකවරයකු සහ රංගන ශිල්පියකු වන වසන්ත කුමාරවිල. ඔහුගේ ළමා කාලයට පණ දෙන්නේ හුරුබුහුටි පුංචි පුතෙක්. ඔහු පසිඳු හාල්පන්දෙණිය. හරි අපූරුවට රංගනයේ යෙදෙන පසිඳු තම පියා සමඟ පසුගියදා සරසවිය වෙත පැමිණියහ. ඔහුගේ පියා රංගන ශිල්පී ජානක හාල්පන්දෙණියයි. පියාගේ අඩිපාරේ යමින් රංගනයට පිවිසි පසිඳු දඟකාර කමින් තම කලා දිවිය ගැන තොරතුරු සරසවියට පැවසූවේ මෙසේය.

ඔබ ඉගෙන ගත් පාසැල?

මම ඉගෙන ගන්නේ කළුතර මහා විද්‍යාලයේය. 7 වසරේ.

පාසලේ කලා කටයුතු වලට සම්බන්ධ වෙනවාද?

ඔව්. මම පාසැලේදී උඩරට පහතරට නැටුම් ඉගෙන ගන්නවා. ධම්මිකා ගුරුතුමියගෙන්. ඊට අමතරව හිපොප් නර්තන කලාව හදාරනවා. නදීෂ් සර් යටතේ.

ඔබ ක්‍රීඩාවටත් දක්ෂයෙක් නේද?

ඔව්. මම පිහිනුම් ක්‍රීඩාව සහ වුෂූ ක්‍රීඩාවේ නිරත වී සිටිනවා.

ඔබේ කලා කටයුතු වලට පාසලෙන් ලැබෙන සහය කෙසේද?

ලොකු සහයක් ලැබෙනවා. මගේ පන්තිභාරව ඉන්නේ හිමාලි ගුරුතුමිය. ඇයගෙන් මගේ කලා කටයුතු විශාල සහයක් ලැබෙනවා.

රඟපාන්න ආස හිතුණේ ඇයි?

මගේ තාත්තාත් නළුවෙක් . ජනක හාල්පන්දෙණිය. මම පුංචි කාලේ ඉදන්ම දැක්කා තාත්තා රඟපාන විදිහ. එහෙම දැක්ක නිසා මටත් රඟපාන්න ආස හිතුණා.

ඔබ රඟපෑ ටෙලිනාට්‍ය ගැන විස්තර මොනවාද?

මම මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකම රඟපාල තියෙනවා. මම මුලින්ම රඟපෑවේ චාමර පෙරේරා මාමාගේ ‘ ගමේ විහාරය’ කියන විෂුවල් එකේ. චන්දන හේවාපතිරණ මාමාගේ ‘ සැප්තැම්බර්ය දිගු දවසක්’ නවාතැන් පහසුකම් ඇත. නැවත දොර අරින්න ටෙලි නාට්‍යවල රඟපෑවා. ඒ වගේම මීනු, අකුරට යන වෙලාවේ යන ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. මෙයින් කිහිපයකම පාසැල් යන සිසුවෙක්ගේ චරිතයක් තමයි මම රඟපෑවේ. ඉදිරියේදී චන්දන හේවාපතිරණ මාමාගේ ‘ දූවිලි මල්’ විකාශය වෙන්න තියෙනවා.

ඔබ පාසැල් යන සිසුවෙක්. කොණ්ඩය වවාගෙන ඉන්න එක ප්‍රශ්නයක් නෙවෙයිද ?

රඟපාන සමහර චරිතවලට කොණ්ඩය අවශ්‍යයි.ඒ නිසා කොණ්ඩය වවාගෙන පාසැල්යාම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ගෙන තියෙන්නේ. කොණ්ඩය නිසා පාසැලේදී යාළුවෝ විහිළු කරනවා. ‘කොණ්ඩයා’ කියල නමකුත් පට බැඳීලා තියෙන්නේ. ඒත් මම ආසයි මට එහෙම විහිළු කරනවට.

මුලින්ම රංගනයෙන් දායක වූ චිත්‍රපටය කුමක්ද?

මම මුලින්ම රඟපෑවේ කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේ. ඉන්පසුව ජගත් බෙනරගම මාමාගේ ‘ මාතු පාදං’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා.

සෝණා චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කාගෙන්ද?

සෝණා චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු ඩිලාන් රොෂාන් මාමා තමයි මට කතා කළේ රඟපාන්න. එහි අධ්‍යක්ෂකවරයා ශාන් මාමාත් , වසන්ත කුමාරවිල මාමාත් අපට එක අවස්ථාවකදී මුණ ගැසුණා. එතනදී වසන්ත මාමා මාව දැක්ක ගමන් කිව්වා මේ ඉන්නේ පුංචි සෝණා. මේ වගේ පුතෙක් තමයි අපි හෙව්වේ කියලා. එහෙම කියලා මාව තුරුල් කර ගත්තා.

ඔබට රඟපාන්න තිබුණේ මොරීන් චාරුණී මහත්මිය සමඟ. ඇයගෙන් ලැබුණ සහය කෙසේද?

හොඳයි. මට ආදරෙන් සැලකුවා. අඩුපාඩු පෙන්වලා දුන්නා. මම මොරීන් චාරුණී නැන්දා සමඟ පෝය නාට්‍යයකත් රඟපාල තියෙනවා.

සෝණා චිත්‍රපටය තිරගත වීමෙන් පසුව ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩාක් හොඳයි. එදා ආපු නැන්දලා, මාමලා කිව්වා තව තවත් රංගනය දියුණු කරගන්න කියලා. ඔවුන් සුබ පැතුවා මට. සමහරු මා දිහා බලල ‘ ඉඹඥඥබ ඕධර’ කියලා කිව්වා. විශේෂයෙන් රවීන්ද්‍ර රන්දෙණිය මාමා කිව්වා මම කවදා හරි හොඳ නළුවෙක් වෙයි කියලා.

ටෙලිනාට්‍යවල, චිත්‍රපටවල රඟපාද්දී අමතක නොවන සිදුවීම් තිබෙනවාද?

ඔව්. මම මුලින්ම රඟපෑවේ හාමුදුරුකෙනෙක්ගේ චරිතයක්. මට කරන්න තිබුනේ ඇස් දෙක පියාගෙන භාවනා කරන්න. මුලින්ම කළේ ඒ දර්ශනය. කැමරාව කොහෙද තියෙන්නේ කියලත් මට හිතා ගන්න බැරි වුණා. ඇස් වහගෙන රඟපාන්න හරි අමාරුයි කියල හිතුනා. ඒ වගේම හාමුදුරුවන්ගේ චරිතය වෙනුවෙන් කොණ්ඩය සම්පූර්ණයෙන් කපන්න වුණා.

ඔබගේ සහෝදරයන් දෙදෙනාත් කලාවට සම්බන්ධයිද?

මගේ ලොකු අයියා නිවේදනයට දක්ෂයි. දෙවැනි අයියාට හොඳට චිත්‍ර අඳීන්න පුළුවන්.

අම්මා සහ තාත්තාගෙන් ලැබෙන සහය කෙසේද?

දෙදෙනාම මට හොඳ සහයෝගයක් දෙනවා. තාත්තා රංගන ශිල්පියෙක් නිසා මාව දක්ෂ රංගන ශිල්පියෙක් කරන්න උපරිම උත්සාහ කරනවා. තාත්තා මේ දිනවල සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේ රඟපානවා.

අනාගත බලාපොරොත්තු මොනවාද?

කවදා හරි දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. තවත් ආරාධනා කිහිපයක් ලැබී තිබෙනවා. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වලට. රඟපාන ගමන් හොඳීන් ඉගෙන ගන්න එක තමයි එකම හීනය.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT