නිවස විශේෂාංග මමයි-විජයයි රවියි-ප්‍රීතියි එකම දවසේ විවාහ වෙන්නත් එදා සිතුවා

මමයි-විජයයි රවියි-ප්‍රීතියි එකම දවසේ විවාහ වෙන්නත් එදා සිතුවා

- නිළි රැජන මාලිනී ෆොන්සේකා

by Thanushika
May 30, 2024 12:10 pm 0 comment

දශක පහක් පුරාවට ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂක හදවත් තුළ සදානොමැකෙන මතක සටහන් රැසක් තබමින් විශිෂ්ට රංග පෞරුෂයකට හිමිකම් කියමින් තමාට රඟපාන්නට ලැබුණු සෑම චරිතයකටම උපරීම සාධාරණයක් ඉටු කළ විශිෂ්ට රූපණවේදියෙකි රවීන්ද්‍ර රන්දෙණිය. චිත්‍රපට සියයකට වැඩි ප්‍රමාණයකට තම රංග ප්‍රතිභාව මුසු කළ රවීන්ද්‍ර රන්දෙණිය දඩයම, සාගර ජලය මදි හැඩුවා, ඔබ සන්දා, සෙයිලම, සිරිමැදුර, අනන්ත රාත්‍රිය, මායා, ආරාධනා, ජනේලය, වීරපුරන්අප්පු, පොඩි මල්ලී, දුහුලුමලක් ආදී චිත්‍රපටවල කළ රංගනයන් ඔහුගේ රංගනයේ විශිෂ්ටත්වය කියා පෑ නිර්මාණ ගොන්නේ කදිම උදාහරණ කිහිපයකි.

1974 දී තරංගා චිත්‍රපටයේ රංගනයේ නියැළෙමින් සිනමාවට එක් වූ රවීන්ද්‍ර රන්දෙණියන් සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ, ඕ.සී.අයි.සී ආදී සම්මාන රැසකින් පිදුම් ලබමින් වසර ගණනාවක් හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර විය. ජාත්‍යන්තර සිනමාපට රැසකට ද තම ප්‍රතිභාපුර්ණ රංගන දායකත්වය එක් කළ අතර රවීන්ද්‍ර රන්දෙණිය රඟපෑ Street child, Mother theresa, Jungle heat, SandoKan, Distant Tear Drop ආදී විදෙස් චිත්‍රපට ඔහුගේ ඒ තවත් ප්‍රතිභාපුර්ණ රංගනයට කදිම නිදසුන්ය. සිනමා කර්මාන්තයේ පුණර්ජීවනයට ඉන්ද්‍රකීලයක් සේ කවදත් පෙනී සිටි මේ රූපණවේදියා දශක පහක් පුරාවට ශ්‍රී ලාංකේය සිනමාව උදෙසා කළ සේවාව ඇගැයුම වස් ජුනි 05 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ රවී සිනමා අඩසියවසක ආත්ම භාෂණය උපහාර උලෙළ පැවැත්වේ. රවීන්ද්‍ර රන්දෙණියන්ගේ සිනමා දිවියේ තිරයේ වැඩිම වාර ගණනක් පෙම්වතිය වුයේ සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළි රැජන මාලිනී ෆොන්සේකාය. අඩසිය වසක සිනමා ගමනේ ප්‍රණාම ලබන රවීන්ද්‍ර රන්දෙණිය ගැන කියන්න අඩසිය වසක් පුරා තිරයේ වැඩිම සිනමා නිර්මාණ ප්‍රමාණයක පෙම්කළ පෙම්වතා වූ රවී ගැන කියන්න මාලිනීටත් බොහෝ දේ ඇති.

රංග ශිල්පිනියක් ලෙස මට ආපසු හැරිල බලනකොට මගේ සාර්ථකත්වයේ එක තීරණාත්මක සාධකයක් තමයි මාත් සමඟ රඟ පෑ අනෙක් පුද්ගලයා ඒ රඟ පෑ කෙනා ගෙන් මගේ චරිතය ඉදිරිපත් කරන්න ලැබුණු සහාය නොවන්න මගේ රංගනයත් එතරම් සාර්ථක නොවන්න තිබුණා. මගේ සිනමාවේ මුල්ම පෙම්වතා ජෝ අබේවික්‍රම, ඊට පස්සේ ටෝනි රණසිංහ, ආනන්ද ජයරත්න ඇලෙස් සැන්ඩර් ප්‍රනාන්දු, තිත්ස විජේසුරේන්ද්‍ර, අමරසිරි කලංසුරිය, විජය කුමාරතුංග, ශෂී විජේන්ද්‍ර, වොලී නානායක්කාර, ජීවන් කුමාරතුංග, ලකී ඩයස් ඔය වගේ විශාල පිරිසක් පෙම්වතා ලෙස රඟපෑවා. ඔය අතරේදී තමයි මට රවීන්ද්‍ර රන්දෙණිය හම්බ වෙන්නේ. මගේ සිනමාවේ පෙම්වතුන්ගේ ගොඩට. මට රවී අයියාව සිනමාවේ හමුවෙනකොට ඔහු සිනමාවේ ඒ වෙනවිටත් පෙම්වතෙක් මට මතක හැටියට. රවී මට මුලින්ම හමුවන්නේ ගංගා චිත්‍රපටයේ. ඒ චිත්‍රපටයේ මට රවී පෙම් බදිනවා මම ඒ චිත්‍රපටයේම විජයට පෙම් බදිනවා. එහෙම කතාවක් තිබුණ චිත්‍රපටයක තමයි අපි දෙන්නාට මුලින්ම රඟපාන්න ලැබුණේ. මෙතනදී මම දැක්ක දෙයක් තමයි රවීගේ වගේම විජයගේත් පෞරුෂයේ තිබුණු පිරිපුන් ගතිය. දෙන්නම නියම පෙම්වතුන්. මේ දෙන්නාගේම පිරිපුන්භාවයන් නිර්මාණ තුළින් ඉදිරියට ආවා. මම දකින හොඳම පෙම්වතා ටෝනි රණසිංහ. මම තරුණම කාළේ මට තිරයේ පෙම්කළා. ගාමිණී ෆොන්සේකා තිරයේ මගේ පෙම්වතෙක් තමයි ඒත් ඔහු ගැන මට ලොකු රෙස්පෙක්ට් එකක් තිබුණා. විජය කුමාරතුංග වුණත් වයස් භේදයෙන් තොරව කා අතරත් හිත්වල රැඳිල හිටිය චරිතයක්. කොහොම හරි ඔය අතරේ මට හමුවන රවී ඔය ඔක්කොමගේ දක්ෂතා කැටි කොට ගත් පුද්ගලයෙක් ලෙස මම හඳුනාගන්නවා. විජයගේ තියන ලවලබල් ගතිය ගාමිණිගේ තියන ප්‍රතාපවත් ගතිය ටෝනි අයියාගේ භාවමය ඉරියව් මේ හැමදෙයක්ම රවී තුළ කැටිවෙලා තිබුණා. රවී රංගනයට එක්වන්නේ රංගනය ගැන හැදෑරීමක් කරල ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ පාඨමාලා හදාරමින් වේදිකා නාට්‍ය රංගනයේ නියැළෙමින් ලබපු පෙර පුහුණු අත්දැකීම් මත තමයි රවී සිනමාවට එක්වෙන්නේ. රවී හරියට කියෙව්වා පොතපත ඒ කියවීම තුළින් ඔහුට අවශ්‍ය දැනුම ලබාගත්තා. එහෙම දැනුමක් ලබාගෙන ඔහු නිරන්තරයෙන් සතන අභ්‍යාසයේ යෙදෙමින් තමයි රංගනයට එකතු වෙන්නේ. මම රවී තුළ දැක්ක දෙයක් තමයි රවි අපේ රංග ශිල්පියාගේ ගෞරවය, වැදගත්කම, රැක්ක පුද්ගලයෙක් නළුවෙක් විධියට රවී ඒ දේ ඉහළින් සලකපු කෙනෙක්.

රවී දේශපාලනයට ගියත් ඔහු ගෞරවය රැක්කා. කවදාත් නළු ප්‍රතිරූප වෙනත් නොහොබිනා දේට යෙදෙව්වේ නෑ. නළුවෙක් නිළියක් දේශපාලනයට යනකොට හොඳ දැනුම්වත්භාවයකින් යන්න පුළුවන් කවුරු මොනව කිව්වත්, රවී දේශපාලනය තුළත් ගෞරවය රැක්කා. ඕනෙම තැනක ගිහින් කතාකරන්න පුළුවන් පුද්ගලයෙක්. මම දන්නවා රවී ගාමිණී අයියා වගේ ඉන්න සැලකිලිමත් වුණා. ටෝනි අයියා වගේ හොඳට පොත පත කියෙව්වා. ඒ තුළින් ඔහු හරි පරිපුර්ණ පුද්ගලයෙක් වුණා. මට පෞද්ගලිකව හරි ලෙන්ගතු චරිතයක් රවී. මම හැමවෙලාවෙම රවීට කිව්වේ අපේ ලොකු අයියා කියලා. රවී දළුගම මම කැලණියේ අපි එකම පැත්තේ පාසල් යන කාලයේ ඉඳල මම රවී ව දැකල තිබුණා. රවී විජයගේ හොඳම යාළුවා. ඒ යාළුකම හරහා අපි රංගනයෙන් එකතු වෙන්න ඉස්සෙල්ලා පුදුමාකාර සුහදකමක් අපි අතරේ තිබුණා. ඒ සුහදකම ඇති වෙන්නේ විජය හරහා. විජය රවී ගේ යාළුකම මාත් රවී අතර මිත්‍රකමක් ඇති කරගන්න හේතු වෙනවා. විජය රවී එක ඉස්කොලේ ඒ කාලේ රවී මම විජය ඇන්ටන් අල්විස් ඇතුළු කීප දෙනෙක් අපේ කට්ටියේ හිටියා. අපි එකට තමයි කොහෙ ගියත් යන්නේ. කොටින්ම රවීට පී‍්‍රතිව හම්බ වෙලා ඒ සම්බන්ධෙ තියනකොට මමත් විජයත් කතා වෙලා හිටියා අපි දෙගොල්ලොම එකම දවසේ කසාද බදිමු කියලා එච්චරට අපි බොහොම ලෙන්ගතු වෙලා හිටියේ. ඒ ලෙන්ගතුකම කොච්චර ද කියනවා නම් අදටත් මගේ පෞද්ගලික ප්‍රශ්නයකදී වුණත් ටෙලි ෆෝනයෙන් පැයක් දෙකක් වුණත් ඒ ගැන කතා කරනවා. මමයි විජයයි අපි දෙන්නටම නෝක්කාඩු කිය කිය ඉන්නකොට “උඹලා දෙන්නා කියන දෙයක් කරන්නේ නෑ” කියලා රවීයි පී‍්‍රතියි බැන්ඳෙ නැතැයි. රවී කියන්නේ ජෙනුයින් පුද්ගලයෙක්. හරි ඕපන් වහල කතාකිරීමක් එදත් අදත් නෑ අපි අතරේ. මට රවී එක්ක විශාල චිත්‍රපට ප්‍රමාණයක රඟපාන්න ලැබෙනවා ඒ චිත්‍රපට වල තිබුණ විශේෂත්වය තමයි ජනපි‍්‍රය වගේම ඒවා උසස් ගණයේ චිත්‍රපට වීම. ඉන්දුට මල් මිටක්, සිරිපාල හා රන්මැණිකා, එක්ටැම්ගේ ඊට උදාහරණ කීපයක් රවීගේ මම දැක්ක තවත් විශේෂ දෙයක් තමයි ඔහුගේ තිබුණු ඕනෙම චරිතයකට ඔබින පෞරුෂය සමාජයේ ඉහළ පැලන්තිය නියෝජනය කරන චරිත වගේම පහළ පැලැන්තියේ නියෝජනය කරන චරිතවලදීත් රවී තුළ ඒ චරිතයට සරිලන පර්සනලිටි එක තිබුණා අඳින ඇඳුම තුළ වගේම ඔහුගේ ශරීර ඉරියව් තුළ පවා ඒ සුවිශේෂිබව කැටිවී තිබුණා. අපි දෙන්නා රඟ පෑ චිත්‍රපට ගොන්නේ ගොඩක් නිර්මාණ තියනවා මගේ මතකයෙන් ගිලිහිලානොයන. ඒ අතරින් ආරාධනා, එක් ටැම්ගේ, සිරිපාල හා රන්මැණිකා, සඳකඩ පහණ මගේ මතකයට එනවා. තව ගොඩක් තියෙනවා මේ කීපයක් විතරයි. අදටත් ආරාධනා චිත්‍රපටයේ සමහර රූපරාමු දකින කොටත් ඇත්තෙන්ම හරිම සංවේදීවන අවස්ථා තියනවා. ඒ චිත්‍රපටයේ අපි බැඳල දරුවා එක්ක ඉන්න සීන්ස් මම කාඑක්කවත් කරල තිබුණේ නෑ. මම ඒ චිත්‍රපටයේ විශේෂයෙන් දකින එක් තැනක තියනවා දරුවා අසනීප වෙලා ඉස්පිරිතාලේ ඉන්නකොට අපි දෙන්නට දෙන්නා ඇවිත් බලන් ඉන්න විධිය. ඒවා දැනටත් දකිනකොට අදටත් හරියට පපුවට වදිනවා. ඒ චිත්‍රපටයට අපි දෙන්නා මොන තරම් රංගනයෙන් බද්ධ වුණා ද කියනවා නම් ඇට් කරනකොට අපි දෙන්නට දෙන්නාට කතාකරගන්නත් බෑ. ඒ සීන්වල මූඩ් එකට ගිහිල්ලා ආරාධනා සින්දුවත් එක්ක යන දර්ශන පෙළ දකිනකොට අදත් ඒ අතීත මතක තව තවත් අලුත් කරනවා. අපි රඟපාපු දෙයක් දකිනකොට අද වුණත් සතුටුයි. ඒත් ඒ රඟපාපු දේ දැනෙනකොට එතන තවත් සුවිශේෂී බවක් තියනවා. එක්ටැම්ගේ වුණත් එහෙමයි. අම්මේ…. ඒ සීන් ගැන කියල වැඩක් නෑ. සිරිපාල සහ රන් මැණිකා චිත්‍රපටයේ මම රවී එක්ක රඟපාන එක රූපරාමුවක් තියනවා. රවී එතැනදී මෙහෙම කියනවා “කොතනද මැණිකෙගෙ තොළපොට ගෑවුණ තැන” කියල කසිප්පු ටික දෙන්න බෙදාගෙන බොන සීන් එක හරිම ස්වීට්. මම කසිප්පු පෙරල පොඩ්ඩක් බීලා ටේස්ට් එක බලන්න රවීට දෙනවා එයා ඒක අරන් අරවිදිහට කියල බොනවා මේ වගේ සීන් මතක් වෙන කොටත් ඇත්තෙන්ම හිනා යනවා.

රවීගේ තිබුණ තව දෙයක් තමයි පවුලක ජන ජීවිතය ගැන ඔහු තුළ තිබු දැනුම්වත්භාවය මොනයම් හෝ තැනක ඔහුට ජන ජීවිතය පිළිබඳ හැඟීම් දනවන දෙයක් දැනුණොත් හැඟුම්බර වන අවස්ථා රවී තුළ අදටත් තියනවා. හරිම සංවේදී පුද්ගලයෙක් රවී. ඒ වගේම තමයි කේන්ති ගිය ගමන් යම් තීරණයක් ගත්තොත් ගත්තම තමයි. ඒ වෙලාවට බොහොම චාටුවෙන් තමයි එයත් එක්ක ගනුදෙනු කරන්න ඕනෙ.

රංගනයේදී වුණත් අපි දෙන්නට ලැබෙන සීන් වලදී අපි දෙන්නා හරියට සාකච්ඡා කළා. පිටපත අරගෙන අපි රංගනයට පෙර අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරනවා. ඊළඟ සීන් එක ගැන. රවී ඒ දේට පුරුදු වෙච්ච නළුවෙක්. ඒ සම්බන්ධතාව නිසා තමයි ඒ අපි කරපු නිර්මාණ එතරම් සාර්ථක වුණේ. මගේ සිනමා ජිවිතය තුළ රවි මට ගොඩක් උදව් කළ අවස්ථා තිබුණා. නව දිල්ලි සම්මාන උලෙළේදී සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටය වෙනුවෙන් මම සම්මාන ලබද්දී ඒ රටේ පැවති උත්සව වලදී රූපවාහිනී සාකච්ඡාවලදී මට ලොකු හයියක් වුණේ රවී. රවීට හින්දි භාෂාවත් සාමාන්‍යයෙන් පුළුවන්. ඉංගී‍්‍රසි භාෂාව වතුර වගේ මාධ්‍ය සාකච්ඡාවලදී රවී තමයි මම වෙනුවෙන් උත්තර බැන්දේ කොටින්ම කිව්වොත් මම රවී පස්සෙන්මයි හිටියේ. මගෙන් අහන දේවල් වලට උත්තර දුන්නේ රවී. ධර්මසිරි ගමගේ, රවී, මම අමරනාත් ජයතිලක ඔය වගේ කට්ටියක් තමයි මේ ෆෙස්ටිවල් එකට ගියේ. එහිදී ශෂි කපුර්, අමිතාබ් බච්චන්, දිලිප් කුමාර් වගේ අය අපිට එහිදී හමුවුණා. හවස්යාමයේ අපි කවුරුත් එකට කතාබස් කළා. රවීට යම් තරමකට හින්දි පුළුවන් නිසා අපේ කතාබහ තවත් සුහදශීලී වුණා.

රවී අපේ පවුලේ සාමාජිකයෙක් තරමටම මට සමීපයි. අපේ පවුලේ ඕනෙම වැඩකටයුත්තකදී ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ රවී පි‍්‍රති යුවළ. මට මතකයි මමත් රවීත් බොහොම ආශාවෙන් රඟපෑ වසන්තේ දවසක් චිත්‍රපටය රූපගත කරන්න අපි කුරුණෑගල ගිහින් ඉන්නකොට ඒ ෂූටින් බලන්න ආව මගේ නංගි ශ්‍රීයාණි බැන්ද මහත්තයයි එයාගේ අම්මයි තාත්තයි එතනදි යාළුකමක් ඇති කරගෙන පසුව මගේ ශි‍්‍රයාණි නංගිව විවාහ කරගත්තා. ඒ උත්සවයටත් රවී ආවා. මගේ ශි‍්‍රයාණි නංගිගේ වෙඩින් ඇනිවසරි එක දවසේ තමයි එයාගෙ ලොකුදුව බැන්දේ. ඒ උත්සවයටත් රවී ආවා. එදා රවී ඉතිහාසය ගැන මතක් කරමින්ම තාත්තා අම්මා බඳින දවසෙ ඒකට රවී ආපු හැටි දුව බඳින දවසෙත් එයාල ඉදිරියේ ඉතිහාස කතාවම කියමින් අපුරු කතාවකුත් කළා.

රවී මගේ පෞද්ගලික ප්‍රශ්නවලදී මට හයියක් වෙන්න හිටිය වගේම සිනමා කර්මාන්තයේ ප්‍රශ්නකාරී ගැටලු පැන නැගි අවස්ථාවලදීත් රවී අපිත් එක්ක එකට හිටියා. මුලින්ම නළු නිළි සංගමය පටන් ගන්නකොට මාත් සමඟ රවී, සනත්, ශාන්ති ලේඛා, සුමනා, රෝයි අපි ටික එකතුවෙලා තමයි මේක මුලින්ම පටන් ගත්තේ අසුව දශකයේ. සිනමාවේ අපේ ප්‍රශ්නවලදී චිත්‍රපට බෙදාහැරීම් ගැටලුවලදී අපි සංගමයක් හැටියට පෙනී සිටියේ රවීගේ නායකත්වය තුළ එකිනෙකා අතර විවිධ මතගැටුම් තිබුණත් ඒ මතවාද තුළ ඉදිරි ගමනක් එන්න හැකිවුණා. රවීගේ විශේෂ ලක්ෂණයක් තිබුණා මොන ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වුණාත් මොන මත දැරුවත් කවුරුත් එක මතයකට ගෙනඒමේ අපුරු හැකියාවකුත්. රවී සිනමාවට එන්න කලින් මම සිනමාවට ඇවිත් මම හිතන්නේ රවීට සිනමාවේ ගැළපුණම පෙම්වතිය මම. රවී මට වඩා වයසින් වැඩියි. නමුත් සිනමාව තුළ මම රවීට වඩා වැඩිමල්. සිනමාව තුළ රවී මට බාල වුණාට සාමාන්‍ය ජීවිතයේදී මටත් සිනමාවටත් රවී ලොකු අයියා. නළුවෙක් හැටියට සාමාන්‍ය ජීවිතයේ කළමනාකරණය කියන දේ හරියට කරගත් කෙනෙක් විධියට මම රවීව දකිනවා. රවී රඟපෑ කළුදිය දහර, තරංගා, සිරිපාල හා රන් මැණිකා එක්ටැම්ගේ, පොඩි මල්ලී, දඩයම ආදී චිත්‍රපට ගණනාවක් තියනවා. රවීගේ සිනමා දිවියේ මම දකින විශේෂත්වය තමයි රවී පෙම්වතා වෙන්නම හිතුවේ නෑ. සිනමාවේ ඊට හාත්පසින්ම විරුද්ධ විවිධ චරිතත් ඔහු රඟපෑවා.

පෙම්වතාට කොටුනොවී අනෙකුත් චරිත රඟපාන්න රවීට ආත්ම ශක්තියක් තිබුණා. ඒදේ බොහෝ නළුවන්ට නෑ. රංගනය කියන දේ රවී කොච්චර අවබෝධ කරගෙන රඟපෑවා ද කියන දේ අපිට ඒ තුළින් හොඳින් පැහැදිලි වන දෙයක් මමත් එක්ක රවී රඟ පෑ පෙම්වතාගේ චරිත අතුරින් මම රඟපෑ නිළිය කියන තැනින් මිදී සාමාන්‍ය පේ‍්‍රක්ෂකයෙක් විධියට රවීගේ පෙම්වතාගේ චරිතය දෙස බැලුවොත් මම වැඩියෙන්ම ආසා සිරිපාල හා රන් මැණිකා චිත්‍රපටයේ පෙම්වතාට. මොකද ඒ පෙම්වතා කඩවසම් පෙම්වතෙක් නොවන නිසා. වෙනස්ම විධියක චරිතයක්. රවීටත් එහෙමයි. ඒ චරිතය සමාජයේ ඒ වනවිටත් සජීවි මම රන්මැණිකාට රඟපාන කොටත් මේ කතාවට පාදකවන රන් මැණිකාත් ජීවතුන් අතර. ආරාධනා චිත්‍රපටයේ සම්පත් තවත් පැත්තක රවීගේ ප්‍රේමණීය භූමිකාවක් මේව දකින කොටත් අදත් ඇත්තෙන්ම එයා අපේ ලොකු අයියා හරිම සතුටුයි.

රවීගේ රංගනයන් පිළිබඳ මේ ක්ෂේත්‍රයේ ශිල්පීන් අධ්‍යයනයක් කළ යුතුයි කියල මම හිතනවා. මොකද ඔහු රංගපාසලක් කිව්වොත් මම වැරදි නෑ. රංගනය ඉගෙන ගන්න පාසලක්ම අවශ්‍ය නෑ. මෙවැනි චරිත තුළින් ඒ අඩුව ගොඩක් දුරට සපුරගන්න පුළුවන්. ඔහුගේ රංගනය පිළිබඳ සියුම්ව අධ්‍යයනයක් කිරිම තුළ හරියට පොතක් පරිශීලිනය කරනවා වගේ දෙයක් කියලයි මට හැඟෙන්නේ. විශේෂයෙන් රංගනයට එන්න ඉන්න දැනට රංගනයේ නියැළෙන නවකයන්ට මම කියන්නේ රවී ඔබට හොඳ තක්සලාවක්. මෙතනදී මම කියන්නේ නෑ රවී වගේ රඟපාන්න කියලා. නමුත් රවී සිනමාව තුළ චරිත නිරූපණය ඒ නිරූපණ කාර්ය සමබර කරපු විධිය කටහඬ පාලනය, මේ හැමදේම බොහෝ වැදගත්.

මම රවී තුළ තව දැක්ක දෙයක් තමයි තැනකට යනකොට එයා අදින පලදින විධිය. හරි ස්මාට් විධියට අදිනවා. ඒ ගැන රවී හරිම සැලකිලිමත් පුද්ගලයෙක්. සතුන්ට ආදරය කරන ස්වභාවික පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් තමයි රවී. මේ වගේ කෙනෙක් කියල බොහෝ දෙනෙක් දන්නෙත් නෑ. රවී හොඳ ගායකයෙක්. ඒ හැකියාවත් රවීට තියෙනවා. විශේෂයෙන්ම තව දෙයක් කියන්නම ඕනේ මම සම්මාන ලබපු වැඩිම චිත්‍රපට ප්‍රමාණයක රඟපාල තියෙන්නෙත් රවී. සිනමාවේ පරිපුර්ණ චරිතයක් වන රවී විදෙස් චිත්‍රපටල පවා රඟ පෑ නළුවෙක්. ඇත්තටම රවීගේ මේ කලා ජීවීතයට අඩ සියවසක් සපිරෙන මේ මොහොතේ ඔහු වෙනුවෙන් මෙවැනි උපහාර උත්සවයක් සංවිධානය කිරීම ඇත්තෙන්ම කාලෝචිත දෙයක්. මම හිතන්නේ රවී වෙනුවෙන් එවැන්නක් කිරීමට සුදුසුම කාලයත් මේක කියලා. මගේ සිනමා ජීවිතය දෙස ආපසු හැරිල බලන කොට මට අද රඟපාන්න ඉන්නෙත් රවී විතරයි. මේ වෙලාවේ මම ප්‍රාර්ථනය කරනවා සිනමාවේ ලොකු අයියා වූ රවීට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත දිවියක් ලැබේවා කියලා.

චිරං ජයතු රවී!

චන්දන දයාසිරිවර්ධන

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT