නිවස විශේෂාංග මමත් සුපර්මෑන් වගේ තමයි

මමත් සුපර්මෑන් වගේ තමයි

යොවුන් රංගන ශිල්පී චානුක ප්‍රබුද්ධ

by Thanushika
August 29, 2024 10:51 am 0 comment

ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රඟන රංගන ශිල්පී ශිල්පිනියන් බොහෝය. ඒ අතරින් එන යන, පෙනී නොපෙනී යන පිරිසද ඇත. ඔවුන්ගේ නම රූපය මතකයේ තබා ගැනීම පවා අසීරුය. බොහෝ ටෙලිතරු වල ගමන කෙටිය. ප්‍රසිද්ධිය මත හඹා යෑමේදී මේ තරු ඉක්මනින් නිවී යන්නට වැඩි කාලයක් ගත වන්නේ නැත. ඉවසීමෙන්, සීරුවෙන් ටෙලි තිරයේ දිදුලන පිරිස අතළොස්සකි. ඔවුන්ගේ බලාපොරොත්තුව එක රැයකින් ජනප්‍රිය වීම නොවේ.

එවන් වූ අතලොස්සක් දෙනා අතරේ කිසිදා නිවී නොයන ටෙලි තරුද ඇත. වර්තමානයේ ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් සිටින තරුණයෙක් ලෙස චානුක ප්‍රබුද්ධ හඳුන්වා දිය හැකිය. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සීරුවෙන් ගමනක් ආ මේ තරුණයා අද වන විට ටෙලි තිරය බබළවන තරුවක් බවට පත්ව ඇත. කඩවසම් බවින් අනූන ප්‍රේමණීය පෙනුමකින් යුතු ඔහු රසිකයින්ගේ සිත් දිනාගත් තරුණ රංගන ශිල්පියෙකි.

ජනප්‍රිය ටෙලි කතා මවන මහේෂ් සත්සර මද්දුමආරච්චිගේ රචනයෙන් හැඩවූ , ශාන්ත සොයිසා ටෙලි අධ්‍යක්ෂවරයාගේ “මිතූ” හරහා රංගනයට පිවිසීමට හැකිවීම චානුක ලැබූ භාග්‍යයකි. ඉන්පසු ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ගේ “සකූගේ කතාව” හරහා ඔහු තමාගේ ස්ථාවරය ගොඩ නගා ගත්තේය.

චානුක අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ය. කුඩාකල පටන් ආනන්දයේ දීප්තිමත් සිසුවෙක් වූ ඔහු ක්‍රීඩාවට උපන් හපන්කම් දැක්වූ ශිෂ්‍යයෙකි. මතුපිටින් තරමක් ආඩම්බර පෙනුමක් දිස් වුවත් ඉතා නිරහංකාර, සුහදශීලි ඔහු සරසවිය සමඟ එක් වූයේ ඉතා සතුටිනි. ඒ සතුටට හේතුවක් ඇත. චානුක ප්‍රබුද්ධගේ ප්‍රථම සිනමා රංගනය ඇතුළත් ” මන්දාරා ” පසුගිය දා සිට තිරගත වීමට පටන් ගත් නිසාවෙනි.

තරමක් කාර්‍ය් බහුල වුවත් සතුටින් ඉන්නෙ මේ දවස් වල . මගේ පළමු චිත්‍රපටය තිරගත වුන නිසා. ලැබෙන ප්‍රතිචාර හොඳයි. මම මන්දාරා චිත්‍රපටයේ සහය චරිතයක් තමයි කරන්නෙ .

චානුක ටෙලි ක්ශේත්‍රයට පා තබන්නේ නිරූපණ ශිල්පියෙක් ලෙසිනි. ඔහුගේ මනා පෙනුම කඩවසම් බව එයට හේතුවක් වන්නට ඇති.

මම මුලින්ම මොඩ්ලින් කළේ. ඒකට මම උපරිම කැපවුණා. මම මොඩ්ලින් කරනව දැකල තමයි ශාන්ත සොයිසා මහතා මාව ටෙලි නාට්‍ය වලට තෝරා ගත්තෙ. පාසැල් කාලයේ නාට්‍ය හා රංග කලාව හදාරා තියෙනවා. පාසැල් වේදිකාවේ රඟපාලත් තියෙනවා. ඒත් නළුවෙක් වෙයි කියන අදහසේ හිටියෙ නැහැ.

” මිතූ” ටෙලි drama එකෙන් පස්සේ මට සකූගේ කතාව ලැබුණ. ඒක ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ ටෙලි නාට්‍යයක්. ඒ ටෙලි ඤපචථච එකෙන් තමයි මම ප්‍රේක්ෂකයන් අතරට ගියේ. ඒක බාල, මහළු තරුණ කවුරුත් ආදරයෙන් වැළදගත්ත. මාලක චරිතය කාටත් මතකයේ තියෙනවා.

ප්‍රියන්ත කොළඹගේ මහතාට මම ස්තූති වන්ත වෙනව මා ගැන විස්වාසය තියල මාව ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ කරගත්තට.

බොහෝ අය මාව නළුවෙක් විදිහට හදුනාගත්තේ සකූගේ කතාව නිසා.

එම ටෙලි නාට්‍යයෙන් පසු චානුක ට ටෙලි නාට්‍ය වලින් අඩුවක් නොවීය. ජිවිතය ඇති තුරා, බිතුසිතුවම්, ඉන්ටනැසනල්, කොළඹ ඉතාලිය, සික්ස් පැක්, ආයාචනා, මී මැස්සා, මේන් කැරැක්ටර් යන ටෙලි නාට්‍ය චානුක ගේ රංගනය ඇතුළත් ටෙලි නාට්‍ය පොකුරයි. මී මැස්සා, මේන් කැරැක්ටර්, ආයාචනා ඔහුගේ රංගන පරාසය වෙනස් කිරීමට සමත් වීම විශේෂත්වයක් ප්‍රේමවන්තයාගේම චරිතයට කොටු වී සිටි චානුක ට මෙම ටෙලි නාට්‍ය ත්‍රිත්වය නිසා ඉන් බැහැර වී වෙනස්ම වූ රංගනයකට යොමුවීමට හැකිවිය.

මාව මුලින්ම කොටුවෙලා තිබුණේ ප්‍රේමවන්තයාගේ චරිතයට. සමහර විට එහෙම වුණේ මගේ පෙනුම නිසා වෙන්නත් ඇති. ඒත් මම අකමැතියි එකම විදිහේ චරිත වලට කොටු වෙන්න. විවිධ චරිත කරන්න ලැබෙනවානම් තමයි හොඳ රංගන ශිල්පියෙක් විදිහට ඉදිරියට යන්න පුළුවන්.

“මේන් කැරැක්ටර්” කියන ටෙලි නාට්‍ය ගැන කතා කළොත් මම ඒකේ රඟපාන්නේ දුෂ්ඨයගේ චරිතය. ප්‍ර්‍රේමණීය චරිත රඟපාපු මට ඒක ලොකු අභියෝගයක් වුණා. එහෙම චරිතයක් රඟපෑවත් මට ලැබුණ ප්‍රතිචාර හොඳයි.

“ආයාචනා” නාට්‍ය ගැන නම් විශේෂයෙන් කතා කරන්න ඕන. පසිඳු නූපේආරච්චි තරුණ අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයක් ආයාචනා. මම හරිම ඕනෑකමින් තමයි ඒකට සම්බන්ධ වුනේ. මට රඟපාන්න ලැබුනේ නීතීඥයෙක්ගේ චරිතයක්. ඒකත් මට අලුත්ම අත්දැකීමක්. නීතිය පැත්තෙනුත් දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා ඒ චරිය නිසා. විශේෂයෙන් කියන්න ඕන පසිඳු නූපේආරච්චි ගැනත්. අපේ වචන වලින් ම කියනවා නම් ටෙලි නාට්‍ය ගැන ඇම්මක්, උණක් තියෙන කෙනෙක්. අපි හැමෝම සහයෝගයෙන් වැඩ කරන්නෙ. රංගන ශිල්පීන් වගේම ඔවුනුත් ඉදිරියට යා යුතුයි සමහර නිර්මාණවලදි ප්‍රශ්නයක් වුණොත් අතර මඟදී දාල යන්න සිද්ධ වෙනව. ඒත් අපි කිසිම කෙනෙක් ට එහෙම අවස්තාවක් උදා වුණේ නැහැ මේ නිර්මාණයේදී. ගැටලු ආපු අවස්තාවලදි ඔහුගේ උනන්දුව, කැපවීම නිසා අපි මේක කොහොම හරි කරන්න ඕන කියන තැන හැමෝම හිටියා. ඔහුත් සමඟ වැඩ කරන්න ආස හිතුණේ ඒ නිසයි.

මේ දිනවල සාර්ථක ව දිගහැරෙන ‘මී මැස්සා’ ටෙලි නාට්‍යයේද චානුක ගේ රංගනය සුවිශේෂී වේ. තවමත් රූගත කිරීම් සිදුකෙරෙන මී මැස්සා ගැනත් චානුක සමඟින් කතා කළ යුතුයි. ඔහුට රඟපාන්නට තිබෙන භූමිකාවත් වෙනස්ම ආරයක එකක් එකක් බවයි චානුක සරසවිය සමඟින් පැවසුවේ.

” මී මැස්සා” නාට්‍ය මට ලැබුණ වෙනස් ආකාරයේ එකක්. කියන්න සතුටුයි මට මේ කාලේ ලැබුණේ එකිනෙකට වෙනස් චරිත සහිත ටෙලි නාට්‍යය. යමක් කරන්න පුළුවන් චරිත. ප්‍රබලතම දේශපාලන චරිතයක් සමඟ සෘජුවම ගැටෙන චරිතයක් ඒක. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු හයක් හතක් වෙනව. මට මුල්ම වතාවට අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න සිදුවුණා. එක දවසක් ඇතුළත පිටපතේ පිටු ගණනාවක් එක දිගටම කතා කරන්න සිදුවුණා. මින් පෙර මට එහෙම අවස්තාවක් හම්බ වෙලා නැහැ. ඒ සිදුවීම මට කවදාවත් අමතක නොවේවි.

පළමුවෙන් විනෝදාංශයක් ලෙස රඟපෑමට ආ චානුක ප්‍රබුද්ධ වර්තමානය වන විට තම වෘත්තිය ලෙස තෝරාගෙන ඇත්තේ රංගනයයි. කිසිදු කලබලයක් නොමැතිව ඉදිරිගමනක් යන ඔහු හොදින් අධ්‍යාපනය ලබා ඇති රංගන ශිල්පියෙකි. කලක් නිහඬව සිට නැවත රඟපෑමට අවතීර්ණ වීම, ඔහුට ප්‍රිය කරන රසිකයින්ගේ සතුටට හේතු වී ඇත.

මම පොඩි කාලයක් නිහඬව සිටියා. ඒ මගේ උසස් අධ්‍යාපනය කටයුතු නිසා.

මුල් අවදියේ ටෙලි නාට්‍ය රංගනයට සීමා වූ චානුක දැන් සිනමාවට අවතීර්ණ වී තිබීම වැදගත් සිදුවීමකි.

මම මුලින්ම කිව්වා වගේ මන්දාරා ෆිල්ම් එකෙන් තමයි මම සිනමාවට එන්නෙ.

ප්‍රියන්ත කොළඹගේ මහතා තමයි මාව ඒකට තෝරා ගත්තෙ. ඒක සහය චරිතයක් වුවත් මම ඒක ට මගේ උපරිම රංගන දායකත්වය ලබා දුන්නා. මන්දාරා ෆිල්ම් එකේ මට වැඩ කරන්න ලැබුණේ මම වගේම තරුණ පරපුරේ ශිල්පීන් සමඟ. ඒ නිසා මට මගේ චරිතය ගොඩ නගාගන්න පහසු වුණා.

සිනමාව කියන්නෙ වෙනස්ම තැනක්. ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. අපි පුංචි කාලේ තිබුණ සිනමාවට මම ගොඩාක් ආදරය කළා. හෑත්තෑව අසූව දශකයේ සිනමාව ගැන මම අහල තියෙනවා ඒ සිනමාව ඉතාමත් සුන්දරයි. මම පරණ චිත්‍රපටි බලන කෙනෙක්. ඒ කාලේ ඉදන් විජය මාලිනී කියන චරිත දෙකට මම ආස කළා. ආදරය කළා. ඒත් ඒ අයට තිබුණ සිනමාවේ සුන්දරත්වය අපිට උරුම වෙලා නැහැ තවමත්. උත්සාහ කළොත් අපිට යන්න පුළුවන් ඊටත් වඩා ඉදිරියට. අපි පුංචි කාලේ ඒ අය දැක්කහම හිතුවෙ එයාල වෙනම ලෝකයක කියල. ඒ තරම්ම ආකර්ෂණීය යි. එදා සිනමාවේ හිටපු චරිත තාමත් හිතේ මැවිලා තියෙනවා.

මගේ සිනමා වීරයා වුණේ රන්ජන් රාමනායක. ඒ වගේ ඇඟ හදාගන්න, ඒ වගේ ලස්සනට අඳීන්න ආසාවක් තිබුණා. අදටත් මම රන්ජන් අයියට කැමතියි.

චානුක ඉතා ප්‍රිය කරන තවත් චරිතයක් ඇත. ඒ තමයි සුපර්මෑන් චරිතය.

පුංචි කාලේ ඉදන් මම ආස කරපු කෙනෙක් සුපර්මෑන් චරිතය. ඒක තාමත් එහෙමයි. ආසව කොච්චර ද කියනවනම්, සුපර්මෑන් පින්තූර, සෙල්ලම් බඩු එකතුවක් තියෙනවා මා ගාව. මමත් ඉතින් සුපර්මෑන් වගේ තමයි.

එසේ කියද්දී චානුක ගේ සිනහව ද ඉතා හැඩකාරයි. සිනමා චරිත ගැන කතා කළ නිසාම ඉදිරියේ දී සිනමාව ව ඇති දායකත්වය කෙසේදැයි යන ප්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

පසුගිය දවස්වල මම අලුතින් නිර්මාණය වන චිත්‍රපටයකට සම්බන්ධ වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ “බුද්ධ මාතා” චිත්‍රපටයේ. මට ලැබුණේ දේවදත්ත කියන චරිතය. ඒක වගකීමෙන් කරන්න වුණ රංගනයක්. දේවදත්ත චරිතයට පිවිසෙන්න සුනිල් සර් ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණ . ඒ වගේම ඉන්දියානු නළු නිළියන්ගෙ න්.

චානුක ප්‍රබුද්ධ ක්ෂේත්‍රයේ කා අතරත් සුහදශීලීව කටයුතු කරන තරුණ රංගන ශිල්පියෙක්. එමනිසා ජේ්‍යෂ්ට රංගන ශිල්පීන් ගෙන්ද ඔහුට ලැබෙන්නෙ හොඳ සහයෝගයක් බවයි ඔහු පැවසුවේ.

මට මේ අවස්තාවේ විශේෂයෙන් මතක් කරන්න පිරිසක් ඉන්නවා. ශාන්ත සොයිසා මහතා, මහේෂ් සත්සර මද්දුමආරච්චි මහතා, ප්‍රියන්ත කොළඹගේ මහතා යන තිදෙනා. ඔවුන් මා ගැන විස්වාසය තියලා මාව ඔවුන්ගේ නිර්මාණ වලට සම්බන්ධ කර ගත්ත එක මට වටිනව. මේ තාක් මම වැඩ කරපු සියලුම අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, රංගන ශිල්පී ශිල්පිනියන්, කාර්මික ශිල්පීන් සියලුම දෙනාව මම ආදරෙන් මතක් කරනව. ඒ වගේම මගෙන් සමුගත් මගේ ආච්චි අම්මා ආදරෙන් සිහිපත් කරනව. ඇය තමයි මගේ හොඳම රසිකාවිය වුණේ

චානුක ප්‍රසිද්ධ රූපවාහිනී චැට් වැඩසටහන්වල නිතර පෙනී නොසිටින ශිල්පියෙක්.

මම වැඩිය කැමැති නැහැ රූපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට සහභාගී වෙන්න. ආඩම්බරයකට නෙවෙයි. හැබැයි තත්ත්වයෙන් උසස් වටිනාකමක් තියෙන වැඩසටහනකට කතා කළොත් අනිවාර්යයෙන් සහභාගී වෙනව. බොහෝ ආරාධනා ලැබෙනව. ඒත් මම ඒව කාරුණිකව ප්‍රතික්ෂේප කරනව. මට රඟපාන්න ලැබෙන චරිත වලට උපරිම සාධාරණයක් කිරීමට සහ ඒ වෙනුවෙන් කැපවෙන්න මම ඒ කාලය වෙන්කරන්න කැමැතියි. මගේ රසිකයින් ඒ ගැන අමනාප ඇති. මම එයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනව මගේ රංගනය ඇතුළත් ටෙලි නාට්‍ය බලන්න කියල. මගේ කුලුඳුල් සිනමා නිර්මාණය “මන්දාරා” බලන්න කියල. එතකොට මම එයාල එක්ක ඉන්නවා වගේ දැනෙයි.

කවද හරි රසිකයින් මාව ප්‍රතික්ෂේප කළොත් අන්න එදාට මම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙවී. අලුත් පරපුරක් භාර ගත යුතුයි මේ ක්ෂේත්‍රය.

මේ කතා බහ අවසන් වෙන්න කලින් සරසවිය ගැනත් කියන්න ඕන. ඇත්තටම මම හිතුවෙ නැහැ මට අවස්තාවක් ලැබෙයි කියල සරසවිය පුවත්පතෙන්. මේ ගැන මට දැනුම් දුන් මොහොතේ සතුටක් දැනුණා හිතට. සරසවිය කියන්නෙ ලංකාවෙ ප්‍රමුඛතම සිනමා පුවත්පත. මට මතකයි මගේ අක්කලා සරසවිය ගන්නව. නලුනිලියන්ගේ නඩධබධඵ බලන්න. සිනමා ලෝකයේ ඉහලින් වැජඹෙන පුවත්පතක් සරසවිය. ඉතින් ඒ වගේ පුවත්පතකින් මට ඉඩක් දීපු එකට ස්තුතියි. මම ඉදිරියටත් සරසවිය සමඟ එකතු වෙලා ඉන්නවා.

ටෙලි නාට්‍ය රූගත කිරීමක් අතරතුර ලද සුළු විරාමයකදී සරසවිය සමඟින් එක්වූ රංගන ශිල්පී චානුක ප්‍රබුද්ධ ගැන කතා කිරීමට බොහෝ දේ ඇත. එහෙත් කාලය ඊට හරස් වී ඇත. ටෙලි තිරයේ, සිනමාවේ විවිධ රංගනයන් තුළින් ප්‍රේක්ෂකයන්ට ඔහුව දැක ගත හැකිවේවි.

ඔහුගේ නවතම ටෙලි සිත්තම “මායාවි ” සැප්තැම්බර් මස සිට විකාශය ඇරඹේ.

” මායාවි ” කියන්නෙ මගේ අලුත් ම ටෙලි නාට්‍යය. නිර්මාණ අධ්‍යක්ෂක කෙනෙක් ගේ චරිතයක් තමයි මම එහි නිරූපණය කරන්නෙ.

ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් එක්ක මේ දවස් වල කාර්‍ය්බහුලයි. ඒත් ලැබෙන කෙටි විවේකය රංගන ගැන අධ්‍යයනය කරන්න යොදා ගන්නව. ඒ අතර තුර විනෝදෙන් කාලය ගත කරන්න තමයි උත්සාහ කරන්නෙ.

මේ කඩවසම් තරුණ රංගන ශිල්පියාට තරුණියන් ගේ ඇල්ම බැල්මෙන් නම් අඩුවක් නැති ව ඇති ?

එයට පිලිතුරු දුන් චානුක කියා සිටියේ…..

තරුණියන් ගෙන් විතරක් නෙවෙයි බාල, තරුණ, මහළු, භේදයක් නැතුව හැමෝගෙම ප්‍රතිචාර ලැබෙනව.

ඇසූ පැනයට ප්‍රේමණීය සිනහවක් පාමින් ඔහු කෙටි පිලිතුරක් ලබා දුන්නේය. ඔහුගේ රූපගත කිරීම් සඳහා ඔහුව නිදහස් කළයුතු හෙයින් සමුගැනීමට ඉඩ දියයුතුයි. ඉතා සතුටින් සරසවිය සමඟ පිළිසදරට එක්වූ චානුක ප්‍රබුද්ධ නැවතත් දිනෙක ඔබ හමුවට පැමිණේවි. එතෙක් ඔහුගේ රංගන කටයුතු සාර්ථක වේවා යැයි සරසවිය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමු.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT