නිවස ලාංකිය සිනමාව මන්දාරා හද බැඳි චිත්‍රපටයක්

මන්දාරා හද බැඳි චිත්‍රපටයක්

by Mahesh
September 5, 2024 12:30 am 0 comment

විටෙක සරලවූත් විටෙක සංකීර්ණ වූත් ප්‍රේමය නම් අකුරු ත්‍රිත්වය එකිනෙකට වෙනස් දිශානතීන් කිහිපයක් ඔස්සේ ගලාගෙන යන නවමු මානයක හෝරා දෙකහමාරකට ආසන්න කාලයක මම අතරමං වූයෙමි. සොම්නසත්, ප්‍රහර්ෂයත්, සන්ත්‍රාසයත්, විරහවත්, ප්‍රේමයේම විවිධ පැතිකඩයන් බව පුළුල් තිර මත දෑස් දල්වා බලා සිටි මා හට අවසානයේ පසක් විය. ප්‍රේමයේ හුදු කෙළිලොල් දඟකාර බවට එහා ගිය අසීමාන්තික කුතුහලයත් විටින් විට නැගෙන භීතිය හා සංත්‍රාසයත්, හිමින් සීරුවේ දෑස් අග මතුවන කඳුළු කැටත්, අතර එකිනෙකට වෙනස් මනෝභාවයන් රැසක් එකට කැටිකොට ගත් කල්හි එය (මන්දාරා) ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි. රොමෑන්ස්, ත්‍රිලර්, හොරර්, කොමඩි, ආදී වශයෙන් විවිධාකාරයට ලේබල් ගතවූ සිනමා නිර්මාණ අතර මන්දාරා චිත්‍රපටය මින් කුමන කෝණයකට ලඝු කරන්නට දැයි මා දෙවරක් සිතුවේ ඒ නිසාවෙනි. හෝරා දෙකහමාරකට ආසන්න කාලයක් පුළුල් රිදී තිරය මත සිත්තම් වන මෙම සිනමා සිත්තමේ අවසන් දර්ශනය තෙක් ප්‍රේක්ෂකයා රඳවා තබාගන්නට තරම් මන්දාරා සමත් වූයේ සුලබව අත්විඳීන්නට නොලැබෙන සිනමා ආස්වාදයක් ඒ තුළ ගැබ්ව තිබූ නිසා බව කිව යුතුය.   

ප්‍රේමය විඳීන හා විඳවන සුරූපී යෞවනියක්, පාලනය කරගත නොහැකි කෝපය හමුවේ අපේක්ෂා භංගත්වයට පත් තරුණයෙක්, ධන ලෝභයකුගේ මරණ වරෙන්තුවෙන් ගැලවී පලායන අහිංසක දැරියක් හා තවත් අපූරු චරිත රැසක් මන්දාරා ඔබ ඉදිරියේ චිත්‍රණය කරයි. මෙහි එන නළු නිළියන් අතර වඩාත් විශිෂ්ටතම රංග ප්‍රතිභාව ප්‍රකට වන්නේ බිමල් ජයකොඩි ගෙන් යැයි මට සිතේ. බුරබුරා ඇවිලෙන කෝපයක් රසික ප්‍රේක්ෂක හදවත් තුළ ක්‍රමයෙන් වර්ධනය කරන ඔහු බිහිසුණු අපරාධකරුවකුගේ මනෝභාවයන් සියුම්ව නිරූපණය කරයි. වාචිකාභිනයට එහා යමින් ඔහු තුළ ප්‍රකට වන්නේ විශිෂ්ට සාර්ථක අභිනීය ප්‍රේක්ෂකයන් තුළ තිගැස්මක් ඇති කිරීමට සමත්වේ. මෙවන් වස්ත්‍රාභරණයන්ගෙන් හා වේශ නිරූපණයන්ගෙන් හැඩ වූ චරිත හොලිවුඩ් සිනමාවේ සුලබව දක්නට ලැබුණද දේශීය සිනමාවේ මෙවන් චරිතයක් දක්නට ලැබෙන විරල අවස්ථාවක් යැයි මට සිතුණි.

විටෙක ප්‍රේමයත් සතුටත් තවත් විටෙක වියෝවත් වේදනාවත් යන මානව හැඟීම් සියල්ල මුසු අපූර්ව රංග රටාවක් වඩාත් හෘදයාංගමව සහෘද ප්‍රේක්ෂකයාව ආමන්ත්‍රණය කරන්නට මෙම සිනමා පටය හරහා චුලක්ෂි රණතුංග සමත් වේ. චිත්‍රපටය ආරම්භයේ සිටම විවිධ ආකාරයට උස්පහත් වන සිද්ධි දාමයක එකිනෙකට වෙනස් කාන්තා මනෝභාවයන් රැසක් මන්දාරා යන ප්‍රධාන ස්ත්‍රී භූමිකාවෙන් මනාව නිරූපණය කරයි. නිරන්තරයෙන් අපට දක්නට ලැබෙන බොළඳ පෙම්වතියගෙන් එහාට ගිය වඩා සංකීර්ණ වූ සමාජ අර්බුද හමුවේ පීඩාවට පත් යෞවනත්වයත් මාතෘත්වයත් වඩාත් සියුම් ලෙස නිරූපණය කර තිබුණි.

රිදී තිරයට මදක් නැවුම් මුහුණුවරක් වුවද රංගකාර්යෙහිලා ආගන්තුක බවක් නොමැති මේඝ සූරියආරච්චි නම් නවක දක්ෂ රංගන ශිල්පියා ඔහුගේ භූමිකාවට අතිශය සාධාරණත්වයක් ඉටු කරන බව මාගේ හැඟීමයි. ක්ෂණික කෝපයත් අපේක්ෂා භංගත්වය නිසා පීඩාවට පත් ආදරණීය යෞවනයෙකු වන ‘විශ්ව‘ගේ චරිතය හරහා මෙහි මේඝ ඉතාමත් අපූරුවට ප්‍රේක්ෂකයා වෙත සමීප කරන්නේ ඔහුගේ රංගන ශාක්‍යතාවය ලාංකික සිනමාවට අලුත් කතානායකු පැමිණීමේ සුබ ලකුණු ඔහු පහළ කරයි. මේ දින මුල සිනමාව පුංචි තිරයේ වේදිකාව යන සියලු මාධ්‍යයන් වල ජයක හෙළි නංවමින් අතිශය ජනාදරයට පත් දිනක්ෂි ප්‍රියසාද් මන්දාරා චිත්‍රපටයෙන් වඩාත් ආකර්ෂණීය චරිතයක් නිරූපණය කරයි. සේමිනී ඉදමල්ගොඩ, චාන්දනී සෙනෙවිරත්න, සහේලි සජිත්ම, චානුක ප්‍රබුද්ධ, මුතු තරංග ඇතුළු රංග පිරිවර සිය කර්තව්‍යයන් අකුරටම ඉටුකරන්නේ අධ්‍යක්ෂවරයාගේ නළුවරණය සියයට සියයක් නිවැරැදි බව සනාථ කරමිනි.

උස් කඳු මුදුන් හා හරිත නිම්නයන් සෑම තත්පරයකදීම රන්වන් වෙරළත සිපගන්නා සාගර රළ පෙළත්, සුඛෝපභෝගී කොන්ක්‍රීට් වනාන්තරයන් ඇතුළු දර්ශන තල රැසක් මන්දාරා චිත්‍රපටයෙහි සුන්දරත්වය තීව්‍ර කොට ඇත. චිත්‍රපටයෙහි ගුණාත්මක භාවය රැක ගනිමින් ප්‍රේක්ෂකයන්ට වඩාත් සමීප අත්දැකීමක් ලබාදීමෙහිලා දර්ශන තල රැසක් භාවිතා කිරීමට චිත්‍රපට කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරා ඇත. ඒ මඟින් චිත්‍රපටයට වැඩි ආකර්ෂණයක් එක් වී ඇති බව සඳහන් කළ යුතුය.

පසුතල නිර්මාණය මෙන්ම වස්ත්‍රාභරණයෙන් සහ වේශ නිරූපණයන්ද මන්දාරා ප්‍රේක්ෂක හදවත් හි සජීවී කරලීමෙහි ලා මනා ලෙස දායක වී තිබිණි. එක් එක් චරිතයන්හි අභ්‍යන්තර මනෝභාවයන් ඉස්මතු වන ලෙස රංග වස්ත්‍රාභරණයන් උචිත පරිදි භාවිතා කිරීම නිසා චිත්‍රපට ගුණාත්මකභාවය හේතු වී ඇත. කැමරාකරණයේදී ශිල්පීය දක්ෂතාව ආකර්ෂණීය රූප රාමු පෙළක් මවමින් ප්‍රේක්ෂක දෙනෙත් වෙනතකට නොයන්නට වග බලා ගනියි.

බොහෝ චිත්‍රපටවල රසඋද්දීපනය කිරීමට එහි එන සංගීතය ඉවහල් වේ. මෑතකාලීන සිනමා නිර්මාණ දෙස බැලූ විට සිනමා නිර්මාණය හා සමානවම ඇතැම් විට ඊටත් වඩා චිත්‍රපටයේ අඩංගු ගීත ප්‍රේක්ෂකයා විසින් වැලඳ ගත් බව දක්නට ලැබේ. මන්දාරා චිත්‍රපටයේ අන්තර්ගතය වඩාත් සියුම් ලෙස හැඟීම් තීව්‍ර කරමින් සහෘද ප්‍රේක්ෂකයාට සමීප කරන්නට සංගීතයට හැකියාව ඇත. නමුත් මෙම සිනමා පටයෙහි එන ගීතාවලියෙහි එතරම් ආකර්ෂණීය බවක් හෝ සිත් ඇදගන්නා සුලු බවක් දක්නට නොමැත. සැබැවින්ම මගේ සිත් ගත්තේ එක් ගීතයක් පමණක් වූ අතර ප්‍රේක්ෂක මනසේ රැඳෙන ආකාරයට එකී ගීත නිර්මාණය කරන්නට නිර්මාණකරුවන් අපොහොසත්ව ඇති බව පෙනේ. අධ්‍යක්ෂවරයා මින් පෙර නිර්මාණය කළ චිත්‍රපටවල අඩංගු ගීත අතිශය ජනාදරයට පත්වූ අතර එවන් ගීතාවලියක් මෙහි අඩංගු නොවීම කනගාටුවට කරුණකි.

ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ, අරුමෝසම් වැසි වැනි ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලත් සිනමා නිර්මාණ රැසක සාඩම්බර නිමැවුම්කරුවා වන්නේ ප්‍රියන්ත කොළඹ ගේ නම් දක්ෂ අධ්‍යක්ෂවරයායි. මන්දාරා චිත්‍රපටයෙන් ඔහු සිය සිනමා දිවියේ තවත් එක දැවැන්ත පියවරක් තබා ඇති බව පැහැදිලිය. ඉදිරියටත් නව්‍ය නිර්මාණ හරහා ලාංකික සිනමාව පෝෂණය කරන්නට මෙම දක්ෂ අධ්‍යක්ෂවරයාට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරන අතර තවත් ප්‍රමාද නොවී ප්‍රේමය, ත්‍රාසය හා කුතුහලය පිරුණු මන්දාරා සෙනෙහසින් වැලඳ ගන්නට සහෘද සිනමා ප්‍රේක්ෂකත්වයට ආරාධනා කරමි.

පී.වී.පබසර සමෝදාන 
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT