Home » ‘මන්දස්මිතය’ කියවන ඔබට මඳ සිනහව ඇති කෙනෙක් හමුවෙයි

‘මන්දස්මිතය’ කියවන ඔබට මඳ සිනහව ඇති කෙනෙක් හමුවෙයි

by Thanushika
October 2, 2025 12:45 am 0 comment

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු, නීතිවේදියකු, මාධ්‍යවේදියකු වන දැනට ප්‍රංශයේ ජීවත්වන කෞශාල් රණසිංහගේ ජීවන වෘත්තාන්තය පාදක කරගනිමින් අනූ පෙරේරා හෙවත් ‘නූ පෙරේරා ‘විසින් රචිත ‘මන්දස්මිත’ ග්‍රන්ථය ඉකුත්දා එළිදැක්විණි. ග්‍රන්ථය මුද්‍රණයෙන් එළිදැක්වීමට පෙර Online මාර්ගයෙන් එළිදක්වා තිබීම විශේෂත්වයකි. ආදරය ද, ජීවිතය ද වෙනස්ම කෝණයකින් දකින්නට ආරාධනා කරන ‘මන්දස්මිත’ පිළිබඳවත් සිය නිර්මාණ දිවිය පිළිබඳවත් කතා කිරීමට නූ පෙරේරා සරසවිය හා මෙසේ එක්විය.

ඔබේ අකුරින් හැඩවී ඉකුත්දා එළිදැක්වුණු ‘මන්දස්මිත’ ගැන හඳුන්වා දුන්නොත්…..?

‘මන්දස්මිත’ කියන්නේ දොරටවඩින මගේ පළමු කෘතිය. මේ කතාවට පාදකවෙන්නේ මා මිත්‍ර කෞශාල් රණසිංහගේ ජීවිතකතාව. ඔහු දැනට ජීවත්වෙන්නේ ප්‍රංශයේ . ඔහු නීතිවේදියෙක් වගේම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්, මාධ්‍යවේදියෙක් . මෙහි වස්තුබීජය අප සමාජයේ වැඩියෙන් කතා කෙරෙන්නේ නැහැ . තම ලිංගික දිශානතිය ප්‍රසිද්ධියේ පිළිගෙන ඒ ගැන ජනතාව දැනුම්වත් කිරීමට කෞශාල්ට අවශ්‍ය වුණා. කෞශාල්ව පීඩනයට පත්වූ අවස්ථා මෙහි ලියවී තිබෙනවා . මෙය කෞශාල් වටා ගෙතුණු කතාවක් වුණාට කවුරුත් සමාජයේ අත්දකින, අත්විඳීන දේවල්. අපට එල්ලවන අභියෝග මෙහි අන්තර්ගතයි. සමරිසි ප්‍රජාව ගැන මිනිස් ඇසකින් මානුෂිකව බලන කෙනෙක් විදිහටයි මම මේ පොත ලිව්වේ. සමරිසි තරුණයකුගේ කෝණයෙන් පොත ලිවීම මට තිබූ අභියෝගයක්. මම මේ කාර්යය හොඳීන්ම කළා. මම සිතෙනවා මම සාර්ථකයි කියලා . හැමෝටම මම ආරාධනා කරනවා මෙය කියවා ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න කියලා . සෑම පුද්ගලයකුම තමන් ආදරය කරන පුද්ගලයකු සමඟ ජීවිතය අත්විඳීය යුතුයි කියලා මම හිතනවා. ඔබේ මතිමතාන්තර බොහෝවිට වෙනස් වෙන්න පුළුවන් . තමන්ගේ සහකරුගෙන්, සහකාරියගෙන් බලාපොරොත්තු වන ආදරය, කරුණාව, දයාව, රැකවරණය ආදී මානුෂික ගුණාංග සමරිසි ආදරයකත් තිබෙනවා කියන දේ මෙයින් ඔබට වැටහේවි. ඕනෑම පුද්ගලයකුට මේ කතාව කියවීමෙන් ඔවුන්ව තේරුම්ගන්න , ඔවුන්ට ආතතියෙන් මිදෙන්න හැකිවේවි කියලා හිතනවා. ඒනිසයි මේ පොත ලියන්න මම පෙලඹුණේ.

කෞශාල් සමඟ ඔබේ ගනුදෙනුවේ ආරම්භය ඇතිවුණේ කොහොමද ….?

කෞශාල් කියන්නේ මගේ වයසේම පිරිමි ළමයෙක්. අපි දෙන්නා කුඩාකල අමතර පන්ති ගිහින් තිබෙනවා . මේ වැඩේට කෞශාල් මාව සම්බන්ධ කරගනිද්දී දැනගෙන හිටියේ නැහැ මේ පුංචිකාලයේ එකට පන්ති ගිය කෙනා නේද කියලා . පසුකාලීනව අපි කතාකරද්දී ඒ අතීතය සිහිපත් වුණා. ඔහු මට ඔහුගේ කතාව කිව්වා.

නවකතාවට පාදකවූ තරුණයාගේ ජීවිතය තුළවූ පරිවර්තනය ඔබ කෙසේද දකින්නේ ….?

මේ පොතේදී කෞශාල්ගේ පරිවර්තනය ලෙස දැක්වෙන්නේ ඔහුගේ ලිංගික දිශානතිය වෙනස් කරන්නට දරන උත්සාහය . මා දකින විදිහට කෞශාල්ගේ ජීවිතය පරිවර්තනයට ලක්ව තිබෙනවා මේ ග්‍රන්ථය ඇතුළේ. මේ පොත පිටුවෙන් පිටුව වයසට යන පොතක්. මුලදී ඉන්නේ පාසල් යන ලදබොළඳ කොල්ලෙක්. අවසානයේ දක්නට ලැබෙන්නේ අත්දැකීම් බහුල සමාජයෙන් එල්ල වන පීඩන, අභියෝග ජයගෙන තම ජීවිතය සාර්ථක ලෙස ගෙවන මනුස්සයෙක්. ඒ පිළිබඳ මම සතුටට පත්වෙනවා . කෞශාල්ගේ සාර්ථක පරිවර්තනයක් තිබෙනවා

‘මන්දස්මිත’ ලියන්න පෙලැඹුණු විශේෂිත හේතු තිබුණද…..?

එයට හේතුව මෙහෙමයි, සමරිසි ආදර කතා එළියට එද්දී ඒවා හුඟාක් ෆැන්ටසියට බරවුණු කතා. ෆැන්ටසියෙන් රියැලිටියට ඇවිත් මේ මිනිස්සු ඇත්තෙන්ම අත්විඳීන සමාජ අත්දැකීම් ලියන්න අවශ්‍ය වූ නිසයි මේ පොත ලියන්න පටන්ගත්තේ. මේ ගැන ලිවිය යුතුයි කියා මා සිතුවා. මෙවැනි දේ සමාජයේ කතාවෙනවා අඩුයි. සමහරු කියනවා මේ ආදර කතා සරලයි කියලා , ඒත් මේවා සරල නැහැ . ඒනිසයි මම හිතුවේ මෙය කතාකළයුතු මාතෘකාවක් කියලා .

මෙයට පාදකවූ සත්‍ය කතාව වියමනකට ගෙත්තම් කිරීමේදී පරිකල්පනය යොදාගත් ආකාරය පැහැදිලි කළොත් ……..?

සත්‍ය කතාව පොතකට ලියද්දී සිදුවූ හැමදේම ලියන්නත් බැහැ . තෝරාබේරාගෙන ලියන්න වෙන්නේ. එසේම මේ සියල්ල කෞශාල් කියූ ආකාරයටම ලියලත් නැහැ . මගේ පරිකල්පනය යොදවලා, රසවින්දනය වැඩිකිරීමට සමහර වචන එක්කළා. සමහර සිදුවීම් ලියා තිබෙනවා , සමහර කතාබස් ලියා තිබෙනවා . සත්‍ය කතාවට පරිකල්පනයත් එකතු කර ලියවුණු කතාවක් මේක. එනිසයි මෙහි රසය වැඩියි.

පාඨකයා ‘මන්දස්මිත’ කෙසේනම් වැලඳගනීවි යැයි ඔබ අනුමත කරන්නේද……? පසුගියදා විකාශය අවසන් වූ ‘වීදුරු තිර’ ටෙලිනාට්‍යය බොහෝමයක් දෙනා හොඳ විදිහට වැලඳගත්තා. සුළුතරයක් අය වෙනස් මතවල හිටියා. හැමදේකම නරක දකින අයත් ඉන්නවනේ. අද වෙද්දි බහුතරයක් මේ විෂයය ගැන මනුෂ්‍ය ඇසකින් බලන්න හුරුවෙලා ඉන්නවා. මේ ගැන තේරුම්ගෙන සිටිනවා. එනිසා පාඨකයා මෙය සුබවාදීව භාරගනීවි කියා සිතනවා.

මෙවැනි වස්තුවිෂයක් පොතකින් සමාජගත කිරීම අභියෝගයක් යැයි සිතනවද…..?

අනිවාර්යයෙන්, මෙය ලොකු අභියෝගයක්. මේ පොත අපි Online ලියන්න පටන්ගත්තම අපට නොසෑහෙන්න ප්‍රශ්න ආවා. මෙය ලිවීම නවත්වන්න කියූ අය හිටියා. ඒත් අපි දිගටම කතාව ලියාගෙන ගියා. සුළු පිරිසකගේ බලපෑමට වඩා බොහෝදෙනකුගේ ප්‍රශංසාව අපට ලැබුණා. මෙය මුද්‍රිත මාධ්‍යයේ එළිදක්වන්න ලොකු අදහසක් තිබ්බේ නැහැ . පාඨකයන්මයි කිව්වේ මුද්‍රිත මාධ්‍යයෙන් කියවන්න සලස්වන්න කියලා . එහිදී ප්‍රකාශනය පිළිබඳ ප්‍රශ්නයක් අපට ආවා. මෙය ප්‍රසිද්ධියේ කතා නොකරන ආගන්තුක විෂයක් නිසා. කලින් භාරදුන් ප්‍රකාශන ආයතනයක් මෙය අපට අවශ්‍ය ලෙස එළිදක්වන්න ඔවුන් අකැමැති වුණා. ඉමාෂි ප්‍රකාශන ආයතනය තමයි මේ අභියෝගය භාරගත්තේ.ඔවුන්ට ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. පොත එළිදැක්වීමේදී අපට ආව අභියෝග අපි ජයග්‍රහණය කර තිබෙනවා . ඉදිරියටත් එන අභියෝගවලට සාර්ථකව මුහුණදෙන්න පුළුවන් වෙයි කියා සිතනවා. සමාජය දැනුම්වත් කිරීමටයි අපි ‘මන්දස්මිත’ ලිව්වේ.

මෙහි අතුරු චරිත , ප්‍රධාන චරිතය සමඟ ගනුදෙනු කිරීමේදී එකී චරිත හැසිරවීමේදී ප්‍රධාන චරිතයට හානියක් නොවීමට වගබලාගත්තේ කෙසේද……?

මෙහි අතුරු චරිත බොහෝමයක් තිබෙනවා . ඒවා ඉතා ප්‍රසිද්ධ චරිත. උදාහරණ ලෙස අරිත වික්‍රමසිංහ , භූමි හරේන්ද්‍රන්, ශ්‍රියාල් නිලංක, ප්‍රින්සි මංගලිකා වැනි චරිත . ඔවුන්ගෙන් ප්‍රධාන චරිතයට හානියක් නොවෙන්න මම වගබලාගත්තා. ප්‍රධාන චරිතයේ කෝණයෙන් තමයි අනෙක් චරිත ලියවෙන්නේ . ඒනිසා මෙහි මූලිකත්වය යන්නේ ප්‍රධාන චරිතයට. ප්‍රධාන චරිතයේ ඇසින් අනික් චරිත ගැන ලියද්දී මට සිතෙන්නේ ප්‍රධාන චරිතයට හානියක් වුණේ නැහැ කියලා . අතුරු චරිතත් ලස්සනට හුවාදක්වන්න මට හැකිවුණා .

කෞශාල් රණසිංහ නමැති පුද්ගලයාව ඔබට පෞද්ගලිකව දැනෙන්නේ කොහොමද ….?

කෞශාල් කියන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි. මෙවැනි පොතක් ලියන්න ඔහුගේ කතාව දැඩි සේ ඉවහල් වුණා. ඔහු වටා සිටින පිරිස මා වටාත් එකතු වුණා. එනිසා මට පෞද්ගලිකව කෞශාල්ව දැනෙන්නේ මෙහෙමයි, සමහර චරිත අපේ ජීවිතවලට ආවම අපිව වැඩෙනවා. ඒවගේ චරිතයක් තමයි කෞශාල් කියන්නේ . කෞශාල් ඇසුරු කරන ඕනෑම අයෙක්ට ඔහුගෙන් ගන්න යමක් තිබෙනවා . ඔහු හරිම ආසයි මිනිස්සුන්ට උදව් කරමින් යම් රුකුලක් දෙන්න. කෞශාල් වටා රැස්වන ඕනෑම අයකුට ඒ කැරිස්මා එක බෙදාගන්න පුළුවන් . මටත් ඒක සෑහෙන්න බලපෑවා. ඔහු මගේ ජීවිතයේ මම අගය කරන ගොඩක් හොඳ යාළුවෙක් .

‘මන්දස්මිත’ ලිවීමේදී කෞශාල්ගෙන් ලද සහාය මොනවගේද …..? ‘මන්දස්මිත’ රචනයේදී කෞශාල්ගෙන් ලද දායකත්වය වචනවලින් කියන්න බැහැ . ඒ ගැන වෙනම පොතක් ලියන්න පුළුවන්. කෞශාල් ඉන්නේ ප්‍රංශයේ , මම ලංකාවේ. රටවල් දෙකේ වෙලාවන් ගැන ගැටලුවක් තිබ්බා. එයා නිදන වෙලාවට මම උදේට අවදි වෙන වෙලාව. එයා වොයිස් රෙකෝඩින් එකක් දානවා අද මොනවද ලියන්නේ කියලා . එයා ඒ අදහස දුන්නම පරිකල්පනය ඇතුළත් කර, රස කරලා මම ඒ පරිච්ඡේදය ලියා ඔහුට යවනවා. ඔහු ඒ ගැන තෘප්තිමත් නම් අපි එය මේ පොතට ඇතුළත් කළා. වෙනස් කළයුතු තැන් ගැන ඔහු කියනවා. අපි දෙන්නා අදහස් හුවමාරු කරගත්තා. කොයිමොහොතකවත් කෞශාල් මගේ ලිවීමට බාධාවක්, බලපෑමක් කළේ නැහැ . පුදුම සහයෝගයක් දැක්වුවා.

‘මන්දස්මිත’ කතුවරිය නූ පෙරේරා ලෙසයි නම්කරන්නේ. එවැනි අන්වර්ථ නාමයක් යොදාගැනීමට විශේෂ හේතුවක් තිබුණද…..?

‘නූ පෙරේරා ‘ යන අන්වර්ථ නාමය යොදාගැනීමේදී බලපෑවේ එක් කරුණයි. ඒ කරුණ නම් ‘නූ’ කියන කෙනා Online මාධ්‍යයේ ප්‍රසිද්ධ කෙනෙක්. මම සිතුවා ඒ නමම මේ පොතටත් යොදාගන්නවා කියලා , ඒ එය දැනටත් ප්‍රසිද්ධ නමක් නිසා. මගේ නම සඟවන්න මට අවශ්‍යතාවක් නැහැ .

ග්‍රන්ථය රචනයේදී ගුරුහරුකම් ලද පිරිසකුත් ඇති ……?

උපුල්ශාන්ත සන්නස්ගල ගුරුපියාණන් මෙහිදී මතක් කරනවා. ඔහු මේ සඳහා අදහස්, උපදෙස් දුන්නා.

සමරිසි සබඳතාව ගැන සමාජයේ සෘණාත්මක ආකල්ප වෙනස් කිරීමට ‘මන්දස්මිත’ කොතෙක්දුරට සමත්වේ දැයි සිතනවද…….?

ඔව්, ඒ සෘණාත්මක ආකල්ප වෙනස් කරන්න ‘මන්දස්මිත’ විශාල තුළින් විශාල පිටිවහලක් ලැබේවි කියා සිතනවා. ෆැන්ටසි ගණයට අයත් කතා කියවලා පාඨකයා හිතන්නේ මේක සරල දෙයක් කියලා . එහෙම නැහැ, ඒක වෙනස්ම මතයක් . මේ පොත කියවලා මිනිස්සු තේරුම්ගනීවි සමරිසි පුද්ගලයන්ගේ ලිංගික දිශානතිය ඇඳකට සීමාවෙන්නේ නැහැ කියලා. ඔවුන්ටත් ආදරය , ආරක්ෂාව, තේරුම් ගැනීම වගේම ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන හැම හැඟීමක්ම සමරිසි ආදර කතාවලත් ඔවුන් ඒ ලෙසම බලාපොරොත්තු වෙනවා. සමාජය ඔවුන් දිහා මානුෂික ඇසකින් බලයි කියා මා සිතනවා. ඔවුන්ටත් ජීවිතයේ සාමාන්‍ය විදිහට නිදහසේ දිවිගෙවන්න ඉඩදිය යුතුයි යන මතය මේ ග්‍රන්ථය තුළින් ඇතිවේවි කියා සිතනවා.

නවකතාවට ‘මන්දස්මිත’ නම යොදන්න හේතුව සරලව කීවොත් ………?

‘මන්දස්මිත’ නම කෞශාල්ගේ අදහසක්. ‘මන්දස්මිත’ කිව්වම ‘මඳ සිනහව’ කියන එකයි මෙහි අපි මූලික අර්ථය විදිහට ගත්තේ. මඳ සිනහව හිමි කෙනෙක් මේ පොත කියවද්දී ඔබට හමුවේවි . ඒ කෙනාට මේ පොත පිදෙනවා. අපේ ජීවිතයේ අපට එන ප්‍රශ්න, අභියෝගවලට මඳ සිනහවකින් පිළිතුරු දෙන්න, දරාගන්න මැද මාවතක ගමන් කරමින් ජීවත්වෙන්න කියන අදහසත් මෙහි අන්තර්ගත වෙනවා.

ඔබේ සාහිත්‍යකරණ දිවියේ ආරම්භය සිහිකළොත් …..?

මම පුංචිකාලයේ ඉඳන්ම ලියනවා. ග්‍රන්ථයක් විදිහට එළිදැක්වූයේ ‘මන්දස්මිත’යි. මම ගොඩක්ම ඉගෙනගත්තේ ඉංග්‍රීසි සාහිත්‍යය. ඉංග්‍රීසි පොත් තමයි වැඩිපුර කියවලා තියෙන්නේ . සිංහලෙන් ලියන එක අපේ හදවතට ගොඩක් සමීපයි .

මීට පෙරත් සාහිත්‍යකරණයේ නියැළී තිබෙනවද…?

මීට කලින් Online මාධ්‍ය තුළ කතා දෙක, තුනක් ලියා තිබෙනවා .ඒවා මුද්‍රිත මාධ්‍යයෙන් එළිදක්වන්න අදහසක් නැහැ . පාඨක බොහෝමයකගේ ඉල්ලීම් තිබූ නිසයි ‘මන්දස්මිත’ මුද්‍රණය කළේ.

ඉදිරි නිර්මාණ ගැන කීවොත් ……?

ඉදිරියේදි ‘භූමි’ නමින් ග්‍රන්ථයක් ලියන්න අදහස් කරගෙන ඉන්නවා . ඒක මමයි කෞශාලුයි එකතුවෙලා ලියන පොතක්. භූමි හරේන්ද්‍රන්ගේ ජීවිත කතාව ලියන්න බලාපොරොත්තු වෙන්නේ . ඒකත් පාඨකයන්ට ඉදිරියේදී කියවන්න ලැබේවි.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT