“අපේ ජීවිත වැටෙන්නට නොදී අපට හයිය දුන්න අපේ තාත්තාගෙ නාමයෙන් අදටත් අපට ඒ හයිය අඩුවක් නැතිව ලැබෙනවා..”
” අපෙ තාත්තා ළඟ තිබුණු සෘජු ප්‍රතිපත්තිය නිසා තාත්තාට බොහෝ දේ අහිමිව ගියත් ඒ හැමදේ ගැන අල්පමාත්‍රයක කම්පාවක් නැතිව සතුටින් සිටිය හැටි අපට කවදාවත් අමතක වන්නේම නැහැ..”
මෙවර සරසවිය මවුපිය වරුණ විශේෂංගය වෙනුවෙන් ගිය ගමනේදි අපට මුණගැසුණේ එදා මෙන්ම අදින් මතුවටත් ගීත ශ්‍රාවකයන් අතර වඩාත් ආදරයෙන් කතාබහට බඳුන්වන අපූර්වතම රසවතකු.. රසාලිප්ත ගීත රචකයකු..එසේම පත්තර කලාවේ නම රැන්දු විශිෂ්ට මාධ්‍යවේදියකුගේ වැඩිමහල් දියණියය..
හමුදා සේවයෙහි නිරතව එවක ලංකාදීප පුවත්පතෙහි මාධ්‍යවේදියකු හා ග්‍රන්ථ කතුවරයකු ලෙසින් ද ප්‍රකට විමල් වීරසිංහ මහතා සහ කවියට උපන් හපන්කම් පෑ විමලා වීරසිංහ දෙපළට හුන් පවුලේ දූ පුතුන් සත්දෙනා අතුරින් වැඩිමහල් දරුවා වූ 1947 ක්වූ ජුලි මස 06 වනදා පාණදුරේදී උපත ලද ප්‍රතිභාපූර්ණ මේ අපේ ආදරණිය කතා නායකයාණෝ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ය.
මේ අපේ ආදරණිය කතා නායකයා පිළිබඳව ආවර්ජනයක යෙදෙමින් මා අසලම පසුවන්නේ ඔහුගේ දෙටු දියණිය ටිකිරි කුමාරි වීරසිංහ මහත්මියය…
මම ඇයට සවන් දෙමි.
” අපෙ තාත්තා ගැන මෙච්චරයි කියල නිමකරන්න බැරිතරම්.. තාත්තාගෙ මනුස්සකම ..කෙළින් වැඩ කරපු හැටි…තාත්තාගෙ නිර්මාණශිලී කුසලතා ගැන..අදටත් ඇහෙනකොට අපෙ තාත්තා ගැන උපදින ගෞරවනීය හැඟීම දවසින් දවස වැඩිවෙනවා…එක අගුණයක්වත් අපෙ තාත්තා ගැන අපට අහන්නට ලැබිලා නැහැ…මතු උපදින හැම භවයකදීම අපේ තාත්තා වගේම අපේ අම්මාත් අපට හමුවේවා කියලයි මං ප්‍රාර්ථනය කරන්නෙ..”
අපේ ආදරණිය ටිකිරි කුමාරි මහත්මියගේ දෑස රත්පැහැගැන්වී ඇති බව මට පෙනේ..
අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් පොතපත ඉගෙනුමට මුලින්ම පිවිසියේ පාණදුර..කෙසෙල්වත්තේ තක්ෂිලා විද්‍යාලයටය.. ප්‍රාථමික පන්තියක සිටියදීම ඔහු ඊළඟට ඇතුළත් වූයේ මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයටය…එහි ඔහු විද්‍යා විෂයයන් හදාරන්නට වූයේය..අනතුරුව පරමධම්ම චේතිය පිරිවෙනට ඇතුළත්ව බෙල්ලන්විල විමලරතන හිමියන් යටතේ භාෂා දැනුමෙහි පරිණත බව ලැබීය…
අපේ කතා නායකයා සෘජු පිළිවෙතෙහි පිහිටා සිය දිවිසිරිත සිරිමත් කළේය..තම පියාණන් කෙරෙන් දුටු නිසාදෝ ඔහු ද පත්තර කලාවට මහත්සේ ඇලුම් පෑයේය..ඒ අනුව එවක ටයිම්ස් පත්තර කන්තෝරුවේ කටයුතු කළේය..ඔහු එඩිතරය…කිවයුත්ත එළිපිටම කියන්නේය.. මීට ඔහු සන්තකයේ තිබූ එකම අවිය වූයේ පෑන ය..
මුහුණේ යන්තමින් දැලි රැවුල මතුව එන අවදියේ සිටම ඔහු හද උතුරන පද සිරිත සිරිමත් වුයේ ගේය පද රචනාවන් ලෙසිනි..එකල බොදු බැති ගී…හා තවත් ගායන වැඩසටහන් වලදී ඔහු තෙලිතුඬින් නිමකළ අරුත්බර ගී පද සිරිත දනන් තුඩ තුඩ සොම්නසින් කියැවිණි..
අපේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහන් වෙනුවෙන් ගී පද ලියන්නේය…එක්රැයින් ගීත ශ්‍රාවක සිත්සතන් දිනාගන්නට තරමට සමත් වූ අදටත් ඔබද මමද ඇලුම්පානා ගී ප්‍රබන්ධ රාශියක්ම ලියැවුණේ අපේ ආදරණිය කතා නායකයාගේ අගනා සංකල්පනා තුළිනි..
” සෙව්වන්දියකට පෙම් බැන්දා…
ආශා දහසක් රස වින්දා…”
මීට සංගීතය මුසුවූයේ අපේ ප්‍රකට සංගිතඥයකු වන ආර්. ඒ චන්ද්‍රසේනයන්ද පාණදුරේ සිටියදීය…
අපේ ටිකිරි කුමාරි ඔහු දියණිය සුපසන් සිනාවතින්ම තම පියාණන් ලියූ ගීත ඈත බලා..බිම බලා…දැහැනට සමවැදීසේ ඕ මතකය අවුස්සා බලන්නීය.
“සඳ මඬලේ සිට…තරු මඬලේ සිට..” “බිඳුවක් ඉවසා..අහන්න හිතවත..” “ගංගා දියවැල් ගලා..යනු ඇත ඉදිරිය බලා…” “රණ්ඩු වෙවී..යාළුවේවී..” ” කවිකාරියේ..සින්දු කියනා ලඳේ ” ” සමකෝණී ත්‍රිකෝණයකි..” හිමරේණු වැටෙනා සීතලේ..” කියයි මිහිරි කතා.. ” ආදී තවත් බොහෝ සරල ගීත මෙන්ම සිනමා නිර්මාණ වෙනුවෙන් ද හෙතෙම ගී පද සිරිත සිරිමත් කළේය..
අපේ ටිකිරි කුමාරි යමක් කියන්නට සැරසෙන්නීය.
“දන්නවද අමල් ..අපෙ තාත්තා මට හිතෙන විදිහට ගීත රචනා දෙදහසක් විතර ලියා තියෙනවා..සමහර ගොඩක් ගීත රචනා අප තවම දන්නෙත් නැහැ…ඔය මඟතොටකදි…කොහි හරි තැනෙකදි කෙනකු ඉල්ලීමක් කළොත් හැඳුනුම්කම් තිබුණත් නැතත් ලියා දෙනවා..අනික අමල්…තාත්තාට ගීතයක් ලියාගන්න සුවපහසුව ඕන කරන්නෙත් නැහැ..එතරම් කාලයක් වැය කරන්නෙත් නැහැ..තාත්තා ගීතයක් ලියාදීම වෙනුවෙන් මිලක්වත් වාසියක්වත් බලාපොරොත්තු නැහැ…”
ඕ තොමෝ බිම බිමබලාගත්වනම ය…තම පියාණන් කෙරෙහි බැඳුණු ස්නේහය තවමත් ඈ හද උතුරා යන්නී යැයි මට හැඟුණේ ඈ නෙත්කෙමි කඳුළට බරවෙද්දීය..
ඈ සුසුමක් හෙළන්නීය..
” අපෙ තාත්තා අපිව දාල යන්නම යන්න ගිහින් මේ පෙබරවාරි මාසෙ 15 දාට හරියටම අවුරුදු තුනක්..ඒත් අපෙ තාත්තා තවමත් අපි එක්කම ඉන්නව කියලමයි හිතට දැනෙන්නෙ..
එදා තාත්තාගෙ ඇසුරෙ හිටපු අය තවමත් ඉස්සර වගෙ අප ගැන විමසනවා..දහිරිය දෙනවා. එහෙම වෙන්නෙ අපෙ තාත්තා මිනිස්සු එක්ක හිටපු විදිහ අනුවනෙ අමල් . එහෙම නේද…”
ඇය මදෙස බලා සිට බිම බිමබලාගත්වනම පසුවන්නීය.
” පුරුෂ පාර්ශ්වයේ විශ්වාසය මා තුළ තියෙන්නෙ මගේ රත්තරන් තාත්තා විතරයි..එයා හොඳ ස්වාමියෙක්..හොඳම හොඳ තාත්තා කෙනෙක්..යාළුවන්ට හොඳම යහළුවෙක්..මේ කම්කරුවා..මේ ලිපිකරුවා.. මේ දන්න කෙනා..මේ උගතා..මේ නුගතා කියල කවදාවත් මිනිස්සුන්ව බෙදා වෙන්කරල සලකන්නෙ නැහැ..මිනිස්සු ගැන කරුණාව වගේමයි අසාධාරණය දැක්ක තැනදී ලොකු පොඩි කියල බලන්නෙත් නැහැ..තමන්ට ඉන්පසු අවැඩක් වේවිද තරහ වේවිද කියල මායිම් කරන්නෙ නැහැ..ඒ සෘජු ගතිගුණ තමයි අපෙ තාත්තා ළඟ තිබුණේ..”
දිනෙක යාචකයකු ගේට්ටුව සමිපයට ආයේ මොනවා හෝ යමක් ඉල්ලා ගන්නටය.
” මෙහෙට එනවලා..”
යාචකයා අදිමදියෙන් බයාදුව පැමිණ ආලින්දයේ පඩිය මත හිඳගත්තේය.
” ඔහේ..දැන් ඔතැන ඔහොම ඉඳගෙන හිටියාම අපි ඉඳගන්නේ කොහේදැයි විමසමින් අපේ කතා නායකයා යාචකයාට පුටුවෙහි වාඩිවෙන්නයි කළ ඉල්ලීම නියෝගයක් ලෙසින් සලකාසේ හේ යටහත් පහත්ව පුටුවෙහි කොනකට බරදුන්නේ පුටුව කඩාවැටෙතැයි වැනි බැල්මකිනි. අපේ කතා නායක වෙතින් අහරපානාදියෙන් සප්පායම්ව මුදලක්ද අතැතිව ගිය යාචකයා ආයෙත් ගෙමිදුලට පැමිණ හඬා වැටුණේ අපේ මාධ්‍යවේදියාණන් යළි අවදි නොවනා දිගු නින්දකට වැටී සිටි දවසේ ය…
අපේ කතා නායකයාණන් පිළිබඳව තම පියාට සමාන ලෙන්ගතුකමින් පසුවූ ප්‍රකට සංගීතවේදී ග්‍රේෂන් ආනන්ද පුත් ප්‍රවීණ ගායනවේදි මාරියෝ ආනන්ද හමුවූයේ මේ අතරවාරයේදීය..
” එතුමා ගැන මම හෙට කතා කළත් මගෙ ඇස්දෙකට කදුළු එනවා.. ඒ තරම් සමන් චන්ද්‍රනාත් ජයසිංහ අන්කල් මගේම තාත්තා කෙනෙක් වගේ..මාව දිරිමත් කරවපු තරම්…ඒ වගෙ මනුස්සකම්..කරුණාවන්තකම් කෙනකුට පිහිටන්නෙ අනේ හරි අහම්බෙන් මිස්ටර් අමල්…එතකොට මට වයස 15 ක් තරම ඇති. මගෙ තාත්තා මාව එක්කන් ගියා ජුලියා චිත්‍රපටයෙ කටයුතු වලට..තාත්තා එහි සංගීත අධ්‍යක්ෂක..අපේ සමන් අන්කල් ගිත රචනා කළේ. මට තනිවම ගීතයක් ගයන්න ආසාවකුත් එදා තිබුණා .
අපෙ තාත්තා නැතිවුණ ඒ අවමඟුලෙදි හැමෝම වගෙ කතා කළේ තාත්තා බීපු එක ගැනයි.. එක හරියට කලා ලොව ඒ වැඩේ කළේ අපෙ තාත්තා විතරක්මයි වගේ..තාත්තාගෙ දුර්වලකම් එදා අය කතාකළේ..ඒත් සමන් අන්කල් ඒ හැමෝටම වදින්න කතා කළා…තවම මට මතකයි..ග්‍රේෂන් විතරද එහෙම කළේ කියල ප්‍රශ්න කළා.සමන් අන්කල්ට හොඳ කොන්දක් තියෙන සුභවාදී ව සිතන උතුම් මනුස්සයෙක් කියල මට තවත් එදා තේරුම් ගියා..
තාත්තා නැතිවුණාට පස්සෙ එතුමා මා ළඟම ඉඳන් මාව පුදුමාකාර විදිහට දිරිමත් කළා…පුතාට ලස්සන කටහඬක් තියෙනවා. යමක් කරන්න කියා මාව උනන්දු කරවපු හැටි මට අමතක නැහැ..තාත්තා ගෙ හිමරේණු වැටෙනා ගීතය මම ලතා වල්පොල මැඩම් එක්ක කළානෙ..ලතා මැඩම් ගැන ලියැවුණු ඔර්ජිනල් යුග ගීතයක් ගයන්න මට ලොකු ආසාවක් තිබුණා ..ඒ කාලෙ මා ළඟ එහෙමට සල්ලියකුත් නැහැ. ලතා මැඩම්ට ඒ ඇත්තම මම කීවා..එතුමියත් හරි කැමැත්තෙන්ම සුදානම් වුණා යුග ගායනයට.
” සැලළිහිණි රැජිනිගේ සත්සර රජ දහනේ.” මමයි ලතා මැඩම් එක්ව ගයාපු යුග ගීතයට පසුබිම හැදුවෙත් ගිතය ලියාදුන්නෙත් මා ළඟින්ම හිඳ දිරිමත් කළෙත් සමන් අන්කල්..තමයි. ඒ ගිතයෙන් වගේම හිමරේණු ගිතියෙනුත් මම හම්බ කළා. මේ ක්ෂෙත්‍රයේ කවුරු වුවත් දවසක තනිවෙනවා. ජනප්‍රියත්වය සැලකිලි නැතිව දවසක හුදකලා වෙනවා. දුර්වලකම් ඇති නැති කිසිම කෙනෙක්ව අතහරින්නෙ නැතිව අප ඔසවාගෙන ඔවුන් සමගම අප යා යුතුයි..
මේ ටිකත් මම කියන්නම ඕනා. අප අතරින් වියෝවුණු බොහෝ අය ගැන ගුණ වඩන්න කියන්න රූපවාහිනී වැඩ සටහන්වලදි හිටියෙ සමන් අන්කල් විතරයි..නමුත් අපේ සමන් අන්කල් වෙනුවෙන් කතා කරන්නට කෙනෙක් නැහැනෙ…මේක ඉතිහාසය වලදමා යන යුගයක් අමල් . සමන් අන්කල් වෙනුවෙන් මට එතුමාගෙ පවුලේ අයට මම යමක් කළයුතුමයි…අඩුම තරමේ එයාලට කාර් එකක් හෝ තෑගි කළයුතුයි කියා මම හිතා ඉන්නෙ. සමන් අන්කල් ළඟ නැති අඩුව තවමත් මට දැනෙනවා”
අපේ සොඳුරු කතා නායකයා මියගියදා ගෙමිදුලේ කෙළවරක තිබු පුටුවකට බරදී..ඒ සමිපයේ බිත්තියට හිස තබා අපේ මාරියෝ ආනන්දයන් කුඩා දරුවකුසේ දෑතින් මුහුණ වසාගෙනම හඬා වැලපුණු අයුරු අපේ ආදරණිය ටිකිරි කුමාරි සිහිපත් කරමින් කීයේද බිඳුණු ස්වරයෙනි.
නිවසේ රැඳී සිටින දවසකදී අපේ කතා නායක සමන් තමන් බිරිඳ අතට දුන් යමක් මතක් වී නැවත ඉල්ලා සිටියද එය තවමත් ප්‍රමාදය..
” මොකක්ද ලතෝ…කරන්නෙ ..ඒක කෝ.. ”
ඒ ඔහු දන්නා සැරපරුෂ වීමේ ස්වභාවය එයමය.බිරිඳට සිනා පහළ වෙයි..ඉල්ලා සිටි දෙය අතට ලද කලහි හෙතෙම බිරිඳ දයා ලතා දෙස බලා කෘතවේදිව සිනාසෙන්නේය..ආදරය උතුරන කළ හේ දයෝ..පැටියෝ…බබෝ යනුවෙන්ද බිරිඳ අමතන්නේය…ඒ දෙදෙනා එතරම් සමීපය…දරුවන්ට ආදර්ශවත්ය.
විවිධ සංගම් ආදියෙහි තනතුරද හෙබවු හෙතෙම ” ඇතැම් අවස්ථාවලදි..මගෙ කට මට හොඳටම ඇති..මට ඔය මයික් ඕනා නැහැ…” කියා එදා සංගම් සිය කථනයෙන් හෙල්ලුවේද ඔහුමය.
ලේඛන කලාවෙහිද සමතකු වූ අපේ කතා නායකයා ලේක්හවුස් ආයතනයේ දිනමිණ සිළුමිණ නවයුගය ආදී පුවත්පත්වල කර්තෘධූරය හොබවමින් පහර දියයුතු තැන් අලළා ලියුවේය..
ඔහු දියණිය ටිකිරි කුමාරි මේ වනවිට සේවය කරන්නේ ඔ-ඛ්ඡ්ඹ් ආයතනයේය… කලා ක්ෂෙත්‍රයට නෑකම් කියන මෙම ආයතනය විසින් නිර්මාණ එකතුව ආරක්ෂිතව තබාගනිමින් එම නිර්මාණ වෙනුවෙන් හිමිකාර භවතුනට මුදලින්ද සත්කාරය පිරිනමන්නේය..
“තාත්තාට විතරක්ම නෙවි. ඕනම කෙනකුට අප ආයතනය විවෘතයි..අපෙ තාත්තාගෙ නිර්මාණ එකතුවක් කරගෙන යන අපේ මේ කටයුත්තට සහය වෙලා තාත්තා කළ නිර්මාණ තොරතුරු අපට සපයන්න කියල අපි ඉල්ලා සිටිනවා…
ගී පද රචනයේදී දක්වන හැකියාවටත් එහාගිය දස්කමක් වනුයේ තනුව ඉදිරිපත් කිරීමේදී ඊට පද සිරිත ගළපාලන අයුරු සිත්ගන්නාසුලු තරම් යැයි අපට කීවේ ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය හමුවූ මොහොතකදීය..
” මගෙ මහත්තයා ඇන්ටන් අල්විස් වැඩකළේ ටයිම්ස් ආයතනයේ…දවසක් මහත්තයා මට සමන්ව හඳුන්වා දුන්නා…ඒ එක්කම සමන් ගීතයක් ලියා දුන්නා..
ඒක තමයි ” උක්දඬු දුන්නෙන් උපන්නෙමී…මල් මල් උයනක වෙසෙන්නෙමී…”
ඒ මට මුලින්ම එතුමා ලියාදුන් ගිතයයි..පස්සෙ මගෙ ගීත වැඩිම සංඛ්‍යාවකට පද රචනා කළේ..එතුමායි..අපේ පවුල් දෙක හරිම සමීපයි. එතුමා කවදත් එකම විදිහයි. මානව හිතවාදි ගුණයෙන් පොහොසත්..එතුමා ට තිබුණෙ ගීත ලියන පුදුම හැකියාවක්..නිදහස්ව ලියන හැකියාව වගේම තනුවට පද එකතු කිරීමත් මා දුටු එතුමාගෙ දක්ෂකමක්..”
අපේ ආදරණිය කතානායකයාට දූලා දෙදෙනෙකි. එක් පුතෙකි. බාලම දියණිය නදී වීරසිංහ ද පියාගත්මඟ යමින් ගී පද රචනයේහි සමත්ව සිටින අතර පුතු චාමීකර වීරසිංහ ලේක්හවුස් ආයතනයේය..
” සොඳුර මට සමුදෙන්න..සමුදෙන්න
සොඳුර මට සමුදෙන්න..සමුදෙන්න..”
තම ස්වාමියා ලියූ එම ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වනු අසාහුන් බිරිඳ දයාලතා තමන් හැරදා නික්ම ගිය තම සැමියා සිහිපත් කරමින් පසෙකට වී හඬන්නට වන්නීය. සිය සැමියා යටගිය දා පරිහරණය කළ සෑම දෙයක්ම ඕ තොමෝ බලවත් ඕනෑකමකින් යුතුව තම කාමරයේ සුරක්ෂිතව තබා සිටියද ඇයද දිවිසිරිත හැරයන්නට සතියක් පමණ ඉහතදී තම ලොකු දියණිය ටිකිරි කුමාරි අමතා කීවේ
” ඔය කාමරය අස්පස් කරල දමන්න කියා…ය.”
ඇයද ඔහු ගිය මඟම පියමැන්නාසේ රෝගාතුර ව පසුවෙමින් අනතුරුව නොඑනා ගමන් යන්නට වූවාය..
” අපෙ තාත්තා අපට නැතිවුනේ 2022 පෙබරවාරි 15වනදා..අපෙ අම්මා අපට නැතිවුණේ 2024 සැප්තැම්බර් මාසෙ 16 වැනිදා…”
අපේ ටිකිරි කුමාරි ඒ ටික කීවේ පහත් ස්වරයකිනි.
” තවමත් අපෙ තාත්තාගෙ පැත්තෙ අය අපෙ අම්මා ගැන ගුණ කියනවා..අම්මාගෙ පැත්තෙ අය අපෙ තාත්තා ගැන ගුණ අදටත් කියනවා. අපෙ අම්මාත් හරි වාසනාවන්තයි..දෙපැත්තේම අය අම්මා එක්ක ආදරෙන් හිටියා..”
” අපෙ අම්මායි තාත්තායි සංසාරෙ පතා ආ දෙන්නෙක්මයි..තාත්තා අම්මා ව තනිව දාල කලින් ගියාට තාත්තා අම්මා එයා ළඟට එනතුරු තාත්තා මග බලාගෙන ඉන්න ඇති කියල මට හිතෙනවා..”
” මට දැන් උවමනා එකම එක දෙයයි…අපෙ තාත්තා කළ සියලු නිර්මාණ එකතුකොට මතු අනාගතයටත් එක්ක ඒවා සුරක්ෂිත කරන්නයි..ඒ වෙනුවෙන් මම උපරිමයෙන් ක්‍රියා කරනවා..ඒක දරුවන් හැටියට අපෙන් වෙන්නම ඕන යුතුකමක්…”
යැයි තිරහඬින් එසේ කී ටිකිරි කුමාරි ඊළඟට කීවේ මේ ටිකය..
“තාත්තාගෙ ගීත රචනා කවරකු හෝ ළඟ ඇත්නම් කරුණාකර අපව දැනුම්වත් කරන්න..එතුමාට කරන ගෞරවයක් හැටියට. තාත්තා ලියපු පද රචනා තමන්ගේය කියන පහත් තැනට වැටෙන්නත් එපා. එවැනි සිදුවීම් සමහරුනට අත්වී තියෙනවා..එහෙම කරන්න එපා..එතුමාගෙ නිර්මාණ තවදුරටත් ආරක්ෂා කරගන්න අප දරන වෑයමට කාගේත් සහය ලැබෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා”
යැයි පැවසු අපේ කතා නායකයාගේ ආදරණිය දියණිය තෙවසරක් සපිරෙන මෙම පෙබරවාරි 15දා තම පියාණන් නමින් පිංපෙත් කරන බවද පවසමින්..සරසවියටද එහි කර්තෘතුමාද..ඈ බැහැදුටු මටද කෘතවේදිව වචන පෙළගස්වමින් සිය සතුට පළකරන්නීය..
මම ඇය වෙතින් සමුගන්නට අසුනින් නැගී සිටියෙමි.
” අපි තවමත් අපෙ රත්තරන් තාත්තා එක්කමයි..එයා අප එක්කම තවමත් ඉන්නව වගෙ අපට දැනෙනවා..එයා අපට දුන් ආදරය අප ළඟ තියලා ගියා කියලා මම විශ්වාස කරන්නෙ..”
ඈ ඒ ටික කීවේ මට දයාබරව සමුදෙමිනි.
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ