Home » මට භාර්යාවන් තුනයි තිදෙනාටම ආදරෙයි

මට භාර්යාවන් තුනයි තිදෙනාටම ආදරෙයි

යොවුන් රංගන ශිල්පී දේවින්ද වික්‍රමසිංහ

by Thanushika
March 27, 2025 10:44 am 0 comment

පාසැල් වේදිකාවෙන් රංගනයට අත්පොත් තබා ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණවීමට හැකිවීම රංගන ශිල්පියෙක්ට ලැබෙන වටිනා අවස්ථාවකි. ශිල්පියෙක් රංගනය ඔපමට්ටම් කරගන්නේ වේදිකාවෙනි. රඟපෑමට හැකි සෑම කෙනෙක්ටම වේදිකා රංගනය සඳහා අවස්ථාව ලැබෙන්නේ නැත. වේදිකාවේදී ප්‍රවීණයන් සමඟ උරෙන් උර ගැටී තම රඟපෑම වර්ධනය කරගත් දක්ෂ චරිතයක් සරසවියට මුණ ගැසුණි. මේ දිනවල ඔහු ජනප්‍රිය චරිතයකි. පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයෙහි අංජන, එසේත් නැත්නම් ලොකු බ්‍රදර් කවුරුත් දන්නා හඳුනන චරිතයකි.

ඉතාමත් මිත්‍රශීලී ලෙස සරසවිය සමඟ එකතු වූයේ ඔහුගේ කලා දිවියෙහි තොරතුරු ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් සහ රසිකයන් සමඟ බෙදාහදා ගන්නටය.

මම මගේ රංගන දිවියෙහි ආරම්භය සනිටුහන් කරන්නේ පාසැල් වේදිකාවෙන්. මම ඉගෙන ගත්තේ ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ. පාසැල් වේදිකාව තමයි මගේ රංගනයට අඩිතාලම වැටුණු තැන. පාසැලේදී විවේකයක් ලද සැනින් මම කළේ සිංදු කියන එක. නාට්‍යවල පුංචි පුංචි කොටස් යහළුවන් ඉදිරියේ රඟදැක්වූවා. ඒ අතරතුර අපේ පාසැලට අපූරු චරිතයක් පැමිණියා. ඔහු ප්‍රවීණ නාට්‍යවේදී චාමික හත්ලහවත්ත. ඔහු පැමිණියේ නාට්‍ය සහ රංගකලාව උගන්වන්න. සර් ඇවිත් නාට්‍ය කණ්ඩායමක් හැදුවා. ඔහුගෙන් අපිට වේදිකාව පිළිබඳ මනා පුහුණුවක් ලැබුණා. සර් අපිව හොඳීන් පුහුණු කර සමස්ත ලංකා පාසැල් නාට්‍ය තරඟ සඳහා සහභාගී කෙරෙව්වා. කිහිපවතාවක් මම හොඳම නළුවා සඳහා සම්මාන දිනාගත්තා. එය මගේ රංගන ජීවිතයට ආලෝකයක් ගෙන ආවා.

මම උසස් පෙළ සමත්වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී මම උපාධිය ලබා ගැනීම සඳහා ඉගෙන ගත්තේ රූපණය කියන විෂය. විශ්වවිද්‍යාලයේදී මට රංගනය පිළිබඳ ප්‍රවීණයන් රැසකගේ ඇසුර ලැබුණා. ඔවුන් සමඟ ගැවසෙමින් අත්දැකීම් රාශියක් ලබා ගන්නට හැකිවුණා. ආචාර්ය ජයලත් මනෝරත්න, රාජිත දිසානායක, යශෝධරා සරච්චන්ද්‍ර, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, ප්‍රසන්නජිත් අබේසූරිය, මංගල සේනානායක, කුසුම්සිරි ලියනාරච්චි, පියල් කාරියවසම් වැනි රංගනයෙහි සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කෙරෙහි නිපුණතාවයක් දැක්වූ පිරිසක් සමඟ මට ගැවසෙන්න, වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඔවුන් සමඟ ප්‍රසිද්ධ වේදිකාවේ වැඩ කරන්න මට වාසනාව උදාවුණා.

පාසැල් වේදිකා නාට්‍යවලින් හොඳම නළුවා වෙලා ඉන්න කාලේ තමයි මට ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙන්නේ. ඒ 2008 වර්ෂයේදී. ප්‍රවීණ ලේඛිකාවක වන සුමිත්‍රා රාහුබද්ධගෙන් මට ආරාධනාවක් ලැබුණා. ඉන්පසු මම ඇයව හමුවුණා. පිනිබරයාමය ටෙලිනාට්‍යයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ ඒ විදිහට. එහි දුලානි අනුරාධා ගේත් මගේත් පළමු ටෙලිනාට්‍යය. එය අධ්‍යක්ෂණය කලේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂ ප්‍රේමකුමාර ජයවර්ධනයි. ඒ කාලේ මම පාසැල් සිසුවෙක්.

විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමඟ මට කලාවෙන් තරමක් ඈත් වෙන්න සිදුවුණා. මගේ අධ්‍යාපන කටයුතු නිසා. විරාමයෙන් පසුව මට ක්‍රිස්ටි ෂෙල්ටන් මහතා මුණ ගැසුණා. ඔහුගේ ඊ 20 නාට්‍යය සඳහා මම රංගනයෙන් දායක වුණා. ඉන්පසු ඔහු විසින් අධ්‍යක්ෂණය කළ නාට්‍ය රැසක මම චරිත නිරූපණය කළා. එසේ රඟපෑමේ නිරත වෙලා ඉන්න අතරේ මම නැවතත් කලා කටයුතු මඳකට නැවැත්තුවා. ඒ ගත් විරාමයෙන් පසු මම නැවතත් සම්බන්ධ වුණේ වේදිකාවට.

ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සෙල්ලම් නිරිඳු රාජිත දිසානායකගේ සිරිවර්ධන පවුල, මට වෙඩිතියන්නේ නැද්ද, චාමික හත්ලහවත්තගේ මකරා, කුසුම්සිරි ලියනාරච්චිගේ දඟයා සහ පුංචි අන්දරේ, මංගල සේනානායකගේ ජුලියට් සීසර් වැනි වේදිකා නාට්‍යවල මම විවිධ චරිත නිරූපණය කළා. මම වේදිකාවට බොහෝ කැමතියි. වේදිකාව තමයි මගේ ජීවිතේ.

මේ අතරේ චාමර සමරවික්‍රම මා ගැන විශ්වාසය තබා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය සඳහා ආරාධනා කළා. එහි ජයන්ත නැමති චරිතය මට ලැබුණා. එහෙත් එම චරිතය වැඩි කාලයක් මට රඟ දක්වන්නට නොහැකි වුණා නාඩගම්කාරයෝ නාට්‍යය අවසන්වීම නිසා. ඉන්පසු චාමර අයියා නැවතත් මට ආරාධනාවක් කළා පාට කුරුල්ලෝ ටෙලි නාට්‍ය සඳහා. පාට කුරුල්ලෝ මේ දිනවල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මම මේ අවස්ථාවේ චාමර අයියාව ඉතා අදරයෙන් සහ ගෞරවයෙන් මතක් කරනවා. මා ගැන සහ මගේ චරිත නිරූපණය ගැන විශ්වාසය තැබීම පිළිබදව. මම රඟ දක්වන්නේ පාට කුරුල්ලෝහී අංජන කියන චරිතය. එහි ලොකු බ්‍රදර් විදිහට මාව පාට කුරුල්ලෝ නරඹන කා අතරත් ජනප්‍රියයි. මෙම ටෙලි නාට්‍යය ගැන කතා කරද්දී චාමර අයියා ගැන කතා කළ යුතුමයි. චරිත තෝරා ගැනීම පිළිබඳ ඔහුට හොඳ දැනීමක් තියෙනවා. ඔහු හුදෙක් නිෂ්පාදකයෙක් පමණක්ම නොවෙයි. ඔහු තෝරාගන්නා චරිත ගැන සැලකිලිමත් වෙනවා. ඔහු ශිල්පීන්ට ගරු කරනවා. නිෂ්පාදනයට අත ගැසීමෙන් ඔහු ලාභය දෙස පමණක් බලන්නේ නැහැ. නිෂ්පාදනය කරල ඒ පිළිබඳ පසු විපරමක් පවා සිදු කරනවා. නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය සාර්ථක වීමට හේතුව එයයි.

ඔහු පසුගියදා දැවැන්ත ප්‍රසංගයක් සංවිධානය කළා. ටෙලි තරු රැයක්. එය අතිසාර්ථකයි. ඒ ඔහුගේ උත්සාහය සහ කැපවීමේ ප්‍රතිඵල. මමත් ඒ සඳහා සහභාගී වුණා. එවැනි සුන්දර මිනිසුන් හමුවීම අපේ වාසනාවක්. මට මගේ සාර්ථකත්වයට තුන්දෙනෙක් මුණ මුණ ගැසුණා.පාට කුරුල්ලෝහි මගේ චරිතය සාර්ථක වුණේ ඒ තිදෙනා නිසා. පළමු වැන්නා චාමර සමරවික්‍රම අයියා. ඔහු තමයි මට ආරාධනා කරන්නේ. දෙවැන්නා එහි අධ්‍යක්ෂකවරයා වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඔහු රටම දන්නා දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ලංකාවේ හාස්‍යෝත්පාදක නාට්‍යවල විප්ලවයක් කළ කෙනෙක්. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ නෝනාවරුනි මහත්වරුනි, එතුමා කතුර වැනි ටෙලිනාට්‍ය අපේ රටේ හාස්‍ය නාට්‍ය කලාව වෙනස් කළා.

මනමේ කුමරුට පණදුන් විජය නන්දසිරි මහතාව වෙනස්ම පැත්තකට හරවන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. ඒ ඔහුගේ හාස්‍යෝත්පාදක නාට්‍ය හරහා. එම අධ්‍යක්ෂකවරයා මට හමුවීම නිසා මගේ රංගනයත් පාටකුරුල්ලෝ ඔස්සේ වෙනස් මඟක් ගත්තා. ඔහුගේ ගුරුහරුකම් මට රුකුලක් වුණා ලොකු බ්‍රදර් කියන භූමිකාව ගොඩනඟාගන්න.

මම මුලින්ම සඳහන් කළ තිදෙනා ගෙන් තුන්වැන්නා පාටකුරුල්ලෝහි තිර රචකයා. ඔහු තමයි ලොකු බ්‍රදර් නැමති චරිතය මවන්නේ. ලොකු බ්‍රදර්ගේ නිමැයුම්කරු. ඔහු බුද්ධික සේමසිංහ. ඔහු රහට දෙබස් ලියන කෙනෙක්. ඔහු නළුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ දෙබස් කියවද්දි මට හිනා යනවා. පාට කුරුල්ලෝහි ලොකු බ්‍රදර් සාර්ථක වෙන්නේ එම තිදෙනා නිසා.

වේදිකාව, ටෙලිනාට්‍ය රංගනයේ යෙදුණ මාහට සිනමාවේත් පොඩි අවස්ථාවක් ලැබුණා. මම පාසැල් යන සමයේ. ටෙලිනාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂඅරයෙක් වූ දයාරත්න රටගෙදරගේ නිල්දිය යහන චිත්‍රපටයේ.

ඉදිරියේදී මට සිනමා නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. සන්දේශ් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන අමීගෝ චිත්‍රපටයට මට ආරාධනා ලැබුණා. දක්ෂ රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය අයියා මාව ඒ සඳහා යෝජනා කරල තියෙන්නේ. එවැනි අවස්ථාවක් මට ලබාදීම ගැන මම රොෂාන් අයියාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. අප්‍රේ‍ල් මාසේ රූගත කිරීම් ආරම්භ වෙනවා. මට එහි නිරූපණය කරන්න තියෙන්නේ හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. ඒ පිළිබද මා මේ වෙලාවේ වැඩි විස්තර කියන්නෙ නැහැ. කුතුහලයක් ඉතිරි කිරීම හොඳයි. ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගත හැකිවේවී මගේ චරිතයේ වෙනස.

වේදිකාව, සිනමාව ටෙලි නාට්‍ය අතර ගැවසෙන මම නාට්‍ය සහ රංගකලාව පිළිබද බාහිර කථිකාචාර්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ටවර්හෝල් පදනමේ. කෙතරම් කාර්‍යබහුල වුවත් මා නිරත වෙලා ඉන්නෙත් ඒ විෂයේම නිසා වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. බාහිර කතිකාචාර්‍යවරයෙක් වීම නිසා නාට්‍ය සහ රංගකලාව විෂයය ගැන මම නිතර යාවත්කාලීන වෙනවා. මම ස්ථිර රැකියාව කරන්නේ රත්මලාන ප්‍රාදේශීය කාර්යාලයේ. මගේ කලා කටයුතු කරගෙන යාමට මගේ සහෝදර සේවක සේවිකාවන් මට විශාල සහයෝගයක් ලබා දෙනවා මේ අවසථාවේ ප්‍රාදේශීය ලේකම්තුමිය හිමාලී කරුණාරත්න මහත්මියවත් මතක් කරනවා. රැකියා ස්ථානයේදී සහ මඟතොටේදී මට ලැබෙන ප්‍රතිචාර ගැන නම් නිහතමානීව සතුටු වෙනවා. අපට ලැබෙන ප්‍රතිචාර ක්ෂේත්‍රයේ රැඳී සිටීමට ඉවහල් වෙනවා. මම රංගනයට දැඩි ලෙස ආදරය කරන කෙනෙක්.

රංගනය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. එය පුළුල්ව හැදෑරිය යුතු විෂයයක්. ශාස්ත්‍රීය කටයුත්තක් ලෙස සලකා උගත යුතු විෂයයක්. ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නම් රංගනය පිළිබද මනා පුහුණුවක්, හැදෑරීමක් කළ යුතුමයි. දැනුමින්, පුහුණුවෙන් සන්නද්ධ වුවහොත් රඟපෑම පැත්තේන් පෙරළියක් කළ හැකියි. කලාකරුවෙක් ලෙස වටිනාකමක් ලැබෙන්නේ එවිටයි. රංගන ශිල්පියෙක්ට ඕනෑම චරිතයකට අනුගත විය හැකියි. එය හැමෝටම කළ නොහැකියි. නළුවෙක්ට, නිළියක්ට පමණයි ඒ අවස්ථාව ලැබෙන්නේ.

මම මේ දක්වා ආවේ නිසි දැනුමකින් යුතුව. ඒ ආ ගමන් මඟෙදී මට සවියක් වූ කිහිපදෙනෙක් සිහිපත් කළ යුතුයි .මම යම්කිසි තැනක ඉන්නවා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ මගේ ආච්චිඅම්මාට. පියා ජීවිතයෙන් සමුගැනීම නිසා කුඩා කාලයේදීම පිය සෙනෙහස අහිමි වුණා. ආච්චි අම්මාගෙ රැකවරණ යටතේ මම හැඳීවැඩුණා. මම දැනට ජීවත් වෙන්නේ මාමා සහ පුංචි අම්මා ගාව. මගේ අම්මත් මට උදව් කරනවා. සොයා බලනවා.

මම විවිධ වූ චරිත මවන්න කැමැත්තෙන් සිටින කෙනෙක්. රංගනය තෝරාගැනීම ගැන මම තෘප්තියමත්. වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව මගේ රැකියාව ගැන තෘප්තිමත්. ඒ වගේම ඒ ක්ෂේත්‍රයන්ට මම ආදරෙයි.

මට භාර්‍යාවන් කිහිපදෙනෙක් ඉන්නවා යනුවෙන් මම පවසන්නේ ඒ නිසා. මා ඒ තිදෙනාටම ආදරෙයි. ඒ තිදෙනා වෙනුවෙන් මම උපරිම කැපවෙනවා.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT