Home » මට අභියෝගයක් තියෙන්නෙ මම කරන චරිත

මට අභියෝගයක් තියෙන්නෙ මම කරන චරිත

රංගන ශිල්පිනී එදිරිසිංහ

by Thanushika
December 5, 2024 10:47 am 0 comment

ඇය අපට නිතර හමුවන්නේ ටෙලි තිරයෙනි. සුන්දර රුවක් හිමි ඇය තුළ තවමත් දිස්වන්නේ තාරුණ්‍යයේ සුන්දරත්වයයි. සුදු සළු චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ ඇය ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියකි. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන ඇය කා අතරත් හොඳ හිත දිනා සිටින සුන්දර යුවතියක්. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනි ශාලිකා එදිරිසිංහයි.

මේ දිනවල තිරගතවන හදගැස්ම චිත්‍රපටයේ යශෝදා චරිතයට පණ පොවන්නේ ශාලිකායි. ඒ ගැන කතා කරන්නට ඇය සරසවිය හමුවට පැමිණියාය. සුපුරුදු සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඇය කතාබහට මුල පිරුවාය.

“මම කාලෙකට පස්සේ තමයි සිනමා නිර්මාණයක් තුළින් තිරයට එන්නේ. සරුංගල් චිත්‍රපටයෙන් පස්සේ.”

“කාලෙකින් චිත්‍රපටයක සිටියත් මම දිගටම ටෙලි නාට්‍යවල වැඩ කරනවා.”

“මේ දවස්වල සතුටින් ඉන්නවා හදගැස්ම ෆිල්ම් එක රිලීස් වුණ නිසා.”

“ඉහළ ප්‍රතිචාර ලැබෙනවා බලපු අයගෙන්.”

“මම හදගැස්ම ෆිල්ම් එකේ රඟපාන්නේ යශෝදා කියන චරිතය. බිරිඳකගේ චරිතය. මම ඉතා සතුටින් බාරගත්ත චරිතයක් යශෝදාගේ චරිතය.

බිරිඳක් මුහුණපාන සිද්ධීන් හමුවී ඇය ගෙවන ජීවිතය තමයි මට රඟ දක්වන්න වුණේ. අසීමිත සහෝදර ප්‍රේමය මත තම සැමියාටත්, නෑනාටත් අතරමැදි වන චරිතයක් යශෝදා කියන්නේ. බොහෝ තැන්වල නෑනලා අතර ප්‍රශ්න තියෙනවා. ඒත් චිත්‍රපටයේ මුල අදියරේ ඉතාමත් ආදරයෙන් නෑනලාගේ චරිත ගලාගෙන යනවා.”

“නැඟණියගේ ආදර කතාව හමුවේ අසරණ වෙන තම සැමියා වෙනුවෙන් ඇය කැපවෙන හැටි හරි අපූරුවට අකිල කතාවේ ලියලා තියෙනවා. බිරිඳක් තම පවුලේ ප්‍රශ්න හොඳීන් තේරුම් ගනිමින් තම පවුල රැකගන්නා ආකාරය තමයි මගේ චරිතයෙන් කියවෙන්නේ.”

ශාලිකා අපට නිතර දකින්නට ලැබෙන්නේ ටෙලි තිරයෙන්. එහෙත් ඇය සිනමා තිරයටත් ආගන්තුක නැත කලකට පසු සිනමාවට නැවතත් පා තබන්නට ශාලිකාට අවස්ථාව ලබා දුන් හදගැස්ම චිත්‍රපටයේ තරුණ අධ්‍යක්ෂවරයා වන අකිල සඳකැලුම් ගැන ඇගේ ආදරණීය අදහස් සරසවිය හමුවේ මෙසේ පැවසුවාය.

“ඇත්තටම මම හරි සතුටුයි අකිල ගැන. අකිලව කවුරුත් හඳුනාගත්තේ හිරිපොද වැස්ස චිත්‍රපටයෙන්. එදා ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ ආපු සාර්ථක ගමන් මඟේදී අද ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත්වෙලා තියෙනවා.

ඔහු මඳක් නිහඬව හිටියා. ඒත් අකිල සිනමාව ගැන ටෙලි නාට්‍ය කලාව ගැන අධ්‍යයනය කරන දේ නවත්තලා තිබුණේ නැහැ. ඔහු නිතරම යාවත්කාලීන වන කෙනෙක්. ඒ තුළින් ඔහු අත්දැකීම් සම්භාරයක් ලබාගත් කෙනෙක් අකිල හද ගැස්ම කතාව ලියලා තියෙන්නේත් සත්‍ය කතාවක් ඇසුරෙන්. ඔහුට සිනමාව ගැන විශේෂ දැනුමක් තියෙනවා. නිතර ඒ සම්බන්ධ පොතපත කියවන නිසා අකිල වගේ තරුණයෙක්ගේ ජවය සිනමාවට ලොකු ශක්තියක්. මම මගේ රංගන දායකත්වය හද ගැස්ම සඳහා ලබා දුන්නෙත් ඔහු දක්ෂයෙක් නිසා. අකිල සඳකැලුම් කියන්නේ සිනමාවට අවශ්‍ය චරිතයක්. ඔහුත් සමග වැඩ කරන්නත් ලෙහෙසියි.

සිනමාවට තම කුලුඳුල්් අධ්‍යක්ෂණය රැගෙන පැමිණි අකිල සඳකැලුම් ගැන ශාලිකා පවසද්දී හද ගැස්මේ නවක රංගන ශිල්පිනිය ගැනද තම අදහස ඉදිරිපත් කිරීමට ඇය මැලි නොවූවාය.

නයෝමි නවක රංගන ශිල්පිනියක් වුවත් ඇය ඉතා උනන්දුවෙන් වැඩ කළා. හදගැස්ම සිනමා නිර්මාණය සාර්ථක කර ගන්න ඇයගේ උපරිම දායකත්වය ඇය ලබා දුන්නා. අලුතින් එන හැමෝම සියයට සියයක් සාර්ථක නැහැ. අපි හැමෝම අලුතින් එනකොට එහෙමයි. ඒත් නයෝමි චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන හොඳීන් හිතුවා. ඇගේ චරිතය ගැන ඇය උනන්දු වුණා. කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව ඇයට තිබුණා. නයෝමි පීරිස්ට හොඳ රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට යන්න පුළුවන් සාධක ඇය සතුව තිබෙනවා.

ඉතාමත් නිර්ලෝභීව නවක රංගන ශිල්පිනියක් අගය කිරීම ඉතා වටිනා ගුණාංගයකි. ඒ වටිනා ගුණාංග ශාලිකා එදිරිසිංහ නම් වූ සුරූපී දක්ෂ රංගන ශිල්පිණිය සතුව තිබීම අගය කළ යුතුයි. ඇයගේ සුන්දරත්වය ඇයට ආභරණයකි. කෙතරම් සුන්දර වුවත් ඇය පෙම්වතියගේ චරිතයටම කොටු නොවූ රංගන ශිල්පිනියක්. ටෙලි තිරයේ මෙන්ම සිනමා තිරයේ වැඩිහිටි චරිත සඳහාද ඇය පණ පොවන්නීය.

“මම කැමතියි චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. මගේ වෘත්තීය රංගනය. එහිදී අපට යමක් කළ හැකි චරිත භාර ගැනීම වැදගත්. ලැබෙන පිටපත බලලා ඒ චරිතය මට කළ හැකිනම්, මට ගැළපෙනව නම් විතරයි මම භාර ගන්නේ. මට අනෙකුත් ශිල්පි ශිල්පිනියන් සමග අභියෝගයක් නැහැ. මට අභියෝගයක් තියෙන්නේ මම කරන චරිතය සමඟ පමණයි.

බොහෝ අය මගෙන් අහනවා ඇයි වැඩිහිටි චරිත කරන්නේ කියලා. තරුණද වැඩිහිටිද කියන එක නෙවෙයි ප්‍රශ්නය. අපට ලැබෙන චරිතය තුළින් අපට කොපමණ රංගන පරාසයක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන එක. මම මේ දවස් වල මායාවී කියන ටෙලි නාට්‍යයේ කරන්නේ අම්මගේ චරිතය. හදගැස්ම චිත්‍රපටයේ බිරිඳගේ චරිතය. ඒ හැම රංගනයකින්ම මම කරන්නේ අත්දැකීම් ලබාගන්න එක. මායාවී ටෙලිනාට්‍යයේ අම්මගේ චරිතයටත් මට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

යම්කිසි වැඩකට කතා කළොත් මම මුලින්ම කියන්නේ පිටපත ගැන කියන්න කියලා. කවුරුන් හෝ පිටපත මා ළඟට අරගෙන ඇවිත් එය මට කරන්න බෑ කියලා ඔහුව හෝ ඇයව අපහසුතාවයට පත් කරන්න මම කැමති නැහැ.

හදගැස්ම චිත්‍රපටයේ එන යශෝදා කියන චරිතයත් වැඩිහිටි චරිතයක්. ඒක මම හරි ආසාවෙන් බාරගත්තේ. සැමියා, නෑනන්ඩිය මුහුණපාන ප්‍රශ්න හමුවේ ඒ සියලු දේ දරාගෙන පවුල් ජීවිතය පවත්වාගෙන වෙරදරන කාන්තාවක් යශෝදා කියන්නේ. මම ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා මට විශ්වාසයි.

හදගැස්ම සිනමා නිර්මාණයේ අවසානය සනිටුහන් වන්නේ කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයට. ඒ පිළිබඳවත් ශාලිකා කතා කළේ චිත්‍රපටයේ කතාව නැවතත් සිහිගන්වමිනි. සිනමා ලෝලීන් චිත්‍රපටයක් බලන්න එන්නේ විනෝද වෙලා සතුටින් ගෙදර යන්න. ඒත් අපි ඇත්ත සමාජගත කළ යුතුයි.

“බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සුන්දර අවසානයක් දකින්න. ඒත් අකිල සඳකැලුම් ලියල තියෙන මේ හදගැස්ම සත්‍ය කතාවක්. ඉතින් ඒ විදිහටම අපි සත්‍ය ලෝකයට පෙන්විය යුතුයි. ජීවිතවල තිබෙන ඇත්ත තත්ත්වය බොහෝ අය එළියට පෙන්වන්න අකමැතියි.”

කොතරම් ආදරෙන් හිටියත් එක්තරා සන්ධි ස්ථානයකදී ගොඩක් අය වෙනස් වෙනවා. ඒක ස්වභාවය. ඒක දෙමවුපියන් අතර, දරුවන් අතර, සහෝදර සහෝදරියන් අතර, ඕනෑම කෙනෙක්ට මුහුණ දෙන්නට වෙන දෙයක්.

“එකිනෙකාගේ ගති පැවතුම් තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි වැදගත්.”

“මටත් සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. පිටින් පවුලකට සම්බන්ධ වන අය නිසා අපේ සහෝදරකම් පවා දුරස් වෙන්න පුළුවන්. එතකොට මට දැනෙන හැඟීම් කොයි වගේ වේවිද? අකිලත් මේ කතාව ලියන්න ඇත්තේ එවැනි හැඟීමකින්.”

“හද ගැස්මේ සමාධි නෑනා වුණත් යශෝදා ඇයට සහෝදරියක් වගේ.”

“එය තමයි පවුලක් ඇතුළේ සිදුවිය යුත්තේ.”

“මේ අතරේ තව දෙයක් සිහිපත් කරන්න අවශ්‍යයි.”

“මම මේ දිනවල රංගනයේ යෙදෙන කතරගම ප්‍රේමා කියන වේදිකා නාට්‍යය ගැන.” එහි කතරගම ප්‍රේමා කියන්නෙත් අතිශයින් රූමත් තරුණියක්. ඇගේ කතාව මුළු රටම දැනගත් සිද්ධියක් අතීතයේ. ඇයට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට. ඒක සත්‍ය කතාවක්. ඇගේ දෙමව්පියන් එදා කොතරම් නම් විඳවන්නට ඇතිද? සමාජයට මුහුණ දෙන්නට පවා ඔවුන්ට නොහැකි වන්නට ඇති.

ඒ කතාවෙත් අවසානය ශෝකාන්තයක්. එහිත් ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වනවා.

හදගැස්ම චිත්‍රපටයත් එසේමයි. මෙවැනි ප්‍රශ්න නිසා දුක් විඳීන කාන්තාවන් කොපමණ ඇත්ද? මේ හැම නිර්මාණයකින්ම කියවෙන්නේ සත්‍යය. අන්න ඒ සත්‍යය අපි සමාජගත කළ යුතුයි. මෙවැනි කනගාටුදායක සිද්ධීනුත් අප අතරම තියෙන බවට.

එක හුස්මට ඇගේ අදහස් ප්‍රකාශ කරන විට ඇගේ මුහුණෙහි ද දිස්වූයේ ශෝකී පෙනුමකි. එහෙත් ඇය එය සඟවා සුපුරුදු පරිදි ඇගේ සුන්දර සිනහව නැවතත කැන්දාගෙන ආවාය.

ඇයත් මේ දිනවල හද ගැස්ම චිත්‍රපටයේ අනෙක් ශිල්පීන් මෙන්ම කාර්යබහුලයි. ඒ හද ගැස්ම චිත්‍රපටයේ ප්‍රචාරක සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙනි.

“අපි එක කණ්ඩායමක් වගේ තමයි වැඩ කරන්නේ; හද ගැස්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන්. හද ගැස්ම චිත්‍රපටයේ තිරගත වෙන වේලාවන් දින සහ තිරගත කෙරෙන සිනමා ශාලාවන් සමාජ මාධ්‍ය මඟින් නිතර දැනුම්වත් කෙරෙනවා. අපේ රංගන ශිල්පි ශිල්පිනියන් සිනමා ශාලා වෙත ගිහින් සජීවීව ප්‍රේක්ෂකයින් හමුවී කතා කරනවා.”

“අපේ කණ්ඩායමේ හොඳ සමගියක් තියෙනවා. ඒ ගැන සතුටුයි. පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය මගින් අපිට හොඳ සහයෝගයක් දෙනවා.”

ශාලිකා එදිරිසිංහ කාර්යබහුල රංගන ශිල්පිනියක්. එහෙත් ඇය මේ දිනවල ගත කරන්නේ හද ගැස්ම සමඟින්. ආදරණීය ප්‍රේක්ෂකයින්ට තමාට ආදරය කරන රසිකයන්ට ඇයට කියන්නට යමක් තිබෙන නිසා ඒ ගැනද ශාලිකා සරසවිය පිළිසඳරින් ඔවුන් ඇමතීමට උනන්දු වූවාය.

“අපි අද මේ කලා ක්ෂේත්‍රයේ ඉන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයින් අපට ආදරය කරන රසිකයින් නිසා. ඔවුන් අපේ නිර්මාණ රස විඳීන නිසා අගය කරන නිසා තමයි අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් වුණේ. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ගෙන් රසිකයින්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා හදගැස්ම බලන්න කියලා. මේ වෙනකොටත් හද ගැස්ම සඳහා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ආදරය, කරුණාව, වෛරය, සහෝදරත්වය යන සියල්ල කැටි වූ කතාවක් හද ගැස්ම කියන්නේ. විශේෂයෙන් අපරිමිත සහෝදරත්වය නිසා පවුලක් තුළ ඇතිවන හැල හැපීම්, අර්බුද ගැනද කියවෙන කතාවක්.

ඒ නිසා පවුලේ කාටත් නැරඹිය හැකි චිත්‍රපටයක් තමයි හද ගැස්ම. ළඟම ඇති සිනමා ශාලාවට ගොස් හදගැස්ම චිත්‍රපටය බලන්න කියලා තමයි මම හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ප්‍රතිචාර තමයි අපට වැදගත්

ආදරණීය ලෙස කළ ඉල්ලීමෙන් පසුව ශාලිකා හද ගැස්මට හවුල් වූ තම සහෝදර ශිල්පි ශිල්පිනියන්ගෙන් ලද සහයෝගය අගයමින් අදහස් ප්‍රකාශ කළාය.

“අකිල සඳකැලුම් කියන්නේ මම කවදත් ආදරේ කරපු දක්ෂ රංගන ශිල්පියෙක්. හද ගැස්ම තුළින් ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස දොරට වැඩියා. ඒ ගැන ආඩම්බරයි.

අපි මේ චිත්‍රපටය කරන්න කලින් කොහොමද චරිතවලට අවතීරණය වන්නේ කොහොමද අපේ රංගන හැකියාව එළියට ගන්නේ වැනි දෑ ගැන ගැඹුරින් කතාබහ කළා. අකිලගෙන් ඒ සඳහා හොඳ සහයෝගයක් ලැබුණා. වගේම තමයි අර්ජුන කමලනාත්. වැඩි දර්ශන ප්‍රමාණයක ඔහුත් සමඟ තමයි මට වැඩ කරන්න තිබුණේ. අර්ජුන ගෙනුත් හොඳ සහයක් ලැබුණා මගේ චරිතය හොඳීන් ගොඩනගා ගන්න.

විශේෂයෙන් අපේ කණ්ඩායමට අලුතින් එකතු වූ නවක රංගන ශිල්පිනිය නයෝමි පීරිස්වත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ. හද ගැස්ම චිත්‍රපටයට රංගන දායකත්වය සැපයූ අනෙකුත් සහෝදර රංගන ශිල්පි ශිල්පිනියන්ටද මගේ ආදරය පුද කර සිටිනවා.

දිවා රෑ නොබලා අප්‍රමාණ කැපවීමක් කළ කාර්මික ශිල්පීන්ට විශේෂයෙන් ස්තුති කළ යුතුයි. ඔවුන් හද ගැස්මට ලොකු ශක්තියක්. චිත්‍රපටයක් කරන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ වෙනුවෙන් වටිනා දායකත්වයක් සැපයූ ඉසුරු ෆිල්ම්ස් නිෂ්පාදන කණ්ඩායමේ සාමාජික පිරිස අගය කළ යුතුයි.

ශාලිකා එදිරිසිංහ රංගනයට පිවිසෙන්නේ ඇගේ පාසල් සමයේ සිටයි. අද වන විට ඇය දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. එහෙත් ශාලිකා මේ වනවිට ව්‍යාපාරයක හිමිකාරියක් බව කිව යුතුයි.

ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ සිනමා ක්ෂේත්‍රයේ ඇය ස්ථාවරය ගොඩනගාගෙන අවසන්ය.ඇය ව්‍යාපාරයකටද අත ගසා ඇත. ඇගලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරයක හිමිකාරිය වන්නට තරම් ඇය වාසනාවන්ත වී ඇත. තම රංගන කටයුතු සහ ව්‍යාපාර කටයුතු සමබරව කරගෙන ඇය සැහැල්ලු ජීවිතයක් ගත කරන්නීය.

ඉතාමත් ආකර්ෂණීය අයුරින් සරසවිය හමුවේ කතාබහට එක් වූ ඇයව අප ටෙලි තිරයේ සහ සිනමා තිරයේ ඉදිරියටත් දැකගත හැකිවේවි.

චිත්‍රපට අධ්‍යක්ෂක ලාල් ප්‍රියදේවගේ ‘නුහුරු වෑයම’ ලුවි වැන්ඩස්ට්‍රාටන්ගේ ‘බුද්ධි’ සහ ‘රාක්ෂ’ චිත්‍රපට ශාලිකාගේ රංගනයෙන් හැඩ වූ ඉදිරියට තිරගත වීමට චිත්‍රපට වේ.

එමෙන්ම මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන මායාවී රූගත කිරීම් වලද ඇය නිරත වී සිටි.

හද ගැස්ම චිත්‍රපටයේ යශෝධා ලෙසින් ඔබ හමුවට එන ශාලිකා එදිරිසිංහ පිළිසඳර නිමා කළේ සරසවිය පුවත්පතට ද තම හෘදයාංගම ස්තුතිය පුද කරමිනි.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT