එදා සැප්තැම්බර් 27 වෙනිදා. කඩිමුඩියේ තරංගනියට ගියේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් නිශාන්ත සහෝදරයාගේ ආරාධනාවක් නිසා. ” මෝඩ තරිඳු” චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්ම. එදා වෙනදාටත් වඩා සරසවියේ අපි වේලාවටත් කලින්ම යන්න සූදානම් වුණේ ” මෝඩ තරිඳු” කියන්නේ තරමක වෙනස් චිත්‍රපටයක් කියා ලැබුණු හෝඩුවාවක් නිසා. කාලෙකින් චිත්‍රපටයක් බලන්න තරංගනී ශාලාවට ඇතුළු වූ අපට හොඳම අසුන් පෙළක් ලැබීම ගැන පුංචි සතුටකුත් හිතට ආවා. මාධ්‍ය මිතුරියන් සමඟ ” මෝඩ තරිඳු ” බලන්න සූදානම් වුණේ වෙනදාට චිත්‍රපට බලනවාට වඩා උනන්දුවෙන්. චිත්‍රපටයේ රූප පෙළ තිරයේ දිස්වෙන්න පටන් ගත්ත වෙලාවේම තමයි කාගෙත් හිනාව පටන් ගත්තේ. ඇති තරම් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් බව ඇරඹුමේදීම කාටත් තේරුම් යන්න ඇති. චිත්‍රපටය පටන් ගත්තේ තරිඳු කියන කොල්ලගේ ළමා කාලයෙන්. හරිම අපූරුයි. පුංචි කොල්ලා අගේට වැඩේට මුල පිරුවා. ඒකටම ගැළපෙන තරිඳු කොලුවගේ ගුණවතී ආච්චි. ආච්චිව දැක්කත් හිනා. ඒත් ආච්චි මැරෙන්නේ ගුණවතී ආච්චි තවත් කාලයක් ජීවත් වුණානම් කියන සිතුවිල්ල කාගේත් හිත්වල ඉතුරු කරමින්. ටිකෙන් ටික උස් මහත් වෙච්ච තරිඳු කොලුවා යස තරුණයෙක් වුණා. සුපුරුදු පරිදි කොල්ලා ආදරය කරන්නත් පටන් ගත්තා. ඒත් මේ කොල්ලට තේරුම් ගන්න බැරිවුණා තමන්ගේ ආලවන්තිය තමුන්ව රවටන බව. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ චිත්‍රපටය නරඹලා තමයි ඔබලාට දැන ගන්න වෙන්නේ තිරිඳු කොලුවා කොච්චර මෝඩද කියලා.
කාලෙකට පස්සේ කාටත් මදි නොකියන්න හිනායන චිත්‍රපටයක්. තිසර ඉඹුලානගේ අධ්‍යක්ෂණයක්. “මෝඩ තරිඳු” ට පණ දෙන්නේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී සූර්යා දයාරුවන්. ජයන්ත චන්ද්‍රසිරිගේ ” සමනළ සංධ්වනිය” චිත්‍රපටයෙන් තිරයට හඳුන්වා දුන් හුරුබුහුටි කොල්ලා.
ඒ කොල්ලා දක්ෂයා නිසාම ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්න ඔහුට හැකිවුණා. ඒත් තරිඳු වගේ මෝඩ කොල්ලෙක් නෙවෙයි සූර්යා දයාරුවන් කියන්නේ. “මෝඩ තරිඳු” චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර සමඟ සතුටින් ඉන්න වෙලාවේ ඒ සතුට සරසවිය සමඟත් බෙදා ගන්න සූර්යා අමතක කළේ නැහැ. ඔහු සුපුරුදු සිනාවෙන් කතාව පටන් ගත්තේ මෝඩ තරිඳු චිත්‍රපටයේ සාර්ථකව තිරගත වීමේ සතුටත් සමඟයි.
මෝඩ තරිඳු චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගෙන තාම සතියක් වගේ කාලයක් ගතවෙලා තිබෙන්නේ. ඇත්තටම හිතා ගන්න බැරි විදිහට ප්‍රතිචාර ලැබෙනවා. මංගල දර්ශනය දවසේ හෝල් එක ක්ෂේත්‍රයේ අයගෙන්ම පිරී තිබෙනවා දැක්කහම හිතට දැනුණේ පුදුමාකාර සතුටක්. ඒ දැනෙන සතුට වචනයකට පෙරලන්න අමාරුයි. එතරම් සතුටක් දැනුණා මට.
මෝඩ තරිඳු චිත්‍රපටයට මට ආරාධනා කළේ මෙහි අධ්‍යක්ෂවරයා වන තිසර ඉඹුලානගෙන්. ඔහුව මම දැන හඳුනන්නේ කලක පටන්. මම ගායනා කළ කුලුඳුල් ගීතය වන ‘ මගේ නේ’ ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණය වුණේ තිසර ඉඹුලාන අතින්. ඉන්පසු ඔහුත් සමඟ කිහිපවතාවක්ම සංගීත කටයුතු කළා. මගේ තවත් ගීතයක් වූ ශෙහාන් ගලහිටියාව ලියූ ‘ මනසාරි’ කියන ගීතයේත් වීඩියෝව නිර්මාණය කළේ ඔහුයි. ඒ අවස්ථාවේ ඔහුට දැනිලා තියෙනවා මෝඩ තරිඳු චරිතයට මාවම තමයි ගැළපෙන්නේ කියලා. ඒ වනවිටත් තරිඳු චරිතයට රංගන ශිල්පියෙක් ගැන සොයමින් සිටින අවස්ථාවේ තිසර ඉඹුලානගේ ඇසට මාව හසු වෙලා තිබෙන්නේ. ඒ නිසා තරිඳු චරිතයට මාව ගැලපෙන බව දැනෙන්න ඇති. ඔහු මට චරිතය ගැන පැහැදිලි කළා. පිටපත මගේ අතට ලැබුණා. මම ඒක කියෙව්වා. ආස හිතුණා. කළා. එහෙත් පිටපතේ මේ චරිතය ගැන සඳහන් වෙලා තිබුණ ආකාරයට මම කල්පනා කළා කොහොමද මේ චරිතය මම නිරූපණය කරන්නේ කියලා. මට රඟපාන්න තිබුණේ මරණයෙන් පසුව සැරිසරන චරිතයක්. ඇහිපිල්ලමක් ගහන්න බැහැ. හෙවණැල්ලක් වැටෙන්න බැහැ. චරිතය සරලයි වගේ පෙනුනට රංගනය බැරෑරුම්. එහෙත් එය තාත්විකව රඟපාන්න මට පුළුවන් වුණා. මම ඇඳ සිටි ඇඳුම වගේම තවත් ඇඳුම් කට්ටල පහක් හයක් වගේ සූදානම් කර තිබුණා. එක් දර්ශනයකදී ඇඳුමට කුමන හෝ වෙනසක් වේ යැයි සිතලා. ඒ රඟපෑම අසීරුයි. ගහක කොළයක්වත් නෙසෙල්වෙන තරමට සීරුවෙන් අපි රඟපෑවා. ඇත්තටම මරණයෙන් පසු අත්දැකීමත් මට විඳීන්න හැකියාව ලැබුණා මෝඩ තරිඳු නිසා. මම මින්පෙර හොල්මන් චරිත රඟපාල නැහැ.
මගේ ආච්චි ලෙසින් රඟපෑ කෞශල්‍යා ප්‍රනාන්දු අක්කා ගැන කතාකළ යුතුමයි. මෙම චිත්‍රපටයේ වැඩිපුර වැඩ කළේ තරුණ පිරිස. ඒ සෑම දෙනෙක්ම වැඩ කළේ පුදුමාකාර ජවයකින්. ඒ අතර කෞශල්‍යා අක්කා අපට වඩා වයසින් වැඩියි. ඒත් ඇය අපට දෙවෙනි වුණේ නැහැ. ඇයත් අපි වගේම ක්‍රියාශීලීව හොඳ ජවයකින් වැඩ කළා. කෞශල්‍යා අක්කා මේ නිර්මාණය වෙනුවෙන් කළ කැප කිරීම, උනන්දුව අගය කළ යුතුමයි.
මෝඩ තරිඳු කියන්නේ හාස්‍ය රසයෙන් යුතු චිත්‍රපටයක්. රූගත කරන අවස්ථාවේ එක් කෙනෙක් හෝ හිනා වුණොත් අපි ඔක්කොටම හිනා යනවා. එහෙත් ඇක්ෂන් කියන විටම අපි හැමෝම අපේ චරිතවලට අනුගත වුණා. කට් කියපු ගමන් අපි හිනාවෙනවා. ඉතා සුන්දර කාලයක් අපි ගතකළා. අවිස්සාවේල්ල ප්‍රදේශය අවට ස්ථාන වල රූගත කිරීම් සිදුකළා. අපිට දැනුණේ අපි ට්‍රිප් එකක් ගියා වගේ.
තිසර ඉඹුලාන කියන අපේ හිතවත් අධ්‍යක්ෂවරයා ගැන සටහනක් තැබීම මගේ යුතුකමක්. ඔහු සිනමාව පිළිබඳ හොඳීන් අධ්‍යයනය කළ තැනැත්තෙක්. ඔහු ලංකාවෙන් පිටතට ගොස් සිනමාකරණය හදාරා උපාධියක් පවා ලබාගත් සිනමා අධ්‍යක්ෂවරයෙක්. ඔහු සිනමාව පිළිබඳ දැනුමින් පෝෂණය වී ඒ සම්බන්ධව දැනගෙන ගමනක් යන නිර්මාණකරුවෙක්. ඒ වගේම හිත හොඳ සුන්දර මනුස්සයෙක්.
බොහෝ අයට ගැටලුවක් වෙලා තිබෙන්නේ ” මෝඩ තරිඳු ” කියන නම ගැන. එය විශේෂ පුද්ගලයෙකු ඉලක්ක කර දැමූ නමක් නෙවෙයි. පසුගිය කාලයේ තුළ සමාජයේ නිතර කියැවුණු නමක් ” මෝඩ තරිඳු” . ඒ නිසා වන්නට ඇති මෙම චිත්‍රපටයටත් “මෝඩ තරිඳු” නම භාවිතා කළේ.
මෙම චිත්‍රපටය භාස්‍ය උපද්දවන නිර්මාණයක් වුවත් සමාජයට පණිවිඩයක් දෙනවා. ඒ තමයි පව් කිරීමට බියවීම. අපි මේ ආත්මයේ කරන කුසල් අකුසල් අනුව තමයි අපිට ඊළඟ ආත්මයේ යහපත් හෝ අයහපත් ආත්මයක් ලැබෙන්නේ. ජීවත්ව සිටියදී වචනයකින් හෝ කිසිවෙකුට වරදක් කරන්න හොඳ නැහැ. අපි ජීවත් වෙලා ඉන්න ටික කාලේ යහපත්ව ගත කක විට ලබන ආත්මය ගැන බියක් දැනෙන්නේ නැහැ. මෝඩ තරිඳු නරඹන විට නම් ජීවත් වෙන්නත් බයයි, මැරෙන්නත් බයයි වගේ හැඟීමක් හිතට එනවා.
ඒ වගේම තමයි ආදරය ඉදිරියේ අවංකභාවය තිබිය යුතුයි කියන පණිවිඩියත් “මෝඩ තරිඳු” හරහා සමාජගත වෙනවා.
මෝඩ තරිඳු චරිතය මට මෙතෙක් ලැබුණ වෙනස්ම චරිතයක්. මේ මගේ දොළොස් වන චිත්‍රපටය. මට සිනමාවේ ලැබුණේ එකිනෙකට වෙනස් වූ චරිත. හාස්‍ය මුසු චරිතයක් පළමු වරට රඟපෑවේ මෝඩ තරිඳු චිත්‍රපටයේ.
රංගන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ එකම ආශාව දක්ෂ, නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකුගේ යටතේ රඟපාන්න. මට ඒ අවස්ථාව ලැබුණේ මගේ වාසනාවත් සමඟ. මගේ මංගල චිත්‍රපටය ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාගේ සමනළ සංධ්වනිය. අද මම මෙතන ඉන්නේ එදා ඔහු මට ලබා දුන් වටිනා අවස්ථාව නිසා. මම සිනමාව ගැන, රංගනය ගැන අත්දැකීම් ලබා ගත්තේ ඔහුගෙන්. අපිට රංගනය හදාරන්න ලංකාවේ ඇකඩමි තිබෙන්නේ කිහිපයයි. සමනළ සංධ්වනියෙන් පසුව මම ටෙලි නාට්‍ය පැත්තට යොමු වුණා. මේ වනවිට ටෙලිනාට්‍ය පනස් එකක මම චරිත නිරූපණය කර තිබෙනවා. මට ලැබුණ චරිත ඔස්සේ මම රංගනය පිළිබඳ අත්දැකීම් ලබා ගත්තා. නිතර නිතර සිනමාවේ අවස්ථා ලැබුණා නම් මට සිනමා නළුවෙක් ලෙස ස්ථාවර වන්න තිබුණා. මේ වනවිට මම රංගන ශිල්පියෙකු, ගායකයෙකු, නිවේදකයෙකු වගේම මෝස්තර නිරූපණ ශිල්පියෙකු වශයෙන් කටයුතු කරනවා. මම අවස්ථා කිහිපයකදීම සම්මානනීය වූ රංගන ශිල්පියෙක්. සම්මානයක් කියන්නේ ඔහුට හෝ ඇයට කලා ජීවිතයේ ලැබෙන ශක්තියක්. රයිගම් සම්මාන උලෙළේදී හොඳම ගායකයා ලෙස නිර්දේශ වුණා. ඉදිරියට පැවැත්වෙන සිග්නීස් සම්මාන උලෙළේ හොඳම ගායකයා ලෙස නිර්දේශ වී තිබෙනවා.
2025 වසර සිංහල සිනමාවේ පිබිදීමක් ඇති කළ වසරක්. ආසාවෙන් නරඹන්න පුළුවන් එකිනෙකට වෙනස් වූ චිත්‍රපට තිරගත වුණා. සිනමාවට පා තැබීමට බලාපොරොත්තුවෙන් සිටින නවක සිනමාකරුවන්ට කිසිදු චකිතයකින් තොරව එම බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමට දැන් වාතාවරණය සැකසෙමින් පවතිනවා. එය සිංහල සිනමාවේ දියුණුව කියාපෑමක්.
මම රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපට කිහිපයක් වන ඕචජඬ බධ ඡ්තඥනඩචදබ ධ්ඵතචදඤ, තානාපතිලාගේ ගෙදර, සාක්ෂි ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. මා මෙතෙක් දුර ගමනක් ආවේ මගේ මව්පියන්ගේන් මට ලැබුණු ශක්තිය සහ ආශීර්වාදය නිසා. මේ අවස්ථාවේ මා ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ තාත්තා. ඔහු මේ වන විට වයස අවුරුදු හැත්තෑ හතරක්. සාමාජිකයන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ බාල පුතා මම. සැප දුක අතරේ දෝළනය වූ අපේ ජීවිතවලට ශක්තියක් වුණේ අපේ මව්පියන්. මගේ ගම මාතලේ. මගේ තාත්තාත් කලාකරුවෙක්. කලාවට ඔහු ප්‍රිය කළ නිසා අද ඔහු මා ගැන ආඩම්බර වෙනවා.
මෝඩ තරිඳු නිසා නැවතත් මගේ නම කරළියට පැමිණියා. මට ලැබෙන චරිතයට මම උපරිම අයුරින් සාධාරණයක් ඉෂ්ට කළොත් ප්‍රේක්ෂකයා කතා කරන්නේ ඒ චරිතය ගැන. සිනමාවේ ටෙලි කලාවේ මතක සිටින චරිත වලින් ඉදිරියේදී තවත් සාර්ථක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
අවසාන වශයෙන් මෝඩ තරිඳු සමඟ සතුටුන් සිටින මේ මොහොතේ තරිඳුගේ පමණක් නෙවෙයි මෝඩ තරිඳු වටා සිටි සියලුම දෙනාගේ සියලු අපල දුරු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. එය එසේම වේවා යැයි සිතාගෙන ආදරණීය ඔබත් ඉක්මනින්ම ගිහින් මෝඩ තරිඳු ව බලන්න.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය
