අහම්බෙන් ලැබුණු මේ චිත්‍රපටය නිසා මගේ ජිවිතේ බොහෝ දේවල් වෙනස් වුණා. චිත්‍රපටය රගපාන අතුරතුරත් මගේ හිතේ හැම මොහොතෙම වැඩ කළේ විභාගේ ගැන. මම කොහොම හරි විභාගේ පාස් වෙන්න ඕන කියන තැන නිරන්තරයෙන්ම මම හිටියා. මොකද මගේ තාත්තගේ එකම හීනය වුණේ මම හොඳට ඉගෙන ගන්නවා දැකීම . මේ සිතුවිලි මැදින් තමයි මම කාංචනා රගපාන්න ගියේ.
කාංචනා කණ්ඩායම මට මගේ පවුලේ උදවිය වගේ වුණා. පැපිලියානේ පැත්තෙ ගෙදරක මට ෂූටිං තිබුණා. චිත්‍රපටයේත් මගේ අම්මා විදියට රගපෑවේ මගේ අම්මාමයි. මගේ නංගි විදියට රඟපැවේ විද්‍යා නංගියි. ඒ නිසා මට මේ දර්ශන තලය ඒ තරම් අපහසුතාවයක් දැනුණේ නෑ.
සිනමාවේ මගේ පළවෙනි පෙම්වතා වුණේ විජය කුමාරතුංග. චිත්‍රපටයේ අතරමැදදි මට අමරසිරි කලංසුරියත් පෙම් කරන්න ගන්නවා. මේ චිත්‍රපටයේ ගීත රූගත කරන්න අපි ගියේ නාවලපිටියට. අම්මයි නංගිත් හිටිය නිසා මට අලුත් දෙයක් දැනුණේ නෑ. අම්මා සිනමාවේ බහුතරයක් දෙනා හඳුනාගෙන සිටිය නිසා ඒක මටත් පහසුවක් වුණා. මාව මේක් අප් කරන මොහොතෙදීත් අම්මා ළඟ ඉඳගෙන ‘වැඩිය ගාන්න එපා’ වැනි උපදෙස් දුන්නා මට මතකයි. මම කොහොමත් මේ චිත්‍රපටය පුරාම පළකළේ ආධුනික ලක්ෂණ. අඩුම තරමින් මේක් අප් එකක් දාගෙන පැය දෙක තුනක් වත් ඉඳලා තිබුණේ නෑ. ලිප්ස්ටික් ගෑවට තියා ගන්නේ නෑ.
නමුත් චිත්‍රපටයේ අධ්යක්ෂවරයාට ඕන කරලා තිබුණේ මේ වගේ ආධුනික නිළියක් තමයි. ඒ නිසා මගේ ස්වභාවික හැසිරීම චිත්‍රපටයට හොඳීන් ගැළපිලා තිබුණා.
චිත්‍රපටයේ ගීත රූගත කිරීමට නාවලපිටියට අපි එක්කොම ගියේ එකම බස් එකක. මට තාම මතකයි මම ඉඳගෙන ගියේ විජය කුමාරතුංගයන් ලඟ. ඔහු මගේ ළඟ වාඩිවෙලා යන ගමන් මට මෙහෙම කිව්වා
‘‘ මට ඔයාව දැක්කම නීටාව මතක් වෙනවා. ‘‘
මම දන්නේ නෑ ඇයි එහෙම විජය අයියා කිව්වේ කියලා. සමහර විට ඒ කාලේ මගේ මූණේ නීටා අක්කාගේ ෆීචර්ස් තිබුණද දන්නේ නෑ. කොහොම වුණත් පළවෙනි චිත්‍රපටයේ දර්ශන ගත කිරිම් එක ටේක් එකෙන් දෙකෙන් නම් කර ගන්න බැරි වුණා. අනිත් පැත්තෙන් දෙබස් කියනවිට මම කතා කරන්න පුරුදු වෙලා හිටියේ හරිම හෙමින්. අපි ගෙදරදි, පාසලේදී, බෝඩිමේදි කවදාවත් හයියෙන් කතා කරන්නේ නෑ. පස්සේ කාලෙක මට මතකයි මගේ ජීවිතේට එල්ලවුණු විවිධ පීඩාකාරි ප්‍රශ්න නිසා මම මහා හයියෙන් කතා කරන්න පටන් ගත්තා. ‘මොකද සුදු ඔයාට වෙලා තියෙන්නේ?
ඉස්සර නම් ඔයා ඔහොම හයියෙන් කතා කරන්නේ නෑ’ කියලා අම්මත් කියන්න ගත්තා.
නමුත් කාංචනා චිත්‍රපටයේ වැඩ කරන කාලේ එහෙම පීඩන තිබුණේ නෑ. හරි සුන්දරයි. අම්මයි නංගියි දෙන්නත් ළඟ ඉන්නවා. චිත්‍රපටයට ඕන කරන ඇඳුම් පවා අම්මා ලෑස්ති කරලා දෙනවා. අනිත් පැත්තෙන් චිත්‍රපටයේ අධ්යක්ෂවරයාත් අපේ පවුලේ සමීපතමයෙක්. අම්මා චිත්‍රපට ක්ෂේත්රයේ ඉහළට ගිය කෙනෙක් වුණත්, ක්ෂේත්රයේ අය දැන හඳුනා ගන්න හෝ, සිනමාව ගැන දැන හඳුනා ගන්න හෝ වැඩි ඉඩක් මට ලැබෙන්නේ නෑ. ඒකට මුලික හේතුව මම පුංචි කාලේ ඉඳලම අම්මත් එක්ක ජීවත් වෙන්න ඉඩක් ලැබුණේ නැතිකම. මගේ ජීවිතේ මම කවදාවත් අම්මටයි, තාත්තටයි එකට වැඳලා පාසලකට යන්න අවස්ථාව ලැබිලා නෑ. අම්ම ළඟ ඉදලා නිවාඩු ඉවර වෙලා යනවිට අම්මට වැඳලා යනවා. තාත්තා ළඟ ඉදලා ඉස්කෝලෙ යනකොට තාත්තට වැඳලා යනවා.
කාංචනා චිත්‍රපටයේ රගපානකොට විජය කුමාරතුංග වුණත් මට ආධුනිකයි. ඔහු ළඟින් බස් එකේ වාඩිවෙලා ගියාට වැඩිය කතා කරන්නේ නෑ. අහපු දේකට උත්තර දෙනවා විනා. නමුත් මට මතකයි මම කාංචනා චිත්‍රපටයේ විජය අයියගේ පෙම්වතිය විදියට රගපාන කාලෙම , විජය අයියා සුනිල් ආරියරත්නගේ ‘ පොඩිමල්ලි’ චිත්‍රපටයේ අපේ අම්මගේ පෙම්වතා විදියටත් රඟපෑවා. ඒ කියන්නේ අම්මටයි දුවටයි දෙන්නටම පෙම්වතා විමේ පෙනුමක් මේ අසහාය නළු පෞරුෂයට තිබුණා.
නාවලපිටියේදි මුලින්ම දර්ශනගත කරන්න තිබුණේ විජය අයියගේයි මගෙයි ගීතයක්. අපි ගිහින් නැවතුණේ ලොකු බංගලාවක මම කොයි තරම් බය වෙලාද කියනවා නම් මට රෑට නින්ද ගියෙත් නෑ. ජිවිතේ කිසි දවසක ගීතයක් රූ ගත කරනවා දැකලා තිබුණේ නෑ.
පුංචි කාලේ අම්මා රඟපාපු චිත්‍රපටයක් බලන්න තාත්තා අපිව එක්කන් ගියා මතකයි. ඒ ‘ සඳ නැග එද්දි‘ චිත්‍රපටය. ඒකේ අම්මට ගහන දර්ශනයක් තිබුණා. ඒක දැක්ක ගමන් මමයි නංගියි දෙන්නා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. අම්මට ගහනවා කියලා. තාත්තා අපි දෙන්නවත් අරගෙන ගෙදර ආවා. එහෙම අත්දැකීම් මිසක් චිත්‍රපට ගැන වෙනත් අත්දැකීම් තිබුණේ නෑ.
මම රඟපාපු පළවෙනි ගීතයට ගීත ගායනා කළේ වික්ටර් රත්නායක මහත්මා සමඟ සුජාතා අත්තනායක මහත්මිය. ගීත ජවනිකා වලදි අධ්යක්ෂවරයා කියනවා විජය දිහා ආදරෙන් බලන්න කියලා. ඇත්තටම කිවුවොත් එහෙම ආදර හැඟීමක් ආරූඪ කරගෙන විජය දිහා බලන්නවත් මම දැනගෙන හිටියේ නෑ. මේ කාලය වනවිටත් මට මගේ පෞද්ගලික ජිවිතයට එහෙම ප්‍රේමනීය සිතුවිලි පහල වෙලා තිබුණේ නෑ. පාසලින් ගෙදරට ගෙදරින් පාසලට ගියාට ප්‍රේමනීය සිතුවිලි ඇතිවෙන්න හෝ ප්‍රේමවන්තයෙක් ඇතිවෙන්න තරම් වට පිටාවත් ඇතිවෙලා තිබුණේ නෑ.
මට මතකයි මම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ පිරිමි ළමයෙක් මා ගැන උනන්දුවෙන් හිටියා. නමුත් මට ඒ ගැන කිසිඋනන්දුවක් ඒ කාලේ තිබුණේ නෑ. ඊට පස්සේ මම මහාමායාවේ ඉගෙන ගන්න කාලේ පිරිමි ළමයෙක් මට ලියුමක් දීලා තිබුණා. ඒත් ඒ ලියුමට උත්තර ලියුවේ මම නොවෙයි මගේ යාළුවෝ. ඒ නිසා ගැඹුරු ප්‍රේමනීය සබඳතා මට පාසල් වියේදි ඇති වෙලා තිබුණේ නෑ. ඒ හින්දම පිරිමියෙක් දිහා ආදරෙන් බලන්නේ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නෑ.
ලබන සතියේ
පළමු පෙම් සිතුවිල්ල කාංචනා දර්ශන තලයේදී