මොනයම් හෝ කලා නිර්මාණයක් තැනීමේදී වේශ නිරූපණ ශිල්පියාට ලැබෙනුයේ සුවිශේෂි කාර්ය භාරයකි. පිටපත් රචනය තුළ ගොඩනැඟෙන චරිත ස්වභාවය. රංග ශිල්පීයා හෝ ශිල්පිනිය තුළ ප්‍රතිනිර්මාණයේදී. වේශ නිරූපණය අතිශයින්ම වැදගත් වන සාධකයකි. වේශ නිරූපණ ශිල්පියෙකුගේ කාර්ය භාරය හරි හැටි නොවන්නට මොනයම් හෝ කලා නිර්මාණයක තාත්වික රූප රාමුවක් කිසිසේත්ම ගැනීමට නොහැකි වනු නොවනු මානය. මේ ශිල්පීය දක්ෂතාවයේ නිරතවූවන් කොතෙකුත් සිටිය ද ඒ හා සම්බන්ධ ප්රවීණත්වයක් උසුලන්නන් ඇත්තේ අතළොස්සක් පමණි. එවන්වූ අතළොස්සක් අතර වූ වේශ නිරූපණයේ ප්‍රවීණයකු වූ ඉන්දික උදාර ලංකා හා කෙරෙන සංවාදාත්මක කතා ප්රවේශයකට අපි මෙලෙස මුල පුරමු.
මේ වසර ඉන්දික උදාරට සුබ වසරක් කියල ක්ෂේත්රයේ කතාබහක් තියනවා නොවේද?
ඒකට හේතුවකුත් තියනවා. මම වේශ නිරූපණය කළ චිත්‍රපට බොහොමයක් මේ වසරේ ඉදිරියේදී තිරගත වෙන්නත් තියනවා. මේ දවස්වල සිනමා නිර්මාණ කීපයක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගත වෙමිනුත් තියනවා.
මොනවද මේ දවස්වල තිරගත වන ඔබගේ දායකත්වයෙන් තැනුණු සිනමා නිර්මාණ?
ජයන්ත චන්ද්‍රසිරිගේ දේවි කුසුමාසන. තේජා ඉද්දමල්ගොඩගේ ක්ලැරන්ස් The Rhythm of the Guiter
ඉදිරියේදී තිරගත වෙන්න තියෙන්නේ ඔබේ දායකත්වයෙන් තැනුණු කුමන නිර්මාණද?
පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ සූරිය සුළඟ, සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ රූම් නම්බර් 106, සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ “සටප්” ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “ද හිටන් සිටි”, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ “පාද යාත්‍රා” ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි.
මේ දවස්වල අලුත් වැඩකටත් අතගැසුව කියල ආරංචියි
මෙරට ප්‍රවීණ ජ්යෝතිර්වේදීයෙක් නිෂ්පාදනය කරන ඉන්දීය අධ්යක්ෂවරයකු වූ ආරුමූගම් ගේ සිනමා නිර්මාණයක් ලෙසින් තැනෙන ‘අග්නිජය’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා මේ දවස්වල සූදානම් වෙමින් ඉන්නවා.
ඔබේ වේශ නිරූපණ කලාව සිනමාවට පමණක් සීමා වෙලාද?
නෑ කොහෙත්ම නෑ. මම ටෙලි නාට්‍යවලත් වේශ නිරූපණය කරල තියනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ නන්නන්තාර, මහේන්ද්‍ර පෙරේරාගේ ස්ටාර් ශ්‍රී ලංකා හිස්තැනක් ආදී නිර්මාණකරුවන්ගේ ටෙලි නාට්‍ය වලත් වැඩකරල තියනවා. වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයක වේශ නිරූපණ කටයුතු මම කරල තියනවා. ඊට අමතරව මගේම කියල රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. අයි ඇන් අයි නමින්. මම පෞද්ගලිකව ගොඩක් කැමැතියි. සිනමා නිර්මාණ වෙනුවෙන් මගේ දායකත්වය එක්කරලන්න. ඒ තුළින් මම ගොඩක් තෘප්තිමත් බවක් ලබනවා.
මේ වෙන කොට ඔබ කොපමණ කාලයක් වෙනවද මේ වේශ නිරූපණ කලාව තුළ රැඳෙමින් ඉන්න?
මුලින්ම මගේ නම සිනමා තිරයේ දිග හැරෙන්නේ 1997වසරේ පටන් ඒ උදයකාන්ත වර්ණසූුරියගේ “රන්දිය දහර” චිත්‍රපටයත් සමඟ. ඒ චිත්‍රපටයේ කොණ්ඩ මෝස්තර ශිල්පියා ලෙස තමයි මම අංග රචනා ශිල්පියෙක් ලෙස සිනමා තිරයට එන්නේ.
අද ඔබ ඉන්දික උදාර ලෙස ක්ෂේත්රයේ ප්‍රසිද්ධියක් ලැබුවත් ඔබගේ නම මුලින්ම සිනමා තිරයේ දිග හැරෙන්නේ ඉන්දික උදාර ලංකා කියල?
ඔව්. මගේ නම එහෙම වුණාට පස්සෙ මට හිතුණා. නම කෙටි වුණොත් හොඳයි කියල. එක පාර කියවෙන නිසාවෙන් මම ලංකා කෑල්ල උප්පැන්න සහතිකයේ තියලා සිනමා තිරයේ වගේම ක්ෂේත්රය තුළ ඉන්දික උදාර වුණා.
මේකප් කලාව තුළ දිගු අත්දැකීම් සම්භාරයක් සමඟ තමයි ඔබ නමක් දිනාගන්නේ?
මගේ මේ ගමනේ මුල්ම ගුරුවරයා සරත් රණවීර මහතා. මම ඔහුගේ සහායකයෙක් ලෙස දීර්ඝ කාලයක් වැඩකළා. කොණ්ඩා සැකසීම තමයි මගේ මේ ගමනේ ආරම්භය. ඒ ආරම්භය තුළ මම මේ ක්ෂේත්රයේ බොහෝ දේ කැපවීමෙන් ඉගෙන ගත්තා. අංග රචනා කලාවේ ප්‍රවීණයන් වූ සෑම් පෙරේරා, රංජීත් වික්‍රමසිංහ මහත්වරුන් යටතේත් මම මේ ශිල්පය ප්‍රගුණ කළා. මම තනියෙන් යමක් කරන්න කලින් අවුරුදු හතක් විවිධ අය ළඟ සහායක ලෙසින් වැඩ කළා. ඒ කාලය තුළ ලබපු පුුහුණුව අද මගේ ගමනට ලොකු ආශිර්වාදයක් වුණා.
කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් ලෙසින් රන්දිය දහර සිනමා පටයට එකතුවෙන ඔබ අංග රචනා ශිල්පියෙක් බවට පුර්ණ වශයෙන් පත්වන ඒ අතීතය සිහිපත් කළොත්?
චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ “අංජලිකා” චිත්‍රපටයෙන් තමයි මට ඒ භාග්‍ය උදාවෙන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන අංග රචනා ශිල්පියා වුණේ ජේ. සුරනිමල මම මෙහි කොණ්ඩා සැකසුම් ශිල්පියා වුණා. මේ චිත්‍රපටයේ රූපගත කිරීම් වගයක් තිබුණා මැලේසියාවේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණේ පූජා උමාශංකර් ඇයගේ පළමු සිනමා නිර්මාණය වුණේත් අංජලිකා. කොහොම හරි මෙහි ප්‍රධාන අංගරචනා ශිල්පී ජේ. සුරනිමල මැලේසියාවේදී අසනීප වුණා. රූපගත කිරීම් අනිවාර්යෙන්ම කළ යුතු නිසා ඔහුගේ අඩුව පුරවන්න මට භාර වුණා. මට මුලින්ම ඒ චිත්‍රපටයේ මේකප් කරන්න ලැබුණේ පූජාව. මම ඇයට දාපු මේකප් එකට ඇයත් බොහෝසේ කැමැති වුණා. අධ්යක්ෂවරයාගේ වගේම කැමරා ශිල්පියාගෙනුත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. කොහොමහරි චිත්‍රපටයේ වැඩ අහවර වෙනකන් මගේ අතින් ඉතිරි අංගරචනා වැඩකටයුතු ඉටුවුණා. ඊට පස්සේ දිගින් දිගටම මට ආරාධනා ලැබුණා. අංග රචනා ශිල්පියා ලෙස එක් එක් අයගේ නිර්මාණ වෙනුවෙන් දායක වෙන්න.
මේ වෙනකොට කොපමණ කාලයක් වෙනවාද ඔබ අංග රචනයේ නියැළෙන?
අවුරුදු විසි අටක් විතර සිනමාව තුළ පමණක් මම කටයුතු කරනවා. වසර හතක්ම මම සහාය අංග රචනා ශිල්පියෙක් ලෙස වැඩ කළා. මේ කාලය තුළ මම අංග රචනයෙන් චිත්‍රපට විතරක් 46ක් කරල තියනවා.
වාණිජ සිනමාව සේම කලාත්මක සිනමාව තුළත් ඔබේ දායකත්වය එක්සේ දකින්න පුළුවන්?
මගේ නිර්මාණ දායකත්වය ඇතුළේ කලාත්මක ද වාණිජ ද කියල බෙදීමක් නෑ. මගේ වෘත්තීය මම අවංකව කරනවා. වැඩි වශයෙන් මගේ දායකත්වය සිනමාකරුවන් චිත්‍රපට නිෂ්පාදකයන් අරන් තියෙන්නේ වානිජ දහරාවේ සිනමා නිර්මාණ වෙනුවෙන්.
ආසයි මං පියාඹන්න, රෝස කැලේ, සුවඳ දැනුණා ජිවිතේ, පායා එන්න හිරුසේ, මිනෝ ලයිව්, සුපර් වික්ස්, ප්‍රවේගය, ඝරසර්ප, වස්සානය සඳ, දුවන මුවන්, උදුම්බරා, මිදුණු විශ්වය, දේවි කුසුමාසන, ක්ලැරන්ස් ආදී චිත්‍රපට රාශියක් වෙනුවෙන් මම මගේ දක්ෂතාවය එක් කරල තියනවා.
ඉන්දික පුංචි කාලයේ පටන් සිහින දුටු වෘත්තියක් ද මේ අංග රචනා ශිල්පය?
නෑ. කොහෙත්ම නෑ. මගේ පවුලේ කවුරුවත් මේ කලාවට කොහෙත්ම සම්බන්ධ වීමක් නෑ. මම දිවුලපිටිය මරදගහමුල ගම්පියසේ හැදි වැඩුණු ගමේ කොල්ලෙක්. ගිරිඋල්ල වික්‍රමශීලා මහා විද්‍යාලයේ සිප් සතර හැදෑරූ සාමාන්‍ය පවුලක කෙනෙක්. මම කවදාවත් හීන මැවුවේ නෑ කොළඹ එන්න. කොළඹ පදිංචි වෙන්න ඒත් දෛයිව ඒ හැමදෙයක්ම වෙනස් කළා. මට ඥාති වන මාමා කෙනෙක් හිටියා ගාමිණී කියලා ඒ මාමාගේ මස්සිනා තමයි සරත් රණවීර මහත්තයා. ඒ සබඳතාවය තමයි මාව සරත් රණවීර මහත්තයාට මුණ ගස්වන්නේ. ඒ මුණ ගැසීම මාව වෙනස්ම කලාවකට රැගෙන එනවා මම කොළඹ එනකොට මගේ ඇඳුම් බෑග් එක තියාගන්න මට තැනක් තිබුණේ නෑ. කවුරුහරි හිතවත් කෙනෙකුගේ ගෙදරක තියල තමයි. වැඩ වලට ගියේ හුඟාක් දුක් මහන්සියෙන් ලොකු කැපකිරීමක් කරල ආපු ගමනක් මට තියෙන්නේ.
අදවෙනකොට ඉන්දික උදාර කියන වේශ නිරූපණ ශිල්පියා සිනමාකරුවන් හොයාගෙන යනවද? සිනමාකරුවෝ ඉන්දික උදාරව හොයාගෙන එනවාද?
මම කවදාවත් කවුරුවත් හොයාගෙන නිර්මාණ දෙන්න කියල ආයාචනා කරල නෑ. මගේ දක්ෂතා මම කරපු නිර්මාණ දැකල ඒ අය තමයි ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් මට ආරාධනා කළේ. මගේ ගමන තුළ තියෙන්නේම මගේ දක්ෂතා දැකල මට ලැබුණු ආරාධනා මිසක් මම සොයාගෙන ගිහින් ලබාගත් දේවල් නොවෙයි.
ඉතා කෙටි කලක් තුළ මෙතරම් සාර්ථක ගමනක රහස මොකක්ද?
මගේ තිබුණු උන්නදුව, උත්සාහය, කැප කිරිම කරන කාර්යයට තිබු වගකීම ගරුවත්වය මේ සියලු දේ මම මේ වෘත්තීය වෙනුවෙන් යොදාගත්ත දේවල් තමන් කරන දේට අවංක වුණොත්, විශ්වාසයක් ගොඩනැගුවොත් කරන දේට වගකීමක් ගත්තොත් අන්න ඒක තමයි ජයග්‍රහණය මොන දේ කලත් හරියට විශ්වාස වන්තව කළොත් ගුණාත්මකභාවය ගැන සියයට සියයක් සැලකිලිමත් වුණොත් මේ ගමනේ ජයග්‍රහණය සදාරැකගන්න පුළුවන් කියන දැඩි විශ්වාසය මාතුළ තියනවා. ඒ විශ්වාසය අද වෙනකොට මාව යම් තැනකට ඔසවා තබා අවසන්.
ඔබේ නිර්මාණ කලාව තුළ අභියෝගාත්මක නිර්මාණත් තියෙන්න ඇති?
ඝරසර්ප, ප්‍රවේගය, දේවි කුසුමාසන, රිදම් ඔෆ් ද ගිටාර්, සුපර් සික්ස්, කිං හන්තර් වගේ නිර්මාණ ඒ අතර තියනවා. මට ලැබුණු හැම නිර්මාණයක්ම මට අභියෝගයක් වෙනසක් නෑ. මම අභියෝග වලට කැමැති කෙනෙක් මම ආශයි අලුත් දෙයක් කරන්න. අන්න ඒ අලුත් දේ තමයි මාව තවත් නිර්මාණයක් වෙත තවත් කෙනෙක්ව ආකර්ෂණය කරගත්තේ.
ගතානුගතික මේකප් කලාවෙන් ඔබ්බට ගිය චරිතයක් ලෙසින් ඉන්දික උදාරව හැදින්වුවොත්?
මම කවදත් සම්ප්රදාය තුළ හිදිිමින් අලුත් දේවල් හෙව්ව කෙනෙක් අද මේකප් කලාවට බොරු කරන්න බෑ චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයෝ දන්නවා. අපි බොරුවක් කළොත් මොකක්ද කියල දවසින් දවස අප්ඩේට් වෙන කලාවක් මේක. අපිත් ළිංමැඩියෝ සේ ළිඳ ඇතුළේම ඉන්නැතුව ළිදෙන් එළියට ඇවිත් ලෝකය දිහා බලන්න කාලය ඇවිත් මම මගේ ගුරුවරු යටතේ යමක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත් දේ ප්‍රායෝගිකව කරමින් මම ස්වයංව තවත් යමක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්දේට වෙනත් නිර්මාණකරුවන්ගේ ක්‍රම විධි මම අධ්‍යයනය කළා අදටත් මම වෙන කාගේ හෝ නිර්මාණයක් දිහා බලා රසවිදින අතරේ මගේ වෘත්තියට අදාළ දේවල් ඒ නිර්මාණ තුළිනුත් මම මගේ දැනුමට එක් කරගන්නවා. අදටත් මම ලෝකයේ තැනෙන චිත්‍රපට ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඒ අය භාවිතා කරන වේශ නිරූපණ ක්‍රමවේද අධ්‍යයනය කරනවා. මේ පිළිබඳ තියන වැඩමුළු ආදියට සහභාගී වී මගේ දැනුම දියුණු කරගන්නවා. වෙනස්වන ලෝකයේ වෙනස්වන කලාව ඉදිිරියේ අපිත් අප්ඩේට් වෙන්නම ඕනෙ කියන තැන මම ඉන්නවා.
මේ වනවිට ඔබ සම්මානීය ඇගැයුම් අතරට ඇවිත් නැද්ද?
සම්මාන නම් මේ ගමන තුළ බොහෝ ලබල තියනවා. ඒ හැම සම්මානයක්ම පේ්රක්ෂක සම්මාන. ඒක මට මහා සම්පතක් මගේ ගමන මට යන්න. සම්මාන උලෙළ වල නිර්දේශවීම් තියනවා. සම්මාන නම් ලැබිල නෑ. ඝරසර්ප, ආසයි මං පියාඹන්න, ප්‍රවේගය ආදී නිර්මාණ වෙනුවෙන්. නිර්දේශ නාමාවලියට මමත් එකතු වුණා. සම්මාන නොලැබුණත් ඒකත් සම්මානයක් තමයි.
මේ දවස්වල ක්ලැරන්ස් චිත්‍රපටයේ ඔබේ වේශ නිරූපණ කලාවට කොහොමද ප්‍රතිචාර?
ඉහළයි මේ රටේ අසිමීත ශ්‍රාවක පිරිසක් ආදරය කළ ක්ලැරන්ස් විජේවර්ධන කියන ප්‍රතිරූපය මට මේ චිත්‍රපටයේ රංගනයේ නියැළී නළුවා තුළ ප්‍රතිනිර්මාණය කරන්න ලැබීම මම ලැබූ භාග්‍යයක් කොට තනනවා.
සිනමා කර්මාන්තයේ දිශාතතිය ගැන මොකද අද ඔබට හිතෙන්නේ?
මේ යන විධිය හොඳයි. අද වෙනකොට යම් පිබිදීමක් සිනමා කර්මාන්තය තුළ ගොඩනැගෙමින් තියනවා. නමුත් අපේ රටේ හොඳ පිටපත් රචකයන්ගේ අඩුවක් තියනවා. මිනිස්සු බලන්න ආශා චිත්‍රපට කෙරෙන පිටපත් අද ලියවෙන් නැති තරම් අන්න ඒ අඩුව සපිරෙනවා නම් මම හිතනවා මේ කර්මාන්තය මීට වඩා හොඳ ගමනක් යන හැටි අපිට බලන්න පුළුවන් කියලා.
ගෙදරින් එහෙමත් මොනවගේ ආශිර්වාදයක් ද ඔබේ ගමනට ලැබෙන්නේ?
මගේ බිරිය ඉරේකා නිශාමනී ඇයත් රූපලාවණ්‍ය ශිල්පිනියක්. පිටකෝට්ටේ අපේම කියලා තියන අයි ඇන්ඩ් අයි රූපලාවණ්‍ය ආයතනයේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ ඇගේ පාලනය තුළ මගේ පුතා ඉමෙත් ඉමන්දිව් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. දුව ඉනුකි ඉහස්නා කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මගේ පවුල තුළ මගේ ගමනට ලොකු නිදහසක් ලබාදීල තියනවා. වෘත්තීයේ හැටි හොඳින් වටහාගෙන ඒක මට ලොකු ශක්තියක්.
මේ වෙනකොට ඉන්දික උදාර ගෝලයොත් බිහි කරල ඇති?
ඔව් මම මේ වෙනකොට තුන්දෙනෙක් මේ කලා ක්ෂේත්රයට හඳුන්වල දීල තියනවා. මම ළඟ කුහකකම නෑ. මමදන්න දේ කියල දෙනවා බොහොම සත්භාවයෙන්. මට වඩා අඩු වයසක කෙනෙක් ගෙන් වුණත් මට යමක් ඉගෙන ගන්න තියනවා නම් මම නිහතමානීව ඒ දේ අහගන්නවා. ඒ මගේ හැටි. ගෝලයෝ හදල කවදාහරි ඔවුන් මට අභියෝග කළත් මට ප්‍රශ්නයක් නෑ. මගේ ගමන මම යනවා. මම අද තැනකට ඇවිත් හිටියත් මට මේ තැනට එන්න, කෙළින් හිටගන්න, ජිවිතය කියා දුන්න මගේ ගුරු සරත් රණවීර මහත්තයාව මේ මොහොතේ මම හිස නමා සිහිපත් කරනවා. මම රේස් එකේ දුවන ශිල්පියෙක් නොවෙයි. මට චිත්‍රපට නැතිවුණා කියල දුකකුත් නෑ. මට කියල රූපලාවණ්‍ය ආයතනයක් තියනවා. මට ඕනේ නිහතමානීව මගේ ක්‍රමයක් ඔස්සේ මගේ ගමන බොහොම සැහැල්ලුවෙන් යන්න.
ලැබෙන ඕනෙම නිර්මාණයක් භාරගන්න කෙනෙක් ද ඔබ?
නෑ. මට යම් නිර්මාණයක් ලැබුණොත් ඒ දේ් කරල අහවර කරල තමයි තව නිර්මාණයක් මම භාර ගන්නේ කරන දේට භාරගත් දේට උපරිමය කරල තමයි තවත් එකක් ගැන මම හිතන්නේ. දොඩංගොඩ බදාගත්තොත් හරියට මට එකක්වත් හිතේ හැටියට කන්න බෑ තණ්හාව නිසා. තණ්හාව අතහැරල එක ගෙඩියක් තෝරගෙන රසබලමින් හෙමින් ගමනක් යන එකතරම් සැනසීමක් මට තවත් නෑ.
ඔබ ආපසු හැරිල ආගමන ගැන හිතුවොත් මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මගේ් ගමන කටුක වුණත් මම ලබපු ජයග්‍රහණය ගැන මට තියෙන්නේ නොනිමෙන සතුටක්. මේකප් ආටිස් කෙනෙක් කියන්නේ මුණේ පියරු ටිකක් අතුල්ලන කෙනෙක් නොවෙයි. බොහොම වගකීමක් තියන වෘත්තියක්. කෙනෙක්ගේ මුණක් ඇගක් තවකෙනෙකුට හිතේ තියන දෙයක් කරන්න දෙන්නේ පුර්ණ විශ්වාසයක් ඇතුව. ඒ විශ්වාසය තුළ මනා ඥාානයක් ඇතුව තමයි තමන්ගේ වගකීම කරන්න ඕනේ. මේ වෘත්තීයට මීට වඩා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. සංස්කෘතික අමාත්‍යාංශය හෝ රජයේ චිත්‍රපට සංස්ථාව හරි මේ වෘත්තීය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ අපි වෙනුවෙන් අපේ කාර්ය ගැන වගකීමක් වටිනාකමක් අපිට ලබාදෙන්න ඒ පණිවිඩයත් මේ අවස්ථාවේදී මම සිහිපත් කරනවා.
දුරකතනය අංකය වගේම ලිපිනය එහෙමත් මතක් කළොත්?
077-3059588 මෙන්න මේ ඉලක්කම් ටික එකතු කරලා මට කතා කරන්න. ඔය අතරේ 90/21/ඒ, මහින්දාරාම පාර, ඇතුල්කෝට්ටේ ලිපිනයට හසුනක් එවන්නත් අමතක කරන්න එපා.
සේයාරූ – දයාන් විතාරණ
චන්දන දයාසිරිවර්ධන