Home » මගේ බලාපොරොත්තුව විවිධ චරිත හරහා දක්ෂ නළුවකු වීම

මගේ බලාපොරොත්තුව විවිධ චරිත හරහා දක්ෂ නළුවකු වීම

- රංගන ශිල්පී ශෙහාන් මලික්

by Thanushika
July 31, 2025 11:31 am 0 comment

ශෙහාන් මලික් වර්තමානයේ බොහෝමයක් කතාබහට ලක්වෙන නැඟී එන රංගන ශිල්පියෙක්. ඒ ඔහුගේ රංගන කටයුතු නිසාම පමණක් නෙමෙයි. ඔහු නර්තනය, නිවේදනය සහ content creation  යන අංශ සියල්ලන්ගෙන්ම ශ්‍රී ලංකාවේ තමන්ටම ආවේණික නමක් රඳවාගත් නවක නළුවෙක් ලෙස කටයුතු කරයි. ‘ජුරාලියා’ ටෙලිනාට්‍ය, ඉදිරියේ දී තිරගත වීමට නියමිත ‘LBW’ ටෙලිනාට්‍යය සහ ‘ආයෙමත් ආදරෙන්’ ටෙලිනාට්‍ය ත්‍රිත්වයේ නළුවෙක් ලෙස කටයුතු කර ඇති ශෙහාන් මලික්ගේ කලා කටයුතු පිළිබඳ සරසවිය අවකාශයෙහි සොඳුරු පිළිසඳරක යෙදුණා මෙයාකාරයෙන්.

ඔබ කලාවට අත්පොත් තබන්නේ කොහොමද? කලාවට පැමිණිමේ පසුබිම පිළිබඳව අපි කතා කරමු…

මම කලාවට අත්පොත් තබන්නේ මුලින්ම සිරස Film Star  කියන රියැලිටි තරඟයෙන්. එහිදි මම ජනප්‍රියම නළුවා සහ දක්ෂම නර්තන ශිල්පියා ලෙස සම්මාන දෙකක් දිනා ගන්නවා. ඉන් පසුව රංගනය හදාරන්න මම තීරණය කරනවා. ඒ ඔස්සේ මම IMPAS  ආයතනයත් එක්ක සම්බන්ධ වෙමින් මගේ රංගනය හැදෑරීම ආරම්භ කරනවා. සමස්තයක් හැටියට කලාව ගැන කතා කළොත් නිරූපණ ක්ෂේත්‍රයට මම අත්පොත් තබන්නේ Cat Walk ආයතනයෙන්.

ඔබ නිවේදකයෙක්. නිවේදන ක්ෂේත්‍රයේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද?

නිවේදන ක්ෂේත්‍රය පිළිබඳ පැවසුවහොත් සිරස Film Star වැඩසටහනෙන් ලැබූ ජයග්‍රහණත් සමඟ සිරස TV ආයතනයෙන් මට විශේෂ අවස්ථාවක් ලැබෙනවා. එහි නිවේදකයෙක් ලෙස කටයුතු කරන්න. මට හින්දි භාෂාවේ ඇති ප්‍රවීණත්වය නිසාම Hindi Top 10 කියන වැඩසටහන කරගෙන යන්න අවස්ථාව හිමි වෙනවා. ඉතින් මේ විදිහට තමයි නිවේදන ක්ෂේත්‍රයේ මගේ ආරම්භය සිද්ධ වෙන්නේ. මට ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි වෙන්නේ ක්‍රිකට් සම්බන්ධයෙන් මම කරපු වැඩසටහන් නිසා සහ ඒවා ගැන ඉන්දියානු මාධ්‍ය, පාකිස්තාන මාධ්‍ය සහ බංගලිදේශයේ මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක් වූ නිසා. ඊට අමතරව මම කාලයක් Channel C  නාලිකාවේ නිවේදකයෙක් විදිහට කටයුතු කළා. ඉතින් අද වෙනකොට TV Supreme   ඔස්සේ වැඩසටහන් කිහිපයක්ම සිදු කරගෙන යනවා.

ඔබ වඩාත් දක්ෂ නිවේදනයට කියලා මට හිතෙනවා. ලංකාවේ තරුණ නිවේදකයන් සම්බන්ධයෙන් එතරම් පැහැදීමක් නැහැ. විශේෂයෙන් භාෂාව හැසිරවීම සහ සන්නිවේදනය සම්බන්ධයෙන්. මේ පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

මුලින්ම බොහොම ස්තූතියි ඔබේ ඇගැයීමට. මෙවැනි ඇගයීම් නිසා තමයි කරන කටයුත්තට උපරිම සාධාරණයක් කරන්න කලාකරුවන් හැටියට අපිට ලොකු පන්නරයක් ලොකු ශක්තියක් ලැබෙන්නේ. ඉතින් මේ කාරණාව ගැන කියනවනම් මම හිතන්නේ නැහැ මම අවවාද හෝ උපදෙස් දීමට තරම් තැනක ඉන්නවා කියලා. මම විශ්වාස කරනවා මට වඩා ගොඩක් ප්‍රවීණ තැනැත්තෙක් හා මේ ක්ෂේත්‍රයේ ගොඩක් කල් රැදී සිටින කෙනෙක් මේ ප්‍රශ්නයට මට වඩා ඉතාමත් හොඳීන් උත්තරයක් දෙයි කියලා. නමුත් මගේ තේරුම් ගැනීම හැටියට ඔබ මාව මෙලෙස හඳුන්වා දීපු නිසා මම කියන්න කැමතියි ඕනෑම විෂයකදී ඒ විෂය පිළිබඳ ඇති දැනුම ගොඩක් වැදගත් වෙනවා. තමන් සම්පූර්ණයෙන්ම නොදන්නා ක්ෂේත්‍රයක් වුණත් ඒ ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් ලබා ගැනීම ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් නිවේදනයේ යෙදෙන කෙනෙක්ට තමන් නිවේදන කටයුත්ත කරන ක්ෂේත්‍රය ගැන වැඩි දැනුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. අපි කියන්නේ Homework  කියලා. නිවේදකයෙක්ට මම හිතනවා Homework  එකක් තියෙන්න ඕනි. නැත්තම් ප්‍රවීණයෙකුගේ හෝ ගුරුවරයෙක්ගේ මග පෙන්වීමක් යටතේ මූලික අඩිතාලම දාගත්තොත් මම හිතනවා මේ භාෂාව හැසිරෙවීම සහ සන්නිවේදනය කියන ප්‍රශ්න දෙකට හොද විසඳුමක් හොයාගන්න පුළුවන් වේවි කියලා. අනිත් කාරණය තමයි නිසි මඟ පෙන්වීමක් තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට වැරදි මඟහරවා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් නිවේදනය හදාරන්න කැමති අයට මම රංගනය හදාරපු IMPAS  ආයතනයේම නිවේදන පාඨමාලා පවා තියෙනවා. මේ වගේ ශ්‍රී ලංකාවේ විවිධ පාඨමාලාවලට ඔයාලට සහභාගී වෙන්න පුළුවන් සහ ඒ පිළිබඳව දැනුමක් ලබා ගන්න පුළුවන්.

රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

රඟපෑම කියන්නේ පුංචි කාලේ ඉඳන්ම මට තිබුණු හීනයක්. පොඩි කාලේ ඉදන්ම මං ආසාවෙන් හිටියේ රංගන ශිල්පියෙක් වෙන්න. නමුත් අධ්‍යාපනය කියන දේට මම හැමදාම මූලික තැන දුන්නා මොකද අධ්‍යාපනය කියන දේ ජීවිතේ කොයි වෙලාවකදී හරි අවශ්‍ය වෙනවා කියන ඒ හැඟීම මගේ ඔළුවේ පොඩි කාලේ ඉඳන් තිබුණා. ඒ නිසාම වෙන්න ඇති මට ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලැබුණෙත්. මම කොළඹ විශ්වවිද්‍යාලයේ IT  උපාධිධාරියෙක්. ඉතින් මම කෑගල්ලෙ ඉඳන් කොළඹට ආවෙ සිරස Film Star  කියන රියැලිටි වැඩසටහනට සහභාගි වෙන්න. එතනින් තමයි මං මුල්ම අඩිය තියන්නෙ රංගන ක්ෂේත්‍රයට හැබැයි මූලික දැනීමක් මට ඒ කාලේ තිබ්බෙ නැහැ. ඒ නිසා මම තීරණය කරා ක්ෂේත්‍රයට එන්නට කලින් හොඳ ඉගෙනීමක් මට තියෙන්න ඕනේ කියලා ඒ නිසාම තමයි මම රංගනය හදාරන්න තීරණය කරන්නේ. ඉතින් රංගනය හදාරමින් ඉන්නකොට මට අවස්ථාව ලැබෙනවා කෙටි චිත්‍රපට කිහිපයකට සහ ටෙලි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න ඔන්න ඔය විදිහට තමයි මම කලා ක්ෂේත්‍රයට ඇතුළත් වෙන්නේ.

දැනට ඔබ සම්බන්ධ වුණ කලා නිර්මාණ මොනවද?

ඇත්තටම කියන්න ඕනි රංගනයට මං තවමත් අලුත් මුහුණක්. ඉතින් මට මුලින්ම රංගනයට අවස්ථාවක් ලබා දෙන්නේ සුපුන් රත්නායක මහත්මයා. ඒක මම ඉතාමත් ආදරයෙන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ වසරේ “තත්පරයක් දෙන්න” ටෙලිනාට්‍යයේ දක්ෂතම අද්‍යක්ෂකවරයා වූ ඔහු යටතේ පළමුවෙන්ම රංගනයෙන් දායක වෙන්න ලැබීම මා ලබපු වාසනාවක්.  IMPAS Productions  හි නිර්මාණයක් වන ජුරාලියා ටෙලි නාට්‍යයෙන් තමයි ඔහු මාව ටෙලි තිරයට හඳුන්වා දෙන්නේ සහ එය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලා මම විශ්වාස කරනවා. මොකද ඉන් පසුව ඔහුගේම තිරගත වීමට නියමිත  LBW නාට්‍යයේද ඔහු මාව චරිතයකට තෝරා ගත්තා. ඒ වගේම ඇන්ජලා කුරුප්පු මහත්මියගේ ආයෙමත් ආදරෙන් කියන ටෙලි චිත්‍රපටයටයේ ගෝමියගේ චරිතයෙන් මම ප්‍රේක්ෂකයන් ඉදිරියට ආවා.

ඔබ සරසවිය සම්මාන උලෙළහි බාහිර නිවේදකයකු⁣ ලෙස දායක වුණා කළා. මේ අත්දැකීම ඔබට දැනුණේ කොහොමද?

මම හිතන්නේ ඒ අවස්ථාව මට කවදාවත් අමතක නොවෙන අවස්ථාවක්. මොකද මම සිංහල සිනමාව ගැන හොයන්න බලන්න ගත්ත කාලේ ඉඳන් ලංකාවේ මහා කලා මංගල්‍යය කියලා හැඳීන්වුනේ සරසවිය සිනමා සම්මාන උලෙළ. ඉතින් මම ඒ සම්මාන උලෙළට මුලින්ම සහභාගි වෙන්නේ එහි බාහිර නිවේදකයෙක් හැටියට සහ එය මට ජීවිතය අමතක නොවන අත්දැකීමක්. මේ අවස්ථාවේදී රංගන ශිල්පියෙක් හැටියට ක්ෂේත්‍රයේ ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටින මට ඒ ප්‍රවීණයෙන් ගෙන් ලැබුණ අදහස් ඉතාමත් වටිනව. ශ්‍රියන්ත මෙන්ඩිස්, නදීකා ගුණසේකර මහත්මිය, ඉලංගෝ රාම් මහතා, ධනුක දිල්ෂාන් වැනි ජනප්‍රිය කලා තරු සමඟ මට පෞද්ගලිකව කතාබහ කරන්න සහ අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මගේ රංගන ජීවිතයට ඔවුන්ගෙන් මට උපදෙස් ලැබීම ද ගෞරවයක් කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඉන්දියාවේ ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළ, හොලිවුඩයේ ඔස්කාර් සම්මාන උලෙළ සමාන වෙනවා ශ්‍රී ලංකාවේ සරසවිය සම්මාන උලෙළට. මෙවැනි වැදගත්කමකින් යුතු අවස්ථාවකට සහභාගී වෙන්න ලැබීමම මම ලැබූ හාග්‍යක් කියලා මම විශ්වාස කරනවා සහ 36 වැනි වරටත් මෙය පැවැත්වූ සරසවියට මම ස්තූතිවන්ත වෙනවා.

ඔබේ අනාගත බලාපොරොත්තුව ගැනත් කියමු…

මගේ ලොකුම බලාපොරොත්තුව රසිකයන් ඉදිරියට විවිධ චරිත හරහා සාර්ථක රංගන ශිල්පියෙක් ලෙස පැමිණීම. සිනමාව සහ ටෙලි තිරය යන දෙකෙන්ම. ඒ වගේම මම බලාපොරොත්තු නොවුණ විදිහට ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේම මාව ජනප්‍රිය චරිතයක් වෙලා තියෙනවා. නළුවෙක් ලෙස, You Tube content creator  කෙනෙක් හැටියට, නර්තන ශිල්පියෙක් ලෙස සහ නිවේදකයෙක් හැටියටත් මට රසිකයින් රැසකගෙන් ආදරය ලැබී තිබෙනවා. ඇත්තටම කිව්වොත් මම ඔවුන්ට රසිකයෙන් කියන්න කැමති නැහැ. මට ඒ ආදරය ලබා දෙන හැමකෙනෙක්ම මට දැනෙන්නේ මගේ පවුලේ අය හැටියට. ඉතින් ඔවුන් හැමෝටම මම පොරොන්දුවක් වෙනවා “I will entertain you all, till I die”.. ඉතින් කලාකරුවෙක් හැටියට මාත් එක්ක එකතු වෙලා ඉන්න සියල්ලම මගේ අන්තිම හුස්ම දක්වා පිනවන්න මම පොරොන්දු වෙනවා. අනිත් දේ තමයි රංගනය කියන්නේ කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නෑ. මම රංගනය විෂයට ඉතාමත් අලුත්. ප්‍රවීණයන්ගෙන් හැකිතාක් දුරට රංගනය ඉගෙනගෙන, මාව හඳුනාගෙන මගේ උපරිමය මවෙත ලැබෙන සෑම කලා නිර්මාණයකටම දෙන එක තමයි මගේ අනාගත බලාපොරොත්තුව.

ඔබේ මේ කලා දිවියට සාර්ථකව පැමිණි ගමන් මඟේ උදව් කරපු පිරිසකුත් ඇති. අපි ඒ අයත් මතක් කරමු…

කලාව කියන්නේ මට ජීවිතේ නව පැතිකඩක් විවර කළ මංතීරුවක්. ඇත්තටම මේ ගමන් මඟ මම තනියම ආපු ගමනක් නෙමෙයි. ඒ වගේම මම ඇවිදගෙන ආපු ගමනකුත් නෙවෙයි. මට ආදරේ කරන හැමෝම මාව උස්සගෙන ආපු ගමනක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. මුලින්ම මට හැමදාම ආදරෙන් උපකාර කළ මගේ අම්මටයි තාත්තාටයි ස්තූතිවන්ත වෙනවා මට උපත ලබා දීම නිසා. ඒ වගේම මගේ නැඟණිය. අනිත් පවුල්වල සහෝදරයා තමයි සහෝදරිය පිටුපස ඕනෑම අවස්ථාවකදී යෝධ සෙවණැල්ලක් වගේ ඉන්නෙ හැබැයි අපේ පවුලේ මට ඒක දෙවිදියටම දැනෙනවා. මම නැඟණිය පිටුපසින් ඉන්නවා වගේම නැඟණියත් මගේ පිටුපසින් ඉන්නවා. ඒ වගේම මගේ මේ කලා ගමන මේ තාක් දුරකට එන්න උදව් වුණේ මගේ කලා ජීවිතයේ මව පියා හැටියට මම හඳුන්වන්න සද්ධා මංගල සූරියබණ්ඩාර ගුරුතුමා සහ චේතනී විජයතුංග ගුරු මෑණියන්. IMPAS  ආයතනයේ ඇඳුරු මඩුල්ලත් මම විශේෂයෙන්ම ඉතාමත් ආදරයෙන් මේ වෙලාවෙදි මතක් කරන්න කැමතියි. මගේ ජීවිතේ වැඩිය යාළුවෝ නැ. යාළුවෝ හතරක් පහක් තමයි මම ළඟින්ම ඇසුරු කරන්නේ. ඉතින් ඒ මිතුරන්ට සහ මට ආදරේ කරන සියලු දෙනාටත්, අපි වගේ නවකයින්ට ඉදිරියට යන්න අපේ දක්ෂතා හැමෝටම කියන්න අවස්ථාව ලබා දෙන ඔබ වගේ මාධ්‍යවේදීන්ටත් මම ස්තූතිවන්ත වෙනවා.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT