Home » මගේ ප්‍රථම රංගන ගුරුවරිය

මගේ ප්‍රථම රංගන ගුරුවරිය

ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ

by Thanushika
May 29, 2025 11:02 am 0 comment

යෞවනියක ලෙස පාසල් අවධියේ දී ඇගේ චිත්‍රපට බලන්නට ගිය හැටි මට අද මෙන් මතකය. පුරහඳ වගේ ලස්සන මුහුණ කතා කරන ලස්සන දෑස, කිතුල් රෑනක් මෙන් දණහිස තෙක් කඩා වැටුණු දිගු කෙස් කළඹ, සිහින්, උස, හැඩ සිරුර ඒ සියල්ලට ම වඩා මුළු රට ම වසඟයට පත් කරගත් ඒ සිනහව. චිත්‍ර පටය නරඹා දින ගණනාවක් යනතුරු මගේ සිතේ රඟ දෙන ඇය පිළිබඳ ඒ මතකයන්, නිරන්තරයෙන් න්ම මගේ සිත අමත්දානන්දයට පත් කළා. සිනමා නිළියක වන්නට ඒ දිනවල සිහිනෙන්වත් නො සිතූ මුත්, රංගනය මගේ ලේ නහර වල දුවමින් තිබූ නිසාදෝ, මම දින ගණනාවක් ම ඇය ව අනුකරණය කරමින් හැසිරෙන්නට පටන් ගත්තා. චිත්‍රපටයේ ඇය කතා කළ ලෙස කතා කරන්නට, හිනැහෙන්නට, ඇවිදින්නට පමණක් නොවේ, සිත් වසඟ කරන ඒ බැල්ම ද අනුකරණය කරන්නට උත්සාහ ගත්තා. “ ආවා සොයා ආදරේ” වැනි චිත්‍රපටයක ඉතා අහිංසක ගැමි යුවතියක ලෙස රඟන ඇය, “කවුද රජා ” වැනි චිත්‍රපටයක ඉතා සංකර, අහංකාර, නාගරික තරුණියක ලෙස රඟ පෑ අයුරු මට කෙලෙසකවත් අදහාගත නොහැක්කක් විය. ඇය මෙ ලෙස ප්‍රාතිහාර්ය පෑවේ වාණිජමය චිත‍‍්‍රපටවල පමණක් නො වේ. “එයා දැන් ලොකු ළමයෙක්”, “නිධානය”, “බඹරු ඇවිත්” වැනි චිත්‍රපටවල අහිංසක සුකුමාල යුවතියක ලෙස රඟපාන ගමන් ම, “ සිරිපාල සහ රන්මැණිකා “, “සොල්දාදුඋන්නැහේ” වැනි චිත්‍රපටයක කටකාර, දරදඬු, යකඩ ගැහැනියක ගේ චරිත රඟපෑවා ය.

සිනමාව යනු ඉතා දුරස්ත, අපට ළංවන්නට සිහිනෙන්වත් නොහැකි තැනක් වී තිබුණා. මොනරාගල වැනි හද්දා පිටිසර ගමක හැදුණු වැඩුණු මට මේ මිහිබට සුරංගනාවිය ගේ චිත්‍රපට නැරැඹීමට ගොස් සැතැපුම් 4ක් පයින් ආපසු එන්නට සිදුවුණා. සවස 6 දර්ශනයට නගරයට යෑමට බස් රථ තිබුණත්, ආපසු එන්නට බස් රථ නො තිබූ නිසා, ගමේ කණ්ඩායමක් එකට එකතු වී චිත්‍රපට නරඹන්නට මොනරාගල සිරි රම්‍යා චිත්‍රපට ශාලාවට යන්නට පුරුදු වී සිටියා. අද එය නවීකරණය කර තිබුණත් එදා තිබුණේ ටකරං මඩුවක් වැනි ඉතා අඩු පහසුකම් සහිත චිත්‍රපට ශාලාවකි.

උසස් පෙළ හදාරන්නට කොළඹ ආ මට ඉතා හොඳ චිත්‍රපට ශාලාවල ඇගේ චිත්‍රපට නරඹන්නට ලැබුණු අතර එයින් උපරිම ප්‍රයෝජන ගත් හැටි ද මට මතකයි. යෙහෙළියන් සමඟ එකතු වී “තුෂාරා’ චිත්‍රපටය 18 වරක් වැල්ලවත්තේ රොක්සි සිනමාහලේ දී මා නැළැවූ අයුරුත් මාලිනී අක්කාට දුෂ්ටකම් කළ සෝනියා අක්කා කෙරෙහි දැඩි වෛරයකින් පසු වූ අයුරුත් අද මා සමරන්නේ එදා තිබු මගේ බොළඳ සිතුවිලි කෙරෙහි එක් අන්දමකට හිනැහෙමිනි. පසුකලක මගේ ඇත්තට ම මම ඇයට සැබැවින් ම ආදරය කෙළෙමි. මම පමණක් නොව දන්නා හඳුනන සෑම ළඟ ම යෙහෙළියක වූ සෝනියා අක්කා සමඟ මේ ගැන කියමින් හිනැහුණු හැට ද මට මතක ය.ඇත්තට මම ඇයට සැබැවින් ම ආදරය කළෙමි. මම පමණක් නොව දන්නා හඳුනන සෑම කෙනකු ගේ ම සිත් සතන් තුළ ජීවත් වූ සිහින කුමාරිය ඇය වූවා ය.

විවාහ වීමෙන් අනතුරුව මට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකාරිනියක ලෙස රැකියාවක් ලැබුණි. එහි ජීවිත රක්ෂණ ඒකකයේ මා සමඟ, “ටක් ටික් ටුක් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ගේ දියණිය වන චන්ද්‍රිකා කාරියවසම් සොයුරිය සේවය කළා ය. ඇය හමුවන්නට නිතර නිතර සහය අධ්‍යක්ෂක සුනිල්සෝම පීරිස් පැමිණියේ ය. ඒ නිසා ම මට ද එම චිත්‍රපටයේ තත්. 30 ක් පෙනී සිටීමට අවකාශය ලැබුණේ ය. මා සුනිල් මුණ ගැසෙන සෑම අවස්ථාවක ම මතු කළ එක් කාරණයක් විය. ඒ මාලිනී ෆොන්සේකා යි.

මම :- මාලිනී අක්කා එක්ක වැඩ කරලා තියෙනවද?

සුනිල් :- අපොයි ඕනෑ තරම්

මම :- ළඟින්ම ඉඳගෙන කතා කරනවද?

සුනිල් :- නැතුව

මම :- මාලිනී අක්කා ගේ අත එහෙම අල්ලලා තියෙනව ද?

සුනිල් :- අනේ ඔව්. මාලිනී අක්කා අපිට හරි ආදරෙයි. හරිම හිතවත්. ඒ සේරටම වඩා හරි නිරහංකාර යි. සමහර අය නං එහෙම නෑ. (නම් කිහිපයක් කිව්ව ද, ඒවා නො ලියමි.) ෂුටිංවලට ගියා ම, විහිළු තහළු කරමින් හරිම විනෝදෙන් තමයි අපි ඉන්නේ.

මම පුදුමයට පත්වීමි. මගේ සිහින ලොවේ අග රැජිනිය, සිහිනෙන් හෝ දකින්නට කැමැති ඇය ව, අතෙන් ඇල්ලිය හැකි කෙනෙක් මට හමු වී ඇත. සුනිල් මගේ මිතුරකු වීම ගැන මට මහත් ආඩම්බරයකුත්, මාලිනී අක්කා ගේ දයාබර, සෙනෙහෙවන්තකම පිළිබඳ ව අප්‍රමාණ ආදරයකුත්, ගෞරවයකුත් මට ඇති විණ.

ජීවිතය මොන තරම් පුදුමාකාර ද? ආශ්චර්යමත් ද? යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ, ජයතිස්ස සහෝදරයන් නිෂ්පාදනය කළ “මොනරතැන්න” චිත්‍රපටයේ මට ඇය ගේ යෙහෙළිය ලෙස රඟපාන්නට අවස්ථාවක් ලැබුණි. කිසිදින සිනමා නිළියක් වන්නට නො සිතූ (සුදුසුකම්

නැතැයි සිතා) මට ලැබුණු ඒ අවස්ථාව ඉතා ආශාවෙන්, ආදරයෙන් වැලඳ ගතිමි. කාර්මික ශිල්පීන්ට යන්නට තිබුණු වෑන් රථයක නැගී මාතරට යන්නට උදේ 6 ට කොළඹින් ආරම්භ කළ මා මාතරට ළඟා වන විට රාත්‍රී 7 පමණ වී තිබුණි. කොළඹින් කට්ටිය එකතු කර ගමන අරඹන විට ද සවස් වී තිබුණි. මාලිනී අක්කාගේ යෙහෙළිය ලෙස චිත්‍ර පටයේ රඟපාන්නට ලැබීම පිළිබඳ ව තිබූ ආශාව සහ ආඩම්බරය නිසා, කිසි ම වෙහෙසක් මට නො දැනුණි. රාත්‍රිය පුරාවට නිදිවැරූ මම උදේ පාන්දරින් අවදි වී ආලින්දයේ තිබුණු පුටුවක වාඩි වී ඇය එනතුරු බලා සිටියෙමි.

හිමිදිරියේ පිපුණු පිච්ච මලක් බඳු සුන්දර මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා පෙරුම්පුරා නිළියක වන්නට ලැබුණු ඒ අවස්ථාවේ ආනන්දය මට වඩාත් දැනුණේ මාතර දී ඇය විදාගත් කෙස් කළඹත්, වත්සුනු නො තැවරූ සුන්දර මුහුණත්, රටක් රාජ්‍යයක් වටිනා සුන්දර

සිනහවක් ඇති ව රැජිණියක මෙන් අප අතරට ආවාය. මම දෑස් අයා බලා සිටියෙමි. මගේ මුවට වචන කිසිවක් නොආයේය. කිසිදා දැක නැති මා හා ඇය සෙනෙහසින් දොඩමළු වුවාය. ක්ෂණියකින් සසර පුරා දැන සිටි, මගේ හදවතට බොහෝ සමිප වූ කෙනෙක් නැවත මුණ ගැසුණා වැනි හැඟිමක් මට ඇතිවිය. මම කුඩා දැරියක මෙන් ඇය ළඟම දැවටෙමින් සිටියෙමි. සිනමා ගමන පිළිබඳ ප්‍රථම පාඩම එදින ඇයගෙන් උගත්තෙමි. නිරහංකාර වීම, දයාවන්ත වීම, හිස උදුම්මාවා ගැනීමෙන් තොරව වචනයේ පරිසමාප්තයෙන් ම වෘත්තීය නිළියක ලෙස කටයුතු කිරිමට ඇයගෙන් බොහෝ දේ උගත්තෙමි.

ඒ දිනම, මාතර වැලේ ප්‍රථම රූපගත කිරීමට සහභාගී වන විට ඊළඟ පාඩම ඇයගෙන් උගත්තෙමි. එදා මෙදා තුර මා ආ දිගු සිනමා ගමනේ දී මා ඉගෙනගත් ඒ පාඩම නො වන්නට මා කිසිදා වෘත්තීය නිළියක ලෙස මේ ගමන මෙතෙක් දුර එන්නට මට නොහැකි වන්නට තිබුණි.

ටක් ටික් ටුක් මගේ ප්‍රථම පෙනී සිටීම වුව ද සිනමාවේ මගේ ප්‍රථම රංගනය වූයේ

මෙනර තැත්ත සඳහායි. මගේ ප්‍රථම දර්ශනය සඳා (මාලිනී අක්කා) සමඟ රූගත කරන්නට තිබුණේ මාතර වැල්ලේ දී යි.

දර්ශනය :- සදා සහ සුරංජි (මම), සඳා ගේ පෙම්වතා එනතුරු (විජය කුමාරතුංග) වැල්ලට වී බලා හිදියි. සඳා නො ඉවසිලිමත් ය. යසපාලිත නානායක්කාර (අධ්‍යක්ෂ), ජේ. ජේ. යෝගරාජා කැමරා අධ්‍යක්ෂ) සුනිල්සෝම ඇතුළු සැම කැමරා සූදානම් කරගෙන බලා හිඳීති. අපට කලින් ම දෙබස් ලබා දී තිබූ නිසා ඒවා කටපාඩම් කරගෙන මම ඉතා උද්යෝගයෙන් යුතු ව මාලිනි අක්කා ළඟ හිටගෙන සිටියෙමි. අද මෙන් නො ව එදා චිත්‍රපටයක රූගත කිරීම් දැක ගැනීමට පහසු නැත.

දහස් ගණන් සෙනග අප දෙස බලා සිටිති. මට යන්තමින් හෝ චකිතයක් දැනුණේ නැත. මාලිනී ෆොන්සේකා, සිංහල සිනමාවේ නිළි රැජින සමඟ රඟපාන නිළියක් යැයි, හීන් ආඩම්බරයක් පමණක් හිතේ මෝදු වී තිබුණි. මා කවුදැයි ඔවුන් නො දැන සිටියත්, මා සමග ද හිනාවෙන්නට ඔවුන් උත්සාහ ගත් නිසා එ සේ වන්නට ඇතැයි සිතේ. මා කිසිදාක සිනමා කැමරාවක් ඉදිරියේ දෙබස් තියා රගපා තිබුණේ නැත. එසේ රඟනු දැක තිබුණේ ද නැත. වේදිකාවේ තරමක් රඟපා පළපුරුද්දක් තිබුණි. මේ රංගනය ද එ ලෙස ම විය යුතු යැයි මම සිතා සිටියෙමි. යසපාලිත නානායක්කාර මහතා අපට වරක් දර්ශනය රඟපා (පෙර පුහුණුවක් ලෙස) පෙන්වන ලෙස කීවේ ය.

සඳා (නො ඉවසිල්ලෙන් ) :- කෝ තාම නෑනේ.

සුරංජි :- පොඩ්ඩක් ඉවසලා හිටපං දැන් එයි.

වේදිකාවේ මෙන් අත දික් කරමින් අධි රංගනයක යෙදෙමින් කීවෙමි. කැමරාව පිටුපස සිටි වියලු ම දෙනාට ම බකස් ගා හිනා ගියේ ය. එහෙත් අහිංසක ලෙස ඔවුන් දෙස බැලුවා විනා ඔවුන් හිනාවුණේ ඇයිදැයි මට නො තේරුණි. එයට හේතුව දයාබර මාලිනී අක්කා යි. ඇය මට සිනා නො වූවා ය. දයාබර ව මා දෙස බලා සිටියා ය.

මාලිනී අක්කා :- ඔයා නාට්‍යවල රඟපාලා තියෙනව ද?

මම :-ඔව්, ඉස්කෝලේ

යන කාලේ ඉඳන් ම නාට්‍යවල රඟපෑවා.

අහිංසක ලෙස කීවෙමි. එය සුදුසුකමක් ලෙස සිතා එසේ කීවේමි. ඇය නැවත මා දෙසබලා සිටියා ය. සෙමින් සෙමින්, පරිස්සමින් වචන එකතු කළාය.

මාලිනී අක්කා මගේ ප්‍රථම රංගන ගුරුවරිය :- නාට්‍යවල රඟපාන කොට සහ සිනමාවේ රඟපාන කොට වෙනසක් තියෙනවා. නාට්‍යවල අපි සජීවී ව ප්‍රේක්ෂකයා ඉදිරියට යනවා. ඉස්සරහ පුටු පේළියට වගේ ම, පිටි පස්සේ ම පුටු පේළියේ ඉන්න අයටත් අපි කියන, කරන දේවල් ඇහෙන්න ඕනි. පේන්න ඕනි. ඒ නිසා අපි ටිකක් අතපය දිගෑරලා රඟපානවා. මුහුණේ ඉරියව් ටිකක් වැඩිපුර ගන්නවා. ටිකක් හයියෙන් කතා කරනවා.

ඒත් සිනමා කැමරාව හරි ම සියුම්. පියවි ඇහැ වගේ. පුංචි ඉරියව්වක් වුණත් ඉතා හොඳීන් ග්‍රහණය කරනවා. ඒ නිසා වේදිකාවේ වගේ වැඩිපුර කරන්නේ නැතුව, සියුම්වට, පොඩි දේවල් කළා ම හොඳට ම ඇති. නිකං සාමාන්‍ය ජීවිතයේ දී අපි කරනවා වගේ. මෙන්න මේ විදියට ඇය මගේ දෙබස ද වරක් කියා පෙන්වූවා ය. මගේ සිත නො තළා, නො පෙළා, ඇය කළ ඒ කෙටි හැඳීන්වීම රංගනය පිළිබඳ ව ලියැවුණු මහා පුස්තකයක් කියැවූවා වැනි අවබෝධයක් මට ලබා දුනි. ගලේ කෙටූ අකුරක් මෙන් ඒ සියල්ල මා මනසේ තැන්පත් විණ. ඉන්පසු එම චිත්‍රපටයේ රඟපෑම මට මහත් පහසුවක් විය. ඉතා ස්වාභාවික ලෙස මම එම චිත්‍රපටයේ රගපෑවා යැයි සිතමි.

ඉතා දයාබර යෙහෙළියක ලෙස ඇය එදා ඇගේ සෙනෙහසේ දෑත් මා වෙත දිගු කළ හෙයින් ම, යෙහෙළියක ලෙස චිත්‍රපටයේ කළ රඟපෑම ද මට මහත් පහසුවක් විය. එදා ඒ ආරම්භ කළ ගමන ජාත්‍යන්තර සම්මානයක් ලැබෙන තෙක් මට යන්නට හැකි වුණේ මාලිනී ෆොන්සේකා නම් වූ ඒ දයාබර ගැහැනිය, දයාබර යෙහෙළිය, සෙනෙහෙබර ගුරුවරිය මෙන් ම අති විශිෂ්ට ජාත්‍යන්තර තලයේ වූ කලාකාරිය නිසා බව නිහතමානී ව, කෘතවේදී ව සඳහන් කරමි. ඇය නො වන්නට පළමු චිත්‍රපටයේ දී ම අධිරංගනයක යෙදී ප්‍රේක්ෂකයින්ට එපා වූ නිළියක ලෙස සිනමාවෙන් සමුගන්නට ඉඩ තිබුණි.

මා සිනමාවට පිවිසෙන විට රංගනය පිළිබඳ ව ඉගෙන ගන්නට තැනක් තිබුණේ නැත. අද සමහර නවක නිළියන් විවේක අවස්ථාවල දර්ශන තලයෙන් බැහැර ව ඔහේ කතාබස් කරමින් නිකරුනේ කාලය ගත කරන අයුරු දකිමි. එහෙත් මම සෑම විවේකී අවස්ථාවක ම දර්ශන තරලයට වී සිටියෙමි. ඇය රඟනු බලා සිටියෙමි. මගේ වාසනාවට මෙන් මගේ දෙවන චිත්‍රපටය “ගීතිකා” හි ද ප්‍රධාන චරිතය රඟපෑවේ ඇය යි. මහා රංගන පාසලක් බඳු වූ මාලිනී අක්කා රඟනු බලා හිඳ බොහෝ දේ ඉගෙන ගතිමි. මට රඟපාන්නට තිබුණු අවස්ථාවල තිබූ පැටලිලි සහගත තැන්, ඒ ඔස්සේ ලිහාගතිමි. සෑම මොහොතකම, ක්ෂණයකින් වෙනස් වන භාවයන් ඔස්සේ ඇය රඟපානු බලා සිටීම ම මොන තරම් ආශ්චර්යයක් ද? මම මහා පිනැත්තියකැයි සිතමි. පණ්ඩිතයන්, කල්‍යාණ මිත්‍රයින් ඇසුරට පළමු චිත්‍රපටයෙන් ම පත්වීම මංගල කාරණයක් ම නො වේ ද?

එ සේ ම ඇයට අහිමි වූ බොහෝ දේ ඉදිරියේ උපේක්ෂාවෙන් සිටි අයුරුත්, මෙතෙක් සිංහල සිනමාවේ කිසිම ශිල්පිනියකට හිමි නො වූ අනන්ත, අප්‍රමාණ වූ ජයග්‍රහණයන් ඉදිරියේ නිරහංකාර ව, නිහතමානී ව සිටි අයුරුත් අද දිනයේ ඉතා කුඩා දෙයකින් හිස උදුම්මවා ගන්නා සමහර ශිල්පිනියන්ට ආදර්ශයක් ම වේවා. එ සේ ම ගාමිණී ෆොන්සේකා නම් මහා කලාකරුවා සමස්ත ශිල්පීන්ට ම වටිනාකමක් ලබා දෙන්නට ක්‍රියා කරද්දී, නිළියකට හිස කෙළින් තබාගෙන, තමන් කරන වැදගත් වෘත්තියට සරිලන ගෙවීමක් ලබාගන්නට පෙරමුණ ගත්තේ ඇය යි. ඒ නිසා ම ඇය පසුපසින් ගිය අපට හිරිහැරයකින් කරදරයකින් තොර ව වෘත්තියට

සරිලන ගෙවීමක් හිමිවිය. ඇය අහංකාර නො වූවා ය. නමුත් අවශ්‍ය තැන දී කන්දක් මෙන් නොසැලී සිට අපට ශක්තියක් ම වූවා ය.

ඇය රගපෑ චරිත දෙස බලන විට, ඉතා විශාල පරාසයක විහිදුණු චරිත ඈ කිසිම අපහසුවකින් තොර ව රගපා ඇති අයුරු පැහැදිලි ව පෙනේ. මුල් කාලයේ ඇය රඟ පෑ සුන්දර, බොළඳ චරිත යෞවන යෞවනියන් ගේ, හදවත් පැහැර ගත්තේය. පසුකාලීන ව එ වැනි චරිත රඟ පෑමට ලැබෙද්දී ඒවා මොනතරම් අසීරුදැයි මට දැනිණි. ඒ අසීරුකම නිසාම ඇයට මෙන් එම චරිත සාර්ථක ව රගපාන්නට ද නොහැකි විණි. කැලණිය ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක. යම් පමණක ආර්ථික පරිපීඩනයක් ද ඇති ව හැදී වැඩුණු, ඇය මහා පොළොවේ සිටගෙන සිටි යුවතියක වූවා ය. එ නිසාම ඇය එ වැනි සුරංගනා චරිත වලට කෙසේ මෙ තරම් සමීප වුවාදැයි මම බොහෝ විට සිතුවෙමි. ඇය එම චරිත කෙතරම් ස්වභාවික ලෙස රඟ පෑවේ ද යත්, ඒ නිසා ම ඇය සමස්ත ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින්ගේ හදවත් ස්පර්ශ කළා ය. ඔවුන් ගේ සිහින කුමාරිය වූවාය.

වාණිජමය චිත්‍රපටයැයි හැඳීන් වූ එම අතාත්වික චිත්‍රපටවල අතාත්වික චරිත ඉතා දක්ෂ ලෙස සාර්ථක ව රඟපාන අතරේම, “ බඹරු ඇවිත්”, “ නිධානය ”, “ එයා දැන් ලොකු ළමයෙක්”, “සිරිපාල සහ රන් මැණිකා”, “ සොල්දාදු උන්නැහේ “ වැනි චිත්‍රපටවල අති විශිෂ්ට රංගනයක යෙදෙමින් ජාතිකවත්, ජාත්‍යන්තරවත් සම්මානයට පාත්‍ර වූවා ය. මේ චරිත එකිනෙකට වෙනස් වූවා පමණක් නොව කිසිම විටෙක මේ චිත්‍රපට තුළ මාලිනී ෆොන්සේකා නො දුටුවෙමි. ඒ තරමට ම ඇය, ඇය ගේ චරිතයෙන් ඉවත් වී එම චරිත සැබෑ ලෙස ම ප්‍රතිනිර්මාණය කළා ය. “ සොල්දාදු උන්නැහේ” චිත්‍රපටයේ ඇය මෝටර් රථයක ගමන් කරමින් තම ගත මුදලට පූජා කරන්න සූදානම් වන තැනැත්තා කෙරෙහි ඇති පිළිකුල පසෙකට හැරී මුහුණේ ඉරියව් වලින් කියා පෑ අයුරු දැනුදු මගේ

දෑස් අභියස මැවී පෙනේ. විචාරකයින් ගේ වැඩි කතාබහට ලක් නො වුණු ඇය ගේ විශිෂ්ටතම රංගනයක් තිබූ චිත්‍රපටයකි “සිරි මැදුර”. හැඟීම් ඇතුළට තද කරගෙන පිටතට වැඩිපුර නො පෙන්වා කළ එම රංගනය ඉතාමත් ම අසීරු නිරූපණයකි. මට ලැබී තිබූ ලීලා ගේ චරිතය අතපය දිගහැර රඟ පෑමට අවස්ථාව තිබුණු චරිතයකි. එහෙත් නිර්මලා එම චිත්‍රපටයේ තිබූ අසීරුම චරිතය යි.

මමත්, සිරිල් අයියාත් රණ්ඩු කරගන්න තැනකට පැමිණ, හඬ වැඩිය නො උස්සා “එළියට ගිහිල්ලා මරාගනිල්ලා “ යැයි ඇය පවසද්දි මම ඇත්තට ම භීතියට පත්වීමි. කොටි දෙනක ගේ දෙනෙත්වලින් ගිනිපුපුරු විසි වෙන්නාක් වැනි බැල්මක් ඇය ගේ විය. දත් අස්සෙන් ඇය කතා කළ අයුරු ඉතා බියකරු විය. එ වැනි රංගනයක් කළ හැක්කේ මනා සංයමයෙන් යුත්, ප්‍රතිභාපූර්ණ විශිෂ්ට කලාකාරියකටම පමණකි. රංගන විද්‍යාලයත පඩිපෙළක් ළඟටවත්, නො ගිය ඇය ගේ මෙම කුසලතාවය පිළිබඳව අද රංගන ගුරුවරියක ලෙස මම පුදුමයට පත්වෙමි. සතරවිධ අභිනයන්ගෙන් නිරූපණ ශිල්පීන් විසින්ම කරගන්නා වූ අභිනයන් 3 වන ආංගික, වාචික, සාත්වික අභිනයන් ඇය විසින් රඟනු ලබන චරිතයට අනුකූල ව ඉබේ ම වෙනස් වන අයුරු පුදුම සහගත ය. සිය ගණනක් වන ඇගේ චිත්‍රපට බලා අප වෙහෙසට පත් නොවන්නේ ඒ නිසාවෙනි. දශක හතරක් ඉක්මගිය පසුත් අප ඇය පසුපස හිඳීමින් තව තව රඟපාන ලෙස ඉල්ලා සිටින්නේත් ඇය එ සේ ආශ්චර්යමත් ලෙස රඟපානු බලා සිටීමට ඇති ආශාව නිසා ම ය. එම රංගනයන් අප ව අමන්දානන්දයට පත් කරවන නිසාම ය. අද මැදිවියට පැමිණ සිටිය ද, එදා සුන්දර යුවතියක ලෙස කළ රංගනයන් දෙස වශීකෘත ව බලා සිටි අයුරින් ම අද ද අප ඇය රඟනු බලා සිටිමි. එ සේ ම මෙම පිපාසය ඉවර වෙන්නේ කවදාදැයි නො දනිමි.

එහෙත් එ සේ වීමට හේතුව දනිමි. දශක 5 ක් ඉක්ම වූ සිංහල සිනමාවේ ඇගේ රංගන ප්‍රතිභාව තිබූ නිළියක් තව සිටියේ නම් ඒ ඇය ම පමණි. සමහර නිළියන් අති දක්ෂ ලෙස අතාත්වික චිත්‍රපටවල අතාත්වික චරිත රඟපානු දැකිය හැක. ඒ සුන්දර සුරංගනා සිහිනවල පමණක් දෝලනය වන චරිත රඟපාන ඔවුන්ට තාත්වික චරිත රංගනය සිහිනයක් ම වී ඇත. තාත්වික චරිත හොඳීන් රඟපෑ නිළියන් කිහිප දෙනෙක් අප අතර සිටී. එහෙත් අතාත්වික සුරංගනා චරිත නිරූපණයේ දී ඔවුන් අසාර්ථක විය. මම ද ඉන් එක් අයෙක් වෙමි. මෙම අන්ත දෙකත්, ඒ අතර මැද මාවතේ වූ චරිතත්, එක ම පහසුවකින්, ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරමින් රඟපෑ නිළියක් වී නම් ඒ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා පමණක් ම බැව් නො බිය ව කියමි. වර්තමානයේ ද එ වැන්නෙක් ඇති බව නො පෙනෙන අතර, ළඟ පෙනෙන අනාගතයේ ද කිසිවකු ඒ මාර්ගයේ ගමන් කරනු නො පෙනේ. ඇය ලද එම ප්‍රතිභාව ආශ්චර්යයක් ම නො වන්නේ ද?

ඇය ගේ යෙහෙළියක ලෙස පමණක් ම නොව, ඇය ගේ රසිකාවියක ලෙස ඇය වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය කරන්නට මම උත්සාහ කෙළෙමි. එහෙත් එය අසාර්ථක විය. කෙසේ හෝ ඉතා විශිෂ්ට අයුරින් ඇය වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය වෙමින් පවතී. මෙම ලිපිය ද එම ග්‍රන්ථය සඳහා ය. ඇය වෙනුවෙන් කෘතගුණ දන්නා සහෘදයින් අතින් සිදුවන මෙම කටයුත්තට මුල පිරූ අයට මම පින් දෙමි. එ ලෙස ම කලාවට හැර වෙන ඕනෑ ම දෙයකට අතහිත දෙන ව්‍යාපාරික ප්‍රජාවක් ඇති මේ රටේ මේ සඳහා සම්මාදම් වූ සියලු දෙනාට ම ද මම පින්දෙමි.

මන්දයත් ඇය වැනි විශිෂ්ට කලාකාරියකට කෘත ගුණ සැලැකිය යුත්තේ ඇය ජීවත් ව සිටිය දී කර ඇති බැවින්, ඇයගේ සිත සුවපත් කිරීම අප සැම ගේ පරම යුතුකම ද වන බැවිනි.

බැවිනි. දශක 4 ක් තුළ ඇය විසින් පරම්පරා කිහිපයක ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ගේ සිත් සුවපත් අවසාන වශයෙන් රජයෙන් සහ වගකිවයුතු රජයේ ආයතනවලින් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. තව ම සම්පූර්ණ රංගන පාඨමාලාවක් අපට නො මැත. මා වැනි නිළියන් ගේ පූර්ව ආදර්ශය වූයේ ඇය යි. අප ඇයගේ රංගනයන් බලා රඟපෑවෙමු. අප ගේ වැරැදි නිවැරැදි කර ගත්තෙමු. එහෙත් අද දිනයේ එ වන් ශිල්පිනියක ගේ අඩු ව දැඩි ව දැනේ. ඒ නිසා වර්තමාන පරපුරට සහ මතු පරපුරට දැක ගැනීම සඳහා ඇය රඟපෑ විශිෂ්ට චිත්‍රපට කිහිපයක් සහ සුන්දර වූ වාණිජ චිත්‍රපට කිහිපයක් සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

අනවශ්‍ය උත්සවවලට විනාශ කර කා දමන මහජනතාව ගේ මුදල්, මෙ වන් ශ්‍රේෂ්ඨ කලාකාරියකගේ, මහජනතාව දැඩි ලෙස ආදරය කරන, ගෞරව කරන ශිල්පිනියක ගේ කෘතීන් සංරක්ෂණය කිරීමට යෙදවුවහොත්, එහි ගෞරවය අනිවාර්යයෙන් ම ඔවුනට හිමිවනු ඇත.

ආදරණීය මාලිනී අක්කේ, මගේ ආදරණීය නෝනේ, තවත් දශක ගණනාවක් අප සිත් සතන් පුබුදුවන පහන වන්නට, ඔබේ රංගනයෙන් මුළු රටක් අමන්දානන්දයට පත් කරවන්නට, ඒ දුෂ්කර ක්‍රියාවට ඔබට අවශ්‍ය ධෛර්යය, ශක්තිය, නිරෝගී සුවය ලැබේවා.

මාලිනීගේ දශක හතරක රංග අභිනන්දනය වෙනුවෙන් පළකළ ‘මාලිනියේ’ ග්‍රන්ථයට ලියන ලද්දකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT