නිවස සංවාද මගේ නිර්මාණ දිවියේ සිදුවීම් අළලා ‘සිද්ධි’ ළඟදීම එළිදක්වනවා

මගේ නිර්මාණ දිවියේ සිදුවීම් අළලා ‘සිද්ධි’ ළඟදීම එළිදක්වනවා

ප්‍රවීණ කලා අධ්‍යක්ෂ අතුල කල්දෙමුල්ල

by Thanushika
August 22, 2024 11:23 am 0 comment

නිර්මාණශීලී කලා අධ්‍යක්ෂවරයකු, ග්‍රැෆික් චිත්‍ර ශිල්පියකු, මාධ්‍යවේදියකු මෙන්ම ගීපද රචකයකු යන භූමිකා රැසකම ක්‍රියාකාරීව කටයුතු කරමින් අද වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතුල කල්දෙමුල්ල සිය නිර්මාණ කලා භාවිතය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.

ග්‍රැෆික් චිත්‍ර ශිල්පියකු ලෙස ඔබේ ආරම්භය සිදුවූ ආකාරය පැහැදිලි කළොත් ….?

මගේ උපන් ගම මොරටුව. පාසල් අවධියේ සිටම මම කලාකටයුතුවලට යොමුවුණා. කවිය, චිත්‍ර ශිල්පය වගේම සාහිත්‍යය යනාදී විෂයයන්ට මම ඇල්මක් දැක්වූවා. ග්‍රැෆික් චිත්‍ර කලාවට මූලික අඩිතාලම වැටෙනුයේ පාසල් අවධියේම මම සම්බන්ධ වී වැඩකටයුතු කළ “මිහිර” පුවත්පත නිසයි. ඒවගේම “සිත්තර, සත්සිරි, සුහද” ආදී චිත්‍රකතා පත්තරවලටද නිර්මාණ ඉදිරිපත් කළා. කවි, කෙටිකතා වගේම යම්කිසි විශේෂාංගත් “ලංකාදීප”වැනි පුවත්පත්වලට ලිව්වා.උසස්පෙළ ලියා අවසන් වීමත් එක්ක මට ප්‍රචාරක ආයතනයක චිත්‍ර ශිල්පියකු ලෙස සේවය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එහි සේවයේ සිටි පීටර් පීරිස් නමැති මගේ අසල්වැසි සහෝදරයෙක් මට උදව් කරන්න පෙළඹෙනවා. එම කාලයේදී ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන බන්දුල හරිස්චන්ද්‍රයන් වෙතත් මම චිත්‍ර ශිල්පය හැදෑරීමට යොමුවෙනවා. මේ අයුරින් චිත්‍ර ශිල්පියකු ලෙස මගේ නිර්මාණ දිවියට අඩිතාලම වැටෙනවා.

“ග්‍රාන්ට් කෙන්යොන් ඇන්ඩ් හර්ටඩ්” ආයතනය සමඟ ඔබේ ගනුදෙනුව ආරම්භ වූයේ කෙසේද…..?

ග්‍රාන්ට් කෙන්යොන් ඇන්ඩ් හර්ටඩ් නමැති වෙළෙඳ ප්‍රචාරක ආයතනයට සම්බන්ධ වී වෙළෙඳ ප්‍රචාරක කලාව පිළිබඳ අකුරු කිරීම ඇරඹුවා. එහිදී මහින්ද ජීවානන්ද නම් කලා අධ්‍යක්ෂවරයා යටතේ පුහුණුවීම් ලබා වැඩකිරීමටත් අවස්ථාව ලැබුණා .ඔහු දැනටත් වෙළෙඳ ප්‍රචාරක නිර්මාණ කලාවේ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙක් .මම ඔහුගෙන් වෙළෙඳ ප්‍රචාරක කලාව පිළිබඳ බොහෝදෑ ඉගෙනගත්තා ..මේ ආයතනයේ අධිපතිවරයා ලෙස සිටියේ රෙජී කන්දප්පා මහතායි.

වෙළෙඳ ප්‍රචාරක කලාව තුළ අතුල කල්දෙමුල්ල නමැති කලා අධ්‍යක්ෂවරයාගේ භුමිකාව පැහැදිලි කළොත් ….?

අන්තර්ජාතික සන්නාමයක් යටතේ පැවැති ලංකාවේ සුප්‍රසිද්ධ සමාගම් රැසක වෙළෙඳ ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යෑමේදී බොහෝ දෑ කරන්න වෙනවා. වෙළෙඳ ප්‍රචාරක කටයුතු මතයි පාරිභෝගික සිත්සතන් ඇදබැඳගැනීම සිදුවෙන්නේ. මෙහිදී කලා අධ්‍යක්ෂවරයාගේ භූමිකාව ඉතා වැදගත්. කලා අධ්‍යක්ෂවරයා ඔහුගේ නිර්මාණ ශිල්පීන් එකතු කරගෙන ආකල්ප වර්ධනය කරමින් අදාළ වෙළෙඳ ආයතනයන්ට, ඔවුන්ගේ අභිමතාර්ථවලට අනුව දැන්වීම් සකසනු ලබනවා. මේ කාර්යයේදී පිටපත් රචකයන්, ඡායාරූප ශිල්පීන්, ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන්, විධායක නිලධාරීන් ආදී පිරිසගේ සාමූහිකත්වයෙන් මෙකී සංකල්ප එළිදැක්වෙන්නේ.කලා අධ්‍යක්ෂ භූමිකාවේදී එකී සියලු පිරිස එකතු කරගෙනයි යම්කිසි නිර්මාණාත්මක හැඳීන්වීමක් ප්‍රචාරක මාධ්‍යයෙන් එළිදැක්වෙන්නේ. කලා අධ්‍යක්ෂවරයාගේ දැක්ම මතයි ප්‍රචාරක භාණ්ඩයේ ගුණාත්මකභාවය හා පාරිභෝගික ආකර්ෂණය වැඩිවීම සිදුවන්නේ. එයට කලා අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන දායකත්වය සුළුපටු නැහැ. එකී ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මකව විග්‍රහ කිරීමට මෙවැනි පුවත්පත් සාකච්ඡාවකින් ලැබෙන ඉඩකඩ ප්‍රමාණවත් මදි කියා මා විශ්වාස කරනවා.

දෙස්-විදෙස් බොහෝ ආයතනයන්හි ලාංඡන ඔබ අතින් නිර්මාණය වුණා..ඒ ගැනත් සිහිකළොත් ….?

ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු විදෙස් රටවලත් පෞද්ගලික ආයතන බොහොමයකත් නම් මෙහිදී සඳහන් කළ හැකියි. නම් වශයෙන් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ලංකාවේදී විශේෂයෙන් මා අතින් නිර්මාණය වූ ලාංඡන තමයි සිරස ගුවන්විදුලි ලාංඡනය. එය නිර්මාණය වෙන්නේ මා ෆීනික්ස් ඇඩ්වටයිසින් ප්‍රචාරක ආයතනයේ කලා අධ්‍යක්ෂවරයකු ලෙස සිටින අවධියේයි. සිරස නාමය හැදුවේ ෆීනික්ස් ප්‍රචාරක ආයතනයේ අධිපති අර්වින් වීරක්කොඩි මහතායි. ඒවගේම මෙහිදී දිලීප අබේසේකරයන්ව සිහිපත් කළයුතුයි. සිරසේ වෙළෙඳ ප්‍රචාරක කටයුතුවලදි ඔහු මාත් එක්ක සම්බන්ධ වුණා. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ ලාංඡනය, මුල්ම සේවා වනිතා ලාංඡනය, විදුල ළමා ගුවන්විදුලි ලාංඡනය වගේම ලංකාවේ තිබෙන ඇඟලුම් කම්හල්, පෞද්ගලික ආයතන රැසක ලාංඡන මා අතින් නිර්මාණය වුණා.ඕස්ට්‍රේලියාවේත් එහෙමයි. මහරු ටීවී යූ ටියුබ් නාළිකාව, ඕස්ට්‍රේලියාවේ ගුවන්විදුලි රස එෆ්.එම්., මියුරු ගුවන්විදුලිය, ඕතචජඬ ඊධඹද සිංහල පාසල, ර්ඪදබධ සිංහල පාසල, ඍධ්ම්ඒඉධ්ඊඩ්ඒ ඒඋඉඊඅඒඹ්ධ්ඒ වැනි බොහෝ ඒවාගේ ලාංඡන මා අතින් නිර්මාණය වූ ඒවා.

අතුල කල්දෙමුල්ල නමැති ගීපද රචකයා පිළිබඳ මතාකාවර්ජනය කළොත් ….?

මම ගීත රචනයට පිවිසෙන්නේ 1979-1980 අතර කාලයේ. එහෙත් රැකියාවේ කටයුතුවලට මූලිකත්වය දීම නිසා බොහෝ ගීත රචනා මා අතින් සිදුවුණේ නැහැ. මට ලියන්න බොහෝ අවස්ථා ලැබුණා. ඒ අතරදී ලියවුණු දේ තමයි සරල ගී.ගීත රචනා බැංකුවෙන්ද මා ලියූ ගීත තේරී ප්‍රචාරය වුණා. ගුණදාස කපුගේ ශූරීන්ගේ ආරාධනා ස්වර දැහැනට “විල ලස්සනයි සුවඳට මල් පිපුණාට” නමින් ගීතයක් රචනා කරන්න මම වාසනාවන්ත වුණා. ඒ අතර බී. සිරිතුංග පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ “ගව්වෙන් ගව්ව” ටෙලිනාට්‍යයේ තේමා ගීතය ලිව්වා. සාෆ් ආසියාතික තරගාවලියේ ගීතරචනා අංශයක් තිබ්බා. එයට සහභාගි වී මම දෙවැනි ස්ථානය ලැබුවා. “සිව් දෙසින් අත් සිත් එකට බැඳ” ගීතයයි එකී තරගය වෙනුවෙන් මම ලිව්වේ.

ඔබ ලියූ ගී අතරින් සුවිශේෂී ගීත රැසක්ම තිබෙනවා නේද…..

ඔව්, අනිවාර්යයෙන්ම. එහිදී “කඩියෝ ඩියෝ”ගීතය සුවිශේෂියි. පසුගිය දිනවල එය සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය වුණා වගේම එකී ගීතය පිළිබඳ දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් බොහෝදෙනෙක් කතා කළා. “කඩියෝ ඩියෝ” මිලියනයකට වැඩි රසික පිරිසක් රසවිඳී ගීතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය නලින් පෙරේරා සමඟ කළ ගීතයක්. ඊට අමතරව මා ලියූ ගීත අතර “සුන්දරයි සුන්දරී, මගේ සීදේවි, අරුමෝසම් දිගැස්සි, දේවි, විලාසිනියේ සිනාසෙන්, කඳුපෙළ අතරින්, දියකිඳුරි, නෑනච්චි, මාර ගස් යට මල්, සඳ එළිය, රාධා, හුරේ හුරේ, සඳ ළඟ මුමුණා, සදා කාලයක් ” ආදී ගීත රැසක් හඳුන්වා දෙන්න පුළුවන්. මේ ගීත සඳහා ගායනයෙන් නලින් පෙරේරා, ඉන්දික ලියනගේ, ප්‍රභාෂා නෙත්මි, මංගල ඩෙනෙක්ස්, උපුල් මහේන්, ජගත් දන්දෙණිය, කුමාර ඒකනායක, රෝහණ ධර්මකීර්ති, බොනී ප්‍රනාන්දු, තමර දර්ශන ඇතුළු බොහෝ පිරිසක් එක්වෙනවා

මේරියන්ස් නායක නලින් පෙරේරා ඔබේ සමීප මිතුරෙක් නේද…..?

ඇත්තෙන්ම, ඔහු වගේම සංගීත ක්ෂේත්‍රයේ තවත් මිතුරන් රැසක්ම මට ඉන්නවා. මෙහිදී නලින් පෙරේරා විශේෂවෙන්නේ අවුරුදු 20ක් වගේ දුරට විහිදුණු මිත්‍රත්වයක් අපි දෙදෙනා අතර තිබෙන නිසා. වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක කලාවේ නිරතව සිටියදී තමයි මට ඔහු හමුවන්නේ. මම ඔහුට “සුන්දරයි සුන්දරී” ගීතය ලියාදෙනවා.ඒ ගීතය ඔහුගේ හඬින් ගායනය වීමත් සමඟ “සුන්දරයි සුන්දරී” ඉතා ජනප්‍රිය වෙනවා. පසුව තව ගී කිහිපයක් මම ඔහුට නිර්මාණය කළා. ඇත්තෙන්ම නලින් පෙරේරා සමඟ වැඩකරන්න පහසුයි. ඔහු කෙලින් කතා කරන, වේලාවට වැඩේ කරන හොඳ මිතුරෙක් වගේම ගීතයට උපරිමය ලබාදෙන නිර්මාණකරුවෙක්

සිනමා-ටෙලි නිර්මාණ සඳහා ද ඔබ ගීත රචනා කර තිබෙනවා නේද…..?

මම කලින් සඳහන් කළා වගේ බී. සිරිතුංග පෙරේරා අධ්‍යක්ෂණය කළ “ගව්වෙන් ගව්ව” ටෙලිනාට්‍යයේ තේමා ගීතය වන “ගව් ගණන් දුර මාවතේ” ගීතය රචනා කළා.1990 දශකයේ මුල් සමයේ එම ටෙලිනාට්‍යය විකාශය වුණේ. එය ගායනා කළේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා සමඟ එවකට සිටි ළමා ගායිකාවන් දෙදෙනෙක්. සංගීතය සැපයුවේ ඩයටන් පෙරේරා ශූරීන්.

ගීපද රචනය සඳහා ඔබට ආභාසය ලැබුණේ කෙසේද ….?

කවිය වැනි දෑ නිර්මාණයේදී මම සාහිත්‍යමය දෙයට ඇල්මක් දැක්වුවා. එනිසාම මම කවිය, ගීතය වැනි දෑට බොහෝසේ ඇලුම් කළා. එයට නැඹුරුවුණා.මෙහිදී මගේ අයියාව මට බලපෑවා කීවොත් නිවැරදියි. ඔහු පොත්පත් නිතරම ගෙදර ගේනවා. ඩෝල්ටන් අල්විස්, මහගමසේකර, මඩවල එස්. රත්නායක වැනි ප්‍රවීණ ලේඛකයන්ගේ පොත් එහෙමත් ගේනවා. අයියාගේ පොත්පත් පරිශීලනයට වගේම ලියන දේවල් රසවිඳීමටත් ආසාව මට ඒ කාලයේ සිටම තිබුණා. ගීත රචනා කරන්නේ කෙසේද කියා අධ්‍යයනයට මම ඒ තුළින් නිරන්තරයෙන් පෙළැඹුණා. මහින්ද අල්ගම, වසන්ත කුමාර කොබවක වැනි ප්‍රවීණ ගීපද රචකයන්ගේ ගීපද රචනා ගැනත්, ඒවා ලියවී ඇති ආකාරය ගැනත් , එහි අදහස සහ ඇතුළාන්තය ගැනත් මම හොඳීන් අධ්‍යයනය කළා.

පුවත්පත් කලාව තුළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ඒ.ඩී.රන්ජිත් කුමාරයන් සමඟ ඔබේ සුසංයෝගය සිදුවූයේ කවරාකාරයෙන්ද ……?

මේ ගැන කිව්වොත් පොත් ගණනාවක් ලියන්න විස්තර තිබෙනවා. මේ පිළිබඳ මම කෙටියෙන් කියන්නම්. එතුමා මට සහෝදරයෙක් වගේ. ඔහුව මට මුණගැසෙන්නේ මගේ තරුණ අවධියේදීමයි. ඒ කාලයේ ඔහු කල්දේමුල්ල පාරේ දමයන්ති ජයසූරිය මහත්මියගේ නිවෙසට යන එන ගමනුත් මට හමුවෙනවා. කාලයක් යෑමේදී අපි දෙදෙනා අතර මනා හඳුනාගැනීමක් ඇතිවෙනවා. ඔහුත් චිත්‍ර ශිල්පියෙක් ලෙස පොත් කවර ගණනාවක් නිර්මාණය කර තිබුණා. ඒ වගේම පුවත්පත් කලාවේදියෙක් ලෙසත් කටයුතු කර තිබුණා. ඒ පිළිබඳ ඔහුට මනා පරිචයක් තිබුණා. එසේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අප දෙදෙනා අතර මනා සුසංයෝගයක් ඇතිවුණා කිව්වොත් හරි. එතුමා සරසවිය කර්තෘ පදවිය ලද පසු මා අතින් තමයි එහි පිටු සැලසුම් කටයුතු සිදුවුණේ. සරසවිය සමරු ඵලකය නිර්මාණය වුණෙත් මා අතින්. එහිදිත් අප දෙදෙනා අතර මනා සුහදත්වයකින් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කෙරුණා. ඔහු යටතේ සරසවියට විශේෂාංග ලිපිත් මම ලිව්වා. ඔය අතර ඒ.ඩී. රන්ජිත් කුමාරයන්ගේ ආරාධනයෙන් ගාමිණි ෆොන්සේකා මහතාගේ දේශපාලන ප්‍රචාරක කටයුතු ද මා අතින් සිදුවුණා. ගාමිණී ෆොන්සේකා මහතාටත් සතුටක් ඇතිවෙනවා ප්‍රචාරක මාධ්‍යයෙන් ඔහුට සහය දීම සම්බන්ධව. ඒ වගේම රන්ජිත් කුමාරයන් සහ සුමති ආයතනයේ ප්‍රධානීන් මට ආරාධනා කරනවා ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන සුමති සම්මානය නිර්මාණය කිරීමට. එහි නිර්මාතෘ වෙන්නේ මම. ඇත්තෙන්ම ඒ.ඩී. රන්ජිත් කුමාර කියන්නේ හරිම සුන්දර හදවතක් ඇති පුද්ගලයෙක්. ඔහු පිළිබඳ වචනයෙන් කියා නිමකරන්න බැහැ

සරසවිය මුල්ම පුවත්පතේ කවරය නිර්මාණයට ඔබේ දායකත්වය ලබාදුන් අයුරුත් සරසවිය සම්මාන උළෙලේ සමරු ඵලකය නිර්මාණයට ඔබේ දායකත්වයත් පැහැදිලි කළොත් ….?

සරසවිය මුල්ම පිටකවරය සඳහා මාලිනී ෆොන්සේකා සහ ලකී ඩයස් දෙදෙනාගේ ඡායාරූපයක් යොදාගන්නේ .මමත් සුසන්ත ලියනවත්තත් , ඒ .ඩී.රන්ජිත් කුමාරයනුත් ඔවුන්ගේ නිවෙසට යනවා එම කාර්යය සඳහා. එතැනදී පොල්තෙල් පහනක් දල්වන අවස්ථාවක් තිබෙන්නේ. මට හැකි උපරිමයෙන් නිර්මාණකරණය කරමින් කවරය සැකසුවා. එවර පුවත්පත බොහෝසෙයින් අලෙවි වුණා. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා, උපාලි ෆොන්සේකා, සුසන්ත ලියනවත්ත වැනි ඡායාරූප ශිල්පීන් පුවත්පතේ ඡායාරූප ශිල්පීන් ලෙස කටයුතු කළා. ප්‍රියන්ජන් සුරේෂ්ගේ ඡායාරූප තමයි මට බොහෝසේ ලැබෙන්නේ කවර නිර්මාණයට. එකී කවරවලට ඉහළම ඉල්ලුමක් තිබුණා. ඔය අතරතුර සරසවිය සම්මාන උළෙලත් ඇරඹෙනවා. සම්මාන සමරු ඵලකය පළමු වරට යම්කිසි වෙනස් කඩදාසියකින් වර්ණවත්ව මුද්‍රිත මාධ්‍යයෙන් ග්‍රන්ථයක් ලෙස එළිදැක්වෙනවා. එහි ඇතුළු පිටු සියල්ල මා අතින් නිර්මාණය වෙන්නේ. එය බොහෝ අයගේ ප්‍රශංසාවට ලක්වෙනවා

මේ නිර්මාණකරණය අළලා ග්‍රන්ථයක් සම්පාදනයට අදහසක් නැද්ද …..?

ඔව්, ඇත්තෙන්ම මගේ නිර්මාණ අළලා වූ සිදුවීම් සියල්ල පිළිබඳ වෙනම පොතක් ලියන්න අදහස් කරගෙන ඉන්නවා. මෙහි අන්තර්ගත වන්නේ ගීතය, කවිය ගැන නෙවෙයි සිද්ධීන් පිළිබඳවයි. මගේ නිර්මාණ දිවිය තුළ එදිනෙදා සිදුවූ හාස්‍යජනක සහ දුක්බර සිදුවීම් මෙයට ඇතුළත්. මෙම සිදුවීම් ඇතුළත් පොත “සිද්ධි” නමින් නම් කළා. එය නුදුරේදීම එළිදක්වනවා.

ඔබේ නිර්මාණ දිවියට අත්වැලක් සැපයූ පිරිස මතක් කළොත් …..?

මෙහිදී මුලින්ම සිහිකළ යුතුයි මගේ මස්සිනා වන ඩබ්.ජේ. සිරිමාන්නව. ඔහු තමයි මාව කලාවෙන් යම් ස්ථානයකට ගේන්න උත්සහ දැරුවේ. චිත්‍ර ඉගෙනීමට බන්දුල හරිස්චන්ද්‍රයන් වෙත යාමට ඉඩ සැලැස්සුවේත් ඔහු. ඒවගේම බන්දුල හරිස්චන්ද්‍ර ගුරුතුමාවත් ආදරයෙන් සිහිපත් කරනවා. පීටර් පීරිස් නමැති මගේ හිතවතාත් ඇඩ්වටයිසින් ක්ෂේත්‍රයේ ප්‍රතාපවත් චරිතයක් වූ මහින්ද ජීවානන්ද නමැත්තාත් මේ ගමනට මට බොහෝ උදව් කළා. ග්‍රාන්ට් ප්‍රචාරක ආයතනයේ අධිපති ධුරය දැරූ රෙජී කන්දප්පා මහතා වගේම ෆීනික්ස් ආයතනයේ අර්වින් වීරක්කොඩි මහතාත් මගේ ගමනට සෙවණක් වුණා. එසේම ඒ.ඩී.රන්ජිත් කුමාරයන් කියන්නේ මට සහෝදරයෙක් වගේම නිර්මාණශීලී කලාකරුවෙක්. එතුමා මට උදව් කරමින් යම් තැන්වලදි උපදෙස් දෙමින් මා ළඟින්ම සිටියා .කුමාර ජයකාන්ත, ජයනාත් බෝදාහන්දි වැනි මිතුරනුත් ප්‍රචාරක කලාව තුළ මගේ ළඟින්ම සිටියා.ඔවුන්ගේ සහෘද බව අගය කරනවා. අන්තර්ජාතික මට්ටමේ වැඩකටයුතු කළ චිත්‍ර ශිල්පියකු වන බන්දුල සමරසේකර, ලකී ලියනගේ, පුලස්ති එදිරිවීර, කල්‍යාණ ගුරුගේ නම්වූ චිත්‍ර ශිල්පීනුත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒවගේම මගේ බොහෝ ගීත හැඩකළ සංගීතඥ දර්ශන වික්‍රමතුංගව මතක් කරන අතර නිහාල් වික්‍රම එදිරිසූරිය, මේ රටේ (ඕස්ට්‍රේලියාවේ) මෛත්‍රී පනාගොඩ, කිත්සිරි කරුණාරත්න, රංගන ශිල්පි ශ්‍රීනාත් මද්දුමගේ, උපුල් මහේන්, ජගත් බණ්ඩාර, නිශාන්ත ජයකොඩි , අසේල ජයනාත්, අජිත් ලක්ෂ්මන් ආදී සහෘදයන්ගේ මිත්‍රත්වය, අතහිත දීම අගය කරනවා

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT