ශ්‍රී ලාංකික වේදිකාවෙන් තම රංගන ජීවිතය ආරම්භ කළ ඔහු ජයලත් මනෝරත්නයන්ගේ ‘තුන්දෙනෙක්’ ඒකාංගික ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයට පා තැබීය. මේ දිනවල තිරගත වන අශෝක හඳගමයන්ගේ
‘රාණී’ චිත්‍රපටය ඔස්සේ විශාල ප්‍රේක්ෂක ආදරයක් ලබමින් සිටින රංගන ශිල්පී ප්‍රියන්ත ලලිත් අද අපේ සරසවියේ කලා පිටුවත් සමඟ එකතු වෙලා ඉන්නවා.
ආයුබෝවන් ප්‍රියන්ත. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු ?
ආයුබෝවන්. මේ දවස්වල රාණි චිත්‍රපටයෙන් ලැබෙන ප්‍රතිචාර සහ එම උණුසුමත් එක්ක පුරුදු රාජකාරී කටයුතුද කරමින් කාලය ගෙවනවා.
මම මෙහෙම ඇහුවොත් ප්‍රියන්ත ලලිත් කියන්නේ මොන වගේ චරිතයක්ද ?
ඉතා සරල සාමාන්‍ය කෙනෙක්. කරන වැඩේ වෙනුවෙන් වැඩිපුර වෙහෙසෙන කෙනෙක්. ඒවගේම අසාධාරණය, වංචාව පෙන්නන්න බැරි කෙනෙක්.
ඔබේ රංගන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යය ” තුන්දෙනෙක් ” ද කියලා ඇහුවොත් මං නිවැරදිද සහ අපි අතීතයත් පොඩ්ඩක් මතක් කරමු ?
වේදිකා නාට්‍යවලට ඇබ්බැහි වෙලා හිටපු මට අවස්ථා කීපයකදීම නාට්‍ය තරගවලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබෙනවා. එහි එක් විනිශ්චය මණ්ඩලයක හිටියා ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්. එතුමා මට එතුමාගේ “තුන්දෙනෙක්” කියන ඒකාංගික ටෙලි නාට්‍යයට කතා කරනවා. ඔහු මාව ජාතික රූපවාහිනියේ දයාරත්න රටගෙදරයන්ගේ “දෑකැති මුවහත, දොළොස් මහේ අපි” ටෙලි නාට්‍යවලට හඳුන්වා දෙනවා. ඉන්පසු මට ලක්ෂ්මන් පුෂ්ප කුමාර නම් නාට්‍යවේදියා හමුවනවා. ඉතින් ඊට පස්සේ “අහස සේ ඔබ අනන්තයි, පිපෙන මල්” ආදි ටෙලි නාට්‍ය රැසක රංගනයට මට අවස්ථාව ලැබෙනවා.
මෙතෙක් ඔබ නිරූපණය කළ චරිත අතුරින් ඔබ වඩාත් කැමතිම චරිතය කුමක්ද සහ ඒකට හේතුව ?
වේදිකාවේ “අමාවක ඇවිත්” අලංකාරගේ චරිතයට සම්මාන රාශියක් හම්බෙනවා.එම නාට්‍ය අධ්‍යක්ෂ ලෙසද සම්මානය ලැබෙනවා. පුංචි තිරයේදී නම් “ඉතින් ඊට පස්සේ” හී හැරී මහත්තයාගේ චරිතයට.
ටික කාලයක් ක්ෂේත්‍රය ඇතුලේ ප්‍රියන්තව දකින්න ලැබුණේ නැහැ.ක්ෂේත්‍රය ඇතුළේ විරාමයක් ගන්න විශේෂ හේතුවක් තිබුණද ?
නාට්‍ය කලාව, රැකියාව, දරු පවුල මේ කියන ත්‍රිකෝණය ඇතුළේ අකමැත්තෙන් එක තැනක නවතින්න වෙනවා. මගේ ජීවිතයම රංගන කලාව වුණත් එයට තිත තියන්න මම තීරණය කරනවා. මොකද පෞද්ගලික ආශාවට වැඩිය මට දරුවා වැදගත්. රැකියාව හැර ආර්ථික ශක්තියට වෙන සරණක් තිබුණෙ නැහැ. ඒකට තව හේතුවක් උණේ මගේ ආයතනය එම රජයේ ආයතනයට අවුරුදු කීපයකට සැරයක් යන එන දේශපාලකයන්. ඔවුන්ගේ දේශපාලන මතය අපි දරන්නෙ නැති එක නිසා අපේ මානසික නිදහස නැතිවුණා.
අපි දැන් ඉන්නේ රාණි උණුසුමත් එක්ක කොහොමද චිත්‍රපටයේ ඔබ නිරූපණය කළ චරිතයට ලැබෙන ප්‍රතිචාර ?
රාණි චිත්‍රපටය ගැනත්, මම එහි නිරූපණය කරන දේශපාලන නායකයාගේ චරිතය ගැනත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකෙ විශේෂත්වය වෙන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයා වගේම අපේ නාට්‍ය ක්ෂේත්‍රයේ සහෝදරයෝ, ඒගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය බොහොම ප්‍රබලයි. ඉතාම වටිනවා. ඒක ලොකු සතුටක්. දැවැන්ත අධ්‍යක්ෂවරයකුගේ රටේ ඛේදවාචකයක් මූලික කරගෙන කරපු මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. විශේෂම ප්‍රතිචාරය නිදහස් දිනය දවසේ ලැබුණා, රාණි චිත්‍රපටයේ විශේෂශේෂ දර්ශනයක් වත්තල රාන් සිනමා ශාලාවේ පැවැත්වුණා. ඒකට ප්‍රවීණ රංගන ශිල්පිණි ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු අපි කීපදෙනෙක් සම්බන්ධධ වුණා. ඒ වෙලාවේ චිත්‍රපටය නරඹපු අම්මා කෙනෙකුයි දරුවෝ දෙන්නෙකුයි ඇවිල්ල මගේ මූණටම කිව්වේ “ඔයාව දැක්කහම කේන්ති යනවා” කියලා. ඇය කිව්ව දෙයක් එක්ක එක පාරට මම ෂොක් වෙනවා. ඒත් එක්කම ඇය කියනවා ” මට මගේ සැමියව නැති වුණා ” කියලා. ඒක හරි සංවේදී කාරණාවක්. “දැන් සියල්ල සිද්ධ වෙලා ඉවරයි හැබැයි මේ චිත්‍රපටය මාව අතීතයට ගෙනිච්චා කියල ඒ අම්මා කිව්වා. ඇයත් එක්තරා මනෝරාණී කෙනෙක් තමන්ගේ සැමියාව නැතිවෙච්ච. මේ චිත්‍රපටයත් එක්ක විශාල පිරිසක් සිනමා ශාලාවලට එන්න පටන්ගෙන තියෙනවා. ඒකත් ලොකු සතුටක්.
චිත්‍රපටය ඇතුළේ ඔබට තියෙන්නේ කුඩා තිර කාලයක් උණත් ඉතාමත් සංයමයකින් ඔබේ නිරූපණය කරලා තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂ හැදෑරීමක් කළාද ?
අත්දැකීම් ඒ චරිතයට ප්‍රවිෂ්ට කරවන්නට මට හැකියාව ලැබෙන්නේ අශෝක හඳගමයන් නිසා.ඔහු ගොඩනැගූ චරිතයට සිනමාපටයට ඔහු ඉල්ලා සිටින කාරණාවන් එක්ක. ඔහුගේ උපදෙස් මත. එහෙමත් නැතිනම් ඔහුගේ පිටපත නිසා තමයි යම්කිසි සාධාරණයක් වුණානම් වුණේ. එම චරිතය මට හැකිපමණින් ජීවමාන කරන්න මම උත්සහ කරා. ඒක තනි පුද්ගල කාරණාවක් නෙවෙයි. එක්තරා දුරකට සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. මගේ අත්දැකීම්, අධ්‍යක්ෂකවරයාගේ අදහස්, පිටපත සහ අවශේෂ රංගන ශිල්පීන්, අංග රචනා ශිල්පියා, කැමරා ශිල්පියා සියල්ලගේම අවසන් ප්‍රතිඵලය කියලා මම විශ්වාස කරනවා.
ලංකාවේ සම්මාන රාත්‍රීන් ගැන ඔබේ අදහස් කුමක්ද, ඇගැයීමට ලක්විය යුත්තන්ම දැකීමට පාත්‍ර වෙන්නේ ?
අප කුමන හෝ තරගයකට සම්බන්ධ වෙනකොට සිනමාව වෙන්න පුළුවන් වෙනත් ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්, ඒවට ඉදිරිපත් වෙද්දි ඒ ලබා දෙන තීරණය හිස නමා පිළිගත යුතුයි. මොකද ඒ සංවිධානය කරන්නේ මා නෙවෙයි වෙනත් කණ්ඩායමක්. එතකොට ඔවුන්ගේ කොන්දේසි පත්‍රයක් තියෙන්න පුළුවන්. ඒකට එකඟව තමයි තීරණය ලැබෙන්නේ. තරඟයේ තීරණයට එකඟ වන්නට බැරි නම් තරගයට සහභාගිවී නොවිය යුතුයි. මොකද අපි නිර්මාණකරුවෝද මනුෂ්‍යයෝද ? විනිශ්චයකරුවෝද මනුෂ්‍යයෝය. කාගේ කාගේත් යම් යම් අඩුපාඩු තියෙන්නට පුළුවන්. කුමක් උණත් ගන්න තීරණයට අප එකඟ විය යුතුයි. හැබැයි තව දෙයක් යම් දෙයක් සංවිධානය කරනවා කරනවා නම් කිසියම් වූ පාර්ශ්වයක් විසින් ඒ සඳහා ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා ප්‍රබල වටිනාකමක් තියෙන කණ්ඩායමක් යොදා ගන්න. ඒ අය අපක්ෂපාතී විනිශ්චයක් ලබා දෙන්නට පුළුවන් අය විය යුතුයි.නමුත් යම් යම් තැන්වලදී සාධාරණය වගේම අසාධාරණය වෙන්නට පුළුවන්. හැමෝම සතුටු කරන්න බෑ.
මොනවද ජීවිතේ ඉස්සරහට තියෙන බලාපොරොත්තු, මොන වගේ නිර්මාණ වලින්ද ප්‍රේක්ෂකයන්ට ඉදිරියට ඔබව දකින්න පුළුවන් ?
ඉස්සරහට එන්න තියෙන ශමීර නාඔටුන්නගේ ” වයිෆ් ” චිත්‍රපටයට සම්බන්ධවෙලා තියෙනවා. තවත් නාට්‍යයකට හිතවතෙක්ගෙන් ආරාධනා ලැබිලා තියෙනවා නමුත් දැනට මට ඒ ගැන ස්ථිරව කියන්න බැහැ. ඒ වගේම මම කොටස් 75ක විතර ටෙලි නාට්‍යයක් ලියලා තියෙනවා. ඒ සඳහා අර්ථපතිවරයෙක් හමුවුවහොත් ඒ වටිනා නිර්මාණයක් බවට පත් වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා.
ස්තූති කරන්න පිරිසකුත් ඇති ?
ඇත්තෙන්ම මේක අවස්ථාවක් කර කර ගන්නවා මට නිර්මාණ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු හැමෝමටම ස්තුති කරන්න. අද ජීවතුන් අතර නැතත් ජයලත් මනෝරත්නයන්ව මම ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. ප්‍රවීණ අධ්‍යක්ෂ, රචක ලක්ෂ්මන් පුෂ්පකුමාරව මතක් කරනවා. මගේ හිතවත් සහෘදයා සෙනෙෂ් බණ්ඩාරව ආදරෙන් මතක් කරනවා. ලලිත් වසන්ත අයියා, සඳුන් රාජකරුණා සහ අපේ හැකියාව ඔවුන්ගේ නිර්මාණවලට දායක කර ගැනීම පිළිබඳව. ඒ වගේම මේ වැඩ වලදි මට ලොකු සහයක් දෙන්න මගේ බිරිඳ සහ මගේ දියණියන් දෙදෙනාව මතක් කල යුතුමයි.ඔවුන්ගේ ඉවසීම, කරුණාව, ආදරය මගේ කලා කටයුතුවලට ලොකු පිටුවහලක්. ඒ අයට ඇත්තෙන්ම ස්තුතියි.
මෙවැනි කතිකාවන් තුළ මාව කැඳවීම කලාකරුවකුට දෙන වටිනාකමක් ලෙස මම සලකනවා. මෙහෙම අපිව ප්‍රශ්න කිරීම ඒක ලොකු වටිනාකමක්. ඉන් තමයි කලාකරුවන් ඒ වගේම නිර්මාණ තව තවත් ව්‍යාප්ත වෙන්නේ.
සුනෙත් සංදීප මධුෂාන්