නිවස විශේෂාංග මගේ ගීතවලට ‘සැක්සෆෝන්’ නැතුව බැහැ

මගේ ගීතවලට ‘සැක්සෆෝන්’ නැතුව බැහැ

යොවුන් ගායන ශිල්පී හිමාෂ මනුප්‍රිය

by Mahesh
July 11, 2024 12:30 am 0 comment

මේ දිනවල සංගීත ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් දිනා සිටින යොවුන් නිර්මාණකරුවකු ලෙස හිමාෂ මනුප්‍රිය හඳුනාගත හැකිය. සිය පියාණන්ගේ අඩිපාරේ යමින් නමුත්, නූතන සංගීත කලාවේ නව මානයන් වෙත ප්‍රවිෂ්ට වෙමින් නිර්මාණ කාර්‍යයේ යෙදෙන යොවුන් සංගීතවේදියකු වූ හිමාෂ සිය සංගීත දිවිය හා නව ගීත ඇල්බමය පිළිබඳ කළ කතා බහකි මේ.

මේ නිර්මාණයේදී නාද මාලා රසිකයන් ට නව හැඟීමක් ගෙන දේවි නිර්මාණයක් ඔස්සේ ලොකු බලපෑමක් කළ හැකියි

‘කාල යාත්‍රා’ ගීත ඇල්බමය ගැන කතා කරන්න ප්‍රවේශයක් ගන්නෙ කොහොමද ?

මේක ගීත දහයක් අඩංගු ගීත ඇල්බමයක්. මෙහි ගීත අතුරින් බහුතරයක සංගීතය සහ තනු නිර්මාණයත් මගෙමයි. ඒ වගේම මෙහි ප්‍රේම ගීතවල සිට විවිධ ශානරයේ ගීත අඩංගුයි.ඇත්තටම මේ පවතින සමාජයේ මිනිසුන්ගේ විවිධ වූ හැගිම්වලට නිර්මාණාත්මකව දක්වපු ප්‍රතිචාරයක් විදියට මේ ගීත ඇල්බමය හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ ඇල්බමයේ ප්‍රධාන ගීතය ‘කාල යාත්‍රා’ කියන ගීතය. එය ආදර ගීතයක් නෙවෙයි. හැබැයි එයින් සමාජයේ මේ වනවිට පවතින යථාර්ථය කතා කරනවා. විනාඩි කීපයක ගීතයක් විදියට. විශේෂයෙන් ම සැක්සෆෝන් කියන සංගීත භාණ්ඩය ඇසුරෙන් මැවූ නාද රටා නැතිනම් ඒ සංගීතය මුසු වුණ ගීතයක් ලෙස මෙය රස විඳීන්න පුළුවන්. එතනදි එදා සමාජයේ මිනිස්සු අතර තිබුණ ආදරය ළෙන්ගතුකම මිනිස් වටිනාකම් අද තියෙනවා ද කියන දේ මූලික ව මේ ගීතය ඇතුළෙ කතා කෙරෙනවා. ඒ වගෙම මුදල් කියන සාධකය අද අපට කෙතරම් බලපෑමක් කර තිබේද යන කාරණා මේ ගීතය ඇතුළෙ නිර්මාණාත්මක ලෙස කතා කරන්න උත්සාහ කර තියෙනවා. මේ ගීතය මගෙ අදහසකට අනුව සුරේෂ් නිලුපුල් කියන තරුණ ගීත රචකයා විසින් නිර්මාණය කළේ. මේ ගීතයේ තනු නිර්මාණය සහ සංගීතය නිර්මාණය කළේ මා විසිනුයි.

සැක්සෆෝන් නාද මාලා ඔබේ නිර්මාණවල ප්‍රමුඛ ලක්ෂණයක් නේද ?

ඔව්. පුංචි කාලෙ ඉඳන් ම ඒ හඬ මගෙ කනට හුරුයි. මගෙ තාත්තාත් සැක්සෆෝන් වාදකයෙක්. එතකොට තාත්තා මට අහන්න දුන්නෙ ලෝක ප්‍රකට සැක්සෆෝන් වාදන ශිල්පී කෙනි ජී ගේ වාදන.

එතැන් සිට මම හරි ආස වුණා සැක්සෆෝන් හඬට. ඒ වගේම ඉන් පස්සෙ මම මගෙ නිර්මාණවලට සැක්සෆෝන් නාද මාලා යොදාගන්න පෙලඹුණා. අපේ රසිකයන් ට මේ නාද මාලා නුහුරු නැහැ. උදාහරණයක් විදියට මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයකු ගෙ ගීතවල අපි මේ නාද මාලා ගොඩක් රස විඳීනවා. ඒ වගේම අපේ සවනේ රැඳුණ තවත් බොහෝ ගීතවල. ඒ ඔක්කොම වාගේ ආදරය හා බැඳුණ ගීත. අපි දන්නවා සැක්සෆෝනය කියන වාද්‍ය භාණ්ඩය බොහෝ විට යොදා ගන්නෙ එවැනි නිර්මාණවල. ලෝකයේ අනිකුත් රටවල විශේෂයෙන් යුරෝපයේ ගොඩක් බහුලව මේ නාද මාලා යොදා ගන්නවා.

මගේ නිර්මාණයේදී අපි මේ නාද මාලා වෙනස් විදියට යොදා ගත්තා. ඒක රසිකයන් ට නව හැඟීමක් ගෙන දේවි.

ගායකයකු විදියට ඔබ ගොඩ නැඟෙන්නෙ කොහොමද ?

පුංචි කාලයේ මම හිටියේ කෑගල්ලෙ රඹුක්කන. මගෙ ගමේ. අම්මයි තාත්තායි දෙන්නම සංගීත ගුරුවරු වීම විශේෂ බලපෑමක් වුණා. ඒ වගේම තාත්තා ගෙ ගායන දිවියත්. (ගායක, සංගීතවේදී ජයන්ත දිසානායක) අයියාටත් ඒ පසුබිම ගොඩක් බලපෑවා (ගායක තනුර මදුගීත්) මේ පසුබිම මාව නිරායාසයෙන් සංගීතය ට නැඹුරු කළා.

කුඩා කාලයේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියට යොමු වීමත් ඒ වගේම 2009 වසරේ එය ජයග්‍රහණය කිරීමත් සමඟ මගේ දිවියේ සංගීත කටයුතුවල වෙනස්කම් ගොඩක් සිදුවුණා.

විශේෂයෙන් ඒ කටයුතු නිසා ගමෙන් කොළඹ ට එන්න වගේම යම් කාලයක් පුරා කාර්‍යබහුල වීමට සිදු වුණා. නමුත් පාසල් අධ්‍යාපනය ලබන අතරතුර මම ඒ කටයුතුවලට මඳ විරාමයක් තැබුවත් උසස් පෙළ විභාගයෙන් පසු නැවතත් සක්‍රිය ව කටයුතු කරනවා. ඒ වගේම මම ගොඩක් පුහුණුවන කෙනෙක් මගෙ විෂය තුළ නිතරම. අයියත් එහෙම යි.ගෙදර ඉන්නවා නම් පැය දෙකක්වත් මම ගායනය, හඬ පාලනය පිළිබඳ පුහුණු වෙනවා. ඒවාගේම වාදනය පිළිබඳත්. මොකද ඒ දේවල් ගොඩක් වැදගත් කියන දේ මම විශ්වාස කරන නිසා.

දැන් ඔබ තනු නිර්මාපකයකු විදියටත් කටයුතු කරන කෙනෙක්. කොහොමද ඊට හිමිවන ප්‍රතිචාරය ?

සතුටුයි ගොඩක්. හොඳ ප්‍රතිචාරයක් තමයි ලැබෙන්නේ. ඔවුන් වෙනුවෙන් මම නිර්මාණය කරන දේ ගැන තෘප්තිමත් බව දැනෙන විට විශාල සතුටක් දැනෙනවා. මොකද මම කරන දේ අවසානය තෙක් හරියටම කරන්න මම ගොඩක් කැප වෙනවා. නිර්මාණ කාර්‍යයක් වෙනුවෙන් මුදලක් අය කළත් ඇත්තෙන්ම ඒ මුදලට එහා ගිය දෙයක් සමඟ ඒ නිර්මාණය එළි දකින තුරු ම ඒ සමඟ රැඳී ඉන්නවා.

ඒක නිර්මාණකරුවකු විදියට ඒක ගොඩක් වැදගත් දෙයක් විදියට මම දකිනව.

මොනවාද අනාගත අරමුණු ?

මේ වනවිට දිගටම සංගීත කටයුතුවල නිරත වී ඉන්නේ. ඒ වගේ ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයටත් තේරී සිටින්නෙ. අනාගතයේ ඒ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගත යුතුයි

සංගීත දැනුම වර්ධනය කරගන්න එක මගෙ ප්‍රමුඛ කර්‍යයක්.

ඒ අතරෙ මගෙ නිර්මාණවලින් සමාජය ට යහපතක් කරන්න උත්සාහ කරන එකත් අරමුණක්. ආර්ථික ව ගොඩ නැඟෙන්නත් ඕනේ.

නිර්මාණයක් ඔස්සේ සමාජය කොයිතරම් දුරකට ගොඩනැඟිය හැකියි කියා විශ්වාස කරනවා ද ?

ඒක පහසු නැහැ. නමුත් එසේ කළ අය ඉන්නවා. බොබ් මාලේ, මයිකල් ජැක්සන් වැනි අය. එකපාරටම මිනිස්සු එය නොදකීවි. නමුත් ලොකු බලපෑමක් කළ හැකියි. නිර්මාණයක් ඔස්සේ.

ඔබෙන් පෙර පරපුරේ ගීත ගැන මොන වගේ හැඟීමක් ද තියෙන්නේ ?

ඇත්තෙන්ම ඒවා හරිම පොහොසත් .උදාහරණයක් විදියට ඔබ මගෙන් ඇසුව මගෙ තාත්තා ගෙ සුදු රෝසයි මුහුණ පුරා වැනි ගීත. පදමාලාව සංගීතය හරිම පූර්ණ ව ලස්සනට ගොඩ නැගූ ගීත .ඒ තමයි නිර්මාණකරුවකුගේ දක්ෂතාව. ප්‍රවීණත්වය.

සමුද්‍රිකා වර්ණකුල 
සේයාරූ – ගයාන් රත්නායක

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT