රංගන ශිල්පියකු වූ පමණින් කලා ක්ෂේත්‍රයේ එකසේ රැඳී සිටීම තරමක් අපහසු කාරියකි. එහෙත් නිසි මඟ දැන කලා ක්ෂේත්‍රයට පා තැබූ දක්ෂයන් එදා සිට අද දක්වා එකසේ රැඳී සිටීම විශේෂත්වයකි. එම දක්ෂයන් අතරින් රංගන ශිල්පී කුමුදු නිශාන්තට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන අංශ ත්‍රිත්වයෙහිම ඔහු දස්කම් පාන්නෙකි. රංගනයට පමණක් සීමා නොවූ ඔහු ලේඛකයෙකු, ගීත රචකයෙකු, තිරපිටපත් රචකයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකුද වේ. මේ සෑම අංගයන්ගෙන්ම ඉදිරියට ආ කුමුදු නිශාන්ත කලා ක්ෂේත්‍රය තුළ ගෞරවාන්විතව කටයුතු කරන සුන්දර තැනැත්තෙකි. කිසිදු කලබලයකින් තොරව මේ දක්වා සාර්ථක ගමනක් පැමිණි ඔහු මේ දිනවල තවත් අලුත් කටයුතු කිහිපයකට අතගසා ඇත. ඒ පිළිබඳ මුලින්ම පාඨකයා දැනුම්වත් කිරීමට ඔහු පැමිණියේ කලාවට අතහිත දෙන සරසවිය වෙතටය.
අද මම සරසවියට ආවේ අලුත්ම වැඩ කටයුතු කිහිපයක තොරතුරු අරගෙන. සුපුරුදු පරිදි මේ දිනවල ‘ සංගීතේ’ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම මගේ පිටපතක් නැවත අලුත් කරමින් ඉන්නවා. එහි නම ‘ යකාවෙල’. පහතරට නැටුම් සම්ප්‍රදාය හා සම්බන්ධ වූ ,ඒ පිළිබඳ මනා දැනුමක් ඇති ගුරුන්නාන්සේ කෙනෙකු ගැන කියවෙන රසවත් කතාවක්. කාලයත් සමඟ වෙනස් වන නර්තන සම්ප්‍රදායයන් ගැන අවධානය යොමු කරමින් ඔහු ඉන්නේ. පරම්පරාවෙන් රැකගෙන ආ නර්තන සම්ප්‍රදායන් වර්තමානයේ බොහෝ සෙයින් වෙනස් වෙලා. නර්තනය නවීකරණය වෙලා. මෙන්න මේ කාරණාව සමඟ ඒ ගුරුන්නාන්සේ තමා රැකගෙන ආ නර්තන සම්ප්‍රදාය වෙනස්වන ලෝකයත් සමඟ හසුරවන්නේ කෙසේද කියන කාරණාව පුළුල් වශයෙන් කතා වෙනවා ‘ යකාවෙල’ පිටපතින්.
යක්බෙරය කියන්නේ පහතරට නර්තනයට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක්. අතීතයේ යක්බෙරය උපයෝගී කරගෙන බලි තොවිල්, යාගහෝම, වශී ගුරුකම් , ශාන්ති කර්ම ආදිය කළා. අනික් කාරණාව තමයි අතීතයේ ප්‍රබලව තිබූ දෙයක් තමයි පිල්ලි යැවීම. ඒ සඳහා භූමදානය කළ මළ මිනී පවා උපයෝගී කරගත්තා කියල අතීත තොරතුරු වල සඳහන්. මගෙත් මාමා කෙනෙක් හිටියා ‘ මාදිවෙල ස්ටීවන්’ නමින්. ඔහුත් ඒ විෂය සම්බන්ධව දැනුම් තේරුම් තිබූ ප්‍රසිද්ධ චරිතයක්. අතීතයේ ශ්‍රී ලංකාවේ විසූ මිනිසුන් මේ හදි හූනියම්, ගුරුකම් වගේ දේවල් ගැන ගැඹුරින් සිතා ගෙන කටයුතු කළා. එහෙත් කාලය ගත වෙත්ම ඒ දේවල් සමාජයෙන් ඈත්වුණා. නූතන පරපුර මේ දේවල් ගැන දැනුම්වත් නැහැ. මේ පිටපතින් කතා කෙරෙන්නේ ඒ යටගිය යාගහෝම, ශාන්ති කර්ම, ගුරුකම් ආදිය ගැන වත්මන් පරපුරට දැනුමක් දීම, ඔවුන්ට ඒවා දකින්න සැලැස්වීම. මටත් පහතරට නර්තනය, යාගහෝම ආදිය පිළිබඳ යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා. එසේ වුණේ මා සඳනන් කළ මගේ මාමාගේ ආභාසය නිසා. මේ පිටපත නැවත සකස් කිරීමේදී ඉහත කී කරුණු පිළිබඳ දැනුමක් තිබෙන ගුරුන්නාන්සේලා සහ ඒ පරම්පාරාවෙන් එන පුරුක් ආශ්‍රය කරමින් තමයි කරුණු රැස්කර ගත්තේ. මෙය අමුතුම ආකාරයක නිර්මානයක් වේවි කියා මා විශ්වාස කරනවා.
මට ලේඛන හැකියාව හොඳීන් පිහිටා තිබෙනවා. මගේ පළමු ග්‍රන්ථය මම රචනා කළේ 2018 දී . දැහැටි නමින්.එහි දෙවන කොටසත් මේ දිනවල ලියමින් ඉන්නේ. මේ දිනවල තවත් විශේෂ කටයුත්තක් සිදුවෙනවා.
මම කෙටිකතා සංග්‍රහයක් රචනා කළා. ඒ සියල්ල ටෙලි කතා ලෙස පුංචි තිරයට ගෙන එන්නට සියල්ල සූදානම් කරල තියෙන්නේ. සමාජයේ අප මෙතෙක් කතා නොකළ මාතෘකා ගැන ලියවුණු කතා පෙළක් එහි අඩංගු වී තිබෙනවා. මම එය කෙටි කතා සංග්‍රයක් ලෙස එළිදක්වන්නට සිතා සිටිනවා. මතක ඉවුරක කතා ඇතුළේ අඩංගු වී තිබෙන ‘ ආනන්දගේ සංකැටේ’ හරි අපූරු කතාවක්. එහි ආනන්ද වෙනස්ම වූ චරිතයක්. ඔහු දුප්පත්. එහෙත් ඔහු පිළිවෙළකට අඳීන පළඳීන කෙනෙක්. ඔහුට බයිසිකලයක් තිබෙනවා. ඔහු එයට දැඩි ලෙස ආදරය කරනවා. එය හරි පරිස්සමෙන් ආරක්ෂා කරනවා. හරියට දරුවෙකු බලාකියා ගන්නවා වගේ. මේ නිසා ඔහුගේ කුටුම්භය තුළ ප්‍රශ්න, අඩදබර පවා ඇතිකරගන්නවා. අවසානයේ ඔහුගේ දියණියත් ඔහුව තනිකොට හැර යනවා. ආනන්දගේ චරිතයට පණ පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්‍ය් වන අමිත්ත වීරසිංහ.
සමාජයේ එළියට නොඑන තවත් එක් මාතෘකාවක් ගැන ලියවුණු කතාවක් මෙම කෙටි කතා මාලාවට ඇතුළත් කළා. එය නම් කළේ ‘ වාසගම් නාම’ නමින්. සමාජයේ ජිවත්වූ එක් පිරිමියෙකුගේ ලිංගික බලහත්කාර කමකට ලක්වූ තරුණියක් ගැබ් ගැනීමකට ලක්වෙනවා. ඒ හේතුවෙන් ඇයට දරුවෙකු ලැබෙන්නට ඉන්නවා. ඇය සමාජයේ අපහාසයට ලක්වෙනවා. එහෙත් ඒ සියල්ල විඳදරාගෙන ඒ දරුවාට ජීවය දෙනවා. ඒත් ඇය මන්ද මානසිකත්වයට පත් වෙනවා. දරුවා හොඳීන් හැඳී වැඩී උස් මහත් වෙනවා. ඒ දරුවා පුතෙක්. මේ දරුවා ඉගෙනීමට රුසියෙක්. වයස අවුරුදු දහයක් වුවත් ඔහු හැම දේ ගැනම දැනුම්වත්. ඒ නිසාම ඔහු නිතර තම වාසගම ගැන මවගෙන් විමසනවා.
” උඹ ඕන එකක් දාගනිං උඹේ නමේ අන්තිමට”
” මට වද නොදී”
එය තමයි මව විසින් පුතාට දෙන පිළිතුර. ඒත් මේ පුතා මවට තිබෙන ආදරය අඩු කරන්නේ නැහැ. ඔහු නිතරම මවව සනසනවා. දවසක් මේ පුංචි පුතා තමාගේ ගුරුවරයාගෙන් වාසගම ගැන විමසුවේ මෙන්න මෙහෙම.
” සර්ට මොනවද සර්ගේ වාසගම ගැන හිතෙන්නේ?
” ඇයි එහෙම අහන්නේ .ඒකත් නමේ එක් කොටසක් පමණයි”
ඒ ගුරුවරයාගේ පිළිතුර.
වාසගම පිළිබඳ තම ගුරුවරයා එතරම් තැකීමක් නොකළ බව මේ දරුවාට තේරුම් යනවා. ඒ දරුවා මෙන්න මේ විදිහට කියනවා.
” ඔව් වාසගම තියෙන කෙනාට ඒ ගැන අගයක් නැහැ.
වාසගමක් නැති කෙනාට තමයි ඒක වටින්නේ.
ගුරුවරයා මේ පිළිතුරෙන් පුදුමයට පත්වෙනවා. මෙහි අවසානය කුමක්ද කියා ඔබට දැනගන්න හැකිවෙන්නේ මේ කතාව රූපවාහිනී නාළිකාවක විකාශය වන විට.
මෙවැනි වූ වෙනස්ම කෙටි කතා මේ ” මතක ඉවුරක කතා” මාලාවේ ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම ආදරය , මිනිසුන්ගේ ව්‍යාජ හැසිරීම් පිළිබඳ ලියවුණු කතාද මේ තුළ ගැබ් වී තිබෙනවා. මෙම කතා රචනා කරමින් අධ්‍යක්ෂණය කළේ මා විසින්මයි. මෙහි සඳහා ප්‍රවීණ රංගන ශිල්පීන් මෙන්ම නවක ශිල්පීන්ද රංගනයෙන් දායක වෙනවා. සංගීත කටයුතු ඇතුළු සියල්ල නිමවී තිබෙන්නේ. මෙහි නිෂ්පාදකවරයාට අවශ්‍ය වුණේ හොඳම කාල සීමාවක හොඳම නාළිකාවක මේ කතා මාලාව විකාශය කරන්න. එනිසා නුදුරේදීම එය විකාශය කරන නාළිකාව සහ වේලාව සරසවියට දැනුම් දීමට හැකියි.
තිරපිටපත් ලිවීම, ගීත රචනා කලාවත් කරන්නේ මම බොහෝම සතුටින්. පාසල් කාලයේ සිට මම එයට දැඩි උනන්දුවක් දැක්වූවා. ඒ කාලේ වෙසක් සුබ පැතුම්පත්වලටත් කවි ලිව්වා. මගේ කවි මුද්‍රණය කරපු වෙසක් සුබ පැතුම් පත් දහයක් දොළහක් පමණ පිටවෙනව අවුරුද්දකට ඒ කාලේ. මම ලියපු පළමු ගීතය ගායනා කළේ ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරිය. ජ්‍යේෂ්ඨ රංගනවේදිනී ශ්‍රියාණි අමරසේනගේ “නොරත රත” කියන නාට්‍යය වෙනුවෙන්. මම එහි රංගනයෙනුත් දායක වුණා උමයංගනා සමඟ. වර්තමානයේත් ගීත ලියනවා. ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන පෝදා කතා මාලාවේ ” බෝපත් නිල්ල” තේමා ගීතය රචනා කළේ මම.
මේ මොන දේ කළත් රංගන ශිල්පියෙක් කියන භූමිකාවට මම හරි ප්‍රියයි. ඒ වගේම එයට ගෞරව කරනවා. ඉස්සර කැමරාව මැජික් එකක් වගේ. නළුවා කියන්නේ මැජික් එකක්. ඒ කාලේ රංගන ශිල්පී ශිල්පිනියන් වැඩිපුර එළිමහනේ කාලය ගත කරනවා අඩුයි. ඔවුන් නිතර සමාජයේ ගැවසුණේ නැහැ. ඔවුන්ගේ වටිනාකම ඔවුන් ආරක්ෂා කරගත්තා. ඒත් අද සමාජය වෙනස්. තාක්ෂණයත් සමඟ හැමදේම වෙනස් වෙලා. අද හැමෝගෙම අතේ ජංගම දුරකතනයක් තිබෙනවා. ඒ නිසා කැමරාව සාමාන්‍ය මෙවලමක් වෙලා. ඒ නිසා රංගන ශිල්පීන්ට තිබුණ මැජික් එකත් නැතිවෙලා ගිහින්. ඔවුන්ගේ වටිනාකම නැතිවී ගිහින්. ටෙලි නාට්‍ය, සිනමාව , වේදිකාව සරල වෙලා. එහෙත් සිනමාව , වේදිකාව නැවතත් යම් මට්ටමකට ඇවිත් තිබෙනවා. වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකාගාරයක් සෑදී තිබෙනවා. එහෙත් රූපවාහිනි මාධ්‍යයේ ගරුත්වය, ගුණාත්මකභාවය රැකගන්න එහි රැඳී සිටින පිරිසවත් යම් තරමකටවත් උත්සාහ නොගන්නා බවක් පේනවා.
මම මේ දිනවල ” සංගීතේ” මෙගා නාට්‍යයේ රඟපානවා. රංගන ශිල්පියෙකු විදිහට නිර්මාණ වර්ගීකරණය කරන්න බැහැ. ‘ සංගීතේ’ පටන් ගත්තේ බොහෝම අපූරු කතාවකින්. මෙගා නාට්‍ය කොටස් රාශියකින් සමන්විතයි. පසුකාලීනව එවැනි නිර්මාණ පාලනයකින් තොරවත් සිදුකෙරෙනවා. ලෝකයේ මෙවැනි ටෙලි නාට්‍ය තිබෙනවා. එවැනි නිර්මාණ සෝප් ඔපෙරා ගණයට අයත් වෙනවා. ලෝකයේ තිබෙන එවැනි නාට්‍ය ඇතැම් විට පරම්පරා ගණනක් පසු කරමින් විකාශය කෙරෙනවා. අපි රංගනයට පැමිණි කාලේ රූපවාහිනි නාලිකා කිහිපයක් පමණයි තිබුණේ. ඒවායේ විකාශය වුණේ ගුණාත්මක බවින් යුත් ටෙලි නාට්‍ය. එහෙත් අද ඒ තත්වය වෙනස් වෙලා. ‘ සංගීතේ’ නාට්‍යය කෙසේ ගලා ගියත් මගේ චරිතයට මම උපරිම රංගන දායකත්වයක් ලබා දෙනවා. ‘ සංගීතේ’ විකාශය වෙන්න පටන් ගත් පළමු අවුරුද්දේ රයිගම් සම්මාන උලෙළෙ ජනප්‍රිය නළුවා ලැයිස්තුවේ හයවෙනි තැනට පත්වුණා. ඒ මගේ වියදමින් මනාප පළකරගෙන නෙවෙයි. ප්‍රේක්ෂකයන් මා ඒ තැනට ඔසවා තැබුවා. ‘සංගීතේ’ ටෙලි නාට්‍ය ගැන මට පෞද්ගලිකව අදහස් දක්වන්න බැහැ. එහෙත් මගේ චරිතය ගැන මට කතා කළ හැකියි. කවුරුන් හෝ ඇසුවොත් ” ඇයි ඔයා එහෙම චරිතයක් කරන්නේ කියලා. අන්න ඒ පැනයට මට පිළිතුරක් දිය හැකියි. අපිට ලැබෙන නිර්මාණවලට දායකත්වය නුදුන්නොත් අපිව මතකයෙන් ඈත් වෙනවා. අපි ඉන්න ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ට තෝරා බේරා ගෙන බැලීමට අවස්ථාවක් අද උදා වී තිබෙනවා. අද චැනල් ගණනාවකින් සමන්විතයි. රිමෝට් එක තිබෙනවා. ඒ නිසා තමන්ට රුචි දේ නැරඹිය හැකියි.
සුදත් මහදිවුල්වැවගේ ‘ සුදු කළු සහ අළු’ චිත්‍රපටයේ මම රඟපෑවා. එහි රඟපෑ චරිතය වෙනුවෙන් මට නිරුවත් වෙන්නනට තිබුණා. මම එය කළා. රංගන ශිල්පියෙකු විදිහට අපිට ලැබෙන චරිතවලට අපි අනුගත වෙන්න අවශ්‍යයි.
බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මෙසේ දේශනා කරල තියෙනවා.
” පරිසරයට අනුගත වීමට නොහැකි සත්වයාට පැවැත්මක් නැත ” යනුවෙන්. අපිත් එක්තරා සත්ව කොට්ටාසයක් අපි අපිට ලැබෙන දේවල් වලට, අප ජීවත් වන වටපිටාවට අනුගත වෙන්න බැරි වුණොත් අපිත් දිය වෙලා යනවා. මේ කියමන අපේ වෘත්තියටත් අදාළ වෙන්න පුළුවන්. ඒ නිසා මට ලැබෙන චරිතයට මම නිතැනින්ම අනුගත වෙනවා. මගේ රංගනය ගැන බොහෝ දෙනා අගයමින් කතා කරනවා. අපි මේ යන ගමනේදී කෙතරම් විපර්යාස වලට මුහුණ දෙන්නට සිදු වුවත් රංගන ශිල්පියෙකු ලෙස අප තුළ තිබෙන අනන්‍යතාවය රැක ගත යුතුයි.
මම රංගනයට පැමිණි මුල් කාලයේ මාව මුද්‍රිත මාධ්‍යයට නිතර සම්බන්ධ කර ගත්තා. බොහෝ පුවත්පත් වල මුල් පිටු මගේ රුවින් සැරසුණා. මාව තාමත් රසිකයන්ට මතක ඒ නිසා සහ මා කළ රංගනයන් නිසා.
සිනමාපට සැලකිය යුතු ප්‍රමාණයකට මම රංගනයෙන් දායක වෙලා තිබෙනවා. දේවින්ද කෝන්ගහගේ ගේ ‘ නාට්ටාමි ආමි’ චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතයක් රඟපෑවා. මොනයම් හෝ හේතුවක් නිසා මම ටිකක් සිනමාවෙන් ඈත්වුණා. මට නිර්මාණයකට කතා කළොත් පමණයි මම යන්නේ. නිර්මාණයකට මාව ගන්න කියල චරිත ඉල්ලාගෙන යන්නේ නැහැ. මම මගේ ගරුත්වය ආරක්ෂා කරගෙන ජීවත් වන රංගන ශිල්පියෙක්. මම ආපසු හැරිලා බැලුවොත් කලකිරීමක් ඇතිවන දෙයක් මම කරල නැහැ. මගේ නම රංගන ශිල්පිනියන්ගේ නම් සමඟ ඈදාගෙන කතා හැදිලා නැහැ. බොරුව කියන දේ මගේ ජීවිතයේ නැහැ.
මා දන්නා එක්තරා ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඉන්නවා ඔහු යුග ගණනාවක ප්‍රේමවන්තයා. අධ්‍යක්ෂකවරයෙකු චිත්‍රපටයක් කරනවා කියල ආරංචියක් ලද විගස ඔහු ඒ අදාළ අධ්‍යක්ෂකවරයාට දුරකතනයෙන් ඉතා සුහදව කතා කර කෙසේ හෝ ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා. ඔහු එම නිර්මාණයට සම්බන්ධ වීමේ දායකතවය වෙනුවෙන් ඔහුට ලැබෙන මුදල කපා හරිනවා. මා එවැනි දෑ කරන්නේ නැහැ. මම මේ ක්ෂේත්‍රයේ වෘත්තිය ගරුත්වය රැකගෙන ගෞරවනීය විදිහට ජීවත් වෙනවා.
මම සිනමාව ගැන හදාරපු කෙනෙක්. මගේ ගුරුවරයා ප්‍රසන්න විතානගේ. වසර දෙකක් කැලණිය විශ්වවිද්‍යාලයේ මම සිනමාව හැදෑරුවා. එයින් පසුව 2006 දී ‘ දියකඩ’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. කෙටි චිත්‍රපට අනූ නවයක් අතරින් මගේ චිත්‍රපටයට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් සම්මානයක් හිමි වුණා. මම එම කෙටි චිත්‍රපටය කෑන්ස් කෙටි චිත්‍රපට තරඟාවලියටත් ඉදිරිපත් කළා. ඉන්පසුව 2011 වසරේ තැලසීමියා රෝගය වෙනුවෙනුත් 2014 වසරේදී ජාතික වෙසක් මංගල්‍යය වෙනුවෙනුත් කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කළා. ඒ වෙනුවෙනුත් සම්මාන හිමි වුණා. මේ වනවිට මා අතින් ලියවුණු තවත් තිරපිටපත් තුනක් තිබෙනවා. ඒ සඳහා අර්ථපතියෙකු හමු වූ විගස මා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සියලු වැඩකටයුතු අතරේ වේදිකාව අමතක කළෙත් නැහැ. සරත් කොතලාවලගේ ‘ නරි බුරති’ සහ මිහිරි සිරිතිලකගේ කෝ කොක්කු වේදිකා නාට්‍ය සමඟින් සම්බන්ධ වී සිටිනවා. මගේම වේදිකා නාට්‍යයක් වූ ‘ ඒකා සාක්කුවේ’ නාට්‍යය නම් දැනට වේදිකා ගත වෙන්නේ නැහැ. එහි රංගනයෙන් දායක වන සාරංග දිසාසේකර මේ දිනවල අතිශයින් කාර්‍යබහුල නිසා ඔහුට ඒ සඳහා දායකත්වය ලබා දෙන්න හැකියාවක් නැහැ.
මේ අතරේ මම අපේ රටේ දුෂ්කර ප්‍රදේශවල කලා වැඩමුළු පවත්වනවා. කලාව පළිබඳ සහ ඔවුන්ගේ ජීවිතය හැඩ ගස්සවා ගන්නා ආකාරය පිලිබඳවද මම ඔවුන්ව දැනුමත් කරනවා. ඒ හරහා මට හොඳ ගෝල පිරිසක් බිහි කරන්න පුළුවන් වුණා. ” කොඩි ගහයට ” ටෙලි නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා වූ රජිත දික්හින්න , ජනප්‍රිය මියුසික් වීඩියෝ අධ්‍යක්ෂකවරයෙකු වූ චාරුක දුෂ්‍යන්ත මගේ ගෝලයන්. මම ඔවුන්ට කියා දුන්නේ කලාව ගැන පමණක් නෙවෙයි. ජීවිතය හැඩ ගස්සවා ගන්නා ආකාරය පවා කියා දුන්නා. ඒ අතර දේශපාලනයේ නිරත වන ගෝලයන් කීපදෙනෙකුත් ඉන්නවා. මම තවත් ඒ කටයුත්තේ නිරත වෙනවා. උතුරු මැද පළාත් වල තමයි ඒ වැඩමුළු පැවැත්වෙන්නේ. ඒ ඔස්සේ මම බිහිකරන ගෝලයන් යොදා ගෙන වේදිකා නාට්‍ය නිර්මාණය කළා. 2010 දී ‘ පිහාටු’ නමින් වේදිකා නාට්‍යයක් කළා. රාජ්‍ය ළමා නාට්‍ය උලළෙදී එයට සම්මාන පවා හිමිවුණා. ඒ වගේම යදම්, ලාවා, කළුම කළු මහත්වරු යන වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා. මේ අතරින් ‘ ලාවා’ කියන නාට්‍යය අතිශයින් කතා බහට ලක්වුණා.
මම කරන මේ කටයුතු වලින් බලාපොරොත්තු වෙන්නේ යහපත් දෙයක් සමාජයට දෙන්න. විශේෂයෙන් තරුණ පරපුරට. වර්තමානයේ කලා ක්ෂේත්‍රයට අලුතින් පැමිණෙන තරුණ පිරිසෙන් ඇතැම් අය ක්ෂේත්‍රය ගැන දැනුමත් නැහැ. එහි හැසිරිය යුත්තේ කොයි ආකාරයටද, රැඳී සිටිය යුත්තේ කොයි ආකාරයටද කියන කාරණා ගැන අවබෝධයක් තිබිය යුතුයි. වත්මන් තරුණ පරපුර පොත් කියවීමෙන් ඈත් වෙලා. රසාස්වාදය ඔවුන්ගෙන් දුරස් වෙලා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දොස් කියන්න බැහැ. දෙදහසෙන් පසුව ඉපදුණ දරුවන් ඉපදුණේ තාක්ෂණයත් සමඟ. ඔවුන් හුරු වුණේ ජංගම දුරකතනයට. මව්වරුන් දරුවන් නළවා ගත්තේ ජංගම දුරකතන දරුවා අතට දීලා. ඒ නිසා දරුවන් නවීන තාක්ෂණයට ඉබේම හුරුවුණා. ඉස්සර අපි මඩොල් දූව පොත කියවන විට, නන්දා මාලිනියගේ ‘ කඩමණ්ඩියේ’ කියන ගීතය අසන විට එහි ලියැවී තිබෙන, එහි කිවෙන දෑ අපේ මනසේ මැවුණා. අපි මනසින් ඒ සුන්දර දසුන් මවා ගත්තා. හරියට චිත්‍රපටයක් දර්ශන වගේ. ඒත් දැන් පරපුරට එවැනි අත්දැකීම් නැහැ. ගීතයකට, තනි පුද්ගලයෙකු විසින් ඔබ්බවන රූප රාමු පෙළකට ඔවුන් කොටු වෙලා. ඉස්සර අපිට මියුසික් වීඩියෝ තිබුණේ නැහැ. දැන් දරුවන්ට හිත හිත ඉන්න දෙයක් නැහැ. මියුසික් වීඩියෝ එක රස විඳීම පමණයි දරුවන්ට කළ හැක්කේ. ඔවුන්ට දැන් ඇසෙන්නේ හරසුන් ගීත.
මගේ මතක ඉවුරක කතා තුළින් මම බලාපොරොත්තු වෙන්නෙත් තරුණ පරපුරට යහපතක් කිරීමට. අපි නව පරපුර දෙස වපර ඇසින් බැලිය යුතු නැහැ. මම හිතනවා මතක ඉවුරක කතා ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි කියලා.
මට මේ තත්වයට එන්න මාර්ගය සකසා දුන් මගේ මව්පියන්. ඔවුන් දුන් අවවාද, සමජයේ හැසිරිය යුතු ආකාරය, මිනිසුන් සමඟ ගනුදෙනු කරන ආකාරය කියා දුන්නේ මව්පියන්. මේ අවස්ථාවේ ඔවුන්ට මගේ ගෞරවය පුදකරනවා.
මා ගමන් මඟේ මට ශක්‍තියක් වූ තවත් චරිතයක් තමයි මගේ ආදරණිය බිරිඳ. ඇය මට නිදහස ලබා දී දෙනවා මගේ කලා කටයුතු සාර්ථකව කරගෙන යන්න. ඇය දුලානි චාමිනී ප්‍රනාන්දු. ඇය නුවර මහමායා බාලිකාවේ ආදි ශිෂ්‍යාවක්. ඇය රැකියාවක නිරත වෙනවා වගේම සමාජ සේවිකාවක්. ගෙවන හැම තප්පරයකම අපි සතුටින් ඉන්නවා.
මගේ කලා කටයුතු වලට මුල සිටම සරසවිය ඇතුළු සෑම මාධ්‍යයක්ම පාහේ සහයෝගය ලබා දුන්නා. අපි හැමදාම ජීවත් වෙන්න මේ ලෝකෙට ඇවිත් නැහැ. සතුටින් ඉන්න ලොකු හේතු අවශ්‍ය නැහැ. අද දිනය තුළ වරදක් නොකර, කළ වැඩ ගැන දවස නිමාවේදී තෘප්තිමත් නම් ජීවිතය යහපත්. මට කෙනෙක් හොඳක් කියන්නේ, ඒ මා යහපත්ව ජීවත් වූ නිසා. මම වැරදි ආකාරයට ජීවත් වූවා නම් මම නැති තැන ඔවුන් දොස් කියාවි. එහෙත් මට කවුරුත් එසේ කියා නැහැ. මගේ ජීවිතය දෙස ආපසු හැරී බැලුවොත් තෘප්තිමත් විය හැකි අතීතයක් මට තියෙනවා.
අවසානයේ මගේ රසිකයන්ටත්, ප්‍රේක්ෂකයන්ටත් ආරාධනා කරනවා නුදුරේදීම ටෙලි තිරය හැඩ කරන ‘ මතක ඉවුරක කතා ‘ මාලාව සමඟ එකතු වෙන්න කියලා. එය නැරඹූ ඔබ පසු කලෙකදී කියාවි
” මේ පුද්ගලයා වැඩක් කරපු කෙනෙක් කියලා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය