Home » මගේ ආසාව තිබුණේ හේම නලින් වගේ නිවේදකයෙක් වෙන්න

මගේ ආසාව තිබුණේ හේම නලින් වගේ නිවේදකයෙක් වෙන්න

by Thanushika
September 4, 2025 11:39 am 0 comment

හොඳ සන්නිවේදකයකු යනු රසවත්ව, සුපැහැදිලිව පණිවුඩ ශ්‍රාවකයා වෙත ගෙනයන ප්‍රවාහකයාය. එවැනි සන්නිවේදකයන් වර්තමානයේ දුලබ ය. චානක ඉනෝජ් ද සිල්වා නිවේදකයකු ලෙස වර්තමානයේ ශ්‍රාවකයන් අතර කීර්තියක් දිනා සිටින්නෙකි. ඔහු කාලාන්තරයක සිට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කරන අතර වර්තමානයේ ලේක්හවුස් ආයතනයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු වශයෙන් ද කටයුතු කරයි. වසර 17ක ඔහුගේ මාධ්‍ය ජීවිතය තුළ වෘත්තීමය නිවේදකයකු ලෙස මෙතෙක් ආ ගමන්මඟ පිළිබඳ සොඳුරුමය කතාබහ මෙවර සරසවිය කලා අවකාශයෙහි ඉඩහසර වෙන්වුණා.

නිවේදන ක්ෂේත්‍රයට පැමිණිමේ පසුබිම කොහොමද? ඒ ගැන කතා කරමු…

අපේ පවුලේ දන්න කියන කෙනෙක් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. මම දන්න තරමින් ම⁣ගේ ගම වන වස්කඩුවෙත් සිටියේ නැහැ. මට නිවේදකයකු වෙන්න උණ ආවේ දහය වස⁣⁣රේදී වගේ. පානදුර රාජකීය විද්‍යාලය වන මගේ පාසලේ දී මාධ්‍ය ඒකකයේ වැඩ කරනවා. ඒක තමයි මගේ මාධ්‍ය ජීවිතයේ පළමු පියවර. ඊටපස්සේ දහම් පාසලේදී නිවේදන කටයුතු වරින්වර සිදු කරනවා. 2003 වසරේ උසස් පෙළ වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. උසස් පෙළ හැදැරීමෙන් පසුව මම මාධ්‍ය ක්ෂේත්‍රයේ පළමු රැකියාව විදියට කරන්නේ ලංකා පුවත් ආයතනයේ මාධ්‍යවේදියෙක් විදියට. ඔය අතරේ ආසාව දැල්වෙනවා රූපවාහිනියේ නිවේදකයෙකු වෙන්න. ඒ ආශාව නිසාම රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතනවල සෑම තිර පරික්ෂණයකම පෙනී ඉන්නවා. පාඨමාලා හදාරනවා. ඊටපස්සේ ශ්‍රී ඊම, ශ්‍රී ලක්වාහිනි වගේ නාලිකාවල මම නිදහස් මාධ්‍යවේදියකු විදියට වැඩ කරනවා. ඒ අත්දැකීමත් එක්ක මට ක්ෂේත්‍රයට ඇවිත් අලුතින් ඉගෙනගන්න තිබුණේ කැමරාවට මුහුණ දෙන විදිය වගේ දේවල්.

2013 වසරේදී මම ජාතික රූපවාහිනිය අයදුම් කරලා සම්මුඛ පරික්ෂණ හතරකට පස්සේ මා තේරී පත්වෙනවා. අයදුම්පත් තුන්දහසක් අතරින් මා ඇතුළුව 15ක් තේරී පත්වෙනවා. ජාතික රූපවාහිනියේ මා ඇතුළුව අලුතින් බඳවා ගත් අයට මාධ්‍ය පුහුණුවක් ද ලැබෙනවා. අවසානයේ ප්‍රවෘත්ති කියන නිවේදකයකු විදියට මට අවස්ථාව ලැබෙනවා. මම ඇත්තටම ප්‍රවෘත්ති කියන්න පටන් ගත්තේ 2014 අප්‍රේල් 1 වැනිදා. මගේ පළවෙනි නිවිස් බුලටින් එක. පැයෙන් පැය ප්‍රවෘත්ති ප්‍රකාශය සහ දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශ කියන්න තිබුණේ. මට සිහිනයක් පවා තිබුණේ නැහැ රජයේ ප්‍රධාන මාධ්‍ය නාළිකාවක නිවිස් රීඩර් කෙනෙක් විදියට කටයුතු කරන්න අවස්ථාව ලැබෙිවි කියලා.

2015 දී රෑ අටේ නිව්ස් කියන්න ලැබෙනවා ජාතික රූපවාහිනියේ කටයුතු කරන්න අවස්ථාව හිමි වෙනවා. රෑ අටෙි ප්‍රවෘත්ති කියන්න ලැබෙනවා කියලා ටිකක් අභියෝගාත්මක එකක්. පසුකාලීනව උදේ හයට විකාශය කරන සිවිදෙස කියන විදේශීය පුවත් විශ්ලේෂණ වැඩසට⁣හනේ නිවෙිදකයා විදියට දැනට කටයුතු කරනවා. මේ වසරේ මුල සිට ජාතික රූපවාහිනියේ පත්තර සිරස්තල වැඩසටහනේ නිවේදකයකු විදියට කටයුතු කරනවා සහ දැනට ලේක්හවුස් ආයතනයේ ඩිජිටල් අංශයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු විදියට වැඩ කරනවා.

අවුරුදු 17ක මාධ්‍ය ජිවිතයේ ලබපු අත්දැකීම් සහ අභියෝග මොනවද?

අභියෝග විදියට මම දකින්නේ රටෙි රාජ්‍ය නායකයන් සහභාගි වන රාජ්‍ය උත්සවවල නිවේදන කටයුතු කරන්න ලැබුණා. මම හිතන්නේ එය අභියෝගයක්. මම භාවිතා කරන භාෂාව තුළ දේශපාලනිකරණය නොවී ප්‍රමිතියකින් ඉදිරිපත් කළ යුතු වෙනවා. අභියෝග විදියට ප්‍රවෘත්ති කියන විට මට වඩා ජ්‍යේෂ්ඨ නිවේදකයන් සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද? කියන එක තරමක අභියෝගයක් වුණා. ඔවුන්ට ගෞරව කරන්නේ කොහොමද? සහ රෑ අටේ ප්‍රවෘත්ති කියනකොට ලැබෙන අත්දැකීම සෑහෙන වැදගත් වුණා මට. අමතක නොවන අභියෝගයක් විදියට අරගල සමයේ දී ගෝඨාභය රාජපක්​ෂ මහත්මයා ජනාධිපති මන්දිරයෙන් ගිය දවස සහ එහි තත්ත්වය පිළිබඳ රෑ අටෙි නිව්ස් එකට කියන්න වුණා. ජාතික රූපවාහිනියේ සෑම පැත්තකින්ම ත්‍රිවිධ හමුදාව යටතේ ආරක්ෂාව තර කරලා තිබුණා. ඉතින් එදා රෑ අටේ නිව්ස් බුලටින් එක කියුවේ ස්ටු⁣ඩ්යෝ එක වටේ ආරක්ෂකයෝ දාලා. ආරක්ෂාව සහිතව තමයි ප්‍රවෘත්ති ප්‍රකාශය කළේ. ඒක අභියෝගයක් මම අත්විඳපු. ජීවිතයේ අමතක නොවන දෙයක්.

අනෙක් කාරණය තමයි කෝවිඩි සමයේදී Breaking News කියුවේ මම. එය නොසිතූ විරූ අන්දමේ අත්දැකීමක් වුණා. එක දිගටම කෝව්ඩ් නිව්ස් කියුවා. විශේෂයෙන් මම තමයි මුලින්ම ලංකාවේ පළවෙනි කෝවිඩ් රෝගියා හම්බුණා කියන බ්‍රේකින්ග් නිව්ස් එක කියුවේ. පළවෙනි කෝවිඩි මරණය බ්‍රේකින්ග් නිව්ස් එකක් විදියට කියුවා. කෝවිඩි කාලයේදී එක දිගටම නිවිස් කියන්න සිද්ධ වුණා. ඇතැම් වෙලාවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එන තොරතුරක් පමණයි තියෙන්නේ. පිටපතක් නැතිව මම ක්ෂණිකව නිව්ස් එක කියපු අවස්ථා බොහෝයි. එය අමතක නොවන ⁣විශාල අභියෝගයක් වුණා මගේ මාධ්‍ය ජීවිතයේදී.

ඔබේ අදහසට අනුව හොඳ නිවේදකයකු කියන්නේ කවුද? ඔයාගේ කාර්යභාර්ය මොනවගේ විය යුතුද?

මගේ අදහසට අනුව නිවේදකයෙක් කියන්නේ ඉදිරිපත් කරන්නෙක්. ප්‍රවෘත්ති කියවන්නෙක් නෙමෙයි. හොඳ නිවේදකයා ඇතැම් වෙලාවට මාධ්‍ය ආයතනයේ ප්‍රතිරූපයයක් විදියට සහ නියෝජනයක්. ඒ මාධ්‍ය ආයතනයට අනන්‍ය වුණු ගමනක් සමඟ එකතු වෙලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන පුද්ගලයෙක් විදියට ජනතාවට ගුණාත්මක සහ නිරවුල්ව පණිවුඩයක් දෙන්න පුළුවන් සන්නිවෙිදකයකු විදියටයි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. හොඳ නිවේදකයා සෑමවිටම යාවත්කාලීන විය යුතුයි.

ටෙලිවිෂන් නාළිකාවල විවිධ ශානර සමඟ නිවෙිදකයකු ලෙස කටයුතු කරද්දි ඒ වෙනස හඳුනා ගන්නේ කොහොමද?

වැඩසටහනින් වැඩසටහනට අපි කරන ඉදිරිපත් කිරීම වෙනස්. ප්‍රේක්ෂකාගාරය වෙනස් වෙනවා. එකම නිවෙිදකයකු බොහෝ ශානර සමඟ වැඩකළහොත් ප්‍රේක්ෂකාගාරයේ විශ්වසනීයත්වය නිසැකවම බිඳ වැටෙනවා. මෙි නිසාම මම ⁣ප්‍රවෘත්ති නිවේදකයකු නිසා මට හානියක් නොවන වැඩසටහන් පමණයි මම තෝරා ගන්නේ. උදාහරණයක් විදියට චාර්ට් ⁣ප්‍රොගැම්ස් වගේ පහළ තලයක වැඩසටහනක් මම කරලා, ඊට පසුව රෑ අටේ ප්‍රවෘත්ති කියන්න ගියාම ප්‍රේක්ෂකාගාරය මම ගැන තියෙන විශ්වසනීයත්වය බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ නිවේදකයාට ගැළපෙන, මගේ ප්‍රතිරූපයට ගැළපෙන කියලා හිතෙන වැඩසටහන් තෝරා බේරාගෙන කරන්න මම පෙලඹෙනවා.

නිවේදක ක්ෂේත්‍රයේදී ඔයා කරන අභ්‍යාස සහ අධ්‍යයනයන් මොනවාද?

මම බොහෝ වෙලාවට අපේ ජ්‍යේෂ්ඨ නිවේදකයන් ප්‍රවෘත්ති කියවන විදිය සහ වැඩසටහන් ඉදිරිපත් කරන විදිය තවමත් බලනවා. අනෙක් දෙය තමයි සෑමදාකම වගේ මම ඉදිරිපත් කරපු ප්‍රවෘත්ති වැඩසටහන නැවත බලනවා. ඒ මගේ අඩුපාඩු සහ වැරදි හදාගන්න. ඒක මම නිතරම කරන දෙයක්. නිවේදකයකු විදියට ලෝකය පිළිබඳ යාවත්කාලීන තොරතුරු අවශ්‍ය‍යයි. ලෝකයේ මොනවද? වෙන්නේ කියන තොරතුරු අවශ්‍යයි. මම සෑමවිටම ඒ නිසා තොරතුරු සොයනවා සහ කියවනවා. දවසේ වුණ හොඳම ප්‍රවෘත්ති ටික මම පත්තරෙන් කියවනවා. ඉඳලා හිටලා පත්තරේ යන නිව්ස් ප්‍රවෘත්ති කියන විදියට කියවලා බලනවා. ඒ පුහුණුව මම කරනවා නිරන්තරයෙන්ම. තාම මගේ පුරුද්දක් තියෙනවා ලස්සනට ලියලා තියෙන විශේෂාංග ලිපියක අදහසක් තිබුණොත් නෝට්බුක් එකේ ලියා ගන්නවා. මොකද මට එය ප්‍රයෝජනවත් වෙනවා වැඩසටහන් ඉදිරිපත් කරද්දි. හෙට තියෙන වැඩසටහනකට මම කලින් හෝම්වර්ක් කරලා යන්නේ.

පුහුණු වෙලා පෙර සුදානමක් සහිතව වැඩසටහනට යන්නේ. උදාහරණයක් විදියට මේ වසරේ ඉරාන ජනාධිපතිවරයා ලංකාවට ආවා සංචාරයකට. ඒ ගමන සම්පුර්ණයෙන්ම පාහේ තිබුණේ නිශ්චිත සැලසුමකට. ඒ සජීවිව වැඩසටහන ඉදිරිපත් කරන්⁣න තිබුණේ මට සහ ඉංග්‍රිසි නිවේදිකාවට. ඉතින් අපිට ජනාධිපති කාර්යාලයෙන් මට රහසිගත ලියවිල්ලක් විදියට ඉරාන ජනාධිපතිතුමාගේ ගමන ඇතුළත් වැඩසටහන පිළිබඳ සැලැස්ම එවලා තිබුණා. ඉතින් මම ඒක අධ්‍යයනය කරලා ඉරාන ජනාධිපතිගේ පසුබිම මොකක්ද? ඉරාන – ලංකා මිත්‍රත්වය මොකක්ද? යන විශේෂ සහ වැදගත් තොරතුරු මම ලිපිගොනුවක් හදලා එය අධ්‍යයනය කරලා වැඩසටහන ඉදිරිපත් කළේ. අනෙක් දේ තමයි දවසින් දවස මම ප්‍රවෘත්ති කියනකොට අලුත් මුහුණුවරකින් තමයි පෙනී සිටින්නේ. අලුත් දවසක් කියන දෙයින් තමයි මම හැමතිස්සෙම ප්‍රවෘත්ති කීම ආරම්භ කරන්නේ. අන්න ඒ අභ්‍යාස සහ අධ්‍යයනයන් මම සිදු කරනවා.

ඔබේ මාධ්‍ය ජීවිතයට වැඩිපුරම⁣ බලපෑ පුද්ගලයන් කවුද?

ඇත්තටම මගේ ආශාව තිබුණේ හේමනලීන් කරුණාරත්න වගේ නිවේදකයෙකු වෙන්න. ඔහු අධ්‍යයනය කළා. ඒ වගේම ගයාන් චින්තක අබෙිසිංහ. එයාලා දිහා බලාගෙන මම ගමනක් ආවා. පාසලෙන් සහ දහම් පාසලෙන් ලැබුණු සහයෝගයෙන් තමයි නිවේදන වෘත්තියට ආවේ.

ඔබේ නිවේදන සහ මාධ්‍ය ජීවිතයේ ලැබුණ සතුටුදායක යැයි හැඟෙන වටිනා අවස්ථා, ජයග්‍රහණ මොනවද?

මෑතභාගයේ තුළ එවැනි සතුටුදායක අවස්ථාවක් තමයි සරසවිය සම්මාන උලෙළහි පූරකයෙක් විදියට කටයුතු කරන්න ලැබුණ එක. එය ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්. ඊට හේතුව තමයි මීට පෙර සරසවිය සම්මාන උලෙළ ඉතිහාසයේ දැවැන්තයන් විසින් පූරකයන් විදියට කටයුතු කරලා තියෙනවා.

ඔබේ මාධ්‍ය ජීවිතයේ දී උදවි කරපු පිරිසක් ඇති. ඒ අයවත් මතක් කරමු…

මෙතෙක් කාලයක් මම වැඩ කරපු මාධ්‍යය ආයතනවල ප්‍රධානීන්ට සහ ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ ඇතුළු සාමාජික පිරිසට මම ස්තුතියිවන්ත වෙනවා. මගේ දෙමාපියන් සහ මගේ බිරිඳ. විශේෂයෙන් මගේ බිරිඳට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඇය අවුරුදු ගාණක් මුළුල්ලේ මට සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. ඇය තමයි නිව්ස් එක කියවලා ඉවර වුණාම විචාරය සහ අඩුපාඩු කියන්නේ. පුතා රොමෙත් සහ දුව පිනිඳී. එයාලත් විචාරය කරනවා. අදහස් දෙනවා.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT